ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට ගූගල් සමාගම ගවේෂන හසුරුවමින් සිටී

Google rigs searches to block access to World Socialist Web Site

2017 ජුලි 28

වෙබ් අඩවි සන්නිවේදන දත්ත පිලිබඳ විමර්ශනයක් පැහැදිලිව පෙන්වා දෙන්නේ අන්තර්ජාල යෝධයකු වන ගූගල් (සමාගම) ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට ගවේෂන ප‍්‍රතිඵල හසුරුවමින් සිටින බව යි.

අප්‍රේල් මාසයේ දී, “ව්‍යාජ ප‍්‍රවෘත්තිවලට” එරෙහිව සටන් කිරීමේ රැවටිල්ල යටතේ ගූගල් නව පටිපාටි හඳුන්වා දුන්නේ ය. මේ යටතේ වෙබ් පිටු හා වෙබ් අඩවි පහල හෙලීමට නම් නො කෙරුනු “ඇගයුම්කරුවන්ට” අසාමාන්‍ය බලතල ලබා දෙයි. මෙම පටිපාටි ලෝසවෙඅ හා අනෙකුත් යුද විරෝධී හා විරුද්ධපාර්ශ්වීය අඩවි වැලක්වීමට පාවිච්චි කෙරී ඇත.

ගෙවී ගිය මාස තුනේ දී, ගූගල්වලින් ලෝසවෙඅ වෙතට ආරම්භවන හුවමාරු හරියට ම සියයට 70කින් පහල වැටී ඇත. ලෝසවෙඅ නිතිපතා ආවරනය (එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් හා යුද තර්ජන), (අයහපත් සමාජ කොන්දේසි, අසමානතාව, හා සමාජවාදය පවා ඇතුලත්) කරන විශාල පරාසයක මාතෘකාවලට අදාල ප‍්‍රධාන ගවේෂන තුල ලෝසවෙඅ සඳහන් කරන ගවේෂන මුද්‍රාංකන (ලකුනු) සංඛ්‍යාව දැඩි ලෙස පහල වැටී ඇත.

“මුද්‍රාංකනයක්” යනු ගවේෂන ප‍්‍රතිඵලයකට ප‍්‍රතිචාරයක් දැක්වීමේ දී ගූගල් විසින් පෙන්වනු ලබන සම්බන්ධයකට අදාල තාක්ෂනික යෙදුම යි. “සමාජවාදය” සඳහා වන ගවේෂනයක් ලෝසවෙඅ එක් සම්බන්ධයක් පෙන්වීමට භාවිත කරන්නාගේ පරිගනකය මෙහෙය වන්නේ නම්, එය මුද්‍රාංකනයක් ලෙස ගනන් ගැනේ.

ලෝසවෙඅ පිටුවලට පැවරුනු “ගවේෂන ශ්‍රේනි කිරීම” හැසිරවීමෙන් ගූගල්ට ප‍්‍රතිඵල ලේඛනය මත එහි අන්තර්ගතය පහලට තල්ලු කල හැක. මෙය මුලු මුද්‍රාංකන සංඛ්‍යාව අඩු කර යි, මෙය අනෙක් අතට, “ක්ලික් කිරීම්” හෝ අඩවියට පිවිසීම් බෝහෝ පහල තැනකට තල්ලු කර යි.

ගූගල් වෙබ් මාස්ටර් ටූල් සර්විස්වලට (Google’s Webmaster Tools Service) අනුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා දෛනික මුද්‍රාංකන සංඛ්‍යාව ගෙවී ගිය මාස තුනේ දී 467, 890 සිට 138, 275 දක්වා පහල වැටුනි.

මැයි හා ජූලි අතර, එනම් ගූගල් තම නව වෙබ් අඩවි බැහැර කිරීමේ ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු කාලයේ, ලෝසවෙඅ විශේෂිත ගවේෂන පිලිබඳ ප‍්‍රතිඵලවලට සම්බන්ධිත දත්ත විශ්ලේෂනය කර ඇත

මැයි මාසය අතරතුර, “යුද්ධය” යන වචනය ඇතුලුව ගූගල් ගවේෂන ලෝසවෙඅ මුද්‍රාංකන 61, 795ක් සම්පාදනය කලේ ය. ජූලි මාසයේ දී, එය ලෝසවෙඅ මුද්‍රාංකන 6,613 දක්වා හරියට ම සියයට 90කින් පහල වැටුනි.

මැයි මාසයේදී “කොරියානු යුද්ධය” යන වචනය සඳහා ගවේෂන මුද්‍රාංකන 20, 392ක් සම්පාදනය කලේ ය. ජූලි මාසයේ දී, එම වචනය ම පාවිච්චි කරන ගවේෂන සම්පාදනය කල ලෝවෙසඅ මුද්‍රාංකන සංඛ්‍යාව ශුන්‍යය ය. මැයි මාසයේ “උතුරු කොරියානු යුද්ධය” යන වචනය සඳහා ගවේෂන මුද්‍රාංකන 4,626ක් සම්පාදනය කලේ ය. ජූලියේ දී, එම පිවිසුමේ ම ප‍්‍රතිඵලය සම්පාදනය කල ලෝසවෙඅ මුද්‍රාංකන සංඛ්‍යාව ශුන්‍යය ය. “ඉන්දියා පකිස්තානු යුද්ධය” මැයි මාසයේ දී මුද්‍රාංකන 4,394ක් සම්පාදනය කලේ ය. ජූලි මාසයේ ප‍්‍රතිඵලය, නැවතත් ශුන්‍යය ය. “න්‍යෂ්ටික යුද්ධය” මැයි මාසයේ දී මුද්‍රාංකන 2,319ක් සම්පාදනය කල අතර ජූලි ප‍්‍රතිඵලය ශුන්‍යය ය.

ඇතම් වෙනත් ගවේෂන සඳහන් කලොත්: “විකීලීක්ස්” මුද්‍රාංකන 6,576 සිට ශුන්‍යය දක්වා පහල වැටුනි. “ජූලියන් අසාන්ජ්” 3,701 සිට ශුන්‍යයට වැටුනි. එමෙන් ම “ලව්රා පොයිට්රාස්” මුද්‍රාංකන 4,499 සිට ශුන්‍යයට වැටුනි. “මයිකල් හේස්ටින්” (2013දී සැකසහිත වාතාවරනයක දී මියගිය වාර්තාකරු) සඳහා ගවේෂන මැයි මාසයේ දී මුද්‍රාංකන 33, 464ක් සම්පාදනය කල නමුත් ජූලියේ දී මුද්‍රාංකන 5,227ක් පමනක් විය

භූදේශපාලනයට අමතරව, ලෝසවෙඅ නිතිපතා පුලුල් පරාසයක සමාජ ප‍්‍රශ්න ආවරනය කර යි, ඉන් බොහොමයක් දැක ඇත්තේ ගවේෂන ප‍්‍රතිඵලවල ප‍්‍රපාතකාර වැටීමකි. “ආහාර සලාක”, “ෆෝර්ඩ් දොට්ට දැමීම” “ඇමර්සන් විසල් වෙලඳ සල” හා “අධ්‍යාපන ලේකම්” සඳහා ගවේෂන මැයි මාසයේ මුද්‍රාංකන 5,000 සිට ජූලි වන විට ශුන්‍යය දක්වා පහත වැටුනි.

“වැඩවර්ජන” යන වචනය ඇතුලත් ගවේෂන තුල ලෝසවෙඅ ලිපි සඳහා වූ ගවේෂන මුද්‍රාංකන සංඛ්‍යාව මැයි මාසයේ 19,395 සිට ජූලි මාසයේ 2,964 දක්වා සියයට 85කින් පහල වැටුනි.

මෙම වචන සඳහා ගූගල් ගවේෂන හසුරුවන බොහෝ පුද්ගලයන් සංස්ථාපිත දේශපාලනය ගැන ඔවුන් විවේචනාත්මක වන නිසා සමාජවාදීන්ට කීමට ඇත්තේ කුමක් ද යන්න ඇසීමට උත්සුක වනවා ඇත. කෙසේ නමුත්, ගූගල් ක්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කරන ලිපිලේඛන සොයා නො ගනු ඇත.

සමාජවාදී දේශපාලනය පිලිබඳව සෘජුව පරීක්ෂා කරමින් සිටන අයගේ තත්වය කුමක් ද? මැයි මාසයේ දී, “සමාජවාදය” නම් ගවේෂන වචනය මුද්‍රාංකන 31,696ක් උත්පාදනය කල අතර, ගවේෂන ප‍්‍රතිඵල තුල ලෝසවෙඅ පහත් හයත් අතර ශ්‍රේනියකට ගැනුනි. ජූනියේ දී, එකී වචනය සඳහා වු ඉහල ගවේෂන ප‍්‍රතිඵල 100න් ලෝසවෙඅ ඉවත් කෙරුනි. මේ ආකාරයෙන්, බොහෝ පුලුල් ලෙස කියවන, ඔන්ලයින් සමාජවාදී ප‍්‍රකාශනය වන ලෝසවෙඅ වෙනුවෙන් “සමාජවාදය” සම්පාදනය කලේ ශුන්‍යය මුද්‍රාංකනයකි.

මේ වන විටත් සමාජවාදයට කැප වූ ද ලියොන් ට්‍රොට්ස්කි ගැන වඩ වඩා ගවේෂනය කිරීමට අවශ්‍ය වූ ද අයගේ තත්වය කුමක් ද? මෙහි දී ද, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ප‍්‍රසිද්ධ කරනු ලබන ලෝසවෙඅ, අවහිර කෙරෙමින් තිබේ. මැයි මාසයේ දී “ලියොන් ට්‍රොට්ස්කි” සඳහා ගවේෂන මුද්‍රාංකන 5,893ක් වූ අතර ජූලියේ දී එය ශුන්‍යය දක්වා වැටුනි.

ඉංජිනේරු කටයුතු පිලිබඳ ගූගල් උප සභාපති වන, බෙන් ගෝමස්ගේ 2017 අප්රේල් 27වැනි දින බ්ලොග් තැපෑල ද, එමෙන් ම එම කාලයේ දී ම ප‍්‍රසිද්ධ කෙරුනු, යාවත්කාල කෙරුනු “ගවේෂන ගුනත්ව ශ්‍රේනි කිරීමේ උපදෙස්” තුල ද මෙම ක්‍රියාවන්ට මග පෙන්වන ප‍්‍රතිපත්තිය මුලුමනින් ම පැහදිලි කෙරුනි. එකී තැපෑල නියම කරන්නේ “බලාපොරොත්තු රහිත අහිතකර ප‍්‍රතිඵල, වංචා හා කුමන්ත‍්‍රන න්‍යායන්” ( ඕනෑම විරුද්ධවාදී අන්තර්ගතයක් ඉවත් කිරීමට යොදන පුලුල් හා අනියතාකාර භාෂාවකි) සලකුනු කිරීම හා පහත හෙලීමේ අවශ්‍යතාවය යි.

ශ්‍රේනි කිරීමේ උපදෙස් ඊටත් වඩා පැහදිලි ය. “දේශපාලනිකව, මුදල්මය වසයෙන්, හෝ වෙනත් ආකාරයකින් පුද්ගලයෙකු, ව්‍යාපාරයක්, ආන්ඩුවක් හෝ වෙනත් සංවිධානයකට වාසි වනු පිනිස පාවිච්චිකරන්නන් නොමග යවන කරුනුමය වසයෙන් අසත්‍ය තොරතුරු” ඇති අඩවි පහලම ශ්‍රේනියේ අඩවි ලෙස නම් කිරීමට නම් නොකල “ඇගයුම්කරුවන්ට” උපදෙස් ලැබේ. “තොරතුර සත්‍ය වුවත්, තහවුරු නො කල කුමන්ත‍්‍රන න්‍යායන් හෝ වංචා ඉදිරිපත් කරන” වෙබ් අඩවි වලට ද “පහලම” ශ්‍රේනිය දිය යුතු ය.

නිදහස් භාෂනයේ මර්දනය සම්බන්ධයෙන් මීට වඩා පැහදිලි ප‍්‍රතිපත්තියක් සූත‍්‍ර ගත කිරීම අපහසු ය. මෙම උපදෙස් ලියන්නේ ආන්ඩුව පිලිබඳ විවේචනාත්මක හා එහි බොරු හෙලිදරව් කරන විශාල වෙබ් අඩවි පෙලක් පහල හෙලීමට හා අවහිර කිරීමට ගූගල්ට ඉඩ ලැබෙන ආකාරයකට ය.

“කරුනුමය වසයෙන් අසත්‍ය තොරතුරු” කුමක් ද හෝ “තහවුරු නො කෙරුනු කුමන්ත‍්‍රන න්‍යායක්” සමන්විත වන්නේ කුමකින් ද යන්න නිශ්චිතව ම නීර්නය කරන්නේ කව්රුන් විසින් ද? එය ගූගල් හා රාජ්‍යයේ එහි සහචරයන්ට, විශේෂයෙන් ම ඩිමොක‍්‍රටික් පක්ෂයට පිලිගත හැකි අදහස්වලට වෙනස් මත පිලිබඳ සියලු ප‍්‍රකාශන අවහිර කර යි. මෙම “උපදෙස්වල” බලපෑමට හසු නො වන ප‍්‍රකාශන හා සඟරා කියවීම නො වටී.

මෙම නව පිලිවෙත්වල නරුමත්වයට මූලාශ‍්‍ර අතිවිශාල ගනනක ගවේෂන ප‍්‍රතිඵල වංචා කරමින්, දේශපාලන අපේක්ෂකයින්ට, විශේෂයෙන් ම හිලරි ක්ලින්ටන්ට සහාය දීමේ දී ගූගල් ක්‍රියාකාරී මැදිහත්වීම වාර්තා ගත කර ඇත යි යන කාරනය එකතු වෙයි. Move Fast and Break Things: How Facebook, Google, and Amazon cornered culture and undermined democracy නමින් ඔහුගේ මෑත දී ප‍්‍රකාශ කෙරුන ග‍්‍රන්ථය තුල ජොනතන් ටැප්ලින්, ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයට සෘජුව සහාය දීමට The Groundwork නමින් සමාගමක් පිහිටුවීමේ දී, ඇල්ෆබට් (Alphabet) නම් ගූගල් මව් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී එරික් ෂ්මිඞ්ට්ගේ කාර්යභාරය වාර්තා ගත කර යි.

තව ද, මෙම වසර මුල දී, තම තරඟකරුවන්ට අවාසි වන සේ තමන්ගේ ම ඊට සැසඳෙන සාප්පු සේවාවක් ප‍්‍රචාරය කිරීමට ගූගල් සමාගම, තම ගවේෂන ප‍්‍රතිඵල පුලුල් ලෙස, ඔනෑ කමින් හා සාපරාධී ලෙස වංචා කිරීම යුරෝපා සංගමය විසින් හෙලදරව් කරන ලදී. සමාගමට ඩොලර් බිලියන 2.7ක දඩයක් නියම කෙරුනි.

”ව්‍යාජ ප‍්‍රවෘත්ති” සමග සටන් කිරීම නාමයෙන්, ගූගල් ව්‍යාජ ගවේෂන සපයමින් සිටී. එය ගවේෂන උපකරනයක සිට වාරනයේ උපකරනයක් බවට පරිවර්තනය වී ඇත.

ලෝසවෙඅ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත ගූගල් සමාගමේ ව්‍යවස්ථා විරෝධී ප‍්‍රහාරය දිගට ම හෙලිදරව් කරනු ඇත. තම පිලිවෙත් පිලිබඳ සම්පූර්න වාර්තාවක් සැපයීමට ද, හා එමෙන් ම වෙබ් අඩවි ”අගය කිරීමට” බලය දී ඇත්තේ කාට ද යන්න ගූගල් සමාගම හෙලි කල යුතු බව ලෝසවෙඅ ඉල්ලා සිටී. ගූගල් සමාගමේ සියලු නීතිරීති මහජන අධිකාරය යටතේ තැබිය යුතු ය.

අවසානයේ දී, ගූගල් සමාගමේ ක්‍රියා තොරතුරු බෙදාහැරීම පුද්ගලික පාලනයෙන් ඉවතට ගැනීමේ අවශ්‍යතාව පිලිබඳ තවත් ප‍්‍රකාශනයක් සපය යි. බිලියනපති කතිපයාධිකාරීන් විසින් පාලනය කෙරෙන ඒකාධිකාරයන්ට බලගතු ගවේෂන උපකරන පවත්වාගෙන යා නො හැක. ඒවා ලෝකයේ වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු ය.

අඩවියට පිවිසෙමින් ලෝසවෙඅ සොයා ගෙන තිබෙන්නට ඇති දහස් ගනනක් පුද්ගලයන් ගූගල් ක්‍රියාව විසින් අවහිර කර ඇත යි යන්න ගැන සැකයක් නොමැත. එය අරමුන යි. කෙසේ නමුත්, ලෝසවෙඅ පාඨකයින්ගේ බොහෝ සැලකිය යුතු කොටසක් සෘජුව, සමාජ මාධ්‍ය ඔස්සේ, හෝ මේ අවස්ථාව වන විට ගූගල් තරම් දුර ගිය නීති ක්‍රියාක්මක කර නැති වෙනත් ගවේෂන උපකරන යටතේ අඩවියට පිවිසෙති.

ලෝසවෙඅට පාඨකයින්ගේ පක්ෂපාතිත්වයක් මෙන්ම විශාල පදනමක් ඇති අතර මසකට සියදහස් ගනනක් පුද්ගලයෝ එයට පිවිසෙති. අපි ගූගල් දේශපාලන වාරනයට විරුද්ධ වන්නෙමු, නමුත් අපට ඔබගේ සහාය අවශ්‍ය ය.

ලෝසවෙඅ සඳහා සටන් කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වන ලෙස අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. ලෝසවෙඅ ලිපි බෙදා හැරීමට සහාය වනු මැනවි. අපගේ අන්තර්ගතයන් සමාජ මාධ්‍යවලට තැපල් කරනු මැනවි. ඔබගේ මිතුරන්ට හා කම්කරු සගයන්ට අපගේ ලිපි ඊමේල් කරනු මැනවි. ගූගල් ක්‍රියාව හැකි සෑම අයුරකින් ම පුලුල් ලෙස ප‍්‍රසිද්ධ කරනු මැනවි.

ඔබගේ ඊමේල් ලිපිනය එවනු මැනවි, ඒ මගින් ලෝසවෙඅ ලිපි දිනපතා යාවත්කාල කල හැකි වනු ඇත. ගූගල් සමාගමේ ක්‍රියාවට එරෙහිව ප‍්‍රකාශනයක් නිකුත් කරනු මැනවි. අවසානයේ දී, අප සටන් කරමින් සිටින්නේ, ආන්ඩුවට හා විශාල සම්පත්වලට සම්බන්ධකම් ඇති, ඉතා බලගතු සමාගමක් සමගිනි. වාරනය හා නිදහස් භාෂනය මර්දනය කිරීමට එරෙහිව ඉදිරියට යාමට හා අපගේ ප‍්‍රතිප‍්‍රහාරය පුලුල් කිරීමට අපට මූල්‍යමය ආධාර අවශ්‍ය ය.

ලෝසවෙඅ කතෘ මන්ඩලය

Share this article: