ට‍්‍රම්ප් පාලනය දඩබ්බර ලෙස කොරියාව සමග ගැටුම උග‍්‍රකරයි

Trump administration recklessly escalating the conflict with Korea

2017 අප්‍රේල් 17

ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මිලිටරි ගැටුමක තර්ජනය පසුගිය සති අන්තය පුරා අනවරතව උත්සන්න කරමින් පැවතුනි. රටවල් දෙක අතර ආතතීන් අඩු කිරීමට උත්සාහ කිරීම කෙසේ වෙතත්, එක්සත් ජනපදය විසින් දියත් කරනු ලබන මිලිටරි මෙහෙයුමක හැකියාව පිලිබඳව ට‍්‍රම්ප් පරිපාලනය දිගටම වහසි බස් කියමින් සිටියි.

වාර්තාවන ආකාරයට, 16දා උතුරු කොරියාව දිගු දුර බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ නමුත් එය අසාර්ථක වී තිබේ. ඇමරිකානු මාධ්‍ය අනුමාන කරන්නේ, එක්සත් ජනපදය රහසිගතව කල කඩාකප්පල් කිරීමක් මෙයට වගකිවයුතු බව යි. ට‍්‍රම්ප් පාලනයේ නිලධාරීන් එයට තම සම්බන්ධතාව ප‍්‍රතික්ෂේප කිරීමක් හෝ පිලිගැනීමක් සිදුකර නැති නමුත්, එක්සත් ජනපදය වසර ගනනාවක් තිස්සේ උතුරු කොරියාව එල්ලකොට මෙවැනි තාක්ෂනයන් වර්ධනය කර ඇත.

ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් එච්.ආර්. මැක්මාස්ටර් 16දා උදෑසන ඒබීසී හි “දිස්වීක්” වැඩසටහනට සම්බන්ධ වෙමින් ප‍්‍රකාශ කලේ, “තත්වය හුදෙක් එකදිගට පැවතී යාමට ඉඩ දිය නොහැකි” බව යි. “ජනාධිපති හොඳින්ම පැහැදිලි කර ඇත්තේ, හරියටම ඔහු කරන්න යන දේ කල් තියා නිවේදනය කිරීම ඔහුගේ කාර්යය නොවන බව” යි, ඔහු වැඩිදුරටත් කීවේ ය.”

එක්සත් ජනපදයේ අරමුනු පිලිබඳ මෙම දැනුවත් අවුල්කිරීම අන්කිසිවකටත් වඩා සේවය කරන්නේ, පූර්වභංග ඇමරිකානු මිලිටරි ප‍්‍රහාරයක් සූදානම් කරමින් තිබේය යන උතුරු කොරියානු භීතිකාවන් වැඩිකිරීමට යි. එය, පාලනයකින් තොරව පිමිගනනින් වැඩෙන සිදුවීම් පිලිබඳ අනතුර අවධාරනය කරයි.

ට‍්‍රම්ප් පරිපාලනය ඊලඟට කිරීමට යන දේ සැබවින්ම කිසිවෙකු නොදනීය යන කාරනාව, 1960 ගනන් මුල දී සීතල යුද්ධයේ උච්චතම සමයටත් වඩා තත්වය වඩාත් බරපතල එකක් බවට පත් කරයි. ඉමහත් ලෙස ඓතිහාසික වාර්තාවන් තුල සටහන් කෙරී ඇති පරිදි, 1962 කියුබානු මිසයිල අර්බුදය අතරතුර, කෙනඩි පරිපාලනය අතිශයින්ම බියට පත්ව සිටියේ, එහි කි‍්‍රයාවන් සෝවියට් සංගමය විසින් සාවද්‍ය ලෙස අර්ථකථනය කරමින් අනුක‍්‍රමයෙන් එය න්‍යෂ්ටික ගැටුමකට හේතූභූත වනු ඇතය යනුවෙනි.

එවැනි සලකා බැලීමක් අද දක්නට නැත. එපමනක් නොව, තමන්ට සුදුසු යැයි සිතෙන ආකාරයට කි‍්‍රයාන්විතයන්හි නිරතවීමට ප‍්‍රාදේශීය මිලිටරි අනදෙන නිලධාරීන්ට අනපැනවීමට බලය තිබෙන බවට ට‍්‍රම්ප් විසින් පුරසාරම් දෙඩීමේ කාරනය අනතුර තවදුරටත් උග‍්‍රකරයි. එහි අවි ගබඩාවේ විශාලතම න්‍යෂ්ටික-නොවන ගිනි අවියක් වන යෝධ ගුවන් ස්ඵෝඨන බෝම්බය(එම් ඕඒබී) පසුගිය සතියේදී භාවිතා කිරීමට ගත් තීන්දුව ගනු ලැබුවේ ඇෆ්ගනිස්ථානයේ හමුදා නිලධාරීන්ය යන්න පරිපාලනය විසින් දැන ගැනීමට සලස්වා ඇත. උතුරු කොරියාව, චීනය, රුසියාව හෝ ඉරානය වේවා, එක්සත් ජනපදයේ ඕනෑම ශක්‍ය ඉලක්කයක් පිලිබඳව, පාලනය හසුරුවන්නේ කවුරුන්ද යන්න ගැන නොතකා, ගනන් නැති තීන්දු තීරන ගැනීමට හැකියාව ඇත්තවුන් විසින් ගනුදෙනු බේරාගනු ලබමින් සිටී.

ට‍්‍රම්ප් පාලනය හා මිලිටරියෙන් ඔබ්බට, එක්සත් ජනපදයේ සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය යුද සන්නිපාතය මගින් අලලා ගෙන ඇත. ප‍්‍රධාන පුවත්පත් හා රූපවාහිනී ජාල ආන්ඩුවේ ප‍්‍රචාරනය මිස, වෙන කිසිවක් එලියට දමන්නේ නැත. යුද්ධයක ප‍්‍රතිවිපාක ගැන අවංක තක්සේරුවක් තබා, වොෂින්ටනය වමාරමින් තිබෙන යුදවාදී පූච්වානම් පිලිබඳ කිසිදු විවේචනාත්මක ඇගයීමක් කොහොත්ම දක්නට නැත.

උතුරු කොරියාව සමග ගැටුම වටා ගෙතූ ආන්ඩුවේ නිල ආඛ්‍යානය කිසිදු අභියෝගයකට ලක්නොවී දිගටම පවතී. පසුගිය සියවස් කාර්තුව පුරා එක්සත් ජනපදය විසින් දියත් කල අනෙකුත් සෑම යුද්ධයකදී කලාක් මෙන්, ගැටුම අතිශය නරුම හා බොලඳ වදන්මාලාවන් තුලින් පැහැදිලි කෙරේ. පැනමාවේ නොරියේගා, ඉරාකයේ සදාම් හුසේන්, සර්බියාවේ මිලසොවික්, ලිබියාවේ ගඩාෆි, සිරියාවේ අසාද් හා රුසියාවේ පුටින් සම්බන්ධයෙක් කලාක් මෙන්, උතුරු කොරියාවේ කිම් ජොංග්-වුන් “පිස්සු ඒකාධිපතියෙක්,” ලෙස පින්තාරු කරමින් ගැටුමක් අවුලූවමින් ලෝකයේ සාමයට තර්ජනය කරමින් තිබේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ආයුධ හා බැලස්ටික් මිසයිල වැඩසටහන කිසිදු සහේතුක පැහැදිලි කිරීමකින් තොරව, සාපරාධී හා උමතු ව්‍යාපාරයක් ලෙස හෙලා දැක ඇත.

මෙම වංචනික හා නරුම ආඛ්‍යානයේදී, කොරියානු ජනතාව මුහුන දුන් අධිරාජ්‍යවාදී පීඩනයේ ඉතිහාසය ගැන: එනම් 1910 හා 1945 අතර මෘග ජපන් යටත් විජිත වාඩිලා ගැනීමේ වසර 35 හා, 1950 හා 1953 අතර එක්සත් ජනපදයේ උතුරු කොරියාවට එරෙහි එහි යුද්ධය අතරතුර, බිලිගත් ආසන්න වසයෙන් කොරියානුවන් මිලියන තුනකගේ මරන සංඛ්‍යාව ගැන කිසිදු සිහිපත් කිරීමක් ඇත්තේ නැත. කොරියානු යුද්ධය පුරා ම, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සඳහා ඇමරිකානු මිලිටරිය පීඩනය යෙදුවේය යන කාරනය ගැන එක්සත් ජනපද මාධ්‍ය කිසිවක් කියන්නේ නැත.

උතුරු කොරියාව යනු, ලොව බලවත්ම අධිරාජ්‍යවාදී රාජ්‍ය විසින් විනාශ කිරීමට තර්ජනය කරන, මහා බලයන්ගේ ආක‍්‍රමනයට පීඩනයට ලක්වීමේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කුඩා රටක් ය යන්න දේශපාලන කරුනකි. පියොන්යෑන් තන්ත‍්‍රයේ ප‍්‍රතිපත්ති කිසිම ආකාරයකින් අනුමත කිරීමෙන් තොරවම, එය, සිය පැවැත්ම සඳහා න්‍යෂ්ටික අවි අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට අපහසු නැත. “තම ආක‍්‍රමනයේ ඛේදනීය ගොදුරු වූ ඉරාකයට හා ලිබියාවට සැලකූ අයුරින් හෝ පහරදීමට ලක්වීමෙන් පසු පවා ඉක්මනින් ප‍්‍රතිචාර නොදැක්වූ සිරියාවට සැලකූඅයුරින් අප සමග ගනුදෙනු කල හැකියැයි එක්සත් ජනපදය සිතන්නේ නම් එයට වඩා මෝඩකමක් තවත් නොතිබෙනු ඇතැ” යි පියොන්යෑන් නිල කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය නිකුත් කල ප‍්‍රකාශකයකදී, උතුරු මහජන හමුදාවේ මහා මන්ඩලය සඳහා ප‍්‍රකාශකයෙක් කීවේ ය.

එක්සත් ජනපදය, උතුරු කොරියාවට තර්ජන කිරීම පිටුපස, ඇමරිකානු නිලධාරීන් හා මිලිටරි මූලෝපායඥයන් විසින් ප‍්‍රමුඛ දිගු-කාලීන ආර්ථික හා භූ දේශපාලනික තරඟකරුවා ලෙස දකින, චීනය සමග වඩාත් මූලික ගැටුම, පිහිටා ඇත. කොරියානු අර්ධද්වීපය පිලිබඳ උද්ඝෝෂනය හරි මැද පවතින්නේ ආසියා-පැසිෆික් කලාපය පුරා එක්සත් ජනපද ආධිපත්‍යය පිලිිගැනීමට ද න්‍යෂ්ටික අවි සතු වන චීනයට, බල කිරීමේ උත්සාහය වේ.

නැගෙනහිර ආසියාව වෙත ලෝකයේ අවධානය යොමු කර තිබියදී පවා එක්සත් ජනපදය, න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇවිලවිය හැකි තවත් පුපුරනසුලූ ස්ථානයක්වන සිරියාවට සහ රුසියාවට එරෙහි සිය උද්ඝෝෂනය තීව‍්‍රකරමින් සිටී.

සිරියානු ආන්ඩුව රසායනික අවි ප‍්‍රහාරයක් දියත් කලේ ය යන තවමත් පූර්න වසයෙන් තහවුරු නොකල චෝදනාවන් මත එල්ලී, සිරියාවට එරෙහි මිලිටරි ප‍්‍රහාරයක් යන්තම් සතියකට පෙර, දියත් කරන ලදි. සිකුරාදා (14දා) රුසියානු, ඉරාන හා සිරියානු විදේශ ඇමතිවරු, සිරියානු ආන්ඩුවට එරෙහිව තවදුරටත් ප‍්‍රහාර, “කලාපීය පමනක් නොව, ගෝලීය ආරක්ෂාවට බරපතල ප‍්‍රතිවිපාක” උදාකල හැකිබව, එනම්, එය ලෝක යුද්ධය අවුලුවා ලිය හැකි බව ප‍්‍රකාශ කරමින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කලෝ ය.

ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ මදාවිකාර ස්වභාවය දැකගත යුත්තේ, ලෝක ධනේශ්වර පද්ධතියේ, පුලුල් ජාත්‍යන්තර අර්බුදයක සන්දර්භය තුල ය.

වැඩි වැඩියෙන්, ඇමරිකානු පාලක පන්තිය යුද්ධය දැකගනු ලබන්නේ, අන්තර් සම්බන්ධිත ගෝලීය හා දේශීය අර්බුද මාලාවකින් ගොඩයාමට ඇති එකම මාර්ගය වසයෙනි. ආර්ථික වර්ධනය ගැන නිල ගෝසාව තිබියදී, 2008 ආර්ථික අර්බුදයෙන් ඉක්බිත්තේ වැඩුනු වත්කම් බුබුලු අවදමන පුපුරායාමක ශක්‍යතාව පිලිබඳව පාලක ප‍්‍රභූව හීතියට පත්ව සිටී. වෙලඳපල කඩා වැටීම හා මූල්‍ය බංකොලොත් බව ඉහල යාම ආරම්බ වීම පිලිබඳ ඇඟවීම් දැනටම පවතියි.

ආර්ථික ආතතීන්, ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් අතර ගැටුම් උත්සන්න කරමින් තිබේ. යුරෝපා සංගමය හා නේටෝ සන්ධානය බිඳ වැටෙමින් පවතී. යුරෝපීය හා ගෝලීය ආර්ථික හා මිලිටරි බලයක් ලෙස ජර්මනිය යලි තහවුරු කර ගනිමින් සිටී. බ්‍රෙක්සිට් වලින් ඉක්බිතිව, ජාතිකවාදී බලවේග හිස ඔසවමින් සිටී.

එක්සත් ජනපදයේ හා යුරෝපීය පාලක ප‍්‍රභූවේ බලගතු කොටස් විස්වාස කරන්නේ, පොදු සතුරෙකු හඳුනා ගැනීම හා ඉලක්ක කිරීම මගින් පවත්නා ලෝක පර්යාය විනාශ කිරීමට තර්ජනය කරන කේන්ද්‍රාපසාරී පීඩනයන් අභිබවනය කල හැකි බව යි. එක්සත් ජනපදය හා ප‍්‍රධාන යුරෝපීය රටවල් විසින් රුසියාව කෙරෙහි ගනිමින් තිබෙන වැඩෙන ආක‍්‍රමනශීලී ආස්ථානය මගින් අවධාරනය කරන්නේ මෙම අභිප‍්‍රාය යි.

යුද්ධය කරා එක්සත් ජනපදය ධාවනය කරන තවත් තීරනාත්මක සාධකයක් පවතී. පාලක පන්තිය, සමාජ අසහනයේ දැවැන්ත පරිමාව පිලිබඳ තියුනු ලෙසම දැනුවත් ය. සමාජ හා දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම හා සාපරාධිකරනය කිරීම සඳහා රාමුවක් නිර්මානය කරන අතරේ සමාජ ආතතීන් වෙනතක යොමු කිරීමේ මාධ්‍යයක් ලෙස යුද්ධය හඳුනාගෙන තිබේ.

සංස්ථාපිත මාධ්‍යයේ නිමක් නැති ප‍්‍රචාරනය තිබියදීත්, ආන්ඩුව කෙරේ ගැඹුරින් මුල්බැසගත් අවිස්වාසයක් හා යුද්ධය කෙරේ විරුද්ධත්වයක් පවතී. එහෙත් යුද විරෝධී මනෝගතීන්, නිල දේශපාලනයේ රාමුව තුල ප‍්‍රකාශනයක් සොයා ගන්නේ නැත. ඩිමොක‍්‍රටික් පක්ෂය, උමතු සහගත රුසියානු විරෝධී ව්‍යාපාරයක් ගෙන යමින් ද සිරියාව තුල මිලිටරි මෙහෙයුම් උත්සන්න කරන ලෙස ද බලකරමින් සිටී. පසුගිය සතියේ දී පමනක්, සිරියාව වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට, උතුරු කොරියාවට එරෙහි උද්ඝෝෂනයට සහ ඇෆ්ගනිස්ථානය තුලට යෝධ එම් ඕඒබී බෝම්බ හෙලීමට සහයදීම සඳහා ඩිමොක‍්‍රටිකයෝ කඩිනමින් ඉදිරිපත්වූහ.

ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරය, යුද්ධය පිස්සුවක් බවත් උසස් අවි (න්‍යෂ්ටික හා න්‍යෂ්ටික නොවන) යොදාගෙන කෙරෙන ගැටුමක් ව්‍යසනයක් කරා මෙහෙයවනු ඇති බවත් දනිති. ප‍්‍රධාන යුද්ධයක පැන නැගීමේ හැකියාව කෙතරම් බියකරුද යත්, එවැන්නක් සිදුවිය හැකි යැයි සිතීමට මහජනයා තමන්ව පොලඹවා ගැනීමෙන් වැලකී සිටිති. ඒ හෝ මේ ආකාරයට, ඔවුන්ට විස්වාස කිරීමට අවශ්‍ය වන්නේ, ආන්ඩු යුද්ධයක අද්දරදී පසුබානු ඇත යන්න යි.

නමුත්, මේ බලාපොරොත්තුව මායාවකි. යුද්ධයක අන්තරාය මුල්බැස ඇත්තේ, ධනවාදය, අධිරාජ්‍යවාදය සහ ජාතික රාජ්‍ය පද්ධතියේම අතිමූලික ස්වභාවය තුලම ය. දේශපාලන නායකයන්ගේ අපරීක්ෂාකාරීබව, මිලියන ගනනකගේ ජීවිත සමග ඇදහිය නොහැකි අවදානමක් ගැනීමට ඔවුන්ගේ කැමැත්ත වනාහී වෛෂයික අර්බුදයක ආත්මීය ප‍්‍රකාශනයකි.

නිමක් නැති යුද්ධයක ශතවර්ෂ කාලක් හා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” විසිපස් වසර, ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් පැටලෙන ගැටුමක් බවට වර්ධනය වෙමින් තිබේ. වත්මන් අර්බුදය එවන් යුද්ධයක් බවට පුපුරා නොගියත්, තවත් අර්බුදයක් අනතුරුව එනු ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධය කෙරේ විරුද්ධත්වය මුල්බැසගත යුත්තේ, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ය. තමන්ගේ ජීවිත හා ජීවිකාවන්වලින් යුද්ධයට වන්දි ගෙවනු ඇත්තේ කම්කරු පන්තිය යි.

දැවැන්ත මිලිටරි යන්ත‍්‍රයට අවශ්‍ය වියදම්වලට ගෙවනු ඇත්තේ, සෞඛ්‍ය සේවා, විශ‍්‍රාම වැටුප්, වැටුප් හා සමාජ වැඩපිලිවෙලවල් විනාශ කිරීම මගිනි. ධනේශ්වර-විරෝධී කි‍්‍රයාමාර්ගයක් මත ජාත්‍යන්තරව ඒකාබද්ධවූ කම්කරු පන්තිය, සමස්ත මිනිස් වර්ගයාට තර්ජනය කරන උමතුවට නිමාවක් ගෙනා හැකි එකම සමාජ බලවේගය යි.

යුද්ධය නතර කිරීමට හැකි එක ක‍්‍රමයක් පමනක් පවතී. ඒ, ධනේශ්වර-අධිරාජ්‍යවාදී යුද උම්මත්තකයන්ට එරෙහිව එක්සත් ජනපදය තුලත් ලෝකය පුරාත් මිලියන සංඛ්‍යාත වැඩකරන ජනයා හා තරුනයින් දේශපාලනිකව බලමුලුගැන්වීම හරහා ය.

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, ලෝකය පුරා එහි සහෝදරාත්මක සංවිධාන සමග සහයෝගීව, පාලක ප‍්‍රභූවේ යුද පිලිවෙත් හෙලාදකින විරෝධතා පෙලපාලි හා රැස්වීම් සංවිධානය කිරීමට කැඳවුම් කරයි. සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම්වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තීරනාත්මක ය. විද්‍යාවට එල්ලවූ ප‍්‍රහාරයට එරෙහිව අපේ‍්‍රල් 22 දා පවත්වන ජාත්‍යන්තරව ඒකාබද්ධ විරෝධතාද ඇතුලුව, විරුද්ධත්වය ප‍්‍රදර්ශනය කරන සෑම විරෝධතාවකදීම හා ප‍්‍රකාශනයකදීම යුද්ධයට එරෙහි අරගලය ඉස්මත්තට ගත යුතු ය. විද්‍යාව, හේතුවාදය, ප‍්‍රගතිය හා මනුෂ්‍යත්වයම ආරක්ෂා කරගැනීමම යුද්ධයට එරෙහි සටනින් වෙන් කල නොහැකි ය.

අපේ‍්‍රල් මස 30දා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එහි වාර්ෂික ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය සංවිධානය කරයි. රැලියේ කේන්ද්‍රය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන යි. හජජාකය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම රැලියට සහභාගි වෙමින් එය ගොඩ නගන ලෙස යි. උසස් අධ්‍යාපන ආයතනවල හා නිවහන් ප‍්‍රදේශවල යුද්ධයට එරෙහිව රැස්වීම් සහ පෙලපාලි සංවිධානය කරන්න. සෑම කම්හලක හා වැඩබිමකම යුද්ධයට එරෙහිව සටන් ඉදිරියට ගැනීමට සහයෝගි වන්න.

අධිරාජ්‍යවාදී යුද්ධය හටගන්වන පරස්පර විරෝධතාවන් ම, සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය වෛෂයික පදනමද සම්පාදනය කරයි. හදිසි අවශ්‍යතාව වන්නේ, සමාජ අසමානතාවට, දේශපාලන මර්දනය හා ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සටන සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කිරීමට කම්කරු පන්තිය සංවිධානය කිරීම සහ දේශපාලනිකව බලමුලු ගැන්වීම යි.

ජෝශප් කිශෝර් හා ඩේවිඩ් නෝත්

Share this article: