ට‍්‍රම්ප් බලයට පත්වීම හා යුරෝපා සංගමයේ අර්බුදය

The election of Trump and the crisis of the European Union

2017 පෙබරවාරි 10

යුරෝපීය සංගමයට පදනම දැමූ රෝම ගිවිසුමේ හැටවන සංවත්සරය, මෙම මාර්තු මාසයේ දී රෝමයේ දී සමරනු ඇත. මෙම සංවත්සරය 1989 ඔක්තෝබර් මස නැගෙනහිර බර්ලිනයේ දී අලංකාරවත් ලෙස සමරන ලද ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාන්ඩුවේ (ජීඩීආර්) 40වැනි සංවත්සරය සිහිගන්වයි. යන්තම් සති කීපයකට පසු ජීඩීආර් ඇද වැටුනි. ඒ ආකාරයෙන්ම, යුරෝපා සංගමය ද අසාධ්‍ය අර්බුයක පැටලී ඇත. රෝම ගිවිසුම තුලින් ජය ගෙන ඇතැ යි සිතූ සියලු ආතතීන්, ගැටුම් හා ප‍්‍රතිඝතිතා නැවත වතාවක් මතුවෙමින් තිබේ.

ජනාධිපති ට‍්‍රම්ප් විසින් රුදුරු ලෙස යුරෝපීය සංගමය හෙලාදැකීම― ඔහුගේ එකටෙක කිරීමේ තීරු බදු තර්ජන, යුරෝපයේ වියදමින් රුසියාව සමග මිතුරුකම් ගොඩනැගීමට ඉඩ ඇතැ යි ඔහු කරන ඉඟිය, යුරෝපයේ දක්ෂිනාංශික අන්තවාදීන් සමග ඔහුගේ ප‍්‍රධාන මූලෝපායඥයා වන ස්ටීවන් බැනන්ට ඇති සම්බන්ධකම් ―පැහැදිලි කර ඇත්තේ, අතීතයේ දී යුරෝපීය පැවත්මේ මූලික පූර්වාවශ්‍යතාව වූ එක්සත් ජනපද සහාය මත, තව දුරටත් යුරෝපා සංගමයට ම පදනම් විය නොහැකි බව යි.

2003දී ඉරාක යුද්ධය ගැන සාකච්ඡා කිරීමේ දී, ලෝසවෙඅ පැහැදිලි කලේ, පශ්චාත් යුද පර්යාය ”සත්‍ය වසයෙන් ම ඓතිහාසික සම්මතයෙන් වෙන්වී යාමක්” වූ බව යි. ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ සඳහන් කලේ ය, ”ප‍්‍රධාන බලවතෙකු ලෙස තරමක් ප‍්‍රමාද වී මතුවීම තුල මුල් බැස ගැනුනු ඇමරිකානු ධනවාදයේ වඩාත් මූලික ප‍්‍රවනතාව, යුරෝපයේ වියදමෙන් තම ලෝක තත්වය ශක්තිමත් කර ගැනීම ට හැරීමයි.” මෙම විශ්ලේෂනය දැන් තහවුරු කෙරී ඇත. යුරෝපා සංගමය පිලිබඳ ට‍්‍රම්ප්ගේ ආස්ථානය, දීර්ග කාලයක් තිස්සේ ඉදිරියට ඇදී ගිය වර්ධනයක තියුනු හා ඉහලම ප‍්‍රකාශනය පමනි.

ගැඹුරුවන ආතතීන් පෙන්නුම් කරමින් ධවල මන්දිරය, එක්සත් ජනපදයේ ආර්ථික පසමිතුරෙකු ලෙස ජර්මනියට සලකා ඇත. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජාතික වෙලඳ කවුන්සිලයේ ප‍්‍රධානී පීටර් නවාරෝ, ජර්මනිය මූල්‍ය මගඩිකාරයෙකු යයි ප‍්‍රකාශ කිරීම තරම් දුර ගියේ ය. යුරෝව ”අධික ලෙස අවප‍්‍රමාන කෙරුනු” අතර ”එය ඩොයිෂ් මාර්ක්” එකකට සමාන වූ බවත්, එහි පහල අගය, ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍ර ය පැවසූ පරිදි, ”තම ප‍්‍රධාන වෙලඳ හවුල්කරුවන්ට ඉහලින් ජර්මනියට වාසි ලබා දුන්” බවත් ඔහු පැවසී ය.

”ඒවා ලෝක වෙලඳපොල තුල නියම ආකාරයෙන් ස්ථානගතව ඇතුවාක් මෙන් ම අලුත් පන්නයේ නිෂ්පාදන සමග විශ්වාසවන්තව වැඩ කරන නිසා ජර්මානු සමාගම් තරඟකාරී” යැයි පවසමින්, මේ සතිය මුල දී ජර්මනියේ බුන්ඩෙස්බෑන්ක් ප‍්‍රධානී ජෙන්ස් වීඩ්මාන් පෙරලා පහර දුන්නේය.

බර්ලිනය ආර්ථික හා මිලිටරි ප‍්‍රතිපියවර මගින් වොෂින්ටනයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, තමන්ගේ ම අධිපති අරමුනු පිටුපස යුරෝපය එක්සත් කිරීමට උත්සාහ ගනිමිනි.

ඩයි ෂේයිට් නම් ජර්මානු සතිපතා පත‍්‍ර ය ”ප‍්‍රතිප‍්‍රහාර” නමින් වාර්තාවක් ප‍්‍රසිද්ධ කල අතර එය ප‍්‍රකාශ කරන්නේ, යුසං ”එක්සත් ජනපදයට එරෙහිව වෙලඳ යුද්ධය සඳහා සූදානම්වීම” අරඹා ඇති බව යි. ”එකටෙක කිරීමේ පියවර සමග දන්ඩනීය ඇමරිකානු තීරු බදුවලට ප‍්‍රතිචාර දැක්වීමට” එය සැලැසුම් කරන අතර මෙක්සිකෝව හා ආසියානු රටවල් කීපයක් සමග නිදහස් වෙලඳ ගිවිසුම් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වෙයි. ”ඇමරිකාව තමන් විසින් ම හුදකලා වන තැන්වලදී ඒ වෙනුවට යුරෝපියානුවන්, විවෘත විය යුතු ය” එය පැවසී ය.

වොෂින්ටනයේ තර්ජන සහ එක්සත් ජනපදය හා රුසියාව අතර වඩා කිට්ටු සම්බන්ධතාවන් ඇතිවීමේ හැකියාව ප‍්‍රයෝජනයට ගැනීමට බර්ලිනය සූදානම් වෙමින් සිටින්නේ, තමන්ගේ ම ආධිපත්‍යය යටතට යුරෝපය ගෙන ඒමට ය. කාලයක් තිස්සේ, බ්‍රික්සිට් හා ට‍්‍රම්ප් පත් කර ගැනීම හුදෙක් අනතුරකට වඩා ලැබී ඇති අවස්ථාවන් ලෙස පින්තාරු කෙරෙන සාකච්ඡා ජර්මානු මාධ්‍ය තුල කෙරී ගෙන ගොස් ඇත.

මෙම සතියේ දී ඉවත්ව යන ජර්මානු ජනාධිපති ජෝකිම් ගෝක්, මස්ට්‍රිච්ට් ගිවිසුමේ විසිපස්වැනි සංවත්සරයේ දී පැවත් වූ කතාවක දී මෙසේ පැවසී ය,”යුරෝපීය රටවලට හා විශේෂයෙන් ම වසර ගනනාවක් තිස්සේ එක්සත් ජනපදයෙන් නායකත්වය බලාපොරොත්තුවූ ජර්මනියට, වඩාත් ආත්ම විශ්වාසය ඇති කර ගැනීමට හා ස්වාධීන වීමට අවස්ථාව පැමින ඇත. යුරෝපීය ව්‍යාපෘතිය පදනම් කෙරුනු වටිනාකම් අතහැර දැමීම” අවශ්‍ය නොවන බව නරුම ලෙස අවධාරනය කල ඔහු ”තම ආරක්ෂක හැකියාවන් වැඩි කර ගන්නා ලෙස” යුරෝපයෙන් ඉල්ලා සිටියේ ය.

දෙවැනි ලෝක යුද්ධයේ දී ලත් පරාජයෙන් දශක හතකට පසු, යුරෝපය මත නැවත වතාවක් ආධිපත්‍යය ගැනීමේ ජර්මානු උත්සාහය, ජාතික ආතතීන් උත්සන්න කරමින් ද දක්ෂිනාංශික ජාතිකවාදී බලවේගයන්ට දේශපාලන පෝෂනය සපයමින් ද සිටී.

යුරෝපීය රටවල් වැඩි ගනනක පාලක පන්තිය මෙම ප‍්‍රශ්නය මත භේදභින්නව සිටී. ප‍්‍රන්සයේ දී, අන්ත දක්ෂිනාංශික ජනාධිපති අපේක්ෂිකා ල පෙන් ප‍්‍රන්සය යුරෝපා සංගමයෙන් ඉවත් වීම මෙන් ම ට‍්‍රම්ප් හා පුටින් වෙතට නැඹුරුවීම ද ඉල්ලා සිටින අතර, මැතිවරනයේ දී ඇගේ විරුද්ධවාදියා විය හැකි එමානුවෙල් මාර්කොන් අවධාරනය කරන්නේ නිසැකයෙන් ම ජර්මානු- යුරෝ සංගම් මිත‍්‍ර මාවතකි.

කෙසේ නමුත් යුරෝපා සංගමය තුල අර්බුදයේ අතිමූලික හේතුව, ට‍්‍රම්ප්ගේ පත්වීම තුල සොයා ගත නො හැක. එක්සත් ජනපද මැතිවරනයට පෙර පවා යුසං එහි මුලු ඉතිහාසයේ ගැඹුරුම අර්බුදයට මුහුනපා තිබුනි. බ්‍රික්සිට්, යුරෝපා අර්බුදය, ජාතික නය, සරනාගත අර්බුදය, නැගෙනහිර හා බටහිර සහ උතුර හා දකුන අතර ආතතීන්, මෙන් ම දක්ෂිනාංශික ස්වෝත්තමවාදී පක්ෂවල නැගීම, යුරෝපය කෑලිවලට ඩීමට තර්ජනය කලේ ය.

ඒ අතර මතු පිටට යටින් පිපිරෙනසුලු සමාජ ආතතීන් වර්ධනය වෙමින් තිබේ. යුරෝපයේ පුද්ගලයන් දහදෙනෙකුගෙන් එක් අයෙකු රැකියා විරහිත ය, එමෙන් ම හතර දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රාපන්න ය, නැතහොත් සමාජමය වසයෙන් කොන් කෙරේ. නැගෙනහිර යුරෝපයේ දුප්පත් ම රටවල, සාමාන්‍ය වාර්ෂික ආදායම යුරෝ 400ක් පමනි. වඩා පොහොසත් රටවල පවා පුද්ගලයෝ මිලියන ගනනාවක් දුගීබවේ අද්දර අඩමාන කොන්දේසි යටතේ වැඩ කරති.

පාලක පන්තිය මෙම අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ මිලටරීකරනය, රාජ්‍යය ශක්තිමත් කිරීම හා සන්නද්ධ කිරීම, දේශසීමා වසා දැමීම හා ඉවරයක් නැති කප්පාදු පියවර පැටවීමෙනි. යුරෝපීය කම්කරු පන්තිය අනතුරු දෙදකට මුහුන දෙයි, මේවා සැබවින් ම එකම කාසියේ දෙපැත්ත යි. පලමුව, එය මුහුන දෙන්නේ ආර්ථික සංගමයක සිට මිලිටරි සංගමයකට යුසං පරිවර්තනය කිරීමට ය. අභ්‍යන්තර සමාජ හා දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා එය සන්ද්ධ වෙමින් සිටියි. උදාහරන වසයෙන්, ප‍්‍රන්සය මාස 15ක් තිස්සේ හදිසිනීති තත්වය යටතේ පැවතීම දැක්විය හැක. දෙවනුව, එය මුහුන දෙන්නේ දක්ෂිනාංශික ඒකාධිපතිවාදී තන්ත‍්‍ර යටතේ යුරෝපය ජාතික රාජ්‍ය වලට කැබිලිවීම ට ය. මෙම මාවත් දෙකේ ම අර්ථය වන්නේ යුද්ධයට හා ම්ලේච්ඡත්වයට ඇද වැටීම යි.

කෙසේ නමුත් ට‍්‍රම්ප්ගේ නැගීම හා යුරෝපා සංගමයේ අර්බුදය තුල තියුනු ලෙස ප‍්‍රකාශ වන ධනවාදයේ ලෝක පරිමාන අර්බුදය, විසිවැනි සියවසේ විනාශයන්ගේ පුනරාවර්තනය වැලක්විය හැකි එකම සමාජ බලවේගය වන, කම්කරු පන්තියේ ප‍්‍රහාරයක් සඳහා වෛෂයික පූර්ව කොන්දේසි ද නිර්මානය කර යි.

යුරෝපීය ඒකබද්ධතාව සඳහා එකම ප‍්‍රගතිශීලී පදනම වන්නේ, සමාජවාදී එක්සත් යුරෝපීය සමූහාන්ඩුවක් සඳහා වන ක්‍රියාමාර්ගය යි. යුද්ධය, ජාතිකත්වය හා සමාජ අසමානතාවට එරෙහිව සාර්ථක අරගලයක් ගෙන යාමට කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත පාලක පන්තියේ සියලු නියෝජිතයන්ට විරුද්ධ වන ස්වාධීන, විප්ලවවාදී නායකත්වයකි. මෙම නායකත්වය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි.

පීටර් ස්වාෂ් විසිනි

Share this article: