ට‍්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡාව තුල ප‍්‍රකාශිත පාලක පැලැන්තියේ බිහිසුනු ගැටුම

The Trump press conference: A ferocious conflict within the ruling elite

2017 පෙබරවාරි 17

16දා පස්වරුවේ ට‍්‍රම්ප් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව අසාමාන්‍ය මෙන් ම පෙර නො වූ විරූ එකක් විය. මිනිත්තු 75ට වඩා වැඩි කාලයක් තිස්සේ එක්සත් ජනපද ජනාධිපති, මාධ්‍යවේදීන්ට අපහාස කල, නැතහොත් මාධ්‍ය තුල ඔහු මුහුනපා සිටින කටුක ගැටුම්වල පැටලුනු සාකච්ඡාව, විකාර සහගත ය. එය, නූතන ඇමරිකානු ඉතිහාසයේ මීට පෙර, නැතහොත් වෝටර්ගේට් අර්බුදයේ උච්ච අවස්ථාවේ දී පවා, නොදුටු ආකාරයේ එකකි.

එවැනි විකාරයක් දකින විට, එහි තර්කාන්විත අන්තර්ගතය, එය යටින් පවත්නා දේශපාලන ගතිකය අනාවරය කර ගැනීම හැමවිටම අවශ්‍ය වන්නේ ය. කෙසේ වෙතත් මාධ්‍ය සමුලුව, එක්සත් ජනපදය යුද්ධය දෙසට තල්ලුවීමත් සමග විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තිය තුල ඇති වී තිබෙන බිහිසුනු ගැටුම ප‍්‍රකාශයට පත් කලේය.

සමුලුව මුලින් කැඳවන ලද්දේ කම්කරු ලේකම් වසයෙන් ට‍්‍රම්ප්ගේ අලුත් තේරීම නිවේදනය කිරීමට වුවත්, එයට ගත වූයේ මිනිත්තුවක් පමනි. ට‍්‍රම්ප් සාකච්ඡාව ආරම්භ කලේ ඔහුගේ දිවුරුම් දීමේ දින සිට කර තිබෙන දේවල් ගැන හෑල්ලක් පැවසීමටය. එය වැඩි වසයෙන් යොමු කෙරුනේ සහාය සඳහා පාලක ප‍්‍රභූවට ආයාචනා කිරීමට ය. කොටස් වෙලඳපොල “වාර්තාගත අගයන්ට ලඟා වී” ඇත, සංගත නියාමනයන් තුරන් කෙරෙමින් පවතී, සංක‍්‍රමනිකයන් පිටුවහල් කෙරෙමින් තිබේ. අනෙකුත් දක්ෂිනාංශික පියවරයන් අතර ට‍්‍රම්ප් එක්සත් ජනපද මිලිටරියේ “දැවන්ත යලි ශක්තිමත් කිරීමක්” නියෝග කර ඇත.

එනමුදු, එක්සත් ජනපද ඔත්තු සංවිධාන විසින් හසුරුවන මාධ්‍යවල ප‍්‍රශ්න මුලුමනින් ම වගේ යොමු කෙරුනේ, රුසියාව සමග ට‍්‍රම්ප් පාලානාධිකාරයේ සම්බන්ධකම් මෙන් ම රුසියානු තානාපති සමග පූර්වයෙන් පවත්වා ඇති දුරකතන සාකච්ඡාව හේතුවෙන්, මෙම සතිය මුල ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ගේ අමුතු ආකාරයක ඉල්ලා අස්වීම පිටුපස පවතින කරුනු සම්බන්ධයෙනි.

බැන වදිමින් ප‍්‍රතිචාර දැක් වූ ට‍්‍රම්ප් මාධ්‍යයට සලකන ලද්දේ, කුමන පක්ෂය ධවල මන්දිරය හෝ කොංග‍්‍රසයේ බහුතරය පාලනය කරන්නේ ද යන්න නො සලකා, හැබෑවට ම ආන්ඩුව ගෙනයන ස්ථිර මිලිටරි-ඔත්තුසේවා සංවිධානවල බහුතරයෙන් සැදුම්ලත් එක්සත් ජනපද පාලක ප‍්‍රභූව තුල, ඔහුගේ සැබෑ විරුද්ධවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙසට ය. ඔත්තුසේවා ඒජන්සිවල සමහර කොටස් විසින් මාධ්‍ය වෙත, ඔහු නම් කරන පරිදි “නීති විරෝධී රහස් හෙලි කිරීම” ඔහු නොනවත්වා හෙලා දකින ලදී.

මාධ්‍ය වනාහි ඔත්තුසේවා ඒජන්සිවල හොරනෑ යයි ට‍්‍රම්ප් ඍජුව ඒවා හෙලා දුටු අවස්ථාවේ ඔහු වැලක්වීමට කිසිදු උත්සාහයක් නොතිබීම සැලකිය යුතු ය, ― ඔහුගේ කතාව සත්‍ය බව හැමෝ ම දනිති. ඒ අයුරින් ම, ඔහුගේ මැතිවරන උද්ඝෝෂනය හා රුසියානු ඔත්තුසේවා ඒජන්සි අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ඔහු තරයේ කියා සිටි අවස්ථාවේ, ඊට එරෙහිව සාක්ෂි සඳහන් කිරීමට කිසිදු වාර්තාකරුවෙකුට නො හැකි විය.

මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී ලෝකය ම මුහුන දෙන අත්‍යන්ත අන්තරායන් පෙන්වා දෙන විස්මය ජනක අදහස් ගනනාවක් ට‍්‍රම්ප් හෙලි කලේ ය.

කනෙක්ටිකට් වෙරලින් ඔබ්බේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ රුසියානු නැව් සෝදිසි මෙහෙයුම් පැවත්වීම―රුසියානු හා චීන වෙරල ඔබ්බේ එක්සත් ජනපද යුද නැව් මහා පරිමානයෙන් කරන මෙහෙයුම් වැනි ඒවා ― සම්බන්ධයෙන් ඔහු මොනවා කරන්නේ දැ යි ඇසූ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දක්වමින් ට‍්‍රම්ප් මෙසේ පැවසී ය, “මට කල හැකි ලොකු ම දේ නම් වෙරලින් ඔබ්බේ හරියට ම සැතපුම් 30ක මුහුදේ තියෙන නැවකට වෙඩි තැබීම යි. මේ රටේ සෑම අයෙකු ම ‘ආහ්, ඒක නම් ශ්‍රේෂ්ට යි’ කියනු ඇත” ඔහු තවදුරටත් මෙසේ ද පැවසී ය, “මේ දැන් මම රුසියාව සම්බන්ධයෙන් නපුරු වී නම්, හුදෙක් නපුරු වී නම්, මිනිසුන් මෙසේ කියාවි, ඔබ මෙසේ කියාවි, ‘ ඕහ් එය පුදුමාකාර නැද්ද?’.”

රුසියාවට හා එක්සත් ජනපදයට ලෝකයේ විශාල ම න්‍යෂ්ටික අවි ගබඩා තිබීමේ පදනම මත, එවැනි ගැටුමක ගම්‍යයන් ට‍්‍රම්ප් පෙන්වා දුන්නේ ය. “අපි ඉතා බලගතු න්‍යෂ්ටික රටක්, ඔවුනුත් එහෙම යි” ඔහු පැවසී ය. “මට ඉහල උපදෙස් ලැබිල තියෙනවා. උපදෙස් ගැන මට යමක් කිව හැකි යි, න්‍යෂ්ටික හොලෝකෝස්ටයක් කලින් පැවති එකක් මෙන් නොවනු ඇත.” වෙනත් වචනවලින් කියතොත් ඉන් ඇඟවෙන්නේ, කලින් සූදානම් කෙරෙන, රුසියාව සමග විභව න්‍යෂ්ටික යුද්ධයක් සම්බන්ධයෙන් ඇමරිකානු ආන්ඩුව තුල ඉහල ම මට්ටමින් සාකච්ඡා ඉදිරියට යමින් ඇති බව යි.

ඔහු කියන පරිදි රුසියානු “ප‍්‍රකෝපකිරීම්” මාලාවකට ― වැඩි වසයෙන් රුසියානු දේශසීමා ඔස්සේ එක්සත් ජනපද හා නේටෝ යුද අභ්‍යාස පැවැත්වීම තුලින් උසිගන්වා තිබෙන සිදුවීම්වලින් සමන්විත ― එක්සත් ජනපද ආන්ඩුව ප‍්‍රතිචාර නො දක්වන්නේ මන්දැ යි එක් වාර්තාකරුවෙකු ප‍්‍රශ්න කල විට, ට‍්‍රම්ප් මෙසේ උත්තර දුන්නේ ය, “මම දක්වන්නේ කුමන ප‍්‍රතිචාරයක් ද යන්න ගැන කිසිදෙයක් කීමට මම සූදානම් නෑ. මිලිටරි ප‍්‍රතිචාර ගැන මම කතා කරන්නේ නෑ.”

හෙතෙම මෙම තේමාව විස්තර කලේ, ඉරාකය, උතුරු කොරියාව, ඉරානය හෝ වෙනත් තැනක මිලිටරි මෙහෙයුම් ගැන කතා කරන්නේ නැති බව ප‍්‍රකාශ කරමිනි. “ඔබ දන්නවා ඇයි කියලා. ඒවා දැන නො ගත යුතු යි. අන්තිමේ දී, ඒ ප‍්‍රශ්නය අහලා ඔබලා වෙහෙසට පත් වෙනවා විතර යි.”

2013දී සිරියාව තුල සෘජු මිලිටරි මැදිහත්වීමක් නොකර ජනාධිපති ඔබාමා පසුබා යෑම සම්බන්ධයෙන් මිලිටරි-ඔත්තුසේවා තුල පවතින නොසතුට මධ්‍යයේ, එරට ජනාධිපති බෂර් අල්-අසාද්ගේ ආන්ඩුවට විරුද්ධව ඔබාමාගේ ඊනියා “රතු ඉර” බලාත්මක කිරීමට අසමත් වූ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූව අතර එවැනි ගැටුම් සාමාන්‍යයෙන් නිමා කෙරෙන්නේ රහසෙනි.

කෙසේ නමුත්, මෙම අවස්ථාවේ දී ගැටුම විවෘතව පුපුරා ඇත. එක්සත් ජනපද රාජ්‍ය සංවිධාන තුල විවාදය ගෙන ඇති විශේෂ රූපාකාරය හැරනු කොට, එය සමස්ත ධනේශ්වර පර්යාය යටින් පවතින අර්බුදයේ ප‍්‍රකාශනයකි. වසර විසිපහක අවසානයක් නැති යුද්ධය අත්‍යන්ත වේගයකින් ඇදී යන්නේ, ජාතික රාජ්‍ය පැටලෙන දැවැන්ත ගැටුමක් කරා ය. ජාතික ආරක්ෂක සඟරා පිරී ඇත්තේ රුසියාව සමග යුද්ධය ගැන විවෘත සාකච්ඡා වලිනි. ඒවායේ ප‍්‍රශ්නය වන්නේ ඇතිවේ ද යන්න නො ව, කවදා ද කෙසේ ඇතිවේ ද යන්න යි. අනෙක් අතට, ට‍්‍රම්ප් ඔහුගේ අවධානය යොමු කර ඇත්තේ චීනය මත ය. දෙකෙන් කොයික නමුත්, ප‍්‍රතිවිපාක නොමිනිය හැකි වනු ඇත.

ඇතැම් විට කැපී පෙනෙන කාරනය, ඇමරිකානු ජනගහනයේ අති විශාල බහුතරයේ මනෝගතීන් හා උත්සුකයන් වෙතින් මුලු මාධ්‍ය සමුලුවම කොතරම් දුරස්ත වී ද යන්න යි. සංක‍්‍රමනික කම්කරුවන්ට එරෙහිව ට‍්‍රම්ප්ගේ යුද්ධය හෝ සංක‍්‍රමනිකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ජාතික පරිමාන විරෝධතාවන් ගැන සැබවින් ම මාධ්‍ය හමුව තුල ප‍්‍රශ්න නොකෙරුනි.

ට‍්‍රම්ප් දිව්රුම් දීමේ සිට පිපිරී ඇති මහජන විරෝධතාවන්ට සහභාගීවන අය පොලඹවනු ලබන්නේ, රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ අභිලාශයෙන් නොව, ට‍්‍රම්ප්ගේ ඒකාධිපති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රතිපත්ති හා ඔහු අටවා ඇති කතිපයාධිකාරී ආන්ඩුව කෙරෙහි වෛරයෙනි.

කෙසේ නමුත්, පොහොසතුන්ගේ හා සංගතවල බදු පහත හෙලීම, සංගත පිලිබඳව පවත්වාගෙන යන නියාමනය ඉවත් කිරීම හා සංක‍්‍රමනිකයන්ට වධදීම සතුටින් පිලිගන්නා නමුත් ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය තුල ට‍්‍රම්ප්ගේ විවේචකයින් ප‍්‍රතිචාර දක්වන්නේ, ට‍්‍රම්ප්ගේ අන්ත දක්ෂිනාංශක දේශීය ප‍්‍රතිපත්ති පිලිබඳව නොව, රුසියාව සමග හොඳ හිත පිලිබඳ මවාපැම් නො ඉවසිය හැකි යයි සලකන එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ කන්ඩායම්වලට ය.

ට‍්‍රම්ප් බිලියනපතියන්, හිටපු ජනරාල්වරුන් හා දක්ෂිනාංශික උන්මන්තකයින්ගේ ආමාත්‍ය මන්ඩලයක් අටවා, ප‍්‍රතිගාමී හා ව්‍යවස්ථා විරෝධී විධායක නියෝග ගනනාවක් නිකුත් කර ඇත. ඩිමොක‍්‍රටිකයන් ඒවා සමග අත්වැල් බැඳගෙන ඇත. රුසියාව සම්බන්ධයෙන් මෘදු වන බවට ට‍්‍රම්ප්ට පහර දෙමින් ඔවුන් යෙදී සිටින්නේ, මැකාර්තිවාදයට වඩා වැඩි දෙයක් නොවන ම්ලේච්ඡ දඩයමක ය.

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවන කන්ඩායමක් ඇමරිකානු පාලක පන්තිය තුල නොමැත. යුද්ධය නතර කිරීමේ අරගලය තුල, පාලක ප‍්‍රභූවේ කන්ඩායම් දෙකේ, එනම් ට‍්‍රම්ප් සහ සීඅයිඒ, මාධ්‍ය හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ පෙලගැසීමට විරුද්ධවෙමින්, ස්වාධීනව මැදිහත්වීම කම්කරු පන්තියට බාර ය.

පැට්රික් මාටින්

Share this article: