ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය නව මැතිවරනයක් වෙනුවෙන් උද්ඝෝෂනය කරයි

The Socialist Equality Party in Germany demands new elections

2017 නොවැම්බර් 23

ඊනියා ජැමයිකා සභාග ආන්ඩුවක් ගොඩ නැගීමේ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව, නව ආන්ඩුවක් ගොඩ නැගීම පිලිබඳව දේශපාලන කුමන්ත‍්‍රනයකට සමාන, තිරය පිටුපස සාකච්ඡා බර්ලිනය තුල සිදු වෙමින් පවතී. ජර්මානු ජනාධිපතිගේ නිල නිවස වන බෙලෙවි මන්දිරය දේශපාලන කුමන්ත‍්‍රනයේ මධ්‍යස්ථානය බවට පත් වී ඇත. රහසිගත ආවරනයක් යටතේ ජනාධිපති ෆ‍්‍රෑන්ක් වල්ටර් ස්ටයින්මයියර්, දක්ෂිනාංශික අන්තවාදී ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) ඇතුලු, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් මුනගැසෙමින්, නව මැතිවරනයක් කැඳවීම මග හරීමින් සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) මෙම ක්‍රියාමාර්ගයට එරෙහි වෙයි. දේශපාලන අර්බුදයට විසඳුම ලෙස ඔවුන් අතර නව ආන්ඩුවක් ගොඩ නැගීමට පාලක ප‍්‍රභූවට ඉඩ දිය නොහැක. ප‍්‍රතිඵලය වනු ඇත්තේ කුමන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඉක්මවා යමින්, ධනේශ්වර රාජ්‍යයේ අවශ්‍යතාවන්ට නය ගැති දක්ෂිනාංෂික ඒකාධිපති ආන්ඩුවකි.

අප නව මැතිවරනයක් සඳහා ඉල්ලීම ඉදිරිපත් කරමු. වත්මන් තත්වය යටතේ මෙ මගින් පමනයි කම්කරු පන්තියට අන්ත දක්ෂිනාංශික දේශපාලනික ප‍්‍රහාරයට එරෙහිව තම අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීම සඳහා දේශපාලනිකව මැදිහත් විය හැක්කේ. සසප මැතිවරන උද්ඝෝෂනය යොදා ගන්නේ, යුද්ධයට එරෙහි අරගලය, ධනවාදයට එරෙහි සටන සමග බද්ධ කරමින් ජර්මානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා ප‍්‍රකාශ කරන සහ පවතින සමාජ පද්ධතිය නිර්මානය කර ඇති අන්ධ පථයෙන් ගොඩ ආ හැකි සමාජවාදී මාවතක් සම්පාදනය කරන වැඩ පිලිවෙලක් සඳහා සටන් කිරීමටය.

බර්ලිනයේ දේශපාලන අර්බුදය පැහැදිලි කර ඇත්තේ, යුද්ධය, සමාජ ධ‍්‍රැවාන්තගතවීම සහ වර්ධනය වෙමින් පවතින ජාතිකවාදය මගින් වැඩිමනත් වශයෙන් ගුනාංගීකරනය කෙරුනු ලෝකයක ජර්මනිය, ස්ථාවර රටක් නො වන බව යි. අර්බුදයේ හේතුව වන්නේ, විය හැකි සභාග පක්ෂ අතර පවතින සුලු ආරාවුල් නොව, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ විසින් උඩගෙඩි දෙන පාලක පන්තියේ ආර්ථික සහ භූ දේශපාලනික අවශ්‍යතාවන් සහ පුලුල් මහ ජනතාවගේ අවශ්‍යතාවන් අතර පවතින ගැඹුරු පරතරය යි.

පසුගිය වසර හතර ක්‍රිස්තියානි ඩිමොක‍්‍රටික් සංගමය (සීඩීයූ), ක්‍රිස්තියානි සමාජ සංගමය (සීඑස්යූ) හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ මහා සභාගය, දැවැන්ත ලෙස හමුදාව ගොඩ නගමින් ද නව විදේශ මැදිහත්වීම් සඳහා ජර්මානු හමුදාව යොදවමින් ද යුරෝපය පුරා රුදුරු කප්පාදු ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර ජර්මනිය තුල දුගීභාවය සහ දුෂ්කර සේවා කොන්දේසි පුලුල් කර ඇත. මෙම ප‍්‍රතිපත්ති ගැඹුරෙන්ම අපකීර්තියට පත් වී ඇත. සීඩීයූ, සීඑස්යූ සහ එස්පීඩී පක්ෂ තම මුලු ඒකාබද්ධ ඡන්ද වලින් සියයට 14ක් අහිමි කරගෙන, වසර හැත්තෑවකට පසු නරක ම මැතිවරන ප‍්‍රතිඵල අත්කර ගනිමින් මැතිවරනයේ දී දඬුවම් ලබා ඇත.

එහෙත් නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් (එෆ්ඩීපී) සහ හරිතයින්ගේ ආධාරයෙන් ඇන්ජෙලා මර්කල්ගේ චාන්සලර් ධුරය දීර්ඝ කිරීමේ ප‍්‍රයත්නයෙන් සිදුව ඇත්තේ අර්බුදය උග‍්‍ර වීම පමනකි.

එෆ්ඩීපී ය නියෝජනය කරන්නේ, ජර්මනිය තුල අධිකාරය දරන ලද සහ මර්කල් විසින් මූර්තිමත් කරනු ලබන උපායික සම්මුති සහ මැදිහත් වීම් පිලිබඳ ප‍්‍රතිපත්තිවලින් බිඳීම සඳහා පාර්ලිමේන්තුවට ඒඑෆ්ඩීයේ ඇතුල්වීම වාසනාවක් ලෙස දකින පාලක ප‍්‍රභූවේ කන්ඩායමයි. මෙම හේතුව නිසා ජැමෙයිකා සභාග සාකච්ඡා බිඳ වැටීමට ඉඩ හරිමින් එෆ්ඩීපීය ඉන් ඉවත් විය.

එෆ්ඩීපී නායක ලින්ඩ්නර්ගේ ආදර්ශය වන්නේ, 1970 දශකයේ සමාජ ලිබරලුන් නොව අද දින ඕස්ට්‍රියාව යි. මෙහි දී උග‍්‍ර දක්ෂිනංශිකයකු වන සෙබස්තියන් කුඅර්ස්, එෆ්ඞීපීයේ අතීත සහෝදර පක්ෂය වන දක්ෂිනාංශික අන්තවාදී ෆ්‍රීඩම් පක්ෂය සමග ආන්ඩුවක් ගොඩ නගමින් සිටියි.

ලින්ඩ්නර්, ජැමෙයිකා සාකච්ඡා බිඳ හෙලීම ගැන දක්ෂිනාංශික අන්තර්ජාල සහ පුවත් පත්වල ඉමහත් ප‍්‍රශංසාවට ලක් විය. ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ගෙමයිනෙ ට්සයිතුන්ග් පුවත් පත “බලය සඳහා සීඩීයූ, සීඑස්යූ, එෆ්ඩීපී හා හරිත පක්ෂවල අත්හදා බැලීම් සඳහා සහාය නො දීම ගැන එෆ්ඩීපීට ස්තූතිය” පූද කලේ ය. දක්ෂිනාංශික ප‍්‍රකාශකයකු වන වොල්ෆ‍්‍රාම් වයිනර් “වාචාල දොඩවන රිපබ්ලිකයා මෙන් ම අනෙක් පක්ෂවල පීඩනයට දන ගසන්නෙක් ලෙස එෆ්ඩීපීයේ ඉතිහාසය” අවසන් කිරීම ගැන ලින්ඩ්නර්ට ප‍්‍රශංසා කල අතර, ඔහු කොටස් වෙලඳ පොලෙහි මතයෙහි එල්බීගෙන ඇත. මෙය “බර්ලිනයේ විසිත්ත කාමරවලින් එනවාට වඩා දේශපාලන අර්බුදයක වඩා හොඳ දර්ශකයක් වෙයි. පසු කී තුවාල තවමත් ලෙව කමින් සිටින අතර, කොටස් වෙලඳපොල ජමයිකා සාකච්ඡා අවසන් වීමෙන් සැනසිල්ලක් ලැබුවේ ය.”

ජනාධිපති ස්ටයින් මයියර් දැන් මෙම කැබැලිති ඒකාබද්ධ කිරීමෙන් සමාජ කප්පාදු වේ ද මිලිටරිවාදයේ ද රාජ්‍ය මෙවලම ශක්තිමත් කිරීමේ ද ප‍්‍රතිපත්තීන් දිගට ම ගෙන යාමේ ත් ඒවා උග‍්‍ර කිරීමේත් දේශපාලන යාන්ත‍්‍රනයක් වර්ධනය කිරීමේ ත් කර්තව්‍යය භාරගෙන ඇත. මෙම කර්තව්‍ය ලඟා කර දීම සඳහා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳාකාරව ගැලපෙයි. විදේශ ඇමති ලෙස ඔහු ජර්මානු මිලිටරිවාදය පුනර්ජීවනය කිරීම සඳහා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ය. 2014 දී ඔහු “හමුදාව වැලැකී සිටීමේ නිමාව” ප‍්‍රකාශයට පත් කලේ ය. ඔහු යුක්‍රේනයේ දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයේ ත් ඊසාන දිග යුරෝපයේ ත් මැද පෙරදිග ත් අප්‍රිකාවේ ත් හමුදා මැදිහත්වීම්වල ප‍්‍රමුඛ කර්තව්‍යයන් ඉටු කලේ ය.

දීර්ග කාලීන ආන්ඩු අර්බුදයක් තුල දී ජර්මනියේ භූ දේශපාලනික බලපෑම නැති වේ යැයි ඔහු තුල ඇති බිය නිසා ත් වර්ධනය වන අසහනය තම පාලනයෙන් ගිලිහී දේශපාලනිකව වමට හැරීම නතර කිරීමට ඔහුට අවශ්‍ය නිසා ත් ස්ටයින් මයියර්ට නව මැතිවරන සඳහා කැඳවුම් කිරීම මග හැරීමට උවමනා ය. ආතතීන් මතු පිට පෘෂ්ඨයට යටින් කැකෑරෙමින් පවතී. මෙම සතියේ පමනක් සීමන්ස් සහ එයා බර්ලින් සමාගම්වල රැකියා කප්පාදු කිරීම්වලට එරෙහිව නගර කිහිපයක උද්ඝෝෂන පැවතුනි.

එස්පීඩී ය මහා සභාගයක් දිගට ම පවත්වා ගැනීම සඳහා ස්ටයින් මයියර් යොදන බලපෑමට සෑහෙන පතිරෝධයක් පල කර ඇත. මෙයට හේතුව, කම්කරු පන්තිය තුල වාමාංශයේත් සමාජවාදී අදහස්වලත් බලපෑමට එරෙහිව මාර්ග බාධක ඉදිකිරීම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍ය ලෙස එය සලකන නිසා ය. එස්පීඞී ය බිය වී ඇත්තේ, අප‍්‍රසාදයට පත් වී ඇති මහා සභාගය දිගට ම පැවතියහොත් සහ පාර්ලිමේන්තුවේ විශාලතම විරුද්ධ පක්ෂය ලෙස දක්ෂිනාංශික අන්තවාදී ඒඑෆ්ඩීයට ඉඩ හැරියොත්, මෙම ඉදිරිදර්ශනයට සහයෝගය දිනාගත හැකි වන බව ඔවුන් විශ්වාස කරන නිසාය.

ඒ කෙසේ වෙතත් මහා සභාගයට එරෙහි එස්පීඩීයේ ප‍්‍රතිරෝධය ක්ෂනිකව ම දිය වෙමින් පවතී. වර්ධනය වෙමින් පවතින හඬ නගන්නන් සංඛ්‍යාවක් හැකිතාක් ඉක්මනින් අර්බුදය අවසන් කිරීම සඳහා ”රාජ්‍ය ප‍්‍රතිපත්තිය සඳහා වගකීම” භාර ගන්නා ලෙස එස්පීඩීයට බල කරමින් සිටිති. සාකච්ඡාවට බඳුන් වී ඇති විකල්පය වනු ඇත්තේ එස්පීඩීය විරුද්ධ පක්ෂයේ සිටීමත් සීඩීයූ/සී එස්යූ හෝ සීඩීයු/සීඑස්යු/ හරිත පක්ෂ අතර සුලුතර ආන්ඩුවක් ඉවසා දරා සිටීමත් ය.

මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඒඑෆ්ඩී ය ශක්තිමත් වීම යි. සුලුතර ආන්ඩුවක් බහුතරයේ මාරුවීම් මත යැපෙන නිසා මේවා ප‍්‍රමාද නො වී වහාම දක්ෂිනාංශික අන්තවාදීන් සමග ඔවුන් හවුල් වනු ඇත. ප‍්‍රමුඛ ඒඑෆ්ඞී නියෝජිතයකු වන අන්ද්‍රෙ පොගෙන්බුඅර්ග්, මර්කල් චාන්සලවරිය නො වනතාක් දුරට සහ ජර්මනියේ දී තම පවුල් සමග ඒකාබද්ධ වීමට සරනාගතයින්ට ඉඩ දීමේ ප‍්‍රතිපත්තිය ආන්ඩුව විසින් නවතනතාක් දුරට, තමන් සීඩීයූ/සීඑස්යූ/එෆ්ඩීපී සුලුතර ආන්ඩුවක් ඉවසා සිටීමට සූදානම් බව ප‍්‍රකාශ කලේ ය.

සියලුම පාර්ලිමේන්තු පක්ෂ අඟහරුවාදා පෙන් වූයේ තමන් ඒඑෆ්ඩීය සමග මූලධර්මානුකූල ව සහයෝගීවීමට සූදානම් බව ය. ඔව්හු, ඒඑෆ්ඩී සිට වාම පක්ෂය දක්වා සියලුම පක්ෂ නියෝජනය වන ඊනියා මහා සභාග කමිටුවක් ගොඩනැගූහ. මෙම මහා කමිටුවේ කර්තව්‍යය වන්නේ නව ආන්ඩුවක් තහවුරු වන තුරු ෆෙඩරල් ආන්ඩුවක ස්වරූපයෙන් ක්‍රියා කිරීම සහතික කිරීම යි. මෙය පලමුවෙන් ම සුදානම් වෙමින් සිටින්නේ උර්සුලා ෆොන් ඩෙයාර් ලේයන් ආරක්ෂක ඇමතිනියගේ වචනවලින් පවසතොත්, “ප‍්‍රබල ජාත්‍යන්තර මැදිහත්කරුවකු” ලෙස මාලි, ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ ඉරාකය තුල හමුදා රඳවා තැබීමට සහාය දීමට යි. “එයට ආන්ඩුවක් ගොඩනැගීමට හැකියාවක් ඇත” යනුවෙන් ටාගස්ෂ්පීගල් පුවත් පත උද්යෝගයෙන් පැවසීය.

වාම පක්ෂය එස්පීඩී ය වෙත ලං වෙමින් ආන්ඩුවේ අර්බුදයට ප‍්‍රතිචාර දක්වා ඇත. එය තමන්ගේ වඩාත් වැදගත් කර්තව්‍යය ලෙස දකින්නේ කම්කරු පන්තිය තුල සමාජවාදී ඉදිරිදර්ශනයේ බලපෑම අවහිර කිරීම යි. වසර 18ට පෙරාතුව එස්පීඩීයේ ප‍්‍රධාන ලේකම් පදවිය අත්හරිමින්, පක්ෂය අතහැර ගිය, වාම පක්ෂයේ ප‍්‍රාරම්භකයා වන ඔස්කා ලෆොන්ටයිනෙ දැන් ප‍්‍රථම වතාවට පවසා ඇත්තේ මෙම ක්‍රියාව ගැන පසුතැවිලි වන බව යි. වාම පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායම් නායක ඩීට්මාර් බර්ට්ෂ් සහ තුරින්ගියා හි මිනිස්ටර් ප‍්‍රසිඩන්ට් වන බොදො එමෙලොව්, මර්කල් විසින් මෙහෙයවනු ලබන සුලුතර ආන්ඩුවක් පවා ඉවසා සිටීමට සූදානම් ය.

බර්ලීනයේ අර්බුදය සිහියට නංවන්නේ වයිමර් රිපබ්ලිකයේ අවසන් වසර කිහිපය යි. ඒ මොහොතේ, එස්පීඩී ය සහ කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක කල ව්‍යාජ ප‍්‍රතිපත්තිවලින් බෙලහීන වූ කම්කරු පන්තියට දේශපාලන සිද්ධීන්ට ස්වාධීන ව මැදිහත් වීමට නො හැකි වූ නිසා අඛන්ඩ සමාජ සහ දේශපාලන අර්බුදය ඛේදවාචකයක් බවට පත් විය. 1933 දී ජනවාරියේ දී නාසිවාදීන් බලයට පැමිනීමට පෙරාතුව වසර හතර උග‍්‍ර අර්බුද, උපාමාරු සහ එකකට පසු තවෙකක් ලෙස බලය හෙබ වූ අපකීර්තිමත් ආන්ඩු පිහිට වූ කුමන්ත‍්‍රනවලින් සමන්විත විය.

අවසාන විග‍්‍රහයේ දී හිට්ලර් බලයට පැමිනියේ ඔහුට ජනතා සහයෝගය ලැබුනු නිසා නොවේ. රයිෂ්ටෑග් මැතිවරනයේ දී නාසීන්ට චන්ද මිලියන දෙකක් අහිමි විය. ලැබුනු චන්ද සියයට 33ට අනුව නාසීන් සිටියේ එස්පීඩී සහ කේපීඩී පක්ෂවල චන්ද එකතුවට පිටුපසිනි. හිට්ලර්ට පත්වීම ලැබුනේ රයික් ජනාධිපති පෝල් ෆොන් හින්ඩෙන්බර්ග්ගේ කාර්යාලය තුල සිදු කරන ලද කුමන්ත‍්‍රනයක් මගිනි. හින්ඩෙන්බර්ග් බලයට පත් වූයේ එස්පීඩී පක්ෂයේ සහාය සහිතව ය.

එවැනි විනාශයක් වලක්වා දක්ෂිනාංශය වෙතට දේශපාලන හැරීමක් වැලැක්වීමේ වැදගත් ම පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තිය තුල සමාජවාදී පක්ෂයක් ගොඩනැගීමයි. නව මැතිවරනයක් සඳහා ඉල්ලීම ඉදිරිපත් කිරීම මගින් සසප අපේක්ෂා කරන්නේ එස්ඩීපී, හරිතයින් සහ වාමයන් ද ඇතුලු ධනේශ්වර පක්ෂවල සැබෑ අවශ්‍යතාවන් හෙලිදරව් කරමින් ධනවාදයට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ අධිකාරවාදයට එරෙහිව සැබෑ සමාජවාදී විකල්පයක් සඳහා සහයෝගය ගොඩනැගීමයි.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: