වතු සමිති මැදිහත් වී පාර්ක් වත්තේ කම්කරු වර්ජනය කඩාකප්පල් කරයි

එම්. දේවරාජා විසිනි, 2017 ජනවාරි 5

වැටුප් කප්පාදුවට එරෙහිව උඩුපුස්සැල්ලාව වතු සමාගමට අයත් කඳපොල පාර්ක් වත්තේ කම්කරුවන් මාසයකට ආසන්න කාලයක් ගෙන ගිය වර්ජනය, වෘත්තීය සමිතිවල කඩාකප්පල්කාරී කි‍්‍රයා හේතුවෙන් ජනවාරි 3 දා නතර කිරීමට සිදුව ඇත. වෘත්තීය සමිති වල මෙම මැදිහත්වීම මගින් යලි වතාවක් සනාත කෙරී ඇත්තේ ඔවුන් නියෝජනය කරන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නොව වතු සමාගම්වල ලාබ අවශ්‍යතාවයන් බව ය.

දෙසැම්බර් 7 වෙනිදා පාර්ක් වත්තේ කම්කරුවන්ගේ අරගලය ආරම්භ කෙරුනේ නව සාමුහික ගිවිසුම යටතේ වැඩ ඉලක්කයන් ඉහල දමා වැටුප් කප්පාදු කිරීමට විරුද්ධව හා තවත් ඉල්ලීම් ගනනාවක් මුල් කර ගෙනය. වත්තේ රැකියාව සඳහා අලුතෙන් කම්කරුවන් ලියාපදිංචි කිරීම, නිවාස හා ජල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම ඔවුන්ගේ සෙසු ඉල්ලීම් වලට ඇතුලත් විය. වර්ජනයට 800 ක් පමන වන වත්තේ සියලුම කම්කරුවෝ සහභාගී වූහ.

වර්ජනය ආරම්භ කෙරුනේ වෘත්තීය සමිතිවලට පිටින් ස්වයංසිද්ධවය. ආරුමුගම් තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), ආන්ඩුවට සම්බන්ධ ජාතික කම්කරු සමිතිය (එන්යුඩබ්ලිව්), කඳුරට පෙරමුන (යුපීඑෆ්), ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ ශක්ති රුපවාහිනියේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකයෙක් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ශී‍්‍ර රංගාගේ පුරවැසි පෙරමුන (සීඑෆ්) ඇතුලු වෘත්තීය සමිති දුසිමක් පාර්ක් වත්තේ ඇත.

ඒ සියලුම සමිති මුල සිටම වර්ජනයට විරුද්ධ වූ අතර වර්ජනය නතර කර ආපසු වැඩට යන ලෙස බලපෑම් කල බව කම්කරුවෝ කීහ. මාසයක් පමන වර්ජනයේ යෙදී සිටීම නිසා වැටුප් නොලැබීමත්, අරගලය හුදකලා කිරීමට සමිති හිතාමතාම කටයුතු කිරීම නිසාත් කම්කරුවන්ට ආපසු වැඩට යාමට බල කෙරුනි. “වෘත්තීය සමිති අපේ අරගලය පාවා දුන්න. පඩි නැතුව දිගට ම වර්ජනයේ ඉන්න බැරි නිසා වර්ජනය නතර කර අපිට වැඩට යන්න සිද්ධවුනා” කම්කරුවෝ කීහ.

වර්ජනය නතර කර ඇත්තේ වත්තේ කලමනාකරු වන අජිත් පීරිස් මාස තුනකට වෙනත් වත්තකට මාරු කිරීමේ පොරොන්දුව පිටය. එය නිශ්චිතව ම වැඩ ඉලක්ක ඉහල දැමීම සහ ඉලක්ක සම්පුර්න කිරීමට අසමත් වන කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීම සම්බන්ධව කම්කරුවන් අතර මතු වූ විරෝධය සහ කෝපය සමනය කර වර්ජිත කම්කරුවන් ආපසු වැඩට යැවීමේ වෘත්තීය සමිති සහ වතු පාලකයන්ගේ කුමන්ත‍්‍රනයකි. වැඩ ඉලක්ක ඉහල දැමීම සහ වැටුප් කප්පාදුව හුදෙක් වතු කලමනාකරුගේ පුද්ගලික තීන්දුවක් නොවේ. වැඩ ඉලක්ක ඉහල දැමීම සහ ඉදිරිවසර දෙක තුල සමාගම් විසින් යෝජිත අඳ ගොවි ක‍්‍රමයට සමාන නිෂ්පාදන පලදායිතාවය මත පාදක වූ ආදායම් බෙදීමේ වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාවට දැමීම නව සාමුහික ගිසුමේ කොන්දේසිවලට ඇතුලත් කර ඇත. එම කොන්දේසිවලට සියලුම වතු වෘත්තීය සමිති එකඟ වූහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල පාර්ක් වත්තේ කම්කරුවෝ වැඩ ඉලක්කයන් ඉහල දමා වැටුප් කප්පාදු කිරීම සහ වෘත්තීය සමිතිවල ද්‍රෝහී කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය සහ කෝපය ප‍්‍රකාශ කලහ.

“සියලු ම වෘත්තීය සමිති කිව්වේ සාමූහික ගිවිසුමෙන් අපේ වැටුප 620 සිට 720 දක්වා වැඩි කලා කියල. නමුත් අපේ වත්තේ වැඩ ඉලක්ක ඉහල දමලා කම්කරුවන් වැඩි දෙනෙකුගේ වැටුප් කප්පාදු කරලා. දැන් දවසකට කිලෝ 18 කඩන්න ඕන. කිලෝ 10 ට වැඩිය කැඩුවේ නැත්නම් පඩියෙන් භාගයයි ගෙවන්නේ. මේ දවස්වල වියලි කාල ගුනය නිසා කිලෝ 18 කොහොමටවත් කඩන්න බැහැ. ඒ නිසා නිෂ්පාදන දීමනාව කාටවත් ලැබෙන්නේ නැහැ. ගිවිසුමේ කොන්දේසි අපෙන් වසන් කරලා ඔක්කොම සමිති අපිව රවට්ටලා. ඒ නිසයි අපි සමිතිවලට පිටින් වර්ජනයට ගියේ” යැයි කම්කරුවෙක් පැවසීය.

වැටුප් කප්පාදුව නිසා නොවැම්බර් මාසයේ තමන්ගේ වැටුප් රුපියල් 4,100 ක් වූ බව තම වැටුප් පත පෙන්වමින් එක් කම්කරු කාන්තාවක් පැවසුවාය. “මාසේ වැඩ දින ගනන 22 යි. මම දවස් 20 ක් වැඩට ගියා. කිලෝ 10 ට වැඩිය කඩන්න පුලුවන් වුනේ දවස් 16 යි. ඉතිරි දවස් වල කිලෝ 10 ට අඩු වුන නිසා දවස් භාගයක් හැටියට ගනන් ගත්තේ. නමුත් පැය 8 ට වැඩිය ඒ හැම දවසක ම වැඩ කලා. කිලෝ 18 කිසිම දවසක කඩන්න බැරි වුනා. ඒ නිසා නිෂ්පාදන දිරිදීමනාව නැහැ. ගිවිසුමට කලිනුත් ටාගට් එක කඩන්න බැහැ. බඩුමිල වැඩි නිසා මේ පඩියෙන් කොහොමවත් මාසේ කෑම වියදමවත් පියවා ගන්න බැහැ” යි ඇය කීවාය.

වත්තේ තරුනයන්ට රැකියා නොමැතිකම ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බව කම්කරුවෝ කීහ.

“ඉගෙනගත්තු තරුනයො ඉන්නවා වත්තේ. ඔවුන්ට රක්ෂා නැතිනිසා කොලඹ ගිහිල්ල අඩු පඩියට නොයෙකුත් වැඩ කරනවා. අනෙක නිවාස ප‍්‍රශ්නේ. බොහොමයක් කම්කරුවන්ට තියෙන්නේ අවම පහසුකම් වත් නැති නිවාස. තනි ලයින් කාමරේ පවුල් දෙක තුනක් ඉන්නවා. ප‍්‍රමානවත් තරම් වතුර නැතිකම ලොකු ගැටලුවක්. වත්තේ මැනේජර් මහත්තය මහා පරිමානයෙන් එලවලු වවනවා. හැම අවුරුද්දකම එයා ඒකෙන් ලොකු ලාබයක් ගන්නවා. ඒවාට වතුර විශාල වශයෙන් පාවිච්චි කරනවා. කම්කරුවන්ට වතුර ලැබෙන්නේ එයාගේ එලවලු කොටුවට අවශ්‍ය තරම් වතුර ගත්තට පස්සේ.”

ලයින් කාමර අවට පිරිසුදු කිරීමේ දී කලින් වැටුප් ගෙවූ නමුත් දැන් එය නතර කර ඇත. ඒ නිසා ලයින් කාමර අවට වල් වැවීමෙන් මදුරුවන් බෝවීම ඇතුලු රෝගකාරකයන් බහුලව වර්ධනය වී ඇති බවට කම්කරුවෝ චෝදනා කරති. “ඒ නිසා නිතරම ලමයි ලෙඩ වෙනවා.” වියදම් කප්පාදුවේ කොටසක් ලෙස වත්තේ ඩිස්පෙන්සරියේ තිබුන ෆාමසිය වසා ඇත. කලින් වෛද්‍යවරු තුන්දෙනෙක් වත්තේ ඩිවිසන් තුනට හිටියත් දැන් ඉන්නේ එක් අයෙකි. ඒ නිසා ලයින් කාමරවලට පැමින කල රෝග පරික්ෂාව නතර වී ඇත.

“අපි වර්ජනය කලේ මේ ප‍්‍රශ්න විසඳ ගන්න. නමුත් වත්තේ මහත්තුරුත් එක්ක සමිති එකතුවෙලා වර්ජනය කඩා කප්පල් කලා” යැයි කම්කරුවෙක් වෘත්තීය සමිතිවලට චෝදනා කලහ.

වර්ජනය ඇරැඹී දින 20 ක් ගතවූ කල දුරකතනයෙන් වර්ජිත කම්කරුවන් ඇමතූ එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් ඔවුනට පරුෂ වචනයෙන් බැන වදිමින් කියා ඇත්තේ වතු පාලකයන් ඉල්ලීම් දීමට පොරොන්දු වී ඇති නිසා මුරන්ඩු නොවී ආපසු වැඩට යන ලෙස යි. මේ අතර සීඩබ්ලිව්සී සභාපති මුත්තු සිවලිංගම් කියා ඇත්තේ කම්කරුවන්ගේ ප‍්‍රශ්න ගැන සාකච්චා කිරීමට තම සමිතිය කලින් බලාපොරොත්තු වූ නමුත් අනෙක් සමිති මැදිහත් වෙලා ඉන්න නිසා නිස්සබ්දව ඉන්න බවත් ඔවුන්ට ප‍්‍රශ්න විසඳීමට නොහැකි වුනොත් සීඩබ්ලිව්සී ය මැදිහත් වන බවකි. වර්ජනය නතර කිරීමට ලංකා ජාතික වතු කම්කරු සමිතියේ ලේකම් වඩිවෙල් සුරේෂ් කිහිප වරක් උත්සාහ කර ඇත. නමුත් කම්කරුවන් එය ප‍්‍රතික්ෂේප කර ඇත.

ශී‍්‍ර රංගා ශක්ති රූපවාහිනියේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක වරයෙකු වුනත් වර්ජනජය ගැන කිසිම ප‍්‍රවෘත්තියක් තම නාලිකාවේ විකාශය නොකල බව කම්කරුවෝ කීහ. එය අහම්බයක් නොවේ. එවන් ප‍්‍රවෘත්තියක් පලවුයේ නම් අරගලය සෙසු වතු කම්කරුවන් අතරට පැතිරයාමට තිබුන ශක්‍යතාව ගැන ඔහු උත්සුකය.

වෘත්තීය සමිති නායකයන් වතු පාලකයන්ගේ සහ ආන්ඩුවේ ඒජන්තයෝය. එහෙයින් වෘත්තීය සමිති මගින් කම්කරුවන්ගේ ඉල්ලීම් කිසිවක් දිනා ගැනීමට නොහැකිවා පමනක් නොව; කම්කරුවන් ඉතා දුෂ්කර අරගල මගින් දිනාගෙන ඇති සොච්චම් සමාජ සහන පවා ආපසු උදුරා ගැනීම සඳහා ඔව්හු සහය දෙති.

වතු කම්කරුවන්ට සිය රැකියා, වැටුප් හා වැඩ කොන්දේසි පිලිබඳ ප‍්‍රශ්න විසඳා ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තම අරගලය සංවිධානය කර ගැනීමෙන් පමනි. ඒ සඳහා කි‍්‍රයාකාරී කමිටු ඇතුලු කම්කරුවන්ගේ චන්දයෙන් ප‍්‍රජාතාන්ති‍්‍රකව පිහිටුවා ගන්නා නව සංවිධාන කම්කරුවන්ට අවශ්‍ය වේ.

කි‍්‍රයාකාරී කමිටුවල කාර්යභාරය වන්නේ ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම හා ධනපති ලාබ පද්ධතිය අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමය.

අප්කොට් හි ඩීසයිඩ් වත්තේ කම්කරුවන් කි‍්‍රයාකාරී කමිටුවක් තුල සංවිධානය වෙමින් කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට මූලිකත්වය ගෙන ඇත. ඔවුන් සමග ඒකාබද්ධ වෙමින් ඒ සඳහා සටන් කිරීමට පාර්ක් වත්තේ කම්කරුවන් පෙරට ආ යුතු ය.

Share this article: