ධවල මන්ඳිරය හා චාලොටස්විල්හි ෆැසිස්ට් කැරැල්ල

The White House and the Fascist rampage in Charlottesville

2017 අගෝස්තු 14

පොලිසිය සමග මාස ගනනාවක් තිස්සේ කරන ලද හවුල් සැලසුම් සහ ගනුදෙනු වලින් පසුව, වර්ජිනියා ප‍්‍රාන්තයේ චාලොටස්විල් නගරයේ දී ඇති කල “දකුන එක්සත් කරව්” යන නාසිවාදී කැරැල්ල, ගිය 12දා මාරක මුදුනකට නැගුනේ, ඔහියෝ වල සිට පැමිනි 20 හැවිරිදි හිට්ලර්වාදියෙක් නාසි පෙලපාලියට විරුද්ධත්වය දැක්වූවන් කන්ඩායමක් වෙතට තම මෝටර් රිය පදවමින් බර්නි සැන්ඩර්ස් ගේ ආධාරකාරියක වන 32 හැවිරිදි හෙදර් මරා දැමීමෙනි. තවත් පුද්ගලයින් 14 වැඩි සංඛ්‍යාවකට තුවාල සිදු විය.

අන්ත දකුනේ මේ දාමරිකත්වය වාචිකව හෙලාදැකීමට ජනාධිපති ට‍්‍රම්ප් අසමත් වීම කෙරේ මහා සංගතවල ප‍්‍රවෘත්ති මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ. එහෙත් ඇමරිකානු මාධ්‍ය ට‍්‍රම්ප් ගේ ප‍්‍රකාශයන් පිලිබඳව පල කරන නොඉවසිල්ල විසින් මගහරිනු ලබන කාරනය නම් ඔහුගේ උමතුව, දේශපාලන විධික‍්‍රමයකින් සමන්විත වන බවයි.

ෆිනැන්ෂල් ටයිම්ස් පුවත් පත සටහන් කල අයුරු: ඩොනල්ඩ් ට‍්‍රම්ප් බෙඩ්මින්ස්ටර් හි ඔහුගේ ගොල්ෆ් නිවාඩු නිවසේ සිට චාලොටස්විල් හි ප‍්‍රචන්ඩත්වය පිලිබඳව දැක්වූ ප‍්‍රතිචාරය, නීතිය හා සාමය තහවුරු කරන බවට ද වෛරය පොදුවේ ප‍්‍රතික්ෂේප කල යුතු බව පැවසීමට ද පමනක් සීමා විය. ට‍්‍රම්ප්ගේ තීරනාත්මක වචන මේවාය: “අපි මෙම පැති ගනනාවකින් එන, පැති ගනනාවකින් එන, වෛරයේ, අත්තනොමතිකයේ, සහ ප‍්‍රචන්ඩත්වය, ප‍්‍රදර්ශනය හැකි ඉහලම වචන වලින් හෙලා දකිමු.” අවධාරනය සඳහා පුනරුච්චාරනය කරන ලද එම අවසාන වචන තුන, ප‍්‍රති- නාසි විරෝධතා කරුවන් සහ ගිනි පන්දම් අතැතිව “රුධිරය සහ භූමිය” “යුදෙව්වෝ අපි අභිබවා නොයයි” යන නාසි සටන් පාඨ හඬනගමින් පෙර දින රාත්‍රිය ගත කල, අයුධගත් සුදු-වර්ගොත්තමවාදීන් අතර සදාචාරමය වශයෙන් සමාන බවක් තිබේ යයි නොවලහා ප‍්‍රකාශ කරයි.

මෙම වචන ද අත්තනෝමතික භාවයට වාර්ගික විශේෂනයක් නොදීම ද පිලිබඳ ජනාධිපතිගේ තීන්දුව අයත් වන්නේ, දශක ගන්නාවක් තිස්සේ තත්වාරක්ෂක ඇමරිකානු දේශපාලකයන් රැලක් විසින් කරන ලද දීර්ඝ ඇඟවීම් මාලාවකටය. එහෙත් ට‍්‍රම්ප් මහතා ගේ ප‍්‍රකාශ “ඩෝග් විස්ල්” (තෝරාගත් කොටසකට පමනක් ඇසෙන සුනඛ නලා) සේ විස්තර කිරීම වනාහි, ජනාධිපති සහ ඔහුගේ කන්ඩායමට, ඇත්තටම නැති ගරුත්වයක් ලබා දීමකි.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය දෙන ලද සන්දර්භය තුල අත්කර ගන්නේ, පොලිස් පොල්ලක සියුම් බවකි. ට‍්‍රම්ප්ගේ ම ධවල මන්දිරය ෆැසිස්ට් මෙහෙයුම හා එහි සංවිධායකයින් දිරිගැන්වීම පිනිස දැඩි ලෙස සම්බන්ධවී සිටි තතු තුල ට‍්‍රම්ප් මෙම ෆැසිස්ට් මෙහෙයුම හෙලාදකින්නේ කොහොමද ?

මේ නාසි කැරැල්ල ඇමරිකානු දේශපාලනයේ අහඹු සිද්ධියක් නොවේ. එය වනාහි ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකට පිටතින්, ව්‍යවස්ථාවට පිටින් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩ නැගීමට ගෙන යන්නාවූ මූලෝපායේ ප‍්‍රකාශනයයි. එයම වුව ද සමාජ අසමානතාවේ දැවැන්ත මට්ටමේ බරින් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩාවැටීමේ හා කුනුවීමේ ප‍්‍රකාශනයකි.

ගතවූ සති තුන ඇතුලත ට‍්‍රම්ප් ද ඔහුගේ උපදේශකයින් වන, ස්ටෙෆන් බැනන්, ස්ටෙෆන් මිලර්, සෙබස්ටියන් ගොර්කා ද තමන්ගේ දේශපාලන පදනමෙහි අරටුව වන ෆැසිස්ට් කොටස් අතර සහයෝගය වැඩි කර ගැනීමට දරන ප‍්‍රයත්නය උත්සන්න කර තිබේ.

ට‍්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් බහුතර නායක මික් මැක්කොනල් ට පහරදී, තමන්ගේ ම පක්ෂයේ බලගතු නීිති සම්පාදකයකුට අභියෝග කර තිබේ. ඔහු උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජනපදය, “අවි සූදානම් කර මානාගෙන සිටින බවට” ආක‍්‍රමනකාරී තර්ජන එල්ල කලේය. තමාගේ “අපරාධ වලට තදින්” සහ ආගාමික විරෝධි ප‍්‍රතිපත්ති වලට සහයෝගය දෙන ලෙස බිලියනපති ආධාරකරුවන්ට ද පොලිසියට ද ආගමන පාලක සහ දේශසීමා නිලධාරීන්ට ද මිලිටරියට ද ඔහු ආයාචනය කලේ ය.

මෙසේ කිරීමේ දී ට‍්‍රම්ප්, 11දා ශිෂ්‍යයන් 22,000 සිටින වර්ජිනියා සරසවි භූමිය අල්ලාගත් බලවේග දිරිගැන්විය. එක්සත් ජනපදයේ ස්වාධීනතා ප‍්‍රකාශයේ කර්තෘ, තෝමස් ජෙෆර්සන් විසින් අරඹා සංවිධානය කරන ලද මෙම සරසවිය හරහා නාසීන් ගමන් කලේ, “රුධිරය හා භූමිය”, “ස්සිග් හෙඉල් (විජයග‍්‍රහනය දිනේවා), එක ජනකායක්, එක් ජාතියක්, ආගමනය නවත්වව්” යනුවෙන් හඬ තලමිනි.

12දා උදෑසන, නිල ඇඳුම් පැලඳි රයිෆල් සහ තුවක්කු ගත් දුසිම් ගනන් අර්ධ මිලිටරි භටයෝ, පනස් දාහක ජනගහනයෙන් යුතු නගර මධ්‍යයේ මිලිටරි බලය පිහිටවූහ. පොලිස් මැදිහත් වීමකින් තොරව අර්ධ මිලිටරි භටයන් නගරයේ ප‍්‍රදේශයක් අත්පත් කරගත් පසුව, රටේ විවිධ ප‍්‍රදේශවලින් වෑන් රථ පුරවා පැමිනි නාසි කන්ඩායම් තුවක්කු, පිහි, දම්වැල්, යකඩ පොලු, බේස්බෝල් පිති, සහ ගම්මිරිස් ගෑස් අවි, ඇතිව ප‍්‍රදේශය වාඩිලාගත්හ.

ඊලඟට සිදුවූ දෙය විස්තර කල හැක්කේ ෆැසිස්ට් කැරැල්ලක් ලෙසම පමනි. වර්ගවාදී හා සමලිංගික විරෝධී කැත වචන කියමින් “ට‍්‍රම්ප්ට ජයවේවා” කියා කෑගැසුවෝය. පොලිසිය වීදි වලින් ඉවත් වූ අතර නාසීන් වීදිවල ප‍්‍රති-පෙලපාලි කරුවන්ට පහර දීම ආරම්භ කලෝය.

ප‍්‍රතිපෙලපාලි කරුවෙකු ලෙස චාර්ලොටස්විල් වලට ගමන් කර තිබුනු පූජක බ‍්‍රයන් මක්ලෙරන් පුවත් පත් වලට කියා සිටියේ, නාසීන් සිය ප‍්‍රහාරය අරඹන විට “පොලිසිය සෑහෙන ඈතකට වී සිටි” බවය. ඔහයියෝ හි මොමී වල සිට පැමිනි ජේම්ස් ෆීල්ඩ්ස් තම මෝටර් රිය, බොලින්ග් ක්‍රීඩාවේ දී ලොකු බෝලයක් යවා බොලින් පින් පෙරලන්නක් මෙන්, මිනිස් සිරුරු දෙපසට පෙරලා දමමින් සෙනග මැදින් වේගයෙන් පැදවුයේ එම තතු තුලය.

ඉරිදා විවේචන වලට පිලිතුරු දුන් වර්ජිනියාවේ ඩිමොක‍්‍රටික් පාක්ෂික ආන්ඩුකාර ටෝනි මැක් ඔලිෆ් කියා සිටියේ, පොලිසිය සති අන්තයේදී “ලොකු වැඩක්” ඉටු කල බවය. ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ හිටපු ප‍්‍රධානියා වූ ද බිල් සහ හිලරි ක්ලින්ටන්ට ආධාර මුදල් සැපයීමේ ප‍්‍රමුඛයෙකු වූ ද මැක් ඔලිෆ් පැවසුවේ, හෙදර් හෙයර් යන ප‍්‍රති විරෝධතාකරුවා ඝාතනය කිරීම වැලැක්විය නොහැකිව තිබූ බවය. “ඔහියෝ සිට මෙහි පැමින තම කාරෙක ආයුධයක් ලෙස යොදාගත් කිසියම් පිස්සෙකු නවත්තන්නට කාටවත් බැරිය.”

මේ සති අන්තයේ සිදුවූ ප‍්‍රචන්ඩ ක්‍රියාවල අරමුන වූයේ, ට‍්‍රම්ප්ට ආමන්ත‍්‍රනය කල හැකි විකල්ප පදනමක් රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂ වලට පිටින් තිබෙන බව ඔහු ගේ විවේචකයන් වෙත පනිවුඩයක් ලෙස යැවීම ය.

ගිය සති අන්තයේ ප‍්‍රචන්ඩ ක්‍රියා දක්වාවූ සති තුනක සිද්ධි මාලාව පැහැදිලි කරන්නේ, ට‍්‍රම්ප් ගේ ධවල මන්දිරය, රට තුල ඉන්න අතිශයින්ම පසුගාමි සමාජ බලවේගයන් බලමුලු ගන්වා ගැනීමට ක‍්‍රමානුකූලව ගනන් බලා ක්‍රියා කර ඇති බව ය.

ජුලි 22දා ට‍්‍රම්ප් ඩොලර් බිලියන 13ක ගුවන් යානා වාහක නෞකාව දියත් කිරීම නිමිත්තෙන් නාවුක භටයන් අමතා යුදවාදී කතාවක් කලේ ය.

ජුලි 25 දා, ඔහු ඔහියෝ ප‍්‍රාන්තයේ යන්ග්ස් ටවුන්හි දී ක්‍රිස්තියානි ආගමික අන්තවාදය වර්නනා කරන කතාවක් පැවැත්විය.

ජුලි 26 දා අධිකරන දෙපාර්තමේන්තුව ගොනුකල “උසාවි මිත‍්‍ර වාර්තාවක්” මගින් පුද්ගලික සමාගම් සිය සේවකයන් ඔවුන්ගේ ලිංගික අනුස්ථිතිය උඩ ඉවත් කිරීමෙන් නොවැලැක්විය යුතු යයි කියාසිටියේ ය.

එම දිනයේ ම ට‍්‍රම්ප්, තම පාලනධිකාරය විපරීත ලිංගාසක්ත පුද්ගලයන් යුද සේවයෙන් ඉවත් කිරීමට ද ක්‍රියා කරන බවට ට්වීට් සටහනක් යොදා, සමලිංගික විරෝධී කැන්සාස් ආන්ඩුකාර සැම් බ‍්‍රවුන්බැක් ජාත්‍යන්තර ආගමික නිදහස සඳහාවූ රාජ්‍ය දෙපාර්තමේන්තු තානාපති වරයා ලෙස නම් කලේ ය.

ජුලි 28 දා ට‍්‍රම්ප් නිව්යෝර්ක්හි ලෝන්ග් අයිලඩ් හි පොලිස් සහ ආගාමික ඒජන්තයන්ට කියාසිටියේ, අපරාධ වලට සැක කරනු ලබන්නන් “පොලිස් වාහනවල” පසු පසට ඇද දමනු බලාසිටින්නට තමා ඉතා ආශාවෙන් ඉන්නා බවය. අත්අඩංගුවට ගැනෙන අයට පහර දෙන ලෙස කියා සිටි ඔහු, “පොලිසිය ඕනෑවට වඩා හොඳ වෙන්න එපා” යයි ද කීය.

අගෝස්තු 2 දා ට‍්‍රම්ප් සහ ටොම් කොටන් සහ ඬේවිඞ් පර්ඩු යන රිපබ්ලිකන් සෙනට් මන්ත්‍රීවරු, “රිෆොමිං ඇමරිකන් ඉමිග්රේෂන් ෆොර් ස්ට්‍රෝන්ග් එම්ප්ලෝය්මන්ට් [RAISE] යන ඇමරිකාව තුලට නීත්‍යානුකුල ආගමනය හරි අඩකින් කපන පනතක් නිවේදනය කලෝය.” මෙම සැලැස්ම නිවේදනය කල පුවත් පත් සාකච්ඡාවකදී, ට‍්‍රම්ප්ගේ උපදේශක ස්ටෙෆන් මිලර්, ජර්මානු නාසි පක්ෂයේ යුදෙව්-විරෝධී භාෂාව ප‍්‍රතිරාවය කරමින්, සීඑන්එන් නාලිකාවේ ජිම් අකොස්ටා ට “විශ්වවාදී ගතියක්” [cosmopolitan bias] ඇත්තේ යයි හෙලාදුටුවේ ය. ඒ දිනයේ ම මාධ්‍ය වාර්තාකල තවත් කරුනක් නම්, අධිකරන දෙපාර්තමේන්තුව, විද්‍යාලවල “සුදුජනයාට වෙනස්කම් කිරීම පිලිබඳව” නඩු පැවරීමට යන බවයි.

අගෝස්තු 6 වනදා ට‍්‍රම්ප්, ෆේස්බුක්හි “රියල් නිව්ස්” නම් අන්තර්ජාල මෙහෙයුමක් දියත් කරමින්, ප‍්‍රධාන මාධ්‍ය වලට පිටස්තරව තමාගේ ම පුද්ගලවාදී අනුගාමිකත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යායාමයක් ආරම්භ කලේ ය.

අගෝස්ස්තු 8 දා, ධවල මන්දිරයේ නිලධාරියෙකු වූ ද, ඔර්ඩර් ඔෆ් ද විටෙස් නම් හන්ගේරියානු ෆැසිස්ට් කල්ලියේ සාමාජිකයෙකු වූ ද සෙබස්තියන් ගොර්කා, අගෝස්තු 5දා, මිනසොටා ප‍්‍රාන්තයේ මිනියපොලිස් නගරයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ දැමීම “වාමාංශිකයන් විසින් දිරිගන්වා මවා පෙන්වනු ලැබූ, ‘ව්‍යාජ වෛරි අපරාධයක්’ යයි කියා සිටියේ ය. ඊලඟ දවසේ ගොර්කා, ගැටලුව ‘සුදු අධිපතිවාදීන් නොවේ’” යයි ද “ත‍්‍රස්තවාදය වනාහි ඉස්ලාම් භක්තියේ නිර්මානයක් ය ”යි ද බ්රේයිට්බර්ට් නිව්ස් පුවත් පතට කියා සිටියේ ය.

ඉක්බිති දිනවල ට‍්‍රම්ප් උතුරු කොරියාවට ද වෙනිසියුලාවට ද එරෙහිව තම යුද තර්ජන එල්ල කල අතර ප‍්‍රධාන සෙනෙට් රිපබ්ලිකානු, මිච් මැක්කොනල් ට පහරදුන්නේ ය.

සති අන්තයේ නාසි ප‍්‍රචන්ඩත්වය බෙනන්, මිලර්, සහ ගොර්කාගේ දේශපාලන අඩයාලම දරා සිටි. පෙලපාලියේ නායක ජෙසන් කෙස්ලර් ‘දකුන එක්සත් කරව්’ ප‍්‍රකෝප කරනයට මස ගානකට පෙරාතුව තමා ‘..නීතිය ක්‍රියාත්මක කරන සංස්ථා සමග අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගෙන ආ’ බව සිද්ධියෙන් පසුව පිලිගත්තේ ය.

කෙස්ලර් නාසි බලමුලූ ගැන්වීම සංවිධානය කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂ නිලධාරීන් කිහිප දෙනෙක් හමුවිය. ට‍්‍රම්ප් දිවුරුම් දී ටික දිනකට පසු කෙස්ලර්, වර්ජිනියාවේ රිපබ්ලිකන් ගුබර්නැටෝරියල් අපේක්ෂක කොරි ස්ටුවර්ට් සමග පුවත් සාකච්ඡාවක ට සහභාගි වෙමින් කොන්ෆෙඩරේට් (ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ දකුනේ) නායකයෙකු වූ රොබට් ඊ. ලී ගේ ප‍්‍රතිමාව ඉවත් කිරීමට චාලොටවිල්හි දැරෙමින් තිබෙන ප‍්‍රයත්න හෙලාදුටුවේ ය.

මාර්තුවේ දී කෙස්ලර් වොෂිංටන් ඞී.සි. නුවරට ගමන් කොට චාලොටවිල් ප‍්‍රදේශය නියෝජනය කරන වර්ජිනියා කොන්ග්රස් සභික ටොම් ගැරට් හමුවීය. තමාගේ නාසි කන්ඩායම්වලට, ට‍්‍රම්ප්ගේ ආගමනික-විරෝධී වැඩ කටයුතු වලදී සහාය විය හැකි බව කෙස්ලර් අන්තර්ජාලය තුල ප‍්‍රකාශ කලේ ය. එය මෙසේ විය: (RAISE) යන ඇමරිකන් ඉමිග්රේෂන් ෆොර් ස්ට්‍රොංග් එම්ප්ලෝයිමන්ට් පනත සහ ත‍්‍රස්තවාදීන් සන්නද්ධ කිරීම නැවැත්වීමේ පනත යන අප සහාය දෙන ප‍්‍රමුඛ පනත් දෙකක් ගැන අපි කතා කලෙමු.

චාලොටස්විල් කැරල්ල ද ව්‍යවස්ථාවෙන් පිටස්තර ෆැසිස්ට් ව්‍යාපාරයක් හදාගැනීමට ට‍්‍රම්ප් ගේ ධාවනයද ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් නොව ජාත්‍යන්තරවම ද කම්කරු පන්තියට අනතුරු හැඟවීමකි. ධවල මන්දිරයේ ද චාලොටස්විල් වලද ඉන්නා ෆැසිස්ට්වාදීන්ගේ පොදු ක්‍රියාමාර්ගය, විදේශයේදී මහා ජන ඝාතක යුද්ධය ද රට තුල ආගාමිකයන්, එල්ජිබිටි [ලිංගිකව සුවිශේෂ වූ ] ජනකොටස් ද යුදෙව්වන් ද, සමාජවාදීන් ද මහා පරිමානයෙන් සිරගත කොට වනසා දැමීමය.

ෆැසිස්ට්වාදය වනාහි ඇමරිකානු සහ ලෝක ධනේශ්වරයේ දිරාපත් වන්නාවූ සමාජ පර්යායේ ප‍්‍රකාශනයකි; ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වමනය ප‍්‍රකාශ කරන්නේ එයයි. ෆැසිස්ට්වාදය වැලැක්විය හැක්කේ, දේශපාලන සංස්ථාපිතයට කන්නලව් කිරීමෙන් නොවේ; එය පරාජය කල හැක්කේ, සමාජවාදී පදනමක් මත ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝක පරිමානව ද කම්කරු පන්තිය වර්න, ජාතික සහ වාර්ගික බෙදීම් කපාගෙන බලමුලු ගැන්වීමේ ලෝක විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් මගින් පමනි.

එරික් ලන්ඩන්

Share this article: