ට‍්‍රම්ප් ට එරෙහි අරගලයේ ඉදිරි මාවත

The way forward in the fight against Trump

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017 ජනවාරි 23

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ පදවි ප‍්‍රාප්තියෙන් යන්තම් දිනක් ගතවූ තැන මිලියන ගනන් ජනතාව සම්බන්ධවූ පෙලපාලි පුපුරා යාම, දේශපාලන සහ ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ තත්වයකි. එය, අලුත් ආන්ඩුව උග‍්‍ර අර්බුදයකට මුහුනදී ඇති බව ද ඉදිරියේදී කෙවන් යෝධ සමාජ පෙරලි පැනනැගී ද යන්න පිලිබඳව ද කල්තබා ම කෙරෙන අනතුරු ඇඟවීමකි.

ට‍්‍රම්ප් ට එරෙහිව සෙනසුරාදා පැවතියේ විශාලතම පෙලපාලිය. ඇමරිකානු නගර 500ක මිලියන තුනත් පහත් අතර සංඛ්‍යාවක් ජනතාව සම්බන්ධ වූ ඒවා, ඇමරිකානු ඉතිහාසයේ වඩාත් පුලුල්ව පැතුරුනාවූ විරෝධතා පෙලපාලි විය. ලෝකය පුරා නගර සියයක පැන නැගි පෙලපාලි ද සමග ගත් කල්හි ඒවා, 2003 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කිරීම ට විරුද්ධව නැගි පෙලපාලි වලින් පසුව පැවති, සැලකිය යුතු ලෙස ජාත්‍යන්තරව අන්තර් සම්බන්ධිත ප‍්‍රථම පෙලපාලි වෙයි.

හුදෙක් මේවායේ පරිමානය ම පෙන්නුම් කරන්නේ, ඔබාමා පාලනාධිකාරයේ අට අවුරුද්ද තුල පෑගීමට ලක්ව තිබුනු යෝධ සමාජ කෝපයයි. වොෂිංටන් නුවර පැවැත්වුනු ප‍්‍රධාන කාන්තා පෙලපාලියට 500,000 ක් දෙනා සහභාගි වූ අතර එය ඊට පෙර දින ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තිය ට රැස්වූ සංඛ්‍යාව මෙන් දෙගුනයක් විය. ලොස් ඇන්ජලිස් නුවර පැවත්වුනු පෙලපාලිය එයට ද වඩා විශාල විය හැකි ය. මාධ්‍ය වාර්තා අනුව නිව්යෝර්ක් නුවර පෙලපාලියට සම්බන්ධවූ සංඛ්‍යාව 4,00,000 සිට 5,00,000 දක්වාවූ අතර චිකාගෝ හි 250,00ක් ද ඩෙන්වර්හි 200,000 ක් ද වූ බවට ගනන් බැලේ. ට‍්‍රම්ප් කෙරේ විරෝධය ප‍්‍රකාශිත වූයේ ඇමරිකාවේ පමනක් නොවේ; එය ලෝක පරිමානව අන් සෑම මහද්වීපයක ම ද දක්නට ලැබුනි. 100,000 ක් සම්බන්ධවූ ලන්ඩන් පෙලපාලිය ද කැනඩාවේ ටොරොන්ටෝ හිද පැවැත්වුනු විරෝධතාව ද ඉන් විශාලම ඒවාය.

පෙලපාලි වල පරිමාව ඒවා සංවිධානය කලවුන් අතර සිටි ඩිමොක‍්‍රටික් පක්ෂයේ හෝ එම පක්ෂයට ආසන්න පුද්ගලයන්ගේ ද කන්ඩායම් වල ද අපේක්ෂා පැහැදිලිවම ඉක්මවා ගියේ ය. විරෝධතාවලට සහභාගි වූ අයගේ උත්සුකතා, ඒවා කැඳවීමේ දී ඉදිරිපත් කරන ලද පටු සීමාවන් ඉක්මවා ගොස් තිබුනි. මිලියන සංඛ්‍යාත ජනතාව විරෝධතා දැක්වූයේ, ආගාමිකයන් මහා පරිමානව අත් අඩංගුවට ගැනීමේ ද, මුස්ලිම් භක්තිකයන් ෆෙඩරල් ආන්ඩුවේ විශේෂ ලැයිස්තුවකට ඇතුලත් කිරීමේ ද, පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ සමාජ රක්ෂනය රුදුරු කප්පාදුවට ලක්කිරීමේ ද ට‍්‍රම්ප්ගේ සැලසුම් වලට එරෙහිව ය.

ට‍්‍රම්ප් ආන්ඩුව මිලියන සංඛ්‍යාත ජනකායකගේ විරෝධයට ලක්වනු ඇති බව නිසැකව ය. මෙයින් වඩ වඩාත් පැහැදිලි වන්නේ, ට‍්‍රම්ප්ට පමනක් නොව ඔහු වැන්නෙකු බිහිකලාවූ සමාජ ආර්ථික පද්ධතියට ම විරුද්ධ පැහැදිලි ඉදිරිදර්ශනයක් හා මූලෝපායක් වර්ධනය කල යුතු ව ඇති බව ය.

දැන් බලයට පැමින සිටින පාලනාධිකාරය වනාහි, ධනේශ්වර කතිපයාධිකාරයේ නියම මුහුනයි. නොඑසේ නම් ට‍්‍රම්ප්, සාමකාමී වූ ද ප‍්‍රජාතාන්ත්‍රික වූ ද සමාජයක අහම්බෙන් පැනනැගි විසර ගෙඩියක් නොවේ. ඔහු වනාහි ඩිමොක‍්‍රටික්-රිපබ්ලිකන් පාලනයන් දෙක යටතේ එතෙක් කල් සිදු කරනු ලැබූ සමාජ සේවා කප්පාදුව, වැඩෙන අසමානතාවය, සහ නිමක් නැති යුද්ධවල විපාකය යි.

ට‍්‍රම්ප් බලයට පත් වීමත් සමග පෙන්නුම් කෙරෙන්නේ, පාලක පන්තිය ඇමරිකාව තුල ද පිටරටදී ද සිය ආසක්තතා තහවුරු කරගැනීම සඳහා තම වෙස් මූන ගලවා දමා, වඩ වඩාත් ප‍්‍රචන්ඩ ක‍්‍රම යොදාගනිමින් කෙලින්ම ඉදිරියට එන සැටිය යි. මෙය, විරෝධතා හමුවේ තමන්ගේ පිලිවෙත් වෙනස් කරගන්නා ආන්ඩුවක් නම් නොවේ. එය යුද්ධයේ හා මර්දනයේ මාවතට වැටී සිටින ආන්ඩුවකි. ට‍්‍රම්ප්ගේ ප‍්‍රාරම්භක දේශනයේ ෆැසිස්ට් ස්වභාවය පැහැදිලි කරන්නේ, එය ලිහාහැරීමට සැරසෙමින් ඉන්නා දේශපාලන බලවේගවල සැටිය.

සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ වූ දේශපාලනිකව සවිඥානක කම්කරු පන්තියම පමනි, මෙම ධනේශ්වර කතිපයාධිකාරය පරාජය කලහැකි තීරනාත්මක සමාජ බලවේගය වන්නේ. මෙම ආන්ඩුව ට දැක්වෙන විරෝධය, ස්වාධීන සහ විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය තුල මුල්බැස නොගන්නාතාක් දුරට සිදුවිය හැක්කේ, එය මැඩලා, වාෂ්පකොට, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රතිගාමී පිලිවෙත් පිටුපස ට හරවා යැවීමකි.

මෙම පෙලපාලි වලින් ප‍්‍රකාශිත වූයේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ගැඹුරින් ම නැගෙන සැබෑ විරෝධයයි. එහෙත් ඒවායේ සංවිධායකයෝ ද වේදිකා වලට නැගී ගත්තෝ ද බොහෝ දුරට ඩිමොක‍්‍රටික් පක්ෂයේ සහකරුවෝ ය. ඔවුන් උත්සාහ කලේ, පන්තිය සහ ආර්ථික අසමානත්වය පිලිබඳ ප‍්‍රශ්න යටගසා, ලිංගිකත්වය, වර්ගය, සහ ලිංගික අනුරතිය වැනි අනන්‍යතාවන් ඉස්මත්තට ගැනීමට ය. එය ජනතාව අතර පිලිගැනීමට ලක්වුනේ නැති තත්වය හමුවේ රැස්වීම් ගානනාවක ම කථිකයෝ, මැතිවරන ව්‍යායාමය තුලදී ද ඉන් පසුව ද ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රමුඛ යොමුව බවට පත්කරගෙන සිටි, රුසියාවට එරෙහි යුදවාදී ව්‍යායාමය වගා කිරීමට යත්න දැරූහ.

විරෝධතාවලට නායකත්වය දුන් දේශපාලන බලවේගවල සැඟවුනු මෙන්ම විවෘත ප‍්‍රස්තුතය වූයේ, හිලරි ක්ලින්ටන් දිනුවා නම් විරෝධතාවකට නිමිත්තක් ඇති වනු නැති බව ය. එහෙත් ක්ලින්ටන් ඉදිරිපත් වූයේ පවත්නා සංස්ථාපිතයේ, එනම් වෝල් වීදියේ සහ මිලිටරි /බුද්ධි තන්ත‍්‍රයේ අපේක්ෂිකාව ලෙසය. එක්සත් ජනපදය පුරා වැනසී ගිය කම්හල් නගරවලද පිටිසර ද වැඩකරන ජනතාවගේ මිතුරා ලෙස පෙනී සිටිමින්, වාචාල ජනගෝසාව සඳහා ට‍්‍රම්ප්ට ඉඩ සලසා දුන්නේ, කම්කරු පන්තියේ සමාජ සහ ආර්ථික ආසක්තයන් ඉස්මතු කිරීමට තදින්ම සතුරු වූ ඩිමොක‍්‍රටික් පක්ෂය විසිනි.

ඩිමොක‍්‍රටික් පක්ෂයට ට‍්‍රම්ප් කෙරේ යම් විරුද්ධත්වයක් ඇතොත් ඒ උපාය පිලිබඳව ම පමනි. ඩිමොක‍්‍රටික් පක්ෂ ”විරෝධයේ” ප්‍රෝඩාව, ”සමාජවාදියෙකි” යි සාවද්‍ය ලෙස පෙනී සිටිමින්, ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය තමාට ලබාගැනීමට තරග වැදුනු සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්, බොස්ටන් නුවර විරෝධතා රැලිය අමතා කතා කිරීමට දිනකට පෙර, සෙනෙට් සභාවේදී, ”පිස්සු බල්ලා”යයි නම් දරන, ජෙනරල් ජේම්ස් මැට්ටිස්, ට‍්‍රම්ප් ගේ ආරක්ෂක ලේකම් හැටියට තෝරාගැනීම ට චන්දය දීමෙන් වුව ද හෙලිදරව් විය. මෙම ඡන්දයේ දී ඩිමොක‍්‍රටික් පාක්ෂික සෙනෙට් සභිකයින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම සෑන්ඩර්ස් හා එක්ව මැට්ටිස් ට ඡන්දය දුන්නෝය.

අද දින ට‍්‍රම්ප්ට විරුද්ධවන ජනතාව, අතීතයේ පාඩම්, විශේෂයෙන් ම 2003 යුද විරෝධී මහජන ව්‍යාපාරයේ අසාර්ථකත්වය පිලිබඳ පාඩම් උගත යුතු ව ඇත. මෙම විරෝධතා ව්‍යාපාරය ඩිමොක‍්‍රටික් පක්ෂයට යටත් කොට, යුද්ධයට හා යුද වියදම් වලට කොංග‍්‍රස් මන්ඩලයේ දී අනුමැතිය ලබා දීමට ඡන්දය දුන් එම පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයට එය හරවා යවන ලදී.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජයග‍්‍රහන ජනතාවට ලබා දුන්නේ කුමක් ද? ඔබාමා කලේ ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ බුෂ් පටන්ගෙන තිබුනු යුද්ධ ඉදිරියට ගෙන යමින් ලිබියාවේ, සිරියාවේ සහ යේමනයේ අලුතින් යුද්ධ වැලක් පටන් ගැනීමයි. රුසියාව සහ චීනය යන දෙරටට ම විරුද්ධව එලිපිටම මිලිටරි පෙලගැසීම් සුදානම් කිරීමයි.

ඔබාමා සිය රට තුල කලේ, අන් කිසිම ඇමරිකානු ජනාධිපති කෙනෙකුට වඩා වැඩි ගනනාවක් ආගාමිකයන් පිටුවහල් කිරීම ය. පොලිසියට මිලිටරි යුද අවි සැපයීමය, විද්‍යුත් ඔත්තු බැලීම් පෙර නුවූ විරු පරිද්දෙන් උග‍්‍ර කිරීමය, ඇමරිකා ඉතිහාසයේ කවර කලෙකටත් වැඩියෙන් ධනය කම්කරු පන්තිය අතින් උදුරා ධනපති පන්තිය අතට පත් කිරීමය.

ට‍්‍රම්ප් පාලනයට එරෙහි විරෝධය සඵල වීමට නම්, එය ධනේශ්වර සමාජයේ තීරනාත්මක විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය තුල මුල්බැස ගත යුතු වේ. මෙහි අර්ථය වන්නේ, කාන්තාවන්ගේ ද සුලු ජන කොටස්වල ද ආගාමිකයන් ගේ සහ සමලිංගිකයින් ගේ ද අයිතීන් ඇතුලු සකල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උදෙසා වන අරගලය, අසමානතාවය, විරැකියාව, දිලිඳු කම, පොලිස් ප‍්‍රචන්ඩත්වය, ඒකාධිපතිත්වය සහ අන් සියල්ලටත් වඩා තීරකව යුද්ධයට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කිරීම ය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම, රැකියා හා ජීවන තත්වයන් රැක ගැනීම සහ යුද්ධයට එරෙහි අරගලය යන මේ සියල්ල, ට‍්‍රම්ප් පාලනයට එරෙහිව කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගන්වන අරගලයේ පදනම විය යුතුය.

ට‍්‍රම්ප්ට එරෙහි සටන, ධනවාදයට සහ එහි සකල දේශපාලන ප‍්‍රකාශනයන්ට එරෙහි සටනකි. එය රඳා පවත්නේ, ලෝකයේ සෑම රටකම කම්කරුවන්, අසමානතාවය සහ සූරාකෑම මත මුල් බැස පවත්නා, මානව වර්ගයා ව්‍යසනයක් කරා ඇදගෙන යමින් තිබෙන, සමාජ සහ ආර්ථික පද්ධතියකට විරුද්ධව දැනුවත් කර, සංවිධානය කර, බල මුලු ගැන්වීම මතය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන් සමග ඒකාබද්ධව මෙම අරගලය ට නායකත්වය සපයන්නේ, සමාජවාදී සමානතා පක්ෂය ම පමනකි. අප ඇතුලු වෙමින් සිටින්නේ, පෙර කවර කලෙකවත් නොදුටු, ගැඹුරින්ම පැනනගිමින් පවත්නා, මහජන නැගිටීමේ අවධියකට ය. දැන් ඔබ ද සම්බන්ධ විය යුතු අවස්ථාව එලඹ ඇත. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩනැගීමට ආධාර කරන්න!

Share this article: