ටෙලිකොම් වෘත්තීය සමිති මෑන්පවර් කම්කරුවන්ට විරුද්ධව ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනයක් අරඹයි

ඩබ්ලිව්.ඒ සුනිල් විසිනි, 2017 පෙබරවාරි 6

රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන් ගෙන යන අරගලයට එරෙහිව ස්ථීර කාර්යමන්ඩලයේ සේවකයන් උසිගන්වන ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනයක් ටෙලිකොම් වෘත්තීය සමිති විසින් ආරම්භ කරනු ලැබ ඇත. ”ආන්දෝලනාත්මක අවබෝධතා ගිවිසුම හෙලා දකිමු” මැයෙන් ටෙලිකොම් සේවකයන් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සියලු වෘත්තීය සමිති නමින් පෙබරවාරි 02 වෙනිදා පත්‍රිකාවක් බෙදාහල සමිති නායකයන් පසුදින කොලඹ ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස සියලු ස්ථීර සේවකයන්ගෙන් ඉල්ලා තිබුනි.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ උපදෙස් පරිදි ටෙලිකොම් ආයතනයට අනුබද්ධ හියුමන් කැපිටාල් සොලුයුසන් සමාගම යටතේ සේවය කරන කොන්ත‍්‍රාත් කම්කරුවන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග‍්‍රහනය කර ස්ථීර කිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසම් කර ඇති බවත් එමගින් ස්ථීර සේවකයන්ගේ රැකියා සහ සියලු වරප‍්‍රසාද අහිමි වීමේ අන්තරාය මතු කෙරී ඇති බවත් පත්‍රිකාව කියයි.

ඒ අනුව, 1. ටෙලිකොම් ආයතනයේ වයස 55 සම්පූර්න කල සේවකයන් අනිවාර්යයෙන් විශ‍්‍රාම ගැන්වීම 2. දැනට විශ‍්‍රාම වැටුප් ලබන (ටෙලිකොම් සංස්ථාව සමාගමක් බවට පත් කිරීමේ දී එහි සිටි සේවකයන් විශ‍්‍රාම ගන්වා පසුව සමාගමට අනුයුක්ත කරන ලදී) ටෙලිකොම් ආයතනයේ සියලු සේවකයන්ගේ සේවය අවසන් කිරීම 3. වාර්ෂික වැටුප් වැඩිවීම, වැටුප් වර්ධක, ප‍්‍රසාද දීමනා හා අතිකාල මින් ඉදිරියට කප්පාදු කිරීම හෝ සම්පූර්නයෙන් නවතා දැමීම 4. දැනට පවතින සේවක දූ දරුවන් සේවයට බඳවා ගැනීම සම්පූර්නයෙන් ම අහෝසි කිරීම සිදුවන හෙයින් ඊට විරුද්ධව ”ටෙලිකොම් ආයතනයට හිතාදර, ටෙලිකොම් ආයතනයෙන් යැපෙන සියලුම සේවකයන්, රැකියාව ආරක්ෂා කර ගැනීමටත් ආයතනය රැක ගැනීමටත් එකා මෙන් පෙල” ගැසෙන ලෙස පත්‍රිකාවෙන් ඉල්ලා තිබුනි.

මෙය කොන්ත‍්‍රාත් කම්කරුවන් ගේ රැකියා ස්ථීර කිරීමට විරුද්ධව ටෙලිකොම් සමිති නායකයන් විසින් පසුගිය වසර කිහිපය තුල ගෙන ගිය නිහීන හා දුෂ්ට ව්‍යාපාරය වඩාත් උත්සන්න කිරීමකි. කෙසේ නමුත් 9000 ට ආසන්න ටෙලිකොම් සේවකයන්ගෙන් ඉහත රැස්වීමට සම්බන්ධ වී තිබුනේ 400 ක් පමන සුලු පිරිසකි. එදින වැඩ නතර කරන ලෙස ඉල්ලා තිබූ නමුත් ඊට ද සේවකයන්ගේ අනුකුලතාවයක් තිබී නැත. එය නිසැකව ම පාලකයන්ගේ හා ධනපති ආන්ඩුවේ ඒජන්තයන් ලෙස වැඩ කරන වෘත්තීය සමිති කෙරෙහි ටෙලිකොම් කම්කරුවන් අතර පවතින අප‍්‍රසාදයේ හා කෝපයේ ප‍්‍රකාශනයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ කොලඹ ප‍්‍රධාන කාර්යාලයේ සේවකයන් කිහිප දෙනෙක් ම සමිති නායකයන්ගේ ප‍්‍රකෝපකාරී ව්‍යාපාරය හෙලා දුටවෝය.

”මෙය ස්ථීර සහ මෑන් පවර් සේවකයන් කා කොටවන වැඩක්. ඒකට සහයෝගය දීම අපරාධයක්. මෑන් පවර් කම්කරුවෝ අවුරුදු ගානක් වැඩ කරන අය. ඔවුන්ගේ රැකියා ස්ථීර කල යුතු” යැයි කම්කරුවෙක් ප‍්‍රකාශ කලේය.

කෙසේ නමුත් සමිති නායකයන් මෑන් පවර් කම්කරුවන්ට විරුද්ධව ආරම්භ කර ඇති ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනය අඩු තක්සේරු නොකල යුත්තකි. බ‍්‍රහස්පතින්දා ප‍්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමේ දී, මෑන් පවර් සේවකයන් අන්තර්ග‍්‍රහනය කිරීම නතර කරනතුරු තම උද්ඝෝෂනය ගෙන යන බවට සමිති නායකයෝ සපත කලහ. ඉංජිනේරු, ඩ‍්‍රාෆ්ට්මන්, නීති නිලධාරීන්, ගනකාධිකාරී, විදුලි සංදේශ නිලධාරි හා ටෙලිකොම් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය ඇතුලු ප‍්‍රධාන ටෙලිකොම් වෘත්තීය සමිති සියල්ලේම නායකයෝ මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනයට බැසගෙන සිටිති.

ඔවුන් උත්සාහ කරන්නේ මෑන් පවර් සේවකයන් අන්තර්ග‍්‍රහනය කර ස්ථීර කිරීමෙන් ස්ථීර සේවකයන්ගේ රැකියා හා සියලු අයිතීන් අහෝසි කෙරෙන බවට ස්ථීර සේවකයන් අතර භීතියක් නිර්මානය කර රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා දෙසැම්බර් 24 අරගලයක යෙදී සිටින මෑන් පවර් සේවකයන් ට විරුද්ධ ව ඔවුන් උසිගැන්වීමට ය.

එය මෑන් පවර් කම්කරුවන් ගේ අරගලයට විරුද්ධ ව ටෙලිකොම් පාලකයන්, හියුමන් කැපිටාල් සොලියුෂන් සමාගම හා ආන්ඩුව ඒකාබද්ධව ගෙන යන මර්දනය සමග පෙල ගැසෙන දුෂ්ට ප‍්‍රකෝපකරනයකි. අධිකරන නියෝග මගින් මෑන් පවර් කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා සමාගම සහ ආන්ඩුව උත්සාහ කරති. ඒ අතර මෑන් පවර් කම්කරුවන් සංවිධානය වී සිටින සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ (සලංවිසංසේසං* යේ උප සභාපති එම්.එස්. මංගල ජනවාරි 28 රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පැහර ගෙන ගොස් දින හතරකට පසු ඉංගිරියේ දමා ගොස් තිබුනි. තව දුරටත් වෘත්තීය සමිති කටයුතු වල නොයෙදෙන ලෙස පැහර ගත්තවුන් තර්ජනය කල බව ඔහු පොලීසියට ප‍්‍රකාශ කර තිබේ. ආන්ඩුවට හා ටෙලිකොම් පාලකයන් ට හැර එවන් බලපෑමක් කිරීමේ අවශ්‍යතාවයක් වෙනත් පාර්ශවයකට තිබිය නොහැක.

ටෙලිකොම් සමිති නායකයන් ප‍්‍රචාරය කරන ආකාරයට ටෙලිකොම් සමගම හෝ ආන්ඩුව මෑන් පවර් කම්කරුවන් ස්ථීර කිරීමට තවමත් එකඟ වී නැත. මෑන් පවර් කම්කරුවන් ටෙලිකොම් සමාගමාට අනුයුක්ත කිරීම සඳහා ටෙලිකොම් පාලකයන් සහ ආන්ඩුව කොන්දේසි ගනාවක් ඉදිරිපත්කර ඇත.

ඒ අනුව, වසර 7 ට වැඩි සේවාකාලයක් ඇති හා වයස අවුරුදු 50 ට අඩු සේවකයන් අවුරුද්දකට 200 බැගින් ටෙලිකොම් සමාගමට අන්තර්ග‍්‍රහනය කිරීම ට සමාගම විසින් යෝජනා කර ඇත. ඔවුන්ගේ මූලික මාසික වැටුප රුපියල් 17,000 කි. දැනට මෑන් පවර් සමාගම යටතේ ඔවුන් ලබන රුපියල් 30,000 ක මූලික වැටුප හරි අඩකට ආසන්න ගනනකින් කප්පාදු කෙරෙනු ඇත.

දැනට මෑන් පවර් සේවකයන් 2100 සිටිති. අවුරුදු 50 අඩු වයස් සීමාව නිසා දැනට මත් වසර 10-15 සේවය කර ඇති සේවකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ”නුසුදුස්සන්” වීමට ඉඩ තිබෙන අතර වසරකට 200 බැගින් ඉතිරි අය ටෙලිකොම් සමාගමට අනුයුක්ත කිරීම සඳහා අවම වසයෙන් අවුරුදු 6-7 ගත වනු ඇත. දැනට අනුයුක්ත කර සිටින 121 දෙනා ද එසේ කර ඇත්තේ අනියම් පදනමේ ය.

ස්ථීර සේවකයන්ගේ රැකියා සහ සෙසු අයිතීන්ට පහර එල්ල වන්නේ මෑන් පවර් සේවකයන්ගේ සේවය ස්ථීර කිරීමෙන් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට සැලසුම් කර ඇති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහකරනය හා පුද්ගලීකරන වැඩ පිලිවෙල යටතේය.

තවත් වෘත්තීය සමිති පෙරමුනක් වන සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුන විසින් මෑත දී නිකුත් කල පත්‍රිකාවකට අනුව අතිරික්තයක් ලෙස සැලකෙන සේවකයන් 1700 ක් ඉවත් කිරීම, පාඩු ලබන සියලුම ටෙලිෂොප් පුද්ගලික අංශයට පැවරීම (අවුට්සෝර්ස් කිරීම), ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් වලින් සියයට 10 ක් විකිනීම, (දැනට රජය සතු කොටස් වල ප‍්‍රතිශතය සියයට 50.50 කි), ටෙලිකොම් සහ එහි උප සමාගම් වල සේවකයන් විසින් කරන රාජකාරි එක්ස්පෝ මාර්කටින් සර්විස් පුද්ගලික සමාගමට පැවරීම හා වයස අවුරුදු 55 සම්පූර්න කල සේවකයන් 1300 ක ගේ සේවය දීර්ග නොකිරීමට ටෙලිකොම් පාලකයන් තීන්දු කර ඇත. තතු එසේනම් ටෙලිකොම් සේවකයන්ගේ රැකියා හා සෙසු අයිතීන් ට පහර එල්ල වන්නේ මෑන් පවර් සේවකයන් ස්ථීර කිරීමෙන් නොවන බව පැහැදිලිය.

එපමනක් නොව, ආයතනය හා සේවකයන්ගේ රැකියා සහ සෙසු අයිතීන් රැකීම ගැන සමිති නායකයන් කියන කතාව අමු පචයකි. තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1991 සංස්ථාවක් බවටත්, 1997 රාජ්‍ය හා පුද්ගලික ඒකාබද්ධ සමාගමක් බවටත් පරිවර්තනය කිරීම හා ඒ යටතේ සිදු වූ රැකියා හා සේවා කොන්දේසි කප්පාදු කිරීමේ දී ඒවා ක්‍රියාවට දැමුනේ සමිති නායකයන්ගේ සහයෝගය ඇතිව ය. කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මෑන් පවර් සමාගම්වලින් අඩු වැටුපට කම්කරුවන් කුලියට ගැනීම ද රැකියා හා සේවා කොන්දේසි කප්පාදුවේ ම කොටසකි. දැන් එය කෙරෙන්නේ ටලිකොම් සමාගමට අනුබද්ධ සමාගමක් යටතේය. ”පටිපාටියට පිටින්” ටෙලිකොම් ආයතනයට සේවකයන් බඳවා ගැනීමට විරුද්ධයැයි කියන සමිති නායකයන් මේ වහල් ශ‍්‍රම සූරාකෑමට විරුද්ධ නැත.

රැකියා හා සේවා කොන්දේසි වලට එල්ල කෙරුන ප‍්‍රහාර වලට එරෙහිව පැන නැගුනු සේවක විරෝධය බොරු විරෝධතා උද්ඝෝෂනවලට යටකර දිය කර දැමුවේ මෙම නායකයන් විසිනි. ඔවුහු ඒ සඳහා උසස්වීම් සහ විදේශ සංචාර ආදී අල්ලස්වලින් පිදුම් ලබති. මාස කිහිපයකට පෙරාතුව ද ”පුහුනු වීමේ වැඩ මුලුවකට” සමිති නායකයන් කන්ඩායමක් ඉන්දුනීසියාවට යැවූ බව ටෙලිකොම් කම්කරුවෝ කියති.

එහෙයින් ආයතනය රැකීම ගැන සමිති නායකයන් පුන පුනා කියන කතාවේ ඇත්ත තේරුම වන්නේ සේවකයන්ගේ රැකියා හා සේවා කොන්දේසි කප්පාදු කිරීම සඳහා ටෙලිකොම් පාලකයන් හා ධනපති ආන්ඩුව ක්‍රියාවට දමන සැලසුම් වලට එරෙහිව පැන නැගීමට නියමිත අරගල ගබ්සා කර සේවකයන් එම ප‍්‍රහාරවලට යටත් කිරීමය. මෑන් පවර් හා ස්ථීර සේවකයන් අතර කාකෙටවීමක් කිරීමට සමිති නායකයන් ආරම්භ කර ඇති ප‍්‍රකෝපකාරී ව්‍යාපරය ද නිශ්චිතව ම එහි කොටසකි. සමිති නායකයන්ගේ මෙම දුෂ්ට ප‍්‍රතිගාමී ප‍්‍රකෝපකාරී ව්‍යාපාරය සියලුම ටෙලිකොම් කම්කරුවන් විසින් හෙලා දැකිය යුතු ය.

Share this article: