රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත් හරියි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජූනි 27

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) විසින් 22 දා අරඹන ලද වැඩ වර්ජනය, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමග ඇතිකරගත් “”එකඟතාවයක්” මත අත්හැර දැමූ බව පසුගිය සෙනසුරාදා එම සංගමය නිවේදනය කලේය. වර්ජනය කැඳවනු ලැබුවේ, පසුගිය දා කොලඹ සෞඛ්‍ය අමාත්‍යංශ භූමියේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කල “පොලිස් ප‍්‍රහාරය ට විරෝධය පෑම” සහ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල (සයිටම්) අර්බුදයට “ස්ථිර විසඳුමක්” ලබා ගැනීම අරමුනු කර ගනිමිනි.

කෙසේ නමුදු, රවෛනිස දැන් පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කෙරුනු මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුනු, ජනාධිපති සහ තම සංගමය අතර ඇතිකරගත් එකඟතාවයන්ට පටහැනි බවයි. සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට ආන්ඩුව අසමත් වුවහොත්, 30 වන දා සිට යලි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අරඹන බව වෛද්‍ය සංගමය පවසයි.

වර්ජනය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේ දී රවෛනිස හි මාධ්‍ය ප‍්‍රකාශක සමන්ත ආනන්ද පැවසුවේ, “ජනාධිපතිවරයාගේත් තම සංගමයේත් උවමනාකම් සැසඳෙන නිසාත් ඔහුට පවතින ගරුත්වය නිසාත්” වර්ජනය අත්හල බව යි. එම මාධ්‍ය ප‍්‍රකාශයට අනුව, “සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප‍්‍රදානය අත්හිටුවීම සඳහා කඩිනම් නීත්‍යනුකුල පියවර ගැනීම, සයිටම් සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරය නීතිපති හරහා ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කිරීම, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය රැකීම සහ ජනතාවට අගතියක් නොවන පරිදී සයිටම් අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා නව ප‍්‍රවේශයක් ගැනීම” යන කරුනු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා “සහතික” වී ඇත. මෙම “සහතිකයෙන්” සයිටම් සම්බන්ධව ආන්ඩුවේ මූලික ස්ථාවරයේ කවර හෝ වෙනසක් ප‍්‍රකාශයට පත් නොවෙයි.

අනෙක් අතට, වර්ජනය අවසන් කිරීමේ තීන්දුව ගැනීමේදී සිසුන්ට එල්ල කල ප‍්‍රහාරය හෝ සිසු මර්දනය සම්බන්ධයෙන් කවර හෝ උත්සුකයක් රවෛනිස ට නොතිබූ බව ඉතා පැහැදිලිය. සැබැවින්ම වර්ජනය අවසන් කෙරුනේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ඇතුලු ශිෂ්‍යයන් ගනනාවක් අත්අඩංගුවට ගනිමින් ශිෂ්‍ය මර්දනය වඩාත් තීව‍්‍ර කෙරෙන තතු තුලයි.

මේ අනුව රවෛනිස වර්ජනය නවතා දැමුවේ එය කැඳවීමේදී ප‍්‍රකාශිත අරමුනු දෙකම පාවා දෙමිනි.

වෛද්‍ය සංගමය විසින් “සාධනීය” යයි නම් කල ජනාධිපතිගේ ප‍්‍රතිචාරයේ සැබෑ ස්වරූපය ඉන් දිනකට පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් එලිමහනට පැමිනුනි. එහි මෙසේ සඳහන් වෙයි: “සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසනු ලබන අතර ආයතනයට අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා කොටස් වෙලඳපොලට ඇතුලත් කිරීම හෝ රාජ්‍ය හෝ පෞද්ගලික අරමුදලකින් සමන්විත භාරයක් පිහිටුවීමට සාකච්ඡා කෙරනු ඇත” යනුවෙනි. මෙය අධ්‍යාපනයේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට වහන්තරාවක් දමාගැනීම සඳහා ආන්ඩුව මීට පෙරත් ඉදිරිපත් කල යෝජනාවට වැඩි යමක් නොවේ.

කෙසේ නමුදු, රවෛනිස යේ මෙම මංමුලාසහගත තීන්දු තීරනයන් ගලා එන්නේ ධනේශ්වර ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් ඒවායේ පිලිවෙත් වෙනස් කල හැකිය යන බංකොලොත් ඉදිරි දර්ශනයෙනි. මෙම ඉදිරි දර්ශනය මත තම සාමාජිකත්වය මෙහෙයවමින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සේවාවන් පුද්ගලීකරනයට එරෙහිව ඔවුන් අතර වැඩෙන අව්‍යාජ විරෝධය අවමංගත කොට ඔවුනගේ ශක්තිය දියකර හැරීම රවෛනිස යේ භූමිකාවයි.

එපමනින් නතර නොවන රවෛනිස නිලධරය, අධ්‍යාපනයේ පෞද්ගලිකරනයට සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කෙරීගෙන යන කප්පාදුවට විරුද්ධව අරගලයට ඇදී එන විශ්ව විද්‍යාල සිසුන් මත ද මෙම ප‍්‍රතිගාමී ඉදිරි දර්ශනය පටවා ඔවුන් මංමුලාසහගත ක්‍රියාවන්ට යොමු කරමින් රාජ්‍ය මර්දනයට සහ මහජන විරෝධයට නතුකර දෙයි. ආන්ඩුවට හැකිතාක් බලපෑම් යෙදීමෙන් අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ආපසු හැරවිය හැකිය යන බේගලය සිසුන් හමුවේ තබමින් ඔවුන් නිශ්ඵල විරෝධතාවල සිරකර තබන අවිශිබමයේ සහ එයට නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය සමග රවෛනිස යේ භූමිකාව සහ ඉදිරි දර්ශනය හොඳින්ම ගැලපෙයි.

“මූධර්මයක්” ලෙස පුද්ගලීකරනයට විරුද්ධ අවිශිබම, “මූලධර්මයක්” ලෙස පුද්ගලීකරනයට විරුද්ධ නොමැති රවෛනිස සමග සයිටම් විරෝධී උද්ඝෝෂනයේ දී එක්ව සිටීම මගින් පෙන්නුම් කෙරෙන්නේ සංවිධාන දෙකෙහිම පවත්නා මූලධර්ම විරහිතභාවයයි. වෛද්‍ය සංගමයේ විරුද්ධත්වය මුල සිටම පල කෙරුනේ සයිටම් වෛද්‍ය උපාධියේ ඌන ප‍්‍රමිතිය පිලිබඳවයි.

රවෛනිස තම සාමාජිකත්වයට පවසන්නේ සයිටම් පිලිබඳ ආන්ඩුවේ ස්ථාවරය නිර්නය කෙරෙන්නේ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගේ ආත්මීය අවශ්‍යතා මත බවයි. මෙම ව්‍යාජය තවත් ඉදිරියට ගෙන යමින් ඔවුන් ජනාධිපති සිරිසේනට සහ අගමැති රනිල්වික‍්‍රමසිංහට කන්නලව් කරන්නේ කිරිඇල්ලට සහ සේනාරත්නට යට නොවී “මහජනතාව” ගැන සිතා තීන්දු තීරන ගන්නා ලෙසයි.

ආන්ඩුවේ ස්ථාවරයන් නිර්නය කරනුයේ ඒ හෝ මේ ඇමතිවරයා නොව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසිනි. මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආන්ඩු වලට මෑත කාලයේ ලබා දුන් ඩොලර් බිලියන සංඛ්‍යාත නය පිටුපසින් පැවතියේ, රාජ්‍ය වියදම් දැවැන්ත පරිමානයෙන් කපා හරින ලෙස, පුද්ගලීකරනය වේගවත් කරන ලෙස සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය රටතුලට ගලා ඒමට ඇති සෑම බාධකයක්ම ඉවත් කරන ලෙස දුන් නියෝග සහ විධිවිධාන මාලාවකි. සයිටම් සම්බන්ධිත ආන්ඩුවේ තීන්දු තීරන ද ඇතුලත් ආන්ඩුවේ පිලිවෙත් නිර්නය කෙරෙනුයේ මෙම නියෝගයන් මතයි.

ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව නැගීසිටින කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් පොලිස්-මිලිටරි බලය යොදා මැඩලීම ද රටක් රටක් පාසා පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය වට ලෑ සිසුන්ට එල්ල කල රුදුරු පොලිස් ප‍්‍රහාරය සහ වර්ජනයේ නියුතු වෛද්‍යවරුන්ට එරෙහි සෞඛ්‍ය ඇමති සේනාරත්න ප‍්‍රමුඛ ආන්ඩුවේ නියෝජිතයන්ගේ කෝපාවිෂ්ඨ කඩාපැනීම වටහා ගත යුත්තේ මෙම සන්දර්භය තුලයි. එක් මාධ්‍ය හමුවකදී සේනාරත්න ප‍්‍රකාශ කලේ “රවෛනිස අඛන්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් මින් පෙර නොගත් දැඩි තීරන ගැනීමට ආන්ඩුව සුදානම්” බවයි.

කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන මෙම සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරය නතර කල හැක්කේ ගෝලීය ධනේශ්වර පද්ධතියට සහ ඒ ඒ රටවල ආන්ඩු ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහි, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික සටනකින් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටනකි.

රවෛනිස නිලධරය එවන් අරගලයකට පරම ලෙසම සතුරුය. එසේ වන්නේ, ලොවපුරා අනෙක් සෑම වෘත්තීය සමිති නිලධරයක් මෙන්ම ඔවුන් ද ධනවාදයේ පූර්න ආරක්ෂකයන් බවට පරිවර්තනය වී ඇති බැවිනිි.

Share this article: