ලෝක සමාජවාදී බෙව් අඩවිය ලියොන් ට්‍රොට්ස්කි ගැන ලියන්නේ ද? ගූගල්ට අනුව නම් නැත

Does the WSWS write about Leon Trotsky? Not according to Google

ජෝසෆ් කිෂෝර් විසිනි, 2017 ජූලි 29

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකරනු ලබන්නේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසිනි. 1998 වසරේ පෙබරවාරි මාසයෙහි දියත් කරන ලද තැන් පටන්, ලෝසවෙඅ ඔක්තෝබර් විප්ලවයේ නායකයෙක් හා හතරවන ජාත්‍යන්තරයේ ආරම්භකයා වන ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ ව සැඳහුම් සහිත ලිපි දහස් ගනනක් ලියා පලකොට ඇත. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා යන කෘතියෙහි කතුවරයා ය. ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ අනෙකුත් ප‍්‍රමුඛ සාමාජිකයන් ලෙස දශක ගනනාවක් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ක්‍රියාකාරී ව කටයුතු කොට තිබෙන, ඕස්ට්‍රේලියාවේ නික් බීම්ස් හා ජේම්ස් කෝගන්, බ්‍රිතාන්‍යයේ ක්‍රිස් මාස්ඩන්, ජර්මනියේ උල්රිච් රිපර්ට් හා පීටර් ෂ්වාට්ස්, කැනඩාවේ කීත් ජෝන්ස් හා ශ්‍රී ලංකාවේ විජේ ඩයස් අයත් වෙති. මේ සියල්ලෝ ම ට්‍රොට්ස්කිවාදී ඉතිහාසය සහ දේශපාලනය පිලිබඳ සුප‍්‍රකට හා කෘතහස්ත පුද්ගලයෝ වෙති.

හජාජාක මේ වසරේ රුසියානු විප්ලවයෙහි ශතසංවත්සරය සමරයි. ඒ සඳහා වසර පුරා රුසියානු විප්ලවයේ මේ සතිය නමැති ඓතිහාසික කාලවේදයක් හජාජාක පලකරන අතර, සෑම කොටසක් තුල ම ට්‍රොට්ස්කි පිලිබඳ සැඳහුම් අඩංගු වේ. ලෝසවෙඅ පාඨකයන් අතර මෙම කාලවේදය අතිශයින් ජනප්‍රිය ය. උදාහරනයක් ලෙස, කාලවේදයෙහි මැයි 29-ජුනි 4 කලාපයේ වීඩියෝ පටය 21,000කටත් අධික පිවිසුම් වාර ගනනක් ආකර්ශනය කරගත් බව ෆේස්බුක් සමාජ ජාලය පවසන අතර, එම වීඩියෝ පටය ලෝසවෙඅ වෙත පාඨකයන් දහස් ගනනක් ආකර්ශනය කරගැනීමට සමත් ව තිබේ.

මාර්තු හා මැයි මාසයන් අතරතුර, හජාජාක රුසියානු විප්ලවයේ ඉතිහාසය පිලිබඳ ව පැවැත්වූ අන්තර්ජාල දේශනමාලාවේ දී ද විප්ලවය තුල ලියොන් ට්‍රොට්ස්කිගේ භූමිකාව අවධානයට යොමු කෙරුනු ප‍්‍රධාන අංශයක් විය. එම දේශන ෆේස්බුක් හා යූටියුබ් වෙත විශාල ශ‍්‍රාවකත්වයක් ආකර්ශනය කලේ ය. ෆේස්බුක් අඩවියට අනුව, මාර්තු 13දා ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලද පලමුවන දේශනය 6,300කටත් අධික වාර ගනනක් නරඹනු ලැබ තිබේ. මාර්තු මාසයේ මුල දී හජාජාක දේශනමාලාව ගැන, නෝර්ත් කල පූර්ව විමර්ශනය සහිත වීඩියෝ පටය වාර 120,000කට අධික ව නරඹා තිබුනි.

අප මෙම සංඛ්‍යාලේඛන උපුටා දක්වන්නේ පුරසාරමක් ලෙස නො ව, ලෝක සමාජවාදී බෙව් අඩවිය තුල පලකරනු ලබන හජාජාක දේශන සහ ලිපි, පුලුල් පරිමාන ව කියවනු ලබන බව සනාථ කිරීමට යි. දේශපාලනික ව දැනුවත් ශ‍්‍රාවකත්වයකට, ට්‍රොට්ස්කිවාදය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමානාර්ථවත් පදයන් වේ.

එහෙත්, ගූගල් සමාගම විසින් නව වාරන ඇල්ගොරිදමය -ක‍්‍රමලේඛන මෘදුකාංගය- ක්‍රියාවට දැමීමෙන් පසු, සෙවුම් ප‍්‍රතිඵල වෙතින් ලෝක සමාජවාදී බෙව් අඩවිය -ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ ව තොරතුරු සෙවූ අය අතරින් පවා-නො පෙනී යාමට පටන්ගත්තේ ය.

ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙහි ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ ව සොයන්නන්ට, ලෝසවෙඅ පිලිබඳ ව මැයි මාසයේ දී සැඳහුම් 5,893ක් ලැබුන ද එය ජූලි මාසය වනවිට ශුන්‍යය ( 0 ) දක්වා බැස්සේ ය.

මෙම ලිපියට සූදානම් වීමේ දී, අපි ගූගල් සෙවුම් යන්ත‍්‍රය මත “ලියොන් ට්‍රොට්ස්කි කවුද” යනුවෙන් සෙවුවෙමු. මෙහි දී පූර්වයෙන් කරන ලද සෙවුම්වල බලපෑමෙන් තොර බව සහතික කරගැනීමට, මේ සඳහා අපි ගූගල්හි ක්‍රෝම් නමැති විමසුම් බ‍්‍රවුසරයේ “ඉන්කොග්නිටෝ (වෙස්වලාගත්) මාදිලිය” භාවිතා කලෙමු. සෙවීම සඳහා යොදාගත් පද උද්ධෘත පාඨ නොමැති ව භාවිතා කරන ලදී.

සියලු වර්ගයේ දක්ෂිනාංශික රචනා සහ ලිපි පැමිනෙයි. “ලියොන් ට්‍රොට්ස්කි: නින්දිත රුසියානු විප්ලවවාදියා පිලිබඳ කරුනු 6ක්” යන හිසින් යුත්, රුසියානු ආන්ඩුව විසින් (රෂියා බියොන්ඩ් ද හෙඩ්ලයින්ස් - ශීර්ෂපාඨවලින් ඔබ්බෙහි රුසියාව- ආර්බීටීඑච්.කොම්- rbth.com නමැති වෙබ් අඩවියේ පලකරන ලද රචනාවක් පලමු පිටුවෙහි අඩංගු වේ.

2014 අපේ‍්‍රල් මාසයෙහි ඕස්ට්‍රේලියානු ගොවිපලක් විසින් මුදාගත් පුංචි ඌරු පැටියා...නමැති එඩ්ගාර්ගේ මෙහෙයුම් ගොවිපල අභයභූමිය විසින් ලියොන් ට්‍රොට්ස්කි ගැන යොමුකල තුන්වන පිටුවෙහි එන සටහනක් අපට දැනුම් දෙන්නේ, “තමන්ගේ තරමට වඩා දසගුනයක ශක්තියක් තිබෙන” සත්ත්වයෙක් බව යි. 2007 දී ස්ලේට්හි පලකල එහි තිබෙන තවත් ලිපියක් ”ලියොන් ට්‍රොට්ස්කි (නමැති විප්ලවවාදියා) පරමාදර්ශයට ගන්න එපා” යයි පාඨකයන්ට අනතුරු අඟවද්දී, දක්ෂිනාංශික කොන්සවපීඩියා (කොන්සවැටිව් -ගතානුගතික- ශබ්දකෝෂය) විසින් තබන ලද සටහනක් ද පෙනී සිටී.

ක්විස්ලට් විසින් කඩිමුඩියේ පලකරන ලද සටහනක්, TVTropes.com සකස්කල සටහන් වලට අනුව ලියොන් ට්‍රොට්ස්කිගේ ශ්‍රේෂ්ඨතම උරුමය වන්නේ, “නො නවතින කන්ඩායම්වාදය සහ විප්ලවවාදී අපෝහකය ගැන ඔහුගේ කෙස් පැලෙන දර්ශනවාදය යි” යනුවෙන් පාඨකයන්ට දැනුම් දෙමින්, උපහාසාත්මක අන්සයික්ලොපීඩියා (ප්‍රති-විශ්වකෝ) විසින් තබන ලද ප‍්‍රතිගාමී හා නූගත් සටහනක්, හතරවැනි පිටුවෙහි අඩංගු වේ. අප‍්‍රකට වෙබ් අඩවියක් වන ලීසාගේ ඉතිහාස කාමරය (ලීසා’ස් හිස්ට්රි රූම්) -ඇලෙක්සා වෙබ් අඩවියට අනුව ලෝසවෙඅ ගෝලීය බෙව් අඩවි අතර දරන 40,677 වන ස්ථානයට සංසන්දනාත්මක ව 1,078,957 වන ස්ථානය දරයි- එහි පලකරන ලද “ලියොන් ට්‍රොට්ස්කි පිලිබඳ හොඳ ම තොරතුරු හා කරුනු” යන එකතුවක් සහ “ෆ්‍රීඩාගේ රතුවන තෙක් පදම්වුනු පෙම්වතා” නම් රචනාවක්, තවත් ඉදිරියට යනවිට හයවැනි පිටුවෙහි අපට හමුවේ. එසේම එහිදී අපට හමුවන්නේ, ට්‍රොට්ස්කි හා ඕවල් විසින් රචිත ඇනිමල් ෆාම් (සත්ව ගොවිපල) කෘතිය පිලිබඳව උසස් පාසැලක සිසුවකු විසින් ලියන ලදුව ප්රෙහසි.කොම්හි පලවූ ලිපියකි.

දහවන පිටුවට පැමිනෙන විට, “ලියොන් ට්‍රොට්ස්කි” නමැති මධුපානොත්සව කෑම වට්ටෝරුවක් සහ lyrics.com පිටුවෙහි පලවන “ලියොන් ට්‍රොට්ස්කි” යන භාෂිතය සහිත ගීත අපට හමුවේ. ජොෂුවා රුබන්ස්ටයින් නමැති ඉතිහාසඥයා ට්‍රොට්ස්කි පිලිබඳ ව ලියූ චරිතාපදානයක් ගැන, ප‍්‍රතිගාමී ඉතිහාසඥ රිචඞ් පයිප්ස් විසින් රුබෙන්ස්ටයින් “රුසියානු විප්ලවවාදියාගේ ප‍්‍රචන්ඩ අන්තගාමීත්වය වසංකරයි” යනුවෙන් මැසිවිලි නගමින් ලියූ, “ට්‍රොට්ස්කි නම් යුදෙව්වා” යන හිසින් 2011හි දී ටැබ්ලට්හි පලකල විවරනයක් 12වැනි පිටුවේ තිබේ. එම පිටුවෙහි ම “ලියොන් ට්‍රොට්ස්කි, එන්කේවීඞීයේ (ස්ටැලින්ගේ සෝවියට් රහස් පොලීසියේ) දූතයා” නමින් සීඅයිඒ වෙබ් අඩවියේ ලියවිල්ලක් ද තිබේ.

13වන පිටුව තෙක් ලෝසවෙඅහි ට්‍රොට්ස්කි පිලිබඳ ව කරන කිසිදු සටහනක් හමු නො වන අතර, එතැන හමුවන්නේ යලි පලකල “රුසියානු විප්ලවය පිලිබඳ සංකල්ප තුන” නමැති ට්‍රොට්ස්කිගේ ලිපිය යි. නමුත් මේ අවස්ථාව වනවිට, ගූගල්හි ට්‍රොට්ස්කි ගැන සොයන්නන් බොහෝ දෙනෙක් එම උත්සාහය අත්හැර දමා තිබෙනු ඇත්තේ, ට්‍රොට්ස්කි පිලිබඳ උහුලාගත නො හැකි කුනුකන්දල්වල බරින් මැඞී ඇති බැවිනි.

“ව්‍යාජ තොරතුරු” වැලැක්වීම ඉලක්ක කරගත් තම නව පිලිවෙත් ගූගල් සමාගම විසින් අප්‍රේල් මාසයේ නිවේදනය කරද්දී, තම අභිප‍්‍රාය “වඩාත් ම විශ්වාසවන්ත මූලාශ‍්‍රයන්ගෙන් අදාල තොරතුරු සඳහා මහජනයාට ඉඩප‍්‍රස්ථාව සම්පාදනය කිරීම හා වඩාත් ම විශ්වාසනීය වෙබ් පිටුවලට පෙනීසිටීමේ ඉඩකඩ සලසමින් තත්ත්වයෙන් බාල අන්තර්ගතයන් පහත හෙලීම” යයි පැවසීය. ගූගල්-ස්පීක් (ගූගල් භාෂාව) තුල, “විශ්වාසනීය” යන්නෙන් අදහස් කරන්නේ “අධිපතියන්ට පිලිගත හැකි” යන්න යි. අපගේ ම පරීක්ෂනාත්මක සෙවීම පැහැදිලි ව පෙන්නුම් කරන පරිදි, “ලියොන් ට්‍රොට්ස්කි” යනුවෙන් ගූගල් හරහා කරන සෙවීම්, ප‍්‍රතිගාමී, ප‍්‍රති-කොමියුනිස්ට්වාදී, යුදෙව්-විරෝධී, මඩප‍්‍රචාර අඩංගු වන්නා වූ හා අර්ථ-විරහිත පිටු බොහොමයකට සොයන්නන් ගෙන යයි. එහෙත්, අන්තර්ජාලය මත අන් කිසිදු වෙබ් අඩවියකට වඩා “විශ්වාසනීය” හා අදාල ලිපිලේඛන අඩංගු වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය යනු, මේ පිලිබඳ ව සොයන අයෙකුට හමු නො වනම වෙබ් අඩවිය යි.

මෙය විස්තර කරනු ලැබිය හැක්කේ, ගූගල්හි නව “මාර්ගෝපදේශයන්ගේ” ඉලක්කය, ලෝසවෙඅ පහත හෙලීම හා අසාදු-ලේඛනගත කිරීම යන්න ලෙස පමනි. මෙය හුදු අනපේක්ෂිත තාක්ෂනික අත්වැරැද්දක ප‍්‍රතිඵලය යයි නිවටයන් පමනක් විශ්වාස කලා වේ!

ගූගල්හි වාරනයට එරෙහි අරගලයට එක්වනු! ඒ සඳහා සම්බන්ධ වීමට හජාජාක අමතන්න. ලෝසවෙඅට මුදල් ප‍්‍රතිපාදන දෙමින්, නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම මැඩලීමට එරෙහි අරගලයට සහයෝගය දෙන්න.

Share this article: