රුසියාවට එරෙහි ඇමරිකානු සම්බාධක යුරෝපය සමග ගැටුම උග‍්‍ර කරයි

US sanctions against Russia intensify conflict with Europe

පීටර් ෂ්වාස් විසිනි, 2017 අගෝස්තු 8

රුසියාවට එරෙහිව පනවා ඇති ඇමරිකාවේ ඒක පාර්ශවික සම්බාධක වලින් පසුව, ඇමරිකාව හා යුරෝපය අතර ආතතීන් නාටකාකාර ලෙස තියුනුවී ඇත. ඇමරිකානු කොන්ග‍්‍රසයේ අති මහත් බහුතරයක ඡන්දයෙන් පනවන ලද සම්බාධක, ජර්මනිය විසින් අර්ථ දක්වා ඇත්තේ, යුරෝපයට එරෙහි වෙලඳ යුද්ධයේ පියවරක් ලෙසය.

සම්බාධකවල ඉලක්කය, ලෝකයේ ලොකුම ගෑස් අපනයනකරුවා හා දෙවන ලොකුම තෙල් සැපයුම්කරුවා වන රුසියාවේ බලශක්ති අපනයනයන්ය. මෙහි බලපෑම, නව ගිවිසුම් හා නල මාර්ග ඉදිකිරීමට පමනක් නොව, ජර්මනියට හා අනෙකුත් යුරෝපීය රටවලට බලශක්ති සැපයුම් සඳහා අතිශයින්ම වැදගත් වන, පවත්නා නල මාර්ග අලුත්වැඩියාව, නවීකරනය හා පවත්වාගෙන යාම කෙරෙහි ද වේ.

බලශක්ති ආනයන සීමාකිරීම හා මිල ගනන් ඉහල යාමට බල කෙරෙමින්, ආර්ථික වශයෙන් යුරෝපයට හානි කිරීමේ ඇමරිකානු උත්සාහය, ප‍්‍රමුඛ දේශපාලනඥයින්ගේ හා මාධ්‍ය සංස්ථාවල හෙලාදැකීමට ලක්ව තිබේ. තවත් ගෑස් අපනයනකරුවෙකු වන කටාරය, ඇමරිකාවේ සහචරයෙකු වන සව්දි අරාබිය විසින් අවහිර කරනු ලැබීම නිසා, ලෝක ගෑස් හිඟයක තර්ජනය මතුව තිබේ. ඇමරිකාවට එරෙහිව එල්ල කෙරෙන අනෙක් චෝදනාව, තම දේශීය ෂෙල් ගෑස් හා තෙල් කර්මාන්තයේ අපනයන වැඩිකර ගැනීමට එරට සම්බාධක දඩමීමා කර ගෙන ඇති බවය.

ඇමරිකාවෙන් මතු වන ගැටලු පිලිබඳව, රුසියාව සමග ව්‍යාපාර කටයුතුවල නිරත ජර්මානු සමාගම්, බිය පල කරති. වැඩිපුරම කනස්සල්ලට හේතුවී ඇති, “විශාල අවිනිශ්චිත භාවයක්” පිලිබඳව, ජර්මානු වෙලඳ හා කර්මාන්ත මන්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන මාටින් වැන්ස්ලෙබන් සඳහන් කරයි. රුසියානු සම්බාධක මුල්කරගෙන ඇමරිකාවේ ඇති ජර්මානු සමාගම්වල කටයුතු සීමාකලහොත්, ජර්මනිය සමග ඇමරිකාවේ වෙලඳාමෙහි වැදගත්කම සලකන කල එය, “මහම මෝඩකමක්” වනු ඇත.

එසේම ඇමරිකාව, යුරෝපීය සංගමය බෙදීමට හිතාමතාම කටයුතු කිරීම සම්බන්ධයෙන් ද හෙලාදැකීමට ලක්වේ. සම්බාධකවල එල්ලයවී ඇති, නෝර්ඩ් ස්ට්‍රීම් 2 යන නල මාර්ගය ගොඩනැගීම ගැන පෝලන්තය හා බෝල්ටික් රටවල් ද දැඩි විරෝධය පල කරයි. තම භූමිභාගයන් මගහැර කෙලින්ම ජර්මනිය රුසියාව සමග සම්බන්ධ කරන නල මාර්ගය මගින්, තමන්ගේ වියදමෙන් රුසියා-ජර්මානු සන්ධානයක් ගොඩනැගෙනු ඇතැයි මේ රටවල් බිය පල කරති. මෙහි ප‍්‍රතිපල වශයෙන් ඇමරිකාව සමග ගැටුමකදී පෝලන්තය හා බෝල්ටික් රටවල් වොෂින්ටනය සමග පෙල ගැසීමෙන්, යුරෝ සංගමය බිඳී යනු ඇති බවට කනස්සල්ලක් බ‍්‍රසල්ස් හා බර්ලිනයේ පැතිරෙමින් තිබේ.

පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, සම්බාධක නීතියට අත්සන් තැබීමෙන් පසුව, යුරෝ කොමිසමේ සභාපති ජීන් ක්ලව්ඩේ ජුන්කර්, දැඩි ප‍්‍රති පියවර ගන්නා බවට යලි වතාවක් තර්ජනය කර ඇත. ඇමරිකානු සම්බාධක, රුසියාව සමග ඉන්ධන ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික ගනුදෙනුවල යෙදී සිටින යුරෝපීය සමාගම් වලට සංයුක්ත අවාසියක් වන්නේ නම්, ඊට ගැලපෙන පරිදි දින ගනනක් ඇතුලත ප‍්‍රතිචාර දැක්වීමට යුරෝ සංගමය සූදානම් බව ජුන්කර් පැවසීය. “අපි සූදානමෙනි. ඇමරිකාවට විරුද්ධව අපගේ ආර්ථික ආසක්තයන් සුරැකීමට අපට සිදුවේ, අප කරනු ඇත්තේ එයයි.”

යම් කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ඇති ගැටුමේ මේ දක්වා සටහන් වන ඉහලම ලක්ෂ්‍යය, රුසියානු සම්බාධක මුල්කරගෙන ඇතිව තිබෙන මතභේදයයි. ඇමරිකාව හා යුරෝපයේ, විශේෂයෙන්ම ජර්මනියේ ආර්ථික හා දේශපාලන අවශ්‍යතා අතර ගැටුමේ වාරගනන වැඩිවෙමින් ඇත.

එක් නිදසුනක් නම්, චීනයෙන් කෙරෙන වානේ ආනයන වලට එරෙහිව ඇමරිකාව ගැනීමට යන පියවරයන් පිලිබඳව තියුනු මතභේද පැවතීමයි. ලාභ වානේ ගොඩගසන බවට යුරෝ සංගමය ද චීනයට දොස් පවරන නමුත්, වොෂින්ටනයේ දන්ඩන තීරු බදු, යුරෝපීය නිෂ්පාදකයින්ට ද එල්ල වනු ඇතැයි ඔවුන් බියපත්ව සිටියි. යුරෝපීය කොමිසම දැනටමත් ඇමරිකාවේ තීරු බදු වලට, දින ගනනක් තුල කෘෂිකාර්මික ආනයන මත සීමා පැනවීම මගින් ප‍්‍රතිචාර දැක්වීමට සැලසුම් සකස්කර ඇති බවට කටකථා පැතිර යයි.

ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු පිලිබඳ ජර්මානු ආන්ඩුවට සම්බන්ධ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයක්, ජූලි අවසානයේ “වෙලඳ පිලිවෙත: එක්සත් ජනපදය සමග දිග්ගැස්සෙන ගැටුම” යන මැයෙන් ලිපියක් පල කලේය. එය වෙලඳ යුද්ධයේ පියවර කැඳවුම් කරයි. “එය කැපී පෙනෙන අයුරින් එක්සත් ජනපද සමාගම්වල ලාභය පහත හෙලනු ඇති අතර, එරට රැකියා විශාල ප‍්‍රමානයකට බලපානු ඇති” බව සඳහන් කරමින්, ඇමරිකානු ආනයන සීමාකිරීමට ඉන් යෝජනා කර ඇත. එය හඳුනාගෙන ඇති එක් අංශයක් නම්, “මූල්‍ය අංශය ද ඇතුලු සේවා” අංශයයි. භාන්ඩ වෙලඳාම මෙන් නොව එහිදී යුරෝපා සංගමය අතිරික්තයක් හිමිකර ගනියි.

එබැවින් ගැටුම අවුලුවන්නේ එක්සත් ජනපදය පමනක් නොවේ. ලෝක බලවතෙක් ලෙස යලිත් වරක් ස්වාධීන ක්‍රියාකලාපයක් ඉටුකල හැකිවන පරිදි, යුරෝපයේ ප‍්‍රමුඛ බලවතෙක් බවට පත්වීම සඳහා ජර්මනියේ පාලක පන්තිය වසර ගනනාවක් තිස්සේ උත්සාහ දරමින් සිටියි. මෘග මිලිටරි බලය සමග ලෝක බලවතෙක් ලෙස තම තත්වය රැක ගැනීමට ක්‍රියා කරමින් සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග මෙ මගින් බර්ලිනය ගැටුමකට ඇද දමා ඇත.

ජර්මනියේ ප‍්‍රතිපත්ති සම්පාදනය කරන කොටස් තුල කෙරීගෙන යන සාකච්ඡා කෙරෙහි යමෙක් සිය අවධානය යොමුකරන්නේ නම්, ඇමරිකාව සමග ගැටුම නොවැලැක්විය හැකි බවත්, ඒ සඳහා එරට සූදානම් වෙමින් සිටින බවත් පැහැදිලි වනු ඇත. ඒ හුදෙක් ට‍්‍රම්ප් බලයට පත්වීම හා ඔහුගේ “පලමුව ඇමරිකාව” ප‍්‍රතිපත්තියෙන් පසුව නොවේ. ට‍්‍රම්ප් මුලින් විරුද්ධ වූ රුසියාවට සම්බාධක පැනවීමට, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් කොන්ග‍්‍රස් සභිකයෝ දෙගොල්ලගේම බහුතරයක් සහාය දැක්වීම අර්ථභාරීය.

ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පිලිබඳ ආයතනය සමග කටයුතු කරන ජර්මනියේ ප‍්‍රමුඛ බුද්ධි මන්ඩලයක් වන විදේශ කටයුතු පිලිබඳ ජර්මානු සමාජය ද “මීලඟ ෆෙඩරල් ආන්ඩුව හමුවේ ඇති විදේශ ප‍්‍රතිපත්ති අභියෝග” මැයෙන් පිටු 40ක ලිපිගොනුවක් ප‍්‍රසිද්ධ කලේය. එය ඉදිරිපත් කෙරෙන්නේ, ජර්මනියේ මහ බලවතෙකුගේ මිලිටරිවාදී පිලිවෙතේ උපදේශාත්මක ප‍්‍රකාශනයක් පරිද්දෙනි. එය “විදෙස් පිලිවෙතේ අභියෝග” දුසිමකින් එකක් ලෙස “ඇමරිකා එක්සත් ජනපදය පිලිබඳ දේශපාලන හා ආර්ථික අවදානම් සාධකය” හඳුනාගෙන තිබීම වැදගත්ය.

තවදුරටත් එය, රුසියාව, ආසියාව, MENA (මැදපෙරදිග හා උතුරු අප්‍රිකාව) කලාපය හා යුරෝපය ගැන සඳහන් කොටසේදී, ඇමරිකාව, තරඟකාරී විරුද්ධවාදියෙකු ලෙස යලි යලිත් හඳුන්වාදී ඇත. “රුසියාව සමග කටයුතු කිරීමේදී එක්සත් ජනපදය ද අවිනිශ්චිත භාවයේ වැදගත් සාධකයක්” වන බව එය කියයි. “එක්සත් ජනපදය හා චීනය අතර වැඩෙන තරඟකාරිත්වය නිසා, ඒ සමානම අවදානම ආසියානු කලාපය තුල ද මතුවෙමින් තිබේ.”

දැනටමත් ජර්මානු ආන්ඩුව “ජර්මනියේ ජාත්‍යන්තර හා යුරෝපීය භූමිකාව” සවිමත් කිරීමේදී අත්කරගෙන තිබෙන දේ එහි පෙලගස්වා ඇත. එසේම “ලෝකය තුල වඩාත් වගකිවයුතු” තැනක් අත්කර ගැනීම ද එය සැලකිල්ලට ගනියි. “යුරෝපීය සංගමය තුල ජර්මානු මැදිහත්වීම, රුසියාවට එරෙහි නායකයෙක් ලෙස කටයුතු කිරීම, එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු දූත මෙහෙවර වලදී හා මැදපෙරදිග ජර්මානු හමුදා මැදිහත්වීම්, නේටෝ මිතුරන්ගේ භූමි භාගයන් හි ජර්මානු හමුදා ස්ථානගත කිරීම” ඒ අතර වේ.

සිය විමර්ෂනය තුලින් එම වාර්තාව නිගමන දෙකකට එලඹෙයි. පලමුවැන්න, “විදේශ ප‍්‍රතිපත්තිය ජර්මනිය තුල සකස් කල යුතුය.” ඒ සඳහා ජර්මනියේ විදේශ හා ආරක්ෂක ප‍්‍රතිපත්ති එනම් මිලිටරියට, තවත් සම්පත් අවශ්‍ය කෙරේ, ඊට අමතරව “බල දේශපාලනය යොදාගැනීමට, ජාතික බල විකල්පය අවසාන තුරුම්පුව ලෙස තෝරාගැනීමට සූදානම් වන ජර්මානු විදෙස් පිලිවෙත් සම්පාදකයින්ගේ මානසික සම්බන්ධීකරනයේ වෙනසක්” අවශ්‍ය කෙරේ.

දෙවැන්න, “විදෙස් පිලිවෙත ජර්මනිය සඳහා සකස් විය යුතුය.” මෙහිදී කතුවරු ජර්මානු මිලිටරිවාදය සඳහා සමාජ පදනමක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගනිති.

නැතිනම් ඔවුන් කරන පරිද්දෙන්, මැඩගත් ආකාරයකින් විදෙස් පිලිවෙතේ කර්තව්‍යයන් පිලිබඳව ලියති. “එබැවින් ජනතාව මෙහෙයුමේ ඒකාග‍්‍ර ස්වාභාවය ගැන ඒත්තු ගැන්විය යුතුය.”

තවත් කතුවරයෙක් වන ඩේසේට් පත‍්‍රයේ මාධ්‍යවේදී ජොර්ග් ලාවු, ඒවන විටත් ඩීජීඒපී වෙබ් අඩවිය තුල සඳහන් කර තිබුනේ, ෆෙඩරල් මැතිවරනය, යලි සන්නද්ධ කිරීම හා මිලිටරිවාදය සඳහා ව්‍යාපාරයක් බවට පත්කරගත යුතුව ඇති බවයි. මිලිටරි අයවැය දදේනි සියයට 2 දක්වා නැංවීමේ සැලසුම්වලට විරුද්ධ වන්නන් ඔහුගේ දැඩි විවේචනයට ලක් විය. “ෆෙඩරල් මැතිවරනය අනතුරුදායක මිලිටරි තරකිරීමක් ලෙස චෝදනා නැගීමේ ජනමත විමසුමක් බවට පත්කරගන්නවා වෙනුවට, අප ජනතාවට පැහැදිලි කර දිය යුත්තේ, ජර්මානු ආරක්ෂක පිලිවෙතේ නව තර්කනයයි. එනම්, ට‍්‍රම්ප් නිසා නොව, ඔහු අන කරන නිසා නොව, ට‍්‍රම්ප් නොසිටියත් ඔහුගේ අරමුනක් නැති ප‍්‍රතිපත්තියට යමක් හරස් කල යුතු බැවින්, අපට ආරක්ෂාව සඳහා බොහෝ වියදම් දැරීමට සිදුවන බවයි.”

මෙහිදී සියලු සංස්ථාපිත පක්ෂ ලාවුට සහාය දක්වති. ට‍්‍රම්ප් බලයට පත්වීමත් සමගම වාගේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ සිග්මා ගේබ්‍රියෙල් පවසා තිබුනේ, ආසියාවට හා ලතින් ඇමරිකාවට එරෙහි ඔහුගේ වෙලඳ යුද්ධයේ පියවර, “අපට ද අවස්ථාවන් සලසන” බවය. “ආසියාව පුරා යුරෝපය සඳහා නව අවස්ථාවන් ඇමරිකානු ආරක්ෂනවාදයෙන් විවෘත වන්නේ නම්, අප ක්‍රියාත්මක විය යුතුය” ඔහු පැවසීය. ඉන් ටික කලකට පසුව ගේබ්‍රියෙල්, ආර්ථික අමාත්‍යාංශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට හැරෙමින් ඇමරිකාව සම්බන්ධයෙන් වඩා දැඩි පිලිවෙතක් ක්‍රියාත්මක කල යුතු යයි කියා සිටියේය.

මෙහිදී ඔහු පසුබස්සවනු ලැබුවේ, වාම පක්ෂය විසින් පමනි. සාරා වැගන්නෙක්ට් හැන්ඩල්බ්ලාස්ට් පුවත්පතට පවසා තිබුනේ, “දඩබ්බර රාජ්‍යයක්” වන ඇමරිකාවට එරෙහිව ප‍්‍රතිපියවර ගැනීමේ අවශ්‍යතාව ගැනයි. එනම්, “එරටෙහි ගෑස් කර්මාන්තයට ලාභ වාසි සලසා ගැනීමට ක්‍රියා කිරීම හමුවේ දැන් වොෂින්ටනය පිලිබඳව පැහැදිලි පිලිවෙතක් අවශ්‍යව ඇති” බවයි. වාම පක්ෂයේ ප‍්‍රධාන අපේක්ෂිකාව පැවසුවේ එසේය.

සැප්තැම්බර් ෆෙඩරල් මැතිවරනයේදී, යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහිව පෙනී සිටිමින්, එය තම කියාමාර්ගයේ හරි මැදට ගන්නා පක්ෂය, Sozialistische Gleichheitspartei (සසප) පමනකි. බ්‍රිතාන්‍යයේ, ප‍්‍රන්සයේ, ඇමරිකාවේ හා ලෝකය පුරා අපගේ සහෝදරයින් සමග අපි, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම යටතේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව වෙනුවෙන් අරගල කරන්නෙමු. ධනවාදයේ හා මිලිටරිවාදයේ උපකරනයක් වන යුරෝපීය සංගමයට විරුද්ධව සසප, යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් සටන් කරයි.

මිලිටරිවාදයේ හා යුද්ධයේ වේගයෙන් වැඩෙන අන්තරාය හමුවේ සසප, මැතිවරනය ඉතා වැදගත් කොට සලකයි. සසප, මිලිටරිවාදයේ විපාකයට කරගැසීමට නියමිත කම්කරු පන්තිය ද තරුනයින් ද නැගී එන සමාජ ආතතීන්ගෙන් අනිවාර්යයෙන්ම මතු වන පන්ති අරගල සඳහා සූදානම් කරයි.

Share this article: