සයිටම් විරෝධී උද්ඝෝෂනය සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය ගැන යලිත්

ඩබ්ලිව්. ඒ. සුනිල් සහ කේ. රත්නායක විසිනි, 2017 අප්‍රේල් 15

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ආන්ඩුවට පවරා ගන්නා ලෙස බල කිරීම සඳහා සිසුන් හා වෛද්‍යවරුන් මෙහෙයවා ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය (රවෛනිස) ගෙන යන උද්ඝෝෂනය අවුරුද්දකටත් වැඩි කාලයක් දික් ගැසී ඇත. අප්‍රේල් 7 දා පැවති උද්ඝෝෂන පෙලපාලියට වෛද්‍යවරුන්, සහ විශ්වවිද්‍යාල සිසුන් දහස් ගනනක් සහභාගි වූහ.

අවිශිබම හා රවෛනිස සයිටම් විරෝධී උද්ඝෝෂන ක්‍රියා එම ආයතනය රජයට පවරා ගන්නා ලෙස බල කිරීමේ ව්‍යාපාරයකට කොටුකර ඇතත් පසුගිය මාසවල සිසුන් සහ වෛද්‍යවරුන් දහස් ගනනින් ඒවාට සහභාගිවීමෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය ද ඇතුලු සමාජ හා ජීවන අයිතීන්ට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව එක දිගට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන්, සිසුන් හා දුගීන් අතර කැකෑරෙන විරුද්ධත්වයයි.

එක දිගට යන සැලකියයුතු බලපෑමක් එල්ල වී ඇතත් එය නොතකා සයිටම් ආරක්ෂා කිරීමට ආන්ඩුව ක්‍රියා කරන්නේ හේතු දෙකක් නිසා ය. පලමු හේතුව, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ මොනම කොටසක්වත් බලපෑමට යට නොවන බව මහා ජනතාවට තරයේම අනතුරු ඇඟවීමයි. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත සමාජ හා ජීවන අයිතීන් සමතලා කිරීම කුමන හේතුවක් නිසා වත් අත් නො හරින බව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට දැනුම් දී එහි ආරක්ෂාවට ආන්ඩුව කැපවී සිටින බවට සහතික වීමයි.

ලෝක ධනවාදයේ අර්බුදයෙන් බැටකමින් හා බරපතල නය අර්බුදයකින් පෙලෙන ලාංකාවේ ධනපති පන්තිය හා එහි අධිරාජ්‍ය ගැති ආන්ඩුව විදේශ ආයෝජන කැඳවා ගැනීමේ මංමුලා සහගත තරඟයක යෙදී සිටියි. සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිපත්ති වලින් අඩියක්වත් ආපස්සට නොගන්නා බව පෙන්නුම් කර ඇති ආන්ඩුව ඒවා ක‍්‍රමානුකුලව ක‍්‍රියාවට දමයි.

විකල්පය කුමක් ද? අවිශිබම හා රවෛනිස දිගින්දිගටම ගෙනයන ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල දේශපාලනිකව නිස්සාර එකක් බව පැහැදිලිව ඇත. මෙම සංවිධානවල නායකයන් ඉල්ලා සිටින පරිදි බැරිම තැනකදී ආන්ඩුව සයිටම් රජය සතු කර ගැනීමක් සිදුවේයැයි මොහොතකට උප කල්පනය කරමු. ආන්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුලු සමාජ අයිතීන්ට කෙටීමේ වැඩපිලිවෙල අත හරියි ද? එසේ යයි කිව හැක්කේ ධනේශ්වර ගැති තකතිරුවෙකුට හෝ ධනපති ක‍්‍රමය රැකීමට කැපවී ගත් වංචනිකයෙකුට පමනකි.

තතු එසේ වුව ද අවිශිබම හා රවෛනිස ආන්ඩුවට බලපෑම් දමා ප‍්‍රශ්නයට විසඳීමක් ලබා දිය යුතුයි අවධාරනය කරමින් අධ්‍යාපන අයිතිය රැක ගැනීමට උනන්දු වී සිටින සිසුන්, වෛද්‍යවරුන් හා කම්කරුවන් මුලාවේ හෙලන්නේ ඇයි? එම මුලාව තද කිරීමට ඔවුන් දැන් නිදහස් අධ්‍යාපනය වල දැමීමට ක්‍රියා කල එක පාලකයෙක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා වත්මන් ආන්ඩුවේ කොටස් කාරයෙකු වන අන්ත වර්ගවාදී ජාතික හෙල උරුමය සමග කඳවුරු බැඳගෙන ඇත.

එම කඳවුරට වාම පලිප්පුවක් දැමීම සඳහා අවිශිබම මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ක්‍රියා කරයි. මේ ව්‍යාජ වාම පක්ෂ දෙකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයට පිටුපසින් අතදමා මෙහෙයවූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමට වක‍්‍රව සහාය දුන්නේය.

අවිශිබම කලක් ජවිපෙන් දුර්නායකත්වය ලබමින් සිට දැන් පෙසප දේශපාලන අධිකාරිය යටතට පත්ව සිටියි. සිසුන්ගේ තරුන ජවය, පෙසප හා අවිශිබම විසින් විප්ලවවාදී සමාජවාදී අරගලයෙන් ඉවතට හරවා යොමු කර ඇත්තේ ධනපති පන්තියට කන්නලවු කිරීමේ දේශපාලනයකට ය. විවිධාකාර රැඩිකල් දේශපාලන පූච්චානම හා සංදර්ශන තුලින් අවිශිබම නායකයන් හා පෙසප සඟවා ගෙන ඇත්තේ ග්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොඩෙමොස් ආදී සංවිධාන මෙන්ම තමන් ද ගෙනයන ධනපති ගැති දේශපාලනය යි.

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් රැක ගැනීමේ සැබෑ විකල්පය කුමක්ද? සමාජවාදී ක‍්‍රමයක් තහවුරු කිරීමයි. මෙය අවස්ථාවාදීන් හඳුන්වන ආකාරයට මන්තරයක් හෝ සුත‍්‍රයක් නොවේ. ගුනාත්මක අධ්‍යාපනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කල හැක්කේ ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනපති ක‍්‍රමය පෙරලා දමා මිනිස් උවමනාකම් සඳහා නිෂ්පාදනය කිරීමට ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනකි. ඒ සඳහා, ලාබ ගැරීම අරමුනු කරගත් මහා ව්‍යාපාර, විශාල වතු සමාගම් හා බැංකු කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන, විදේශ නය ගෙවීම නිෂ්ප‍්‍රභා කරන වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතුය. මෙම අරගලය ලෝක සමාජවාදය සඳහා කරන සටනේ කොටසකි.

ධනේශ්වර ක‍්‍රමය තුල ප‍්‍රමුඛතම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කොටසකින් ම ස්වාධීනව, ධනවාදයේ ප‍්‍රහාරයෙන් බැටකන ගම්බද දුගීන්, සිසුන් හා වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයන් තමන් වටා රැලිකරගෙන සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවිය යුතුය. සැබෑ විකල්පය මෙයයි.

සයිටම් විරෝධී ව්‍යාපාරය ලෙස සංවිධානය වී සිටින හා එහි බලපෑම් දැමීමේ විරෝධතා වැඩපිලිවෙලට සහයෝගය දෙන සියලු සංවිධාන මෙම වැඩපිලිවෙලට විරුද්ධ ය. ධනපති පක්ෂ පසෙක තැබුවත්, රවෛනිස හා අනෙකුත් වෘත්තීය සමිති ධනපති ක‍්‍රමයට හා රාජ්‍යයට ගැට ගැසී ඇති සංවිධානයන් ය. රවෛනිස රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පුද්ගලීකරනයට මුලුමනින්ම පක්ෂ ය.

තමන්ට වාම වෙස් මුහුනක් දමා ගැනීම සඳහා, සමාජවාදය හා මාක්ස්වාදය ගැන -ඒවායේ සැබෑ අර්ථය විකෘත කරමින්- කතා කරන පෙසප හා එසප ධනේශ්වර සංවිධානවලට කොඩිය වනන්නන් ලෙස ක්‍රියා කරයි. මෙම සංවිධාන සමාජවාදය හා මාක්ස්වාදය සඳහා අරගලය සමග කිසිත් සම්බන්ධකමක් ඓතිහාසිකවම නොපැවතුනි. ඔවුන් ඉදිරිපත් වී සිටින්නේ, සමාජවාදය ද මාක්ස්වාදය ද අවලංගුවී ඇතැයි ධනපති පන්තියේ දේශපාලන මූලෝපාය සකසන්නන් පෙරට දැමු ප‍්‍රතිගාමී ප‍්‍රචාරය වැලඳගෙන සමාජවාදය සඳහා සටන වැලැක්වීමට යි.

සමිති නායකයන්ගේ මග ඇහිරීම් තිබියදීම කම්කරුවන් අරගලවලට ඒම, සිසුන්ගේ නො නවතින උද්ඝෝෂන හා ගම්බද පෙරලිකාරිත්වය පෙන්නුම් කරන්නේ බරපතල සමාජ පිපිරීමක කොන්දේසි මෝදුවී ඇති බවයි. ලෝක පරිමානව මෙම වර්ධනයන් දකිත හැක. ලෝක ධනවාදයේ බරපතල අර්බුදයක් තුල, ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාවන් මත කම්කරු පන්තියේ හා අනෙකුත් ජන කොටස්වල අයිතීන් තලා දැමීමට ද ලෝකය මත්තේ තම රටවල අධිකාරිය පිහිටුවා ගැනීමේ ගැටුම් කරා යමින් විනාශකාරී ලෝක යුද්ධයකට මානව සංහතිය ඇද දැමීමට යයි. පන්ති අරගල තීව‍්‍ර වෙමින් විප්ලවවාදී අරගල පැන නගින්නේ මේ ප‍්‍රතිගාමී ක්‍රියාවන්ට එරෙහිවයි.

අද සෑම රටකම විප්ලවවාදී කොන්දේසි වැඩෙන තතු තුල සමජවාදී වැඩපිලිවෙලට එරෙහිව අවස්ථාවාදී බලවේගවල ක්‍රියාකාරිත්වය උත්සන්න වී ඇත. ලංකාවේ සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගල තුලදී පෙන්නුම් කෙරෙන්නේ සමාජවාදයට එරෙහි අවස්ථාවාදීන්ගේ ක්‍රියාකලාපයේ එක් පැති කඩකි. ඔවුහු සිසුන් හා වෛද්‍යවරුන් දේශපාලනිකව නිරායුධ කරමින් ධනපති පන්තියේ ද එහි ආන්ඩුවේ ද අත් ශක්තිමත් කරති. ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති හා අනෙකුත් අවස්ථාවාදීන් කම්කරුවන් හා තරුනයන් සමාජවාදී අරගලයෙන් බලමුලු ගැන්වීම වලක්වා ශක්තිමත් කරන්නේ ප‍්‍රතිවිප්ලවවාදී බලවේගයන් ය.

සිතන මතන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂයත් (සසප), සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජතශි) සංවිධානයත් ඉල්ලා සිටින්නේ වත්මන් අරගල තුල මතුවී ඇති මෙම දේශපාලන ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් ඓතිහාසික පාඩම් වෙතට හැරෙන ලෙසයි.

පසුගිය සියවසේ මුල දශක දෙකකට ආසන්න කාලයක් ලෙනින් කම්කරු ව්‍යාපාරය තුල ආර්ථිකවාදීන් හා ප‍්‍රතිසංස්කරනවාදීන් ඇතුලු අවස්ථාවාදීන්ට එරෙහිව ක්ෂමා විරහිත අරගලයකින් කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගුවේය. මීට සිය වසකට පෙර, 1917 දී රුසියාවේ සමාජවාදී විප්ලවයට නායකත්වය දුන්නේ එම පක්ෂයයි.

සිසුන්ගෙන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් මෙන්ම කම්කරු පන්තියේ හා තරුනයන්ගේ සිතන මතන කොටස් වලින් සසප හා සසජාතශි ඉල්ලා සිටින්නේ මෙම විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට එක්වන ලෙසයි.

Share this article: