ට‍්‍රම්ප් තම ඕස්ට්‍රේලියානු ”සගයා” බියවද්දයි

Trump browbeats Australian “ally”

2017 පෙබරවාරි 4

ජනාධිපති ට‍්‍රම්ප් විසින් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ට මේ සතියේ දෙන ලද, මාධ්‍ය වෙත කාන්දු කරන ලද තර්ජනාත්මක දුරකතන පනිවුඩය තවදුරටත් එලිදරව් කර ඇත්තේ, එක්සත් ජනපදයේ අලුත් පාලනයේ මැරවර ස්වභාවය හා අධිරාජ්‍යවාදයේ මෘග ස්වභාවයයි.

පැයක් කල් -නියමව තිබුනු දුරකතන සංවාදය ට‍්‍රම්ප් විසින් මිනිත්තු 25 ක් ඇතුලත හිටිගමන් නවත්තා දැමූ අතර ඔබාමා පාලනය සමග එලඹ තිබුනු සරනාගතයන් පිලිබඳ සම්මුතියක් ගැන ටර්න්බුල්ට දෝෂාරෝපනය කලේය.

”ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ” අර්ථය, සිය සතුරන්ට මෙන්ම මිතුරන්ට ද එක්සත් ජනපද නීතිය එකසේ බලපැවැත්වෙන බව දැනුම් දීම බව මෙහි ඇතුලත් නොවරදින පනිවිඩයයි.

දුරකථන කතාව නිම කිරීමට පෙර, වොෂිංටනයේ සමීපතම මිලිටරි සහචරයෙකු වන රටක ආන්ඩුව මෙහෙයවන ටර්න්බුල්ට ට‍්‍රම්ප් කියා සිටියේ, රුසියානු ජනාධිපති පුටින් ද ඇතුලු ලෝක නායකයින් පස් දෙනෙකු සමග තමා මේ වන තෙක් කර ඇති සාකච්චා වලින් ”අන්තිම නරක එක” මෙය බව ය.

බලයට පත්ව යාන්තම් සති දෙකක් ගතවීමටත් පෙර, ට‍්‍රම්ප් අනුගමනය කරන ආක‍්‍රමනකාරී ”පලමුව ඇමරිකාව” යන ආර්ථික පිලිවෙත සහ මිලිටරිවාදය, ලෝකය පුරාම දේශපාලන කම්පන රැලි නංවමින් ඇත. අලුත් ජනාධිපති වරයා යුරෝපය, මෙක්සිකෝව, ඉරානය, සහ චීනයට එරෙහිව ප‍්‍රකෝපකරනයන් සහ තර්ජන කර අතුවා පමනක් නොව නේටෝව, යුරෝපීය සංගමය, ජපානය, දකුනු කොරියාව සහ දැන් ආසියා පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියාව ඇතුලු තවත් රටවල් සමග පවත්නා වොෂිංටනයේ තීරනාත්මක සන්ධානයන් ගනනාවක් හිතාමතාම ප‍්‍රශ්නයට බඳුන්කොට තිබේ.

ට‍්‍රම්ප් ප‍්‍රකාශ කොට ඇත්තේ, තමා ගේ පූර්වගාමියාවූ බරක් ඔබාමා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමග ආරම්භ කරන ලද, චීනයට එරෙහි මිලිටරිමය සහ මූලෝපායික වශයෙන් ”ආසියාවට හැරීම” චීනයේ නැගීම නතර කිරීමට අසමත්ව ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ මූලෝපායික පිහිටීම නිසා එය එක්සත් ජනපදයේ ”ආසියාවට හැරිමේ” ඉතා වැදගත් ලක්ෂ්‍යයක් බවට ද වොෂිංටනයේ චීනයට එරෙහි සැලසුම් වල ප‍්‍රධාන අංගයක් බවටද පත්ව තිබේ. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් සහ උතුරේ පෝර්ට් ඩාවින් වරායේ නිරතුරුව රඳවා ඇති එක්සත් ජනපද මැරීන් භටයන් ගනන අවුරුදු පතා ඉහල නංවනු ලැබේ.

ට‍්‍රම්ප් සහ ඔහුගේ අලුතෙන් පත් කරගත් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් දැනටමත් චීනයට නතු ව පවත්නා දකුනු චීන මුහුදේ භූමිභාගයන්ට අතුලු වීමට එරටට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබෙන අතර, එවැනි තහංචියක් යුදමය පියවරක් වනු ඇත. එවන් යුද්ධයක් ඕස්ට්‍රේලියානු මහා සංගත සහ මූල්‍ය ආසක්තයන් ට විනාශය කටිනු ඇති අතර, න්‍යෂ්ටික යුද්ධය දක්වා ඉක්මනින් ම පැතිර යනු ඇත.

ගතවූ සියවස් කාල තුල එක්සත් ජනපදයේ සෑම ආන්ඩුවක් ම තම රටේ ආර්ථික පරිහානිය මිලිටරිමය ආකාරයකට විසඳා ගැනීමට යත්න දරා ඇත. ට‍්‍රම්ප් ආන්ඩුව නියෝජනය කරන්නේ මෙම පිලිවෙතේ ගුනාත්මක අලුත් අවධියකි. ඕස්ට්‍රේලියානු අගමැතිට දුන් ට‍්‍රම්ප්ගේ දුර කතන පනිවිඩය වනාහි, තම ප‍්‍රමුඛ ඉලක්කයන්ට, අන් සියල්ලටමත් වඩා චීනයට, එරෙහිව කරගෙන යන යුද සූදානමට බාධාකාරී මොනම පියවරක් වත් ඉවසීමට ට‍්‍රම්ප් පාලනය ලැස්ති නැති බව දැනුම් දීම සඳහා කැන්බරා පාලනය ට එල්ල කල කස පාරකි.

චීනයේ ආර්ථික වර්ධනය ද නැගීඑන බලපෑම ද ඉදිරියේ වොෂිංටනය, චීනය සමග යම් අනුකූලතාවක් ගොඩනගා ගත යුතු යයි 2010 මැද දී ඕස්ට්‍රේලියාවේ ලේබර් පාක්ෂික අගමැති කෙවින් රඩ් කියා සිටි කල්හි, වත්මන් ලේබර් නායක බිල් ශෝටන් ද ඇතුලු ඇමරිකානු තානාපති කාර්යාලයේ කිට්ටුවන්තයන් විසින්, ලේබර් පක්ෂය තුල කරන ලද යටිකුට්ටු බල කොල්ලයක් මගින් ඔහු ඉවත් කරන ලදී. උතුරු ඕස්ට්‍රේලියාවේ පිහිටි මූලෝපායික හා වානිජමය වශයෙන් ප‍්‍රානසම වැදගත් කමක් දරන ඩාර්වින් වරාය කර ගෙන යාමට චීන සංගතයකට 99 අවුරුදු බද්දකට දීමට වත්මන් ඕස්ට්‍රේලියානු අගමති ටර්න්බුල් ඇමරිකාවට නොකියා එකඟ වීම පිලිබඳව ගිය නොවැම්බරයේදී ඔබාමා, ඔහුට පෞද්ගලිකවම දොස් පැවරූ බව පසුගිය නොවැම්බරයේ දී එලිදරව් කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ ප‍්‍රධාන වානිජ සහකරු වන චීනය සමග සම්බන්ධතාව කෙරේ ඉන් ඇතිවන බලපෑම හේතු කොටගෙන ඇමරිකාවේ ”ආසියාවට හැරීම” පිලිබඳව ටර්න් බුල් කල් තබාම සිය අකමැත්ත දක්වා ඇති බව ට‍්‍රම්ප් හා ඔහුගේ උපදේශකයෝ දනිති. එක්සත් ජනපදය ”නාවුක ගමනාගමනයේ නිදහස” නමැති කඩතුරාව යටතේ තම යුද නැව් ද යුද ගුවන් යාන ද දකුනු චීන දුපත් අවට චීනයේ භෞමික සීමාව තුලට යවා ඇති අතර, ටර්න්බුල්ගේ ආන්ඩුව ”ආසියාවට හැරීමේ” ප‍්‍රධාන පිලිවෙත ට පරෙස්සමින් අනුගත වන අතරම, එක්සත් ජනපදය මෙන් චීන මුහුදු සීමාව උල්ලංඝනය කිරීමෙන් වැලකී සිටි.

2010 පටන් සෑම ඕස්ට්‍රේලියානු ආන්ඩුවක්ම දන්නා කරුනක් නම්, ඉක්මනින් ම තමන් අස්ථාවර කර ඉවත් කර දැමීමට වොෂිංටනය සමත් බව ය. ටර්න්බුල් කෙරේ ට‍්‍රම්ප් ගේ විවෘත සතුරු කම, ඕස්ට්‍රේලියාවේ ද ලෝකයේ ම ද මාධ්‍යයට හා දේශපාලන සංස්ථාපිතයට අනතුරු සීනුව හඬවා තිබේ.

ඕස්ට්‍රේලියන් ෆිනැන්ෂල් රිවිව් ප‍්‍රකාශනය ගිය සෙනසුරාදා මෙසේ සමාලෝචනය කලේ ය: ”ලෝකය ගෝලීකරනයෙන් පසුබැස ඒ වෙනුවට අලුත් පටු ජාතිකවාදයක් වැලඳ ගැනුමේ අජූව මුහුන නම් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ය. වැඩය බාරගෙන සති දෙකක් ගත වෙද්දී, අලුත් ජනාධිපති විසින් කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ පටන් ඕස්ට්‍රේලියාව සිය සාමය මෙන්ම ආරක්ෂාව ද පදනම් කරගත් බහුජාතික වෙලඳ පිලිිවෙල සහ යුද සන්ධානයන් ට විරුද්ධව යුද්ධය ඇරඹීමට කල් නොමරා ම වැඩට බැසීමය.”

කලින් රිපබ්ලිකානු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාව සිටි ජෝන් මැක්කේන් වැනි, එක්සත් ජනපද දේශපාලන සහ මිලිටරි සංස්ථාපිතය තුලම කොටස්, ට‍්‍රම්ප් ටර්න්බුල් කෙරේ දක්වන විරුද්ධතාවය ට එරෙහිව යමින්, එක්සත් ජනපද මිලිටරි සහ මූලෝපායික ජාලය තුල ඕස්ට්‍රේලියාව සාරභූත කොටසක් යයි එරට ආන්ඩුවට සහතික වීමට යුහුසුලුවී ඇත. ට‍්‍රම්ප්ගේ කැබිනට් සාමාජිකයන්ගෙන් සමහරෙක් පවා හානිය පාලනය කිරීම ට වැඩකිරීම අවශ්‍යබව වටහාගෙන සිටිති.

මෙම තතු තුල වොෂිංටනය තුල ඕස්ට්‍රේලියාවට හඬක් ලැබෙන බවට තමා සහතික වන බව හිටපු ජනරාල් කෙනෙකු වන ආරක්ෂක ලේකම් මට්ටිස් යන ”පිස්සු බල්ලා” කියා සිටියේ ය. මෙම තත්වයට ප‍්‍රතිචාර දැක්වූ ට‍්‍රම්ප් ඊයේ ට්වීටර් සටහනකින් කියා සිටියේ, තමා ටර්න්බුල්ට අපහාස නොකල බවත් ”ව්‍යාජ මාධ්‍ය” විසින් බොරු කොට විකෘති කරන ලද එම කතාව පිලිබඳ සත්‍යය ප‍්‍රකාශ කිරීම ගැන” තමා ඔහුට ස්තුති කරන බවත් ය.

මෙවන් උපාමාරු ට‍්‍රම්ප් පාලනයේ මැරවර පන්න වැඩ ක‍්‍රමයේ කොටසක් බවට පත්ව තිබේ. පාලක කවයන් අතර භේද තුලින් වැඩි වැඩියෙන් පැහැදිලි වෙමින් ඇත්තේ එක් දෙයකි, එනම්, වොෂිංටනය යන්නේ යුද්ධයේ මාවතෙහි බවය.

යුරෝපයේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද ප‍්‍රමුඛ මාධ්‍ය සමාලෝචකයින් හා හරිතයන් ද ව්‍යාජ වම්මුන් ද කැසකවන්නේ විරෝධය ජාතිකවාදී දිශාවට, එනම් ”සියල්ලට පෙර ඕස්ට්‍රේලියාව” යන දිශාවට යොමු කිරීමට ය. මෑතක් වනතුරු චීනයට ප‍්‍රතිමුඛවීම වෙනුවෙන් හඬ නැගූ ෆෙයාර් ෆැක්ස් සඟරාවේ දේශපාලන කර්තෘ පීටර් හාර්චර්, ඊයේ පල කල ලිපියක වඩා ”ස්වාධීන” විදෙස් පිලිවෙතක් උවමනා කර ඇතියයි ද ” ඕස්ට්‍රේලියාවට නැගී සිටීමට” කාලය එලඹ ඇතියයි ද කියා සිටියේ ය.

ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ මිලිටරි පිරිවැය ඉහල නැංවීමට කෙරෙන ඉල්ලීම සමග අනිවාර්යයෙන්ම බැඳී පවත්නා මෙවන් යෝජනා, ඕස්ට්‍රේලියානු කම්කරුවන් හා තරුනයින් ජාතික පාලක ප‍්‍රභූවේ යුද සුදානමට ද ලාභ ගැරීමේ සැලසුම් වලට ද යටත් කරයි; කම්කරු පන්තිය සිය ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරයින් ට ප‍්‍රතිවිරුද්ධව පිහිටුවීමට පමනක් දායක වෙයි.

ඕස්ට්‍රේලියාව ද එක්සත් ජනපදය ද චීනය ද ඇතුලු හැම රටකම කම්කරුවෝ, යුද්ධයේ උල්පත වන ධනපති ලාභ පද්ධතිය නැති කිරීම සඳහා, තම අරගල ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවට මුහුන දී සිටිති. ලෝකයේ සෑම රටක ම කම්කරුවෝ යුද්ධයේ තර්ජනය සමග වෙන් නොකල හැකි පරිදි බැඳී ඇති, තම රැකියා, සමාජ තත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි නිර්දය ප‍්‍රහාරයන්ට මුහුන දී සිටිති; එම ප‍්‍රහාරයන් පරාජය කලහැක්කේ ගෝලීය පරිමානව ජාත්‍යන්තරවාදී, ප‍්‍රති-ධනේශ්වර සහ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම තුලින් ම පමනි.

මයික් හෙඩ්

Share this article: