ට‍්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව “ගින්දර සහ භීෂනය” තර්ජනය කරයි

Trump threatens “fire and fury” against North Korea

2017 අගෝස්තු 09

ඊයේ උතුරු කොරියාවට එරෙහි ලේ හිරිවට්ටන යුද්ධ තර්ජනයක් නිකුත් කල ඇමරිකා එක්සත් ජනපදයේ (එ.ජ.) ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, ඉක්මනින්ම කොරියානු අර්ධද්වීපයම පමනක් නොව මුලු මහත් ලෝකයම වේගයෙන් වෙලාගනු ඇති යුද්ධයක අන්තරාය අතිමහත් ලෙස උත්සන්න කලේ ය. ඔහු මෙසේ අනතුරු හැඟවිය: “උතුරු කොරියාව එක්සත් ජනපදයට විරුද්ධව තවත් තර්ජන නොකලොත් හොඳ ය.” අපි, “ඒවාට ගින්දරෙන්, සහ භීෂනයෙන් පිලිතුරු දෙන්නෙමු. කෙලින්ම නොසඟවා කියතොත් මේ ලෝකය විසින් කවර කලකවත් දැකනැති තරම් භයංකර ගින්නෙන්, සහ පැහැදිලිවම බලයෙන් අපි ඒවාට පිලිතුරු දෙන්නෙමු.

උතුරු කොරියාව විසින් දූරගාමී මිසයිල දෙකක් නිකුත් කොට ගිය මාසයේදී කල අත්හදාබැලීමෙන් ඉක්බිත්තේ කෙරෙන ට‍්‍රම්ප් ගේ තර්ජනාතමක ප‍්‍රකාශ ද උතුරු කොරියාවේ ආර්ථිකය නට්ටම් කිරීමට තර්ජනය කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ දඬුවම් - තහංචි පැටවීමද විසින් කෙරෙනු ඇත්තේ ආතතිය තව තවත් ගිනිගන්නාසුලූ තත්වයක් උද්ගත කිරීමය. මේ කුඩා දිලිඳු රට අලූකර දැමීමට ට‍්‍රම්ප් කරන තර්ජනය පෙන්නුම් කරන්නේ අසීමිත ඉවබව නැති මදාවියකි.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සාකච්චා සඳහා පදනම දැමීමට යයි කියමින්, එක්සත් ජනපදය කොරියාවේ පාලනතන්ත‍්‍රය මාරුකිරීම ට හෝ යුද්ධ ප‍්‍රහාරයක් එල්ල කිරීමට හෝ මාන බලන්නේ නැති බවක් ගිය සතියේ සහතික කරනවිට, ට‍්‍රම්ප් එය සිතාමතාම කඩාකප්පල් කර තිබේ. මෙම, තතු තුල පියොංයෑං නුවර පවත්නා අස්ථාවර, අර්බුද-ග‍්‍රස්ත පාලනයට එලඹිය හැකි එකම නිගමනය නම් තම රටට ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුව කොයි මොහොතක හෝ යෝධ ප‍්‍රහාරයක් එල්ල කිරීම ට ආසන්නව සිටින බවය. තමන් එක්සත් ජනපදයේ ක්ෂනික හා යෝධ ප‍්‍රහාරයකට මුහුනදී සිටුනා බවය. ඔවුන් ඊට ප‍්‍රතිචාර දක්වන්නේ ගුවාම් දූපත්වල පිහිටි ඇමරිකානු කඳවුරට මධ්‍යම පරිමාන සහ දුරගාමී ගුවන්ගත මිසයිල යොදාගෙන පහර එල්ල කිරීමේ මෙහයුම් සැලසුම පරීක්ෂා කිරීමට තමන්ගේ ම කලහකාරී වාචාලය මගිනි. මෙවන් තර්ජනයෝ ඇමරිකා එක්සත් ජනපදයට ව්‍යාජ හේතුවක් සපයා දෙමින් කොරියාවට එරෙහි තම පූර්වභංග ප‍්‍රහාර එල්ල කිරීමට කෙලින්ම මගපාදා දෙයි.

1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ කට උඩට මේ තරම් සමීපවූ අවස්ථාවක් තවත් නොවීය. ලොකු හෝ කුඩා, සිද්ධියක් හෝ අහම්බයක්, රුසියාව සහ චීනය වැනි වෙනත් න්‍යෂ්ටික බලවතුන් ද ඉක්මනින්ම ඇදගනිමින් නොමිනිය හැකි විපාක සහගත මහා යුද්ධයක් අවූලුවාලිය හැකි ය.

1962 දී අර්බුදය ලිහීමට උත්සාහකල එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් කෙනඩි විසින්, සිය ෆැසිස්ට්වන් ගුවන් හමුදා ප‍්‍රධානී, ජනරාල් කුර්ටිස් ලේ මේ කියුබාවේ තිබුනු රුසියානු මිසයිල කේන්ද්‍ර වලට බෝම්බ දැමීමට කෙරුනු ඉල්ලීම් නිශ්ප‍්‍රභා කල ආකරයට ප‍්‍රති විරුද්ධව, වත්මන් ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් පේවී සිටින්නේ සිතාමතා ම අර්බුදය උත්සන්න කිරීමටය. ඔහුගේ තර්ජන ඇමරිකානු ජනාධිපතියෙකු විසින් මිට පෙර කවර කලෙකවත් කර නැත. මීට සමාන්තරයක් ලබාගැනීමට නම් අප යායුත්තේ හිට්ලර්ගේ ෆැසිස්ට් මැර කතා වලට ය.

ට‍්‍රම්ප්ගේ කතා කවුරුන්හෝ හුදු පුච්චානම් ලෙස නොතකා හැරිය යුතු නැත. උතුරු කොරියාව තව දුරටත් මිසයිල පරික්ෂන පැවැත්වුවහොත් එරට සමූලඝාතනය කිරීමට තර්ජනය කිරීම මගින් ට‍්‍රම්ප් පැනගෙන ඇත්තේ පසුබැසිය නොහැකි තැනකටය. එතකුදු නොව, ඇමරිකානු පාලක කවයන් තුල පවත්නා උග‍්‍ර අර්බුදය ද අභ්‍යන්තර ඝට්ටන ද කොතරම් උග‍්‍රදැයි කිවහොත් නිවාසස්ථ දේශපාලන කලබැගෑනියෙන් අවධානය ඉවතට යොමු කරලීම උදෙසා, උතුරු කොරියාවට එරෙහි අවිචාර, ඉවබවනැති ප‍්‍රහාරයක් එල්ල කිරීමට ට‍්‍රම්ප් තල්ලුවී යාමට ඉඩ ඇත.

ඇමරිකානු නගර උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප‍්‍රහාරයක ක්ෂනික අන්තරායකට මුහුන දී ඇතැයි යන විශ්වාසය ඇමරිකානු මහජන මතය තුල තහවුරු කිරීමට, ප‍්‍රචාරක ව්‍යායාමයක් ට‍්‍රම්ප් පාලනාධිකාරය දැනටම තම දාස මාධ්‍යයන්ගේ ආධාරයෙන්, උත්සන්න කරමින් සිටි.

මෙම කියාපෑම් එන්නේ ද ඉරාකයට එරෙහි කල නීති විරෝධී ආක‍්‍රමනය යුක්ති සහගත කිරීම සඳහා එහි පාලනය සතුව මහා විනාශක අවි ඇති යයි කියා මහබොරු මවා පෙන් වූ එම ඇමරිකානු චර-බුද්ධි සංස්ථාපිතයෙන් ම ය. ඒවා කියන හැටියට විශ්වාස නොකට යුතුය. උතුරු කොරියාවේ ඊනියා අන්තර්- මහාද්වීපික මිසයිල ගැන කියන සියලුම කතා, ඒවාට යත හැකි දුරද, නිවැරදි ඉලක්කයද ඇතුලුව, ගෙන යා හැකි අවිහිසේ බරද පොලොවේ වායු ගෝලයට ඉහලින් ගොස් යලි ඇතුලු වීමේ හැකියාවද යන සියල්ලම කියන පරිදිම පිලිගත නොහැකි ය.

උතුරු කොරියාවට එරෙහි යුද්ධයකදී ඇතිවිය හැකි ඇති වියහැකි අතිමහත් විනාශය ගැන ට‍්‍රම්ප්ට මොනම වග කීමක් වත් නැත. ඝට්ටනය කොරියානු අර්ධද්වීපයටම සීමා වූයේ වුවද මරන සංඛ්‍යාව මිලයන ගනනක් වනු ඇත.

එක තක්සේරුවක් අනුව, දකුනු කොරියානු අගනුවර සියෝල් වල පමනක් යුද්ධයේ ප‍්‍රථම පැය ගනන අතුලත මරන සංඛ්‍යාව දසලක්ෂය ඉක්මවනු ඇත.

එන්බීසී ගිය සතියේ ප‍්‍රවෘත්ති සේවයේ “ටුඬේ” වැඩසටහන තුල කතාකරමින්, දක්ෂිනාංශික සෙනෙට් මන්ත‍්‍රී ලින්ඩ්සි ග‍්‍රහැම් ට‍්‍රම්ප්ගේ චින්තනය පිලිබඳ ඇඟ හීතල කරන දැක්මක් ලබාදුන්නේ ය.

[කිම්-ජොංග්අන්] වැලැක්වීමට කරන යුද්ධයක් වෙතොත් එය සිදුකෙරනු ඇත්තේ එතන ය.... දහස්ගනනක් මැරෙතත් ඒ එහි ය. මරන මෙහි සිදු නොවනු ඇත. .... ඔහු (ට‍්‍රම්ප්) මා හට මෙය කෙලින්ම කිවේ ය.

උතුරු කොරියාව සිය මිසයිල පරීක්ෂන නවත්වන්නේ නැතිනම් යුද්ධය “අනිවාර්ය” බව ග‍්‍රැහැම් ප‍්‍රකාශ කලේ ය. වෙනත් වචනවලින් කිවහොත් ඒ වනාහි එක්සත් ජනපදයේ ඉල්ලීම් වලට කොරියාව මුලුමනින්ම යටත් වීමකි. “උතුරු කොරියාව ඇමරිකාවට අන්තර් මහාද්වීපික මිසයිලයකින් පහර දීමට දිගින් දිගටම උත්සාහ කලහොත්, එරට මිසයිල වැඩ පිලිිවෙල පිලිබඳව එරට සමග යුද්ධයක් සිදුවනු ඈත. (ට‍්‍රම්ප්) මට කියා ඇත්තේඑයයි. මම එය විස්වාස කරමි.”

ආසියාවේ යුද්ධය පිලිබඳ තීව‍්‍ර තර්ජනය වනාහි ට‍්‍රම්ප් නමැති තනි ෆැසිස්ට්තාලයේ පුද්ගලයාගේ නිර්මානයක් නොවේ. එය වනාහි ගෝලීය සහ ඇමරිකානු ධනවාදයේ විසඳිය නොහැකි ප‍්‍රගාඪ අර්බුදය ප‍්‍රකාශිත කරන්නකි. රිපබ්ලිකානු මෙන්ම ඩිමොක‍්‍රටික පාලනධිකාරයෝ ඇමරිකානු ධනවාදයේ දිග්ගැසුනු පරිහානිය වලක්වා සිය ආධිපත්‍යය ගෝලීයව පිහිටුවාගැනීමට දැරෙන වියරු ප‍්‍රයත්නයේ දී යුද්ධමය ආක‍්‍රමනයන් යොදාගෙන ඇත.

මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාවේ සහ මධ්‍යම ආසියාවේ එකපිට එක එන යුද්ධමාලාවක් ලෝකයේ ප‍්‍රමුඛ ආර්ථික බලවතුන් අතර මුහුනට මුහුනලා කෙරෙන ඍජු ඝට්ටනයක් බවට ඒකාග‍්‍ර වෙමින් පවති. ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” වනාහි, උතුරු කොරියාවට විරුද්ධ ඇමරිකානු මිලිටරි තර්ජනවල කේන්ද්‍රීය ඉලක්කයවූ චීනයට එරෙහිව, යුද්ධය සඳහා සුදානම් වීම් වස් ආසියා-පැසිෆික් ප‍්‍රදේශය පුරා යෝධ මිලිටරි බලය ගොඩනැගීමක් අලලාගති.

යුරෝපයේ දී, ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහි යුද ඝට්ටනයකට සැරසීම සඳහා කෙරෙන යුද අභ්‍යාසයන් එකකට පසු එකක නිරතවී සිටින අතර රුසියාවද තමන්ගේම පුලුල් යුද අභ්‍යාසවල දී සිටියි. මැද පෙරදිග දී ඇමරිකාව සහ රුසියාව සිරියානු ගැටුමේ ප‍්‍රතිවිරුද්ධ පැතිවල ට බැඳී සිටිති. මේ ඕනෑම මර්මස්ථානයක් න්‍යාෂ්ඨික ආයුධ සහිත බලයයන් අතර, බිලියන ගනනක් නොවේ නම් දශ ලක්ෂ ගනනක් ඝාතනය කරන්නා වූ හා මානුෂික ශිෂ්ඨාචාරයම විනාශ කරන්නාවූ, යුද්ධයක් ඇවිලවීමේ ට්‍රිගරයක් වීමට ඉඩ තිබේ.

මෙම අත්‍යසාමාන්‍ය ආතතියකින් යුතු මෙම තත්වය අතිශය බරපතල ය. දවසක් උදයේ නැගිටින කම්කරුවන් අමරිකා එක්සත් ජනපදය උතුරු කොරියානු යුද මධ්‍යස්ථානවලට සහ කර්මාන්තවලට යෝධ මිලිටරි ප‍්‍රහාර එල්ලකරනු ද සෝල් සහ ටෝකියෝ නගරවලට පහර දෙමින් පියොංයෑං ප‍්‍රතිප‍්‍රහාරදෙන අතර රුසියාව සහ චීනය සහ අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන් තමන්ගේ ම තර්ජන එල්ල කරමින්, න්‍යෂ්ටික ප‍්‍රතිප‍්‍රහාර සූදානම් කරන තතු ද දැකගන්නා තත්වයක් උද්ගත වීමට ඉඩ නොතැබියයුතු ය.

කම්කරු පන්තිය මුහුන දී සිටින අත්‍යන්ත හදිසි කර්තව්‍යය නම් සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් මත පදනම්වීගෙන, යුද්ධයේ මූල හේතුව එනම් ධනේශ්වර ක‍්‍රමය අවසන් කරන්නාවූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවද, ලෝක සමාජවාදී වෙබ් අඩවියද සටන් වදින දේශපාලන ඉදිරිදර්ශනය නම් එයයි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: