හිටපු ශ්‍රී ලංකා ජනාධිපති යලි බලයට පත්වීමේ දැඩි උත්සාහයක

Former Sri Lanka president intensifies efforts to resume power

කේ. රත්නායක විසිනි, 2017 පෙබරවාරි 3

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමාන රජය පෙරලා දැමීමට සහාය වන්නැයි තම ආධාර කරුවන්ගෙන් ඉල්ලා සිටි. ජනවාරි 27 වෙනිදා නුගේගොඩදී, දස දහස් ගනනක් ජනතාව අමතමින්, වත්මන් ආන්ඩුව ”දුෂිත” එකක් ලෙස හෙලා දුටු රාජපක්ෂ, තමන් එය පෙරලාදැමීමේ ”බලවේගයට නායකත්වය දීමට සුදානම්” බව ප‍්‍රකාශ කලේය.

”පෙරලියක ඇරඹුම” ලෙස නම්කර තිබු මේ රැස්වීම, රාජපක්ෂත්, ඔහුට සහයදෙන ”ඒකාබද්ධ විපක්ෂය” හා එහි ආධාර කරුවනුත් යලි බලයට පත්වීම සඳහා දරන උත්සාහයේම කොටසකි.

රාජපක්ෂ නායකත්වය දෙන ”ඒකාබද්ධ විපක්ෂය” හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ තන්ත‍්‍රය අතර උග‍්‍ර වෙමින් ඇති ගැටුම, පාලක ප‍්‍රභූව තුල ගැඹුරු වෙමින් ඇති දේශපාලන අස්ථාවරත්වයේම ප‍්‍රකාශනයකි. ආන්ඩුව එක අතකින් උග‍්‍රවන වෙලඳ ශේෂය හා විදේශ නය පිලිබඳ ප‍්‍රශ්න වලටත්, අනෙක් අතින් තමන්ගේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වැඩෙමින් ඇති කම්කරු පීඩිත ජනතාවගේ අරගල වලටත් මුහුන දී සිටියි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 45 දෙනෙක්, හිටපු ජනාධිපතිට සහය දෙමින් විපක්ෂයේ අසුන්ගෙන සිටිති. සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මෙන්ම එහි නායකත්වය යටතේ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිප) කොටස් ද මෙයට ඇතුලත්ය. එක්සත් ජාතික පක්ෂය (එජාප) හැරුනකොට, සිරිසේනට සහාය දෙන්නේ යන්තම් මන්ත්‍රීවරු 50ක් පමනි.

පසුගියදා රැලියේදී රාජපක්ෂ කියා සිටියේ, ආන්ඩුවේ ”රට බෙදන වංචනික නව ව්‍යවස්ථාවට” තම පාර්ශවය විරුද්ධ වන බවයි. ”නව ව්‍යවස්ථාවේ අරමුන, වෙනම රාජ්‍යයක් සඳහා යන ගමනේදී දෙමල සුලුතරය සතුටු කිරීමයි.”

ඔහු යටතේ 2009දී එල්ටීටීඊ සංවිධානයේ මිලිටරි පරාජය ගැන සඳහන් කරමින් රාජපක්ෂ කියා සිටියේ, ”අපි රට ආරක්ෂා කර ගත යුතු” බව හා රට කැඩී යාම වැලකිය යුතු බවයි. රට බෙදීමට විරුද්ධව සටන් කිරීම යනු සිංහල ස්වෝත්තමවාදීන් හා ශ්‍රීලනිප හා එජාප ඇතුලු පාලක පන්තියේ පක්ෂ, සිංහල-දෙමල කම්කරු පීඩිත ජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කිරීමට යොදන සටන් පාඨයකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇත්ත වශයෙන්ම, කිසිදු නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර නැත.

ආන්ඩුව කලින් ඇඟවූයේ තමන් දෙමල පක්ෂ සමග ”සංහිඳියාව” සඳහා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සලකා බලන බවයි. එමගින් පලාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල ඇතුලු සීමිත බලතල ලබාදෙනමුත්, ඒවා මධ්‍යම රජයේ අධිකාරිය යටතේ පවතිනු ඇත. එහෙත් සිංහල-බෞද්ධ ස්වොත්තමවාදී සංවිධාන වල සහාය ලබමින් රාජපක්ෂ පිලෙන් තීව‍්‍ර කෙරෙන උසිගැන්වීම් වලට ප‍්‍රතිචාර වශයෙන් මේ යෝජනාව හකුලා ගැනිනි.

අධිරාජ්‍ය විරෝධියෙක් ලෙස තමන් පුම්බා ගැනීමට රාජපක්ෂ රැලියේදී උත්සාහ දැරීය. ඇමරිකාව ගැන සෘජුවම සඳහන් නොකලත්, ඔහු කියා සිටියේ ”අපි අධිරාජ්‍යවාදය ඉදිරියේ දන නොගහපු නිසා” සමහර රවලට තමා බලයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූ බවයි. මෙය මුලුමනින්ම කුහක ප‍්‍රකාශයකි.

පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපතිවරන ප‍්‍රථිපල නිකුත් වීමත් සමගම, තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහනයට ප‍්‍රශංසා කරමින් රාජපක්ෂ පනිවුඩයක් යැවීය. ඔහු කියා සිටියේ, රිපබ්ලිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, රාජපක්ෂ ආන්ඩුව සමග හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින්, එහි යුද්ධයට සහයෝගය දුන් බවයි.

රාජපක්ෂ තවදුරටත් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටයේ එල්ටීටීඊයට එරෙහි ප‍්‍රහාරයන්හිදී සිදුවූ අපරාධ සම්බන්ධව ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට සහය නොදෙන ලෙසයි. ජනවාරි 20 දා ට‍්‍රම්ප් දිවුරුම් දුන් විට, රාජපක්ෂ ට්වීටර් පනිවිඩයකින් ඔහුට සුබ පැතූවේ, ”මැදිහත් වීම් වලින් තොර” ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තිය සාදරයෙන් පිලිගනිමිනි.

සිරිසේන හා වික‍්‍රමසිංහද ට‍්‍රම්ප්ට සුබපැතුම් යැවූ අතර පාලක පන්තියේ සෑම කොටසක්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයට දක්වන ගැති කම පෙන්නුම් කලේය.

අධික ජීවන වියදම, යෝධ නය බර හා රාජ්‍ය දේපල විදේශිකයින්ට විකිනීම ගැන සඳහන් කරමින්, රාජපක්ෂ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හෙලා දුටුවේය. ඉහවහා ගිය දුෂනය, අධිකරනයේ ”ස්වාධීනත්වය” විනාශ කිරීම හා දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහු ආන්ඩුවට චෝදනා කලේය.

මෙයින් පෙනී යන්නේ ජනතාව අවසිහියෙන් සිටින්නේ යයි රාජපක්ෂ සිතන බවයි. ඔහු වර්තමාන ආන්ඩුවට දොස් නගන දුෂ් පාලනය ඔහුගේ පාලනය යටතේද එලෙසින්ම පැවතිනි. උදාහරනයක් ලෙස, පලාත් සභා සතු යම් බලතල ප‍්‍රමානයක් යලි (ආන්ඩුවට ) පවරා ගැනීමට ගෙනආ පනත බලරහිත කිරීම නිසා රාජපක්ෂ එවකට සිටි අග‍්‍ර විනිශ්චයකාර වරිය තනතුරින් පහ කලේය.

ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩ පිලිවෙල ගැන කිසිවක් රැලියේදී සඳහන් නොකිරීමට රාජපක්ෂ පරිස්සම් විය. ඔහුගේ පාලන තන්ත‍්‍රය ද කුරිරු ලෙස ජාමුඅ කොන්දේසි ජනතාව මත පැටවීය.

කම්කරු පීඩිත ජනතාවන්ගේ ජීවන තත්වය හෝ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳව රාජපක්ෂගේ විපක්ෂ කන්ඩායමට මොනම අදාලත්වයක් හෝ ඇත්තේ නැත. ඔහුගේ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද්ධය යොදාගනිමින් කම්කරු පීඩිත ජනතාවගේ මූලික අයිතීන් පාගා දැමු අතර, ජීවන තත්වය හා සමාජ කොන්දේසි වලට නිර්දය ප‍්‍රහාර එල්ල කලේය.

හිටපු ජනාධිපති දැන් උත්සාහ කරන්නේ, වර්ගවාදය අවුස්සමින් නැගෙමින් ඇති ජනතා වෛරය ගසා කෑමටයි. නමුත්, ඔහුගේ ප‍්‍රහාරයේ සැබෑ ඉලක්කය වර්තමාන ආන්ඩුව නොව කම්කරු පීඩිත ජනතාවයි.

සිරිසේන බලයට ගෙනආ, වොෂින්ටනයේ පිටු බලය ලද 2015 තන්ත‍්‍ර මාරු මෙහෙයුමේදී සිරිසේනට සහය දුන් ඬේලි මිරර්, ලංකාදීප හා හිරු රූපවාහිනය වැනි මාධ්‍ය සංස්ථාපිතයේ කොටස් දැන් රාජපක්ෂගේ ව්‍යාපාරයට ප‍්‍රචාරක සහය සපයයි.

තමන් ආන්ඩුව පෙරලන බවට රාජපක්ෂ පැවසුවත්, යලිත් ජනාධිපතිවරනයක් පැවැත්වීමට නියමිත 2019දීය, මහා මැතිවරනයක් පැවැත්වීමට නියමිත 2020දීය. රාජපක්ෂ හා ඔහුගේ කන්ඩායම එජාපයට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ, සිරිසේනට සහය දක්වන ශ්‍රීලනිපයේ කොටස් වලට ආන්ඩුවෙන් බිඳෙන ලෙස පීඩනය යෙදීමයි.

පසුගිය සතියේදී, සිරිසේනට හිතවත් පලාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරු කන්ඩායම රාජපක්ෂ හමුවී, ඔහුට ඉදිරි මාස කීපයේදී පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රීලනිපය එක්සත් කොට තරග වදින ලෙස කන්නලවු කලේය. මෙම මැතිවරනය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුනත්, පරාජය පිලිබඳ බියෙන්, සිරිසේන හා වික‍්‍රමසිංහ එය නිරන්තරව කල් දමමින් සිටිති. ආන්ඩුවේ දුර්වලකම ගැන ඉව වැටී ඇති රාජපක්ෂ, ඉල්ලීම ඉවතලූ අතර, ශ්‍රීලනිපය ආන්ඩුවෙන් ඉවත් විය යුතු බවට කොන්දේසි පැනවීය.

රාජපක්ෂ 2015 ජනාධිපතිවරනය පරාජයට පත්වුයේ ඔහුගේ ආන්ඩුවට එරෙහිව නැගෙමින් තිබුනු දැවැන්ත ජනතා විරෝධය මධ්‍යයේය. රාජපක්ෂ තන්ත‍්‍රයේම ජ්‍යෙෂ්ට ඇමතියෙක් වූ සිරිසේන බලයේ පිහිටවුයේ වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංගගේ සහාය ලද ඇමරිකානු පිටුබලයෙන් සිදු වූ තන්ත‍්‍ර මාරු කුමන්ත‍්‍රනයකිනි.

සිරිසේනට සහය දුන් අය පැවසුවේ ඔහුගේ පාලනය මගින් ජනතාවගේ ජීවන කොන්දේසි වර්ධනය වනු ඇති බවත්, ඔවුන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් රකිමින්, රාජ්‍ය දුෂනය අවසන් කරනු ඇති බවත්ය. ව්‍යාජ වම්මුන්ද ඇතුලු, මධ්‍යම පන්තික නඩ මේ ප්‍රෝඩාව පැතිරවීමට දායක වුහ. චීනය සමග රාජපක්ෂට පැවති සමීප ආර්ථික හා දේශපාලන සම්බන්ධතා නිසා ඔහු ඉවත් කිරීම, පිටුපස තිබු සැබෑ අරමුන ආසියා-පැසිපික් කලාපය තුල වොෂින්ටනයේ භූ-දේශපාලන අවශ්‍යතාවන් ඉදිරියට ගෙනයාම බව, මොවුහු වසං කලහ.

පසුගිය වසර දෙක තුල, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පොරොන්දු බොරු බව හෙලිවී තිබේ. නිර්දය ලෙස බදු ඉහල දමමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය, හා ගොවි සුබසාධන කපා දමමින් හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කරමින් ආන්ඩුව ජාමුඅ කොන්දේසි කි‍්‍රයාවට දමමින් සිටී.

තවද ආන්ඩුව, ආයෝජන ආකර්ෂනය කරගැනීම සඳහා මහා ව්‍යාපාර හා විදේශ ප‍්‍රාග්ධනයට දැවැන්ත සහන ප‍්‍රදානය කරමින් සිටියි. ආන්ඩුවේ ඇමතිවරු දුෂන චෝදනා වලින් අපකීර්තියට පත්ව සිටිති.

රාජපක්ෂ ගේ පරාජයට පෙර පැවති පුපුරන සුලු තත්වය යලි පැන නගිමින් තිබේ. කම්කරුවන්ගේ, ශිෂ්‍යයින්ගේ හෝ ග‍්‍රාමීය පීඩිතයින්ගේ විරෝධතාවන් ගැන අසන්නට නැති එක් දිනක්වත් නැත. මෑතකදී ටෙලිකොම් හා විදුලිබල සේවකයෝ උද්ඝෝෂනයන්ට පිවිසි අතර උසාවි නියෝග මගින් ඔවුන්ගේ විරෝධතා තහනම් කරන තුරුම දින ගනනක් වැඩවර්ජනයේ යෙදුනහ. පසුගිය සති දෙක තුල තුන් වතාවක් සිය ගනන් ශිෂ්‍යයෝ අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහිව කොලඹ නගරයේ පෙලපාලි පැවැත්වූහ.

මෙම විරෝධතා මැඩීමට ආන්ඩුව වැඩි වැඩියෙන් උසාවිය, පොලිසිය හා මිලිටරිය යොදාගනිමින් සිටියත්, පාලක පන්තිය මේ පුපුරනසුලු වාතාවරනය ගැන නොසන්සුන් වී සිටිති. මෙහිදී කේන්ද්‍රීය කරුන වන්නේ, පාලක පන්තියේ සියලු කොටස් වලට සතුරු වූ, සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ධනපති ලාභ ක‍්‍රමය අහෝසි කිරීමට සටන් වදින කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි.

Share this article: