මීතොටමුල්ල කම්කරු පරීක්ෂනය පිලිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවට උද්‍යෝගිමත් සහභාගිත්වයක්

සසප වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 28

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් ගෙන යන ස්වාධීන කම්කරු පරීක්ෂනයේ කොටසක් ලෙස, අප්‍රේල් 20 දා, මීතොටමුල්ල දහම්පුර පාර අසලදී, ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සමග පැවැත්වූ සාකච්ඡාවට අවට ප‍්‍රදේශවාසින් මෙන්ම, කොලොන්නාව හා වැල්ලම්පිටිය වැනි ප‍්‍රදේශ වලින්ද කිහිප දෙනෙක් සහභාගී වූහ.

පසුගිය අප්‍රේල් 14දා මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් නිවාස විනාශ වූ සහ අවදානම් කලාප යනුවෙන් නම් කර නිවාස වලින් බලහත්කාරයෙන් ඉවත් කල පවුල් වල ජනයා දිනපතා ගැඹුරු වන බරපතල ගැටලු රාශියකට මුහුන දී සිටිති. ඔවුන් පැවසුවේ, මේ ගැටලු වලට පැහැදිලි විසඳුමක් දීමට ආන්ඩුවට කිසිඳු වැඩපිලිවෙලක් නොමැති බවයි.

කුනුකන්ද පුපුරායාමෙන් සිය ගනනක් විපතට පත් වූ අතර 32 ක් මියගිය බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇත. තවත් පිරිසක් අතුරුදහන් විය. නිවාස සිය ගනනක් ඇතුලු දේපල විනාශ වූ අතර නිවාස අහිමි වූ බොහෝ දෙනෙකුට මෙතෙකුදු නිවාස ලැබී නොමැත.

සෘජුව ආපදාවට ලක්වුවන් හා අවදානම් කලාපයේ සිටින්නේ යයි නම්කල පවුල් සිය ගනනක් රජය මගින් කඩිමුඩියේ ප‍්‍රදේශයෙන් ඉවත් කෙරුනේ, මෙවන් ආපදාවට ලක්වූ ප‍්‍රජාවකට ලැබිය යුතු මුලික පහසුකම්, සහන හෝ මනෝ-සමාජයීය සහය යන කිසිවක් ගැන මොනම තැකීමක්වත් නොමැතිවය.

ආපදාවෙන් මාස තුනක් ඉක්ම ගිය පසු මියගිය අයෙකු වෙනුවෙන් රු. ලක්ෂ 10ක් සොච්චම් වන්දියක් හා නිවාස විනාශවූ අයගෙන් කොටසකට අඩු-ආදායම් ලාභී තට්ටු නිවාස වලින් කිසිඳු ප‍්‍රමිතියක් නැති ඉතා කුඩා නිවාස ලබා දී තිබුනත්, අති බහුතරයක් දෙනා විසඳුමක් ලැබෙන තුරු තාවකාලිකව කුලියට ගත් නිවාස වල ජීවත් වෙති. ඔවුනට මාසතුනක කුලී පලමුව ලබා දුන් නමුත් ඉන් පසු මාසයන්ට කුලී තවම ලබාදී නැත.

සසප දේශපාලන මන්ඩලයේ විලානි පීරිස් සාකච්ඡාවට සහභාගිවූවන් අමතා කරුනු පැහදිලි කරමින් මීතොටමුල්ල ඛේදවාචකය, කම්කරුවන් හා දුගීන්ගේ සමාජ අයිතීන් විනාශ කිරීම සඳහා ලොව පුරා ධනපති ආන්ඩු ක්‍රියාත්මක කරන සමාජ ප‍්‍රතිවිප්ලවවාදී පිලිවෙත් අනුයමින් ශ්‍රී ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩු ක්‍රියාවට දමමින් සිටින කප්පාදු වල ප‍්‍රතිපලයක් බව පහැදිලි කලාය. “මෑතකදී ලන්ඩන් නුවර ග්‍රෙන්ෆිල්හි කම්කරුවන් පදිංචි මහල් නිවාස සංකීර්නයක් ගිනි ගැනීමෙන් සිය ගනනක් මිය ගියා. මහධනවතුන්ගේ නිවස්නා ප‍්‍රදේශයක් ලෙස ලොවපුරා ප‍්‍රකට ග්‍රෙන්ෆිල්හි නගර ශෝභාවට එම මහල් නිවාස සංකීර්නයේ පෙනුමෙන් හානි පැමිනෙතැයි යන කාරනාව මත එයට නව පෙනුමක් ලබාදීම සඳහා භාවිතා කල බාල වර්ගයේ ආවරන තහඩු සවි කිරීම ගින්න පැතිර යාමට මූලික හේතුවක් වුනා. ඒ වගේම මහල් සංකීර්නයට නිසි ආරක්ෂන පියවර යොදා තිබුනේත් නෑ. නගර සභාවේ කප්පාදු හේතුවෙන් ගිනි නිවීමේ අංශය ද ඉතා දුර්වලව පැවතියා.”

මෙවන් කප්පාදුවල ප‍්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ ෆ්ලින්ට් හි ජලය දූෂනය වී එහි කම්කරු-පීඩිත මහජනතාව මුහුන දී ඇති දුෂ්කර තත්වය ද පීරිස් පෙන්වා දුන්නාය.

ලාභ ලැබීමේ පදනම මත ක‍්‍රියාත්මක වන ධනේශ්වර ක‍්‍රමය 2008 සිට ගැඹුරුතම අර්බුදයකට මුහුනදී ඇති බැවින් මෙම කප්පාදු වැඩපිලිවෙලවල් වඩාත් වේගවත් කිරීමට සෑම රටකම පාලක පන්තීන්ට බලකෙරී පවතින බව ඇය තවදුරටත් පැවසුවාය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන තොරොම්බල් කරන ආකාරයට ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතාවලින් මේ ප‍්‍රහාර ආපසු හරවන්න බෑ. අපට මෙම ප‍්‍රශ්න විසඳාගත හැක්කේ අර්බුදයේ මූලය වන ධනපති ලාභ පද්ධතිය පෙරලා දමා, සමාජවාදී ප‍්‍රතිපත්ති මත සමස්ත ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනයි. කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්්, ඉහත සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට පෙරට පැමිනිය යුතුයි.”

එම්. ස්වර්නතිලකා

අවදානම් කලාපයේ යයි සලකුනු කිරීම නිසා තම නිවසින් ඉවත් වීමට සිදු වූ දෙදරු මවක් වන එම්. ස්වර්නතිලකා ප‍්‍රකාශ කලේ, තමන් දශක ගනානාවක් ජීවත් වූ නිවසින් හිටි අඩියේ ඉවත් වීමට නියම කර දැන් එයට ප‍්‍රමානවත් වන්දියක් වත් ලබා නොදීම හේතුවෙන් මුලු ජීවිතයම අවිනිශ්චිත වී ඇති බවයි. “අපේ ගෙදර නියම වටිනාකම රුපියල් ලක්ෂ අනූ පහක් විතර වෙනවා, නමුත් ආන්ඩුවෙන් තක්සේරු කරලා තියෙන්නේ ලක්ෂ 32කට. ඒ ගානට අලුත් ගෙයක් ගන්නවා තියා හිතන්නවත් බැහැ. දැන් කියනවා, මේ තක්සේරුව ගෙට විතරලු, ඉඩමට වෙනම ගෙවනවලු. මේක රැවටීමක්, අපිට වන්දි නොගෙවා ඉන්න කරන මගඩියක්. නැත්තම් ඇයි මුලු ගානම එකවිට ගෙවන්න බැරි?” ඇය කියා සිටියාය.

ඇය තවදුරටත් පැවසුවේ, ආන්ඩුව තම ප‍්‍රදේශය “හරිත උයනක්” බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව දැනගැනීමට ඇති බවයි. “මොකටද මේක උද්‍යානයක් කරන්නේ? මේක අවුරුදු 60 කටත් වඩා මිනිස්සු ජිවත් වෙච්ච් තැනක්. මුලින්ම අපිට ජීවත් වෙන්න තැනක් දෙන්න. අපි කාටවත් මෙතනට උද්‍යානයක් ඕනේ නැහැ, ඒවා අවශ්‍ය දේශපාලනඥයින්ට. ඒ ගොල්ලන්ට ඕනේ මේ ඉඩම් විකුනගන්න.”

දැනට තමන්ට සහන වශයෙන් ලැබී ඇත්තේ මාස තුනක තාවකාලික ගෙවල් කුලිය සඳහා ලබාදුන් දීමනාව පමනක් බවත්, ඉන්පසුව කුමක් වේද යන අවිනිශ්චිතතාවෙන් තමා දිනපතා මානසිකව පීඩා විඳින බවත් ඇය පැවසුවාය. “පවතින දේශපාලන ක‍්‍රමය යටතේ මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ කියල ඕගොල්ල කියන දේ මම පිලිගන්නවා. ස්වාධීන කම්කරු පරීක්ෂනේට ඕනෑම සහයක් දෙන්න අපි ලෑස්තියි. මම කැමතියි තවදුරත් ඕගොල්ලොත් එක්ක සාකච්චා කරන්න”, ස්වර්නතිලකා තවදුරටත් කීවාය.

නිවාස අහිමි වී දැන් සාලමුල්ල අඩු ආදායම් තට්ටු නිවාස සංකීර්නයේ ජීවත් වන සොහොයුරන් දෙදෙනෙක් වන නිස්සාර් හා නසාර් කියා සිටියේ අප්‍රේල් 14 දා කඩාවැටීම කිසිසේත්ම, ආන්ඩුව පවසන ආකාරයේ, “ස්වභාවික විපතක්” නොවන බවයි. “2014 ඉඳල මේ දේ වෙනවා, කුනු ගොඩට කෙමිකල් එකක් ගහනවා විගහට දිරන්න. සමහර ගෙවල් මැදින් පුපුරල ඇල වුනා. අනවසර කියලා එලවන්න බැලුවා. ඊට පස්සෙ හමුදාවෙන් පොලීසියෙන් ඇවිත් බලෙන් ම ඩෝසර් කරලා දැම්මා” නිස්සාර් කීවේය.

“දෙවෙනි පාර (2017 අප්‍රේල් 14) කඩා වැටීමට කලිනුත්, කෙමිකල් එකක් ගැහැව්ව. ඒ වතාවේ මගේ අම්මා, මගේ අක්කා, මගේ දුව, ඇගේ ලමයි දෙන්නා ඔක්කොම පොලවට පස් වෙලා ගියා. (බිම් මට්ටමේ ඉඳං)අඩි 30ක් පොලව යට හාරලා ගත්තෙ. පවුලෙ හත්දෙනාගෙන් පහක්ම නැති වුනා. මල කෙනෙක්ට ලක්ෂ දහයක් දුන්නා; ජීවිතයක් ලක්ෂ දහයද වටින්නේ?”

ෆැක්ටරි කම්කරුවෙක් වන පාලිත

ෆැක්ටරි කම්කරුවෙක් වන පාලිත කියා සිටියේ වසා දමා ඇති තම නිවස දිනපතා සොරුන් විසින් කොල්ලකන බැවින්, තමාට නිවසේ ඇති වටිනාකමක් ඇති සියලු දේ ගලවා ඉතා අඩු මිලට විකුනා දැමීමට සිදු වූ බවයි. “මුලින් අපිට අවුරුදු ගනන් එකට ජීවත් වුනු තරුනයෝ මිත‍්‍රයෝ මැරෙනවා බලන්න වුනා, ඊට පස්සේ අවුරුදු 50-60ක් හිටපු ගෙවල් වලින් එලියට බහින්න වුනා.”

සිදුවූ ව්‍යසනය තම බාල පුත‍්‍රයාගේ මානසික තත්වයට දරුනු ලෙස බලපා ඇති බවත් පාසැල් ගොස් පැමිනි වෙලේ සිට “අමුතු කලකිරුනු විදිහකට” හැසිරෙන බවත් නිස්සාර් පැවසීය.

“දැන් සති දෙකකට විතර උඩදී ජපන් කන්ඩායමක් ඇවිත්, අපේ ගෙවල් අවට ප‍්‍රදේශයේ මොනවද පරීක්ෂන කලා. මේ ඉඩම් දැනටම පිටරට කොම්පැනි වලට විකුනලා කියල තමයි අපිට නම් හිතෙන්නේ. ඒක තමයි ආන්ඩු දෙකේම වැඩපිලිවෙල, අපිව කොහම හරි මෙතනින් පන්න ගත්ත”. තමන් මුහුන දී ඇති බරපතල තත්වය ගැන මාධ්‍ය වලින්ද කිසිදු නිවැරදි වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත්, සත්‍ය සඟවන බවත් ඔහු තවදුරටත් ප‍්‍රකාශ කලේය.

කොලඹ දුගී පලාත් වලින් කම්කරු-පීඩිත ජනතාව පලවාහැර එම ඉඩම් පුද්ගලික ආයෝජන සඳහා පවරා දීම, ජේ. ආර්. ජයවර්ධන ආන්ඩුවේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ආරම්භවූ වැඩපිලිවෙලක් බවත්, රාජපක්ෂ ආන්ඩුව හා වර්තමාන ආන්ඩුව එරී සිටින නය බර නිසා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයෙන් එය තවදුරත් තීව‍්‍ර කර ඇති බවත් සසප ආධාරකරුවෝ මෙහිදී පැහැදිලි කලහ.

ප්‍රේමවතී

මෙහිදී අදහස් දැක්වූ 45 වියති කාන්තාවක් වන ප්‍රේමවතී කියා සිටියේ: “ඔවු අපි ඒක පිලිගන්නව, අපිට පේනවා ගංවතුරට, නායයාම් වලට, සාලාවේ අවිගබඩාව පිපුරුනු එකට ගොදුරුවුනු කාටවත් හරිහමන් සහනයක් ලබාදීලා නැහැ කියල. මේ මොන ආන්ඩුවක් වත් මිනිස්සු ගැන තකන්නේ නැහැ” යනුවෙනි.

කුඩා කඩයක් පවත්වාගෙන යාම තම ජීවිකාව කරගත්, නිවාස අහිමි වූවෙක් වන එච්. ඒ. නිහාල් මෙසේ ප‍්‍රශ්න කලේය: “පවතින දේශපාලනය ඇතුලේ මේ ප‍්‍රශ්න මොකටවත් විසඳුමක් නැහැ කියල ඕගොල්ලෝ කියන දේ අපි පිලිගන්නවා. නමුත් අපි කොහොමද, තවත් දේශපාලන පක්ෂයක් විශ්වාස කරන්නේ? මේ ඔක්කොම දේශපාලන පක්ෂ අපිව රවට්ටපු එක නේද කලේ.”

ධනපති දේශපාලන පක්ෂ හා ධනපති දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව තුල ඇති පිලිකුල ඉතා සාධාරන බව පෙන්වාදුන් සසප ආධාරකරුවෝ, සසප යේත් එහි පූර්වජයා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේත් සප‍්‍රතිපත්තික ඉතිහාසය කෙටියෙන් ගෙනහැර දැක්වූහ. කම්කරු පන්තිය ධනපති පක්ෂ යටතට ගාල් කෙරෙන මහජන පෙරමුනු දේශපාලනයට සහ ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන විරෝධතා දේශපාලනයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට, හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස සටන් වැදි එම මූලධර්මාත්මක ඉතිහාසය සසප සම්බන්ධයෙන් දියහැකි සහතිකය බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

Share this article: