රුසියානු අපහරනය පිලිබඳ පච ව්‍යාපාරය

The lying campaign on Russian hacking

2016 දෙසැම්බර් 31

ව්ලැඩමීර් පුටින්ගේ ආන්ඩුව විසින් සිදුකලැයි චෝදනා කෙරෙන සයිබර් ප‍්‍රහාර වලට ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස හඳුන්වමින්, රුසියාව ඉලක්ක කර ගනු ලබන පියවර මාලාවක්, ජනාධිපති බරක් ඔබාමා 29දා නිවේදනය කලේය. ඊට රුසියානු තානාපති නිලධාරීන් 35 දෙනෙක් පිටුවහල් කිරීම හා රුසියානු බුද්ධි අංශ ආයතන වලට හා තවත් නිලධාරීන්ට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම ද ඇතුලත්ය.

නිව් යෝර්ක් ටයිම්ස් මූලික කොටගත් ඇමරිකානු මාධ්‍ය, එම පියවර ප‍්‍රසංශාවට ලක් කලේය. “ඇමරිකානු පරිගනක අපහරනය (hack) හා 2016 ජනාධිපතිවරනයට බලපෑම් කිරීමට උත්සාහ කිරීමට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම පිලිබඳ ජනාධිපති ඔබාමාගේ තීරනයේ නිරවද්‍යතාවය ගැන කිසිදු සැකයකට ඉඩක් නැතැයි” ටයිම්ස් කතුවැකිය සඳහන් කරයි.

රුසියාවට චෝදනා නඟන ලෝකයේ ලොකුම අපහරන හා සියිබර් කඩාකප්පල් වැඩසටහන්වල ප්‍රමුඛයා වන ආන්ඩුව ගැන සඳහන් කිරීම ඇමරිකානු මාධ්‍යයට දිරවාගත නොහැකි වන්නේ, එඩ්වඩ් ස්නෝඩන් විසින් මුදාහැර තිබෙන ලේඛන වලට අනුව, එහි (ඇමරිකානු ආන්ඩුවේ) ඉලක්කය, "සියල්ල රැස් කරන්න.....ඒ සියල්ල ප්‍රයෝජනයට ගන්න" යන සටන් පාඨය යටතේ සමස්ත ලෝකයේම දත්ත රැස්කිරීම හෝ අපහරනය වන බැවින්ය.

ඊස්රායලය සමග එක්ව ඉරානයට එරෙහිව ස්ටක්ස්නෙට් පරිගනක වෛරස් ප‍්‍රහාරය නිර්මානය කර මුදාහරිනු ලැබුවේ ද ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ ජංගම දුරකථනයට රහසින් ඇහුම්කන්දීමට දිරිගැන්වූයේ හා එක්සත් ජාතීන්ගේ අන්තර්ජාල සම්බන්ධතා පිලිබඳව ඔත්තු බැලුවේ ද මේ ආන්ඩුවයි. අනෙකුත් රටවල මැතිවරන වලට “බලපෑම් කිරීමේ” කාරනය ගැන සලකන කල, ලෝකය පුරා දේශපාලන සිද්ධීන් ගසාකෑමටත්, මැතිවරන වෙනස් කිරීමට හා පත්වූ ආන්ඩු පෙරලා දැමීමටත් ඇමරිකාවේ හා එහි ඔත්තු අංශ කටයුතු කර ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳ ඉතිහාසය ගැන වෙලුම් ගනනක් ලිවිය හැකිය.

වෙනත් ඕනෑම රටක් මෙන් රුසියාව ද අන්තර්ජාලය තුලින් කඩාකප්පල් වැඩ කරන්නට ඇතැයි අනුමාන කිරීමට බොහෝ සංකල්පනා අවශ්‍ය නැත. එහෙත් මේ කාරනයේදී, රුසියාව ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ තොරතුරු අපහරනය කලේයයි නගන චෝදනා පදනම් විරහිතය.

සන්නිවේදන තාක්ෂනය පිලිබඳ මූලික දැනුමක් ඇති මධ්‍යස්ථ පුද්ගලයෙකු, ඇමරිකාවට විරුද්ධව රුසියාව සයිබර් ප‍්‍රහාරයක් එල්ල කලා යයි නිගමනය කිරීමට අවශ්‍ය තරම් තොරතුරු, ධවල මන්දිරය, ඇමරිකානු ඔත්තු ආයතන, මාධ්‍ය හෝ මොනම පෞද්ගලික ආරක්ෂක ආයතනයක් විසින් හෝ සපයා ඇත්තේ නැත.

රුසියාවට එරෙහි පියවර නිවේදනය කරමින් නිකුත් කල ප‍්‍රකාශනයෙන් ඔබාමා පැවසුවේ, “එක්සත් ජනපදයේ මැතිවරන කි‍්‍රයාවලියට මැදිහත්වීමට රුසියාව කටයුතු කර තිබීම ගැන අපේ තක්සේරුව, ඔක්තෝබරයේදී මගේ පාලනය විසින් ප‍්‍රසිද්ධියට පත්කරනු ලැබූ” බවය.

හිතාමතාම ඔබාමා ව්‍යාකූල ආකාරයකට සඳහන් කරන්නේ, ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් විසින් ඔක්තෝබර් 7දා ප‍්‍රසිද්ධියට පත් කල ප‍්‍රකාශනයක් ගැනය. එයින් ඔහු පැවසුවේ, “මෑතදී, එක්සත් ජනපදයේ දේශපාලන සංවිධාන ද ඇතුලු පුද්ගලයින් හා ආයතනවල විද්‍යුත් තැපෑල විනිවිදීමේ කටයුතු මෙහෙයවා ඇත්තේ, රුසියානු ආන්ඩුව යයි බුද්ධි ප‍්‍රජාව දැනුවත්ව සිටී” යනුවෙනි.

නොවැම්බර් මැතිවරනය ආසන්නව තිබියදී කරන ලද ක්ලැපර්ගේ ප‍්‍රකාශයෙහි අරමුන, ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට බර්නි සෑන්ඩර්ස්ගෙන් එල්ලවී තිබුනු අභියෝගය පරාජය කර, හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය සහතික කිරීම සඳහා ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව විසින් දියත්කර තිබුනු, ප‍්‍රාථමික මැතිවරන කි‍්‍රයාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහය හෙලිදරව් කරමින්, විකිලීක්ස් ප‍්‍රසිද්ධියට පත් කල තොරතුරු අපකීර්තියට පත් කිරීමයි.

මේ ප‍්‍රශ්නය පිලිබඳව ධවල මන්දිරය විසින් කරන ලද සියලු චෝදනා මෙන්ම, යන්තම් ඡේද තුනකින් යුත් ක්ලැපර්ගේ ප‍්‍රකාශය ද එහි පොදු භාවයෙන් හා නිශ්චිත විස්තර දුලබ වීමෙන් අංගලක්ෂිත විය. “නිශ්චිත” යන වචනයට වඩා ඒත්තු ගැනීම අතින් පහත මට්ටමක් සලකුනු කල, “දැනුවත්ව සිටි” බවට එහි වන සඳහන, අතිශයින්ම වැදගත්ය.

ඔබාමා 29දා කල ප‍්‍රකාශයට සමගාමීව ක්ලැපර්ගේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය ද 2016 මැතිවරනය රුසියාව විසින් අපහරනය කරන ලද බවට චෝදනා නගන වාර්තාවක් නිකුත් කලේය.

රහසිගත දත්ත කරා පිවිසීමට දරන ලද උත්සාහයක් පිලිබඳව නිශ්චිත චෝදනා, වාර්තාවට ඇතුලූව තිබුනේ නැත. සාක්ෂි ඊටත් අඩුය. වාර්තාවට සැබවින්ම ඇතුලත්ව තිබූ කරුනුවල අප‍්‍රමානවත් බව සැලකිල්ලට ගන්නා කල, එය සොයාගත් තොරතුරු සඟවාගෙන ඇති බවට සැකයක් නැත. වාර්තාව පැවසුවේ, “ආරක්ෂක ආයතන ගනනාවක් විසින් පොදුවේ විස්තර කරන ලද පරිදි සිදුකරන ලද බොහෝ කටයුතු, රුසියාවේ සිවිල් හා මිලිටරි බුද්ධි අංශ ද ඇතුලූ ආන්ඩුව විසින් සිදුකරන ලද බව ගැන එක්සත් ජනපද ආන්ඩුවට සහතික විය හැකිය” යනුවෙනි.

ක්ලැපර් නිකුත් කල වාර්තාව තුල ගෙනහැර දැක්වූ කරුනු කෙතරම් දුබල ද යත්, නිව් යෝර්ක් ටයිම්ස් 30දා පල කල ප‍්‍රධාන ලිපියෙන් ද එය පෙන්වා දීමට සිදුවී තිබුනි. “මැතිවරනයට බලපෑම් කිරීමේ සැලසුමකට ජීආර්යූ හෝ එෆ්එස්බී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් (රුසියානු ඔත්තු සේවා ආයතන) කෙලින්ම බැඳ දමන කරුනු අතින් එය බෙහෙවින්ම අප‍්‍රමානවත්ය.”

එසේනම් කිසිදු සාක්ෂියකින් තොරව නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ ප‍්‍රකාශ කර තිබුනේ මක්නිසා ද? “ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වල කැපීම සඳහා උත්සාහ දරන්නට තමාට දන්ඩමුක්තියක් ඇතැයි සිතන්නට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඉඩ හරිමින් (ඔබාමා), ඊලඟ මාසයේ ධුරය අතහැර යෑමක් වගකීම් පැහැර හැරීමක් වනු ඇත.”

එවන් ප‍්‍රතිප‍්‍රහාරයක් යුක්තිසහගත කිරීම, “සුප‍්‍රකට පුවත්පතක” කනස්සල්ලට හේතු නොවූවා යයි සැලකීමට තරම් කරුනු ඇත්තේ නැත. එසේ වී ඇත්තේ, ඇමරිකාවේ අවශේෂ මාධ්‍ය මෙන්ම එය ද ඇමරිකානු ආන්ඩුවේ සාවද්‍ය ප‍්‍රකාශ ප‍්‍රශ්නයට බඳුන් කිරීමට හෝ පරීක්ෂාකර නොබැලීමට හා නොතකා හැරීමට සිතා සිටීම නිසාය.

වත්මන් ව්‍යාපාරය තුල, 2003 ඉරාක යුද්ධය දියත් කිරීම සඳහා යොදාගත් බුෂ් ආන්ඩුවේ ව්‍යාජ කඩතුරාව වූ “ජනඝාතන අවි” පිලිබඳ කථාන්තරය දෝංකාර නංවයි. දැන් වගේම එදා ද ටයිම්ස් පත‍්‍රය හා අනෙකුත් පුවත්පත්, ආන්ඩුවේ පච පුනරුච්ඡාරනය කලා හා හුවා දැක්වූවා පමනක් නොව, යුද්ධය යුක්තියුක්ත කිරීමේ ආන්ඩුවේ ප‍්‍රචාරවල කොටසක් ලෙස, සිදුවීම් පිලිබඳ සදොස් කථාන්තර පල කිරීමට යුහුසුලු වූහ.

ඔබාමාගේ නවතම කටයුතු, ඇමරිකාව සිරියාවේදී සහයෝගය දැක්වූ තන්ත‍්‍රමාරු උපාය බිඳවැටීමෙන් උත්සන්නවී ඇති, ධවල මන්දිරයේ හා නිව් යෝර්ක් ටයිම්ස්හි රුසියානු විරෝධී ව්‍යාපාරය පුලූල් කිරීමේ කොටසකි.

මෙම ව්‍යාපාරය දිගහැරෙන්නේ, ඇමරිකානු මිලිටරි ආක‍්‍රමන ඉලක්ක පිලිබඳව රාජ්‍යය තුල සැලකිය යුතු බෙදීම් මතුව තිබෙන සන්දර්භයකය. නිව් යෝර්ක් ටයිම්ස් පෙනී සිටින පාලක පන්තියේ එම කොටස, රුසියාවට එරෙහිව වඩා සෘජු මැදිහත්වීමක් අපේක්ෂා කරති. නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා ඔහු හිතවත්කම් දක්වන රාජ්‍යයේ තවත් කොටසක් රුසියාව සමග ගැටුම දකින්නේ, සැබෑ සතුරා වන චීනය වෙතින් ඉවතට හැරීමක් ලෙසය.

මේ සීමාව දක්වා ඔබාමා පාලනය, බලයෙන් ඉවත්වීමට පෙරාතුව, ට‍්‍රම්ප් ආන්ඩුව රුසියාව සමග ගැටුමකට තල්ලූ කරන “පදනම දැමීම” සඳහා උත්සාහ කරයි. මේ මාසය මුලදී ධවල මන්දිරය, නව ආන්ඩුව වැඩ පටන්ගන්නා කාලය වන විට ස්ථානගත කිරීම අවසන් වන පරිදි, නේටෝවේ 4000ක ඇමරිකානු හමුදාවක් රුසියානු දේශසීමාව ආසන්නයට පිටත්කර හැරීමට පියවර ගත්තේය.

මේ මිලිටරි තරකිරීම් වලට සමගාමීව ධවල මන්දිරය, ටයිම්ස් හා ඇමරිකානු මාධ්‍යයේ බොහෝ කොටසක්, 1940 හා 50 ගනන් වලින් මෙපිට දක්නට නොලැබුනු ආකාරයේ උමතු රුසියානු විරෝධී ව්‍යාපාරයක් උසිගැන්වීමට වෙර දරයි. එයින්, එවක පැවති මැකාතිවාදී දඩයමේ කුනු ගඳ වහනය වෙයි. ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් දින හතරකට පසුව පල කල කතුවැකියකින් ගෙනහැර දැක්වූ ආකාරයට ටයිම්ස්හි ප‍්‍රධාන උත්සුකය වන්නේ, නව ආන්ඩුව “රුසියාව ගැන බුරුලක් නොදැක්වීම” ගැන වගබලා ගැනීමයි.

ඇන්ඩෙ‍්‍ර ඩෙමොන් විසිනි

Share this article: