ට්‍රම්ප් විසින් නාසිවාදී ප‍්‍රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි

Trump’s defense of Nazi violence: The mask comes off

2017 අගෝස්තු 17

අඟහරුවාදා ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් නාසි හිංසන සහ සුදු අධිපතිවාදීන්ගේ උද්ඝෝෂන ආරක්ෂා කරමින් දක්වන ලද අදහස් ඉදිරිපත් කිරීම දැනටමත් දිරාපත් වී ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වෙස් මුහුන ඉරා දමා ඇත. “හිංසාකාරී” වාමාංශික විරෝධතාකරුවන් යනුවෙන් හඳුන්වන ලදවුන්ට ප‍්‍රහාර එල්ල කරන අතර, එක්සත් ජනපද ජනාධිපති මෙම පසුගිය සතියේ චාලොට්ස්විල් හි පැවැත් වූ රැලියට සහභාගි වූ “ඉතාමත් අනගි මිනිසුන්ට” තම සහය දීම සඳහා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ ය.

චාලොට්ස්විල්හි හිංසන වලට ජනාධිපතිගේ ප‍්‍රතිචාරය ජාත්‍යන්තරව සහ එක්සත් ජනපදය තුල අතිශයින්ම දුරදිග යන ප‍්‍රතිඵල ගෙන එනු ඇත. ලෝක ධනවාදී පද්ධතිය පුරා එක්සත් ජනපද අධිකාරය තහවුරු කල දෙවන ලෝක යුද්ධය ෆැසිස්ට්වාදයට එරෙහි යුද්ධයක් ලෙස ඉදිරිපත් කෙරින. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ මානව අයිතීන් වල පුරාජේරු ලෙස යුක්ති සහගත කල පසුගිය ශතවර්ශ කාර්තුව පුරා සිදු කෙරුනු සෑම යුද්ධයන්ම හිට්ලර්ගේ නව පුනරුත්තාපනයක් ලෙස විස්තර කරන ලද එක් හෝ තවත් රාජ්‍ය නායකයකු පෙරලා දැමීමට දියත් කරන ලද්දක් යයි කියා පාන ලදී. දැන් “නිදහස් ලෝකයේ” නායකයා ලෙස පෙනී සිටි පුද්ගලයා තම ෆැසිස්ට් හිතපක්ෂපාතකම් දැක්වීම් එලිදරව් කරනු ලැබ ඇත.

එක්සත් ජනපදය තුල ට‍්‍රම්ප්ගේ අදහස් දැක්වීම් වැඩි දියුනු වෙමින් පවතින සමාජ සහ දේශපාලන වෛරය අවුලවනු ඇත. මිලියන සංඛ්‍යාත මහ ජනතාව දැනටමත් රජය සහ එහි ආයතන සතුරුකමින් සහ පිලිකුලෙන් දකිති. ට‍්‍රම්ප් සහ ස්ටීවන් බැනන් වැනි නාසි ගැති උපදේශකවරු පාර්ලිමේන්තුවෙන් පිටත අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා දේශපාලන ව්‍යාකූලත්වයන් සහ කලකිරීම ගසා කෑමට ප‍්‍රයත්න දරන අතර ෆැසිස්ට්වාදය සඳහා තවමත් මහජන සහය ලද කන්ඩායමක් නැත. චාලොට්ස්විල් වෙත මුලු රට තුලින්ම නව නාසී බලමුලුගැන්වීම ආකර්ශනය කලේ ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තිය ට එරෙහිව සහභාගී වූ සිය දහස් සංඛ්‍යාත ජනතාවකට සංසන්දනාත්මකව කිහිප සිය ගනනකි.

ඒ කෙසේ වෙතත්, චාලොට්ස්විල්හි සිද්ධීන් ද, ධවල මන්දිරයේ ප‍්‍රතිචාරය ද ඇමරිකාවේ සහ ජාත්‍යන්තරව යන දෙකෙහිම කම්කරු පන්තියට තියුනු අනතුරක් ලෙස සැලකිය යුතු ය. පක්ෂ දෙකට මෙන්ම සමස්ථ දේශපාලන සංස්ථාපිතයටම එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් නැතිකම හේතුවෙන් ඇමරිකාව තුල ෆැසිස්ට්වාදය මතුවීම සත්‍ය අනතුරක්ව පවතී.

ට‍්‍රම්ප්ගේ පමනක් නොව, ඔහුගෙන් පුද්ගලාරෝපනය වන මූල්‍ය කතිපයාධිත්‍යයේ ආඥාදායක දෘෂ්ටියේ එලිදරව් වීම පාලක පන්තියේ දේශපාලන අර්බුදයේ හරි මැද පවතී. ඊයේ සවස මන්ඩල දෙකම විසුරුවා හැරීම සඳහා බල කරමින් ට‍්‍රම්ප්ගේ ස්ට‍්‍රැටජික් ඇන්ඩ් පොලිස් ෆෝරම් සහ ඔහුගේ මැනුෆැක්ටරින් කවුන්සිලයෙන් ඉල්ලා අස් වීම් තව තවත් වැඩි වන්නාවූ ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ ලැයිස්තුවක් නිවේදනය කලේය. ඩිමොක‍්‍රටිකයින්ගේ සහ රිපබ්ලිකානුවන්ගේ ප්‍රමුඛ පෙලේ කොන්ග‍්‍රස් මන්ඩල සභිකයන් ජනාධිපති සහ ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීම් හෙලා දැක ඇත. හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මෙන්ම ඒකාබද්ධ නායක මඩුල්ල (Joint chiefs of staff) හි සාමාජිකයින් හතර දෙනෙකු වර්ගවාදයට එරෙහි ප‍්‍රකාශ නිකුත් කලහ.

වධක වැඩපිලිවෙලවල් සහ එන් එස් ඒ (ජාතික ආරක්ෂක ඒ්ජන්සිය) මගින් ඔත්තු බැලීම ක්‍රියාත්මක කිරීම සඳහා සහය දුන් හිටපු සී.අයි.ඒ අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙනන් ට‍්‍රම්ප්ගේ අදහස් ඉදිරිපත් කිරීම් “අපගේ ජාතික ආරක්ෂාව සහ අපගේ සාමූහික අනාගතය දැවැන්ත අවදානමකට” පත් කරන “ජාතික අපහාසය” ක් ලෙස නම් කලේය.

පාලක පන්තියේ මෙම නියෝජිතයින්ගේ ප‍්‍රතික්‍රියාවන් සහ ප‍්‍රකාශනයන් කුහකත්වයේත් වසන් කිරීමේත් ව්‍යායාමයක් වෙයි. හරියට ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්තාලයේ නැඹුරුව පැහැදිලි ව තහවුරු වී නොතිබුනා මෙනි. බොහෝ වාර්තාවලට අනුව බොහෝ අවස්ථාවල ට‍්‍රම්ප් තම ප‍්‍රධාන ආධාරකරුවන්ට තම ෆැසිස්ට් ගැති අදහස් ප‍්‍රකාශ කලේ ය. මෙහි අර්ථය වන්නේ මේවා වොෂින්ටනය පුරාත්, මහජනයාගෙන් වසං කිරීමට තැත් කල මාධ්‍යයත් දැන සිටි බවයි.

බදාදා නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට මාක් ලැඩ්ලර් විසින් යවන ලද ලිපියක (“සම්ප‍්‍රදාය අත්හැර දමමින් ට‍්‍රම්ප් අධ්‍යාත්මික ප‍්‍රමිතියක් සකස් කිරීම ප‍්‍රතික්ෂේප කරයි”) පාලක පන්තිය පොලඹවන ලද නියම උත්සුකතාවන් එලිදරව් කරයි. ලැන්ඩ්ලර් පැමිනිලි කරන්නේ ට‍්‍රම්ප් “රූස්වෙල්ට් සිට රීගන් දක්වා වූ ජනාධිපතිවරුන් විසින් තම ධූර කාලය තුල දී තම කේන්ද්‍ර කාර්ය ලෙස සලකන ලද දෙය අත්හැර ඇත: එනම් ජාතිය සදහා සදාචාර පටිපාටියක් සැකසීම” යනුවෙනි.

හිටපු ජනාධිපතිවරුන් විසින් සකසන ලද “සදාචාර ප‍්‍රමිතියෙහි” නිදසුන් ලෙස ලැන්ඩ්ලර් උපුටා දක්වන්නේ 1989 දී රීගන්ගේ සමු ගනීමේ කථාව, 2011 සැප්තැම්බර් 11 ප‍්‍රහාරවලින් අනතුරුව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් කොන්ග‍්‍රස් මන්ඩලය ඇමතීම සහ “වාර්ගිකව මෙහයවුනු ඝාතනයන් හා පොලිස් වෙඩි තැබීම්වල හද කම්පා කරවන සන්තතිය අතර ඇමරිකානුවන් තුල පවතින ඉහලම ගුනයට” කල බැරැක් ඔබාමාගේ ආයාචනය ආදියයි. අනෙකුත් ජනාධිපතිවරුන්ගේ “සදාචාර අඩුපාඩුකම්” තිබුන “නමුත් මේ වන තෙක් කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයකු සදාචාර නායකත්වයේ සංකල්පය ඉවත දමා නැතැ”යි කියමින් ලැන්ඩ්ලර් අවසන් කලේය.

මෙම සංකල්පය අනුව, ඇමරිකානු සමාජයේ හා දේශපාලනයේ සියලුම ගැටලු පැන නගින්නේ ට‍්‍රම්ප්ගේ පෞද්ගලික අසාර්ථකත්වයන් තුලිනි. එය නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත බදාදා කතු වැකියේ සංක්ෂිප්ත ලෙසත් රලු ලෙසත් දැක්වූයේ “ගැටලුවේ මූලය වන්නේ සේවක මන්ඩලය නොව: මුදුනේ සිටින පුද්ගලයායි” යනුවෙනි.

නමුත් ට්‍රම්ප්, ගේ සියලුම පිලිකුල් සහගත පෞද්ගලික ගති ලක්ෂන, වනාහි දීර්ඝකාලීන දේශපාලන පරිනාමයක ප‍්‍රතිඵලයකි. පසුගිය අර්ධ ශතකය ටයිම්ස් පුවත්පත විසින් උපුටා දක්වන ලද සදාචාර භාරකරුවන් විසින් අධීක්ෂනය කරන ලද දේශපාලන කුනුවීමක සහ පිරිහීමක දැවැන්ත ක්‍රියාදාමයක් දැක ඇත.

ලෝකය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී ක්‍රියාවන් එලිදරව් වීම මැදදී නික්සන් වෝට’ගේට් සෝලිය විසින් නෙරපා හරින ලදී. ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපදය වෙනුවෙන් කාටර් ආරම්භ කරන ලද යුද්ධ නිසා අල් කයිඩාව නිර්මානය වීමට තුඩු දුනි. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පැනමාව ආක‍්‍රමනය කල අතර ඉරාකයට එරෙහි පලමු ආක‍්‍රමනය දියත් කලේය. ක්ලින්ටන් නොකඩවා ඉරාකයට බෝම්බ දැමූ අතර කෲර සම්බාධක පැනවීම මගින් දහස් ගනනක් ඉරාක වැසියන් මරනයට පත් කලේය. ඉන් අනතුරුව සර්බියාවට එරෙහි ගුවන් යුද්ධයක් දියත් කලේය. ධවල මන්දිරයේ පහත මාලයේ සිට මෙහෙයවන ලද නිකරගුවාවේ නීති විරෝධී සහ රහසිගත පෙරලියේ යුද්ධය හසුරුවන අතර රීගන් සමාජ ප‍්‍රතිවිප්ලවය ආරම්භ කලේය. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බිලියන සංඛ්‍යාත ජනයා ඝාතනය කල යුද්ධ ආරම්භ කරන ලද අතර ප‍්‍රතිපත්තිමය ආයුධයක් ලෙස වධ හිංසාවන් අනුමත කලේය. “බලාපොරොත්තුවේ” සහ “වෙනසෙහි” අපේක්ෂකයා වූ ඔබාමා ඩ්‍රෝන් මගින් එල්ල කරන ඝාතන සහ රටතුල සිදු කරන ඔත්තු බැලීම් සංස්ථාගත කරන ලද අතර වෝල් වීදියට සිය බිලියන ගනන් ඩොලර් මුදල් ප‍්‍රදානය කලේය.

ටයිම්ස් පුවත්පත සහ දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය වඩා කැමැත්ත දක්වන්නේ පාලක ප‍්‍රභූවේ සාපරාධිකාරී ප‍්‍රතිපත්තීන් මානව අයිතීන් සහ සහෝදරාත්මක ප්‍රේමය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කථා වලින් ආවරනය කිරීමටය.

ට‍්‍රම්ප් තෝරාපත්වීම හැරීම් ලක්ෂයකි. ඔහු ප‍්‍රයත්න දරන්නේ මහජනතාවගේ පුලුල් කොටසකගේ වර්ධනය වන මංමුලාවට සහ කලකිරීම ආමන්ත‍්‍රනය කරන ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක වර්ධනය ඇවිලවීම සඳහාත් නීත්‍යානුකූල කිරීම සඳහාත්ය. එහෙත් ඔහුගේ නාසි හිංසනයන් ආරක්ෂා කිරීම පිලිබිඹු කරන්නේ සරලව එක් තනි පුද්ගලයකුගේ පසුගාමී හා ප‍්‍රතිගාමී දෘෂ්ටිය නොවේ. ට‍්‍රම්ප් සමග එක්සත් ජනපදය පාලනය කරන මූල්‍ය වංශාධිපතියන්ගේ සියලුම අපරාධ මුලු ලෝකයටම දැන ගැනීම සඳහා දේශපාලන ජීවිතයේ මතු පිටට පුපුරා පැමින ඇත.

ප‍්‍රධාන විධායක නිලධාරීන් සහ බ්‍රෙනන් වැනි හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ ප‍්‍රකාශ මාධ්‍ය විසින් හුවා දක්වන්නේ ට‍්‍රම්ප් වෛරසයට ඔව්හු දේශපාලන ප‍්‍රතිපක්ෂයන් වන්නා සේය. ඇත්ත වශයෙන්ම, හමුදාවේ සහ බුද්ධි අංශ ඒජන්සිවල සැමදා වැඩිවෙන දේශපාලන බලපෑම (ට‍්‍රම්ප් බලයට පැමිනීමේ සිට ඩිමොක‍්‍රටික්වරු තම සමස්ථ ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ මෙයටයි) වනාහි ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ වැටීමේ තවත් රූපාකාරයකි. මෙය එකම රෝගයේ තවත් රෝග ලක්ෂනයකි.

ට‍්‍රම්ප්ට එරෙහිව අරගලය වර්ධනය කල යුත්තේ පහල මට්ටමේ සිට ය. එනම් කම්කරු පන්තියේ ව්‍යාපාරයක් විසිනි. මෙය මාලිගා බලකොල්ලයේ විධික‍්‍රමවලින් සිදු නොවිය යුතු ය.

කම්කරු පන්තිය තම සමාජවාදී සහ විප්ලවාදී වැඩ පිලිවෙල අතැතිව මැදිහත් විය යුතුය. ට‍්‍රම්ප් පරිපාලනයට එරෙහි අරගලය පාලක පන්තියේ කුමන හෝ කල්ලියකට යටත් කිරීමට ඊට ඉඩ දිය නොහැක. අධිපතිවාදයට සහ ෆැසිස්ට්වාදයට විරුද්ධත්වය යුද්ධයටත් සමාජ අසමානතාවයටත්, විරැකියාවටත්, දුගීකමටත්, සෞඛ්‍ය පහසුකම් සහ නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාරයන්ටත් පවතින විරුද්ධත්වය සමග බද්ධ කල යුතුය. මූල්‍ය කතිපයාධිපතියන්ගේ අති මහත් සම්පත් අල්ලා ගත යුතු අතර සමාජ සහ ආර්ථික ජීවිතය මත ආඥාදායකත්වය පතුරුවා ඇති යෝධ බැංකු සහ සමාගම් පොදු ව්‍යවසායන් බවට පරිවර්තනය කල යුතුයි.

කතිපයාධිපතියන්ගේ සහ හමුදා ජෙනරාල්වරුන්ගේ රෝගී ආන්ඩුව, එනම් යුද්ධය මෙහෙයවීමේත් ඒකාධිපතිත්වය පැනවීමෙන් කුමන්ත‍්‍රනවල නියමු කුටිය, අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරුවන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කල යුතුය.

ජෝසෆ් කිෂෝර්

Share this article: