ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ට‍්‍රම්ප් ගේ ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් කනස්සල්ල පලකරයි

Sri Lankan foreign minister raises concerns over Trump’s economic policies

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2017 පෙබරවාරි 11

පසුගිය මාසයේ කොලඹදී පැවති ජාතික වානිජ මන්ඩලයේ වාර්ෂික රැස්වීමේ කථා කරමින් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා, මෙම කනස්සල්ල ප‍්‍රකාශයට පත් කලේය. ට‍්‍රම්ප් ගේ පිලිවෙත් ”ගෝලීය වෙලඳ ප‍්‍රවාහය අන් කවරදාකටත් වඩා හීන කල” හැකි අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑම් කරනු ඇතැයි ද සිල්වා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ දේශපාලනිකව වොෂින්ටනයට වාරුවී සිටිති. සිරිසේන 2015 දී බලයට පැමිනියේ, චීනයට විරුද්ධව වොෂින්ටනයේ යුද සූදානම සමග ආන්ඩුව පෙලගස්වා ගැනීමට, ඇමරිකාව ක්‍රියාත්මක කල තන්ත‍්‍ර මාරු මෙහෙයුමක කොටසක් ලෙසය. ඔබාමා පාලන තන්ත‍්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බීජිනය සමග පැවති සමීප ආර්ථික සහ දේශපාලනික සබඳතා වලට විරුද්ධ විය.

සිරිසේන සහ වික‍්‍රමසිංහ ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනයට ශුභ පතමින් ඔහුගේ සහාය ඉල්ලා තිබියදීම ආන්ඩුව, ආයෝජන හා අපනයන ආදායම් පහල වැටීමෙන් අර්බුදයකට මුහුනපා සිටී. එමෙන්ම ඔවුන් ට‍්‍රම්ප්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් කැලඹීමට පත්ව සිටී.

”ට‍්‍රම්ප්ගේ පිලිවෙත් ඇතුලට යොමු වුනු දැක්මක් සහිත, වෙලඳ විරෝධී සහ ප‍්‍රතිගාමී වන අතර ගෝලීය වෙලඳ ප‍්‍රවාහය හීන කල හැකි යැයි” ද සිල්වා එහිදී ප‍්‍රකාශ කලේය. ”එක්සත් ජනපදය ගෝලීය භාන්ඩ වලට එහි දේශසීමා වසා දැමුවොත් සහ බදු පැනවූවොත්, ගෝලීයකරන යුගයේ සශ්‍රීක කාලයේ සිට දැනටමත් මන්දගාමී වී ඇති ගෝලීය වෙලඳාම තව දුරටත් පසුබැසිය හැක.”

කාර්මික රැකියා ආපසු ඇමරිකාව තුලට ගෙන එන බවට කර ඇති ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ, ”ලොකු පුරසාරමකි, එය ඉක්මනින්ම අවසන් වනු ඇත. පෙනී යන්නේ විනෝදකාමී රියලිටි රූපවාහිනිය ගැන ට‍්‍රම්ප් විශ්වාසය තබා ඇති බවයි. මෙය අමු විකාරයකි, පදනම්ව ඇත්තේ බොරුව හා පොට වරද්දා ගැනීම් මතය, ඒවා නිකම්ම ගොතන ලද ඒවාය. අවාසනාව, ශ්‍රී ලංකාව ප්‍රෝඩාකාරී දේශපාලනය දිග කාලයක් අත්විඳ තිබීමයි.” ඔහු පවසයි.

කෙසේවෙතත් ට‍්‍රම්ප් ගේ අතිශෝක්ති ”ඉක්මනින් නතර වේයැයි” යන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව මිත්‍යාවකි.

ට‍්‍රම්ප් ගේ පිලිවෙත් අහඹු ඒවා නොවේ. ඒවා ගෝලීය බිඳ වැටීමක් මධ්‍යයේ ඇති ඇමරිකානු ධනවාදය මුහුනපා ඇති අර්බුදයේ ප‍්‍රකාශනයන්ය.

ඔහුගේ ”පලමුව ඇමරිකාව” සහ ”ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” පිලිබඳ සටන් පාඨ, ඇමරිකානු පාලක පන්තිය එහි ආර්ථික ආධිපත්‍යය වෙලඳ යුද්ධ, මිලිටරි ප‍්‍රචන්ඩත්වය සහ අන් කවරදාටත් වඩා ඇමරිකානු කම්කරු පන්තිය කෲර ලෙස සූරා කෑම මගින් නැවත ලබා ගැනීමට දරන උත්සාහයේ කොටසකි. ඔහුගේ කැබිනෙට්ටුවට බිලියනපතියන් සහ මිලිටරි ජෙනරාල්වරුන් පත් කර ඇත්තේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත් ඉදිරියට ගෙනයාම පිනිසය.

බීජීනයේ වෙලඳ පිලිවෙත් වලට සහ දකුනු චීන මුහුදේ දූපත් වලට චීනය හිමිකම් පෑමට එරහිව ට‍්‍රම්ප්, නැවත නැවතත් එල්ල කරන ප‍්‍රහාර වලින් අදහස් කෙරෙන්නේ, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් අතර මිලිටරි ගැටුමක අන්තරාය මතු කරමින්, චීනය ඔහුගේ තන්ත‍්‍රයේ ආසන්නම ඉලක්කය වී ඇති බවයි.

”ඇමරිකාව ආනයන තීරු බදු කුමන ලෙසකින් හෝ වැඩි කලොත් හෝ වෙලඳ බාධක පැනවුවොත්, අපගේ අපනයන ඉපැයීම් වලට තීරානාත්මක බලපෑමක් සිදු කරනු ඇතැයි” ද සිල්වා පැවසීය. රටේ අපනයන වලින් සියයට 27 ක් ඇදී යන විශාලතම අපනයන වෙලඳපොල ඇමරිකාවයි.

1980 ගනන්වල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35ක් වූ ශ්‍රී ලංකාවේ අපනයන අනුපාතය, සියයට 13 දක්වා ක‍්‍රමයෙන් අඩුවී ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. 2016 දී විදේශීය ආයෝජන ලෙස රටට ගලා ආවේ ඇමරිකානු ඩොලර් 300ක් එනම් 2014 දී මෙන් තුනෙන් එකක් පමනකි. බලන්න: ශ‍්‍රී ලංකා ආර්ථිකය ”රෝහල් ගත කර ඇති” බව මහ බැංකු අධිපති පවසයි

කෙලින්ම ට‍්‍රම්ප්ගේ පිලිවෙත් විවේචනය කරමින් ද සිල්වා, චීන ජනාධිපති සී ජින්පින් ආර්ථික ගැලවුම්කාරයෙකු ලෙස හුවා දැක්වීය. චීන ජනපති මෑතදී ඩාවෝස් හී ලෝක ආර්ථික සංසදය අමතමින් සිදු කරන ලද කතාවට යොමු වෙමින්, සී ජින්පින් ”ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට වඩා ඩේවිඩ් රිකාඩෝ සහ ඇඩම් ස්මිත් විස්වාස කරන්නෙක් [නිදහස් වෙලඳ පිලිවෙත්]” ලෙස ද සිල්වාගේ පැසසීමට ලක් විය.

ඩාවෝස් රැස්වීමේදී සී, නිදහස් වෙලඳාම සහ ගෝලීයකරනය පැසසූ අතර ආරක්ෂනවාදය වෙලඳ යුද්ධයට මගපාදනු ඇතැයි ට‍්‍රම්ප්ගේ නම සඳහන් නොකරමින් ප‍්‍රකාශයට පත් කලේය. ද සිල්වා සී පැසසීම, ආන්ඩුව චීන ආයෝජන වඩ වඩාත් ආකර්ශනය කර ගැනීමට ප‍්‍රයත්න දරන බවට තවත් ඇඟවුමකි.

ආන්ඩුව බලයට පැමිනීමෙන් පසුව, චීන ආයෝජන යෙදවූ ව්‍යාපෘති ගනනාවක් අත් හිටුවීය. කෙසේවෙතත් පසුගිය වසර දෙක පුරාවට අපනයන සහ ආයෝජන පහත වැටීමට ප‍්‍රතිචාර ලෙස ආන්ඩුව මූල්‍ය සහාය සඳහා නැවතත් බීජීනය වෙත හැරී ඇත.

එවැනි එක ආයෝජනයක් වන්නේ ඩොලර් බිලියන 1.4ක් වන කොලඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීන ගොඩනැගිලි ඉදි කිරීමේ සමාගමට ව්‍යාපෘතියේ කොටස් අයත් කරගැනීමට ඉඩ දීම ද ඇතුලත් කරමින් ආන්ඩුව, ආයෝජන නීති වෙනස් කරමින් සිටී. වෙනත් යටිතල ව්‍යාපෘතීන් සඳහා ද ආන්ඩුව බීජිනයෙන් අලුත් නය බලාපොරොත්තු වෙයි.

”අනෙක් අය ඔවුන්ගේ දොරටු වසා දමද්දී, පවතින ගෝලීය භූ දේශපාලනය, ශ්‍රී ලංකාවට තම දේශ සීමා ලෝකයේ අනෙක් රටවලට විවෘත කිරීමට යෝග්‍ය කාලය සහ වටපිටාව සකසා ඇති” බව ද සිල්වා ජාතික වානිජ මන්ඩලයට පැවසීය.

වෙනත් වචන වලින් කිවහොත් කොලඹ පාලනය, සිය භූ දේශපාලනික වැදගත්කම හා උපාය මාර්ගික පිහිටීම, ආර්ථික වාසි කිහිපයක් වෙනුවෙන් එදිරිවාදී ගෝලීය බලවතුන් සමග බෙදා ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙහි අර්ථය, ඇත්ත වශයෙන්ම චීනයට එරෙහිව ඇමරිකාව සමග ආන්ඩුව ගොඩනගාගෙන ඇති මිලිටරි බැඳීම් ගැඹුරු කරන ගමන්, බීජීනය සමග සිය ආර්ථික සබඳතා පුලුල් කිරීමයි. කෙසේ වෙතත් ආන්ඩුව ගනන් බලා ගෙන යන තුලනාත්මක හැසිරීම, ට‍්‍රම්ප් තන්ත‍්‍රය චීනයට එරෙහි ආර්ථික සහ මිලිටරි තර්ජන දැඩි කිරීමත් සමග පවත්වාගෙන යා නොහැකි වනු ඇත.

වත්මන් ආන්ඩුව බලයට ගෙන ආ තන්ත‍්‍රමාරු මෙහෙයුමෙන් පසු වොෂින්ටනය, ඉහල පෙලේ දේශපාලන සහ මිලිටරි නිලධාරීන් ගනනාවක් ශ්‍රී ලංකාවට එවීය. ඇමරිකාවේ ෆැසිපික් අන දෙන නිලධාරියා ඇමරිකානු නාවුක යාත‍්‍රා නිරන්තරයෙන් දිවයිනේ වරායන් වෙත යැවීමට පටන්ගෙන ඇති අතර දෙරට අතර මිලිටරි පුහුනුවීම් වල සහ ඉන්දීය සාගරයේ ඊනියා නාවුක ආරක්ෂක අභ්‍යාස වල යෙදී සිටී.

ශ්‍රී ලංකාව සමග සිය දේශපාලන සහ මිලිටරි සබඳතා වැඩි දියුනු කරගනු ඇතැයි ට‍්‍රම්ප් තන්ත‍්‍රය පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇත. සඳුදා ශ්‍රී ලංකා නිදහස් දින සමරු උත්සවයට සහභාගී වෙමින් වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, වැඩබලන රාජ්‍ය ලේකම් යටතේ, රාජ්‍යෝපාය සහ මහජන සබඳතා සඳහා කාර්යයේ නියතු බෲස් වාර්ටන් මෙසේ ප‍්‍රකාශ කලේය: ”අද වන විට අපේ සහයෝගිතා පෙර නොවූ විරූ මට්ටමක පැවතුනා වුවත්, ඉදිරියේදී එය තව තවත් වර්ධනය වනු ඇත.” බලන්න: ශ‍්‍රී ලංකාවට පැමිනි ඇමරිකානු පැසිෆික් ආඥාපති ආන්ඩුවට ප‍්‍රසංශා කරයි

ශ්‍රී ලංකාව යනු ”මුලූ මහත් ඉන්දු-පැසිෆික් ප‍්‍රදේශයේම ඇති වඩාත්ම මූලෝපායික නාවුක කේන්ද්‍රයන්ගෙන් එකකි: එය අප්‍රිකාව, දකුනු ආසියාව හා නැගෙනහිර ආසියාව තුල නාවික මාර්ග අතර මැද, බටහිරෙන් හෝමුස් හා නැගෙනහිරෙන් මලක්කා යන සමුද්‍ර සන්ධි අතර පිහිටා ඇත.”

ඇමරිකානු ගැති කොලඹ ආන්ඩුවේ ආර්ථික උත්සුකයන් කුමක් වුව ද ඇමරිකාව සමග එහි මිලිටරි සබඳතා ශක්තිමත් කිරීම දිගටම සිදු කරනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට පමනක් නොව ලෝක පරිමානවම කම්කරු පීඩිත ජනතාවන්ට තර්ජනයක් බවට පත් වන, චීනය සමග ඇමරිකානු ගැටුම් වේගවත් වන අතරතුරය.

Share this article: