බැඳුම්කර වංචාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ම දුෂිතබව හා කුනුවීම එලිමහනට ගෙනෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 පෙබරවාරි 5

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ මහජන ව්‍යවසාය පිලිබඳ පාර්ලිමේන්තු කමිටු (කෝප්) වාර්තාව ගැන ජනවාරි 24 වෙනිදා පැවති පාර්ලිමේන්තු විවාදය, දූෂනය හා වංචාව පිටු දකින හා මහජන දේපල හා ධනය කොල්ල කෑමට වැට බඳින, අව්‍යාජ සාකච්ඡාවක් වනු ඇතැයි යන විශ්වාසය හිතන මතන කිසිවෙකුට තිබෙන්නට නැත. පාර්ලිමේන්තුව අරක් ගෙන සිටින ආන්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතියන්ගේ ගඳ ගසන වාර්තා ගැන නොදන්නා අයෙකු නැති තරම්ය.

මෙම දැවැන්ත මුදල් මගඩියට සෘජුව වගකිවයුත්තා ලෙස සැලකෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බැංකුකරුවෙකු හා මහ ධනපතියෙකු වන අතර අගමැති වික‍්‍රමසිංහගේ සමීප හිතවතෙකි. ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. සෝලියට සම්බන්ධ බැඳුම්කර මිල දී ගෙන ඇත්තේ මහේන්ද්‍රන් ගේ බෑනා කෙනෙකු වන අර්ජුන් ඇලෝසියස් ට අයිති පර්පෙචුවල් ට්‍රෙසරි සමාගමය.

අදාල බැඳුම්කර නිකුතුව සම්බන්ධව රජයේ විගනකාධිපති කෝප් කමිටුවට සපයා ඇති වාර්තාවට අනුව මෙහිදී මහා මූල්‍ය වංචාවක් සිදු වී ඇත. පර්පෙචුවල් සමාගම රුපියල් බිලියන 227 බැඳුම්කර මහා බැංකුවෙන් මිල දී ගෙන ඇති අතර ඉන් සියයට 95 ක් ම අර්ථසාධක අරමුදල විසින් ප‍්‍රති මිල දී ගෙන ඇත, අර්ථසාධක අරමුදලේ භාරකාරත්වය පවතින්නේ මහා බැංකුව අතය. ඉන් අර්ථසාධක අරමුදලට සිදු වූ අලාභය රුපියල් බිලියන 14.9 කි. පර්පෙචුවල් ට්‍රෙසරි සමාගම ලැබූ ලාබය රුපියල් මිලියන 13,000 කි. බැඳුම්කර නිකුතුව සම්බන්ද රහස් තොරතුරු ගනුදෙනුකාර සමාගමට ලබාදුන්න බවට ද චෝදනා එල්ල වී ඇත. විවාදය තුල දී හෙලිදරව් වූ ආකාරයට පර්පෙචුවල් සමාගමේ වත්කම් රුපියල් මිලියන 310 සිට බිලියන 23 දක්වා 2015 හා 2016 යන දෙවසර තුල වර්ධනය වී ඇත. එය අඩුමිලට බැඳුම්කර මිල දී ගෙන වැඩි මිලට අලෙවි කිරීමෙන් මුදල් වෙලඳපල තුල සූදුකෙලීමක ප‍්‍රතිපලයකි.

විවාදය වනාහි, හුදෙක් ම වංචාව, දූෂනය හා හොරකම ධනපති පන්ති පාලනය තුල මුල් බැස ගත් හා ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල ඔඩු දුවමින් පවතින ජාත්‍යන්තර පරිමාන පිලිලයක් බව මහ ජනතාවගෙන් වසන් කිරීමේ ප‍්‍රසිද්ධ රංගනයකි. මෙම රංගනය තුල සිදු වී ඇත්තේ ආන්ඩු පක්ෂය සහ විපක්ෂය, වංචාව සහ දූෂනය ගැන එකිනෙකාට චෝදනා කර ගැනීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බැඳුම්කර වංචාව ගැන නීතිමය පියවර ගෙන වරදකරුවන්ට දඬුවම් දීමට අසමත්වීම ගැන මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවට චෝදනා කලේය. රාජපක්ෂගේ පාලන කාලය තුල හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් සහ එහි මැති ඇමතියන් කල දූෂන වංචා ගැන ආන්ඩු පක්ෂය ප‍්‍රතිචෝදනා එල්ල කලේ ය.

මහ බැංකු මුදල් වංචාව ශ්‍රී ලංකාවේ ”දැවැන්තම” බැංකු මංකොල්ලය බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමේ සාමාජිකයෙකු වන බන්දුල ගුනවර්ධන කීවේය. මහා බැංකුවෙන් ලබාදුන් ”මිල සංවේදී අභ්‍යන්තර තොරතුරු” මත පාදකව මුදල් වෙලඳපොලේ පොලීරේට්ටු සියයට 9.5 සිට 12.5 දක්වා පැය කිහිපයක් තුල ගිය බවත් එය මහා බැංකු අධිපති සහ ඔහුගේ බෑනාගේ කුමන්ත‍්‍රනයක් බවත් ඔහු කීවේය. හම්බන්තොට මන්ත්‍රී නාමල් රාජපක්ෂ ”හැකිනම් අර්ජුන ඇලෝසියස් අත්අඩංගුවට ගන්නා” ලෙස ආන්ඩුවට ”අභියෝග” කලේය.

ඒකාබද්ධ විපක්ෂය එල්ල කල චෝදනාවලට ප‍්‍රතිචෝදනා එල්ල කරමින් ආන්ඩුපක්ෂයේ මැති ඇමතියෝ ආන්ඩුව ආරක්ෂා කලහ.

එහි පෙරමුනේ ම සිටියේ මුදල් ඇමති රවි කරුනානායකය. දැන් වර්තමාන ආන්ඩුවට චෝදනා කරන්නන් එකල මහා බැංකු අධිපති සමග සිටි ”විහිලුකාරයන්” යැයි ඔහු කීවේය. රාජපක්ෂ පාලනය කාලයේ ග‍්‍රීක බැඳුම්කර සෝලියෙන් රුපියල් බිලියන 2.6 හා හෙජින් ”සූදුවෙන්” සුවිසල් මුදල් ප‍්‍රමානයක් අහිමි වූ බව ප‍්‍රකාශ කල ඔහු පර්පෙචුවල් ගනුදෙනුවෙන් ලැබූ අලාභය හා සැසඳීමේ දී ඒවා නියම අලාභයන් බවත් ප‍්‍රකාශ කරමින් පර්පෙචුවල් ගනුදෙනුව එතරම් ගනන් නොගත යුතු සිල්ලර එකක් ලෙස අඩුතක්සේරු කර පෙන්වීමට උත්සාහ කලේ ය.

”මෙම විවාදයේ දී කතාකල මිනිස්සු හතර දෙනෙක් සිටිය යුත්තේ හිරෙයි. නමුත් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසා ඔවුන් දැන් ලොකුවට කතා කරනවා. ඔවුන් අපට හිරිහැර කල ආකාරයට අපි ඔවුන්ට හිරිහැර කරන්නේ නැතැ” යි ඔහු සපත කලේ ය. ඔහු ඉඟි කලේ නාමල් රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් හතර දෙනෙකි. රාජපක්ෂ පවුලට හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ගනාවකට මූල්‍ය වංචාවන් ඇතුලු විවිධ දූෂන චෝදනා එල්ල වී ඇත. ”ඔවුන් අපිට හිරිහැර කල ආකාරයට අපි ඔවුන්ට හිරිහැර නොකරන” බවට ඔහුගේ සපත කිරීමේ අර්ථය වන්නේ අදාල චෝදනා සම්බන්දයෙන් ඔවුන්ට දඬුවම් නොකරන බවට සහතිකවීමකි.

ආන්ඩුව ”හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට අසමත් වී ඇතැ” යි චෝදනා කල ජවිපෙ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක අනුරකුමාර දිසානායක කෝප් වාර්තාවෙන් චෝදනා කර ඇති අයට ”විරුද්ධව ක්‍රියාකරන” ලෙස කතානායකගෙන් ඉල්ලා සිටියේය. දැන් සුදනන් වීමට හා ”දුෂන විරෝධී සටනේ” කප්පිත්තන් ලෙස පෙනී සිටීමට තටමන ජවිපෙ වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට කරදුන් එක් පාර්ශවයකි. නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වම්මුන්ට සහ පුරවැසි කමිටුව වැනි ඊනියා සිවිල් සංවිධාන වලට මෙන් ම ජවිපෙට ද එය ”දැවැන්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහනයක්” විය. එපමනක් නොව, දිසානායක සිරිසේන ගේ ”දින සියයේ” සැලසුම් කි‍්‍රයාවට දැමීමට පත්කල ජාතික විධායක සභාවේ නියෝජිතයෙකු ද විය. කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති ”පාර්ලිමේන්තුව තුලින් දූෂන විරෝධී සටන ජය ගත් ඓතිහාසික මොහොතක්” ලෙස කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දින සඳහන් කර තිබුනි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයට ගැති ආන්ඩුවක් පිහිටුවීමට බලයට ඒම සඳහා රාජපක්ෂ ආන්ඩුවේ දූෂනය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් කෙරෙහි තිබූ මහජන අප‍්‍රසාදය හා වෛරය සිරිසේන සහ වික‍්‍රමසිංහ යහමින් ගසා කෑවා මිස දූෂනය නැතිකිරීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට බලය ට පත් වුවා නොවේ.

කෝප් කමිටු සභාපතිකමට ප‍්‍රථම වරට විපක්ෂයේ අයෙකු පත් කලේ වර්තමාන ආන්ඩුව බවත් එයින් ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය පෙන්නුම් කරන බවටත් එහි මැති ඇමතියන් කයිවාරු ගසන නමුත් එහි සභාපතිකමට විපක්ෂයේ අයෙකු, විශේෂයෙන් ම අවංකභාවයේ ”ප‍්‍රතිමූර්තියක්” ලෙස පෙනී සිටීමට තතනන ජවිපෙ මන්ත්‍රියෙකු පත් කලේ ද ආන්ඩුවේ දූෂිතකම ගැන වැඩෙන මහජන අප‍්‍රසාදය තුනී කර ගැනීමේ උත්සාහයක් ලෙසය.

කෙසේ නමුත් බැඳුම්කර වංචාවට සම්බන්ධ සමාගමට හා හිටපු මහා බැංකු අධිපති මහේන්ද්‍රන් ඇතුලු ඊට වගකිවයුත්තන් ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි විපක්ෂයට පිලිතුරු දෙමින් වැරදිකරුවන්ට දඬුවම් දීමට බලයක් පාර්ලිමේන්තුවට නැති බවත් එය ”උසාවිය මගින් තීරනය කලයුතු ක්‍රියාවලියක්” බවත් සභානායක හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කලේ ය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කල පෙත්සම් තුනක් අධිකරනය විසින් දැනටමත් ”ඉවත දමා” ඇති බව ද කිරිඇල්ල විපක්ෂයට මතක් කරදුන්නේ වරදකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමක් සිදු නොවන බවට කරන ඉඟියක් ලෙසිනි.

බැඳුම්කර වංචා ගැන පරීක්ෂා කිරීමට ආන්ඩුව පත් කල කමිටුවේ වාර්තාව මහේන්ද්‍රන් වරදකරුවෙකු නොවන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත.

බැඳුම්කර වංචාව ආන්ඩුව කෙරෙහි මහජන අප‍්‍රසාදය අවුලවන සෝලියක් බවට පත් වී ඇති තතු තුල ඒ පිලිබඳව පරීක්ෂා කිරීම සඳහා යලිවතාවක් ”ජනාධිපති කොමිසමක්” ජනාධිපති සිරිසේන විසින් පත්කර තිබේ. එය බැඳුම්කර වංචාව යට ගැසීම සම්බන්ධයෙන් ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අප‍්‍රසාදය සමනය කිරීමේ දේශපාලන උපාමාරුවකි. පාර්ලිමේන්තුවේ ගිය අසික්කිත විවාදය හේතුවෙන් මහජන අප‍්‍රසාදය තව තවත් වැඩි දියුනු වූ බැවින් සිරිසේන සඳහන් කලේ විවාදයෙන් දෙපැත්තම ”නාගත්” බවයි. එහෙත් සිරිසේන මේ නාගත් දෙපැත්ත සමග ම අතීතයේ දී ද, වර්තමානයේ දී ද එකපතේ බුදින්නෙකි.

තමන් බලයට ආ විට බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට දඬුවම් පමුනුවන බවත් වංචාවෙන් උපයා ගත් මුදල් වලින් මිල දී ගෙන ඇති දේපල සියල්ල රාජසන්තක කරන බවත් හිටපු ජනාධිපති රාජපක්ෂ මෑත දී ප‍්‍රකාශ කලේ ය. ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ ආන්ඩුවේ දූෂිත හා ප‍්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් කෙරෙහි වැඩෙන මහජන අප‍්‍රසාදය හා වෛරය දැන් තමන් ගේ දේශපාලන වාසියට ගසා කමින් අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමටය. එවන් ව්‍යාපාරයක එල්ලය වන්නේ යලි බලය සියතට ගැනීම මගින් ධනපති පන්ති පාලනයට හා එහි ප‍්‍රහාරයන් ට එරෙහිව වැඩෙන ජනතා විරෝධය, විශේෂයෙන් ම කම්කරු පන්තියේ පන්ති අරගල තලා දැමීම ය.

විපක්ෂයේ මෙන් ම ආන්ඩුවේ ”දූෂන විරෝධය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන කම්කරුවන්, තරුනයන් හා අවශේෂ දුගීන් කිසිදු විස්වාසයක් නොතැබිය යුතු ය. වංචාව හා දුෂනය නතර කල හැක්කේ පරපුටු ධනවාදයත් එය විසින් මෙහයවනු ලබන ධනවාදී ලාභ පද්ධතියත් පෙරලා දැමීම මගින් පමනි.

Share this article: