එංගලන්තයේ ග්‍රෙන්ෆෙල් ගින්න ඇතිවී මාසයක්:
ජලපීඩක පද්ධතියක් නොතිබීමෙන් හොනොලුලූ මහල් නිවාසයක තිදෙනෙක් මරනයට

One month since the UK Grenfell Fire:Three die in Honolulu high-rise without sprinkler system

2017 ජුලි 17

පසුගිය 14දා, එනම් අඩුම ගානේ පදිංචිකරුවන් 80කගේ මරනවලට හේතුවූ ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගින්නේ සිට හරියටම මාසයක් එලැඹෙන දින, තවත් මහල් නිවාස ගින්නකින් මිනිසුන් තිදෙනෙකුගේ ජීවිත අහිමි විය. මූලික ආරක්ෂක විධික‍්‍රමයක් වන ගින්නට එරෙහිව ක‍්‍රියාකරන ජලපීඩක පද්ධතියක් සවිකර තිබුනේ නම් එම ජීවිත හානිය වලක්වා ගත හැකිව තිබිනි.

මෙම මෑතම ව්‍යසනයෙන් පැහැදිලි කෙරෙන්නේ, ලන්ඩන් ගින්න හුදු අහම්බයක් නොවන බව යි. මූල්‍ය කතිපයාධිකාරිත්වයේ ලාබ හා ධනය හඹායාමේදී සමස්ත ලෝකය පුරාම වැඩකරන ජනයාගේ ජීවිත තුච්ඡ කොට සලකනු ලබයි.

සිකුරාදා, හවායි, හොනොලුලූහි තට්ටු 35කින් යුත් මාකො පෝලෝ සමූහ මහල් නිවාසයේ 26වැනි මහලේ හටගත් ගින්නෙන් හවායින් ගුවන් සේවයේ අභ්‍යන්තර ගුවන්සේවා කලමනාකරුවෙකු වන 54 හැවිරිදි බි‍්‍රට් ටේලර් සහ ඔහුගේ 85 වියැති මව මෙල්බා ජෙනින් ඩිලි මෙන්ම 71 වියැති ජොඇන්නා කුවාටා මරනයට පත්වූහ.

ජල පීඩක සවිනොකර තිබීමට අමතරව, නිවැසියන් කිහිප දෙනෙක්ම ඇසෝෂියේට් ප්‍රෙස් පුවත් සේවයට කීවේ ගිනි අනතුරු ඇඟවීමේ සීනු නාදයක් ඇසුනේ හෝ ඒවා පවතින බවක් තමන් නොදුටු බව යි. ගිනි අනතුරු ඇඟවීමේ පද්ධතියේද අඩුපාඩු පැවැතීමේ ශක්‍යතාව එමගින් ඉස්මතු කරයි.

“කිසිදු සැකයකින් තොරවම, මෙම මහල් නිවාසයේ ජලපීඩක සවිකර තිබුනා නම්, එය හටගත් ඒකකයේම ගින්න සීමාවියහැකිව තිබුනා” යැයි හොනොලුලූ ගිනිනිවීම් ඒකකයේ ප‍්‍රධානී මැනුවෙල් නිවිස් කීවේ ය.

ජලපීඩක පද්ධතිය ජාත්‍යන්තර වසයෙන්ම හඳුනාගෙන ඇත්තේ, ක්ෂනික හා ඉබේම ක‍්‍රියාත්මකවී ගිනි නිවීම සඳහා අතිප‍්‍රබල විධික‍්‍රමයක් බවත් එනයින් නිවැසියන් හා ගිනිනිවන භටයින්ගේ ජීවිත ආරක්ෂා කරන්නක් වසයෙනි. “ජලපීඩක සහිත ගොඩනැගිල්ලක ගින්නක් නිසා මරනයක් සිදුවීම ලෝකයේ කොතකදී හෝ අතිශයින් කලාතුරකින් සිදුවිය හැකි දෙයකි. එවැන්නකින් මරන ගනනාවක් සිදුවීම අසා නැති තරම්”, එක්සත් රාජධානියේ මධ්‍යම හා බටහිර වේල්ස්හි හිටපු ගිනිනිවන ඒකකයේ ප‍්‍රධානී රොනී කින්ග් කීවේ ය.

ජලපීඩක මගින් ගින්නෙන් සිදුවිය හැකි සමස්ත විනාශයෙන් සියයට 96ක්ම අඩුකරන බව සොයාගෙන තිබෙන අතර ජලපීඩක පද්ධති මගින් මුලුමනින්ම ආරක්ෂා කර ඇති ගොඩනැගිලිවල සියයට 96කට වැඩි ගිනි, ජලපීඩක මගින් පමනක්ම පාලනය වේ.

එතෙකුදු වුවත්, ගොඩනැගිලි හා නිවාසවල ජලපීඩක සවිකිරීමට බලකරන ජාතික විධිවිධානයක් එක්සත් ජනපදයේ නැත. අලූතින් තැනෙන නිවාසවල ජලපීඩක සවිකරන ලෙස නියෝග කරන්නේ කැලිෆෝනියා, මේරිලෑන්ඞ් හා වොෂිංටන් ඩී.සී වල පමනි.

1975න් පටන් ගෙන අලුතෙන් ඉදිකරන මහල් නිවාසවල ජලපීඩක පද්ධති සවිකරන ලෙස හොනොලුලූවල නියෝගයක් පනවා තිබේ. මාකෝ පෝලෝ සමූහ මහල් නිවාසය ගොඩ නගා ඇත්තේ එම නීතිය පැනවීමට වසර හතරකට පෙරාතුව වන අතර එතෙක් පැවැති මහල් නිවාසවලට අදාල වන පරිදි එම නීති සකස් කර නැත.

‍හොනොලුලූ නාගරික අධිකාරිය විසින් 2005දී පත්කරන ලද අධ්‍යනයකින් සොයා ගෙන ඇත්තේ ගොඩනැගිල්ලක ජලපීඩක සවිකිරීමට යන වියදම ඩොලර් 4,305ක් හෙවත් කාමරයක සාමාන්‍ය මිලෙන් සියයෙන් එකකටත් අඩු වියදමක් බව යි.

ජාතික ගිනි ආරක්ෂන සංවිධානය ඇතුලු ගිනිනිවන භටයන් හා ඔවුන්ගේ සංවිධාන ජලපීඩක පද්ධති සවිකරන ලෙස බලකෙරෙන නීති පනවා ගැනීමට දශක ගනනාවක් තිස්සේ සටන් වැද තිබේ. එහෙත් ඉදිකිරීම් සමාගම් ගොරතර ලෙස මෙම නීතිවලට එරෙහිව බලපෑම් කර තිබේ. නිවාස ඉදිකරන්නන්ගේ ජාතික සංවිධානය වැනි සංවිධාන දේශපාලන අරමුදල් සඳහා සෑම වසරකදීම මිලියන ගනන් වියදම් කරන අතර ඉදිකිරීම්වලදී ජලපීඩක වැනි ගිනි ආරක්ෂන උපාංග යොදාගැනීමට බලකරන නීති ඇතුලු ගොඩනැගිලි විධිවිධාන ලිහිල් කිරීමට බලපෑම් දමයි.

එක්සත් රාජධානියේ, ග්‍රෙන්ෆෙල් කුලූන වැනි මහජන නිවාස පද්ධතිවලින් සියයට 99ක පමන ජලපීඩක සවිකර නැත.

මේ අතරතුර, ග්‍රෙන්ෆෙල් ගින්නේ ගොදුරුබවට පත්වූවන්ට සලකනු ලබන්නේ අතිශය නිර්දය අයුරින් හා නොසැලකිමත් ආකාරයෙනි. ග්‍රෙන්ෆෙල් ප‍්‍රතික‍්‍රියා කන්ඩායමට අනුව, ගින්නෙන් මාසයක් ගතවෙන තැන ස්ථිර වාසස්ථාන ලබා දී ඇත්තේ කුලුනෙන් ඉවත්කරනු ලැබූ අයගෙන් පවුල් හතරකට පමනි. අතිබහුතරයකට ලබා දී ඇත්තේ එක්කෝ තාවකාලික, දැරිය නොහැකි වියදම් සහිත හෝ නුසුදුසු වාසස්ථාන ය. බොහෝ නිවැසියන්ට එකදිගට ලැගුම්හල් හෝ කූඩාරම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

ගොඩනැගිල්ලේ කමකට නැති, අඩු වියදම් සහිත ආවරනිත උපාංග හා අනෙකුත් ආරක්ෂක විධි උල්ලංඝනයන් ගනනාවක් එක්ව ගත් කල විනාශයක් සිදුවීම අතලඟ බව නිවැසියන් හා විශේෂඥයන් නිලධාරීන්ට අනතුරු අඟවා තිබිනි.

ග්‍රෙන්ෆෙල් ගින්නට අදාලව ප‍්‍රකටව තිබෙන සාපරාධී නොතකා හැරීම තිබියදීත්, විමර්ශකයෝ කිසිදු සෝදිසි වරෙන්තුවක් නිකුත් කර නැතිවාක් මෙන්ම සැකකරුවෙක් ලෙස කිසිවෙකුගෙන් ප‍්‍රශ්න කර නැත. සාපරාධී චෝදනා ගොනු කර ඇත්තේ එයටත් අඩුවෙනි.

විමර්ශන වසර ගනනක් ඇදී යනු ඇතයි මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන් විසින් පැහැදිලි කල බදාදා පැවැති ප‍්‍රසිද්ධ රැස්වීමකදී නිවැසියන් හා ගින්නෙන් දිවිගලවාගත් අය වගකිවයුත්තන්ට දඬුවම් පැමිනවිය යුතුයැයි ඉල්ලා සිටීමත් සමග මහජන වෛරය පුපුරා ගියේ ය. “එය [ආවරන] ඒ සා ක්ෂනිකව ගිනි ගන්නවා කියලා ඔවුන් ඒකාන්තයෙන් දැනගෙන සිටියා. ඉතිං ඒ තරම් ඉක්මනින්ම එයට වගකිවයුතු පුද්ගලයා අඳුනා ගන්නත් ඔහුව අත්අඩංගුවට ගන්නත් ඔබට පුලුවන්” පදිංචිකරුවෙක් කීවේ ය.

රැස්වීමෙන් පිට බි‍්‍රතාන්‍ය මාධ්‍ය වෙත තවත් නිවැසියෙක් කීවේ, “ඉහල පන්තිය හා කම්කරු පන්තිය අතර මොනයම්ම හෝ සම්බන්ධයක් නෑ. ඒ විභේදනය වඩවඩාත් පුලුල් වෙනවා. ඔබ මේ දක්වා දැක ඇති විශාලතම බෙදීම තියෙන්නේ කිංග්ස්ටන් හා චෙල්සිවල [ගිනි ඇතිවූ ප‍්‍රදේශ].”

විනාශය ඇතිවූ දින සිට, මාධ්‍ය වාර්තා ගනනාවක්ම දරිද්‍රතාව හා ගින්නෙන් ඇතිවූ මරන අතර සබඳතාව ගැන විස්තරාත්මකව දක්වා ඇත. එක්සත් ජනපදයේ ලමුන් තුවාලවලට ලක්වීම ගැන මෑත අධ්‍යනයක් උපුටා දක්වමින්, ගාඩියන් වාර්තා කලේ, “තම දෙමාපියන් දීර්ඝ කාලයක් තිස්සේ රැකියා විරහිත භාවයට ලක්ව සිටින පවුල්වල ලමුන් ගිනි ආශ‍්‍රිතව සිදුවන තුවාලවලින් මියයාම, ඉහල විධායක හා වෘත්තීමය රැකියාවල නිරතව සිටින දෙමාපියන්ගේ ලමුන්ට වඩා 26 ගුනයකින් වඩා වැඩි” බවයි.

ග්‍රෙන්ෆෙල් ගින්නෙන් දිවිබේරාගත් අයට සලකන ආකාරය හා ව්‍යසනය සඳහා වගකිවයුත්තන්ට සැපයෙන නිල ආරක්ෂාව, තත්‍ය දේපල සමපේක්ෂකයන්ගේ හා සමස්තයක් ලෙස පාලක පන්තියේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් සිය සමාජ අවශ්‍යතා යටත්කිරීමේ සැලසුම්සහගත පිලිවෙතක අනිවාර්ය කොටසක්ය යන කාරනාවේ ප‍්‍රකාශනයකි. මූල්‍ය කතිපයාධිකාරියේ ලාභ අවශ්‍යතා තර කිරීමට වැඩකරන ජනතාව මිය යා යුතු නම් එය එසේ විය යුතු ය.

ආරක්ෂිත, ගුනාත්මක නිවාස වනාහී සියලු දෙනාට ලැබිය යුතු මූලික සමාජ අවශ්‍යතාවකි. ග්‍රෙන්ෆෙල් හා හොනොලුලූහි ගින්න වැනි ව්‍යසන වැලක්වීමට අවශ්‍ය තාක්ෂනය හා සම්පත් පවතී. එසේවෙත්දීත්, මූලිකම සමාජ අවශ්‍යතාවලට මෙම සම්පත් යොදාගැනීමට යන සෑමතැනකදීම, සමාජය ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මිස ජනගහනයේ අතිබහුතරයේ අවශ්‍යතා සඳහා සංවිධානය නොකල යුතුයැයි අවධාරනය කරන මුදලට කෑදර සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ අධිකාරිය සමග ගැටුමකට යයි.

එක්සත් ජනපදය තුල මෙඩිකේඩ් කපා දැමීමේ සැලසුම්වල සිට, එක්සත් රාජධානියේ තෙරේසා මේගේ ආන්ඩුව මගින් සමාජ වියදම්වලට කෙරෙන ගොරතර කප්පාදු, වැටුප් කප්පාදු හා වැඩවේගවත් කිරීම් ඉදිරියට දමා ගැනීමට හදිසි නීතිය යොදාගැනීමට ප‍්‍රන්සයේ එමානුවෙල් මැක්‍රොන් ආන්ඩුව විසින් ගන්නා පියවර දක්වා, ලෝකයේ සෑම රටකම පාලක පන්තීහු සමාජ ප‍්‍රතිවිප්ලවයේ පිලිවෙත ක‍්‍රියාවට දමා ඇත.

කම්කරුවන් ඔවුන්ගේ සමාජ අයිතීන් හා අවසන් විග‍්‍රහයේදී ඔවුන්ගේ ජීවිතම ආරක්ෂා කරගැනීමට නම්, සමාජවාදය සඳහා අරගලය තුල ජාත්‍යන්තර වැඩපිලිවෙලක පදනම මත බලමුලුගැන්වී සංවිධානය විය යුතුය.

අන්ද්‍රේ ඩැමොන්

Share this article: