ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් වර්ගයේ වාග් ප‍්‍රහාරය: තුන්වන ලෝක යුද්ධය කරා ...

Trump’s fascistic diatribe: On the road to World War III

2017 ජනවාරි 21

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස පදවි ප‍්‍රාප්ති වෙමින්, ජනවාරි 20දා ඩොනල්ඩ් ට‍්‍රම්ප් කල කථාවට සමකල හැකි තවත් එවැන්නක්, ඇමරිකානු ඉතිහාසයේ ඇත්තේ නැත. ප‍්‍රචන්ඩ, ජාතිකවාදී වාග් ප‍්‍රහාරයක් වූ එහි නිශ්චිත වශයෙන් ම ෆැසිස්ට් අන්තර්ගතය තිබුනේ ය. ”පලමුව ඇමරිකාව” තම ක්‍රියාමාර්ගය වන බව නිවේදනය කල ට‍්‍රම්ප්, සෙසු ලෝකය තම නියමයන්ට නොනැමුනහොත්, ඔවුන්ට ආර්ථික පමනක් නොව දේශපාලන වශයෙන් ද දරුනු ප‍්‍රතිවිපාක වලට මුහුන දීමට සිදුවනු ඇති බව නිවේදනය කලේ ය.

අන් කුමක් වුව ද ඔහුගේ කථාව, පාලනයේ අවධියක පටන් ගැන්මේ දී තමන් ඉදිරියේදී කැපවීමට යන පරමාර්ථ, කොතරම් පුහු, කුහක හෝ වංචනික වුව ද සාර්වත්‍රික අර්ථ භාරයක් එයට කැවීමට යත්න දරන අර්ථයෙන් වත් ”ප‍්‍රාරම්භක දේශනයක්” නම් වූයේ නැත.

කිහිප අවස්ථාවකදී, ඒබ‍්‍රහම් ලින්කන් ගේ නම් චිර ප‍්‍රසිද්ධ, ප‍්‍රාරම්භක දේශනය, කල් පවත්නා හා දේශපාලන ස්මාරකයක් බවට පත්ව ඇත. ”නූතන යුගයේ ලෝක මහා අවපාතය මැද කරන ලද සිය කථාවේ දී ෆ‍්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මෙසේ ප‍්‍රකාශ කලේ ය: ඇමරිකානු ජනතාවට ”බිය වීමට තිබෙන්නේ භීතියට ම පමනි.”

ට‍්‍රම්ප් ගේ පනිවුඩය මෙහි ප‍්‍රතිවිරුද්ධයයි: ”අපි ලෝකයට බය වෙමු. කල යුතුව ඇත්තේ මුලු ලෝකයම අපට බය වන තැන පිහිටුවීමයි.”

තනතුරෙහි පිහිටුවාලීම ද සමග ”ජනාධිපති ධුරන්ධර” ට‍්‍රම්ප් කෙනෙක් ඉස්මත්තට ඒවී ය යන අපේක්ෂාව ඉක්මනින්ම තුරන්ව ගොසිනි. ඔහු කතා කලේ ඔරවමිනි, ගොරොවමිනි. ඔහුගේ කට හඬගත්තේ ඒක තානයකි. කුපිත හඬ තැලීමකි. ඒ කථාව තිගස්සන සුලු විය. ඉන් ලෝකයට දෙන ලද සංඥාව, අලුත් ඇමරිකානු ජනාධිපති අනගුන නාහන බල ලෝභියෙක්ය යන්නය.

ගතවූ මුලු සියවසේ ම ඇමරිකානු ජනාධිපතිවරුන් කලාක් මෙන් මොහු, ”නිදහස් ලෝකයේ” නායකයෙක් ලෙස පෙනී සිටියේ නැත; එක්සත් ජනපදය ට ගෝලීය සංවර්ධනයකින් පලක් තිබෙන බව ඔහු ඇඟවූයේ ද නැත. සියලූ රටවලට ට‍්‍රම්ප් සලකන ලද්දේ, ආර්ථික සතුරන් ලෙසය. ඇමරිකානු ධනවාදයේ අර්බුදයට ඔහු දොස් පැවරුවේ අවශේෂ ලෝකයටය. ඔහු කියා සිටියේ ”අප නිපදවන භාන්ඩ ම නිපදවන, අපගේ ව්‍යාපාර සොරකම් කරන, අපගේ රැකියා වනසන, අනෙකුත් රටවල ප‍්‍රහාර වලින් අපි අපගේ දේශසීමාවන් රැකගත යුතු වෙමු” යනුවෙනි.

ට‍්‍රම්ප් මැතිවරනය දිනාගත්තේ, පෙන්සිල්වේනියාව, ඔහායෝ, මිචිගන් සහ විස්කොන්සින් වැනි ආර්ථික වශයෙන් වැනසී ගිය කර්මාන්ත නගරවල සහ පිටිසර පෙදෙස්වල සමාජ ව්‍යසනය නරුම ලෙස ගසාකමිනි. ආර්ථික ජාතිවාදය මත පදනම් වූ මුලුමනින්ම ප‍්‍රතිගාමී සහ ව්‍යාජ විසඳුම් ඔහු ඒ සඳහා ඉදිරිපත් කලේය.

ඔහුගේ පදවි ප‍්‍රාප්ත දේශනයේ ප‍්‍රධාන තේමාව වුයේ එයයි. ඔහු මෙසේ පැවසීය: ”අපි ඇමරිකානු කර්මාන්තයේ වියදමින් විදේශ කර්මාන්ත පෝසත් කර ඇත්තෙමු.... ඇමරිකාවේ පොදු කාර්ය පිරිවැය පිලිසකර නොකිරීම නිසා දිරාපත්ව ඇත. ඒ අතර අපි විදේශයන්හිදී, ඩොලර් ට්‍රිලියන හා ට්‍රිලියන ගනන් වැයකර ඇත්තෙමු. අපේ රටේ ධනය, ශක්තිය, සහ ආත්ම විශ්වාසය ක්ෂිතිජයේ මැකී යද්දී අපි, වෙනත් රටවල් ධනවත් කර ඇත්තෙමු.”

ට‍්‍රම්ප් යට දැක්වෙන වැකියෙන් තමාගේ ජාත්‍යෝත්තමවාදී ඉදිරිදර්ශනය සාරාංශ කලේය. ”අපගේ මධ්‍යම පන්තියේ සම්පත් ඔවුන්ගේ නිවෙස් වලින් උදුරාගෙන, ලෝකය පුරා යලි බෙදාහරිනු ලැබ ඇත.” පචයකි! වැඩකරන ජනතාව විසින් නිපදවනු ලැබූ ධනසම්පත් සොරකම්කොට ”යලි බෙදා හැර” ඇත; එහෙත් ඒ විදේශිකයනට නොවේ. ඇත්ත වශයෙන් නම් එම ධනය වැඩකරන ජනතාව අතින් පැහැරගෙන තිබෙන්නේ, ට‍්‍රම්ප් ද ඔහු පත්කරගත් ඇමති මන්ඩලයේ බහුතරය ද ඇතුලු මුල්‍ය වංශාධිපතීන් අතලොස්සක් විසිනි.

හිටලර් පැතිරවූ ”මහා මුසාව” නම්, 1930ස් ගනන් වල ලෝක මහා අවපාතය නිර්මානය කල ලාභ ගරන ධනේශ්වර පද්ධතියේ අර්බුදය මගින් ජනනය කලාවූ, ව්‍යසනකාරී ප‍්‍රතිපල වලට වැරදිකරු ධනේශ්වර පන්තිය නොව යුදෙව් ජනතාව බවය. ට‍්‍රම්ප්ගේ ”මහ මුසාව” නම්, 2008 පැනනැගි ආර්ථික අර්බුදයට එරෙහිව නැගෙන මහජන විරෝධය පැටවීමට වෙනත් දුක්ගන්නා රාල කෙනෙකු දෙසට ඇඟිල්ල දික් කිරීමයි. එය මුසාවක් වනවාක් මෙන්ම ප‍්‍රතිගාමී ද වේ.

1930ස් ගනන් වල ජර්මනියේ දී මෙන් ආර්ථික ස්වාධිපත්‍යය සහ මිලිටරි ප‍්‍රසාරනය තුලින් ජාතික මහන්තත්වය යලි අත්කරගැනීමේ ඉදිරිදර්ශනය අනිවාර්යයෙන්ම පාර කපන්නේ යුද්ධයටය. ට‍්‍රම්ප්ගේ දේශනය, සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ඉදිරිදර්ශනයේ සෘජු සනාතනයකි. ගතවු සියවස් කාල (25 වසර) පුරා පැතිර පවතින ඇමරිකානු යුදවාදී උත්සන්නිය, එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූව එරට දිගු කාලීන ආර්ථික පරිහානිය ට ප‍්‍රචන්ඩ විසඳුමක් සඳහා දරන්නාවූ ප‍්‍රයත්නයෙන් පැනනගියි.

ට‍්‍රම්ප්ගේ දේශනය පිරී ඉතිරී තිබුනේ, ෆැසිස්ට් වාදයේ කෝෂාගාරයෙන් ඇදගත් භාෂාවෙනි; එම ප‍්‍රකාශනය සැකසීමේ දී ඔහුට, තමා ප‍්‍රධාන දේශපාලන සහකරු ලෙස තෝරාගෙන ඇති ශ්වේත ජාතිවාදීන්ගේ, එනම් ධවල-අධිපතිවාදීන්ගේ, යුදෙව් විරෝධීන්ගේ, අඩ-නාසිවාදීන්ගේ හොරනෑවක් වන, බ‍්‍රයිට් බැට් නිව්ස් හි හිටපු ප‍්‍රධානියා වූ ස්ටීවන් බෙන් ගේ සහාය නිසැකවම ලැබෙන්නට ඇත.

අලුත් ජනාධිපති මෙසේ කීය, ”අපි එකම හෘදය බෙදාගනි මු, එකම නිවස, එකම විශිෂ්ට දෛවය බෙදාහදා ගනිමු....” ”ඇමරිකා එක්සත් ජනපදය කෙරේ පරම පක්ෂපාතිත්වය” හෙතෙම ඉල්ලා සිටියේ ය. ”මිලිටරියට ඇතුලත් හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යෙදෙන ශ්‍රේෂ්ට මිනිසුන්” ඔහුගේ පැසසුමට ලක් විය. ”නව ජාතික අභිමානයක් වෙනුවෙන්” කතා කල ඔහු, ”අප සියල්ලගේම ඇත්තේ දේශාභිමානයේ එකම රතු ලෙය” බව කියා සිටියේ ය.

”ඉස්ලාමීය ත‍්‍රස්තවාදය පොලෝ තලයෙන් ආතුගා දමන” බවට ඔහු කල ලේ රත්කරන ප‍්‍රකාශය, තමන්ට එරෙහිව එල්ල කෙරුනු තර්ජනයක් බව, මැද පෙරදිග හා සමස්ත ඉස්ලාමික ලෝකයේම බිලියන 1.6ක්වු පුලුල් ජනතාව විසින් සහේතුකව වටහා ගනු ලබනවා ඇත. ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුලු වීම තහනම් බව ට‍්‍රම්ප් දැනටම ප‍්‍රකාශ කොට තිබේ.

ට‍්‍රම්ප්ගේ කතාව නිසැක යුද්ධ ප‍්‍රකාශයක් ලෙස සැලකෙනු ඇත්තේ බීජිං, මොස්කව් සහ ටෙහෙරානය තුල පමනක් නොවේ; බර්ලින්, පැරිස්, ලන්ඩන් සහ ටෝකියෝව තුල ද එය එසේ ගනන් ගැනෙනු ඇත. ”තම තමන්ගේ ආසක්තයන්ට මුල් තැන දීම සියලු ජාතින්ගේ අයිතිය යයි කියන කල්හි ට‍්‍රම්ප් දැනුම් දෙන්නේ, ප‍්‍රධාන අධිරාජය්වාදී රටවල් අතර වෙලඳපොල, අමුද්‍රව්‍ය මූලාශ‍්‍ර, ලාභ ශ‍්‍රමය සහ මූලෝපායික ස්ථාන සඳහා උනුන් කා ගන්නා බලු පොරයක් ඇරඹි ඇති බවය. නොවැලැක්විය හැකි මෙම කුලල් කා ගැනීමේ තර්කනය තුඩු දෙන්නේ ලෝක යුද්ධයට ය.

ට‍්‍රම්ප්ගේ මිලිටරි තරකිරීමේ ද ආන්තික ජාතිකවාදයේ ද පිලිවෙත, ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කෙරේ බිහිසුනු ඇඟවුම් දරා සිටි. විදේශීය හෝ දේශීය වශයෙන් පල වන මොනම විරුද්ධත්වයක් වුව ඉවසා දරනු නැති, නිර්දය මූල්‍ය කතිපයාධිකරයක් වෙනුවෙනි ට‍්‍රම්ප් කතාකරන්නේ. ලෝකයේ හැම රටකට ම එරෙහිව ඔහු කඳවුරු බැඳ ගන්නා ඇමරිකා බලකොටුව වනාහි, සිය රට තුල පැන නගින සකල විරෝධාතාවයක් ම යටපත් කර ලීමේ මධ්‍යස්ථානයයි.

පදවි ප‍්‍රාප්ති උත්සව වල ට සාම්ප‍්‍රදායිකවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාග් හරඹය, ට‍්‍රම්ප්ගේ දේශනයේ දී ඇත හැර දැමීම විශේෂයෙන්ම සටහන් කරගත යුතු කරුනකි. ඡන්ද ක්‍රියාවලිය පිලිබඳ ප‍්‍රසංශාවක්, තමාට ඡන්දය දුන් දස මිලියන ගනන් ජනතාවට ආයචනයක්, ඔහුට විරුද්ධවන අයගේ අයිතීන් ආරාක්ෂා කරන බවට සහතිකයක්, තමා සියලු දෙනාගේ ජනාධිපති වන බවට සපථයක්, යන මේ කිසිවක් ඔහුගේ කථාවේ තිබුනේ නැත. තමාට ලැබුනේ මුලු ඡන්ද වලින් සියයට 44ක් පමනක් බවත්, එය ඩිමොක‍්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් ට වඩා මිලියන් 3ක් පමන අඩු බවට පිලිගැනීමක් ද තිබුනේ නැත.

ඒ වෙනුවට ට‍්‍රම්ප් කලේ, ”දේශපාලකයන්” යයි ද ”සංස්ථාපිතය” යයි ද ඔහු අනන්‍ය කල කැපිටෝල් මන්දිරයේ බටහිර පැත්තේ ඔහු වටා හිඳගෙන සිටි, -කොන්ග‍්‍රස් මන්ත්‍රීවරුන්, සෙනේට් සභිකයින්, හිටපු ජනාධිපති වරුන් ඇතුලත් කුඩා කන්ඩායමක්- හෙලාදැකිම ය. ඔවුන්ගේ සියලු බලතල අහෝසි කෙරෙනු ඇති බව ප‍්‍රකාශ කල ඔහු මෙසේ කීය, ”අපි වොෂිංටන් ඩි.සී. වලින් බලය ඉවත් කොට සාමාන්‍ය ජනතාව වන ඔබ අතට දෙන්නෙමු. මෙහි දී ඇත්ත වශයෙන් ම සිදු වන්නේ ට‍්‍රම්ප් තමාම ‘ජනතාව’ ලෙස පිහිටුවා ගැනීමය.

මෙම කල්පිතයෙන් උකහාගත හැකි එකම බැරෑරුම් දේශපාලන නිගමනය නම්, ට‍්‍රම්ප් ඇමරිකානු ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ය යන්නයි. ඔහු ධනවාදයේ අපරාධ සහ අසාර්ථකත්වයන්ට වගකිව යුතු සතුරා හැටියට ඉදිරිපත් කරන්නේ සාවද්‍ය සතුරෙකි. ඔහු, තමාගේ පිලිවෙත් වලට විරුද්ධ කවුරුන් වුව ද ද්‍රෝහියෙකු ලෙස හා යකෙකු ලෙස නම් කර, අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කල හැකි එකම පුද්ගලයා තමා ලෙස ද ජනමතයේ පුද්ගලාරෝපනය තමා ලෙස ද ඉදිරිපත් කරගනිමින් සිටි.

ට‍්‍රම්ප් හදාගෙන ඉන්නේ ප‍්‍රකෝටිපතියන්, දක්ෂිනාංශික මතවාදීන් සහ හිටපු ජෙනරාල්වරුන් ගෙන් සමන්විත ඇමති මඩුල්ලකි. යුද්ධය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඬීම, වැඩකරන ජනතාවගේ රැකියා සහ ජීවන තත්වයන්ට පහර දීම යන මේවායේ දී ට‍්‍රම්ප් පාලනාධිකාරය, කවුරුන් හෝ සිතනවාට වඩා බොහෝ දුර යනු ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂය ට‍්‍රම්ප්ට එරෙහිව කිසිවක් කරනු නැත. ඔබාමාගේ පටන් පහලට ඩිමොක‍්‍රටික් පක්ෂය, ට‍්‍රම්ප්ගේ යුදවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අවලාදය අසාගෙන සිටියේ, එය ”සාමාන්‍ය” දේශපාලන දේශනයක් පරිද්දෙන් ගනිමිනි. ඔබාමා බල මාරුවේ අවධිය ගත කර ඇත්තේ, එලඹෙන පාලනාධිකාරය පිලිබඳව උදාසීන, අලස භාවයෙනි. ඒ අතර කොන්ග‍්‍රස් මන්ඩලයේ ඩිමොක‍්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරු, ට‍්‍රම්ප් සමග එක්ව වැඩ කිරීමට පොරොන්දු වෙමින් ඔහුගේ විෂඝෝර සහ ප‍්‍රතිගාමී ආර්ථික ජාතිකවාදය වැලඳ ගැනීමට පොරොන්දු දුන්හ.

මුලින් ඇතිවන ව්‍යාකූලත්වය මොකක් වුනත්, ඡන්දය දුන්නේ ක්ලින්ටන්ට වුවත්, ට‍්‍රම්ප්ට වුවත්, ඔවුන් ඉක්මනින්ම වටහා ගන්නවා ඇත්තේ, මේ ආන්ඩුව වැඩකරන ජනතාවගේ සතුරා බවය. ඇමරිකානු ධනවාදය ප‍්‍රවිෂ්ට වී සිටින්නේ ව්‍යසනයේ මාවතටය. අත ලඟ එන ව්‍යසනය වැලක්විය හැක්කේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකට පමනි.

පැට්රික් මාටින්

Share this article: