සමිති නායකයෝ සටනට පිවිසි ලංවිම කම්කරුවන්ට කල්මැරීමට යෝජනා කරති

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූලි 2

ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයින් පසුගිය බදාදා කොලඹදී පැවැත්වූ විරෝධතා පාගමනකට තුන්දහසක් පමන සහභාගී වූහ. ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වූයේ නිසි වැටුප් වර්ධක ලබාදෙනු යන්නයි. 2015 වසරේදී ගෙන එන ලද චක‍්‍රලේඛයකින් විදුලි ඉංජිනේරුවරුන් ඇතුලු ඉහල විධායක නිලධාරීන් සහ පහල ශ්‍රේනිවල කම්කරුවන් අතර පවත්වාගෙන යාමට නියමිත එකට හය වැටුප් අනුපාතය උල්ලංඝනය කරමින් ඉහල විධායක නිලධාරීන්ගේ වැටුප් 2015 වසරේ සිට සියයට 125 කින් පමන ඉහල ගොස් ඇති අතර පහල ශ්‍රේනිවල කම්කරුවන්ගේ වැටුප් ඉහල ගොස් ඇත්තේ සියයට 30 කින් පමනක් බව විරෝධතාවයට එක්වූ කම්කරුවෝ ප‍්‍රකාශ කලහ.

රැලියට සහභාගි වූ ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයින්

විරෝධතා පාගමන සහ ඉන් අනතුරුව පැවති රැලිය සංවිධානයට මූලිකත්වය ගෙන තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස) විසිනි. විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය සමිතිය හැරෙන්නට ලංවිම හි අනෙකුත් සියලුම වෘත්තීය සමිතිවල සාමාජික කම්කරුවෝ විරෝධතා පාගමනට සහ රැලියට සහභාගී වී සිටියහ.

වෘත්තීය සමිති නායකත්වය විසින් රැලිය සංවිධානය කර තිබුනේ අරගලයට ඇදෙන කම්කරුවන් ව්‍යාකුල කිරීමට සහ ඔවුන් අතර වැඩෙන කෝපය යටපත් කිරීම සඳහාය. කම්කරුවන් සහ ඉහල විධායක නිලධාරීන් අතර වැටුප් වර්ධනය වීම අතර පවත්නා විෂමතාවය එම නිලධාරීන් සහ ලංවිම පාලන අධිකාරිය විසින් කූට ලෙස ක‍්‍රියාත්මක කරන ලද සැලසුමක ප‍්‍රතිඵලයක් ලෙස ඉස්මතු කිරීමට වෘත්තිය සමිති නායකයෝ උත්සාහ කලහ. එම උත්සාහය පිටුපසින් පැවතියේ ලංවිම තුල වසර ගනනාවක් පුරා ක‍්‍රියාවට දැමී ඇති කම්කරු අයිතීන් කප්පාදුව කෙරෙන් කම්කරුවන් ගේ ඇස් ඉවත හැරවීමටයි.

විරෝධතාවයන්ට සහභාගී වූ කම්කරුවන් ඉල්ලා සිටියේ යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය රැකියා කොන්දේසි සකස් කරදෙන ලෙසයි. රැලිය ආරම්භ වීමට ප‍්‍රථම ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමඟ කතා කල ලංවිම ක්ෂේත‍්‍ර සේවයේ නියුතු කම්කරුවෝ පිරිසක් ඔවුන් මුහුන දී සිටින ජිවන කොන්දේසි සාකච්ඡා කලහ. කලුතර ප‍්‍රදේශයේ සිට රැකියාව සඳහා කොලඹට එන එක් කම්කරුවෙක් මෙසේ පැවසීය. “ලමයි දෙදෙනෙකුත්, බිරිඳත්, මමත් ඇතුලුව පවුලේ මගේ සාමාජිකයන් හතර දෙනෙක් ඉන්නවා. මගේ වැටුප රුපියල් 35,400ක් වෙනවා. නය වලට කපාගත්තට පස්සේ රුපියල් 17,000ක් වගේ තමයි හම්බ වෙන්නේ. ජීවත් වෙන්න බැහැ ඒ මුදලෙන්. ගමනාගමන වියදමත් අපි දරන්න ඕනේ. හැම කම්කරුවෙක්ම වගේ පඩියෙන් කැපෙන්න ලෝන් අරන් පන යනකල් ඒවා ගෙවනවා. අපේ වැටුප මාසෙට තියන නය ප‍්‍රමානයන් ගෙවාගන්න දෙන මුදලක් විතරක් වෙලා තියෙන්නේ. අපි අව්ව, වැස්ස වෙනසක් නැතිව වැඩ කරනවා. ඒත් ලැබෙන්නේ අඩු වැටුපක්.”

රැලිය ඇමතූ සෑම වෘත්තීය සමිති නායකයෙකුම පාහේ උත්සාහ කලේ කම්කරුවන්ට තමන්ගේ පහල වැටුප් මට්ටම් පිලිබඳව පවත්නා කෝපය ආන්ඩුව කෙරෙන් ඉවතට හරවා ඉහල වැටුප් ලබන නිලධාරීන්ට විරුද්ධව පිහිටුවීමටයි. රැලියේ මුලින්ම කතා කල ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මෙසේ ප‍්‍රකාශ කලේය. “ලංවිම පහලම කම්කරුවෙකුගේ මූලික වැටුප රු.30,000ක් වන අතර ඉන්ජිනේරුවෙකුගේ වැටුප් ආරම්භ වන්නේ රු.148,000 කින්. රජයේ වෙනත් ආයතනවල ඉංජිනේරුවන්ගේ වැටුපටත් වඩා එම අගය බොහෝ සෙයින් වැඩියි. මේ වැටුප් මට්ටම් වංචනික ලෙස ලබාගත් ඒවා. අපි කියන්නේ නැවත එම මුදල් අයකරගන්න කියල. අපි සටන් කරන්නේ දූෂිත නිලධාරීන් කරල තියෙන මේ අමන වැඩේට විරුද්ධවයි.”

වෘත්තීය සමිති නායකයින් කම්කරුවන්ගෙන් වසන් කරන්නේ ලංවිම ඇතුලු රජයේ හා පෞද්ගලික ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් තලා දැමීමට අනුප‍්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ක‍්‍රියාවට දමා ඇති සමස්ත ප‍්‍රහාරයයි. එම ප‍්‍රහාරයට දැඩිව ලක්කෙරුනු ලංවිම තුල කම්කරුවන්ගේ වැටුප් වර්ධනය ට මෙලෙස තිරිංග යොදද්දී, ස්ථිර සේවකයන් සතු සීමිත අයිතීන් පවා අහිමි කෙරුනු මිනිස්බල (මෑන්පවර්) හෙවත් කොන්ත‍්‍රාත් කම්කරුවන් වැඩි වැඩියෙන් සේවයේ යොදවමින් පවතී. 2015 දී ලංවිම මිනිස්බල කම්කරුවන් ගනන 6759 කි. 2015 දී සිරිසේන-වික‍්‍රමසිංහ අභිනව ආන්ඩුව ඉන් කම්කරුවන් 2344ක් අනියම් සේවයේ පිහිටුවන ලද්දේ මිනිස්බල කම්කරුවන්ගේ අරගලය දියකර හැරීමේ අරමුනෙනි. ආන්ඩුවට මගහැරිය නොහැකි වන පරිදි “සූක්ෂම ක‍්‍රමවේදයක්” යොදා මිනිස්බල කම්කරුවන්ගේ රැකියා ස්ථිර කරගත් බව පැවසූ ලංවිසේස නායක රන්ජන් ජයලාල් කම්කරුවන්ගේ අරගලය ආපසු හැරවීමට එහිදීත් උත්සුක වූයේය.

වෘත්තීය සමිති නායකත්වයේ කකුලෙන් ඇදීම මධ්‍යයේ ලංවිම කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව වසර දෙක හමාරක් තිස්සේ ඇදීගෙන යයි. එම කාලය පුරා වෘත්තීය සමිති නායකත්වය විසින් කම්කරුවන් අරගලයට අවතීර්න වීම වලකාලූයේ ආන්ඩු සහ ලංවිම පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවෙන් මෙය විසඳාගත යුතුය කියමින් ඔවුන් වටවංගු වල රැගෙන යමිනි.

“ලංවිම මහා සමුලුව” ලෙස නම්කර තිබූ මෙම රැලිය වෘත්තීය සමිති නායකත්වය විසින් සංවිධානය කර තිබුනේ තවත් එවැනිම වටවංගුවක කම්කරුවන් ගෙනයාම සඳහාය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ලංවිම නිදහස් සේවක සංගමයේ (ලංනිසේස) සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංවිම ජාතික සේවක සංගමයේ (ලංජාසේස) නායකයින්ද වේදිකාවට නංවා ගනිමින් රැලිය ඇමතු ජයලාල් පැවසුවේ “වෙන්ව ගමන් කල වෘත්තීය සමිති ඉතිහාසයේ පලමුවරට එකම වේදිකාවකට එකතු කිරීම ජයග‍්‍රහනයක් වන බවත් එය මෙම අරගලය ජයග‍්‍රහනය කරන බවට සලකුනක්” බවත්ය. මෙය සම්පුර්න බොරුවකි. කම්කරුවන්ගේ අරගල ඇති තරමින් පාවා දී ඇති මෙම වෘත්තීය සමිති මෙලෙස පෙලගැසී ඇත්තේ තම ද්‍රෝහී ක‍්‍රියාකලාපය ඉදිරියට ගෙනයාමට විනා කම්කරුවන්ට ජයග‍්‍රහන අත්පත් කර දීමට නොවේ.

ජයලාල් විසින් ඉදිරිපත් කල “සමුලු යෝජනා” වලින් අලුත් උගුල එලිමහනට පැමිනුනි. “මෙම වසරේ අගෝස්තු 4 වනදාට ප‍්‍රථම ලංවිම කම්කරුවන්ගේ වැටුප් විෂමතාවය නොවිසඳන්නේ නම් පලමුව කලුපටි පැලඳීමේ විරෝධතාවයක්ද, පාලකයන් ඊට පිලිතුරු නොදෙන්නේ නම් දින දෙකක වැඩවර්ජනයක්ද, එයද පිලිතුරු නොදේ නම් අඛන්ඩ වැඩවර්ජනයක් ද පැවැත්විය යුතු බව” යෝජනාවේ සඳහන් විය.

මෙම කල්මැරීමේ යෝජනාව ඉදිරිපත්වීමත් සමඟ රැස්ව සිටි කම්කරුවෝ එයට විරෝධයක් පෑහ. එක් කම්කරුවකු පැවසුවේ කලුපටි බැඳීම වැනි නිශ්ඵල ක‍්‍රියාවන් හි යෙදීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත්, වැටුප් විෂමතා ඉවත් කිරීම සෑහෙන කාලයක සිට ඉල්ලා සිටින බැවින් කල් නොමරා කඩිනම් ක‍්‍රියාමාර්ගයකට යෑමට අවශ්‍ය බවයි. කම්කරුවන් තමන්ගේ පාලනයට පිටතින් අරගලයට අවතීර්න වෙතැයි බිය වූ වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ගේ සටන්කාමීත්වය මොට කර දැමීම සඳහා එතැනින් පසුව පැවත් වූ කතාවලදී මහත් පරිශ‍්‍රමයක් ගත්හ.

ලංජාසේස ප‍්‍රධාන ලේකම් අජිත් දේවප‍්‍රිය ප‍්‍රකාශ කලේ “මෙවැනි අවස්ථාවලදී ආවේගයෙන් ක‍්‍රියා නොකර උපායශීලි විය යුතු බවයි.” නිසි සංවිධානයකින් තොරව ක්ෂනිකව කල කැඳවීමට පවා කීප දහසක් කම්කරුවන් පැමින සිටියදී එය අවතක්සේරුවට ලක් කරමින් ඔහු නරුම ලෙස ප‍්‍රකාශ කලේ “දහස්ගනනක් වන ලංවිම කම්කරුවන් අතරින් ඇද මෙතනට ඇවිල්ල ඉන්නේ කීයද? මෙහෙම පිරිසක් එක්ක අඛන්ඩ වැඩවර්ජනයකට ගිහින් අපිට පස්ස බිම ඇනගන්නද කියන්නේ” යනුවෙනි.

කම්කරුවන් අතර වර්ධනය වෙමින් පැවති නොසන්සුන්තාවය මධ්‍යයේ රැලියේ ප‍්‍රධාන කතිකයා වූ ජයලාල් තමන්ගේ වාරයටත් ප‍්‍රථම කම්කරුවන් ඇමතීමට පටන්ගත්තේය. “අපිට තේරෙනවා. මේ සහෝදරවරුන්ගෙන් එලියට එන්නේ තමන් මුහුන දීල ඉන්න ප‍්‍රශ්න නිසා ඇතිවෙන කෝපය තමයි. ඒත් මේ ඉන්න වෘත්තීය සමිති නායකයෝ තමයි ඔය සහෝදරවරුන්ට මේ සටන කරන්න උගන්නන ගුරුවරු. අපි මග පෙන්නන්නම් මේ අරගලය බුද්ධිමත්ව ඉදිරියට අරන් යන හැටි. අනිවාර්යයෙන් මේ සටන දිනනවා. “මේ නායකයෝ සියලු දෙනාම අන්තිම මොහොත වෙනකල් සහෝදරවරු එක්ක ඉන්නවා.” යැයි ඔහු පැවසීය.

මෙම ප‍්‍රකාශයන්ගෙන් ඉතා නග්න ලෙස හෙලිදරව් කෙරෙන්නේ, කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකරමින් ඔවුන් වෘත්තීය සමිති පාලනය යටතේ තබාගැනීමට එහි නායකයන් දරන උත්සාහය සහ කම්කරුවන් ස්වාධීන ලෙස සටනට අවතීර්න වීම කෙරෙහි ඔවුන්ගේ මාරාන්තික සතුරු භාවයයි.

කම්කරුවන් සිය අතීත අරගල මගින් දිනාගෙන ඇති සියලු අයිතීන් උදුරා ගනිමින්, සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩු එල්ල කරමින් පවත්නා සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරය පරාජය කිරීමට නම්, ප‍්‍රහාරයේ මූලය වන අර්බුදයටපත් ධනපති ක‍්‍රමයටත්, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන ධනපති ආන්ඩුවලටත් එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සටනක් අත්‍යවශ්‍ය ය. ලංවිම සමිති නිලධරය ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය එවන් දේශපාලන සටනකට මුලුමනින්ම සතුරුය.

Share this article: