“රුසියානු අපහරන” උන්මාදය දැඩි වෙද්දී, කොංග්‍රසය සීඅයිඒ සංවිධානය ඉදිරියේ වැඳ වැටේ

Congress grovels before the CIA as it escalates “Russian hacking” hysteria

2017 ජනවාරි 6

බ‍්‍රහස්පතින්දා පැවති කොංග‍්‍රස් මන්ඩල පරීක්ෂනයේදී එක්සත් ජනපද සෙනෙට් සභිකයන්, ඔත්තුසේවා ඒජන්සිවලට පක්ෂපාතිත්වය පෙන්වීමේ අධම තරඟයක යෙදී සිටි බව හෙලි විය.

සෙනේට් සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ බ‍්‍රහස්පතින්දා පැවති පරීක්ෂනයත් සමග, රුසියාව විසින් ඇමරිකානු ජනාධිපතිවරන ව්‍යාපාරය අපහරනය කිරීම පිලිබඳ චෝදනාව මුල්කරගත් දේශපාලන අර්බුදයක් ඇවිල ගියේය. ඉහල ඔත්තුසේවා නිලධාරීහු තිදෙනෙක් එහි දී පැය ගනනාවක් සාක්ෂි දුන්හ. රුසියානු ආන්ඩුව ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ හෝ ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඬේසාගේ විද්‍යුත් තැපෑල අපහරනය කලේය යන ප‍්‍රකාශය තහවුරු කිරීමට නිලධාරීන් තිදෙනා කිසිදු සාක්ෂියක් සැපයීම ප‍්‍රතික්ෂේප කලහ.

ඔත්තුසේවා ඒජන්සි විසින් බ‍්‍රහස්පතින්දා ඔබාමාට ලබා දෙන ලද පිටු 50ක වාර්තාව තුල හෝ ඊට පසු කොන්ග‍්‍රස් මන්ඩල නායකයින් හා නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් වෙත සිකුරාදා කරුනු දැක්වීමේදී හෝ, එවැනි සාක්ෂියක් ඉදිරිපත්වී නැත. වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයට අනුව, ”රාජ්‍ය රහස් ලෙස නම් කෙරුනු වාර්තාවල පවා විශ්මය දනවන ප‍්‍රධාන අලූත් හෙලිදරව් කිරීම් නොමැති බව එක්සත් ජනපද නිලධාරීහූ පැවසූහ”. සඳුදා ප‍්‍රසිද්ධ කිරීමට නියමිත රහස්‍ය නොවන පිටපත ගැන කියනුම කවරේ ද?

එක්සත් ජනපදය හා රුසියාව ලෝක න්‍යෂ්ටික ආයුධවලින් සියයට 95ට වඩා පාලනය කරන බව සලකන විට, චෝදනා ලද අපහරන, ”යුද ප‍්‍රකාශ කිරීමක්” ලෙස විස්තර කල, සන්නද්ධ සේවා කමිටු සභාපති ජෝන් මැකේන්ගේ දුෂ්ඨ ඇඟවුම් සහිත එම භාෂාවම අනුගමනය කරන ලෙස, ඔත්තුසේවා නිලධාරීන්ගෙන් ද නැවත නැවතත් ඉල්ලා සිටීමෙන් ඔහු වැලැක්වූයේ නැත.

කිසියම් රුසියානු මැදිහත්වීමක් පිලිබඳ සාක්ෂි නැති බව සඳහන් කරමින් ද සිය සංවිධානය ප‍්‍රසිද්ධ කල ඩිමොක‍්‍රටික් පක්ෂ විද්‍යුත් තැපෑලේ මූලාශ‍්‍රය, රුසියාව ය යන්න විකීලීක්ස් ප‍්‍රධානී ජූලියන් අසාන්ජ් විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කර ඇති බව ද සටහන් කරන ට්වීටර් පනිවුඩ නිකුත් කිරීම මුල්කරගෙන, ට‍්‍රම්ප්ට පහර දෙන කමිටුවේ සෙසූ ඩිමොක‍්‍රටිකයෝ ද මැකේන්ගේ යුදවාදී ප‍්‍රකාශ ප‍්‍රතිරාවය කලහ.

න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධය සඳහා කඩතුරාවක් බවට පරිවර්තනය කිරීමේ නිරන්තර උද්ඝෝෂනය සලකන කල, කියනු ලබන එම අපහරන, අපි යතාර්ථවාදී පරීක්ෂාවකට ලක් කිරීම අවශ්‍යය. ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව (ඩීඑන්සී) හා ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය අපහරනයෙන් සැබවින් ම හෙලිදරව් කරගෙන ඇත්තේ කුමක් ද?

විකීලීක්ස් විසින් පිට කරන ලද කරුනු, 2016 ජනාධිපතිවරනයේ ප‍්‍රධාන පැති දෙකක් හෙලිදරව් කලේ ය: ක්ලින්ටන්ට පක්ෂව වංචා සහගත ලෙස කමිටු නායකත්වය, සෑන්ඩර්ගේ උද්ඝෝෂනය හිතාමාතා ම කඩාකප්පල් කිරීම ද ගෝල්ඩ්මන් සැක්ස් හා වෝල් වීදියේ අනෙකුත් සමාගම්වලට ඇය කල කතාවල පිටපත් වාර්තා කරන පරිදි, මූල්‍ය ප‍්‍රභූවට ක්ලින්ටන්ගේ පැහැදිලි යටත්වීම ද එම පැති දෙක ය.

ඡන්දය පැවත්වීමේදී ඉලෙක්ට්‍රොනික ක‍්‍රම යොදාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස, එක ඡන්දයක්වත් හොරෙන් දැමූ බවට හෝ වරදවා ගනිනු ලැබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සි කියා ඇතත්, ”මැතිවරන අපහරනය” යන යෙදුම පාවිච්චි කරනු ලැබේ. කියනු ලබන අපහරනයේ තනි ප‍්‍රතිඵලය, ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂනය අපකීර්තියට ලත් කෙරුනු ඩිමොක‍්‍රටික් පක්ෂ නිලධාරීන්ගේ හා ක්ලින්ටන්ගේ ම ද කටයුතු පිලිබඳ සත්‍ය තොරතුරු හෙලිවීම යි. ඩිමොක‍්‍රටිකයන් හා ඔවුන්ගේ මාධ්‍ය ආධාරකරුවන් යටපත් කිරීමට අපේක්ෂා කරන්නේ මෙම කාරනය යි.

ප‍්‍රශ්නයට බඳුන් වී ඇති ”අපරාධය” කමිටුවේ හා පොඩෙස්ටාගේ ලියවිලි අපහරනය නො ව, ඒවා ප‍්‍රසිද්ධ කිරීම පිනිස විකීලීක්ස් වෙත ලබාදීම බව බ‍්‍රහස්පතින්දා පලවූ මාධ්‍ය වාර්තා වසන් කලේය. රුසියානු අපහරන කන්ඩායමට ”දෝෂාරෝපන එල්ල වන්නේ ඩිමොක‍්‍රටික් ජාතික කමිටුව, කොන්ග‍්‍රස් උද්ඝෝෂන කමිටුව හා පොඩෙස්ටා මහතාගෙන් හුදෙක් විද්‍යුත් තැපල් හොරකම් කිරීම සඳහා පමනක් නො ව, ඒවා ප‍්‍රසිද්ධ කිරීම වෙනුවෙන් බව ද” නිව් යෝක් ටයිම්ස් සඳහන් කලේ ය. එම කි‍්‍රයා ”සම්ප‍්‍රදායානුකූල ඔත්තුසේවා මෙහෙයුමක් මැතිවරනයට බලපෑම් කිරීමේ උත්සාහයක් බවට හැරවීමකි...”

වොෂින්ටන් පෝස්ට් තීරු රචකයෙක්, ”ආන්ඩු නිරන්තරයෙන් එකිනෙකා ගැන ඔත්තු බලන අතර එක්සත් ජනපදය ද රුසියාව, චීනය හා ඉන්දියාව වැනි ආන්ඩුවල තොරතුරු රැස් කරන බව අපි සඳහන් කරන්නෙමු. මෙහි වෙනස නම්, ඔත්තුසේවා මෙහෙයුම් චෝදනා කරන පරිදි විකීලීක්ස්, මාධ්‍ය ආවරන ඔස්සේ මහජනයාට තොරතුරු නිකුත් කිරීමට මැදිහත් වීම යි” යනුවෙන් සඳහන් කරයි.

සරලව සඳහන් කලොත්, එක්සත් ජනපද පාලක ප‍්‍රභූව උත්සුකවන සැබෑ ”අපරාධය” මෙය යි. යමෙකු ―සබෑ කාන්දු කරන්නා හා අපහරනකරුගේ අනන්‍යතාව අදාල නැත ― සෑන්ඩර්ස්ට සහාය දුන් පක්ෂයේ ම සමාජිකයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව ඩිමොක‍්‍රටික් පක්ෂ නායකත්වයේ කුමන්ත‍්‍රනය වාර්තා කෙරුනා වූ ද පක්ෂ සංස්ථාපිතයේ පි‍්‍රයතමයා වූ හිලරි ක්ලින්ටන් පෙනී සිටින පන්ති උත්සුකයන් ප‍්‍රදර්ශනය කලා වූ ද තොරතුරු වෙත ඇමරිකානු ජනතාවට ප‍්‍රවේශය ලබා දීම, එම අපරාධය යි.

රුසියානු අපහරන සම්බන්ධ දැවන්ත මාධ්‍ය උනන්දුවට, හෙලිදරව් කෙරුනු ලියවිලිවල අන්තර්ගතය මුලුමනින් ම වාගේ මගහැරී තිබීම සැලකිය යුතු ය. නිව් යොර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි මහා ව්‍යාපාරිකයින්ගේ හොරනෑවල ආකල්පය ඉඟි කරන්නේ, කමිටුවේ විද්‍යුත් තැපෑල ඔවුන්ගේ වාර්තාකරුවෙකුට ලැබ තිබුනේ නම් -වාර්තා වන පරිදි ටයිම්ස් වාර්තාකරුවෙකු ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ බදු තොරතුරු ලබූ ආකාරයට- කතුවරුන් එම තොතුරු යටපත් කිරීමට ඉඩ තිබූ බව යි.

මෙය හරියට ම සිදුවූයේ කුමක් ද යන්නට වඩා වැඩි දෙයක් විය හැක. සෑන්ඩර්ස්ට එරෙහිව අදින ලද කමිටුවේ යටි උගුල් පිලිබඳව ඔවුන් පලමුව දැන ගත්තේ කවදා ද යන්න හෝ වෝල් වීදියේදී ක්ලින්ටන් කල කතාවේ පිටපත් ලබා ගත්තේ කවදා දැයි හෝ කිසිවෙකු ටයිම්ස් හෝ පෝස්ට් පත‍්‍ර වලින් අසා නැත. එසේ කල පලමු මාධ්‍ය විකීලීක්ස් ද යන්න පවා සැක සහිත ය. එහෙත් විකීලීක්ස් හැසිරී ඇත්තේ සැබෑ මාධ්‍යවේදීන් ලෙස මිස සීඅයිඒ හා පෙන්ටගනයේ ලඝුලේඛකයින් ලෙස නො වන අතර රහස්‍ය වාර්තා ප‍්‍රසිද්ධියට පත් කලේ, මිලිටරි-ඔත්තුසේවා නායකත්වයේ ප්‍රියතමයා වූ ක්ලින්ටන්ට හානි කරමිනි. එය හා අනෙකුත් හෙලිදරව් කිරීම් වෙනුවෙන් ජූලියන් අසාන්ජ්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන්ගේ නොමියෙන වෛරය ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ කෘතඥතාව ද ලැබුවේ ය.

සෙනේට් සභික සෑන්ඩර්ස් හා ඔහුගේ ලිබරල් මිතුරිය වන සෙනේට් සභික එලිසබෙත් වොරන් සම්බන්ධයෙන් තතු කෙසේ ද? රුසියානු අපහරන පිලිබඳ මාධ්‍ය උද්ඝෝෂනය දිග හැරෙත් මෙම දේශපාලන නිවටයින්, ඔත්තුසේවා ඒජන්සි ඉදිරියේ මුනින් වැටී ඇත. මෙම කාරනය නැවත වතාවක් හෙලිදරව් කරන්නේ, ඔවුන් විරුද්ධ පාර්ශ්වයක් නියෝජනය කරතැ යි යන ව්‍යාජයේ විකාරසහගත බව යි. රට තුල මෙන් ම විදේශයන් හි ද කම්කරු පන්තියට එරෙහිව මිලිටරි ඔත්තුසේවා සංවිධාන සිය අන්තිම ආරක්ෂක පෙරමුන ලෙස සලකන, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයේ මූලික පන්ති දෘෂ්ටිකෝනය, ඔවුහු බෙදාහදා ගනිති.

බ‍්‍රහස්පතින්දා විභාගකිරීම්වල දී රිපබ්ලිකානුවන් හා ඩිමොක‍්‍රටිකයන් තම වාරය ප‍්‍රයෝජනයට ගත්තේ, ඉරාකය හා ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ මෙන් ම ලෝකය පුරා ආන්ඩුවලට එරෙහි කුමන්ත‍්‍රන ද වාර්තා කෙරෙන එක්සත් ජනපද මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික තොරතුරු විකීලීක්ස් විසින් ප‍්‍රසිද්ධ කිරීම වෙනුවෙන්, අසාන්ජ් හෙලාදකින ලෙස, ඔත්තුසේවා ප‍්‍රධානීන්ට කන්නලව් කිරීම සඳහාය. මෙම අපරාධ හා සංසන්දනය කරන විට ඩිමොක‍්‍රටික් කමිටුවේ විද්‍යුත් තැපෑල අපහරනය නොවැදගත් තැනකට පත්වේ.

”ඔත්තුසේවා ප‍්‍රජාව සඳහා මහජන හා ද්විපාක්ෂික සහයෝගය පෙන්නුම් කිරීමට තොරතුරු එක්රැස් කිරීම, එහි අන්තර්ගතය මෙන් ම සන්දර්භය සම්බන්ධයෙන් ගත් විට බෙහෙවින් අසාමාන්‍ය වන අතර, එහි ඉලක්කය, ඉඳ හිට එක් පේ‍්‍රක්ෂකයෙකු, එනම් ට‍්‍රම්ප්, බව පෙනී යන්නේ යයිල නිව් යෝක් ටයිම්ස් සඳහන් කලේ ය.

”ජන ඝාතක අවි” සම්බන්ධ පච පදනම් කරගෙන ඉරාක යුද්ධයට සහාය දුන් බොහෝ සෙනෙට් සභිකයන්, ඔත්තුසේවා ඒජන්සිවලට නිර්ලජ්ජිත ලෙස පක්ෂපාතිත්වය පෙන්වීමේ තරඟයක යෙදී සිටි බව පෙනුනි. ඔවුන් සියලූ දෙනා කතා කරමින් සිටියේ, ඔත්තුසේවා ආයතන හා පෙන්ටගනය විසින් සපයන ලද සාකච්ඡා මාතෘකා මත පදනම් වෙමිනි. ලොකුම වංචනිකයා වූ ඉන්ඩියානා සෙනේට් සභික ජෝශප් ඩොනෙලි, අසාන්ජ් හා විකීලීක්ස් අතර සත්‍යය පැවසීමේ තරඟයක දී ”අප හැම විට ම ඔබේ පැත්තේ” යයි පැවසීය.

”යතාර්ථය ප‍්‍රතික්ෂේප කිරීමට” උත්සාහ කරමින් ඩිමොක‍්‍රටිකයන් සම්බන්ධ රුසියානු අපහරන ඉවත දැමීම මුල්කරගෙන ට‍්‍රම්ප්ට බැනවැදුනු වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය, බ‍්‍රහස්පතින්දා කතුවැකියක් තුල මෙම තේමාව සවිස්තර කලේ ය. එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙයවීමට ට‍්‍රම්ප්ට ඉක්මනින් ම ”ඔත්තුසේවා තර්ක” මත විශ්වාසය තැබීමට සිදුවනු ඇතැ යි ප‍්‍රකාශ කරමින් එහි මෙසේ විමසා තිබුනි. ”මිස්ටර් ට‍්‍රම්ප්, එක්සත් ජනපද ඔත්තුසේවාවන්ට වඩා වැඩි බරක් මිස්ටර් අසාන්ජ්ට දෙන්නේ මන්ද?”

අසාන්ජ් සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය හා ඔත්තුසේවා සඳහා සිය ලැදියාව ද පෙන්නුම් කරන ට්වීටර් පනිවිඩ මගින් ට‍්‍රම්ප්, මාධ්‍ය වෙඩි ප‍්‍රහාරය හමුවේ පසුබාන බව පෙනේ. එහෙත් පෝස්ට් පත‍්‍රයේ ප‍්‍රශ්නය, එම පුවත්පතට ම ආපසු හැරවිය යුතු ය. ඕනෑ ම අයෙකු අසාන්ජ් විශ්වාස කල යුත්තේ ඇයි? මන්ද යත්, එක්සත් ජනපද අපරාධ හෙලිකරමින් හා ඒවා ප‍්‍රසිද්ධ කරමින් විකීලීක්ස් සැබෑ පත‍්‍ර කලා විමර්ශනයක් කර ඇති හෙයිනි.

ඊට වෙනස් ලෙස ඔප්පු කෙරෙන්නේ, ඔත්තුසේවා බොරුකාරයන් රැලක් බවය. ජාතික ඔත්තුසේවා අධ්‍යක්ෂ, විශ‍්‍රාමික ජෙනරාල් ජේම්ස් ක්ලැපර් ප‍්‍රධානත්වය ගන්නා සාක්ෂිකරුවන්ගේ මන්ඩලයේ සත්‍යවාදී බව සම්බන්ධයෙන් කිසි ම සෙනේට් සභිකයෙකු අභියෝග කලේ නැත. හරියට නම්, 2013 මාර්තු මාසයේ කොන්ග‍්‍රසය ඉදිරියේ දිව්රුම් දීමෙන් පසු බොරු සාක්ෂි දීම වෙනුවෙන් ක්ලැපර් හිරේ තැපිය යුතුව තිබුනි. ”ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමරිකානුවන් මිලියන ගනනාවක් හෝ මිලියන සිය ගනනාවක් ගැන මොන යම් ආකාරයක හෝ දත්ත රැස් කලේ ද?” යන එක එල්ලේ අසන ලද ප‍්‍රශ්නය, ක්ලැපර් එක හෙලා ප‍්‍රතික්ෂේප කලේය. ”නෝ සර්.” මාස තුනක් ගිය කල එඩ්වඩ් ස්නෝඩන් හෙලිකලේ, සෑම ඇමරිකානුවෙකුගේ පමනකත් නො ව, ග‍්‍රහලෝකය මත සෑම මිනිසෙකුගේ ම විදුලි සන්න්වේදන හා අන්තර්ජාල කටයුතු ගැන තොරතුරු රැස් කිරීමට ජාතික ආරක්ෂක ඒජන්සියට වැඩසටහන් සියගනනක් ඇති බව යි.

”ඔත්තුසේවා ප‍්‍රජාව” සඳහා මහජන, ද්විපාක්ෂික සහයෝගය ප‍්‍රදර්ශනය කිරීමේ අරමුන, දෛනික පදනමක් මත, ඇමරිකානු ජනතාව ඇතුලු ලෝකයටම එරෙහිව එක්සත් ජනපද මිලිටරි-ඔත්තුසේවා සංවිධාන විසින් සිදු කරනු ලබන අප‍්‍රමාන අපරාධ කෙරේ පල වන ඕනෑම විරුද්ධත්වයක් නීතිවිරෝධී කිරීම ය.

නිමක් නැති කුමන්ත‍්‍රන, සමූලඝාතන, මිනීමැරීම් හා යුද්ධ දිරිගන්වන්නා ලෙස, එක්සත් ජනපදය ද ඇතුලුව ලෝකය වටා මිලියන සිය ගනනක ජනතාවන් විසින් අතිශයින් පිලිකුල් කරනු ලබන සීඅයිඒ සංවිධානය, ලේ පෙරෙන සංවිධානයකි. 1953 ඉරානයේ හා 1954 ගෝතමාලාවේ සිට 1973 චිලී දක්වා ද, 1980 ගනන්වල මධ්‍යම ඇමරිකාවේ රුධිරස්නානයන් ද අද දක්වා ඉජිප්තුවේ දැවන්ත මර්දන සහ රටවල් දුසිමක ඩ්‍රෝන් සංග‍්‍රාමය ද නිසා, සීඅයිඒ යනු අපරාධ සඳහා ආප්තයකි (නිදසුනකි).

එක්සත් ජනපද සෙනේට් සභිකයින් දුසිම් ගනනාවක් බ‍්‍රහස්පතින්දා, ඔත්තුසේවා ඒජන්සි පාමුල වැටුනි. වසර 40ට පෙර ඒ ආකාරයේ ම කාරක සභා කුටියක දී, ලතින් ඇමරිකාව, අප්‍රිකාව හා ආසියාව තුල සීඅයිඒ සංවිධානය ”එකට බැඳුනු ජනඝාතන” හසුරුවමින් සිටියේ කෙසේ දැ යි යන්න ගැන සෙනේට් සභිකයෝ, දිව්රා දුන් සාක්ෂි ලබා ගත්හ.

එම පරීක්ෂනය ජනාධිපති රිචඩ් නික්සන්ට ඉල්ලා අස්වීමට බල කෙරුනු වෝටගේට් අර්බුදයේ අතුරු ඵලයකි. එම අවස්ථාවේ දී ජනාධිපති නැවත පත් කර ගැනීම සඳහා වූ කමිටුවට සීඅයිඒ නිලධාරීන් යොදවා ගෙන තිබුන බව මෙන් ම, ඔවුන් වෝටර්ගේට් හෝටලය බිඳීම (ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික කමිටු මූලස්ථානය බිඳීම-පරි) සංවිධානය කිරීමට ද සම්බන්ධ බව හෙලිදරව් වුනි. ඇමරිකානු ජනතාව ගැන නීති විරෝධී ලෙස ඔත්තු බැලීම සහ යුදවිරෝධී, මානව හිමිකම්, කම්කරු හා සමාජ සංවිධාන තුලට ආන්ඩුවේ ඔත්තුකරුවන් රිංගවීම සම්බන්ධ හෙලිදරව් කිරීමකට කොංග‍්‍රස් මන්ඩල පරීක්ෂනය, මග පෑදුවේ ය.

දශක හතරකට පෙර, සීඅයිඒ සංවිධානය තුල සීමිත ”ප‍්‍රතිසංස්කරන” සිදු කිරීමට එක්සත් ජනපද පාලක ප‍්‍රභූවට හැකිවිය. අපකීර්තියට පත් වුනු නිලධාරීන් කීපදෙනෙකු ඉවත් කිරීම හා ඒජන්සියේ මෙහෙයුම් මත ඇතම් සීමා -භාවිතයේ දී මෙම සීමා ඉක්මනින් ම උල්ලංගනය කෙරුනි- පැනවීම, ”ප‍්‍රතිසංස්කරනවලට” අයත්වුනි. අද එවැනි බාහිර ඔප දැමීමේ අභ්‍යාසයක් පවා කල නො හැක. ඒ වෙනුවට ඔත්තුසේවා ඒජන්සි, ප‍්‍රශ්න කිරීමට හසු නොවන පක්ෂපාතිත්වයක් ඉල්ලති. ඩිමොක‍්‍රටිකයෝ හා මාධ්‍ය ඒවාට සැලූට් දමති.

පැට්රික් මාටින් විසිනි

Share this article: