එජා මහ මන්ඩලයේදී, ජෙරුසලම පිලිබඳ ට‍්‍රම්ප්ගේ නිවේදනය ප‍්‍රතික්ෂේප කෙරේ

UN General Assembly repudiates Trump over Jerusalem announcement

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි, 2017 දෙසැම්බර් 22

ජෙරුසලම ඊස්රායලයේ අගනුවර ලෙස පිලිගන්නා බවට ජනාධිපති නිකුත් කල නිවේදනය හෙලා දකිමින් 21දා එජා මහ මන්ඩලයේ රටවල් 128ක් ඡන්දය දීමෙන් පසුව, ට‍්‍රම්ප් පාලනය නින්දිත පරාජයකට මුහුන පෑවේය. රටවල් 35ක නියෝජිතයින් නොපැමිනි අතර 128ක් පක්ෂව හා 9ක් විරුද්ධ වීමෙන් සලකුනු කලේ ඇමරිකාවේ දැඩි හුදෙකලාවයි. එය මැද පෙරදිග ප‍්‍රචන්ඩ ගැටුම් වැඩිවීමට තුඩුදෙනු ඇත.

ඡන්දය පැවැත්වුනේ ට‍්‍රම්ප් හා අනෙකුත් නිලධාරීන් විසින් ගෙන ගිය බියගැන්වීමේ හා අඩන්තේට්ටම් කිරීමේ ව්‍යාපාරයකට පසුවය. ඇමරිකාවට විරුද්ධව ඡන්දය දෙන කුමන රටකට හෝ සංවර්ධන කටයුතු සඳහා දෙනු ලබන ආධාර කපා හරින බවට 20දා ට‍්‍රම්ප් තර්ජනය කලේය. “ඔවුන් ඩොලර් මිලියන සිය ගනනක් නැත්නම් දහස් ගනනක් ලබාගෙන ඇති අතර අපට විරුද්ධව ඡන්දය දීමට යති. ඔවුන් අපට විරුද්ධව ඡන්දය දුන්නාවේ. අපට මුදල් විශාල ප‍්‍රමානයක් ඉතිරිවනු ඇත. අප ගනන් ගන්නේ නැතැ”යි ට‍්‍රම්ප් පැවසීය.

එජා හමුවේ කල කථාවේදී එරට ඇමරිකානු තානාපති නිකී හේලි ප‍්‍රහාරය පෙරට ගෙන ගියාය. “ස්වෛරී ජාතියක් ලෙස අපගේ අයිතීන් ක්‍රියාත්මක කිරීමට යාම නිසාම මහ මන්ඩලයේදී අප වෙන්කර පහර දීම, ඇමරිකාව සිහියේ තබාගනු ඇත. නිතරම කරන ආකාරයට, තමන්ගේ වාසියට අපගේ අනුහස ගසා කෑමටත් වැඩිපුර අප ලවා වියදම් කරවීමටත් බොහෝ රටවල් අපට කථාකරන අවස්ථාවලදී අපි මෙය මතක තබාගන්නෙමු.” ඡන්දයේ ප‍්‍රතිපලය නොතකා වොෂින්ටනය, සිය ප‍්‍රතිපත්තියේ දිගටම රැඳී සිටින බව ඇය උද්ධච්ඡ ලෙස සභාවට දැනුම් දුන්නාය.

ටෝගෝ, මාර්ෂල් දිවයින්, මයික්‍රොන්ඒසියා, පලාවු, නවුරු, ගුවාතමාලා හා හොන්ඩුරාසය පමනක් ඇමරිකාව හා ඊස්රායලය සමග එක්ව ජෙරුසලම පිලිගැනීමට සහාය පල කලහ. රටවල් 35ක් නොපැමින සිටි අතර 21ක් ඡන්දය වර්ජනය කලේය. එය පෙන්නුම් කලේ ට‍්‍රම්ප්ගේ හා හේලිගේ තර්ජන යම් බලපෑමක් ඇතිකර තිබෙන බවය.

එජා යෝජනා මාලාවකදී ඊස්රායලයට සහාය දැක්වීම නිසා ඇමරිකාව සුලුතරයක් වුවත්, ඒසා විවෘත ලෙස ඇමරිකාව නොතකා හැරීමට එතරම් රටවල් සංඛ්‍යාවක් ඉදිරිපත්වීමෙන් ප‍්‍රකාශ වන්නේ, වැඩෙන අන්තර් අධිරාජ්‍යවාදී ඝර්ෂනය හා දිග්ගැස්සෙන ඇමරිකානු ධනවාදයේ පරිහානියයි.

ඊස්රායලය පිලිබඳ යෝජනා වලදී නොපැමින මගහරින බ්‍රිතාන්‍ය, ප‍්‍රන්සය හා ජර්මනිය වැනි සම්ප‍්‍රධායික ඇමරිකානු ගැති රටවල්, ට‍්‍රම්ප්ගේ නිවේදනය හෙලා දකිමින් ඡන්දය දුන්හ. තර්කයට බඳුන්වන ඇමරිකාවේ සමීපතම සහචරයෙක් හා ඊස්රායලයේ ආරක්ෂාව සඳහා එජා හමුවේ යලි යලිත් ඡන්දය දී ඇති කැනඩාව පවා නොපැමිනියේය.

ට‍්‍රම්ප්ගේ ඝෝෂාකාරී තර්ජන වලින් ඇතිකර තිබෙන්නේ සුලු බලපෑමක් හා වොෂින්ටනයේ ආස්ථානය තීරනාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කිරීමේ කාරනය, මැද පෙරදිග තුල ආක‍්‍රමනකාරී ලෙස ඇමරිකාවේ කඩාපැනීම් පිලිබඳ තර්ජනය ඉහල නංවනවා පමනි. එය කලාපය තුල විනාශකාරී ගැටුම තවදුරටත් අවුලුවාලනු ඇත.

මේ සතිය මුල, විස්තාරනය කර ඇති ආකාරයට ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක මූලෝපාය මහ බලවතුන් අතර ගැටුම් වෙත යොමුවීමත් සමග, ට‍්‍රම්ප් ආන්ඩුවේ මැරවර හා අඩන්තේට්ටම් කිරීමේ කටයුතු තියුනුවී ඇත. විසිපස් වසරක් තිස්සේ, මිලියන ගනන් ජීවිත විනාශ කල, මුලුමනින්ම පාහේ නිර්බාධක වූ යුද්ධවල පැටලී සිටීමෙන් පසුව ඇමරිකානු පාලක පන්තිය දැන්, 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකකින් පසුව පෙර නොදුටු පරිමානයේ විවෘත මිලිටරි ගැටුම් කරා යොමුවෙමින් සිටී.

ජෙරුසලම පිලිබඳ තමන්ගේ පිලිවෙතට විරුද්ධවූ රටවල මූල්‍ය ආධාර කපා හරින බවට ට‍්‍රම්ප් කල තර්ජනය ක්‍රියාත්මක වුවහොත්, මහ බලවතුන් අතර මැද පෙරදිග සම්බන්ධයෙන් පැනනැගී තිබෙන ආතතිය තවදුරටත් පුලුල් වනු ඇත. යෝජනාවට සහාය දීම තුලින් ඊජිප්තුව, ජෝර්දානය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා පකිස්ථානය යන සියලු රටවල් වොෂින්ටනයට පිටුපස හැරවූහ.

ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය බලවත්තු, කලාපය තුල ඇමරිකාවේ වියදමෙන් තම අනුහස වැඩිකර ගැනීමේ අවස්ථාවක් ලෙසත්, ඇමරිකාවේ සහයෝගිතා පදනම වියැකී යාමෙන් ඇතිව තිබෙන හිඩැස ඉක්මනින්ම පියවීමට, ජෙරුසලම් තීන්දුව හරවා ගත්හ. බලශක්තියෙන් පොහොසත් කලාපය තුල ඇමරිකාවේ අනභියෝගී ආධිපත්‍ය සඳහා වන ව්‍යායාමයේ ප‍්‍රධාන බාධකයන් වන රුසියාව හා චීනය ද එම අවස්ථාව ඩැහැ ගත්හ. බැඳීමක් නැති මහ මන්ඩල ඡන්දය පැවැත්වුනේ, ආරක්ෂක මන්ඩලයට ගෙන ආ යෝජනාවට හේලි පමනක් විරුද්ධව ඡන්දය දීමෙන් තෙදිනකට පසුවය.

වොෂින්ටනය හා අනෙකුත් යුරෝපීය බලවතුන් ඊස්රායල-පලස්තීන ගැටුමට ඉදිරිපත් කර තිබුන රාජ්‍ය-දෙකේ විසඳුම පිලිබඳ දශක ගනනාවක ප්‍රෝඩාව ට‍්‍රම්ප්ගේ ජෙරුසලම් තීන්දුවෙන් අවසන් කෙරුනි. අධිරාජ්‍යවාදී බලවතුන් සමග කේවලයකින්, පලස්තීනුවන්ට සිය ප‍්‍රජාතන්ත්‍රීය හා සමාජ අභිලාෂයන් සුරක්ෂිත කර ගත හැකියයි කියා සිටි ධනපති ජාතිකවාදී ඉදිරිදර්ශනයේ බංකොලොත්කම තරයේ එලිදරව් විය.

පලස්තීන බලධාරීන්, ඊස්රායලය දශක ගනනාවක් තිස්සේ පලස්තීනුවන් රුදුරු ලෙස පීඩාවට පත්කල ක්‍රියාවලිය නිරායාසයෙන්ම අවධාරනය කල යෝජනාව හුවාදැක්වූ විට, මුලුමනින්ම නිරාවරනය විය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂක භටයා ලෙස සේවය කල හා පලස්තීනුවන් අතර පුලුල් වෛරයට පාත‍්‍රව සිටින, එහි ජනාධිපති මොහමඩ් අබ්බාස් තන්ත‍්‍රය, එක්සත් ජාතීන්ගේ ඡන්දය “පලස්තීයට ජයග‍්‍රහනයක්” ලෙස හුවා දැක්වීය.

අබ්බාස්ගේ ප‍්‍රකාශකයෙකු වන අබු රයිනා මෙසේ පැවසීය: “අපි එක්සත් ජාතීන්ගේ මන්ඩලය මෙන්ම සියලූ ජාත්‍යන්තර සමුලු තුල මෙම වාඩිලාගැනීම (ඊස්රායල්) අවසන් කර, නැගෙනහිර ජෙරුසලම අගනුවර කරගන්නා අපගේ පලස්තීන රාජ්‍යය වෙනුවෙන් දරන උත්සාහය දිගටම ගෙන යන්නෙමු.”

යථාර්තය නම් වොෂින්ටනය එවන් රාජ්‍යයක් බිහිවීම කිසිසේත්ම ඉවසා සිටින්නේ නැති බව පැහැදිලිවම පවසා තිබීමයි. යුරෝපීය බලවතුන් ද කිසිසේත්ම පලස්තීනුවන්ගේ ඉරනම ගැන උනන්දු වන්නේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව, ඊස්රායලය හා පලස්තීනුවන් අතර සම්මුතියක් වෙනුවෙන් කපුකම් කිරීමට වොෂින්ටනය අසමත් වීම හා සිරියාව තුල එරට මිලිටරි මැදිහත්වීමේ අර්බුදය ගසාකමින්, මැද පෙරදිග තුල තමන්ගේම කොල්ලකාරී අභිලාෂයන් මුදුන්පමුනුවා ගැනීමය.

ට‍්‍රම්ප්ගේ පිලිවෙතට පහර දීම පිනිස මහ මන්ඩලය උපයෝගී කරගත් අරාබි ධනපති තන්ත‍්‍රයෝ, පලස්තීනුවන් මුහුනදෙන බිහිසුනු කොන්දේසි ගැන තරයේම උදාසීන ආකල්පයක් දරති. මේ සියලු තන්ත‍්‍රයන්, ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති නිවේදනය ගැන කල්තියාම දැනුවත්කර තිබුනි. ඉරානයට මිලිටරිමය වශයෙන් මුහුනදීමේ සිය පිලිවෙත සඳහා ඊස්රායලයේ සහාය ලබාගැනීමට වෑයම් කරන සව්දි අරාබිය, ජෙරුසලමේ පාලනය ඊස්රායලයට පැවරීමත්, පලස්තීන භූමිභාගයන් එකිනෙකට අසම්බන්ධිත කුඩා වැයික්කි කිහිපයක් දක්වා කප්පාදු කිරීමත් සම්බන්ධ කරුනු පැහැදිලි කර දීම පිනිස නොවැම්බරයේදී රියාද් වෙත පැමිනෙන ලෙස අබ්බාස්ට නියම කරන ලද බව වාර්තා විය.

ජෙරුසලම් තීන්දුව බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිනාංශික ආන්ඩුවේ අත ශක්තිමත් කලේය. ට‍්‍රම්ප්ගේ කථාවෙන් පසුව ගතවූ දෙසතිය තුල ඊස්රායල් ආරක්ෂක හමුදාව ජීව උන්ඩ යොදාගෙන පලස්තීන විරෝධතාවන්ට වෙඩි තබමින් 10 දෙනෙකු මරා දමා, 1900ට වැඩි පිරිසකට තුවාල සිදුකොට 200ක් පමන අත්අඩංගුවට ගෙන තිබේ. තම නීති විරෝධී පදිංචි කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යාම හරහා, අල්ලාගත් ප‍්‍රදේශවල දිගටම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ ටෙල් අවිව් ක්‍රියාමාර්ගය ද ඇමරිකානු තීරනයෙන් නව පනක් ලැබීය.

ඡන්දයෙන් පසුව නෙතන්යාහු ආක‍්‍රමනකාරී ලෙස කටයුතු කරනු ඇති බව සිතාගැනීම අපහසු නැත. ඡන්ද ප‍්‍රතිපලය “නීති විරෝධී” යයි හංවඩු ගසමින් ඔහු, ජෙරුසලම “හැමදාමත්” ඊස්රායලයේ අගනුවර වූ බවත් “ඉදිරියට ද එසේම වන බවත්” පැවසීය.

ට‍්‍රම්ප්ගේ ජෙරුසලම් ප‍්‍රතිපත්තිය, ටෙහෙරානය සමග යුද්ධයට සූදානම් වීමේ අරමුන ඇතිව මැද පෙරදිග ඉරාන විරෝධී සන්ධානයක් ඇතිකර ගැනීමේ උත්සාහයත් සමග බැඳී ඇත. අරාබි නායකයින්ගේ රැස්වීමක් ඇමතීම පිනිස ඔහු මැයි මාසයේදී සව්දි අරාබියට ගිය අතර එහිදී, ඉරානයට විරුද්ධව සටන් කිරීම පිනිස සුන්නි මුස්ලිම් සන්ධානයක් ඇතිකර ගන්නා ලෙස ඔහු පැවසීය. ට‍්‍රම්ප් හා ඔහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සෑම අවස්ථාවකදීම, ටෙහෙරානය හා එහි සහචරයින් සමග ආතතිය තියුනු කිරීමට උත්සාහ දරා ඇත.

ට‍්‍රම්ප් ජෙරුසලම පිලිගැනීම සිදු වුනේ, ඔබාමා පාලනය යටතේ 2015 න්‍යෂ්ටික ගිවිසුමට ඉරානයේ අනුකූලතාව සහතික කිරීම ප‍්‍රතික්ෂේප කර දෙමසක් ඉක්ම යන්නටත් පෙරය. බැලිස්ටික් මිසයිල් වැඩසටහන ද අතුලත්වන පරිදි එරටට විරුද්ධව දැඩි සම්බාධක පනවන ලෙස ඔහු ඇමරිකානු කොන්ග‍්‍රසයට කියා සිටියේය.

21දා එජා ඡන්දය දක්වා වූ කාලය මැදපෙරදිග පුරා ආතතීන් වඩාත් තියුනු කලේය. තුර්කි ජනාධිපති රෙසෙප් එර්ඩොගන්, මූල්‍යාධාර කපා හරින බවට කල ට‍්‍රම්ප්ගේ තර්ජනය හෙලා දුටුවේය. ඇමරිකාවට “හොඳ පාඩමක්” උගන්වන ලෙස ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාවට කියා සිටියේය. “ට‍්‍රම්ප් මහතානෙනි, ඔබට තුර්කියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අධිෂ්ඨානය ඔබගේ ඩොලර් වලින් මිලට ගත නොහැකිය. අපගේ තීරනය පැහැදිලිය. මම ලෝකයට එකක් කියන්නෙමි, “ඔබගේ ප‍්‍රජාතන්ත‍්‍ර අරගලය හා ඔබගේ අධිෂ්ඨානය ඩොලර් සොච්චමකට මිලට ගැනීමට ඉඩ නොදෙන්න.”

එවන් ප‍්‍රකාශ තුල දේශපාලන අධිෂ්ඨානයේ බිඳක් හෝ නැතත් එර්ඩොගන්ගේ කථා පිලිබිඹු කරන්නේ, කලාපය තුල තම තත්වය නගා සිටුවීම පිනිස පලස්තීන ප‍්‍රශ්නය ගසාකෑමට තුර්කිය දරන උත්සාහය හමුවේ, වොෂින්ටනය සමග වැඩී යන සතුරුකමය. ඔහු මේ වසර තුල හත් වතාවක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මුනගැසී ඇත. තුර්කි ආන්ඩුව රුසියානු ගුවන් ප‍්‍රහාර ආරක්ෂක පද්ධතියක් මිලට ගැනීමේ අභිමතය ඔහු එහිදී පලකර තිබේ. ඊට අමතරව තුර්කිය, වොෂින්ටනය බොහෝකොටම කොන්වී ඇති, සිරියානු සාමය පිලිබඳ සාකච්ඡාවන්හිදී කුර්දි නියෝජනය ගැන රුසියාව හා ඉරානය සමග ගිවිසුමකට එලඹෙන්නට ආසන්න බව ද පෙනෙන්නට තිබේ.

Share this article: