ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තුල කම්කරු පන්තිය කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැදිය යුතුය

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශයකි, 2017 දෙසැම්බර් 9

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග “එකඟතාවයක් ඇතිකර ගැනීම” සඳහා පැවැත්වූ සාකච්ඡා බිඳ වැටුනු බව සති අන්තයේ වාර්තාවිය. ඒ සමගම වාර්තාවූයේ ‘ජාතික සමගි ආන්ඩුව’ දෙදරා යන මට්ටමකට එහි පාර්ශ්වකරුවන් වන සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායම ද අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ද අතර කලක් තිස්සේ උග‍්‍රවූ මතභේද සමහන් කෙරී පක්ෂ දෙක සමීපව කටයුතු කිරීමට තීන්දු කර ඇති බවයි.

සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු දෙසැම්බර් 3 කලාපයේ සිරිසේන හා රාජපක්ෂ අතර සාකච්ඡා බිඳවැටීම ගැන මෙසේ ලියා ඇත: “ශ්‍රීලනිප විරුද්ධවාදීන් [රාජපක්ෂ කන්ඩායම] සිරිසේනගේ හදිසි පස්සගැසීමට හා සාකච්ඡාවලින් ඉවත්වීමට හේතුවූයේ කුමක් දැයි තේරුම් ගැනීමට අපොහොසත් වී සිටිති. ඊට හේතුවූයේ, දේශීය පීඩනයක් ද, නැත්නම් විදේශීය පීඩනයක් ද නැත්නම් ඒ දෙකම ද?” වැඩිදුර ලියා නැතත් ටයිම්ස් ලියුම්කරු සිරිසේනට ඇතිවිය හැකි පීඩනයන් ගැන ඉඟි කර ඇත.

ශ්‍රීලනිපයට සම්බන්ධ ප‍්‍රමුඛ ඇමතියන් හරහා සිදුවූ සිරිසේන හා රාජපක්ෂ අතර සාකච්ඡා බිඳ වැටීමට හේතු වුයේ කුමක්දැයි මුලුමනින් එලිදරවු වී නැත. එහෙත් තමන් මැදිහත්වී සිදුකල තන්ත‍්‍ර මාරුවකින් බලයට පත්කර ගත් සිරිසේන ප‍්‍රමුඛ ආන්ඩුව භේදවීමට ඉඩ නොදීමට ද බලයෙන් ඉවත් කෙරුනු රාජපක්ෂ සමග එකතුවීමේ සාකච්ඡා ලොප් කර දැමීමටද ඇමරිකාවත් ඉන්දියාවත් තිරයෙන් පිටුපස සිට ක්‍රියා කල බව තක්සේරු කරගැනීම අපහසු නොවේ.

රාජපක්ෂ පාලනයේ මුල්පෙලේ හෙන්චයියෙක්ව සිටි සිරිසේන, ඔහුට විරුද්ධව තරඟ කිරීමට ආන්ඩුවෙන් දොට්ට බැසීමෙන් අවුරුදු තුන සම්පුර්න වූ නොවැම්බර් 21 දා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමකදී මෙසේ සඳහන් කර ඇත: “ජාත්‍යන්තරව ආන්ඩුව පිලිගැනීම සිදුව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකට වැඩ කිරීම නිසයි. අගමැතිවරයාට ආන්ඩුවෙන් බිඳෙන්නට උවමනාවක් නැති බව මට විශ්වාසයි (සන්ඩේ ටයිම්ස්, නොවැම්බර් 26 ). සිරිසේන ‘ජාත්‍යන්තරය’ ලෙස සඳහන් කරන්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලවේග හා ඉන්දියාව ගැනයි. ඔහු මෙම ප‍්‍රකාශයෙන් ඇඟවූයේ ඇමරිකාව ඇතුලු බලයන්ට තමන්ගේ ඇති දීන බැඳීම හා පාලක සභාගය දිගටම පවත්වා ගන්නා බවට සහතික වීමයි.

සිරිසේන බලයට ගෙන ඒමට 2015 මැතිවරනය තුල දී ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේ සහයෝගයෙන් මැදිහත් වූයේ රාජපක්ෂ පාලනය බෙයිජිනය සමග ගෙන ගිය ආර්ථික සබඳතා නතර කර, චීනයට විරුද්ධව ‘ආසියාවට හැරීමේ’ වැඩපිලිවෙල මත ගොඩනගමින් තිබු මූලෝපායික මිලිටරි සැලසුම් වලට ලංකාව ගැටගසා ගැනීමටයි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩුනු මහජන විරෝධතා පුපුරා ඒම වලක්වා යටපත් කිරීමේ උවමනාව මෙම මැදිහත්වීම සමග බැඳී පැවතුනි.

සිරිසේන බලයට ගෙන ඒමට ව්‍යාජ වම ද ශාස්ත‍්‍රාලික කන්ඩායම් ද පොදි ගැසෙද්දී ඇමරිකානු අධිරාජ්‍යවාදය අත දමා සිදුකල තන්ත‍්‍ර මාරුවේ ප‍්‍රතිගාමි අර්ථය පැහැදිලි කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක්ම ය.

කොලඹ පාලන තන්ත‍්‍ර මාරුවට දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද ව්‍යාජ වාම පක්ෂ හා ශාස්ත‍්‍රාලික කන්ඩායම් ද හවුල් වූහ. අගමැති වික‍්‍රමසිංහගේ සහයෝගයෙන් සිරිසේන වහාම ඇමරිකානු ගැති විදේශ පිලිවෙතකට මාරුවී එහි මුලෝපායට රට ඒකාග‍්‍ර කිරීමේ කටයුතු ඇරඹුවේය. 2015 අගෝස්තු මහා මැතිවරනයෙන් පසු, ධනපති පන්තියේ විකල්ප පක්ෂ දෙක 1948 “නිදහසෙන්” පසු පලමු වතාවට ඊනියා ජාතික සමගි ආන්ඩුව අටවා ගත්තේ මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමටයි. මේ සියල්ල සිදු කෙරුනේ ඇමරිකාවේ හා නව දිල්ලියේ ආශීර්වාදය ඇතිවය.

ශ්‍රීලනිපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ මන්ත්‍රීන් කන්ඩායමක් සමග “ඒකාබද්ධ විපක්ෂය” ලෙස කාන්ඩ ගැසී පොදුජන පක්ෂය නමින් අලුත් පක්ෂයක් සංවිධානය කර ගෙන සිටින රාජපක්ෂ බලයේ සිටිද්දී ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තලා දමමින් ගෙනගිය පාලනයට වොෂින්ටනය හා නව දිල්ලිය කිසිවිටෙක විරුද්ධ වී නැත. ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදියෙකු ද නොවේ. එහෙත් රාජපක්ෂ ඉවත්කිරීමට තුඩුදුන් හේතු නිසා දැන් ඔහු ආන්ඩුවට ලංකර ගැනීමට මේ බලයන් ඉඩ නොදෙනු ඇත.

ඔක්තෝබර් මාසයේ, ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙශප්, ඉන්දියාවේ විදේශ අමාත්‍යංශ ලේකම් එස්. ජෙයශන්කර් සමග ලංකාවේ හා මාලදිවයිනේ දේශපාලන තත්වය හා විශේෂයෙන් චීනය සමග සම්බන්ධතා ගැන සාකච්ඡා කලේ රටවල් දෙක ඔවුන්ගේ සුපරීක්ෂාව යටතේ පවතින බව පෙන්වමිනි. එලෙස, ලංකාවේ ප‍්‍රතිපත්ති තීන්දු කරන බලයන් ලෙස වොෂින්ටනය, නවදිල්ලිය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අත දමා ගෙන සිටී. මේ රටවල උත්සුකතාවලට තුඩුදී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් පෙලෙන වත්මන් ආන්ඩුව ද චීනයෙන් නය හා ආයෝජන ලබා ගැනීමයි.

සිරිසේනගේ වෑයම වූයේ රාජපක්ෂ පාර්ශ්වය එකතු කරගත් “පලල් සභාගයක්” තුලින් කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීමයි. එහෙත්, තම කන්ඩායම ශ්‍රීලනිපයට එකතුවීමට නම් ආන්ඩුවෙන් එජාපය නෙරපීම හෝ ඉන් බිඳීම අවශ්‍ය බවට රාජපක්ෂ දැමූ කොන්දේසි සිරිසේන ප‍්‍රතික්ෂේප කලේය.

මේ අතර, මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවට සම්බන්ධව සිදුකර ඇති මහා වංචාව විමර්ශනය කෙරන ජනාධිපති කොමිසම ඉදිරියට අගමැති වික‍්‍රමසිංහ කැඳවීම ශ්‍රීලනිප-එජාප ගැටුම තීව‍්‍ර කලේය. ඊට පෙර වංචාවට සම්බන්ධ මූල්‍ය සමාගම සමග සම්බන්ධතා හෙලිවීම නිසා එජාප නායකයකු වන හිටපු මුදල් හා විදේශ ඇමති රවී කරුනානායකට තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කෙරුනි. සිරිසේන විසින් ඉහත කොමිසම පත් කරනු ලැබුවේ එජාපය අපකීර්තියට පත් කිරීමට යැයි චෝදනා කල මන්ත්‍රීන් කන්ඩායමක් තම පක්ෂයේ සුලුතර ආන්ඩුවක් පිහිටුවා ගත යුතුයයි ඉල්ලා සිටියහ. වික‍්‍රමසිංහ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේපකර ජනාධිපති විවේචනය නොකරන ලෙසට පක්ෂ මන්ත්‍රීන්ට අන පැනවූයේ පාලක සභාගය දිගටම ගෙනයාමට කැපවීම ප‍්‍රකාශයට පත් කරමිනි.

සිරිසේනගේ, වික‍්‍රමසිංහගේ හා රාජපක්ෂගේ ආත්මීය උවමනාකම් කුමක් වුවත් ආන්ඩුවේ මතභේද වලින් හා විපක්ෂය සමග සිරිසේනගේ හොර සාකච්ඡා වලින් ප‍්‍රකාශයට පත්වන්නේ ලංකාවේ පාලක පන්තිය හා ආන්ඩුව මුහුන දෙන ගැඹුරු දේශපාලන අර්බුදයයි.

රාජපක්ෂ පාලනය පෙරලා දැමීමෙන් පසු තුනීවී ගිය සෙයක් පෙනුනු වැඩකරන ජනතාවගේ පෙරලිකාරිත්වය කැකෑරෙමින් යලි පුපුරා එන කොන්දේසි නිර්මානය වීම ගැන පාලක පන්තියේ සෑම කොටසක්ම තැතිගෙන සිටිති. සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරය “යහපාලනයක්” ඇති කරන්නේ යයි මොරදුන්නේ රාජපක්ෂ ගේ අධිපතිවාදී පාලනයට හා දූෂනවලට ඇඟිල්ල දික්කරමිනි. එසේ නමුත්, ආන්ඩුව බලයට පැමින රාජපක්ෂ නැවතූ තැනින් එහාට යමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීම හා අධිරාජ්‍යවාදී යුද සැලසුම් වලට ලංකාව ගැට ගැසීම සිදුකරමින් සිටී.

සිසුන් දසදහස් ගනන් සහභාගිවූ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ විරෝධතා ගිය මස මුල, ජවිපෙ හා වෘත්තීය සමිතිවල සහාය ඇතිව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවෙන ශිෂ්‍ය සංගම් විසින් පාවා දෙන ලදි. එනමුදු, එම අරගලයෙන් පෙන්නුම් කෙරුනේ කම්කරුවන් හා දුගීන් අතර ගැඹුරින්ම සිදුවෙමින් පවතින චලනයකි. ගතවූ මාස කීපය තුල විදුලිබල, තෙල්, වරාය, සෞඛ්‍ය, තැපැල් සහ වතුකරය ආදී අංශවල කම්කරුවන්ගේ අරගල මාලාවක්ම පැන නැගුනි. උතුරු නැගෙනහිර ද ගම්බද ද ආන්ඩුවට එරෙහි විරෝධය වැඩී ඇත. වැඩ කරන ජනතාවගේ මෙම අරගල වැඩී අවුත් තිබෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ රැඩිකලීකරනයේ කොටසක් ලෙසය.

ගෝලීය අර්බුදයෙන් බැටකන තත්වය තුල ලංකාව, ආර්ථික වර්ධනය වැටීමටකට හා ගැඹුරුවන නය අර්බුදයකට ද මුහුන පා සිටියි. ආන්ඩුව හැරී සිටින්නේ සමාජ පිපිරීම් තලා දමමින් එම අර්බුදයේ බර පැටවීම සඳහා ඇමරිකානු හා ඉන්දියානු පාලකයන්ගේ අධාරය ඇතිව අඥාදායක පාලනයක් තහවුරු කිරීමට බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට හා තරුනයන්ට අනතුරු අඟවයි. 2008 මූල්‍ය බිඳ වැටීමෙන් සලකුනුවී ඇති ලෝක ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම පාලක පන්තීන් හා ආන්ඩු වඩවඩාත් දකුනට යමින් කම්කරු පන්තිය මර්දනය කිරීම එල්ල කොටගත් පොලිස් රාජ්‍යයන් ඇටවීමට වේගයෙන් පියවර ගනිමින් සිටි. ලංකාව තුල ප‍්‍රකාශයට පත්වන්නේ මෙම ක්‍රියාවලියයි.

මේ අතර දෙමල ජාතික සන්ධානය (දෙජාස) පුපුරා හැලෙන්නට පටන් ගැනීම පාලක පන්තියේ අර්බුදයේ ම කොටසකි. ඊලම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්) හා දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ) දෙජාසයෙන් වෙන්වීමට තීන්දු කර ඇත. ආන්ඩුවට කෙලින්ම මුක්කුව දෙන දෙජාසයෙන් වෙන්වීමෙන් යුද්ධයෙන් ඇතිවූ විනාශය මතට තවතවත් බර පැටවෙන තුතු යටතේ දෙමල මහජනයා අතර වැඩී ඇති නොසන්සුන්තාව ගසාකමින් තම වරප‍්‍රසාද සඳහා ආන්ඩුවට බලපෑම් දැමීම වැඩිදියුනු කරගත හැකියයි මෙම දෙමල ජාතිකවාදී පක්ෂ ගනන් බලති.

ආන්ඩුව කම්කරුවන් හා තරුනයන් කොටුකර තැබීමට ව්‍යාජ-වමේ සහ වෘත්තීය සමිති වල ආධාරය ලබා ගන්නා අතරම එම අරගල වලට එරෙහිව මිලිටරිය හා පොලිසිය මුදා හැරියේය. මෙම අවස්ථාවාදීන්ගේ ද්‍රෝහී ක්‍රියා කලාපයෙන් වාසිය ලබා ගන්නේ ආන්ඩුවයි.

රාජපක්ෂ හා “ඒකාබද්ධ විපක්ෂය” තමන්ගේ පැත්තෙන් දක්ෂිනාංශික බලවේග ගොඩ නගමින් සිටියි. ප‍්‍රතිගාමී බෞද්ධ භික්ෂු නඩ එකතුකර ගනිමින් ඔහු දෙමල විරෝධී උද්ඝෝෂයක් මතින් බලයට ඒමට තැත් කරන්නේ වැඩකරන ජනයා අතර ආන්ඩුවට එරෙහිව නැගී එන විරුද්ධත්වය පීලිපන්වා තලා දමන පාලනයක් අටවීමටයි. රුදුරුලෙස උතුරු නැගෙනහිර දෙමල ජනයා මැඩීමේ යුද්ධය ගෙනගිය රාජපක්ෂ ඉන් පසුව කම්කරුවන් හා දුගීන් මර්දනයට මිලිටරි විධික‍්‍රම යොදා ගැනීම ගැන කුප‍්‍රකට ය. ට‍්‍රම්ප් ජනාධිපති වූ විගස රාජපක්ෂ ඔහුගේ අධාරය පතමින් සුබපැතුම් පනිවුඩයක් යවන ලද්දේ තමන් වොෂින්ටනයේ උවමනාවන්ට සේවය කිරීමට සුදානම් බව පෙන්නුම් කරමිනි.

ආන්ඩුව බෞද්ධ භික්ෂු කන්ඩායම් ඇතුලු වර්ගවාදීන්ට දෙන සහතිකවලින් ෆැසිස්ට් නඩ පෝෂනය කෙරෙයි. පසුගිය දා ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පහර දී ඔවුනගේ නිවාස සහ දේපොල විනාශ කරන ලද්දේ මෙවන් නඩයකි. ආන්ඩුව ද රාජපක්ෂ ද මෙම නඩ තරවීමට ඉඩ දී ඇත්තේ අවශ්‍ය විටෙක කම්කරු පන්තියේ අරගල මැඩීම සඳහා යොදා ගැනීමටයි. අතීතයේ මෙන්ම වත්මනේදී ද සිරිසේන, වික‍්‍රමසිංහ සහ රාජපක්ෂ කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීම තමන්ගේ ප‍්‍රතිගාමී වැඩපිලිවෙලේ ආයුධයක් ලෙස දකිති.

පාලක පන්තියේ සියලුම කන්ඩායම් වැඩකරන ජනතාවගේ අයිතීන් පාගා දමන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයකට කැපවී සිටින සැටි ගියමස මුල පැවැත්වූ ඊනියා ව්‍යවස්ථාදායක මන්ඩල රැස්වීම් වලදී පෙන්නුම් කෙරුනි. අගමැති වික‍්‍රමසිංහ ද රාජපක්ෂ ද තරඟයට අවධාරනය කලේ ඒකීය රාජ්‍යයට, බුද්ධාගමට හා සිංහල භාෂාවට මුල්තැන දෙන ව්‍යවස්ථාවකට තමන් කැපවී සිටින බවයි. දෙපාර්ශ්වයම ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත, මහාජනාරක්ෂක නීති එලෙසම පවත්වා ගන්නා මර්දනකාරී ව්‍යවස්ථාවක් සඳහා මුලුමනින්ම එකඟ ය.

දේශපාලන තත්වයේ මෙම බරපතල පැද්දීම් පෙන්නුම් කරනුයේ ධනපති පන්තියේ ඉතා වැඩිදියුනු වූ අර්බුදයක් මෙන්ම බරපතල පන්ති අරගල පුපුරන කාල පරිච්චේදයක් විවෘත වීමකි. ධනපති පන්තියේ සෑම කොටසකින්ම බිඳී කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත අර්බුදය තුලට බලගතු ලෙස මැදිහත්වීම හදිසි භාවයකින් මතුවී තිබේ.

කම්කරු පන්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකීමට හා කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටනේ නායකත්වය ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදෙසා සටන් කිරීමේදී එය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් පත්කිරීමේ ඡන්දයක් කැඳවුම් කල යුතුවෙයි. නව ව්‍යවස්ථාව ආගම, භාෂාව, කුලය හා ලිංගිකත්වය මත කෙරෙන වෙනස්කම් අවසන් කලයුතු බවටත් මර්දනකාරී නීති අනපනත් අහෝසි කලයුතු බවටත් කම්කරු පන්තිය හඬ නැගිය යුතුය.

කම්කරු පන්තියේ අරගල වර්ධනය කිරීමට හා ඒකාබද්ධ කිරීමට වැඩපොලවල, කම්කරු නිවහන් පෙදෙස් තුල හා වතුකරයේ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය. කම්කරුවන්ට පීඩිත ජනකොටස්වල, ගම්බද හා තරුනයන්ගේ සහාය දිනාගනිමින් ජීවන හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය වර්ධනය කල හැක්කේ වෘත්තිය සමිති දඬුඅඬුවෙන් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින් පමනකි. සසප කැඳවුම අනුව හැටන් ප‍්‍රදේශයේ වතු දෙකක කම්කරුවන් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඉදිරිපත්වීම මේ සඳහා ඉඩ අවකාශ විවෘත වීමයි.

ලංකාවේ දේශපාලන අර්බුදය තුල වොෂින්ටනයේ මැදිහත් වීම පෙන්නුම් කරන්නේ චීනයට එරෙහිව දකුනු ආසියාවේ පාලක පන්ති පෙලගස්වා ගෙනයන යුද සූදානමේ වැඩි දියුනු අවස්ථාවකි. කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ මතුකර ඇත්තේ සමාජවාදී ප‍්‍රතිපත්ති මත පාදකවූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ගෙනයන අරගලයේ තීරනාත්මක බවය.

ආන්ඩුවේ හා පාලක පන්තියේ ප‍්‍රහාරයෙන් සමාජ හා ජීවන කොන්දේසි රැකගැනීම කල හැක්කේ ආර්ථිකය ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ප‍්‍රතිසංවිධානය කිරීමෙනි. වතු, බැංකු, හා ප‍්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර කම්කරු පාලනය යටතේ ජනසතු කරන්නාවූ සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම, විදේශ නය ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීම හා ගොවි නය අහෝසි කිරීම මේ අරගලයේ අත්‍යවශ්‍ය පියවරයන් ය. සහනාධාර කප්පාදුවට එරෙහිව අරගල කරන දුගීන් හා පීඩිතයන් හා රැකියා සඳහා සටන් කරන තරුනයන් ගම්බද දුගීන් තමන් වටා රැලිකර ගනිමින් කම්කරු පන්තිය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කල යුතුය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මෙම වැඩපිලිිවෙල ලංකාව තුල ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයයි. කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා සිසුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම වැඩපිලිවෙලට එක්වෙමින් විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමට සම්බන්ධ වන ලෙසයි.

Share this article: