රුසියාවට එල්ල කෙරෙන චෝදනා පිලිබඳව ඔත්තු සේවා ආයතන ට්‍රම්ප් සමග ගැටෙයි

Intelligence agencies clash with Trump over Russia allegations

ටොම් ඉලී විසිනි, 2017 පෙබරවාරි 16

පරිපාලනයට යන්තම් මාසයක් ගතවන තැන හා ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් තනතුරෙන් ඉවත් කර දෙදිනකට පසුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, මොස්කෝව සමග තිබුනා යයි චෝදනා එල්ලවී ඇති සම්බන්ධකම් පිලිබඳ කොන්ග‍්‍රස් සභා පරීක්ෂනයක් පැවැත්වීමේ ඉඩ වර්ධනය වන තත්වයකට මුහුනපා සිටී. ඇමරිකානු පාලක පන්තියේ බලගතු කොටස්, රට රුසියාවට එරෙහි යුද සූදානමක තැබීමට උත්සාහ කරන, සිය මාධ්‍යයේ සහචරයින් වන නිව් යෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් මැදිකරගෙන ගෙන යන ඔත්තු සේවා ආයතනවල උද්ඝෝෂනයට සම්බන්ධව සිටිති.

15දා වන විට අර්බුදය ගැඹුරු විය. ඒ පෝස්ට් හා ටයිම්ස් පුවත්පත්, වත්මන් හා කලින් සිටි නම් සඳහන් නොකල ඔත්තු සේවා මූලාශ‍්‍ර මත පදනම්වූ නව තොරතුරු හෙලිදරව් වී ඇති බව කියා සිටින අතර ඩිමොක‍්‍රටිකයන් හා එක්ව සිටින ප‍්‍රමුඛ සෙනේට් සභා රිපබ්ලිකානුවෝ ද නොවැම්බර් මැතිවරනයට පෙරාතුව හා පසුව රුසියානු ඔත්තු සේවා ආයතන සමග ට‍්‍රම්ප්ට පැවති බවට චෝදනා නගන සම්බන්ධකම් මුල්කරගෙන කොන්ග‍්‍රස් සභා පරීක්ෂනයක් ඉල්ලා සිටිති.

මේ අතර ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ධ පුද්ගලයෝ, මෙය වෝටර්ගේට් සෝලියට සමාන කරමින්, (රිචඩ් නික්සන්ට ඉල්ලා අස්වීමට බල කෙරුනු, 1972දී ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවට කඩා වැදීම) දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාව සලකා බලති.

ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග 15දා පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ට‍්‍රම්ප්, ටයිම්ස් හා පෝස්ට් වෙත රහස් කාන්දු කිරීම ”නීති විරෝධී හා සාපරාධී” යයි ප‍්‍රකාශ කරමින්, තමන් විසින් නාමිකව මෙහෙයවනු ලබන ඔත්තු සේවා ආයතන වලට ප‍්‍රසිද්ධියේ පහර දුන්නේය. ඔහු ට්විටර් සටහනකින් ද එවැනිම චෝදනා එදින එල්ල කලේය. ඒ අනුව ධවල මන්ඳිරය, සීඅයිඒ, එෆ්බීඅයි හා එන්එස්ඒහි (ජාතික ආරක්ෂක ඒජන්සිය) විරේකයක් සූදානම් වනු ඇති බව ඇඟවුම් කලේය.

”බුද්ධි අංශවල කඩදාසි කාන්දුවී ඇත්නම් දේවල් කාන්දුවී ඇත,” යයි ට‍්‍රම්ප් නෙතන්යාහු සමග පෙනී සිටිමින් ධවල මන්ඳිරයේදී පැවසීය. ”එය සාපරාධී ක්‍රියාවකි, සාපරාධී කටයුතුය, මට පෙරත් කලක් තිස්සේ එවැනි දේ සිදුව ඇත, නමුත් දැන් එය වඩාත් සවිමත්ව ඇත.”

රුසියාව ට‍්‍රම්ප් පාලනය කර ඇතැයි යන සනාථ නොකල චෝදනා අතොරක් නැතිව ගලා යයි. ”මැතිවරනයට පෙර වසරේ පටන් ප‍්‍රමුඛ රුසියානු ඔත්තු නිලධාරීන් සමග ට‍්‍රම්ප්ගේ කිට්ටුවන්තයින් සම්බන්ධකම් පවත්වා ඇතැයි” කියන ”හිටපු ඇමරිකානු නිලධාරීන් සිව්දෙනෙකු” ගැන ටයිම්ස්හි ප‍්‍රධාන පුවත 15දා තොරතුරු ප‍්‍රකාශ කලේය. ඒ අතර පෝස්ට් පත‍්‍රයේ එදිනම පලවූ ප‍්‍රධාන පුවතේ, නිමක් නැති තරම් නම් සඳහන් නොකල මූලාශ‍්‍ර ගැන කියා තිබුනි. ඊට ”නම් හෙලි නොකල වත්මන් හා හිටපු ඇමරිකානු ඔත්තු නිලධාරීන් ද ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීන් බොහෝ දෙනෙක්” ද ඇතුලත්ව තිබුනි. ”ඔවුහු මෙම සංවේදී කාරනය ගැන නම් සඳහන් නොකර කථා කලහ.” ඊට ”ඔබාමා පාලනයේ පරිපාලන නිලධාරීහු ද” ඇතුලත් වූ අතර ඔවුන් ද නම් සඳහන් කර නැත.

පුවත්පත් දෙකම කිසිදු මූලාශ‍්‍රයක් හෙලි කලේ නැත. කිසිදු ප‍්‍රකාශයක් ස්වාධීනව තහවුරු කර නැත. පුද්ගලයින්ගේ නිර්නාමික ප‍්‍රකාශ වලට වඩා කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැත. කාරනයක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ”රුසියානු මැදිහත්වීමක්” පිලිබඳ පුලුල් චෝදනා පමනි.

රුසියානු තානාපති සර්ජි කිසිල්යැක් සමග ෆ්ලින්ගේ දෙසැම්බර් 29 දුරකථන සංවාදය දැන් හොඳින් දන්නා දෙයකි. ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්වීමට නියමිතව සිටි ඔහු, ට‍්‍රම්ප් පාලනය විසින් රුසියාව ඉලක්ක කල සම්බාධක ගැන යලි විමර්ෂනය කරනු ඇති බව එහිදී පවසා තිබුනි. එය ජාආඒ විසින් රහසිගතව පටිගත කර තිබුනි.

එවන් සාකච්ඡාවක නීති විරෝධී කිසිවක් ඇත්තේ නැත. නොයෙකුත් ඓතිහාසික පුර්වාදර්ශ පවතී. සමහර ඒවා ෆ්ලින්ගේ දුරකථන ඇමතුමට වඩා රහසිගත තොරතුරුය. ඒ අතර, 1980 මැතිවරනයට පෙරාතුව ඉරානයේ ඇමරිකානු ප‍්‍රාන ඇපකරුවන් නිදහස් කිරීම වැලැක්වීමට, රේගන්ගේ මැතිවරන නියෝජිතයින් මැහත්වීම පිලිබඳ කුප‍්‍රකට සිද්ධිය ද වේ.

ඒ වෙනුවට ඔත්තු ආයතන ෆ්ලින් නෙරපීම සඳහා ඔහුගේ කථාබහ උපයෝගී කරගෙන ඇත. ඔහු පෙනී සිටියේ, ඉරානයට හා විය හැකි පරිදි චීනයට එරෙහි ක්ෂනික පියවර ගැනීමට හැකි වන පරිදි, රුසියාව සමග තාවකාලික හොඳ හිත ගොඩනැගීම වෙනුවෙනි.

ජාආඒ ෆ්ලින්ගේ කථාවේ සටහන් එෆ්බීඅයි වෙත ද ලබාදී තිබේ. එක් අවස්ථාවකදී නම් නොකියවෙන ඔත්තු සේවා ඒජන්තයින්, එම සටහන් දේශපාලඥයින්, ආන්ඩුවේ නිලධාරීන් හා මාධ්‍ය අතට ද ලබාදී තිබේ. පසුගිය සති අන්තය වන විට ධවල මන්ඳිරය, එම සටහන් විමසා බැලීමට ෆ්ලින් හට ඉඩ නොදුන් අතර වොෂින්ටනය පුරා බෙදාහැර තිබුනි. සඳුදා සවස ෆ්ලින් තම ඉල්ලා අස්වීම බාරදුන්නේය. ට‍්‍රම්ප් පාලනය රුසියානු විරෝධී උද්ඝෝෂනයට දුන් සහනයක් වන එය ෆ්ලින්ගේ ඉවත්වීමෙන් වඩාත් ශක්තිමත් විය.

ඔත්තු සේවා සංස්ථාපිතය ට‍්‍රම්ප්ට එරෙහි මැදිහත්වීම, මහ මැතිවරනයේදී හිලරි ක්ලින්ටන්ට සහාය දුන් කොන්සවේටිව් ලේඛකයෙක් වන එලී ලේක් බදාදා කල අනතුරු ඇඟවීමත් සමග තවත් දැඩි විය.

”සාමාන්‍යයෙන් එක්සත් ජනපද නිලධාරීන් හා පුරවැසියන් ප‍්‍රශ්න කිරීම, දැඩි ලෙස ආරක්ෂා කරන ආන්ඩුවේ රහස් ලෙස පවතියි. ඒ සාධාරන හේතුවක් නිසාය. එෆ්බීඅයි හෝ ජාආඒ විසින් නිරීක්ෂනය කරන පෞද්ගලික තොරතුරු, තෝරාබේරා හෙලිදරව් කිරීම, නිර්නාමිකත්වයේ ලෝගුවෙන් වැසී බලයේ ස්ථාවර තත්වය වනසා දැමීමට ඉඩ සැලසීමකි. පොලිස් රාජ්‍යයන්හි සිදුවන්නේ එයයි.”

ඔත්තු ආයතන වෙතින් රිපබ්ලිකන් පක්ෂයත් ට‍්‍රම්ප්ගේ ධවල මන්ඳිරයත් දක්වා පැතිර ඇති පෙරමුන දිගේ කෙරීගෙන යන පාලක පන්තියේ යුද්ධය පිලිබඳව, ”වත්මන් පාලනයේ නිලධාරීන්” ගනනාවකගෙන් කාන්දුවී ඇති තොරතුරු හෙලිදරව් කරයි. ට‍්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ආවොත් හෝ ඔහු ඉල්ලා අස්වුවහොත් ජනාධිපති වීමට නියමිතව සිටින උප ජනාධිපති මයික් පෙන්ස්, ගැටුමට සම්බන්ධවී සිටින සියලු පාර්ශවයන් විසින් ඉන් ඉවත්කර තැබීම සැලකිය යුත්තකි.

මිලිටරියේ ඉහල නිලධාරීහු මැදිහත්ව සිටින බවට පැහැදිලි ඉඟි 12දා නිකුත් විය. ප‍්‍රජාතන්ත‍්‍ර සම්මතයන් උල්ලංඝනය කරමින් නාවික සීල් සේනාංක හා හමුදාවේ ග්‍රීන් බෙරේ සේනාංකයන් ද ඇතුලු ඇමරිකානු විශේෂ කාර්යය බලකා අනදෙන නිලධාරී, හමුදා ජෙනරාල් රේමඩ් තෝමස්, එදින මතභේදය පිලිබඳව අදහස් දැක්වීය.

”අපගේ ආන්ඩුව සිතාගත නොහැකි තරමේ අර්බුදයක් තුලින් ගමන් කරයි.” මේරිලන්ඩ්හි පැවති මහජන හමුවක් අමතමින් තෝමස් එසේ පවසන විට ඇඟවුම් කලේ, ෆ්ලින්ට්ගේ ඉවත්වීම බව පැහැදිලිය. ”අපගේ ජාතිය යුද්ධයක පැටලී සිටින තතු තුල ඔවුන් ඉක්මනින්ම එය නිරාකරනය කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” පසුව ඔහුට තම මතය පැහැදිලි කිරීමට දුන් අවස්ථාවේදී පවා ඔහු යලිත් කියා සිටියේ, ”අනදෙන නිලධාරියෙක් ලෙස මම උනන්දු වන්නේ, අපගේ ආන්ඩුව හැකිතාක් ස්ථාවරව පවත්වා ගැනීමටය.”

ඇරිසෝනාහි ජෝන් මැකේන් හා දකුනු කැරොලිනාවේ ලින්ඩ්සේ ග්‍රෙහැම් යන ප‍්‍රමුඛ රිපබ්ලිකානුවන් දෙදෙනා ඇඟවුම් කලේ, ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය හා රුසියානු ආන්ඩුව අතර පැවතියා යයි කියන බැඳීම් පිලිබඳ විශේෂ කමිටු පරීක්ෂනයකට සහාය දෙන බවයි.

ගුඩ් මෝනිං ඇමරිකා වැඩසටහනෙහි පෙනී සිටිමින් ග්‍රෙහැම් නිවේදනය කලේ, ට‍්‍රම්ප් පරිපාලනය ගැන පැවැත්වෙන අසාමාන්‍යදෑ ”ඒකාබද්ධ තේරීම් කමිටු” පරීක්ෂනයකට තම පූර්න සහාය ලැබෙනු ඇති බවයි.

”සත්‍යයක් නම් එය, මගේ දැඩි කනස්සල්ලට හේතුවකි, අපගේ හා අනෙකුත් අයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇඟිලි ගසා ඇත්නම්, රුසියාව එයට වන්දියක් ගෙවිය යුතුය, ට‍්‍රම්ප්ගේ කුමන හෝ අයෙකු, පිලිගත නොහැකි ආකාරයකට රුසියානුවන් සමග හවුල්වී වැඩකර ඇත්නම් ඔවුන්ද වන්දි ගෙවිය යුතු” යයි ග්‍රෙහැම් පැවසීය.

ටයිම්ස් හි තෝමස් ෆ්‍රීඩ්මාන් උපුටා දක්වමින් ජෝර්ජ් ස්ටෙෆනෝපොලොස් යන මාධ්‍යකරු සෙනේට් සභිකයාගෙන් ”ඩොනඩ් ට‍්‍රම්ප් හා රිපබ්ලිකානුවන් අතර සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි” විමසූ කල ග්‍රෙහැම්, මතභේදයේ දේශපාලන සාරය වෙත ඇඟිල්ල දිගු කලේය.

”රුසියානුවන් සම්බන්ධ ප‍්‍රශ්නයට පැමිනි කල ට‍්‍රම්ප් බොරු කාරයෙකි. රුසියාව අන් කිසිවෙක් නොව සතුරෙකු යයි විශ්වාස නොකරන එකදු රිපබ්ලිකන් සෙනේට් සභිකයෙක්වත් සිටීදැයි මම නොදනිමි. රුසියාව ගැන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අදහස ගැන කියන්ට මට පුලූවන් කමක් නැත.” ග්‍රෙහැම් එසේ ප‍්‍රතිචාර දැක්වීය.

ග්‍රෙහැම්ගේ අදහස්, සෙනේට් විදෙස් සම්බන්ධතා කමිටුවේ සභාපති හා ටෙනසි සෙනේට් සභික බොබ් කෝකර් ද ප‍්‍රතිරාවය කලේය. ඔහු එම්එස්එන්බීසීහි මෝනිං ජෝ වැඩසටහනේදී මෙසේ පැවසීය: ”මේ රුසියානු ප‍්‍රශ්නය පිලිබඳ සියල්ල පුලුවන් තරම් ඉක්මනට එලියට ගත යුතුය. අප සැකකරනවාට වඩා ගැඹුරට ගිය ගැටලුවක් තිබිය හැකිය. ධවල මන්ඳිරයට ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමේ හැකියාව” ඇත් ද නැද් ද කියා ද කෝකර් ප්‍රශ්න කලේය.

සෙනේට් බහුතරයේ නායක මිච් මැක්කොනෙල් හා නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක රයන් යන දෙදෙනා ද ඇමරිකානු මැතිවරනයේදී, චෝදනා එල්ල වන රුසියානු ”ඇඟිලිගැසීම්” පිලිබඳ කාරනය පිලිගත්හ. විශේෂ පරීක්ෂන කමිටුවක් පිහිටුවීම සඳහා කෙරෙන ඉල්ලීම අනුමත කිරීමෙන් වැලකී ඔවුහු, සාමාන්‍ය කොන්ග‍්‍රස් සභා කමිටුවක පරීක්ෂනයක් සඳහා කැඳවුම් කලෝය.

මේ අතර ඩිමොක‍්‍රටිකයෝ, දෝෂාභියෝගයක් පිලිබඳ හැකියාව සලකා බලති.

ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සැක් පැට්කනාස් පැවසුවේ, ”මෙය දැනටමත් වෝටර්ගේට් සිද්ධියට වඩා විශාලය” යනුවෙනි. ”අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උරුමය ඉල්ලා සිටින්නේ, ඩොනල්ඩ් ට‍්‍රම්ප්, ඔහුගේ කාර්ය මන්ඩලය හා රුසියානු ආන්ඩුව අතර සම්බන්ධකම් ගැන ක්ෂනික, ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂනයක් පැවැත්වීමටය.

මෙම අභූත සාම්‍යයන් පිලිබඳ බොහෝ ගැටලු පවතියි. එහෙත් එක් මූලික වෙනස්කමක් ඇත. දැවැන්ත මහජන කෝපයට අනුගත වෙමින් ඩිමොක‍්‍රටික් පක්ෂය වියට්නාම් යුද්ධයේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිය තතු තුල, තම දේශපාලන විරුද්ධවාදීන් බියගැන්වීමට හා අපකීර්තියට පත්කිරීම සඳහා 1972දී රිචඩ් නික්සන් නීති විරෝධී ක‍්‍රමෝපායන් පාවිච්චි කලේය. එම මනෝභාවයට ප‍්‍රතිචාර දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත්, රිචඩ් නික්සන්ගේ ඉල්ලා අස්වීමටත් අවසානයේදී වියට්නාම් යුද්ධය අවසන් වීමටත් තුඩු දුන්, වෝටර්ගේට් සෝලිය තුල රිචඩ් නික්සන්ගේ අවභාවිතයන් හෙලිදරව් කලේය.

අවුරුදු හතලිස් පහකට පසුව ටයිම්ස් හා පෝස්ට් පුවත්පත්, සීඅයිඒ සංවිධානයට සේවය කරමින්, ට‍්‍රම්ප්ට එරෙහිව දකුනෙන් පහර දෙන අතර අනුගත වන්නේ යුද විරෝධී මහජන මතයට නොව, ඊට ප‍්‍රතිවිරුද්ධ අරමුනක් වෙනුවෙන්, එනම්, රුසියාවට එරෙහි යුද්ධය සඳහා දේශපාලන කොන්දේසි සූදානම් කිරීමට ය.

Share this article: