ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක මූලෝපාය: “මහ බලවතුන්” අතර මිලිටරි ගැටුමෙහි පුනරාගමනය

Trump’s National Security Strategy: The return of “great power” military conflict

2017 දෙසැම්බර් 20

මේ සතියේ නිකුත් කෙරුනු නව එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපාය ද එය හඳුන්වා දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳුදා කල කතාව ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පැහැදිලිවම න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයේ මාවතට අවතීර්න ව ඇතැයි මනුෂ්‍ය වර්ගයාට කෙරෙන කුරිරු අනතුරු ඇඟවීමක් සලකුනු කරයි.

ඩිමොක‍්‍රටික් පක්ෂය තුල ජනාධිපතිගේ කියනු ලබන දේශපාලන විරුද්ධවාදීන් විසින් ලියවිල්ල නිහඬවම වාගේ අමතක කර දමා තිබීම ද සංස්ථාපිත මාධ්‍යයේ සාපේක්ෂ කෙටි පාපොච්චාරන ද මධ්‍යයේ ද වුවත්, අධිරාජ්‍යවාදයේ වඩා කල්පනාකාරී දෘෂ්ටිවාදීන් එහි ඇති දුරදිග යන වෙනස්කම් වෙත අවධානය යොමු කර ඇත.

ඉතිහාසඥ ආතර් එල්. හර්මන් වෝල් ස්ට්‍රීට් ජර්නලය තුල ප‍්‍රකාශ කලේ, “ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක මූලෝපාය, 1917ට පෙර ලෝකය කරා ප‍්‍රගාඪ ආපසු හැරීමක්” නිවේදනය කරන බවයි: “ඒ අවධිය” තම ආරක්ෂාව සඳහා “ලොකු වුව ද කුඩා වුව ද සෑම ස්වාධීන රාජ්‍යයක් ම, අවි බලය මත රැඳී සිටි අරාජක ජාත්‍යන්තර සංග‍්‍රාම භූමියක් විය.”

“එම අවධියේ දී බලය අනිවාර්යයෙන් ම යුක්තිය ඉටු කල” බව හර්මන් ලිය යි. ශක්තිය පමනක්ම සැලකිල්ලට ගත් “බලවත්තු අනිවාර්යයෙන් ම කුඩාවුන් මත අධිකාරය දැරුවෝය.”

“කාලයේ මහා ප‍්‍රශ්න තීරනය කෙරෙන්නේ දේශන හා වැඩි දෙනාගේ තීරන මගින් නො ව.. යකඩ සහ ලේ මගින්” යයි, 1862දී ඔටෝ වොන් බිස්මාක් පැවසූ ලෝකය මෙය” බව හර්මන් තව දුරටත් පවස යි.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කර්තෘ වාක්‍යයක්, “ඇමරිකානු බලයට අනුහසට හා උත්සුකයන්ට තර්ජනය කිරීමට” උත්සාහ කරන “සංශෝධනවාදී බලවතුන්” ලෙස, රුසියාව හා චීනය නමින්ම හඳුන්වා තිබීම ගැන, ලියවිල්ලේ ඔප නො දැමූ ප‍්‍රායෝගික දේශපාලනය ප‍්‍රශංසාවට ලක් කලේය. පලමු ලෝක යුද්ධයට පෙර පාලක පන්තිය ග‍්‍රහනයට ගැනුනු යුද වලිප්පුවට එතරම් වෙනසක් නැති ප‍්‍රමෝදයකින් යුතුව ජර්නලය, “යුද ප‍්‍රවාහය පසු බසිමින් තිබේ යයි” ඔබාමාගේ කාලයේ කරන ලද ප‍්‍රීතිමත් සහතික කිරීම්වල වැදගත් නිවැරදි කිරීමක් සිදුව ඇතැයි ලියවිල්ල ප‍්‍රශංසාවට ලක් කලේය.

ජාත්‍යන්තර මාධ්‍යයෝ වාර්තා ද ඒ අයුරින් ම ලියවිල්ල තුලින් දුර යන නිගමන වලට එලඹ ඇත. බ්‍රෙන්ඩන් තෝමස්-නූන් ඕස්ට්‍රේලියන් පත‍්‍රයට මෙසේ පවසයි: “ට‍්‍රම්ප් පාලනාධිකාරය වෙලා ගෙන ඇති ‘අවිනිශ්චිතතාව‘ නො තකා ”ගෝලීය ආර්ථික ඒකාග‍්‍රකරනයේ සිට මහා බල තරඟය කරා” එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ මාරුවක් ලියවිල්ලෙන් එලි දකියි.”

ඔහු මෙසේ ද පවස යි: “එක්සත් ජනපදය ‘සංශෝධනවාදී රාජ්‍යයන්’, එනම් චීනය හා රුසියාව සමග මහා බල තරඟයේ නව අවධියකට අවතීර්න වෙමින් සිටින බව ආරක්ෂක මූලෝපාය තර්ක කර යි. දශක කීපයක් තිස්සේ එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය, මෙම බලවතුන් ජාත්‍යන්තර ආයතනවලට සම්බන්ධ කරමින් හා ඔවුන් ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධ කරමින් කටයුතු කර ඇත. මූලෝපාය සඳහන් කරන ආකාරයට, මෙය ඔවුන් ගුනවත් සාමාජිකයින් මෙන් ම විශ්වාසදායී හවුල්කරුවන් කරවනු” ඇතැ යි අපේක්ෂා කරන ලදී. මෙම තර්ක පදනම බොහෝකොටම වැරදි බව ඔප්පු කර ඇතැයි දැන් එය වැඩි දුරටත් පවස යි.

ඩිමොක‍්‍රටිකයන්ගේ හා ඔවුන්ගේ මාධ්‍ය සහචරයන්ගේ විවේචන සැලකිල්ලට ගන්නා කල, ඒවා බෙහෙවින්ම කේන්ද්‍ර ගත වී ඇත්තේ, 2016 මැතිවරනය තුල සිදුවූවා යයි කියන “ඇඟිලි ගැසීම්” සම්බන්ධයෙන්, විශේෂයෙන් රුසියාව හෙලා දැකීමට ලියවිල්ල මෙන් ම කතාව ද අසමත් වීම මත ය. වැරදි සෙවීමේ මෙම ක‍්‍රමය, පාලනාධිකාරියේ ප‍්‍රතිපත්තියෙහි පූර්න යුදවාදී ස්වභාවයට රුකුල් දෙන අතර එය, එක්සත් ජනපද යුද ව්‍යා යාමයෙහි ප‍්‍රමුඛ ඉලක්කය විය යුත්තේ රුසියාව ද චීනය ද යන්න මත පවතින හුදු උපායික වචන හරඹයක් පමනකි.

1986දී සම්මත කෙරුනු නීතියකින් බලය පවරුනු ලැබ ඇති ආකාරයට, ධවල මන්දිරය විසින් වාර්ෂිකව කොංග‍්‍රස් මන්ඩලයට ජාතික ආරක්ෂක මූලෝපායක් ඉදිරිපත් කිරීමේ දී, වොෂින්ටනයේ “ලෝක පරිමාන උත්සුකයන්, පරමාර්ථ හා අරමුනු” සාරාංශ ගත කිරීම ද ඒවා ජය ගැනීමට “දේශපාලනික, මිලිටරිමය, හා ජාතික බලයේ අනෙකුත් මූලිකාංගවල යෝජිත කෙටි කාලීන හා දිගු කාලීන ප‍්‍රයෝජන ද” ඉදිරිපත් කිරීම අපේක්ෂා කෙරේ.

ජාආමූ අලුත්ම ලේඛනය හා ට‍්‍රම්ප්ගේ කතාව විවේචනයට භාජනය නොවන්නේ නම්, ඒ නිසැකවම, ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම හා වොෂින්ටනය විසින් නව “ඒක ධ‍්‍රැව මොහොතක්” ප‍්‍රකාශ කිරීමේ තැන් සිට ගෙවී ගිය විසිපස් වසර තිස්සේ එක්සත් ජනපද මූලෝපාය සමග ලේඛනයෙහි පවතින අඛන්ඩත්වයේ බලගතු මූලයන් නිසා ය.

හරයෙන් ගත් විට එකී මූලෝපාය පදනම් කෙරී ඇත්තේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් තම ගෝලීය උත්සුකයන් හඹා යාමේ දී මිලිටරි ශක්තිය යෙදීම මත මීට පෙර පැවති සීමා හා බාධක වලින් එක්සත් ජනපදය මුදා ඇතැයි යන නිගමනය මත ය. එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ බලගතු ස්ථරයක් වැලඳ ගෙන ඇත්තේ, ගෝලීය ඇමරිකානු ආධිපත්‍යයේ සාපේක්ෂ පරිහානිය ජය ගැනීමේ උපකරනයක් ලෙස එක්සත් ජනපදයේ සුපිරි මිලිටරි බලය ක්‍රියාකාරී ලෙස යොදා ගත හැකි වෙනු ඇතැ යි යන මිත්‍යාව මත පදනම් වූ මූලෝපායකි.

යුදවාදී මානසික ආකල්පය, ඇමරිකානු ධනවාදයේ ශක්තිය නොව ප‍්‍රකාශ කරන්නේ, එහි පරිහානිය ද බෙහෙවින් හුවා දක්වන ලද “ඇමරිකානු සියවස” අවසාන වෙමින් පවතින බවට එක්සත් ජනපද පාලක කව තුල ඇති භීතිය ද වේ.

බිල් ක්ලින්ටන්ගේ ඩිමොක‍්‍රටික් පාලනාධිකාරීය යටතේ 1992දී, වොෂින්ටනයේ ගෝලීය අධිපතිවාදී අභිලාෂයන් පැහැදිලි කරමින් පෙන්ටගනය, පදනම් ගත ආරක්ෂක සැලැසුම් මග පෙන්වීම (Defense Planning Guidance) නම් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කලේ ය.

“අනාගතයේ දී, කලාප පුරා හෝ ගෝලීය වශයෙන් ආධිපත්‍යය පැතිරවීමේ මූලෝපායික අරමුනු හා ආරක්ෂක ආකල්පයක් වර්ධනය කල හැකි වෙනත් විභව ජාතීන් හෝ හවුල් තිබෙනු ඇත. දැන් අපගේ මූලෝපාය විය යුත්තේ, ඕනෑ ම විභව අනාගත ගෝලීය තරඟකරුවෙකුගේ මතුවීම, පෙරවැලක්වීම කෙරෙහි යලි අවධානය යොමු කිරීම” බව එය කියා සිටියේය.

මෙම නව ප‍්‍රතිපත්තිය 1990 ගනන්වල ක්‍රියාත්මක වුනේ, පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය හා 1999දී සර්බියාවට එරෙහිව එක්සත් ජනපද නායකත්වය යටතේ සිදුකල බෝම්බ ප‍්‍රහාර වලින් කූඨ ප‍්‍රාප්ත වුනු, යුගෝස්ලාවියාව බිඳීහෙලීමේ ම්ලේච්ඡ මැදිහත්වීම ඔස්සේ ය.

2001 සැප්තැම්බර් 11 සිදුවීම්, ඇමරිකානු ගෝලීය මිලිටරිවාදය නැගී ඒමට අවශ්‍ය වුනු “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කඩතුරාව සැපයුවේ ය. ජෝජ් ඩබ්ලිව්. බුෂ්ගේ රිපබ්ලිකානු පාලනාධිකාරිය විසින් නිකුත් කෙරුනු 2002 ජාතික ආරක්ෂක මූලෝපාය, වොෂින්ටනයේ ප‍්‍රතිපත්තිය පැහැදිලි කරමින්, “වැලැක්වීමේ යුද පිලිවෙත” සම්මත කර ගත්තේය. එම ධර්මතාව ගෙනහැර දැක්වූයේ, එක්සත් ජනපද උත්සුකයන්ට විභව තර්ජනයක් යයි ආන්ඩුව සිතන, ලෝකයේ ඕනෑම රටකට එරෙහිව පහර දිය හැකි බව යි. එම ප‍්‍රතිපත්තිය, ජීවත් ව සිටි නාසි නායකයින්ට එරෙහිව නඩු පවරා ඔවුන්ට මරන දන්ඩනය දීම සඳහා නීතිමය පදනම සැපයූ, ආක‍්‍රමනකාරී යුද්ධ පිලිබඳ න්‍යුරම්බ්ර්ග් මූලධර්ම ඉඳුරාම උල්ලංඝනය කිරීමකි.

එම පිලිවෙත “ජන ඝාතක අවි” පිලිබඳ ව්‍යාජ කඩතුරාව මත ඉරාකයට එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමනය සඳහා වහා ම යොදා ගැනුන අතර, හිට්ලර්ගේ තුන්වැනි රයිකයේ පරාජයෙන් පසු විශාලම යුද අපරාධ එහිදී සිදු විය.

ඩිමොක‍්‍රටික් ජනාධිපති බරක් ඔබාමා තෝරා පත් කර ගැනුනේ, ඔහු බුෂ්ගේ ප‍්‍රතිපත්තිය ආපසු හැරවීමට ආරම්භකත්වය ගනු ඇතැ යි යන වැරදි අවබෝධයේ පදනම මත ය. එහෙත් ලිබියාවට එරෙහිව 2011දී සිදු කල ප‍්‍රකෝප නොකල ආක‍්‍රකමනකාරී එක්සත් ජනපද යුද්ධයේදී එය සාධාරනීකරනය කිරීමට “යුද්ධ වැලක්වීමේ” පිලිවෙත මත පිහිටි, “අපගේ ආරක්ෂාවට සෘජු ව තර්ජනය නො කෙරුන ද අපගේ උත්සුකයන් හා සාරධර්මවලට තර්ජනය කෙරෙන” විට පවා, එක්සත් ජනපද මිලිටරි බලය යෙදීම යුක්ති සහගත වන්නේය යන, බුෂ්ගේ අවධානරය මත ඔහු පදනම් විය. එයට “කලාපීය ආරක්ෂාව සහතික කිරීම හා වානිජ්‍යම ප‍්‍රවාහය පවත්වා ගෙන යාම” අරමුනු කර ගැනුන කටයුතු ද ඇතුලත් වන බව පවසමිනි. වෙනත් වචනවලින් පවසතොත්, එක්සත් ජනපද බැංකු හා සංගතවල ලාභ හා වෙලඳපොල පරදුවට තැබෙන ඕනෑ ම තැනක ආක‍්‍රමනකාරී යුද්ධ දියත් කිරීමේ අයිතිය වොෂින්ටනය වෙන් කර ගත් බවය.

ගෝලීය එක්සත් ජනපද මිලිටරිවාදය හා යුදවාදී ජාආමූ වාර්තාව ද ට‍්‍රම්ප් විසින් කරන ලද කතාව ද අතර මෙම මුල් අර්ථදැක්වීම් නොවරදින සුලු අඛන්ඩතාවක් අත්කර ගෙන තිබෙන අතර, ඇමරිකානු හා ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මෙන් ම ලෝක ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපද ව්‍යායාමයේ නව අදියර හැමවිට ම එල්ල කෙරෙන්නේ, දෙරට ම න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා චීනය වෙතට ය යන කාරනය, කැපී පෙනෙන වෙනසක් ද පිලිබිඹු කරයි.

දසක අටකට පෙර ජර්මනියේ දී හිට්ලර් කල ආකාරයට බොහෝ සේ සමාන වන පරිදි සිය කතාවේ දී ට‍්‍රම්ප් පෙනී සිට ඇත්තේ, “තමන් ගරුකල යුත්තේ හා තමන් ආරක්ෂා කල යුතු යයි සිතන්නේ කාගේ අවශ්‍යතා ද යන්න අමතකවූ අපගේ නායකයින් බොහොමයක්, හුඟ දෙනෙකු විසින් විදේශීය උත්සුකයන්ට (අප) පාවාදීම ආපසු හැරවීමට පැමිනි ජාතියේ ගැලවුම් කාරයා ද “අමතක කෙරුනු මිනිසාගේ වීරයා ද” ලෙස ය.

මෙම “පිටි පස්සෙන් සිට පිහියෙන් ඇනිමේ” කයිවාරු යටින් පවතින්නේ, ගෙවී ගිය විසිපස් වසරේ එකකින් පසු තව එකක් වශයෙන් ඒක්සත් ජනපදය සිදු කල මිලිටරි ආක‍්‍රමන වලින් පසුව ද ලෝක වේදිකාව මත ඇමරිකානු ධනවාදයේ පරිහානිය ආපසු හැරවීමට ප‍්‍රදර්ශනාත්මක ලෙස අසාර්ථක වී ඇතැ යි යන කාරනය යි.

ජාආමූ ලියවිල්ල හා ට‍්‍රම්ප්ගේ කතාව හරි මැදින් ඇත්තේ, එක්සත් ජනපද මිලිටරියේ ඉහල අනදෙන්නන් විසින් මෙම අත්දැකීමෙන් උකහා ගැනුන නිගමනයයි. එහි නියෝජිතයින් වන මැක්මාස්ටර්, මැටිස් හා කෙලී දැන් ධවල මන්දිරයේ මෙන් ම එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ ද අධිකාරය දරති. ප‍්‍රතමුඛ ඩිමොක‍්‍රටිකයන් විසින් “කාමරයේ සිටින දැනමුත්තන්” ලෙස විස්තර කෙරුනු ඔවුන්ගේ වට්ටෝරුව සැකසෙන්නේ, එක්සත් ජනපද මිලිටරිවාදයේ දැවන්ත තර කිරීමකටය.

“මිලිටරි හැකියාවන්” දියුනු කිරීමට හා “නව ආයුධ පද්ධති” අත් කර ගැනීමට අසමත්වූ, පසු ගිය කාල පරිච්ඡේදය පුරා ගෙන ගිය එක්සත් ජනපදයේ “මූලෝපායික උදාසීනත්වය” මෙන් ම “අවම මරන සංඛ්‍යාවක් සහිත ව යුද්ධ ඉක්මනින් දිනිය හැකි පරිදි පසෙකට වී බලා හිඳීමේ” අදහස ගැන ද ලියවිල්ල මැසිවිලි නග යි. පැහදිලිව ම, ඔවුන්ගේ සිත් තුල ඇත්තේ, මිලිටරි වියදම් හා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ මරන සංඛ්‍යාව නැවත වතාවක් ලක්ෂ ගනනින් ගනනය කෙරෙනු ඇති නව යුද්ධ පෙර නො වූ විරූ ලෙස වැඩි කිරීම යි.

කෙසේ නමුත් ලියවිල්ල, විශේෂයෙන් ම මීට පෙර පරිශීලනය කල ජාආමූ ලියවිල්ලෙන් වෙනස් වන්නේ, මෙහිදී ශඛ්‍ය විකල්පයක් ලෙස න්‍යෂ්ටික යුද ධර්මතාව විවෘත ව වැලඳ ගැනීමෙනි. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩා ශක්තිමත් කිරීම, “න්‍යෂ්ටික ප‍්‍රහාරයක්, න්‍යෂ්ටික නොවන මූලෝපායික ප‍්‍රහාරයක් මෙන් ම විශාල පරිමානයේ සම්ප‍්‍රධායික ආක‍්‍රමනයක් වැලැක්වීම සඳහා අත්‍යවශ්‍යව” ඇති බව ලියවිල්ල බලගතු ලෙස අඟවුම් කිරීමෙන් අදහස් කරන්නේ, න්‍යෂ්ටික නොවන අභියෝගයකට ප‍්‍රතිචාර වසයෙන් න්‍යෂ්ටික පලමු ප‍්‍රහාරයක් දියත් කිරීමට එක්සත් ජනපද මිලිටරිය සූදානම් බවය.

දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේ ලියොන් ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ පරිදි “ඉතිහාසය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රචන්ඩ විදාරනය සමග මනුෂ්‍ය වර්ගයා මුහුනට මුහන පිහිටුවන්නේ” ය.

මෙම විග‍්‍රහය, මෙම සතියේ වොෂින්ටනයෙන් නිකුත් වන තර්ජන වලින් බලගතු ලෙස තහවුරු වේ. කිසිදු සැලකියයුතු විරුද්ධත්වයක් නැත යන කාරනය පැහැදිලි කරන්නේ, එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල “සාමවාදී කන්ඩාමක්” නැති බව යි. තුන්වැනි (න්‍යෂ්ටික) ලෝක යුද්ධයක් පිලිබඳ තර්ජනය පිටු දැකිය හැක්කේ, අධිරාජ්‍යවාදී යුද්ධයට ද එහි මූලය වන ධනේශ්වර පද්ධතියට ද එරෙහිව ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස බලමුලු ගැන්වෙන ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනකි.

බිල් වෑන් ඕකන්

Share this article: