කශේරුක ජීවී සමූහයෝ නාටකාකාරව පිරිහෙමින් ඇත

Vertebrate species populations in dramatic decline

පිලිප් ගෙල්පා විසිනි, 2016 නොවැම්බර් 01

2020 වන විට කශේරුක ජීවී සමූහයන් 1970 ට සාපේක්ෂව 2/3කින් අඩුවන බවට, ලෝක වනජීවී අරමුදල (WWF) හා ලන්ඩන් සත්ත්ව විද්‍යා7 සමාජය විසින් කරන ලද අධ්‍යයනයකින් ප‍්‍රක්ෂේපනය කෙරේ.

ලෝක වනජීවී අරමුදලේ (WWF) හා ලන්ඩන් සත්ත්ව විද්‍යා සංගමයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අනතුරු ඇඟවීමක් සේ ගත යුතුව ඇති Living Planet Report 2016 (සජීවී ග‍්‍රහලෝක වාර්තාව - 2016 ) නව අධ්‍යයනයක්, 2020 වන විට එනම් තව අවුරුදු තුනකදී පමන 1970 ට සාපේක්ෂව ලෝකය පුරා කශේරුක ජීවි විශේෂයන්ගේ බහුලතාව තුනෙන් දෙකකින් අඩුවනු ඇති බවට ප‍්‍රක්ෂේපනය කරයි.

මෙම නාටකාකාර පරිහානිය, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් ඇතුලත් කරගනී. අපෘෂ්ඨවංශිකයන් හා ශාකයන් ද මෙවැනි ම බලපෑමකට ගොදුරුව ඇති බවට සැක නැත්තේ, අවුරුදු මිලියන 25 ක් පුරා පවතින, යුනෙස්කෝ ලෝක උරුමයක් වන කිලෝ මීටර් 2,300 ක් දිගැති කොරල් පරයක්වූ ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ විශාල කොටසක් මිය ගොස් ඇති බවට ලඟදී පලවුනු වාර්තා නිසාය.

පරිහානියේ සීඝ‍්‍රතාව අඩුවීමක කිසිදු සලකුනක් නැත. අධ්‍යයනයට අනුව 1970 සිට 2012 දක්වා වන අවුරුදු 42 ක කාලය තුල කශේරුකයන්ගේ සමස්ථ ජීවීගහන බහුලතාව (එකිනෙක විශේෂයන්ගේ මුලු ජීවීන් සංඛ්‍යාව- 58% කින් පහත වැටී ඇත. 2020 වන විට එනම් තව අවුරුදු තුනකින් පමන එම සංඛ්‍යාව 67% දක්වා පහත වැටෙතැ යි අපේක්ෂිතය. මෙම වේගය නොනැවතී ඉදිරියට ගියහොත් 21 වන ශත වර්ෂයේ මැද වන විට සම්පූර්නව වඳවී යෑම (100% ක අඩු වීම) සිදු විය හැක. මෙම සංඛ්‍යාවන් පදනම් කර ඇත්තේ විශේෂ 3700 ක් ඇතුලත් කරගත් සත්ත්ව ගහන 14,000 ක් නිරීක්ෂනය මගින් රැස්කල සජීවී ග‍්‍රහලෝක දර්ශකය (Living Planet Index- LPI) නම් විශාල දත්ත ගොන්න පදනම් කරගෙන වේ. මෙවන් විශාල සහ සංකීර්න සංසිද්ධියක් තක්සේරු කිරීමට යෑමේදී යම් පමනක අඩමාන බවක් බලාපොරොත්තු විය හැකි මුත්, සාමාන්‍ය දිශානතිය පැහැදිලිය.

මෙම නාටකාකාර පරිහානිය සඳහා ප‍්‍රධාන කොටම හේතු වන්නේ යයි සැලකනු ලබන්නේ, දේශගුනික විපර්යාස, පරිසර දූෂනය, මානව ක්‍රියාකාරකම් ආශ්‍රිත රෝග පැතිරයාම, අධිභාවිතය හා පරිසර විනාශය යන මේවායේ සංකලනයකි. ජීවීගහනයන්ගේ සැලකියයුතු පරිහානිය පෙන්නුම් කරන පරිදි, පැහැදිලිවම කශේරුක ජීවීගහනයන් අතිවිශාල ආතතියකට භාජනය කෙරී ඇත. 1970-2012 අතරතුර විශේෂීන්ගේ බහුලතාව 81% ක පරිහානියක් අත්දුටු මිරිදිය පරිසරය (ගංගා හා විල්) වඩාත්ම ප‍්‍රබල ප‍්‍රහාරයකට ගොදුරුව ඇති බව වාර්තාව හඳුනා ගනී. භෞමික විශේෂ බහුලතාව 38% කින්ද සමුද්‍රීීය ජීවී බහුලතාව 36% කින්ද පිරිහී තිබේ. 2016 සජීවී ග්‍රහලෝක වාර්තාව (LPR) ජීවීන්ගේ පරිහානිය සහ වඳවී යෑමේ නාටකාකාර ප‍්‍රවනතාව හඳුනාගත් මෑත අධ්‍යයන බොහෝ ගනනාවකින් එකක් පමනි.

අවුරුදු 50ක පමන කාල පරාසයක් තුල සිදුව ඇති, LPR (සජීවී ග‍්‍රහලෝක වාර්තාව - 2016 ) මගින් ලේඛන ගත කරන ව්‍යසනයේ පරිමානය, පෘථිවිය මින් පෙර අත්දුටු මහා පරිමාන ජීවී වඳවී යෑම් 5 ටම අභියෝග කල හැකි මට්ටමක පවතී. කෙසේ වෙතත් එකී පෙර සිදුවීම් විවිධ ස්වාභාවික ක්‍රියාවලීන් නිසා සිදුවුවත්, මේ ලඹදෙන 6 වන වඳවී යාම සඳහා නිශ්චිතවම හේතු කාරක වන්නේ, ස්වභාවධර්මයට හෝ සමාජයට වන ඵල විපාක නොතකා අව සිහියෙන් ලාභය පසුපස හඹා යන ධනවාදී ආර්ථිකයේ අරාජික සංවර්ධනයයි.

මෙම නාටකාකාර සත්ත්ව ගහන පරිහානිය ධාවනය කරවන බලවේගයන් ගැන පැහැදිලි කිරීම සඳහා සජීවී ග‍්‍රහලෝක වාර්තාව, මානව ජනගහන වර්ධනය, කාබන් ඩයොක්සයිඩ් (අංගාරිකාම්ල) විමෝවන සහ පොහොර පරිභෝජනය වැඩිවීම වැනි අනුභූතික ප‍්‍රවනතා ගැන පමනක් සඳහන් කරන අතර ඉදිරිපත් කරනුයේ, ”පෘථිවි පද්ධති ඉදිරිදර්ශනයක්” තෝරා ගැනීම වැනි නොපැහැදිලි විසඳුම් පමනකි. කාර්මික වර්ධනය, සම්පත් භාවිතය, වඩා කාර්යක්ෂම තාක්ෂනයක් වර්ධනය කිරීම හා පරිසරයට බලපාන වෙනත් ආර්ථික විෂය කාරනා මහත් පරාසයක් පිලිබඳ තීන්දු, ලෝක ජනගහනයෙන් ඉතාමත් කුඩා සුලුතරයක් වන මූල්‍ය හා සංඝතප‍්‍රභූන් විසින් තමන්ගේ උත්සුකයන් රැක ගැනීම උදෙසා ගනු ලබන බව ගැන කිසිදු සඳහනක් නැත.

පරිසරයට බලපෑමේ හැකියාව පිලිබඳ විද්‍යාත්මක තක්සේරු කිරීමක් නොමැතිව හෝ මඳ පමනින් සිදුකොට ක්‍රියාවට දැමූ, සැලසුම් නොකල සංවර්ධනයේ බලපෑම, 1970දී ආරම්භ වූවා නොවේ. මානව ක්‍රිාකාරකම්, ස්වභාවික ප‍්‍රජාවන් කෙරේ අවුල් සහගත ලෙස බලපෑම කෘෂි කර්මාන්තයේ සංවර්ධනයත් සමග ඇරඹී අවුරුදු දහස් ගනනාවක් පැවැතී තිබේ. එසේ වතුදු පසුගිය ශත වර්ෂ කීපය තුල මෙම බලපෑම්වල විෂය පථය හා පරිමානය, ධනවාදයේ වර්ධනය සහ කාර්මික විප්ලවය සමග නාටකීය ලෙස වේගවත් වී ඇත. වෙන්ස්වීමේ සීඝ‍්‍රතාව දැන් ගුනාත්මක පරිවර්තනයකට බඳුන්වී, කිසිදා නුදුටු වේගයක් අත්කරගෙන තිබේ. මෙම අධි ත්වරනයේ ඵල විපාක ඉතා නිශ්චිතව, සමීපව පුරෝකථනය කල නොහැකි නමුත් ස්වභාවික පාරිසරික පද්ධතීන්ට හා මානව ප‍්‍රජාවන් කෙරේ සැලකිය යුතු විනාශකාරී බලපෑමක් ඇති කරනු නිසැකය.

ජීවී ප‍්‍රජාවන්, ඉහලම කශේරුක විලෝපිකයන්ගේ සිට ක්ෂුද්‍රජීවීන් දක්වා වන විශාල පරාසයක ජීවීන් අතර අන්තර් ක්‍රියාවෙන් යුත් ගතික පද්ධතීන් සේම, තමන් වසන භෞතික පරිසරයේ සංඝටකයන් ලෙස ද පවත්නේය. වැඩි වර්ධනය වන විශේෂීන් සංඛ්‍යාවක්, මෙම අපෝහකාත්මක සබඳතාවයෙන්, සංඛ්‍යාත්මකව හා ගුනාත්මකව (එනම් වඳවී යාමෙන්) වේගයෙන් ඉවත් කිරීම, මෙම පද්ධතීන් එන්න එන්නම අස්ථායි වීමට හා ව්‍යසනකාරී ලෙස කඩාවැටීමකට ලක්වීමේ හැකියාව වැඩිකරයි.

මෙම මූලික වෙනස්වීම විද්‍යාත්මක ප‍්‍රජාව විසින් දැන් නිල වශයෙන් පිලිගෙන ඇත. ශතවර්ෂ 2ක් පුරා දිවෙන පර්යේෂන පදනම් කරගෙන, පෘථිවියේ ජීවීන්ගේ වර්ධනය අධ්‍යයනය කිරීම සඳහා කාලානුක‍්‍රමික රාමුවක් විද්‍යාඥයින් විසින් වර්ධනය කර ඇත. පරිනාමීය විපර්යාසයන්ගේ අනුගාමී කාල වකවානු, අඩු තරමින් පාර්ශ්වීය ලෙස හෝ නිර්වචනය කර ඇත්තේ, පෘථිවි සත්ව සංහතියේ සැලකියයුතු වෙනස්වීම් පිලිබිඹු කරනා, අඩු හෝ වැඩි වශයෙන් සුවිශේෂව හඳුනා ගත හැකි ජීවී කාන්ඩයන්ගේ පැවැත්ම මගින් පමනි. ක්ෂීරපායීන්ගේ යුගය ලෙස හැඳින්වෙන වඩාත්ම මෑත ප‍්‍රධාන උප බෙදීම වන සිනසොයිකය, දල වශයෙන් අවුරුදු මිලියන 65ක් පුරා විහිදේ. (එනම් ඩයිනොසෝරයන්ගේ වඳවී යෑමෙන් පසුව සිට) එය ද (හැම එකක්ම අවුරුදු මිලියන ගනනක් පුරා දිවෙන) වඩා කුඩා ඒකක මාලාවකින් සමන්විත වේ. අවසාන ඒකක තුන වනුයේ මානව පරිනාමය ඇතුලත් කරගත්තාවූ ප්ලයෝසීනය, ප්ලයිස්ටෝසීනය, සහ හොලෝසීනය යි. ප්ලයිස්ටෝසීනයම පමනක් දල වශයෙන් අවුරුදු මිලියන 2.5ක් පුරා දිව යයි.

වත්මන් ක්ෂීරපායීන්ගේ පැවැත්ම මගින් සංලක්ෂිත හොලෝසීනය ආරම්භවූයේ, අවුරුදු 12,000කට පමනක් එපිට, අවසාන අයිස් යුගයේ නිමාවත් සමග ය. ඒ අනුව මීට පෙර යුගයන්ගේ දිග හා සැසඳීමේදී එය යන්තම් පටන් ගත්තා පමනය. එසේ වුව ද මෑත වසර වලදී සමහර විද්‍යාඥයන්, ජීවී විශේෂ සමූහය පදනම් කර ගනිමින් භූ විද්‍යාත්මක යුගයන් නිර්වචනය කිරීමේ එම පිලිවෙතම අනුයමින්, හොලෝසීනය නිමාවී ඇති බවත් ඇන්ත්‍රොසපොසීනය නමින් නව යුගයක් ඇරඹී ඇති බවත් යෝජනා කර ඇත. නමෙහි, ග්‍රීක බසින් මිනිසා යනුවෙන් අරුත් ගැන්වෙන ”ඇන්ත්‍රොස” යන උපසර්ගය යෙදීමෙන්, ජීව පරිනාමයත්, ඒ හා බැඳුනු දේශගුන හා පරිසර විපර්යාස ක්‍රියාවලියත් යන දෙකම සඳහා ප‍්‍රධාන සාධකයක් බවට මිනිසා පත්ව ඇති බව පෙන්නුම් කිරීම අපේක්ෂිතය.

ස්වභාවික පරිසර පද්ධතීන්ගේ සංකීර්නතා පිලිබඳ වඩාත් ගැඹුරු වටහා ගැනීමක් වර්ධනය කර ගැනීම සඳහාත්, එම වැටහීම මගින්, මිනිස් අවශ්‍යතාවන් සපුරා ගන්නා අතරම ස්වභාවික ලෝකය මත එහි බලපෑම සැලකිය යුතු පමනකින් අවම කරන ආර්ථිකයක් තර්කානුකූලව සැලසුම් කර ගැනීම සඳහාත්, පෙර නොවූ විරූ ශක්‍යතාවක්, මානවවිද්‍යාව හා තාක්ෂනය දැන් ලඟාවී ඇති ලක්ෂනයට අනුව අපට ලැබී තිබේ.

එසේ නමුදු ධනවාදය, සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකින් විස්ථාපනය, එයද සාපේක්ෂව කෙටි කලකින්, නොකලහොත් ජීවත් විය හැකි ග‍්‍රලෝකයක් පවත්වා ගෙන යෑම සඳහා අතිමූලික වන ස්වභාවික පද්ධතීන්ට දරුනු, සමහරවිට අප‍්‍රතිවර්ත්‍ය පරිහානියකට පාත‍්‍රවීමේ විශාල හැකියාවක් මෙම අරාජික සංවර්ධනයේ ආන්තිකව නිශේධනීය බලපෑම් කෙරෙන් ඇතිවිය හැක. දේශගුනික විපර්යාස හා පාරිසරික පරිහානියට විසඳුම් සෙවීම සඳහා ප‍්‍රතිමල්ල ධනපති ජාතික රාජ්‍යයන් විසින් ගන්නා ලද උත්සාහයන් දුර්වල මෙන්ම ඵල රහිත ද වී ඇත. 2016 සජීවී ග්‍රහලෝක වාර්තාව (LPR) පෘථිවිය මත ජීවයේ අනාගත පැවැත්ම අවධානයට ලක්ව ඇති බවට අනතුරු ඇඟවීමක් වේ.

Share this article: