ආන්ඩුව දුම්රිය සේවක වර්ජනය කැඞීමට අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 දෙසැම්බර් 9

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරමින් දුම්රිය රියැදුරන්, නියාමකයන්, පාලකවරුන්, අධීක්ෂන නිලධාරීන් සහ ටිකට් පරීක්ෂකවරුන් අරඹා ඇති වැඩ වර්ජනය තහනම් කලේය.

වැඩවර්ජනය කිරීමට කම්කරුවන්ට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරාගනිමින් අත්‍යාවශ්‍ය සේවා නියෝගය පැනවීම නිවේදනය කරමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත්තේ දෙපර්තමේන්තු මට්ටමින් වර්ජකයන්ට එරෙහිව පියවර ගනු ඇති බවයි. කෙසේවතුදු, මෙම රුදුරු නියෝගය වර්ජකයන්ට සේවයට වාර්තා කිරීමට අවසන් නියෝග නිකුත් කිරීම හා එය කඩකරන්නන් නෙරපා හැරීම අන්තර්ගත කරගත් එකකි. සමස්ත කම්කරු පන්තියම ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිවිය යුතු අතරම වර්ජකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතුය.

පන්දහසක් පමන වර්ජනයට සහභාගිවී ඇති වර්ජනය ගැන ආන්ඩුව තැතිගෙන සිටින්නේ, සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි කප්පාදු කිරීමේ පියවරයන් නිසා කෝපයට පත්ව සිටින අවශේෂ කම්කරුවන්ගේ අවධානයට එම අරගලය ලක්වෙතියි භීතියෙනි. වෘත්තීය සමිති ආන්ඩුවේ ප‍්‍රහාරය ගැන කිසිවක් තවම ප‍්‍රකාශ කර නැත. සේවක ශ්‍රේනි වෙන වෙනම වර්ජනයට කැඳවූ සමිති වල නායකයන් ඊයේ සවස් වන තුරුම යෙදීගෙන සිටියේ ආන්ඩුව සමග සම්මුතියකට ඒමේ උත්සාහයක ය.

දුම්රිය රියදුරන් වර්ජනය ආරම්භ කලේ බදාදා රාත්‍රියේ සිටය. බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන්, පාලකවරුන්, සහ අධීක්ෂන නිලධාරීන් විසින් වෙන වෙන ම වැඩ වර්ජන ආරම්භ කර ඇත. සිකුරාදා දහවල් සිට දුම්රිය ටිකට් පරීක්ෂකයෝ ද වර්ජනයට සම්බන්ධ වූහ.

නියමිත පටිපාටියට පිටින් රියදුරු සහායකයන් තමන්ට සමාන වැටුප් තලයකට බඳවා ගැනීමෙන් ඇතිවන වැටුප් විෂමතාව නැති කරන ලෙස දුම්රිය රියදුරු සංගමය ඉල්ලයි. තමන්ගේ ශ්‍රේනියේ ඉහල තලයක් ඇති කරන ලෙස ද සංගමය ඉල්ලා ඇත. ආන්ඩුව පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහා ලබා දෙන ලෙස හා හා වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුලු වර්ජනයේ යෙදී සිටින අනෙකුත් ශ්‍රේනිවල සේවකයෝ ඉල්ලති.

රියදුරන් 400 ක් සහ සෙසු ශ්‍රේනිවල සේවකයන් 5,000 ක් පමන වර්ජන වලට සම්බන්ධ වී ඇත. වර්ජනය නිසා දුම්රිය ගමනා ගමනය මුලුමනින් ම පාහේ ඇනහිට තිබේ. දුම්රිය පාලන මැදිරි අංශය නිකුත් කල නිවේදනයකට අනුව රියදුරු වර්ජනය ආරම්භ වීමෙන් පසු බදාදා මධ්‍යම රාත්‍රියේ සිට බ‍්‍රහස්පතින්දා පස්වරු හය දක්වා ධාවනය වියයුතු නියමිත ගමන් වාර 340න් ධාවනය කෙරුනේ 63 ක් පමනි. එමෙන් ම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ධාවනය වීමට නියමිත තිබු කොලඹින් පිටත්වන සහ කොලඹට පැමිනෙන තැපැල් දුම්රිය 12ක් අවලංගු කිරීමට සිදු වූ බව ද පාලක මැදිරිය නිවේදනය කර ඇත.

ඊයේ සවස ජනාධිපති ලේකම් සමග රියදුරු සංගමය පැවැත්වූ සාකච්චා විසඳුමක් දීමට ආන්ඩුව එකඟ නොවූ නිසා බිඳ වැටුනේ ය.

දුම්රිය ආඥා පනතට සහ දුම්රිය සේවකයන් බඳවා ගැනීමේ රාජ්‍ය පරිපාලන චක‍්‍ර ලේඛයේ නිර්දේශ උල්ලංඝනය කරමින් බලධාරීන් විසින් රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කර ඇති බවට දුම්රිය රියදුරු සංගමය චෝදනා කරයි. රියදුරු සංගමය මීට පෙර කිහිප අවස්ථාවක් ම උක්ත ඉල්ලීම් මත වර්ජනය කරන බවට තර්ජනය කල අතර ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා වර්ජනයක් ආරම්භ කලේ ය. එහෙත් ගැටලුව විසඳන බවට ආන්ඩුව දුන් පොරොන්දු පිලිගෙන විරෝධතා ක්‍රියාවන් නතර කෙරුනි.

නව බඳවා ගැනීමේ පටිපාටිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පලපුරුදු සේවකයන් රියදුරු සහායක සේවයට බඳවා ගැනීම සියයට 30 න් කප්පාදු කෙරෙයි. එම සියයට 30 බඳවා ගනු ලබන්නේ අපොස සාමාන්‍ය පෙල සමත් හා තාක්ෂන ඩිප්ලෝමාවක් සහිත අය ගෙනි.

මේ අතර වර්ජනය රියදුරු සංගමයේ නායකයන්ගේ “දේශපාලන උවමනාකම් උඩ කරන නීති විරෝධී” වර්ජනයක් බව බ‍්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්චාවක දී රියදුරු සහායක සංගමයේ ප‍්‍රධාන ලේකම් ධනුෂ්ක පෙරේරා චෝදනා කලේ ආන්ඩුවේ අත්ගෙඩියක් ලෙස සංගමය ක්‍රියා කරන බව පෙන්වමිනි. දුම්රිය සේවය “අත්‍යාවශ්‍ය සේවාවක්” ලෙස ප‍්‍රකාශයට පත්කර වර්ජනය මැඩීමට පියවර ගන්නා ලෙස දුම්රිය තාක්ෂනික සහ මෙහෙයුම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසේන බන්ඩාර ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආන්ඩුවේ රුදුරු මර්දන නීති ක්‍රියාවට දැමීමට වටපිටාව සකස්කර දුන්නේ මේ සමිති විසිනි.

වර්ජනයේ යෙදී සිටින සෙසු සමිති ඉල්ලා සිටින්නේ ආන්ඩුව පොරොන්දු වූ පරිදි අදාල ශ්‍රේනින්ගේ වැටුප් එම්ටී 1 සහ එම්ටී 2 වැටුප් තලවල පිහිටුවන ලෙසය. අගමැතිවරයා සහ ප‍්‍රවාහන ඇමතිවරයා විසින් ඒ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් කැබිනට් මන්ඩලය විසින් එය අනුමත කිරීම ප‍්‍රමාද කරන බවට සමිති නායකයෝ චෝදනා කරති.

කැබිනට් මන්ඩලය රැස්වන්නේ ජනාධිපතිගේ සහ අගමැතිගේ මූලිකත්වයෙනි. තීන්දු තීරන ගැනීමත් සිදුවන්නේ ඔවුන්ගේ මූලිකත්වයෙනි. අදාල කැබිනට් පත්‍රිකාව අනුමත වීම ප‍්‍රමාද කෙරෙන්නේ නම් ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව එය සිදුවිය නොහැක. යථා තත්වය වන්නේ ආන්ඩුව වැඩකරන්නේ රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව සහ සෙසු රාජ්‍ය වියදම් කපාහැරීම ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති නියෝගවලට අනුව මිස කම්කරු පන්තියේ ඉල්ලීම් වලට අනුකූලව නොවේ.

දුම්රිය සේවකයන්ට දෙන එවන් වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවයේ සෙසු කම්කරුවන් ගේ ද වැටුප් ඉල්ලීම් සඳහා අරගල දිරිගන්වන බව ආන්ඩුව දනී. ආන්ඩුව දේශීය සහ විදේශීය නය බරින් මැඩී ඇත. ඉදිරි වසර තුන තුල රුපියල් බිලියන 7,000 ක නය ආන්ඩුව විසින් පියවිය යුතු බව අයවැය විවාදයේ දී මුදල් ඇමති මංගල සමරවීර ප‍්‍රකාශ කලේ ය. ඒ නිසා ආන්ඩුවේ යොමුව පවතින්නේ වැටුප් වැඩි කිරීමට නොව, වැටුප් කප්පාදුවටය. එමෙන් ම දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහගත කිරීමට හා පුද්ගලීකරනය කිරීමට ය.

දුම්රිය දෙපාර්තමේන්තුව 2014 සහ 2015 ලැබූ මෙහෙයුම් අලාභය පිලිවෙලින් රුපියල් බිලියන 11 සහ 7.7ක් බව සඳහන්ය. ආන්ඩුව අලාභය පියවා ගැනීමට උත්සාහ කරන්නේ ගාස්තු වැඩි කිරීමෙන්, ශ‍්‍රමබලකාය හා සේවක සුබසාදන කප්පාදුවෙන් හා සේවා කොන්දෙසිවලට පහර එල්ල කිරීම මගිනි.

පුද්ගලීකරනයේ මුල් පියවර ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරයක් බවට පරිවර්තනය කිරීමේ පනතක් සම්මත කෙරුනේ 1993 දීය. සේවක විරෝධය නිසා සැලැස්ම කල් දැමීමට බලයට පත් ආන්ඩුවලට බල කෙරුනු නමුත් රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහ ගත කිරීම හා පුද්ගලීකරනය කඩිනම් කරන ලෙස ජාමුඅ නියෝග කර ඇත. මෙවර අයවැයෙන් ඊනියා රජයේ හා පුද්ගලික අංශයේ ව්‍යවසායන් ඇතිකිරීම ලෙස යෝජනා කෙරුනේ පුද්ගලීකරනයේ මෙම සැලසුම්ය.

ශ්‍රේනිවාදී භේදකාරී වැටුප් ඉල්ලීම් මගින් සමිති විසින් නොමග යවනු ලැබ ඇත්තේ ආන්ඩුව ජීවන තත්වයන් තලා දමන තතු යටතේ වැටුප් ඉහල දමා ගැනීමට සෑම කම්කරු කොටසකටම ඇති උවමනාවයි. කම්කරුවන් ශ්‍රේනිවාදී භේදවල ලක් කිරීම් මගින් වෘත්තීය සමිති සැබවින්ම සිදු කරන්නේ ආන්ඩුවට ජීවන තත්වයන්ට පහර දීමට හා පුද්ගලීකරනයේ සැලසුම් කි‍්‍රයාවට දැමීමට ඉඩ සැලසීමයි.

දුම්රිය සේවකයන් මෙන් ම සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ කම්කරුවන් මුහුන දෙන්නේ මේ ප‍්‍රශ්නවලට ය. සේවා කොන්දේසි සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන පහර නිසා කම්කරු පන්තියේ සෙසු කොටස් අතර මෙන් ම දුම්රිය සේවකයන් අතර ඇත්තේ ද කැකෑරෙන සුලු නොසන්සුන්තාවකි. වෘත්තීය සමිති තැත් කරන්නේ කට්ටිවාදී සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවලට දුම්රිය සේවකයන් කොටු කර ආන්ඩුවේ ප‍්‍රහාර කෙරෙහි ඔවුන් තුල වර්ධනය වන කෝපය සහ නොසන්සුන්තාව සමනය කිරීමට ය. දුම්රිය සේවකයන් හා අවශේෂ කම්කරුවන් ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව පොදු දේශපාලන අරගලයකට සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් කල යුතුය.

Share this article: