උතුරු කොරියාවට එරෙහි ට‍්‍රම්ප්ගේ න්‍යෂ්ටික යුද්ධ තර්ජනය

Trump’s nuclear war threat against North Korea

2017 අගෝස්තු 10

ට‍්‍රම්ප් හා ඔහුගේ සගයන්ගේ රුදුරු මදාවිකාර ප‍්‍රකාශයන් විසින් අවුලවනු ලැබ ඇති ගිනි හුය සමස්ත භූ ගෝලය කෙරේ ම නොමිනිය හැකි ප‍්‍රතිවිපාක සහගත න්‍යෂ්ටික යුද්ධයක් ආසියාව තුලින් පුපුරා යාමේ තත්වයක් උද්ගත කොට ඇත.

උතුරු කොරියාව නැමති දිලිඳු, පීඩිත ජාතියට එරෙහිව ”ලෝකයා පෙර කවර කලකවත් නුදුටු විරු තරමේ මහා ගින්දරක් සහ භීතිකාවක්” ලිහා හැරීමට එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කර ඇති තර්ජනය භූතලය පුරා බිය සහ සංත‍්‍රාසය ජනනය කර තිබේ.

හිරෝෂිමාවේ සහ නාගසාකියේ මිලියන කාලක් පමන මිනිසුන්, ගැහැනුන් සහ ලමයින් මරාදැමු පරමානු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු පනරැකී ඉතිරිවූ ජපන් ජාතිකයන් එම ඇමරිකන් ප‍්‍රහාරයේ 72වෙනි සංවත්සරය සලකුනු කරමින් ඉන්නා මේ සතියේ දී ම, සකල මනව වර්ගයාට ම නොමිනිය හැකි විපාක ජනනය කරන න්‍යෂ්ටික යුද්ධයක් ආසියව තුල ලිහා හැරීමට ඇමරිකානු ජනාධිපතිවරයා තමාගේ ගොල්ෆ් ක්‍රීඩා නිවාඩුවෙන් මොහොතක් යෙදවිය.

“ මන්දිරයේ ජ්‍යෙෂ්ට සහකාර නිලධාරියෙක් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයේ ගත හිරිවට්ටන ඇඟවුම් සැරබාල කිරීමට යත්න දරමින් මාධ්‍යයන්ට කියාසිටියේ ජනාධිපති වරයාගේ ප‍්‍රකාශ වනාහි ”සැලසූම් නොකරනලද සහ හිටිගමන් කරන ලද ඒවා බවයි. ඒ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇමරිකානු ජනයාට කියා සිටියේ “පහුගිය දවස්වල ආ මේ විශේෂ වාග්ප‍්‍රහාර ගනනට ගන්නේ නැතිව, රාත්‍රිය හොඳට නිදියන ලෙස ය.”

මෙම එතරම් විස්වාසයක් තැබිය නොහැකි සහතික කිරීම් කියපාන තත්වය තුලම, “සහනශීලි” බලපෑමක් ඇතිකීරීමට හේතුකාරක වන්නාවූ “ඉන්නා වැඩිහිටියෙක්ය”යි මාධ්‍යයන් විසින් සාමාන්‍යයෙන් නම්කරනු ලැබ ඇති ට‍්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් මැරයින් ජෙනරල් “මෑඞ් ඩෝග් (පිස්සුබලු) ජේම්ස් මට්ටිස්, ජනාධිපතිවරයා ගේ තර්ජනය ප‍්‍රති රාවය කරමින් බදාදා මෙසේ බලකර සිටියේ ය. “උතුරු කොරියාව තමන්ගේ පාලන තන්ත‍්‍රය විනාශකරගන්නාවූ ද තම ජනතවට විනාශය ගෙන දෙන්නාවූ ද ක‍්‍රියා ගැන කල්පනා කිරීම මුලුමනින්ම නවතා දැමිය යුතු ය.”

බදාදා ට‍්‍රම්ප් ම තම මුල් ට්වීට් තර්ජනය තහවුරු කරමින් වොෂිංටනයට න්‍යෂ්ටික යුද්ධයක් කරන්නට තිබෙන පුලුවන්කම ගැන අහංකාර විය. ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය. “ජනාධිපතිවරයා ලෙස මා නිකුත් කල ප‍්‍රථම අන වූයේ අපගේ න්‍යෂ්ටික අවි ගබඩාව අලුත් කර, නවීකරනය කිරීමයි. ... දැන් එය වෙන කවර කලෙකටත් වඩා ශක්තිමත් ය; බලගතු ය. මේ බලය අපට කවරදාකවත් පාවිච්චි කරන්නට සිදු වේ යයි මම නොසිතමි. එහෙත් අප ලෝකයේ බලගතුම රට නොවන දිනයක් නම් කවර කලකවත් එලඹෙනු නැත්තේ ම ය.”

මේ තර්ජන වල හා බිය ගැන්වීම් වල ඉවක් බවක් නැති මදාවි භාවය කම්පාකාරී ය. ලෝකයේ බලගතුම න්‍යෂ්ටික බලවතා නැවත නැවතත් තමුන් මතට “ගින්න සහ භීතිකාව” කඩාපාත් කරමින් සමස්ත ජනගහනයම අතුගා දැමීමට තර්ජනය කරන කල උතුරු කොරියාවේ ආන්ඩුවේ නායකයන් කුමක් සිතන්න ද ?

මෙම තර්ජනයන් කරන්නේ, ඇමරිකාව ගුවන්යානා ප‍්‍රවාහක යූඑස්එස් කාල් විෂන් නෞකාව කොරියාවේ වෙරල අද්දරට යවා බි -1 ලාන්සර් බෝම්බ හෙලන යානා උතුරු කොරියාවේ දේශ සීමාවට ලං ව තර්ජනාත්මකව පියාසර කරමින් ඉන්න තත්වයක දීය.

උතුරු කොරියාව එක්සත් ජනපද යුද තර්ජනය ට ප‍්‍රතිචාර දක්වා තිබෙන්නේ, ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරින සහ මූුලෝපායික බෝම්බ ගුවන් යානා වල තොටුපලක් වන ගුවාම් නැමති එක්සත් ජනපදයට අයත් පැසිෆික් දිවයිනට මිසයිලයක් යවන බවට කරන තර්ජනයකිනි. මෙම තර්ජනය පියොංයෑං නුවරින් එල්ලවන හුදු වාචාලයක් යයි ඉවත දැම්මද එය මුලුමනින්ම සහතික නොවේ. ඇමරිකානු තර්ජනයන් සැබෑවක් බවද යුද්ධය අතලඟ බවද උතුරු කොරියානුවන් ගනං බැලුවොත් කුමක් විය හැකි ද ? තමන්ගේ යුද බලය ඇමෙරිකානු බෝම්බ හා මිසයිල යට වැලලී යාමට පෙර තමන් පුර්වභංග ප‍්‍රහාරයක් එල්ල කොට තම තර්ජන සැබෑයයි වොෂිංටනයට පෙන්විය යුතු යයි ඔවුන් තීන්දු කලහැකිය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය උතුරු කොරියාවේ ප‍්‍රතිගාමී පරම්පරාගත පාලනය ට හෝ එහි ප‍්‍රකෝපකාරී ක්‍රියාවලට මොනම යුක්තිසහගත බවක් හෝ නොපවරන නමුත්, එම ගනන් බැලීම් අහේතුක නොවේ.

උතුරු කොරියානු ආස්ථානය තුල ඉතිහාසයේ මහා බරක් පවතී. මීට අවුරුදු 65කට පෙර කොරියාවට එරෙහිව ඇමරිකාව කල යුද්ධය අඩුගනනේ ජීවිත මිලියන තුනක් විනාශ කල අතර ඉන් මිලියන දෙකක්ම උතුරේය. එක්සත් ජනපද ගුවන් හමුදාවේ තක්සේරුවට අනුව, “කොරියාවේ ප‍්‍රධාන නගර විසි දෙකින් දහ අටක් ම අවම වශයෙන් අඩක්වත් ගිනිබත් කෙරිනි.” ගුවන් හමුදා නායක මේජර් ජෙනරල් කර්ටිස් ලෙමේ මතක් කල පරිදි, “ කොරියාවේ සහ දකුනු කොරියාවේ සෑම නගරයක් ම පාහේ ගිනිලා දවා හලූ කලෙමු.”

ඉතින් උතුරු කොරියාවට, එක්සත් ජනපදය කරන “ගින්දර සහ භීෂනය” සහ මුලු ජනකාය ම සමූල ඝාතනය කිරීම පිලිබඳ තර්ජන කිසිසේත්ම අතිශයෝක්ති වහසිබස් නොවේ.

මෙම වර්තමාන ඝට්ටනයේ සම්පූර්න පදනම වන්නේ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ආයුධ හා පියාසර මිසයිල පරීක්ෂන නවත්වා සිය සම්පූර්න න්‍යෂ්ටික ධාරිතාව අතහැර දැමිය යුතුයයි වොෂිංටනය කරන බලකිරීමයි. එහෙත්, උතුරු කොරියාවේ කිම් ජොන්ග්-උන් මෙවන් ඉල්ලීම්වලට යටත් වූ වෙනත් පාලන තන්ත‍්‍රවලට අත්වූ ඉරනම කුමක් ද යන්න හොඳින් දැනසිටි.

උතුරු කොරියාව වැනි දුෂ්ටත්වයේ අක්ෂයක කොටසක් ලෙස ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, තම ආයුධ පිලිබඳ වැඩපිලිිවෙලවල් අත් හැරීමට එකඟ වූ ඉරාකය “ජන සංහාරක අවි” සතුව ඇතැයි යන ප්‍රෝඩාකාරී කඩතුරාව මත 2003 දී කෙසේ වෙතත් ආක‍්‍රමනය කෙරින. එක්සත් ජනපද යුද්ධය මිලියනයක් පමන ඉරාක ජීවිත බිලිගත් අතර රටේ රාජ්‍ය නායකයා වූ සදාම් හුසේන් නීතියට පිටස්තරව වධ දී මරා දමන ලදී. මේ ආකාරයටම, ඉරාක ආක‍්‍රමනයෙන් ඉක්බිතිව තම ආයුධ පිලිබඳ වැඩ පිලිවෙලවල් අත් හැරීමට ලිබියාවේ මුවම්මර් ගඩාෆි එකඟ වුවද, 2011 දී එක්සත් ජනපද සහ නේටෝ හමුදා ආරම්භ කල යුද්ධය දසදහස් සංඛ්‍යාත ලිබියානුවන් ඝාතනය කරමින් ද සමාජය නටබුන් බවට පත් කරමින් ද, ඔහුව කලහකාරීන් විසින් නීතියට පිටස්තරව වධදී මරා දමන ලදී.

උතුරු කොරියාව සහ එහි ආන්ඩුව එවැනිම ඉරනමකට ගොදුරු නොකරන කාරනාවක් ලෙස පවතින්නේ තම තාප න්‍යෂ්ටික වැඩපිලිවෙල පමනි.

උන්මත්තක ලෙස පෙනෙන ට‍්‍රම්ප් ගේ තර්ජනාංගුලි ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ආක‍්‍රමනකාරී යුද සැලසුම් වලදී න්‍යෂ්ටික ගැටුමක අනතුර බරපතල බාධකයක් ලෙස තවත් දුරට පිලිගන්නේ නැති බවට වන සංඥාවකි.

ඇමරිකාවේ මෙන්ම ග‍්‍රහ ලොව අන් සියලු තන්හි කම්කරු පන්තියේ ආර්ථික තත්වයන්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මෙන්ම ජීවිතවලට මත් ඒකාන්තයෙන්ම විනාශකාරී ප‍්‍රතිපල ගෙනදෙනු ඇති ව්‍යසනකාරී ලෝක යුද්ධයක් සඳහා මහ ජනයා සූදානම් කිරීමේ වෑයමක ඇමරිකාව යෙදී සිටී. කුඩා ප‍්‍රමානයේ යුද ශීර්ෂ සහ ඒවා ඇමරිකානු නගර වෙත එල්ල කල හැකි අන්තර්මහාද්වීපික බැලස්ටික් මිසයිල වර්ධනය කර ඇතැයි පවසමින් ධවල මන්දිරය, පෙන්ටගනය සහ ඇමරිකා පිලිවෙත් වර්ධනය කරන නේකාකාර බුද්ධි මන්ඩල යන සියලුදෙනා පියොන්යෑනය න්‍යෂ්ටික බලවතකු වීමේ එලිපත්ත පැන ඇතැයි එක පැහැර කියා සිටී.

ඉරාකයේ ජන ඝාතක අවි පිලිබඳව බුෂ් ගේ බින්න ගිල දැමීමකට වඩා වැඩි දෙයක් මෙම තක්සේරු සාධාරන වටිනා කමකින් යුතු යැයි පිලි ගැනීමකදී නොමැත. වොෂින්ටනය විසින් උතුරු කොරියානු තාප න්‍යෂ්ටික ආයුධ තම පැවැත්ම සම්බන්ධ තර්ජනයක් ලෙස ප‍්‍රකාශ කරන අතර, එය සමානව අස්ථාවර සහ ආක‍්‍රමනකාරී රාජ්‍යයන් වන ඊස්රායලය, ඉන්දියාව සහ පකිස්ථානයට තම තාපන්‍යෂ්ටික අවි වර්ධනය කිරීම සඳහා සහය දී ඇත.

උතුරු කොරියාවට එරෙහිව ධනපති පාලක පන්තියේ යුද්ධ සූදානම පිලිබඳව සිදු කෙරෙන ගනන් බැලීම් බිය ගන්වන වචන වලින් ප‍්‍රකාශ කර ඇත්තේ මෑතම නිකුත් කෙරෙනු ඉකොනොමිස්ට් සඟරාවේ ය. මෙය විස්ථාරනය කරන්නේ එක්සත් ජනපදයට පහසු ජයග‍්‍රහනයක් ගෙන දෙමින් අවසාන වන යුද්ධයක පැතිරී යාම සඳහා කල්පිත සිද්ධිදාමයකි. එය මුලදී සිවිල් ජනයා 300,000 ක් මරනයට ගොදුරු වන බවත් පසුව විකිරන විසවීම මගින් තව බොහෝ දෙනෙක් මරනයට ගොදුරු වන බවත් තක්සේරු කරයි. එය ට‍්‍රම්ප්ගේ උපකල්පිත ට්වීට් පනිවිඩයකින් අවසන් කරන්නේ මෙලසිනි: “දුෂ්ට කිම්ගේ සෝල් නුවර තාප න්‍යෂ්ටික ප‍්‍රහාරය නපුරු ය. ඔහුට එරෙහි තාප න්‍යෂ්ටික ප‍්‍රහාරයක් හැර වෙන කිසිදු විකල්පයක් නැත. එහෙත් මාගේ ක්‍රියාවන්ට ස්තුතිවන්ත වෙන්නට, ඇමරිකාව නැවතත් ආරක්ෂා සහිතය.”

මෙම දරුනු අපේක්ෂාව සම්බන්ධයෙන් ගත් කල විය හැකි හොඳම තත්වය වන්නේ, යුද්ධය හුදු සමස්ථ උතුරු කොරියානු මහජනතාවට පමනක් බලපෑ හැකි එකක් නොව, සෝල් නුවර මිලියන 10 ක ජනතාවටද, මහ ටෝකියෝහි මිලියන 38 කට ද, තවත් සඳහන් නොකරන ලද දකුනු කොරියාවේ ස්ථානගත කර ඇති දස දහස් සංඛ්‍යාත එක්සත් ජනපද හමුදාවටද බලපානු ඇතිද යන්නයි. තවදුරටත්, වසර 65 කට පෙර සිදු වූවා සේම, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද ප‍්‍රරහාරයක් දැන් ප‍්‍රධාන බලවතකු වන චීනයද අද්දවා ගනු ඇත.

වර්ධනය වෙමින් පවතින යුද්ධ අනතුර සහ පෙනෙන්ට තිබෙන උමතු තාපන්‍යෂ්ටික මූලෝත්පාටන සහිත තර්ජන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ හුදු සාපරාධී වූත් ෆැසිස්ට්වාදී මනෝගතිය පිලිිබඳ කාරනාවක් නොවේ. එය ඇඩොල්ෆ් හිට්ලර්ගේ භාෂාවෙන් කථා කිරීමට ආරම්භ කල සමස්ථ එක්සත් ජනපද ආන්ඩුවයි.

මෙය තම ඛාදනයවෙමින් පැවතුනු ආර්ථික ආධිපත්‍යයට හිලව් වීමේ මාධ්‍යයක් ලෙස මිලිටරිවාදය සහ ආක‍්‍රමනකාරී යුද්ධය වෙලාගත් එක්සත් ජනපදයේ ධනපති කතිපයාධිපත්‍යය මගින් පසුගිය 25 වසර පුරාම වර්ධනය කරනු ලැබ ඇති අනුකම්පා විරහිත ආක‍්‍රමනකාරී යුද්ධ, තර්ජන සහ දාමරිකකම් කිරීම් වන දේශපාලන සංස්කෘතියක අවසාන විපාකය වෙයි.

විදෙස්වල යුද්ධ රට තුල පුලුල් වෙමින් ඇති සමාජ අසමානතාවය සහ කම්කරු පන්තියේ ජීවන කොන්දේසි සහ මූලික අයිතීන් වලට එරෙහි එල්ල වන නිමක් නැති ප‍්‍රහාර සමග සමගාමීව ගමන් කරයි. ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම අප‍්‍රසාදයට පාත‍්‍ර වී ඇති ජනාධිපති ලෙස ට‍්‍රම්ප් මුහුන දී ඇති තතු යටතේ සමාජ විරෝධය මතුවෙමින් පවතී. දේශපාලන සංස්ථාපිතය අභ්‍යන්තරව බෙදී ඇති අතර, ට‍්‍රම්ප් පරිපාලනය එය සමගම යුද්ධයක පැටලී ඇත. සත්‍ය අනතුර වන්නේ උතුරු කොරියාවට එරෙහි යුද්ධය තම අභ්‍යන්තර සමාජ සහ දේශපාලන ආතතීන් අපගමනය කිරීම සඳහා ධවල මන්දිරය විසින් විදේශීය “සතුරකු” යොදාගනු ලබනු ඇත යන්නය.

මෙවැනි ප‍්‍රතිපත්තියක් ගෙන දෙන දුර දිග යන ප‍්‍රතිඵල ගැන කිසිවකු සැක පහල කල යුතු නැත. දහස් සංඛ්‍යාත ඇමරිකානු හමුදා මරන ඇතුලුව, ජන ඝාතක යුද්ධය ආරම්භ කිරීම භාවිතා කෙරෙනු ඇත්තේ එක්සත් ජනපදය තුලමත් හිංසාකාරී දේශපාලන මර්දනය සඳහා කඩතුරාවක් වශයෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අපලේඛනය කිරීමට ගූගල් විසින් දරන ලද ප‍්‍රයත්නය සමස්ථයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙමින් පවතින ඒකාධිපති විධික‍්‍රමයන් පිලිබඳ අනතුරු ඇඟවීමකි.

තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනයේ ධාවනය වනාහි එක්සත් ජනපද සහ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයයි. මෙහි හරි මැද පවතින්නේ භූගෝලීය ආර්ථිකයත් ප‍්‍රතිවිරෝධී ජාතික රාජ්‍යයන් වලට ලෝකය බෙදීමත් අතර විසඳිය නොහැකි පරස්පර විරෝධයන් ය. ලාභ පද්ධතියේ එම අර්බුදයම, කෙසේ වෙතත්, තම විප්ලවාදී විසඳුමක් සඳහා කම්කරු පන්තියට සටන් කිරීමේ වෛෂයික කොන්දේසි සහ දේශපාලන අවශ්‍යතාවය යන දෙකම නිර්මානය කරයි. මෙය සාක්ෂාත් කල හැක්කේ ධනවාදය මානව සංහතිය ම්ලේච්ඡත්වයට ඇද දැමීමට පෙරාතුව ධනවාදය අවසන් කිරීම සඳහා සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදකව යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගීම මගිනි.

බිල් වෑන් ඕකන්

Share this article: