ගූගල් වෙත විවෘත ලිපියක්: අන්තර්ජාල මාධ්‍ය වාරනය නතර කරනු!
ලෝක සමාජවාදී වෙබ් අඩවිය දේශපාලනිකව අපලේඛනය කිරීම නතර කරනු!

An open letter to Google: Stop the censorship of the Internet! Stop the political blacklisting of the World Socialist Web Site!

2017 අගෝස්තු 25

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් සුන්ඩර් පිචායි, ලෝරන්ස් පේජ්, සර්ජි බ්‍රින් හා එරික් ෂ්මිඩ් යන ගූගල් සමාගමේ විධායක නිලධාරීන් වෙත පහත පලවන ලිපිය යවන ලදී.

සුන්ඩර් පිචායි

ප‍්‍රධාන විධායක නිලධාරී

ගූගල් සමාගම.,

ලෝරන්ස් පේජ්

ප‍්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ

ඇල්ෆබෙට් සමාගම.,

සර්ජි බ්‍රින්

සභාපති/අධ්‍යක්ෂ

ඇල්ෆබෙට් සමාගම.,

එරික් ෂ්මිඩ්

අධ්‍යක්ෂ මන්ඩලයේ විධායක සභාපති

ඇල්ෆබෙට් සමාගම.,

මහත්වරුනි,

ආරම්භයේ පටන්ම ගූගල්හි ප‍්‍රකාශන අරමුන, “ලෝක තොරතුරු සංවිධානය කිරීම හා එය සාර්වත්‍රිකව පිවිසිය හැකි හා ප‍්‍රයෝජනවත් තැනකට ගෙන ඒම” බව පැවසුනි. ගූගල්හි සුප‍්‍රකට ආදර්ශ පාඨයෙන්, එහි නිල චරියා ධර්ම පද්ධතිය කියැවුනේ: “දුෂ්ඨ නොවන්න” යනුවෙනි. මෑත වසරවලදී ඔබට ඔබගේ මග බරපතල ආකාරයට වැරදී ඇත. දැන් ඔබ යෙදී සිටින්නේ, ලෝකයේ තොරතුරු සැඟවීමටත් එම ක්‍රියාවලියේදී දැවැන්ත ප‍්‍රමානයෙන් දුෂ්ඨදේ කිරීමටත්ය.

චීන ආන්ඩුව විසින් සෙවුම් යන්ත‍්‍රය වාරනය කිරීම නිසා ගූගල්, චීනයේ පදනම්ව තිබූ සිය සෙවුම් යන්ත‍්‍රය නිල වශයෙන් විසන්ධි කල විට පැනනැගුන දේශපාලන විවේචන මධ්‍යයේ බ්‍රින් මහතා ගූගල් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ, “අන්තර් ජාලයේ විවෘත භාවය සඳහා අපට හොඳින්ම සටන් වැදිය හැක්කේ කෙසේ ද යන්න පිලිබඳව හැමවිටම සාකච්ඡාවක් තිබී ඇත. අන්තර්ජාලයේ තොරතුරු පිලිබඳ නිදහස හා විවෘත භාවයේ මූලධර්මය සුරැකීම පිනිස අපට කල හැකි හොඳම දෙය මෙය වන්නේ යයි අපි විශ්වාස කරන්නෙමු” යනුවෙනි.

ෂ්මිඩ් මහතා 2013දී බුරුමයේ සංචාරය කරද්දී, එරටෙහි අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී, නිදහස හා විවෘත භාවය වෙනුවෙන් කථා කලේය. ගූගල්හි මෑත කටයුතුවල එලියෙන් බලන විට, බ්‍රින් හා ෂ්මිඩ් මහත්වරුන්ගේ ප‍්‍රකාශ තරයේම කුහකවන බව පෙනී යයි.

ගූගල් හා, ඇඟවුමද අනුව එහි මව් සමාගම වන ඇල්ෆබෙට් දැන් නිරතව සිටින්නේ, අන්තර්ජාලය දේශපාලනිකව වාරනය කිරීමෙහිය. ඔබ කරමින් සිටින්නේ, ඔබ කලින් ප‍්‍රසිද්ධියේ හෙලා දුටු දේය.

සමාජවාදී, යුද විරෝධී හා වාමාංශික වෙබ් අඩවි වෙත පිවිසීම හා ඒවා ජනතාවට මුන ගැසීම වැලැක්වීම පිනිස ගූගල්, එහි අන්තර්ජාල සෙවුම් චාරිකා අවභාවිතා කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (www.wsws.org) දැවැන්ත ලෙස ඉලක්ක කෙරී ඇති අතර ඔබගේ වාරන වාර්තා මගින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත. ගූගල් වෙතින් ලෝසවෙඅ වෙත කරන යොමුකිරීම් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සියයට 70න් පමන පහත වැටී ඇත.

මේ සා පරිමානයේ වාරනයක් දේශපාලන අපලේඛනගත කිරීමකි. ගූගල්හි වාරන රෙගුලාසිවල පැහැදිලි අරමුන වී ඇත්තේ, වාර්තා කිරීමට ඔබගේ සමාගමට අවශ්‍ය නොවන ප‍්‍රවෘත්ති අවහිර කිරීම හා ඔබ එකඟ නොවන අදහස් යටපත් කිරීමයි. දේශපාලන අපලේඛනගත කිරීම, වානිජ්‍ය ව්‍යවසායක් ලෙස ගූගල් සතුවන වරප‍්‍රසාද කවරක් වුව ද නීත්‍යානුකූල ව්‍යායාමයක් නොවේ. එය වනාහි ඒකාධිකාරී බලය අමු අමුවේ අවභාවිත කිරීමකි. ඔබ කරමින් සිටින්නේ භාෂනයේ නිදහසට පහර දීමය.

එබැවින් අප ඔබට හා ගූගල් සමාගමට කියා සිටින්නේ, ලෝසවෙඅ අපලේඛනගත කිරීම නතර කරන ලෙසත්, ඔබගේ නව කොන්කිරීමේ සෙවුම් ප‍්‍රතිපත්ති මගින් දැඩි බලපෑමට ලක්ව ඇති සියලු වාමාංශික, සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි වාරනය කිරීම නවත්වන ලෙසත්ය.

ලෝසවෙඅ වනාහි ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අන්තර්ජාල පුවත්පතයි. එය, අන්තර්ජාලය තුලින් කියවන වඩාත්ම පුලුල්ව පැතිර ඇති සමාජවාදී ප‍්‍රකාශනයයි. එය දියත් කරන ලද 1998 වසරෙහි පටන් ලෝසවෙඅ 60,000ට වැඩි දේශපාලන, ඉතිහාස, විද්‍යා හා සංස්කෘතික ලිපි දුසිමකට වැඩි භාෂා ගනනකින් ප‍්‍රකාශයට පත් කර ඇත. එය, අර්ථභාරී හා අද්විතීය බුද්ධිමය මූලාශ‍්‍රයකි.

ලෝසවෙඅ ලිපි, නොයෙකුත් වෙබ් අඩවිවල ද ලෝකය පුරා මුද්‍රිත පුවත්පත්වල ද යලි පලකෙරේ. ලෝසවෙඅ පලකෙරෙන ලිපි විශ්වවිද්‍යාලවල පරියේෂන ලේඛනයන්හි නිරන්තරයෙන් උපුටා දැක්වෙයි. ඒවා විද්‍යාල විෂය මාලාවන්ට ද ඇතුලු කෙරේ. ජේම්ස් මැක්ෆියර්සන් හා ඇලන් ගුඑල්සෝ වැනි ඉතිහාසඥයින් ද ෂේක්ස්පියර් විශේෂඥයෙකු වන ජේම්ස් ෂාපිරෝ වැනි ප‍්‍රමුඛ ඇමරිකානු ශාස්ත‍්‍රාලිකයින් ද ලෝසවෙඅට සම්මුඛ සාකච්ඡා ලබාදී ඇත. එහි පල කෙරෙන චිත‍්‍රපට හා වේදිකා නාට්‍ය විමර්ෂන ජාත්‍යන්තර පාඨකයේ විශාල සංඛ්‍යාවක් ආකර්ෂනය කර ගනී. ලෝක ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයින් කිහිප දෙනෙක් ගැන සඳහන් කලොත්, විම් වෙන්ඩර්ස්, මයික් ලේ, රිචඩ් ලින්ක්ලැටර්, බර්ට‍්‍රන්ඩ් ටැවර්නියර් හා අබ්බාස් කියරොස්ටාමි වැනි අය තම නිර්මාන ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග සාකච්ඡා කර ඇත. ලෝසවෙඅ පලකොට තිබෙන රචනා හා දේශන වලට, එයත් සමග කිසිදු සම්බන්ධයක් නැති ප‍්‍රකාශකයින් විසින් ඉදිරිපත් කල ලේඛන සංග‍්‍රහයන් ද ඇතුලත් වේ.

එසේම ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ව්‍යාපාර පාලිත මාධ්‍ය මගින් මුලුමනින්ම නොතකා හරින ලද නැතිනම් අප‍්‍රමානවත් ලෙස ආවරනය කල, කම්කරු අරගල හා සමාජ ප‍්‍රශ්න වලට ද ආවරනය සපයයි.

යුද්ධය කෙරෙහි අපගේ මූලධර්මාත්මක විරුද්ධත්වය, සමාජ අසමානතාව කෙරෙහි අපගේ අවධානය හා දේශපාලන, මාධ්‍යකරනයේ ඒකාග‍්‍රතාවේ, ප‍්‍රතිපල වශයෙන් ලෝසවෙඅ, ලෝක දේශපාලන සිදුවීම්, ගෝලීය ආර්ථිකය, ජාත්‍යන්තර සමාජවාදය, විසිවැනි සියවසේ ඉතිහාසය, රුසියානු විප්ලවය හා ඉන් ඉක්බිත්ත හා සමකාලීන මාක්ස්වාදය පිලිබඳව අවිවාදිත අධිකාරවත් ප‍්‍රකාශනයකි. එය, වර්ගවාදය, විදේශික විරෝධය හා ෆැසිස්ට්වාදය යලි හිස එසවීමට එරෙහි සටනේ ප‍්‍රමුඛ ජාත්‍යන්තර හඬක් වන්නේය.

මේ වසර මුල වනවිට ලෝසවෙඅ, ඇලෙක්සා ගෝලීය වර්ගීකරනයේ 36,525වන තැන ද එක්සත් ජනපදය තුල 16,679වන තැන ද ලබාගෙන තිබුනි. වසන්තයේදී ලෝසවෙඅ වෙත මාසිකව පිවිසෙන සංඛ්‍යාව ලක්ෂ නමය ඉක්මවා තිබුනි. 2017 අප්‍රේල් මාසයේදී, අපගේ දත්ත වලට අනුව ගූගල් සෙවුම් තුලින් ලෝසවෙඅ ප‍්‍රවිෂ්ටවූ සංඛ්‍යාව 422,460ක්ව තිබුනි.

මේ වසරේ අප්‍රේල් ආරම්භයේදී ගූගල් සමාගම, ජාල සොයන්නන්ගේ පිරික්සුම් ප‍්‍රතිපල සමාජවාදී, වාමාංශික හා යුද විරෝධී ප‍්‍රකාශන වෙතින් ඉවතට හරවා යවමින්, අවභාවිතය පටන්ගත් අතර ඒ වෙනුවට ඔවුන්, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් වැනි සෘජුවම ආන්ඩුවේ හා ව්‍යාපාරික මාධ්‍ය සංස්ථාපිතයේ අදහස් පල කරන ප‍්‍රධාන ප‍්‍රවාහයේ ප‍්‍රකාශන වෙත ද ඒවායේ විවේචන හානිකර නොවේ යයි සලකමින්, ජැකොබින් මැගසින් හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ පාර්ශවයක් ලෙස කටයුතු කරන, ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදීන්ගේ වෙබ් අඩවිය වැනි විශ්වාසවන්ත ලිහිල් වාම වෙබ් අඩවි සුලු සංඛ්‍යාවක් වෙත ද හරවා යවනු ලැබින.

මේ කටයුතු සඳහා කඩතුරාවක් ලෙස ගූගල්, විශේෂිතව සංස්ථාපිත මාධ්‍ය විසින් සම්මතයට පටහැනි යයි අර්ථ ගැන්වූ, දේශපාලන අදහස් හා අන්තර්ජාලය වාරනය කිරීමේ යෙදී සිටින ආඥාදායක තන්ත‍්‍රයන් විසින් දරනු ලබන ව්‍යායාමයන් සිහිගන්වන යෙදුමක් වන “වඩාත් අධිකාරවත් අන්තර්ගතයක් මතුකර ගැනීමට” තම සෙවුම් රෙගුලාසි වෙනස් කරන බව නිවේදනය කලේය.

සෙවුම් ඉංජිනේරු විද්‍යා අංශය භාර ගූගල් උප සභාපති වන බෙන් ගෝමස්, අප්‍රේල් 25දා පල කල බ්ලොග් සටහනකින්, දේශපාලන වාරනය පැනවීම යුක්තිසහගත කිරීමට උත්සාහ දැරීය. එහිදී ඔහු, රෙගුලාසි වෙනස, “සාවද්‍ය ප‍්‍රවෘත්ති පිලිබඳ සංසිද්ධියේදී වෙබ් අඩවියේ අන්තර්ගතය විවෘත නොමග යැවීම්, පහත් ගනයේ, හිංසාකාරී නැත්නම් පැහැදිලිවම වැරදි තොරතුරු කෙරෙහි ප‍්‍රතිචාරයක්” බව කියා සිටියේය.

ගෝමස්ට අනුව ගූගල්, වෙබ් අඩවිවල “ගුනාත්මක භාවය” නිශ්චය කිරීමට “තක්සේරුකරුවන්” 10000ක් පමන බඳවාගෙන ඇත. මෙම තක්සේරුකරුවන්, “නොමග යවන තොරතුරු” හා “ඔප්පුකල නොහැකි කුමන්ත‍්‍රනකාරී න්‍යායන්” ඇතුලත් යයි සැලකෙන වෙබ් අඩවි “නම් කිරීමට” පුහුනු කරනු ලබයි. අලුත්ම තාක්ෂන වර්ධනයන් ද සමග ඒකාබද්ධව මෙම තක්සේරුකරුවන් විසින් සකසන අපලේඛන ලැයිස්තු, අනාගත ප‍්‍රතිපල සෙවුම් වලට ඉබේටම වාගේ බලපාන, ස්වයංක්‍රීයව වාරනය පැනවෙන රෙගුලාසි වර්ධනය කිරීමට යොදාගනු ඇති බව ගෝමස් පැහැදිලි කලේය.

සෙවුම් රෙගුලාසි වලට ගූගල් කුමන තාක්ෂනික වෙනස්කම් සිදු කල ද ප‍්‍රතිපලවල වාම විරෝධී පක්ෂග‍්‍රාහිකම වසංකල නොහේ. ගූගල්හි වාරන ක්‍රියාවලියේ වඩාත්ම කැපී පෙනෙන ප‍්‍රතිපලය වන්නේ, සමාජවාදය, මාක්ස්වාදය හෝ ට්‍රොට්ස්කිවාදය ගැන උනන්දුවන බව ඇඟවුම් කෙරෙන සෙවුම් බැලුම් කරන අය තවදුරටත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත යොමු නොකිරීමයි. ගූගල්, ලෝසවෙඅ සෙවුම් ඉල්ලීම්වල ප‍්‍රතිපල වලින් “අතුරුදහන්කර” ඇත. නිදසුනක් ලෙස, මේ අවුරුද්දේ මැයි මාසයේදී, “ලියොන් ට්‍රොට්ස්කි” සඳහා ගූගල් සෙවීම්, මුද්‍රාංකන 5893ක් (සෙවුම් ප‍්‍රතිපලවල ලෝසවෙඅ පෙනී ගිය වාර ගනන) ලබාගත්තේය. ජූලි මාසය වන විට එම සෙවීමෙන්ම, 1938දී ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර ව්‍යාපාරයේ අන්තර්ජාල ප‍්‍රකාශනය වන ලෝසවෙඅ අත්කරගත් ප‍්‍රතිපලය හරියටම බිංදුවකි.

තවදුරටත් ගූගල් සෙවුම් ප‍්‍රතිපල වලට ලෝසවෙඅ ඇතුලත් නොවන, නිතර යොදාගන්නා අනෙකුත් වචන හා යෙදුම් වලට: සමාජවාදය, පන්ති අරගලය, පන්ති ගැටුම, සමාජවාදී ව්‍යාපාරය, ලෝකයේ සමාජ අසමානතාව, දුප්පත්කම හා සමාජ අසමානතාව, යුද විරෝධී සාහිත්‍යය හා රුසියානු විප්ලවය ඇතුලත්ය. ධනවාදයට එරෙහිව සමාජවාදය සඳහා සෙවීමකදී, අප්‍රේල් තරම් මෑතකදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලැයිස්තුගත කරනු ලැබුවේ සෙවුම් ප‍්‍රතිපලවල පලමුවන පිටුවේ අටවන ප‍්‍රතිපලය ලෙසය. දැන් ලෝසවෙඅ සඳහා තවදුරටත් කිසිදු ප‍්‍රතිපලයක් ලැබෙන්නේ නැත. අප්‍රේල් මායේ දී ඉහලම සෙවුම් විමසීම් 150න් ලෝසවෙඅ සඳහා වන ප‍්‍රතිපලය ලෙස 145ක් ලෙස දැක්වුන ද දැන් එය එසේ නොවේ.

ඉහතින් ලැයිස්තුගත කර තිබෙන සියලූ සෙවුම් වැකි, වාමාංශික, සමාජවාදී හෝ මාක්ස්වාදී වන සිදුවීම් සොයන්නන් විසින් නිරන්තරයෙන් යොදාගනී. තම සෙවුම් ඉල්ලීම් වෙනුවෙන් “අනපේක්ෂිත” ප‍්‍රතිචාර වලින් පාඨකයින් ආරක්ෂා කිරීමට වඩා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැන වඩාත්ම උනන්දුවක් දක්වන, තම සෙවුම් පහසුකම් සඳහා වාමාංශික හා ප‍්‍රගතිශීලී යෙදුම් භාවිත කරන්නන්, අපගේ වෙබ් අඩවිය සොයා නොගන්නා බවට වගබලා ගැනීම පිනිස ගූගල්, තම රෙගුලාසි අවභාවිතා කරයි. තව ද සෙවුම් ප‍්‍රතිපල වලින් ලෝසවෙඅ බැහැර කිරීමේ දුර හා පූර්න නිරවද්‍යතාව දැඩි සේ පෙන්නුම් කරන්නේ, සැබවින්ම ගූගල් නිලධාරීන් කායිකව මැදිහත්වීමෙන් සපයනු ලැබ ඇති, ආඥාදායක ස්වරූපයේ සෘජු හා දැනුවත් අපලේඛනය බලගන්වන, නව රෙගුලාසිවල සමාජවාද විරෝධී පක්ෂග‍්‍රාහයයි.

ඉහතින් සඳහන් කල පරිදි අප්‍රේල් සිට, තමන් ප‍්‍රගතිශීලී, සමාජවාදී හෝ යුද විරෝධි යයි කියාගන්නා අනෙකුත් වාමාංශික ප‍්‍රකාශන ද ඒවායේ ගූගල් සෙවීම් ප‍්‍රතිපලවල සැලකිය යුතු පහත වැටීමක් අත්විඳ ඇත.

ඒ මෙසේය:

* alternet.org (සියයට 63න් පහත වැටී ඇත)

* globalresearch.ca (සියයට 62න්)

* consortiumnews.com (42න්)

* mediamatters.org (42න්)

* commondreams.org(37න්)

* internationalviewpoint.org(36න්)

* democracynow.org (36න්)

* wikileaks.org(30න්

* truth-out.org (25න්)

* counterpunch.org (21න්)

* theintercept.com(19න්)

දේශපාලන වාරනය පැනවීම යුක්තිසහගත කිරීම පිනිස ගූගල් විසින් පාවිච්චි කරනු ලැබ ඇත්තේ “අසත්‍ය ප‍්‍රවෘති” වැනි වැනෙන පක්ෂග‍්‍රාහී යෙදුමකි. අදදින “අසත්‍ය ප‍්‍රවෘත්ති” යනුවෙන් හඬතැලීම ම නිර්මානය කල සිද්ධියක් සහ කෘතිමව තැනූ ප‍්‍රබන්ධයක් පිලිබඳව නිදසුන් වේ. එය වනාහි, සත්‍ය තොරතුරු ද ආන්ඩුවේ ප‍්‍රතිපත්ති සහ සංගතවල ආසක්තයන් අභියෝගයට සහ අවඥාවට ලක් කිරීමට ඉදිරිපත් කෙරෙන මනාව පදනම් වූ විශ්ලේෂන ද අපකීර්තියට පත් කිරීම සඳහා ද යොදා ගන්නා “ව්‍යාජ” පදයකි. ලොසවෙඅ සම්බන්ධයෙන් ගත් කල “අසත්‍ය ප‍්‍රවෘත්ති” යන පදය යෙදීම කුමන හෝ සත්‍යතාවකින් හෝ විශ්සනීයත්වයකින් තොරය.

සැබවින්ම ඓතිහාසික මුසාකරනයට එරෙහිව සටන් කිරීමේ අපගේ ව්‍යායාමයට පිලිගැනීමක් ඇත. ශාස්ත්‍රාලික සඟරාවක් වන ඇමරිකන් හිස්ටොරිකල් රිවීව් විසින් ද එය පිලිගෙන තිබේ.

සාධක විසින් සනාථ කරනු ලබන්නේ,ලෝසවෙඅ හා අනෙකුත් වාමාංශික ප‍්‍රකාශන වාරනයට හා අපලේඛනයට, ගූගල් විසින් සෙවුම් ප‍්‍රතිපල අපයෝජනය කරනු ලැබ ඇති බවයි. මෙය, දුර දිග යන ව්‍යවස්ථාමය ඇඟවුම් ද සහිත බරපතල පශ්නයක් මතු කරයි. ගූගල් ඇමරිකානු ආන්ඩුව සමග නැතහොත් එහි මිලිටරියේ ද ඔත්තු සේවා යාන්ත‍්‍රනයේ ද කොටස් සමග තම වාරන වැඩපිලිවෙල සම්බන්ධිකරනය කරයි ද?

කුමන්ත‍්‍රන න්‍යායක් ගෙතීමකට නිදසුනක් ලෙස ගූගල් විසින් මේ ප‍්‍රශ්නය ප‍්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය. කෙසේ වුව ද ගූගල්, රාජ්‍යය සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට නොවරදින සාක්ෂි ගෙනහැර දැක්වීම සාධාරනය. ෂ්මිඩ් මහතානෙනි, 2016දී බරක් ඔබාමාගේ ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර්, ආරක්ෂක නවීකරන දෙපාර්තමේන්තුවේ උපදේශක මන්ඩලයෙහි සභාපති ලෙස ඔබ පත් කලේය. මේ මාසය මුල ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, පෙන්ටගනය ද සමාගම ද අතර සිදුවෙමින් ඇති හා සමීප සහයෝගිතාව පිලිබඳව සාකච්ඡා කිරීමට ගූගල් මූලස්ථානය වෙත පැමිනියේය. වඩාත් පොදුවේ කිවහොත්, ද ඉන්ටර්සෙප්ට්හි පලවූ වාර්තාවකට අනුව, 2009 ජනවාරියේ සිට 2015 ඔක්තෝබර් දක්වා ගූගල් නියෝජිතයින්, සාමාන්‍යයෙන් අඩුම තරමින් සතියකට වරක් ධවල මන්ඳිරයේ රැස්වීම් වලට සහභාගී වී ඇත.

ගූගල් කියා ගන්නේ, එය පෞද්ගලික සංගතයක් බවය. එහෙත් එය ආන්ඩුවේ ප‍්‍රතිපත්ති සැකසීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ගැඹුරින්ම සම්බන්ධවී ඇත. වානිජ්‍ය ආසක්තයන් හා රාජ්‍යම අරමුනු අතර වෙනස හඳුනා ගැනීම එන්ට එන්ටම දුෂ්කර වෙමින් ඇත. නිදහස් ප‍්‍රවිෂ්ටයට හා තොරතුරු හුවමාරුවට බාධා කිරීමෙන් ගූගල් වාරන වැඩසටහන ඉලක්ක කරන්නේ, ඕ’වේලියානු “නිවැරදි-චින්තනය” පිලිබඳ විසි එක්වැනි සියවසේ සංස්කරනය බලගැන්වීමටය. එය ප‍්‍රගතිශීලී හා ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත දේශපාලන විරුද්ධත්වයේ වර්ධනයට වල කපයි. එය වාසි සලසන්නේ යුද්ධයේ, අසමානතාවයේ, අනීතියේ හා ප‍්‍රතිගාමිත්වයේ දේශකයින්ටයිි.

වාමාංශික වෙබ් අඩවි, විශේෂයෙන්ම ලෝසවෙඅ , වාරනය කිරීම පිලිඹිඹු කරන්නේ, සාධාරන ලෙස ඇහුම්කන් දීමට අවස්ථාව ලැබෙන්නේ නම්, අව්‍යාජ සමාජවාදී ඉදිරිදර්ශනය, ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ද ජනතා ශ‍්‍රාවකත්වයක් දිනාගනු ඇතැයි යන භීතියයි. නිදහස් භාෂනය හා චින්තනය මැඩීමට ඔබ දරන උත්සාහය කෙරේ පුලුල්ව පැතිරුනු මහජන විරුද්ධත්වයක් පවතී. තම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිපත්ති, නොමග යවන තර්ක හා අමූලික බොරු මගින් වසං කිරීමට තමන්ට බල කෙරී ඇතැයි ගූගල් සමාගමට හැඟී ඇත්තේ එබැවිනි. ගූගල් සමාගමේ වාරන ප‍්‍රයත්නය නතර කරන ලෙස කියා සිටින, ලෝසවෙඅ විසින් බෙදාහරිනු ලබන, අන්තර්ජාල පෙත්සමට දැනටමත් දහස් ගනනකගේ අත්සන් ලැබී ඇත. ඒ මහාද්වීප පහේම විවිධ රටවල් 70ක පාඨකයින්ගෙනි. අපගේ ප‍්‍රකාශන වාරනය කිරීමට ගූගල් දරන උත්සාහයට ප‍්‍රතිරෝධය දැක්වීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. එසේම ගූගල් වාරනය ගැන ජාත්‍යන්තරව අවධානය යොමුකරවීමට දිගටම කටයුතු කරන්නෙමු. මෙම ප‍්‍රතිපත්තිය පවතිනතාක් දුරට, ජනතා විශ්වාසය පලුදු වීමෙන් ගූගල්ට දරුනු වන්දියක් ගෙවීමට සිදුවනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලය, අප්‍රේල් මාසයේ සිට ක්‍රියාවට නංවා තිබෙන, ගූගල් සෙවුම් ප‍්‍රතිපල මානයන් හා එහි සෙවුම් රෙගුලාසිවල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වෙනස්කම් අකුලා ගන්නා ලෙස කියා සිටියි. එසේම, ලෝසවෙඅ හා අනෙකුත් වාමාංශික, සමාජවාදී, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් ප‍්‍රකාශන වල සෙවුම් ප‍්‍රවිෂ්ටය අවහිර කිරීමට ගූගල් සමාගම දරන උත්සාහය නතර කරන ලෙස ද එය කියා සිටියි.

මෙයට විශ්වාසී

ඩේවිඩ් නෝර්ත්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති

Share this article: