ශ්‍රී ලංකාව: වෘත්තීය සමිති දුම්රිය කම්කරු වැඩවර්ජනය පාවාදෙති

Sri Lankan unions betray railway workers’ strike

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 දෙසැම්බර් 14

ආන්ඩුව විසින් පනවන ලද අත්‍යවශ්‍ය සේවා නියෝගය හමුවේ නොසැලී සිටිමින් කම්කරුවන් තම තීන්දුව පරිදි වර්ජනය පවත්වාගෙන යාමට අදිටන් කර ගෙන සිටියදී 13දා උදෑසන, දින 7ක් තිස්සේ පැවති දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය සමිති නායකයින් විසින් තුච්ඡ ලෙස පාවා දෙනු ලැබීය.

වර්ජනය නතර කරන බව දන්වමින් දුම්රිය එන්ජින් ඉංජිනේරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ, කම්කරුවන්ගේ ඉල්ලීම් පිලිබඳ “යෝජනා” කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරන බවට ඔවුන් එකඟ වීම නිසා ආන්ඩුව විසින් පත්කරන ලද කැබිනට් අනුකාරක සභාව සමග පැවති සාකච්ඡා “සාර්ථක” වූ බව පැවසීය.

කැබිනට් අනුකාරක සභාවක් පත්කිරීම මගින් ආන්ඩුව, කම්කරුවන්ගේ නොනැමෙන අරගලය පාවාදීම පිනිස සමිති වලට මාවතක් ද සලසා දුන්නේය. කම්කරුවන්ගේ ඉල්ලීම් කිසිවක් නොලබාම වර්ජනය අතහැරීම සඳහා නායකයෝ වහාම ඒ අවස්ථාව ඩැහැගත්හ.

වැඩවර්ජනය ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට සෘජු තර්ජනයක් වූ අතර දුම්රිය කම්කරුවන් හමුවේ පමනක් නොව සමස්ත කම්කරු පන්තිය හමුවේම තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න මතු කලේය.

වර්ජනය ඇරඹීමට සමිති වලට බල කෙරුනේ, පහත් වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳව කම්කරුවන් අතර වැඩෙමින් පැවති විරෝධයයි. එහෙත් අන් සෑම අවස්ථාවකදී කලාක් මෙන් පටන්ගැනීමේ සිටම ඔවුන්, වර්ජනය කඩාකප්පල් කර, ප්‍රෝඩාකාරී පොරොන්දු හෝ සීමිත සහන වෙනුවෙන් ආන්ඩුව සමග සම්මුතියකට යටත්කර අරගලය විකුනා දැමීමට උත්සාහ කර තිබුනි.

වර්ජනය පවතිද්දී සමිති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා අගමැති රනිල් වික‍්‍රමසිංහට නිවට ලෙස යලි යලිත් ආයාචනා කලේ, වර්ජකයින් හමුවේ සිය මුහුන බේරාගැනීම පිනිස යමක් දීමට මැදිහත්වන ලෙසය. ඔවුන් අරගලය සඳහා සහයෝගය දැඩි කිරීම පිනිස කිසිවක් කලේ නැත. දෙසැම්බර් 6දා මධ්‍යම රාත්‍රියේදී වර්ජනය ඇරඹීමට මුල්වූ දුම්රිය එන්ජින් ඉංජිනේරුවන්ගේ සංගමයෙහි නායකයින්ගේ බියගුලුකම තිබියදීම, වෙනත් සමිති වලට අයත් දුම්රිය කම්කරුවන් දිග්ගැස්සෙමින් තිබුන වර්ජනයට එක්වීමට පටන්ගෙන තිබුනි.

වර්ජනය පැතිර යද්දී ආන්ඩුව වික්ෂිප්තයට හා නොඉවසිල්ලට පත්විය. ඒ වන විටත් ආන්ඩුවට එරෙහි කෝපය පුලුල්ව පැතිර තිබූ තතු හමුවේ වැඩකරන ජනතාවගේ අනෙක් කොටස් ද අරගලය තුලට ඇදී එනු ඇතැයි ආන්ඩුවට දැනී තිබුනි. වැටුප් හා සේවා කොන්දේසි මුල්කරගත් අරගල වලට අමතරව, නාගරික හා ගම්බද වැඩකරන ජනතාව, පාසැල්වල ගුරු හිඟය, ස්වාභාවික හා මිනිසුන් නිර්මානය කල ව්‍යසනයන්ට ගොදුරු වූවන්ට වන්දි ගෙවීම ප‍්‍රමාද කිරීම, පොලිස් ප‍්‍රචන්ඩත්වය හා බලහත්කාරී අතුරුදහන් කිරීම් ගැන පරීක්ෂන පැවැත්වීම ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම වැනි විවිධ ප‍්‍රශ්න මුල්කරගෙන විරෝධතා මාලාවක යෙදී සිටිති. මේ තතු හමුවේ ආන්ඩුව දුම්රිය කම්කරුවන්ගේ අරගලය රුදුරු ලෙස මැඬීමට තීරනය කලේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බව ප‍්‍රකාශයට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය. ඒ අනුව වැඩට පැමිනීම ප‍්‍රතික්ෂේප කරන සියලු කම්කරුවන් වහාම දොට්ට දැමීමට ආන්ඩුවට ඉඩ සැලසෙයි.

ඊට අමතරව, හොරිකඩ කමේ යෙදවීමට ක්ෂනිකව ඉඩ සැලසෙන පරිදි, විශ‍්‍රාමික දුම්රිය රියැදුරන්ට, ස්ථානාධිපතිවරුන්ට, මැදිරිපාලකවරුන්ට හා ගාඩ්වරුන්ට බඳවා ගැනීමේ විවෘත කැඳවුමක් නිකුත් කෙරුනි. පොලිස්පති පිකට් ලයින් හා මතුවිය හැකි විරෝධතා මැඬීමට පොලිසිය මෙහෙයවීය. හොරිකඩයින් යොදවා ධාවනයේ යෙදවීමට බලාපොරොත්තු වූ දුම්රිය සේවා කිහිපයක ආරක්ෂාව සැලසීමේ කඩතුරාව යටතේ දුම්රිය බලධාරීහු “අවශ්‍ය වුනොත්” මිලිටරිය මෙහෙයවන බවට තර්ජනය කලහ.

වර්ජනයේ සයවන දින, එනම් 12 වන අඟහරුවාදා දුම්රිය බලධාරීහු, සමිති නායකයින් රැකියාවලින් නෙරපන බව සඳහන් ලිපි නිකුත් කල අතර එවන් ලිපි අත්‍යවශ්‍ය සේවා නියෝග කඩකල සියල්ලන් වෙත යැවීමට සූදානම් බව ප‍්‍රකාශ කලහ.

කැරට් අලය හා පොල්ල යොදාගැනීමේ පිලිවෙත වෙනස් කරමින් ජනාධිපති සිරිසේන 12දා, එදින දිවයින පුරා ආරම්භවී තිබුන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන් මුහුනදෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන වැඩට යන ලෙස වර්ජකයින්ට ආයාචනයක් කලේය. සමිති නායකයින් සමග යලි වටයක සාකච්ඡා සඳහා එදිනම ඔහු කැබිනට් අනු කමිටුවක් පත් කලේය.

සාමාජිකත්වය විසින් වර්ජනයට එක්වන ලෙස කරන ලද බලපෑම හමුවේ, වර්ජනයේ දෙවන දිනයේදී එයට එක්ව සිටි සමිති නායකයෝ, අරගලය පාවාදීම පිනිස කිසිදු ප‍්‍රමාදයකින් තොරව එම අවස්ථාව ඩැහැ ගත්හ. දුම්රිය පරිපාලන කලමනාකරන සේවා සමිති එකමුතුවේ නිලධාරීහු 12දා, සිය යටත්වීම ප‍්‍රදර්ශනය කරමින් ආපසු වැඩට යාමට තීන්දු කලහ.

තමන් ආපසු වැඩට යන්නේ සිසුන් මුහුනපාන තත්වය පිලිබඳව සලකා යයි පවසමින් ඔවුහු, මෙම බියගුලු ක්‍රියාව වසං කිරීමට උත්සාහ කලහ. මුහුන බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් 13දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී දුම්රිය පරිපාලන කලමනාකරන සේවා සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දා කුමාරසිංහ පැවසුවේ, ආන්ඩුව “අපේ සහෝදර සමිති වලට” පහර දීමට උත්සාහ කලහොත්, “සෘජු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යලිත් එලඹීමට තමන්ට බලකෙරෙනු ඇති” බවය.

වර්ජනයට සම්බන්ධවූ සමිතිවල සාමාජිකයින්ගේ එකදු මහා සභාවක් හෝ කැඳවීම එක හඬින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් මෙම සමිති නායකයෝ, වර්ජිත කම්කරුවන් අධෛර්යමත් කල අතර අවශේෂ කම්කරු පන්තියෙන් හුදෙකලා කිරීම මගින් ඔවුන් ආපසු වැඩට දැක්කීමට පොට පාදාගත්හ. 5000ට වැඩි වර්ජකයින් ද ඔවුන්ගේ අවශේෂ පන්ති සහෝදරයින් හා සහෝදරියන්ගේ සැබෑ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගැන්වීම අතහැර දැමීමත් නායකයින්ගේ බියගුලු කමත් කෙලින්ම ගලා එන්නේ, ආන්ඩුව සමගත් එය පෙනී සිටින ධනපති පාලනයත් සමග ඔවුන්ට ඇති බැඳීම් වලිනි.

හෙලිදරව් වන්නේ කම්කරු පන්තියට, සිය ස්වාධීන සමාජ ශක්තිය ක්‍රියාත්මක කල හැකි දේශපාලන ඉදිරිදර්ශනයක හා විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවයි. එම ශක්තිය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට පත් කිරීම සඳහා පීඩිත ජනතාවන්ගේ සියලු කොටස්වල සහයෝගය දිනා ගැනීම පිනිස යොදා ගැනීමේ අවශ්‍යතාවයි.

ආන්ඩුව විසින් දුම්රිය කම්කරුවන්ගේ අරගලය සලකනු ලබන්නේ, ආන්ඩුවේ වියදම් කපා හරින ආර්ථික ප‍්‍රතිසංස්කරන හා විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම පිනිස සැලසුම් කර තිබෙන තම ආර්ථික ප‍්‍රතිපත්තීන්ට සෘජු තර්ජනයක් හා අභියෝගයක් ලෙස බව ඕනෑවටත් වඩා පැහැදිලිය.

දුම්රිය කම්කරුවන්ට හා අවශේෂ කම්කරු පන්තියට මෙම වැදගත් අරගලයේ හා නින්දිත ලෙස වර්ජනය පාවාදීමේ මුඛ්‍ය දේශපාලන පාඩම් නොතකා හැරිය නොහේ. නොහැරිය යුතුය.

දුම්රිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ පුද්ගලීකරනයට ලක්වන වැදගත් පොදු ව්‍යවසායකි. 1993න් පසු බලයට පත් ආන්ඩු කම්කරුවන්ගේ විරුද්ධත්වය හමුවේ මෙම සැලසුම ක්‍රියාවට නැගීමට අසමත් විය. පසුගිය වසර ගනනාවක් තිස්සේ දුම්රිය සමිති නායකයින්, කම්කරු පන්තියේ අවශේෂ ක්ෂේත‍්‍රයන්හි සිටින ඔවුන්ගේ සහචරයින් මෙන්ම, ජීවන තත්වයන් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ටත්, පෞද්ගලීකරනයට එරෙහිවත් ගෙන ගිය විවිධාකාර අරගල යලි යලිත් කඩාකප්පල් කර ඇත.

පසුගිය මාස ගනනාව තුල කම්කරුවන්, පීඩිතයින්, තරුනයින් හා සිසුන් විසින් ගෙන ගිය විවිධ අරගලයන්ගෙන් අලුත්ම එක සතියක් පැවති දුම්රිය කම්කරු වැඩවර්ජනයයි. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව මාස හතක් තිස්සේ ඇදී ගිය විශ්වවිද්‍යාල සිසු අරගලය ද ඇතුලු ජීවන තත්වයන්ට හා සේවා කොන්දේසි වලට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව වරාය, තෙල්, ලංකා විදුලිබල මන්ඩලය හා සෞඛ්‍ය සේවා කම්කරුවෝ සටනේ නිරතවූහ. මේ සියලු අරගල, ධනපති ආන්ඩු ලෝකය පුරා ගෙනයන සමාජ ප‍්‍රතිවිප්ලවයටත් යුද සූදානමටත් එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිග හැරෙමින් ඇති අරගලයන්ගේ කොටසකි.

උග‍්‍රවන ලෝක ආර්ථික අර්බුදයත්, දැඩිවන ජාමූඅ පීඩනයත් හමුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම පිනිස පන්ති යුද්ධය හැරෙන්නට වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට වෙනත් විකල්පයක් නැත. එම කප්පාදු පිලිවෙත් වලට වැඩකරන ජනතාවගේ හා තරුනයින්ගේ අධිෂ්ඨානශීලී විරෝධය නැගී එද්දී ආන්ඩුව, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධය අවධියේ වර්ධනය කලාවූ පොලිස්-මිලිටරි පාලනයේ ක‍්‍රමෝපායන් වෙත හැරී සිටියි.

වෘත්තීය සමිති විසින් මෑතම දුම්රිය වැඩවර්ජනය වැනි කම්කරු පන්තියේ අරගල පාවාදීමට, පැරනි හා ව්‍යාජ වම්මු ලබාදුන් සහයෝගය, දක්ෂිනාංශික වර්ගවාදී බලවේග දිරිමත් කර ආඥාදායක පාලනයක් කරා වන ආන්ඩුවේ ගමන වේගවත් කර ඇත.

කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ විකල්ප සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත වැඩකරන ජනතාව, ගෘහනීන්, තරුනයින් හා සිසුන් බලමුලු ගන්වන ක්‍රියාකාරී කමිටු වැඩපොලවල හා නිවහන් ප‍්‍රදේශවල ගොඩනැගීමට, කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුය. එම අරගලයේ අරමුන විය යුත්තේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව ගොඩනගන සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමය.

Share this article: