ගෝලීය මිලිටරි උත්සන්නය තුල පෙන්ටගනය නිදහසේ සිය පාලන බලය හොබවයි

Pentagon exercises free rein in global military escalation

2017 මාර්තු 31

ඩොනල්ඩ් ට‍්‍රම්ප් පාලනාධිකාරියේ මාස දෙක තුල එක්සත් ජනපද මිලිටිරිය, නැගෙනහිර යුරෝපයේ බෝල්ටික් මුහුදේ සිට මධ්‍යම ආසියාව, මැද පෙරදිග හා අප‍්‍රිකාවේ අඟ (අප්‍රිකානු අර්ධද්වීපය) දක්වා කුරිරු මිලිටරි උත්සන්නියක නියැලී සිටියි. වසර පහලොවකට වැඩි කලකට පෙර බුෂ් පාලනාධිකාරිය විසින් දියත් කරන ලද “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” කලාපයේ වැඩි කොටස මේ වන විටත් වදකාගාරයක් බවට හරවා, දැන් ඊටත් වඩා මාරාන්තික වටයක් අරඹා ඇත.

එක්සත් ජනපද කොංග‍්‍රස් අනුමන්ඩලයකට කරන ලද අසාමාන්‍ය වාචික සාක්ෂි දීමක දී, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ඉහල මිලිටරි ආඥාපතියා ඉරානයට එරෙහිව යුද්ධයට සූදානම්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කලේ, ඉරාකය හා සිරියාව තුල දහස් ගනනක් නො වේ නම් සිය ගනනක් ඝාතනය කර ඇති මිනීමරු බෝම්බ දැමීමේ මෙහෙයුමක් පෙන්ටගනය විසින් නො නැවතී උත්සන්න කරමින් සිටිය දී ය.

එක්සත් ජනපද මධ්‍යම බලඇනියේ ප‍්‍රධානී, ජනරාල් ජෝශප් වොටෙල්, බදාදා නියෝජිත මන්ත්‍රී මන්ඩල සන්නද්ධ සේවා කමිටුවට, ඉරානය “ලෝකයේ මෙම කොටසේ ආරක්ෂාවට විශාලම තර්ජනය මතු කරන” බව පවසා, “මිලිටරි මාධ්‍ය හෝ වෙනත් ආකාරයකින් (ඉරානය) අඩ පන කිරීමට” වොෂින්ටනය ක්‍රියාත්මක විය යුතු බව ඉල්ලා සිටියේ ය. ඉරානය, එක්සත් ජනපදය හා අනෙකුත් ප‍්‍රධාන බලවතුන් විසින් අත්සන් කරන ලද 2015 න්‍යෂ්ටික ගිවිසුම ප‍්‍රශ්නයට ලක් කරන අතර, “අපට ඔවුන් හෙලිදරව් කිරීමට හා ඔවුන් කරමින් සිටින දේවලට ඔවුන් වග කිව යුතු බව පිලිගැන්වීමට තිබෙන අවස්ථා ගැන අප සොයා බැලීමට අවශ්‍ය” බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

යේමනය තුල පුලුල් එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් සඳහා කරුනු ඉදිරිපත් කල වොටෙල්, වැඩියෙන් ම දුප්පත් මෙම අරාබි රට තුල “ඉතා වැදගත් එක්සත් ජනපද උත්සුකයන් පරදුවට ලක් වී ඇති” බව ප‍්‍රකාශ කලේය. මෙහි මහජනතාවට එරෙහිව සෞදි අරාබිය හා එහි සහචරයන් ජනඝාතනයකට ආසන්න යුද්ධයක් ගෙන ගොස් ඇත්තේ, ඇමරිකානු ආයුධ සමග අනිවාර්ය එක්සත් ජනපද ඔත්තු සේවා හා ප‍්‍රවර්ධන සහාය ප‍්‍රයෝජනයට ගනිමිනි. මෙම ප‍්‍රකාශය කෙරුනේ බාහිර ලෝකය හා එහි සාගින්නේ පෙලෙන ජනතාව අතර යේමනයේ අවසාන සම්බන්ධය පවතින රතු මුහුද වරාය අල්ලා ගැනීම අරමුනු කෙරුනු එමිරාටි (එක්සත් අරාබි එමිරේට්) මිලිටිරියේ ප‍්‍රහාරයකට පිටුබලය දීමට පෙන්ටගනය සූදානම් වෙමින් සිටියදී ය.

අවසානයේ දී වොටෙල් එක්සත් ජනපද කොංග‍්‍රස් සභාවට පැවසුවේ, පෙන්ටගනය ඇෆ්ගනිස්තානය තුල සැලකිය යුතු ලෙස හමුදා භට සංඛ්‍යාව වැඩි කරමින් සිටින බව යි. වසර 15ට වඩා පැරනි යුද්ධය සඳහා 5,000කට වැඩි හමුදාවක් යැවිය යුතුව ඇතැ යි එරට එක්සත් ජනපද අනදෙන්නා යෝජනා කර ඇත.

වොටෙල් එක හුස්මට ම සහතික කලේ, රුසියාව “විශේෂ ආයුධ හෝ වෙනත් දේවලින් (තලීබාන් සංවිධානයට) යම් ආකාරයක සහායක් දෙමින් සිටින බව උපකල්පනය කිරීම සාධාරන” බව යි. එවැනි උපකල්පනයක් තහවුරු කිරීමට කිසිවෙක් කිසි සාක්ෂියක් ඉදිරිපත් නොකල අතර එක්සත් ජනපද අනදෙන්නාගේ සඳහන සැඟවීමට කිසිදෙයක් ද නො කලහ. ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද මැදිහත්වීම කලාපීය හා ගෝලීය ආධිපත්‍යය සඳහා වොෂින්ටනයේ ප‍්‍රධාන තරඟකරුවන් වන රුසියාව, චීනය හා ඉරානයට මුහුන දීම අරමුන කර ගැනුනු මිලිටරි මූලෝපායක කොටසකි.

එක්සත් ජනපද යුරෝපීය බලඇනියේ ප‍්‍රධානී ජනරාල් කර්ටිස් ස්කරපරෝටී, ඔහුට තවත් සම්පූර්න සන්නද්ධ එක්සත් ජනපද සේනාංකයක් ―ඒබ‍්‍රහම්ස් වැනි සටන් යුද ටැංකි, පාබල සටන් වාහන මෙන් ම මිසයිල පද්ධති සහ ඇපචි හා බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානාවලින් සන්නද්ධ 20,000ක් පමන එක්සත් ජනපද හමුදා භටයින්― රුසියාවේ බටහිර දේශසීමාවේ ස්ථීර ලෙස රැඳවීම අවශ්‍ය යයි එම කොන්ග‍්‍රස් අනුමන්ඩලයට ම පැවසූ දිනට යන්තම් දවසකට පසු වොටෙල්ගේ සාක්ෂි දීම සිදුවිය. ඊට අමතර ව, එරට වෙරලාසන්නයන්ට වඩ වඩා එක්සත් ජනපද යුද නැව්වල පැමිනීම ― “රහසින් ගොඩබැසීමේ හමුදා සමග පරිවාරක නැව් කන්ඩායමක් තිබීම ආශ්චර්යජනක වනු ඇත”― මෙන් ම යුක්රේනයේ ජාතිකවාදී දක්ෂිනාංශික තන්ත‍්‍රයට මාරක අවි සැපයීමට ද ඔහු යෝජනා කලේය.

සතියකට පෙර, එක්සත් ජනපද අපි‍්‍රකානු බලඇනියේ ආඥාපති, ජනරාල් තෝමස් වල්ඩ්හෝසර්, දුගී අප‍්‍රිකානු රට තුල මහා පරිමාන ඇමරිකානු මැදිහත්වීමක් සඳහා මග පාදනු පිනිස, සෝමාලියාව තුල එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සීමා කරන පාලන රෙගුලාසි ඉවත් කරන ලෙස ට‍්‍රම්ප් පාලනාධිකාරයෙන් ඉල්ලා සිටියේ ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් ඊයේ වාර්තා කලේ, ට‍්‍රම්ප් ආන්ඩුව මෙම ඉල්ලීම ඉටුකර ඇති බවයි.

21වැනි සියවසේ ආන්ඩුකාරයින් ලෙස ක්‍රියා කරන මෙම එක්සත් ජනපද කලාපීය අනදෙන්නෝ, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ මූලිකාංග නියෝග කරමින් සිටිති. මෙය ට‍්‍රම්ප් පාලනාධිකාරය යටතේ හඳුන්වා දුන් අලුත් දෙයක් නො ව, ඩිමොක‍්‍රටික් මෙන් ම රිපබ්ලිකානු පාලනාධිකාරයන් යටතේ අවසානයක් නැති යුද්ධයන්ගේ විසිපස් වසරක කාලය තුල ක‍්‍රමක‍්‍රමයෙන් ශක්තිමත් කල දේය.

කෙසේ නමුත්, සක‍්‍රීය-රාජකාරියේ නියුතු හමුදා ජනරාල්වරයෙකු තම ජාතික ආරක්ෂක උපදේශකයෙකු ලෙස ද මෑත දී විශ‍්‍රාම ලත් මැරීන් හමුදා ජනරාල් වරුන් දෙදෙනෙකු ආරක්ෂක හා ස්වදේශ ආරක්ෂක ලේකම්වරුන් ලෙස ද පත් කර ඇති ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය, විදේශයන් හි මාරක මෙහෙයුම් ගෙනයාමට නිදහස් පාලනයක් ලබා දී ඇති බවට ප‍්‍රබල ඇඟවුම් පවතී.

එහි පැහදිලි ම ප‍්‍රකාශනය, සිරියාව හා ඉරාකය තුල පෙන්ටගනය විසින් ගෙන යමින් ඇති මිනීමරු ප‍්‍රහාරයයි. එක්සත් ජනපද බෝම්බ දැමීම් ඉරාකයේ දෙවැනි විශාල නගරය වන මොසුල් හි ජනාවාස සුන්බන් බවට පත්කරන අතර සිරියාවේ පල්ලි හා පාසල් මත ප‍්‍රහාර එල්ල කරමින් අහිංසක සිවිල් වැසියන් ඝතානය කර යි.

මහත් සේ සිවිල් වැසියන් විපතට පත්වීම අනිවාර්ය බව පවසන නව “සටන් නීතිරීති වලට” අවසර දෙමින් වොෂින්ටනය, ඔබාමා පාලනාධිකාරය යටතේ ද ගෙන ගිය එක්සත් ජනපද මැදිහත්වීම් වලට ගැටගැසුනු “මානව හිමිකම්” කඩතුරාවන් පවා හිටිවන ම අත් හැර දමමින් සිටියි.

“සටන්බිම්වල අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගැනීමට සේනාපතීන්ට වඩා නිදහස දීම මගින්, ට‍්‍රම්ප් පාලනාධිකාරයට වඩා ඵලදායි ලෙස ඔබාමා පාලනාධිකාරියේ මූලෝපායන් ක්‍රියාත්මක කල හැක” යයි ඔබාමා යටතේ හිටපු පෙන්ටගන් නිලධාරියෙකු වූ ඇන්ඩෘ එක්සුම් මෑත දී පිලිගන්නා ලදී.

මොසුල් නගරයේ මෙම කුරිරු සිවිල් ජන සංහාරය පිලිබඳ “ඛේදවාචකය” ගැන නරුම ලෙස තැවෙන අතර, නව හා ඊටත් වඩා විනාසයන් සිදුවීමට නියමිත බව එක්සත් ජනපද හිටපු අනදෙන්නා පැහැදිලිකර ඇත. “අප නාගරික පරිසරයකට ඇතුලු වත් ම, අප කරමින් සිටින දේවල් සඳහා අසාමාන්‍ය ඉහල ප‍්‍රමිතීන් යොදා ගැනීම වඩ වඩා දුෂ්කර වනු ඇති නමුත්, අපි උත්සාහ කරන්නෙමු” යි බදාදා වොටෙල් නියෝජිත මන්ත්‍රී මන්ඩල ආරක්ෂක කමිටුවට පැවසී ය.

ඊට පෙර, ඉරාකය හා සිරියාවේ මෙහෙයුම් ප‍්‍රධානී ජනරාල් ස්ටීවන් ටවුන්සෙඩ්, මොසුල් මෙහෙයුම් “දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිදු වන ඉතාමත් වැදගත් නාගරික සටන” ලෙස විස්තර කලේ, එය “දැඩි හා කුරිරු” යැයි විදහා දක්වමිනි.

කෲරත්වයේ වැඩි පංගුව දැන් සිදුවන්නේ මෙම මාසයේ එක සතියක දී පමනක් එක්සත් ජනපද යුද ගුවන්යානා විසින් නගරය මත හෙලා ඇති 500ට වඩා බෝම්බවලිනි.

නාගරික සටන මෑත වසරවල එක්සත් ජනපද මිලිටරි සැලැසුම්කරුවන්ගේ ප‍්‍රධාන නාභිය වී ඇති බව අවධානයට ගත යුතු ය. පසු ගිය සතියේ දී පවත්වන ලද “යුද්ධයේ අනාගතය” නම් සමුලුවේ දී, එක්සත් ජනපද හමුදා මාන්ඩලික ප‍්‍රධානී, ජනරාල් මාර්ක් මිලර් විසින් කරන ලඳ සඳහනක් උපුටා දක්වමින්, මිලිටරි.කොම් වෙබ් අඩවිය මෙසේ වාර්තා කලේ ය, “යුද්ධය දේශපාලනය ගැන නම්, එය සටන් කරනු ඇත්තේ මිනිසුන් ජීවත්වන තැන්වල ය, එමෙන් ම ‘මගේ අදහසට අනුව, එය සටන් කරනු ඇත්තේ, නාගරික ප‍්‍රදේශවල ය.’” මිලර් මෙසේ ද පවැසී ය, “එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් එහි දැවැන්ත ගම්‍යයන් තිබේ.”

ගනන් බලා ඇති පරිදි 600,000ක් ලමුන් ද ඇතුලුව, මොසුල් නගරයේ ත‍්‍රස්ත කෙරුනු ජනතාව එක්සත් ජනපද මිලිටරිය විසින් යොදා ගැනෙමින් සිටින්නේ, එවැනි මෙහෙයුම් සඳහා තම හමුදා සූදානම් කිරීමේ දඩමීමුන් ලෙස ය. ලාභ පද්ධතිය විසින් ඇති කරන ලද විශාල සමාජ ධ‍්‍රැවාන්තගතවීම සලකා බලන විට මෙය අනිවාර්ය බව එය දකි යි. එවැනි අනාගත නාගරික සටන් ගෙන යනු ඇත්තේ, යුද්ධයෙන් වැනසුනු රටවල පමනක් නො ව, ඇමරිකාවේ ම නගර තුල බව ඉතා හොදින් පැහදිලි ය.

ක‍්‍රමානුකූලව ක්‍රියාවට දැමෙමින් තිබෙන්නා වූද, ලෝක යුද්ධයේ බීජ ඇත්තා වූ ද මිලිටරි රුධිරස්නානනයට කිසිදු සංවිධානාත්මක විරුද්ධත්වයක් නැති කම බොහෝ අසාමාන්‍ය දෙයකි. කොංග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දෙන ජනරාල්වරුන්ගේ පෙරෙට්ටුවට, දේශපාලන සංස්ථාපිතය තුලින් ලැබෙන්නේ අන් කිසිවක් නො ව, ඩිමොක‍්‍රටිකයන්ගේ මෙන් ම රිපබ්ලිකානුවන්ගේ අධික යටහත්පහත් කම පෙන්වන ප‍්‍රශංසාවන් ය. කලෙක යුද්ධයට විරුද්ධත්වය පෑවා වූ ද දැන් ඩිමොක‍්‍රටික් පක්ෂය වටා භ‍්‍රමනය වන්නා වූ ද සංවිධාන නිශ්ශබ්දව සිටී, නැත්නම් බොහෝ විට, අධිරාජ්‍යවාදී සංහාරය සඳහා මානවවාදී හෝ “වාම” නිර්දෝෂිභාවයක් සැපයීමට ඔවුන්ට කල හැකි දේ මොනවා දැ යි සොයා බලති.

අවසාන විග‍්‍රහයේ දී එක්සත් ජනපද මිලිටරියේ හා එහි ජ්‍යෙෂ්ට අනදෙන්නන්ගේ යෝධ බලය හා බලපෑම තිබියදී වුවත්, ලෝක යුද්ධය සඳහා වන තල්ලූව මුල් බැස ගන්නේ, ට‍්‍රම්ප් විසින් ජනරාල්වරුන් මුදා හැරීම තුල නො ව, ගෝලීය ධනවාදයේ අර්බුදය මෙන් ම, වොෂින්ටනය පෙරමුන ගෙන තිබෙන, සෑම ධනේශ්වර බලවතතෙකු ම යලි සන්නද්ධවීමට හා මිලිටරිවාදයට තල්ලු කෙරෙමින් තිබෙන, තරඟකාරී ජාතික රාජ්‍යයන්ට ලෝකය බෙදීයාම තුල ය.

බිල් වෑන් ඕකන්

Share this article: