ඛනිජ තෙල් සංස්ථා වැඩ වර්ජනය පාවාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත

2017 අගෝස්තු 12

නොබෝදා පැවති ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) කම්කරුවන්ගේ “අඛන්ඩ වැඩවර්ජනය” දිවයින පුරා දේශපාලන අර්බුදයක් නිර්මානය කලේය. පැය 48ක් ගතවීමටත් පෙරාතුව වෘත්තීය සමිතිය විසින් වර්ජනය නතරකරනු ලැබුව ද එය සලකුනු කලේ, මේ දක්වා වැඩකරන ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවටත් එහි ප‍්‍රතිපත්ති වලටත් එරෙහිව ගෙන ගිය අරගල මාලාවක ඉහල අවස්ථාවකි.

සිපෙට්කෝ හි වෘත්තීය සමිති එකතුව, ඉල්ලීම් 3ක් මුල්කරගෙන ජූලි 24දා වර්ජනය ආරම්භ කලේ: ති‍කුනාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිනීම නතර කරන ලෙසත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට විකිනීම අවලංගු කරන ලෙසත් සපුගස්කන්දේ පිහිටි ප‍්‍රධාන තෙල් පිරිපහදුව අලුත්වැඩියාව ඉක්මන් කරන ලෙසත් ඉල්ලමිනි.

මෙම ඉල්ලීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර තිබෙන ප‍්‍රතිපත්ති වලට විරුද්ධව යන බැවින් ආන්ඩුව වහාම, රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින්, වර්ජනය මැඬීම පිනිස මිලිටරිය යෙදවීය. පිකට් වැටට පහර දීම පිනිස ආන්ඩුවේ අනුග‍්‍රහය ලත් මැරයන් මෙහෙයවන ලද අතර ඉන් බොහෝ වර්ජකයෝ තුවාල ලදහ.

වෘත්තීය සමිති වහාම වර්ජනය අත්හිටවූයේ එය "තාවකාලිකව" නතර කරන බව කියමිනි. එහෙත් සමිති නායකයින් අගෝස්තු 1දා ජනාධිපති මුනගැසීමෙන් පසුව ප‍්‍රකාශ කලේ, චීනයේ මර්චන්ට් පෝර්ට්ස් හෝල්ඩිං සමාගම සමග ඇතිකරගෙන තිබෙන බදු ගිවිසුම ඕනෑම මොහොතක වෙනස් කල හැකි වගන්තියක් ඊට ඇතුලූ කරන බවට දුන් පොරොන්දුව මත තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි.

පසු අවස්ථාවක සිරිසේන පැවසුවේ ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි ද ඇතුලු අනෙකුත් පහසුකම් විදේශ රටකට විකුනා නොදැමෙන බවයි. එහෙත් ඔහු දේශීය ආයෝජකයින්ට ඒවා විකිනීමේ හැකියාව බැහැර නොකලේය. සිපෙට්කෝව ද ප්‍රකාශ කලේ සපුගස්කන්ද පිරිපහදුවේ සමහර අලුත්වැඩියාවන් කරගෙන යන බවයි.

එහෙත් මේ අපැහැදිලි පෙරොන්දු කිසිවක් එලෙසින් නොපිලිගත යුතුය. කප්පාදු පියවරයන්ට මුහුනපා සිටින කම්කරු පන්තියේ අනෙකුත් කොටස් රැලි කරන ලක්ෂ්‍යය බවට පත්වීමේ තර්ජනය මතුවෙමින් තිබූ කොන්දේසි හමුවේ ආන්ඩුව, වර්ජනය අවසන් කිරීමට මංමුලාසහගතව වැඩ කලේය. තව ද සමිතිවල උදව් ඇතිව තෙල් ටැංකි ද සමග හම්බන්තොට වරාය පුද්ගලීකරනය ක්‍රියාත්මක වෙමින් පැවතියදී, ආන්ඩුව සිදු කරන බව කියන එකම වෙනස් කිරීම, අර්ථ විරහිත වගන්තියකි.

කම්කරුවන් වර්ජනයට සහාය දුන්නේ, චීන සමාගමට බදු දීම නිසා එහි අයිතිය හිමිකරගන්නා සමාගම යටතේ, සිපෙට්කෝවේ අනු සමාගමක් වන තෙල් ගබඩා පර්යන්ත සමාගමේ කම්කරුවන්ගේ රැකියාවන්ට තර්ජනයක් එල්ලවේය යන බිය නිසාය.

1980 ගනන්වල පටන්ම බලයට පත් ආන්ඩු, පෞද්ගලික ව්‍යවසායක් වන ඉන්දියානු තෙල් සමාගමට (අයි ඕසී) දොර විවෘත කරමින් හා පෞද්ගලික අයිතිකරුවන්ට තෙල් ප‍්‍රවාහනය පැවරීම ආදිය මගිින් සිපෙට්කෝවේ ඒකාධිකාරයට ක‍්‍රමානුකූලව පහර දෙන ලදී. පාර්ශවීය ලෙස පෞද්ගලීකරනය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඇති කිරීම ද වරාය හා බලශක්ති ක්ෂේත‍්‍රය විවෘත කිරීම ද මගින් දැනටමත් ඒවායේ රැකියා හා සේවා කොන්දේසි ප‍්‍රහාරයට ලක්ව ඇත.

වර්ජනය පාවාදීමෙන් තවදුරටත් පෙන්නුම් කර ඇත්තේ, කම්කරුවන්ට සිය මූලික අයිතීන් රැක ගැනීමත්, ආන්ඩුවේ කප්පාදු වැඩසටහන පරාජය කිරීමත් වෘත්තීය සමිති මගින් කල නොහැකි බවයි. කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන වඩ වඩාත් ගැඹුරුවන ප‍්‍රහාරයන්හි මූල හේතුව නම් නරක අතට හැරෙමින් තිබෙන ගෝලීය ධනවාදයේ අර්බුදයයි. එමගිින් ඇති කෙරෙන විනාශය පරාජය කල හැක්කේ, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා ඒකාබද්ධ අරගලයක පදනම මත සටන් වැදීමෙන් පමනි.

ධනපති ක‍්‍රමය පිලිගන්නාවූ ද කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ගැටගැසුනාවූ ද වෘත්තීය සමිති, එවන් ඉදිරිදර්ශනයකට තරයේම සතුරුය. මෙම සමිති වර්ජනය කැඳවූයේ කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන් රැකගැනීමට නොව, ඔවුන් අතරනැගී එන විරුද්ධත්වය ඉන්දියානු හා චීන සමාගම් වලට එරෙහි ප‍්‍රතිගාමී ජාතිකවාදී මාවත් ඔස්සේ හරවා යැවීමටත්, ආන්ඩුවට නිරර්ථක ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත්ය. සිපෙට්කෝ දේපොල දේශීය වේවා විදේශීය වේවා කාට විකුනනු ලැබුව ද කම්කරුවන් මුහුන දෙනු ඇත්තේ අඛන්ඩව එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ටය .

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් හසුරුවනු ලබන සමස්ත ලංකා වරාය පොදු කම්කරු සංගමය, හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට විරුද්ධව ජූලි 28දා කොලඹ වරාය සේවකයින්ගේ විරෝධතාවක් පවත්වන බව නිවේදනය කල ද ජනාධිපති සිරිසේනගේ ප්‍රෝඩාකාරී පොරොන්දුව මත එය වහාම අකුලා ගත්තේය.

සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ,හම්බන්තොට වරාය පැවරීමේ බදු ගිවිසුම "රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක්" ලෙස හෙලාදකිමින් හඬ තැලීය. මෙම චීන විරෝධී ප්‍රකාශ, සිපෙට්කෝ කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිදු සම්බන්ධයක් නැත. එය වනාහි, චීනයට එරෙහිව යුද්ධය සූදානම් කිරීමේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අවුස්සනු ලබන විදේශික විරෝධී ව්‍යාපාරයේ කොටසකි.

කම්කරු පන්තිය මුහුන දෙන්නේ වෘත්තීය සමිතිවල ද්‍රෝහිත්වයට පමනක් නොව, ආන්ඩුව ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින පොලිස්-රාජ්‍ය ප්‍රහාරයන්ට ද වේ. එම පොලිස්-රාජ්‍ය පියවරයන් තර කෙරුනේ බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි 26 වසරක වර්ගවාදී යුද්ධය අවධියේදී ය. අත්‍යවශ්‍ය සේවා නියෝග බල ගැන්වීම යුක්තිසහගත කිරීම පිනිස අගමැති වික‍්‍රමසිංහ සිපෙට්කෝ වර්ජනය ආන්ඩුව අස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස හෙලා දකිමින්, “ජාතික අර්බුදකාරී අවස්ථාවක” එවන් ක්‍රියාවන්ට ඉඩ දිය නොහැකි බව පැවසීය.

ගෝලීය ආර්ථික අර්බුදයෙන් තදින්ම බැටකා ඇති ආර්ථිකය, නයෙහි ගිලී ඇත. අපනයන හා විදේශ රැකියාවල යෙදී සිටින්නන්ගේ ප්‍රේශන පහත වැටෙන අතර පුලුල් වන ගෙවුම් ශේෂ හිඟයකට ආන්ඩුව මුහුනපා ඇත. අනෙක් රටවලදී මෙන්ම මෙරට ද පාලක පන්තිය කම්කරුවන්ට හා පීඩිතයන්ට එරෙහිව ජපකරන මන්තරය නම්: අර්බුදයට වන්දි ගෙවනු!

ආන්ඩුව බලයට පත් වුනේ, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පුලුල් ජනතා විරුද්ධත්වය ගසා කමින් හා කම්කරුවන්ගේ ද පීඩිත ජනතාවගේ ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් යලි තහවුරු කරන බව පවසමිනි. එහෙත් “එක්සත්” ආන්ඩුව පිහිටුවා වැඩි කල් නොයාම, ජාමූඅ කප්පාදු නියෝග ක්‍රියාවට නගමින්, කුමන හෝ විරෝධතාවකට නැතිනම් වැඩවර්ජනයකට පහර දීම පටන් ගැනුනි.

තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේදී කම්කරුවන් ගතයුත්තේ අතිමූලිකවම වෙනස් වූ දේශපාලන මාවතකි. එහි පලමු පියවර වෘත්තීය සමිති වලින් සංවිධානාත්මකව හා දේශපාලනිකව මුලුමනින්ම කැඩී වෙන්වීමය. සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, සමිතිවල පාලනයෙන් ස්වාධීනව, සෑම වැඩපොලකම, නිවහන් ප‍්‍රදේශයකම හා විශාල වතුවල, ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. කමිටු නායකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත්කර ගත යුතු අතර තීන්දු ගත යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා හරහාය.

ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද සියලු කම්කරුවන් පීඩාවට පත් කරන බැංකු හා සංගත වලට එරෙහි ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම පිනිස ක්‍රියාකාරි කමිටු, ඔවුන් වෙත හැරීම අවශ්‍යවේ. මෑත කාලයේදී තැපැල්, වතු කම්කරුවන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවන්හි හා වැඩවර්ජනවල නිරතවිය. එහෙත් ඒ සෑම අරගලයක්ම වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා විරෝධතා සංවිධාන විසින් හුදෙකලා කොට පරාජය කරන ලදී.

කම්කරු පීඩිත ජනතාවන්ට සිය පන්ති ආසක්තයන් ආරක්ෂා කර ගත හැක්කේ, ආන්ඩුවට හා සංගත වලට ද ලාභ පද්ධතියටම ද කෙලින්ම අභියෝග කිරීමෙන් පමනි. සසප පෙනී සිටින්නේ, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමටත් සියලු පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලය සඳහා කම්කරු පන්තියේ සියලුම කොටස් ද ගම්බද දුගීන් ද එකමුතු කිරීමටයි.

ප‍්‍රධාන සමාගම්, වතු හා බැංකු කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යටතට ගෙනා යුතුය. ආර්ථිකය, ධනවත් ප‍්‍රභූවේ ලාභය වෙනුවෙන් නොව, වැඩකරන ජනතාවගේ සමාජ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි සංවිධානය කල යුතුය.

ධනවාදයට එරෙහි අරගලයේදී, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජවිපෙ හා අවශේෂ කුඩා ධනපති පක්ෂ හා කන්ඩායම් වලින්, විශේෂයෙන්ම ඔවුන්ගේ හෙංචයියන් වන නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ඔවුන්ගේ සියලු ව්‍යාජවාම හෙංචයියන්ගෙන් ද දේශපාලනිකව බිඳී වෙන්වීම අවශ්‍යය ය.

මේ සටන ගෙනයා හැක්කේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ද ජාත්‍යන්තර සමාජවාදය සඳහා ද සටනට ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමෙන් පමනි. සසප දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා පුලුල් දේශපාලන අරගලයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් කැඳවුම් කරයි.

මේ අරගලයට කම්කරුවන් මෙහෙයවීම සඳහා ඔවුන්ට ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය කෙරේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස සසප, කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අරගලයට එකතු වෙමින් එය ජනතා විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගන ලෙසයි.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: