දහස් සංඛ්‍යාත ජනයා ගොදුරු කර ගනිමින් උමාඔය ව්‍යාපෘතියේ පාරිසරික ව්‍යසනය තවදුරටත් පැතිරෙයි

ජයන්ති ද සිල්වා විසිනි, 2017 ජනවාරි 30

2017 වසර උදාවන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් මතු කෙරුනු පාරිසරික ව්‍යසනයන්ට තවතවත් ජනජීවිත ගොදුරුකර ගනිමිනි. එම ව්‍යසනය බන්ඩාරවෙල, කිනිගම, උඩපේරුව, අරවත්ත, මහගලඉන්න කොටස, කොලතැන්න හා පහලතැන්න යන ප‍්‍රදේශවලට ව්‍යාප්තව ඇත්තේ නිවාස ගිලා බස්සවමින් සහ බිත්ති පැලීම්වලට ලක්කරමිනි. මේ හේතුවෙන් ජීවිත පවා අවදානමට ලක්ව ඇත.

භූගත උමං තැනීම හා වේලි ඉදිකිරීම හේතුවෙන් 2014 දෙසැම්බර් 26 වන දා වන විට බදුල්ල දිස්ත‍්‍රික්කයේ බන්ඩාරවෙල, හාලිඇල, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 650 ක නිවාස විනාශ වී ලිං සම්පූර්නයෙන්ම සිඳී ගියේය. එවිට අවසන්ව තිබුනේ ව්‍යාපෘතියෙන් සියයට 16 ක කොටසක් පමනි.

මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කල රන්ටැඹේ ජලාශයට ජල සැපයීමේ මුල් අරමුන වෙනස් කොට ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ එල්ලයෙන් මහින්ද රාජපක්ෂ ආන්ඩුව වැලිමඩ සිට බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත‍්‍රික්කවලට ජලය ගෙන යාම සඳහා උමාඔය ව්‍යාපෘතිය ඇරැඹුවේ 2008 අප‍්‍රියෙල් 29 වෙනි දා ය.

පහල ඌව හා හම්බන්තොට සංවර්ධනයේ නාමයෙන් අන්තර් ජාතික ගුවන් තොටුපල, කර්මාන්ත පුරය, වරාය හා තෙල් පිරිපහදුව සඳහා ජලය සැපයීමත් භූ ගර්භය තුල මෙගා වොට් 120ක් ජනනය කරන ජල විදුලි බලාගාරයක් මගින් ජල විදුලිය සම්පාදනයත් ව්‍යාපෘතියට ඇතුලත් ය.

දැඩි මහජන විරෝධය හමුවේ තාවකාලික ව නවතා දැමූ ව්‍යාපෘතිය වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍යාංශය යටතේ 2011 මැයි මාසයේ යලි ඇරැඹුනි. එය ක‍්‍රියාත්මක කෙරුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩජෙයින් අතර ගිවිසුමකින් එ රට අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය නය ආධාර යටතේ ය. ප‍්‍රමානවත් ශක්‍යතා අධ්‍යයනක් හෝ පාරිසරික අනුමැතියක් නොමැතිව අරඹා තිබූ ව්‍යාපෘතියට ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලැබුනේ 2008 ජූලි 20 වෙනි දා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්, ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් බන්ඩාරවෙල ප‍්‍රදේශයේ ජනතාව හමු වීමට පසුගිය දා ගිය අවස්ථාවේදී තමා මුහුන දෙන විවිධ දුෂ්කරතා ඔවුහු ප‍්‍රකාශ කලහ.

බන්ඩාරවෙල, උඩපේරුව ප‍්‍රදේශයේ, ඉරි තැලීමට ලක්ව කඩා වැටීමේ අවදානමේ පවත්නා නිවාසයක ජීවත් වන එක් ගෘහනියක් මෙසේ පැවසුවාය:

බිත්ති පුපුරා ගොස්, කඩා වැටී,ජනෙල් කඩා වැටී ඇති, ගෙබිම හා මිදුල ඉරි තලා ගිලා බැස ඇති සහ මේ වන විට පදිංචිකරුවන් ඉවත් කර ඇති නිවසක්

”ජනවාරි පලවෙනිද කියන්නෙ අලුත් අවුරුද්දක් ලබන, කවුරුත් ඒ සතුට විඳින දවසක්.... නමුත් අපි අපේ ගෙවල් ගිලා බහිනව, ඉරි තැලිල තිබුන ගෙවල් පැලිල තියනව දැකල වින්දෙ මහ පුදුම වේදනාවක්..... එක ප‍්‍රදේශයකට වතුර දෙන්න ගිහින් මේ පලාතෙ ලිං හිඳිල..... වතුර නැතුව මිනිස්සුන්ට දහ දුක් විඳන්න සිද්ධවෙලා..... මේ පැත්තෙ ලිං නියඟ‍ෙටවත් හිඳෙන ඒව නෙමෙයි ..... සතියකට වතුර ලීටර් 1000ක් බවුසර්වලින් ගෙනත් දෙනවා..... ඒක දවස් තුනකටත් මදි..... ඒ වතුර බොන්න අමාරුයි..... සමහර දවස්වලට ඒවයෙ මදුරු කීටයොත් ඉන්නවා..... නයවෙලා දුක් විඳල හදා ගත්ත ගෙවල්....”

31 වෙනි දා රාත්‍රියේ ඇසුනු අමුතු ශබ්දයත් පසුදා උදේ දොර විවර කිරීමට නොහැකිවීමත් විමසද්දී බිත්තිවල පැලුම් පාරවල් දුටු බවත් එම පැලුම් පාරවල් ක‍්‍රමයෙන් පලල් වන හැටි බලා සිටි බවත් ශ්‍රියා කාන්ති නම් ගෘහනියක් පැවසුවා ය.

”ප‍්‍රාදේශීය ලේකම් ඇවිල්ල කිව්ව ගෙවල් වලින් අයින් වෙන්න කියල. කොහේට අයින් වෙන්න ද? ආන්ඩුවල වැරදිවලට මිසක් අපේ වැරදිවලට නෙමෙයි මේ විනාශ වෙන්නෙ.” ඇය වාර්තාකරුවන්ට පැවසුවා ය.

මේ වන විට උමා ඔය ව්‍යාපෘතිය බන්ඩාරවෙල බොහොමයක් ප‍්‍රදේශවලට ජලය අහිමි කර, කුඹුරු අස්වැද්දීම කල නොහැකි තත්වයට පත්කොට ගොවි ජනයාගේ ආදායම් මාර්ග අවුරා දමා තිබේ. තම සේසතම වියදම් කර දුක් මහන්සියෙන් තනා ගත් තම නිවෙස් කවර හෝ මොහොතක විනාශ මුඛයට ඇද වැටේ දැයි ප‍්‍රදේශයේ ජනයා නිතරම විමසුමෙන් සිටිති.

අවදානමට පත් වූවන්ට තම නිවාසවලින් ඉවත් වන ලෙස බලධාරීන් විසින් උපදෙස් දී ඇති නමුදු ඔවුන් යා යුත්තේ කොතැනටදැ යි පවසා නැත. කුලී නිවසකට යන්නේ නම් මාස හයක ගෙවල් කුලී ලබා දී අතසෝදා ගැනීමේ ප‍්‍රයත්නයක ආන්ඩුව නිරතව සිටී.

ආන්ඩුවේ ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් තම කනස්සල්ල පලකරමින් කිනිගම පදිංචි කම්කරුවෙකු වූ ගුනතුංග මෙසේ පැවසීය:

”මිනිස්සු කොහොම කියල ජීවත් වෙන්න ද? විනාශවුනු තමාගෙ ගෙවල් වගේ ගෙවල් හදල, ජීවන මාර්ග සකස් කරල දෙනව නම් මිනිස්සු නොයා ඉන්න එකක් නැහැ. විපතට පත් වුනු හැම මිනිහට ම සාධාරනය වෙන්න ඕන. එහෙම වෙයි කියල අපිට කිසිම විශ්වාසයක් නෑ.”

මීරියගහ ආර්.එම්.සෝමාවතී

”කොහේ යන්න ද? මාස හයෙන් පස්සෙ මොක ද කරන්නෙ? රස්සාවල් කරන මිනිස්සුන්ට නං පඩියක් තියෙනවා. මොනව හරි කර ගන්න පුලුවන්. අපි වගේ මිනිස්සු මොකද කරන්නෙ? ලමයින්ගෙ අධ්‍යාපනයටත් මේව බලපානවා තැන් තැන්වල යන්න ගියොත්.” කීවා ය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු:

”ප‍්‍රශ්නයක් ඇතිවුනාම ඒ ස්ථානවලට විවිධ අය විත් වාර්තා ගන්නව. ඒවා විවිධ මාධ්‍ය හරහා ප‍්‍රචාරය වෙනව. ආන්ඩුත් ප‍්‍රශ්න විසඳනව කියල පොරොන්දු වෙනව. ඒත් ඒවා කිසිවක් විසඳෙන්නෙ නෑ.

”මට මතකයි මීරියබැද්ද ගිලා බැස්ස වෙලාවෙ, සුනාමියෙදි මිනිස්සු තමයි විපතට පත් වෙච්ච මිනිස්සුන්ට උදව් කලේ්. නමුත් තවමත් ඒ මිනිස්සුන්ට දුන්න පොරොන්දු ඉෂ්ට වෙලා නෑ. යුද්ධෙන් දුක් වින්ද මිනිස්සුත් තාම විඳවනවා. ඉතිං අපිටත් එහෙම නොවී තියෙයි ද?”

විශ‍්‍රාමික ගුරුවරයෙකු වූ මැදහින්නේ ආර්. ගුනවර්ධන:

”නිවැරදි ඇගයීම් වාර්තාවක් සහිතව ව්‍යපෘතිය ඇරඹුව නම් මේ වගේ විනාශයක් සිදු වෙන්නෙ නෑ. ආන්ඩුවලට අවශ්‍ය නම් ඕනම දෙයක් නිවැරදි යි යන ආස්ථානයේ සිට වැඩ අරඹන්න පුලුවන්. අනිවාර්යයෙන්ම නියම වාර්තා යට ගහල බොරු වාර්තාවකට අනුමැතිය දෙන්න ඇති.”

මේ වන විට ව්‍යාපෘතියේ වැඩ සියයට 75 ක් අවසන් බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මාධ්‍යවලට පවසා තිබේ. මේ වන විට අසූවකට ආසන්න ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාවක ජනතාව ව්‍යාපෘතිය හේතුවෙන් දැඩි පීඩනයට ලක්ව සිටිති. ඉරි තැලීමට සහ, ගිලා බැසීම්වලට ලක්ව, නිවාස 3870ක් විනාශ වී ඇති අතර කඩා වැටීමට ආසන්න ඒවා ද තිබේ. ලිං වෙනුවට ඇත්තේ හිස් වලවල් ය. ලිං හා උල්පත් සිඳී යාම් 2000ක් පමන සිදුව ඇත. බොහෝ ප‍්‍රදේශ මුලුමනින් වියැලී ගොසිනි. වගා පාලුවට යාමෙන් හා ගොවීන්ගේ ආර්ථිකය බිඳ වැටී ඇත. මාර්ග පවා පුපුරා ගිලා බැසීමට ගොදුරු විය හැකි බවට දසුන් ප‍්‍රදේශයේ පවතී. ආපදාවන්ට පත් වූවන්ට බවුසර් ජලය ලැබෙන්නේ දින දහයකට පමන වරකි.

උඩපේරුව,කිනිගම,බන්ඩාරවෙල පිහිටි කඩා වැටී,විනාශ වී,ජලය හිඳුනු ලිඳක්

ව්‍යාපෘතිය හේතුවෙන් ප‍්‍රදේශයේ ගම් දහයක ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය අහිමිවීම නිසා ඔවුන්ගේ ආර්ථිකයට බලවත් හානි සිදු වූ බව පෙන්වා එම්.පී.ඩී. මනතුංග ඇතුලු බන්ඩාරවෙල ගොවි මහතුන් සිව් දෙනෙකු ගොනු කල පෙත්සම විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය පීඩාවට පත් ගොවීන් සඳහා ඔවුන්ගේ හානිය තක්සේ්රු කර වන්දි ගෙවන ලෙස ඌව පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට 2016 සැප්තැම්බර් 14 දා නියෝග කල අතර ජලය අහිමි වූ පවුල්වලට හා ගොවීන්ට දෙසැම්බර් 31ට පෙර ජලය ලබාදීමට පියවර ගන්නා ලෙසත් නියෝග කලේ ය. නියෝගය නිකුත් කොට වසරකටත් වැඩි කාලයක් ඉකුත් වී ඇති නමුදු ඉන් කිසිවක් ක‍්‍රියාත්මකවී නොමැත.

විවිධ ශක්‍යතා අධ්‍යයනයන් මගින් මෙම ව්‍යාපෘතිය ප‍්‍රතික්ෂේප කෙරී ඇති තතු යටතේ රාජපක්ෂ ආන්ඩුව විසින් ආරම්භ කෙරුනු ව්‍යාපෘතිය වත්මන් ආන්ඩුව විසින් ද ඉදිරියට ගෙනයාමෙන් සිදුවී ඇති පාරිසරික ව්‍යසනයන්ගෙන් සහ ඉන් ජනජීවිත වලට ඇති කෙරී ඇති අනේකවිධ පීඩාවන්ගෙන් යලිත් වරක් පෙන්නුම් කෙරෙනුයේ, තාර්කික සහ සැලසුම්ගත ආකාරයෙන් මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ධනේශ්වර ක‍්‍රමයට ඇති නෛසර්ගික නොහැකියාවයි.

ආන්ඩුවල පිලිවෙත්වලට විරුද්ධව මහජන කෝපය නැගෙද්දී එය ගසාකෑම සඳහා වඩාත් ශබ්දයෙන් ඝෝෂා කරන්නේ මහින්ද රාජපක්ෂ හා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යි.

”උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුන” නමින් සංවිධානයක් අටවාගෙන සිටින ජවිපෙ ඌව පලාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න තම පූච්ඡානම් ස්වරයෙන් පවසන්නේ ”ජනතා බලයෙන් පාලකයන් දන ගස්සල මේ විනාශය නවත්වන” බවයි.

ධනේශ්වර සංස්ථාපිතයේම පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ හි අරමුන වන්නේ මෙවන් මහජන අරගලය ධනපති ක‍්‍රමයටම එරෙහි අරගලයක් දෙසට වර්ධනය වීම වලක්වා එය අවමංගත කිරීම මගින් ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීම යි.

නිර්දේශිත වෙනත් ලිපි

2015 මාර්තු 6 වන දා ලෝසවෙඅ පලවූ දැඩි මහජන විරෝධය හමුවේ උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව අත් හිටුවයි

Share this article: