හිමාලයානු දේශසීමාවේ ඉන්දියාව හා චීනය අතර ආතතීන් වැඩේ

Tensions mount in India-China Himalayan border standoff

වසන්ත රූපසිංහ හා කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 7

1962 දී ඉන්දියාව හා චීනය අතර මාසයක් තිස්සේ පැවැති යුද්ධයෙන් පසුව, නව දිල්ලිය හා බීජිනය අතර ඇතිවන වඩාත් ම බිහිසුනු අර්බුදය යයි සැලකෙන හිමාල කඳුවැටියේ ඈතට වන්නට පිහිටි ඩොක්ලාම් හෙවත් ඩොංග්ලෑන් යයි හැඳින්වෙන සානුවේ, ඉන්දීය හා චීන භටකායන් එකිනෙකා මුහුනට මුහුන ලා ආතති සහගත ව කඳවුරු බැඳගෙන සිටී.

අනෙකා ඉවත් ව යා යුතු යයි අවධාරනය කරමින්, රටවල් දෙක ම යුදවාදී ප‍්‍රකාශ යලි යලිත් නිකුත් කොට ඇත.

“වඩාත් බරපතල ප‍්‍රතිවිපාක ගෙනඑනු ඇත්තා වූ වඩාත්ම බරපතල තත්වයක් වැලැක්වීමට නම්,” මතභේදයට ලක්ව තිබෙන ප‍්‍රදේශයෙන් ඉන්දියාව වහා ම තම භටයන් 3,000 ඉවත් කර ගත යුතු ය යන බීජිනයේ ඇනවීම, චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ගෙං ෂුවාංග් ජූලි 6දා අවධාරනය කලේ ය.

දේශසීමා අර්බුදය පිලිබඳ සාකච්ඡා ඇරඹීම කලහැක්කේ, ඉන්දියානු හමුදා ඉවත් කරගැනීම මගින් පමනක් බව ගෙං කීවේ ය. ද්වි-පාර්ශ්වික සාකච්ඡා සඳහා “වාතාවරනය නුසුදුසු” බව කියමින්, මේ සති අන්තයේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වෙන ජී-20 සමුලුව අතරතුර චීන ජනාධිපති ෂී ජිංපිං හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර කිසිදු හමුවකට හැකියාවක් නැති බව කීම දක්වා ගෙං දුර ගියේ ය.

ප‍්‍රශ්නයට බඳුන් ව ඇත්තේ, චීනය තමන්ට අයත් බව ද ඉන්දියාව නිවැරදි ලෙස කුඩා භූතාන රාජධානියට අයත් බව ද අවධාරනය කරන, හිමාල කඳුවැටියේ තනබිමෙහි වර්ග කිලෝමීටර 89ක් (එනම්, වර්ග සැතපුම් 34.5ක්) තරම් කොටසක පාලනය යි.

නාමික ව පමනක් ස්වාධීන රාජ්‍යයක් වන භූතානය, ඉන්දියාවේ ආරක්ෂාව යටතේ පවතින ප‍්‍රදේශයකි. ජපානය හා ඉන්දියාව හැරුනු විට, චීනය, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය හෝ වෙනත් කිසිදු ප‍්‍රධාන බලයක් සමග විධිමත් රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා භූතානයට නැත.

ඩොක්ලාං සානුව මත චීන කම්කරුවන් මාර්ගයක් තැනීම නැවැත්වීමට ඉන්දියානු භටයන් මැදිහත් වී දින ගනනාවක් ගෙවී ගිය ජුනි 29 දා පමනි, භූතාන විදේශ අමාත්‍යාංශය එම මාර්ගය තැනීම සිදු කරන්නේ තම භූමි ප‍්‍රදේශය තුල බව චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කලේ.

ඉන්දු-චීන හා භූතාන රටවල් තුන හමුවන දේශසීමාව තව තවත් දකුනට තල්ලු කිරීමට චීනය උත්සාහ කරන්නේ යයි ඉන්දියාව චෝදනා කරමින් සිටී. එලෙස දේශසීමාව තල්ලු කිරීම, යුද අවස්ථාවක දී මූලෝපායික ව වැදගත් සිලිගුරි ද්වාරය අල්ලා ගැනීම සඳහා චීන හමුදාවන්ට වඩා වාසිදායක තත්ත්වයක් ලබාදෙනු ඇතැයි ඉන්දියාව කියයි. සිලිගුරි ද්වාරය යනු බංග්ලාදේශය, නේපාලය, භූතානය හා චීනය අතරට කොටු වී පවතින තුනී ඉන්දියානු බිම් කැබැල්ලකි.

තමන්ගේ පොදු දේශසීමාව පිලිබඳ ව අවසන් විසඳුමකට එලැඹෙන තෙක් අර්බුදයට ලක් වූ ප‍්‍රදේශ තුල සාමය, සංහිඳියාව හා පවත්නා තත්ත්වය තබාගෙන යාමට කැපවෙමින් 1998 දී ඉන්දියාව හා භූතානය අත්සන් කල ගිවිසුමක් බීජිනය විසින් උල්ලංඝනය කරතැයි ද ඉන්දියාව හා භූතානය චෝදනා කරමින් සිටිති.

1890 දී අත්සන් කල ඇංග්ලෝ-චීන ගිවිසුම වෙත ද 1959 දී ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු එම ගිවිසුමේ වලංගු බව පිලිගනිමින් චීන අගමැතියාට යැවූ ලිපියකට ද අවධානය යොමු කරමින්, සමස්ත ඩොංග්ලෑන් සානුවේ චීන ස්වෛරීභාවය, ඉන්දියාව විසින් බොහෝ කලකට පෙර පිලිගෙන ඇතැයි යන්න බීජිනය ඉදිරිපත් කරන ප‍්‍රතිවිරුද්ධ තර්කය යි.

2000 අවුරුද්දේ නොවැම්බරයේ පැවැත්වුනු චීන-භූතාන දේශසීමා සාකච්ඡාවල දහහහතර වැනි වාරය තෙක් ම, භූතානය, තම දේශසීමා හිමිකම්වලට ඩොක්ලාම් පෙදෙස ඇතුලත් කර නො ගත් බව ද චීනය සඳහන් කරයි. මෙම අදහසෙහි ව්‍යංගාර්ථය වන්නේ තම දේශසීමා හිමිකම් ප‍්‍රසාරනය කිරීම පිනිස භූතානයට පීඩනය යෙදුවේ ඉන්දියාව බව යි.

චීන-ඉන්දු දේශසීමා අර්බුදය ඇවිලී යාම, හුදෙක් දීර්ඝ හා වේගයෙන් වර්ධනය වන ද්විපාර්ශවික අර්බුදයන් මාලාවක නවතම එක පමනි.

ආසන්නතම හේතුව කුමක් වුව ද මෙම ආරවුල් ධාවනය කරනු ලබමින් පවත්නේ, චීනයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි-මූලෝපායික ප‍්‍රහාරයේ තථ්‍ය “ඉදිරිපෙල රාජ්‍යයක්” ලෙස මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන ආන්ඩුව ඉස්මතු වෙමින් පැවතීමත්, ඊට ප‍්‍රතිචාර වසයෙන් බීජිනය ඉන්දියාවේ සාම්ප‍්‍රදායික සතුරා වන පාකිස්තානය සමග සිය මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ගැඹුරු කරගැනීමත් මගිනි.

තම දේශසීමාවට හා ඩොක්ලාම් කඳුකරයේ මහාමාර්ග ව්‍යාපෘතියට ඇඟිලි ගසන්නේ යයි චීනය විසින් ඉන්දියාව ප‍්‍රසිද්ධියේ හෙලාදැක්කේ, මෝදි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ධවල මන්දිරයේ දී මුනගැසී ඉන්දු-එක්සත් ජනපද සංධානය තවදුර පුලුල් කිරීමට පොරොන්දු වූ ජුනි 26වැනිදා ම ය.

චීනයට එරෙහි මූලෝපායික ප‍්‍රතිබලයක් ලෙස, ජපානය හා ඕස්ට්‍රේලියාවට අමතර ව, එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන නේටෝ වර්ගයේ චීන-විරෝධී සංධානයක හතරවන සාමාජිකයා බවට නව දිල්ලිය තහවුරු කරගැනීමේ අටියෙන් වොෂින්ටනය පසුවන බව බීජිනය දන්නේ බොහෝ කාලයක පටන් ය.

ඉන්දියාව හා එක්සත් ජනපදය අතර පුලුල් වන මූලෝපායික සබඳකම්වලට, මෑතක් වන තුරු ම බීජිනයේ ප‍්‍රතිචාරය වූයේ, ඉන්දියාව, වොෂින්ටනය වැලඳගැනීම කරා තල්ලු වී යාමේ භීතිය හේතුවෙන් ආක‍්‍රමනශීලී ව ප‍්‍රතිචාර නො දැක්වීම හා ආයෝජන හා හවුල්කාරීත්වය සඳහා වන ආයාචනා සමගිනි.

දකුනු චීන මුහුද පිලිබඳ වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී ආස්ථානය පුනරුච්ඡාරනය කරමින්, ඉන්දියාව තම මිලිටරි කඳවුරු හා වරායවල් භාවිතා කිරීම සඳහා පෙන්ටගනයට විවෘත කිරීමට පියවර ගැනීම ද එක්සත් ජනපදය, ඉන්දියාව තම “ප‍්‍රධාන ආරක්ෂක හවුල්කාරයෙකු” යයි ප‍්‍රකාශ කිරීම ද යන තතු තුල, බීජිනය වඩ වඩා ආක‍්‍රමනශීලී ආස්ථානයක් ගෙන ඇත.

වර්තමාන දේශසීමා අර්බුදය තුල, චීන නිලධාරීහු මිලිටරිමය ලෙස ප‍්‍රතිචාර දැක්වීමේ තර්ජනයන් යලි යලිත් ප‍්‍රකාශ කොට තිබේ. 1962 දේශසීමා යුද්ධය සහ චීනයට හා පාකිස්තානයට එරෙහි ව පෙරමුනු දෙකක යුද්ධයකට සූදානම් බව අනවරතව ප‍්‍රකාශ කර තිබෙන ඉන්දියාවේ නව යුද හමුදාපතියා වන ජෙනරාල් බිපින් රාවත්ගේ ප‍්‍රකෝපකාරී අදහස් පලකිරීම් ගැන කරන සෘජු සඳහන් කිරීම්, එම ප‍්‍රකාශවලට ඇතුලත් වේ.

ඩොක්ලාම් කඳු ප‍්‍රදේශයේ ආතතීන් පිලිබඳ තත්ත්වයේ දී “සම්මුතියකට” අවකාශ රහිත යයි ද මෙම “භයානක” තත්ත්වය සමහන් කිරීමට තිබෙන එක ම ක‍්‍රමය, ඉන්දියාව “කොන්දේසි විරහිත ව” තම භටයන් ඉවත් කරගැනීම යයි ද කියන තර්ජනාත්මක වචන අඩංගු ප‍්‍රකාශයක්, චීනයේ ඉන්දියානු තානාපති ලූ ඕ ෂ ඕහුයි ජූලි 5දා නිකුත් කරන ලදි.

මුනගැටුම අවසන් විය හැක්කේ යුද්ධයකින් යයි මාධ්‍යවල පලවන අදහස් පිලිබඳ ව විමසූ විට, තානාපති ලූ ඕ චීනය එවැන්නක හැකියාවකින් සසල නො වන බව පෙන්නුම් කරන මතයක් ප‍්‍රකාශ කිරීමට තැත් කලේ ය. “එම විකල්පය පිලිබඳ ව සාකච්ඡා කොට තිබෙනවා. මිලිටරි විකල්පය යොදා ගන්නේ ද නැද්ද තීරනය කිරීම ඔබේ ආන්ඩුවට බාරයි” යයි ලූ ඕ කීවේ ය.

දේශසීමා ගැටලුව අරබයා ”චීනය සමග මුනගැටුමක් අපේක්ෂා කරන ඉන්දියාවේ අය, හොඳින් මතකයේ තබා ගතයුතු වන්නේ...චීනය හා ඉන්දියාව අතර තවත් සන්නද්ධ ගැටීමක් මුලුමනින් ම එම ගැටලුවෙන් පිටස්තර දෙයක් නො වන බව යි” යයි සඳහන් කරන, ජාත්‍යන්තර අධ්‍යයනයන් පිලිබඳ ෂැංහයි ආයතනයට සම්බන්ධ ප‍්‍රමුඛ මූලෝපායික විශේෂඥයෙක් වන වැං දෙහුවාගේ ලිපියක් ඊට පෙර දින මහජන විමුක්ති හමුදාවේ වෙබ් අඩවිය තුල පලකලේ ය. “අතීතයේ දී ඉන්දියානු පාර්ශවය වාසි සහගත තත්ත්වයක නො සිටියේ ය. පසුගිය දශක කිහිපයේ චීන මිලිටරිය නවීකරන ක‍්‍රියාවලිය තුල විශිෂ්ට වර්ධනයක් අත්කරගෙන තිබෙන තතු තුල එම පාර්ශවය අද දින ද වාසියක් අත්කර නො ගනු ඇත” යයි පාරම්බෑම දක්වා වැං ඉදිරියට ගියේ ය.

විශේෂයෙන් ම ග්ලෝබල් ටයිම්ස් ඇතුලූ චීන රජයේ මාධ්‍ය යුදකාමී ඉන්දියානු-විරෝධී ආරෝවන් පලකර ඇත. “භූතාන හා සීකිම් පිලිබඳ ආස්ථානය චීනයට යලි සලකා බැලිය හැක” යයි ජූලි 5දා ටයිම්ස් පත‍්‍රය කතුවැකියක් පලකලේ ය. ඉන්දියාව හා භූතානය අතර “අසමාන ගිවිසුම් අහෝසි කල යුතු යයි” හෙලාදැකි එම කතුවැකිය, එක් කාලයක අසල්වැසි හිමාලයානු රාජධානියක් වූ ද 1975 දී නව දිල්ලිය විසින් ඈඳාගත්තා වූ ද සීකිම් රාජ්‍යය මත ඉන්දියාවේ ස්වාධිපත්‍යය 2003 දී චීනය විසින් පිලිගැනීම අවලංගු කිරීම ගැන චීනය සලකා බැලිය යුතු යයි ලීවේ ය.

“සීකිම් වෙතින් එන නිදහස්කාමී ආයාචනා සඳහා තෙල් වක්කලහොත්” නව දිල්ලිය සමග ගනුදෙනු කිරීමේ දී බීජිනය සතු ව “ශක්තිමත් තුරුම්පුවක්” තිබිය යුතු කියාසිටි කතුවැකිය, ඉන්දියාව ටිබෙටයට අතපෙවීමේ දී එවැන්නක් නොමැති ව සිටීම නිසා “එම තුරුම්පුව දැනට මත් ගිලිහී ගොස්” ශක්තිමත් ක‍්‍රියා කල යුතු යයි කීවේ ය.

ඩොක්ලාම් දේශසීමා අර්බුදය පලමු ව පිපිරී ගියතැන් පටන්, ඉන්දීය ආන්ඩුව හා මිලිටරිය මිලිටරි ක‍්‍රියාමාර්ග ගැනීමේ තර්ජනය ඉස්මතු කිරීමට යුහුසුලු වූ හ. යුද හමුදාපති රාවත් ඉන්දියානු අනදෙන නිලධාරීන් හමුවීමට තෙමේ ම සීකිම් බලා පියාසර කලේ ය. ඒ අතර, ආරක්ෂක ඇමති අරුන් ජෙයිට්ලි 2017 වසරේ ඉන්දියාව 1962 දීට වඩා බෙහෙවින් වෙනස් බවට කල පාරම්බෑම, තමන්ගේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මිලිටරිය හා එක්සත් ජනපදය සමග ඉන්දියාවේ මූලෝපායික හවුල්කාරීත්වය ගැන කල සැඳහුමකි.

මෑත දිනවල ඉන්දීය ආන්ඩුවේ හා මිලිටරියේ නිලධාරීන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම තරමක් අල්ප ව ඇතත්, මෙම ආරවුලේ දී ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා පරදුවට තැබී ඇති ය යන්න තමන්ගේ අවධානයට ලක් ව ඇති බව හා පසු නො බසින බව ඔවුහු අවධාරනය කොට ඇත.

“සාකච්ඡා හරහා අපගේ සියලු ප‍්‍රශ්න විසඳාගත හැකි යයි” ජූලි 5දා පැවති මාධ්‍ය හමුවක දී කියාසිටි ඉන්දීය ආරක්ෂක රාජ්‍ය ඇමති සුභාෂ් භම්රේ, “චීනය, භූතානයේ භූමියට ඇතුලු වෙමින් සිටිනවා. ඔවුන් ඉදිරියට පැමිනීම අපට අවශ්‍ය නැහැ. අපගේ ආරක්ෂක සැලකිල්ල හා ආස්ථානය එය යි” යනුවෙන් ද කීවේ ය

.

තමන්ගේ පැත්තෙන් ගත් කල, ඉන්දීය මාධ්‍ය යුදකාමී චීන-විරෝධී වාතාවරනයක් අවුලුවමින් සිටිති. ඉන්දීය හා චීන භටයන් එකිනෙකා සමග පොරවැදීම් යලි යලිත් පෙන්වන්නේ, එම පොරවැදීම් ඩොක්ලාම්හි මෑතකාලීන සිදුවීම්වලට බොහෝ ඉහත කාලයක වූ සිදුවීම් ය යන්න වසන් කරමිනි.

ඉන්දියානු ආන්ඩුව හා පාලක ප‍්‍රභූව දකුනු ආසියාව තුල සිය ආධිපත්‍යධාරී අපේක්ෂාවන් සඳහා එක්සත් ජනපද උපකාරය ලබාගැනීම සඳහා තත්ත්වය ගසාකෑමට ද වලිකමින් සිටිති.

චීනයේ එක් තීරුවක් - එක් මාවතක් යන ආරම්භකත්වයට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම ආදී ලෙස “චීනයට නිර්භීත ව මුහුන දීම” ගැන මෝදි ව උත්කර්ෂයට නංවන ලිපියක්, ජූලි 5දා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට ලියූ දිල්ලියේ ඔබ්සවර් රිසර්ච් ෆවුන්ඬේෂන් (ඔබ්සවර් පර්යේෂන පදනම) ආයතනයේ හාෂ් වී. පාන්ට්, ඒ සඳහා වොෂින්ටනය වඩ වඩා ආධාර කල යුතු යයි කීවේ ය. “බීජිනය සමග අන්තර්ක‍්‍රියාකාරී සම්බන්ධයක් සඳහා තමන් සූදානම් බවට සංඥා කිරීම මගින්, ට‍්‍රම්ප් පරිපාලනය, චීනයට එහි අසල්වාසී රටවල් බියවැද්දීම සඳහා නො දැනුවත් ව කොල එලිය දී තිබෙනවා විය හැකි ය” යයි ඔහු කියාපායි. “වොෂින්ටනය, චීනය පිලිබඳ තම ආස්ථානය විමර්ශනය කිරීමේ දී, වසර කිහිපයකට පෙර පූර්වාපේක්ෂා කලාට වඩා ඉතා වැඩි වේගයකින් චීනයේ නැගීම මගින් ආසියාව හැඩගැන්වෙන බව දැන සිටීම මනා ය” යයි ඔහු තවදුරටත් කීවේ ය.

විශේෂයෙන් ම කොංග‍්‍රස් පක්ෂය ඇතුලු ඉන්දියාවේ විරුද්ධ පක්ෂ, චීනයට එරෙහි ව වඩා දෘඪ ආස්ථානයක් ගත යුතු යයි බීජේපී ආන්ඩුව දිරිමත් කරමින් සිටිති. ජූලි 3දා පැවති මාධ්‍ය හමුවක දී කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය අභිෂේක් මනු ෂිංවි, චීනයේ “නො ගිනිය හැකි තරම් වන” දේශසීමා උල්ලංඝනය කිරීම් ගනනක් ගැන චෝදනා නැගූ අතර, බීජේපීය “අපගේ දේශසීමාවල තත්ත්වය සලකා, ජාතික අවශ්‍යතා සඳහා වන ජාතික ආරක්ෂාව සඳහා ශක්තිමත්, වරද නිවැරදි කරන පියවර ගත යුතු” යැයි අනවා සිටියේ ය.

පසුගිය සීත ඍතුවේ දී මෝදි ආන්ඩුව පාකිස්තානය තුල සිදුකල ඉවබව නැති හා නීතිවිරෝධී “ක්ෂනික ප‍්‍රහාර” අනුමත කල ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම්, වත්මන් දේශසීමා අර්බුදය පිලිබඳ ව මේ වනතෙක් එකදු ප‍්‍රකාශයක් හෝ අදහස් දැක්වීමක් කර නැත. එය පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියානු ධනේශ්වරයේ සන්ධානය ආසියානු ජනතාවන් ව්‍යසනකාරී මිලිටරි ගැටුමකට ඇදගෙන යාමට කරන තර්ජනය යි.

Share this article: