එක්සත් ජනපද ඝාතන පිලිබඳ ඇත්ත ට‍්‍රම්ප්ගේ කටින් පිටවෙද්දී, මාධ්‍ය වියරු වැටෙයි

Trump blurts out the truth about US killings and the media goes wild

2017 පෙබරවාරි 7

ඉරිදා විකාශය කෙරුනු සම්මුඛ සාකච්ඡාවක දී, ෆොක්ස් නිවුස් නාලිකාවේ විස්තර කථක බිල් ඕ’රයලි රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් ”ඝාතකයෙකි” යි කල සඳහනට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් දැක්වූ ප‍්‍රතිචාරය මගින් අවුලුවනු ලැබූ වියරුව, රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රටික් දෙපක්ෂයේ ම ප‍්‍රමුඛ පුද්ගලයින්ගේ කුහක හෙලාදැකීම් වලට ලක් වෙමින් නොකඩවා රැව්පිලිරැව් දෙයි.

ඕ’රයලි පූටින්ට දොස් පැවරීමට ප‍්‍රතිචාර ලෙස ට‍්‍රම්ප් මෙසේ කී ය: ”ඝාතකයෝ ගොඩක් ඉන්නවා. අපිට ඝාතකයෝ ගොඩක් ඉන්නවා. මොකද, ඔබ හිතන්නෙ අපේ රට හරීම අහිංසකයි කියලද?”

ට‍්‍රම්ප්, සිය ප‍්‍රකාශයට සහාය පිනිස ඉරාකය පිලිබඳව සඳහන් කලේ ය. ඕ’රයලිගේ මුහුන ඇඹුල් විය. පැහැදිලි ලෙස ම, කුමක් කිව යුතු දැයි ඔහු දැන සිටියේ නැත. ”නිදහස් ලෝකයේ” නව නායකයා බරපතල අන්දමින් පාරෙන් පිට පැන සිටියේ ය.

පක්ෂ දෙකේ ම ධනේශ්වර දේශපාලනඥයන් හා මාධ්‍ය සම්බන්ධයෙන් ගත් විට, ට‍්‍රම්ප් සිදු කොට ඇත්තේ සමාව දිය නොහැකි වරදකි: ඔහු -මේ නිශ්චිත අවස්ථාවෙහි, තනිකර ම ප‍්‍රායෝගික හේතු මත සිය ක්ෂනික දේශපාලන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට- ලෝකය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූමිකාව පිලිබඳ ඇත්තක් ප‍්‍රකාශ කොට තිබේ.

ට‍්‍රම්ප්ගේ නොසැලකිලිමත් ප‍්‍රකාශය පිලිබඳ කෝපයට පත් වීමේ නිල ආකල්පය පුලුල් ජනතාවට කරනු ඇත්තේ අල්ප වූ බලපෑමකි. ජනතාව එතරම් ම ලාමක යයි ද ඔවුන්ගේ මතකය මෙතරම් ම කෙටි යයි ද දේශපාලකයින් සහ මාධ්‍ය සැබැවින් ම විශ්වාස කරත් ද? එක්සත් ජනපද ආන්ඩුව මිනීමරුවන් විසින් පාලනය කෙරෙන්නකියි යන අදහස පූර්වාවයවය හැටියට පවතින The Bourne Identity (ද බෝර්න් අයිඩෙන්ටිටි) සහ එහි අනුගාමී කෘති පසුගිය විසිවසර තුල ජනපි‍්‍රයතම චිත‍්‍රපට අතර වන රටකි එක්සත් ජනපදය. මේ පූර්වාවයවය වූ කලි මනා පදනමකින් යුතු ඇත්තකි. පසුගිය වසර 70කට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරුත් ආන්ඩුවේ වෙනත් ඉහල නිලධාරීනුත් ගනන් කල නොහැකි තරමේ කෲරකම්වලට හවුල් වී තිබේ. මේ අපරාධවලින් වැඩි ප‍්‍රමානයක් ආන්ඩුවේ වාර්තා හා කොංග‍්‍රස් විභාගයන් මගින් සනාථ ව ඇත.

ජොෂුවා කර්ලැන්ට්සික්ගේ A Great Place to Have a War: America in Laos and the Birth of the Military CIA (අ ග්‍රේට් ප්ලේස් ටු හැව් අ වෝ: ඇමරිකා ඉන් ලාඕස් ඇන්ඩ් ද බර්ත් ඔෆ් ද මිලිටරි සීඅයිඒ) නමැති කෘතිය පිලිබඳ විමර්ශනයක යෙදුනු විමර්ශක ස්කොට් ෂේන් නිව් යෝර්ක් ටයිම්ස් පෙබරවාරි 3 සංස්කරනයෙහි මෙසේ ලිවී ය:

”ගිය සැප්තැම්බරයේ ලා ඕස් අගනුවර වියෙන්ටියාන් හි දී අදහස් දැක්වූ බැරැක් ඔබාමා බරපතල කරුනක් සඳහන් කලේ ය: 1963 සහ 1974 අතර එක්සත් ජනපදය මේ රටට බෝම්බ මිලියන ටොන් දෙකක්, එනම් දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනියට හා ජපානයට හෙලූවාටත් වඩා ප‍්‍රමානයක්, හෙලා තිබේ. මෙමගින්, මිචිගන් ප‍්‍රාන්තයට වඩා මඳක් කුඩා ලා ඕසය, ඉතිහාසයේ වැඩි ම බෝම්බ ප‍්‍රහාරවලට පාත‍්‍ර වූ රට බවට පත් වන බව ජනපති ප‍්‍රකාශ කලේ ය. යුද්ධයේ අවසානයෙන් දසක හතරකට වැඩි කාලයකට පසුත්, නොපිපිරුනු යුද අවි තවමත් ලා ඕස වැසියන් මරනයට පත් කරන අතර ඒවා ඉවත් කිරීම සඳහා සැපයෙන ඇමරිකානු ප‍්‍රතිපාදන දෙගුන කරන බව ඔබාමා නිවේදනය කලේ ය.”

කර්ලැන්ට්සික්ගේ පොතෙහි එන තොරතුරු වෙත අවධානය යොමු කරමින් ෂේන් මෙසේ සඳහන් කලේ ය: ”සිය පලමු ධුරකාලය තුල රිචරිඩ් එම්. නික්සන් දිනකට එල්ල කරන ප‍්‍රහාර සංඛ්‍යාව 15 සිට 300 දක්වා වැඩි කලේ ය. ‘අපි ලා ඕස්වල කී දෙනෙක් මැරුවද?’ පටිගත වී ඇති සංවාදයක දී නික්සන්, හෙන්රි කිසින්ජර්ගෙන් ඇසී ය. ‘ලා ඕස් වැඩේදී, අපි 10ක්, 15ක් විතර මරල තියෙනව’ කිසින්ජර් පිලිතුරු දුන්නේ ය. ඔහු අදහස් කලේ 10,000 ක් හෝ 15,000කි. අවසානයේ සමස්ත මරන සංඛ්‍යාව 200,000ක් වනු ඇත.

ඝාතන සම්බන්ධයෙන් ගත් විට එක්සත් ජනපද ආන්ඩුවට සමානයෙක් නැත. කොරියාවේ සිට වියට්නාමය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ තන්ත‍්‍ර මාරුව සඳහා කෙරුනු කුලීකාර යුද්ධය දක්වා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලියන සංඛ්‍යාත ජනකායක් ඝාතනය හා ආබාධිත කර තිබේ.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ලිබරලුන් ලෙස හඳුන්වා ගන්නවුන් හා දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් යන දෙකොටස ම විසින් - ට‍්‍රම්ප්ට එරෙහි ව එල්ල කරනු ලබන ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු රුසියාව හා එක්සත් ජනපදය අතර ”සදාචාරාත්මක සාම්‍යයක්” ඇඟවුම් කලේ ය යන්න යි. මෙය වූ කලි සීතල යුද්ධය අතරතුර, ”නිදහස් ලෝකයේ” නායකයාත් සෝවියට් ”දුෂ්ට අධිරාජ්‍යයත්” අතර ”සදාචාරාත්මක සාම්‍යයක්” තිබිය නොහැකි ය යන පදනම මත, එක්සත් ජනපදයේත් ලතින් ඇමරිකාවේ ලේ වැකි ආඥාදායකත්වයන්ගේ සිට දකුනු අප්‍රිකාවේ වර්නභේදවාදී තන්ත‍්‍රය දක්වා එහි සගයන්ගේත් සියලු අපරාධ සාධාරනීකරනය සඳහා යොදාගැනුනු වගන්තියකි.

සැබැවින් ම ඊට සමානයකු නැත. ඝාතන හා ගෝලීය මැරකම සම්බන්ධයෙන් එක්සත් ජනපද නායකයින් හා සසඳන විට පූටින් යනු කුඩා හාල්මැස්සෙකි.

මේ ප‍්‍රතිගාමී නඩයට ඩිමොක‍්‍රටික් පක්ෂය එකතු වීමෙන් ඔප්පු වන්නේ ට‍්‍රම්ප් පිලිබඳ එහි ප‍්‍රකාශිත විරුද්ධත්වය තුල ප‍්‍රගතිශීලී මොන ම දෙයක් හෝ නැති බව යි. ”පූටින් දිගට ම කොරියාවට අත පොවමින් සිටිය දී පූටින් වැලඳ ගැනීම” හේතුවෙන් ට‍්‍රම්ප් දෝෂාභියෝගයට ලක් කල යුතු බවට ”වාම” ඩිමොක‍්‍රටිකයකු ලෙස කියා පාන කැලිෆෝර්නියාවේ දේශපාලන බලමන්ඩලයේ ප‍්‍රමුඛ කලු සාමාජික කොන්ග‍්‍රස් සභිකාව මැක්සීන් වෝටර්ස් සඳුදා කල අදහස් දැක්වීමෙන් මෙය මූර්තිමත් විය.

ට‍්‍රම්ප්ගේ අදහස් දැක්වීම පිලිබඳ හටගෙන ඇති වියරුව යටින් පවතින්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මූලෝපාය සහ පරිපාලනයේ වෙනස් වීම සමග එලිමහනට පැමින ඇති වොෂින්ටනයේ යුද සූදානම පිලිබඳ පවත්නා රුදුරු බෙදීම් ය.

මේ වෙනස්කම් සිරියාවේ මෑත සිදුවීම් මගින් වඩාත් උග‍්‍ර කරනු ලැබ තිබේ. එක්සත් ජනපද පිටුබලය ලබන ”කැරලිකරුවන්ගේ” අවසන් බල කඳවුර වූ නැගෙනහිර අලෙප්පෝ, සිරියානු ආන්ඩුව යලි අත්පත් කරගැනීම නියෝජනය කලේ මැද පෙරදිග තුල එක්සත් ජනපද පිලිවෙතෙහි දැවැන්ත පසුබැසීමකි.

සිරියානු ආන්ඩුව රසායනික අවි භාවිත කරන්නේ ය යන ව්‍යාජ චෝදනාව මත යුද්ධයට යාමට ආසන්න ව සිටි 2013 දී ඔබාමා පරිපාලනය ”රතු රේඛාවෙන්” පසුබැසීම සම්බන්ධයෙන් විදේශ පිලිවෙත් සංස්ථාපිතය තුල කටුක ප‍්‍රතිචෝදනා පවතී. එයින් කුමන ව්‍යසනයක් මුදා හැරිය ද, මිලිටරි මැදිහත් වීමක් එක්සත් ජනපද උත්සුකයන්ගේ පැත්තෙන් වඩා හොඳ විය හැකි ව තිබුනු බව සිතන බොහෝ දෙනා මේ කව තුල සිටිති.

”අරාබි ලෝකයෙහි ආරාවුල් සහගත වසර ගනනාවකට” පසු එක්සත් ජනපදය ”වඩා ශක්තිමත් ඉරානයකට” මුහුන දෙන බවට අනතුරු ඇඟවූ වොෂින්ටන් පෝස්ට්හි සඳුදා පල කෙරුනු ලිපියක්, දැන් වොෂින්ටනය මුහුන පා සිටින තත්වය දැඩි වචනවලින් මෙසේ විස්තර කලේ ය:

”ජනාධිපති බෂර් අල්-අසාද්ගේ තන්ත‍්‍රයේ පැවැත්ම සහතික කරනු පිනිස ඉරානය හා රුසියාව එක්ව සටන් කර ඇති අතර දැන් ඔවුහු තුර්කිය සමග සන්ධානගත වෙමින් එක්සත් ජනපදයට භූමිකාවක් නොමැති සාම ගිවිසුමක් ඇති කරගැනීමට වෑයම් කරති. ඇමරිකාවට රටේ ඊසානදිග කුර්දිවරුන් හැරුනු විට ඉතිරි ව ඇත්තේ මිතුරන් ස්වල්ප දෙනෙකුත්, අඩු ආධිපත්‍යයකුත් පමනි.

”රුසියාව, සිරියාවට ඉහල අහස පාලනය කරන අතර තුර්කිය කැරලිකරුවන් මත අධිකාරය උසුලන නමුදු ඉරානය භූමියෙහි බලය රඳවාගෙන සිටී...”

පූටින්ට ”ගරු කිරීම” පිලිබඳ, සිරියාව තුල අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි ව රුසියාව සමග සහකි‍්‍රයාකාරීත්වයකට එලඹීම පිලිබඳ හා සම්බාධක ලිහිල් කිරීම පිලිබඳ කතාබහ, ඩිමොක‍්‍රටිකයින් යෝජනා කර ඇති පරිදි ක්‍රෙම්ලිනය ට‍්‍රම්ප් මත ගෙනයන කිසියම් අබිරහස් පාලනයක් පිලිබඳ සාක්ෂි නො වේ. ඒ වෙනුවට එය, චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයන් තියුනු අන්දමින් ව්‍යාප්ත කරන අතර, මැද පෙරදිග නව යුද්ධයක් සඳහා පාර කපාගැනීම සඳහා රුසියාව ඉරානයෙන් සූරා ඉවත් කරගැනීමේ නිශ්චිත මූලෝපායක කොටසකි.

නම් නොකෙරුනු පරිපාලන නිලධාරීන් උපුටා දක්වමින්, සඳුදා වෝල් ස්ට්‍රීට් ජර්නල් මේ පිලිවෙත විස්තර කලේ ය: ”පරිපාලනය, ඉරානය සමග රුසියාවේ මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික සන්ධානය බිඳදැමීමේ මාර්ග ගවේෂනය කරමින් සිටී. ඉස්මතු වෙමින් පවතින මූලෝපාය තැත් කරන්නේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සම්බන්ධතා වැඩිදියුනු කිරීමට හා ඉරානයෙහි මිලිටරි එලඹුමට ආක‍්‍රමනකාරී ව අභියෝග කිරීමට ජනාධිපති ට‍්‍රම්ප් දී ඇති, බැලූ බැල්මට පරස්පර විරෝධී, ප‍්‍රතිඥාවන් එකිනෙක සමාදාන කිරීමට ය.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ ශිෂ්‍යයකු හා ප‍්‍රශංසා කරන්නකු වන ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ධවල මන්දිර මූලෝපායඥ හා උපදේශක ස්ටීවන් බැනන්, ට‍්‍රම්ප් පරිපාලනය මොස්කව් වෙත හැරීම නිසැක ව ම දකිනු ඇත්තේ, අවසානයේ සෝවියට් ජීවිත මිලියන 20ක් බිලිගත් දෙවැනි ලෝක යුද්ධයට වේදිකාව සැකසූ ස්ටැලින්-හිට්ලර් ගිවිසුම පිලිබඳ ඓතිහාසික ප්‍රිස්මය තුලිනි.

පූටින්ගේ ආන්ඩුව මෙවැනි පියවරවලට පහසුවෙන් හසු වන සුලූ ය. ස්ටැලින් විසින් නායකත්වය දෙනු ලැබූ ප‍්‍රති විප්ලවවාදී නිලධරයට තිබූ සියලු මුග්ධකම්, පසුගාමීත්වයන් හා දුරදිග නොබැලීම් එය සතු ව ද තිබේ. පූටින් සිටින්නේ රාජ්‍ය දේපොල කොල්ල කෑම හා පැරනි සෝවියට් සංගමයේ සම්පත් උදුරාගැනීම හා විකිනීම මගින් පොහොසත් වූ කතිපයාධිකාරී කෑදර කල්ලි නියෝජනය කරන තන්ත‍්‍රයක් මුදුනෙහි ය. ඔවුහු තමන්ට රුසියානු කම්කරු පන්තියේ වියදමින් ධන සමුච්චනය වේගවත් කල හැකි පරිදි එක්සත් ජනපද සම්බාධක ඉවත් කෙරෙනු දැකීමේ උත්සුකයෙන් පසුවෙති.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල හා වොෂින්ටනයේ පුලුල් මිලිටරි හා ඔත්තු සේවා ව්‍යූහයන් තුල, ට‍්‍රම්ප්ගේ විදෙස් පිලිවෙතෙහි හැරීම කෙරෙහි තියුනු විරෝධයක් පවතී. යුක්රේනය තුල කුමන්ත‍්‍රනයේ සිට රුසියාවේ බටහිර දේශසීමාවෙහි දහස් ගනනින් එක්සත් ජනපද හා නේටෝ හමුදා රැඳවීම දක්වා, රුසියාවට එරෙහි පෙල ගැසීමෙහිලා දැවැන්ත දේශපාලන, මිලිටරි හා මූල්‍යතම සම්පත් ආයෝජනය කරනු ලැබ තිබේ. අධිරාජ්‍යවාදී මූලෝපායෙහි වෙනස් වීමක් යනු ඉවබව නැති වූ ද බරපතල අනතුරු මතු කරන්නා වූ ද එකක් බවට පාලක කව තුල සංවේගයක් පවතී.

මහජන අවධානය හා කෝපය මුස්ලිම් ජනයා හා සංක‍්‍රමනිකයන් මත තහංචි පනවමින් ද, දකුනු දේශ සීමාවෙහි ප‍්‍රාකාරයක් ඉදි කිරීමට නියෝග කරමින් ද, ලේඛනගත නොකෙරුනු සංක‍්‍රමනික කම්කරුවන්ට එරෙහි පුලුල් දැල් එලීමක් සඳහා පදනම් දමමින් ද නිකුත් කෙරුනු ට‍්‍රම්ප්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධායක නියෝග වෙත යොමු වී පවතින අතර, පාලක පන්තිය තුල ගෝලීය අධිරාජ්‍යවාදී මූලෝපාය සම්බන්ධයෙන් බැරෑරුම් සටනක් කෙරීගෙන යමින් තිබේ.

ප‍්‍රතිපත්ති පිලිබඳ මේ සටන වූ කලි, එක්සත් ජනපද බැංකු හා බහුජාතික සමාගම්වල ලාභ අවශ්‍යතා ඉටු කිරීමේ අරමුනින් එක්සත් ජනපද මිලිටරිවාදය ව්‍යාප්ත කිරීමට කැප වී ගත් මිනීමරු කල්ලි දෙකක් අතර සිදු වන්නකි. එයින් කුමන කල්ලිය ජයග‍්‍රහනය කල ද සිදු වන්නේ ගෝලීය ධනවාදයේ අර්බුදය තුල මුල් බැස පවතින ලෝක යුද තර්ජනය ඉහල යාම පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: