මහා විසිරීම: පශ්චාත්-යුද භූදේශපාලන පර්යායේ අර්බුදය

The Great Unraveling: The crisis of the post-war geopolitical order

2017 ජූනි 2

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මැද පෙරදිග හා යුරෝපයේ ඔහුගේ සංචාර නිමවා එක්සත් ජනපදයට ආපසු පැමිනීමෙන් පසු සති දෙකකට අඩු කාලයක් තුල පැහැදිලි වී ඇත්තේ, විශාල ගම්‍යයන් සහිතව ලෝක දේශපාලනය ඉදිරියට යමින් තිබෙන බවයි. දශක ගනනාවක් තිස්සේ ජාත්‍යන්තර ආර්ථිකය හා මහජන ජීවිතය සඳහා රාමුව හැඩගැස් වූ ගෝලීය සම්බන්ධතාවන් හා ආයතන වේගයෙන් විසිරී යමින් තිබේ.

වෙලඳ යුද්ධයේ වැඩෙන තර්ජනය හා සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මිලිටරි විජිගීෂාවන්ගේ පුනර්ජීවනය දෙවැනි ලෝක යුද්ධය තුලින් ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා ලෙස එක්සත් ජනපදය ඉස්මතුවීමෙන් පසු නිර්මානය කෙරුනු ජාත්‍යන්තර ආයතනවල ඇද වැටීමේ මේරු තත්වයක සංඥාවන් ය.

මෙම කඩා වැටීම දශක ගනනාවක් තිස්සේ පැසී ඇති ක‍්‍රියාදාමයක නිර්මිතයකි. 1991දී, ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම මගින් නේටෝවට පොදු හතුරෙකු අහිමි කරන විටත් අධිරාජ්‍යවාදී බලවතුන් අතර ආතතීන් ඉලිප්පෙමින් තිබිනි. එක්සත් ජනපද මූලෝපායඥයන් “ඒකධ‍්‍රැව අවස්ථාවක්” (සෝවියට් සංගමය තුරන් කිරීම මගින් යම් හෝ ක්ෂනික මිලිටරි සතුරෙකු තුරන් කෙරුනු අවස්ථාව- ප‍්‍රකාශයට පත් කල පරිදි, ඔවුන් මෙම මිලිටරි වාසිය යොදා ගැනීමට අරමුනු කලේ පරිහානියට යමින් පැවතුනු එක්සත් ජනපද ආර්ථික තත්වය ප‍්‍රතිතෝලනය කිරීමට ය.

1992දී පෙන්ටගන මූලෝපායික ලියවිල්ලක් තරයේ කියා සිටි පරිදි “ශක්‍ය තරඟකරුවන් විශාල කාර්භාරයකට උරදීම හෝ වඩා ආක‍්‍රමනකාරී ආකල්පයක් හඹා යාම අවශ්‍ය නොවන බව” වොෂින්ටනය ඒත්තු ගැන්විය යුතුව තිබුනා මෙන් ම “අපගේ නායකත්වයට අභියෝග කිරීමෙන් හෝ ස්ථාපිත දේශපාලනික හා ආර්ථික පර්යාය පෙරලා දැමීමට උත්සාහ කිරීමෙන් අධෛර්ය කල යුතු ව” තිබිනි.

විසිපස් වසරකට පසු, මෙම ප‍්‍රතිපත්තිය අසාර්ථක වී ඇත. එක්සත් ජනපදය නායකත්වය දුන්නා වූ ද නේටෝ බලවතුන් විසින් මැදිහත් වනු ලැබුවා වූද අධිරාජ්‍යවාදී යුද්ධ පෙලකට එය මග පෑදුවේ ය. එම ක‍්‍රියාදාමය ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ඝනිස්ථානය, ලිබියාව, සිරියාව, යුකේ‍්‍රනය හා තවත් රටවල් විනාස කර දැමී ය. මිලියන ගනනාවක් ජීවිත බිලි ගන්නා අතර, සම්පූර්න සමාජ විනාස කරමින් හා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු විශාල ම සරනාගත අර්බුදය ඇති කරමින්, මෙම මිලිටරිවාදී ක‍්‍රියා මහත් විනාසයන් කර ඇති නමුත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉරනම ආපසු හැරවීමට අසමත් වී ඇත. දැන් අර්බුදයේ නව අවධියක් පැමින ඇත: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තරඟකරුවෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ශ්‍රේෂ්ටත්වයට එරෙහිව සෘජු, වඩා දුර දිග යන අභියෝග සූදානම් කරමින් සිටිති.

ජී7 හා නේටෝ සමුලුවල දී එක්සත් ජනපදය සඳහා යුරෝපයෙන් වඩා යහපත් ආර්ථික කොන්දේසි තහවුරු කරගැනීමේ ට‍්‍රම්ප්ගේ උත්සාහයන් ආපසු කැරකී ඇත. නේටෝ සන්ධානයේ මිලිටරි වියදම් සඳහා “ඔවුන් ගෙවිය යුතු දේ නොගෙවීම වෙනුවෙන්” ඔහු යුරෝපීයන්ට දෝෂාරෝපනය කර තුබූ අතර “භයානක” යැයි ජර්මනිය හෙලාදුටුවේ එක්සත් ජනපදයට කෙරෙන ජර්මානු මෝටර් රථ අපනයනය “නතර කරන්නෙමැයි” පවසමිනි. කෙසේ නමුත්, යුරෝපීය ප‍්‍රතිචාරය සහයෝගිත්වය හෝ මූල්‍යාධාර සඳහා නොව, ඊට වෙනස් ව මහාද්වීපක යුරෝපීය බලවතුන් ඇමරිකාව සමග දේශපාලනික හා මිලිටරි වෙන් වීමක් සඳහා සූදානම් වෙමින් සිටින බව සංඥා කරන ක‍්‍රියා පෙලකි.

ඉරිදා මියුනික් බියර් කූඩාරම් රැලියේ දී කතා කරමින් ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් සමුලුවල දී ට‍්‍රම්ප්ගේ රඟදැක්වීම හා යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීමේ ඡන්දය ගැන ද සඳහන් කලා ය: “අපට සම්පූර්නයෙන් ම අනෙකුන් මත රැඳී සිටීමට හැකි වූ කාලය එක්තරා දුරකට අවසන් බව පසු ගිය දින කීපයේ දී මම අත්දැක්කෙමි. යුරෝපීයන් වන අප අපගේ ඉරනම සැබවින් ම අපගේ ම අත්වලට ගත යුතු ය.” තවදුරටත් ඇය මෙසේ ද කීවා ය, “අපගේ ම අනාගතය වෙනුවෙන් අප ම සටන් කල යුතු ව ඇත.”

පසු ගිය සතියේ යුරෝපයේ සිදුවීම් තහුවුරු කලේ මර්කල්ගේ ප‍්‍රකාශය 1949දී ඇමරිකාව හා යුරෝපය අතර ආරම්භ වූ නේටෝ මිලිටිරි හවුල තුල ගැඹුරු අර්බුදය පිලිබිඹු කල බව යි. ට‍්‍රම්ප් යටතේ වොෂින්ටනය තමන් විසින් ම “බටහිර ප‍්‍රජාවගේ සාර්ධර්ම” පැත්තකට දමා තිබූ බව ජර්මානු විදේශ ඇමති සිග්මාර් ගේබි‍්‍රයල් පැවසී ය. මෙය “ගෝලීය බල සම්බන්ධතාවල වෙනසක්” සංඥා කල බව ඔහු තවදුරටත් පැවසී ය.

ඊට පසු බර්ලිනයේ කිට්ටු මිත‍්‍රයෙකු වන, අලුතින් පත් වූ ප‍්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන්, වර්සේල්ස් නගරයේ ඉහල නායකයින්ගේ සමුලුවකට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනය කලේ ය. එකාබද්ධ මාධ්‍ය සමුලුවක පුටින් අසලින් පෙනී සිටිමින් මැක්‍රෝන් මෑත වසරවල එක්සත් ජනපද-යුරෝපා සියලු මැදිහත්වීම් විවේචනය කලේ ය. 2014 එක්සත් ජනපදය- ජර්මනිය පිටුබලය දුන් කියෙව්වල කුමන්තුනය විසින් යුකේ‍්‍රන තුල අවුස්සන ලද ගැටුම් අවසන් කල යුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය, එමෙන් ම ඔහු රුසියාව සමග වඩා කිට්ටු ආර්ථික හා ඔත්තුසේවා සහයෝගිත්වයක් ඉල්ලා සිටි අතර සිරියාවේ දමස්කස් නුවර ප‍්‍රන්ස තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමේ හැකියාව පවා ප‍්‍රචාරය කලේ ය.

තව ද මෙම සතියේ දී, බ‍්‍රසල්ස් නගරය තුල නව යුරෝපා සංගමයේ මිලිටරි මූලස්ථානය ද මෙහෙයුම් ඇරඹී ය. යුරෝපා සංගමය නේටෝවට හතුරෙකු වනු ඇත යි බිය වන එක්සත් ජනපදය සමග පෙලගැසුනු බි‍්‍රතාන්‍යට තමන් යුරෝපීය සංගමෙයන් (යුස) ඉවත් වන නිසා තවදුරටත් නිෂේධ බලය පාවිච්චි කල නොහැක.

එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්ති මූලෝපායඥයින් අතර, එය පුලුල් ව පිලිගැනෙන්නේ මෙම සිදුවීම් වොෂින්ටනයට ඓතිහාසික පසුබැසීමක් සලකුනු කරන බව යි. “1945 සිට සෑම ඇමරිකානු පරිපාලනයක්ම ජර්මනිය හා නේටෝව සමග කිට්ටුවෙන් වැඩ කිරීමට උත්සාහ ගෙන ඇති” නමුත් ට‍්‍රම්ප් යටතේ ඇමරිකාව “ජර්මන් සුපිරිබලයක් ඇති කිරීමට මර්කල් තල්ලු කරමින් සිටිතැ යි” ජාකොබ් හේල්බෘන් ද නැෂනල් ඉන්ටෙරෙස්ට් නම් ඇමරිකානු අර්ධ මාසික සඟරාවට පැවසී ය.

හේල්බෘන් මෙසේ ද පැවසී ය, “ප‍්‍රන්සය දැන් එමානුවෙල් මැක්‍රෝන් ජනධිපති ලෙස තෝරා ගෙන ඇති අතර මර්කල් ඉදිරියට යමින් සිටින්නේ පොදු ආර්ථික හා මිලිටරි මාවතක් හඹා යනු ඇති ප‍්‍රන්ස-ජර්මානු අක්ෂයක් තැනීමට ය. මෙය සංඥා කරනු ඇත්තේ ඇමරිකානු කීර්තිය හා විදේශ රටවල් තුල බලපෑමේ හැකියාව සැලකියයුතු ක්ෂයවීමකි. උදාහරනයන් වසයෙන්, තම අවි විකිනීම ද ඇතුලුව, උතුරු කොරියාව සමග වෙලඳ සම්බන්ධකම් ඇති කර ගන්නා මර්කල් ඉරානයට එරෙහි සම්බාධක හා එය හුදකලා කිරීම සඳහා වන ට‍්‍රම්ප්ගේ තල්ලුව ප‍්‍රතික්ෂේප කිරීමට තීරනය කලා යැයි සිතනු මැනවි.”

නමුත්, මෙම ආතතීන් ධවල මන්දිරයේ වර්තමාන පදිංචිකරුවාගේ අන්ත දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිපල නො වේ. සැබවින් ම, ඩිමොක‍්‍රටික් පක්ෂය කුරිරු ලෙස රුසියාව යක්ෂාවේශ ගන්වන අතර ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කිරීම වෙනුවෙන් එයට චෝදනා කරන අයුරින් පැහදිලි වන්නේ පසු ගිය වසරේ එක්සත් ජනපද මැතිවරනයේ දී හිලරි ක්ලින්ටන් ජය ගත්ත ද යුරෝපය සමග ගැටුම් විසඳී නො තිබෙනු ඇති බව යි. ඊට වෙනස් ව, ආතතීන් මුල්බැස ගන්නේ ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැඹුරු ප‍්‍රතිඝතිතාවන් තුල ය, මෙය ඉකුත් සියවසේ දෙවතාවක දී ලෝක යුද්ධ දෙකකට මග පෑදී ය.

මෙය අවධාරනය කෙරෙන්නේ ආසියාව තුල අධිරාජ්‍යවාදී බලවතුන් අතර උත්සන්න වන්නා වූ තරඟකාරිත්වයන් මගිනි. පසු ගිය මාසයේ දී, චීනය තම ඊනියා තීරු හා මාර්ග ජාලය (චීනය, මැද පෙරදිග, හා යුරෝපය ඒකාබද්ධ කරන බලශක්ති හා ප‍්‍රවාහන පොදුකාර්ය ජාලයක් ඉදි කිරීමට සැලසුම් කෙරුනු ව්‍යාපෘතියකි) ආරම්භ කිරීමත් සමග චීනය හා යුසං ඔවුන්ගේ සම්බන්ධකම් වර්ධනය කර ගැනීම හේතුවෙන් වොෂින්ටනයේ කාර්යභාරය පැත්තකට තල්ලු කෙරුනි. චීනය හුදකලා කිරීම අරුමුනු කර ගැනුනු “ආසියාවට හැරීම” තුල වොෂින්ටනයේ මිතුරන් වූ ජපානය හා ඉන්දියාවේ ප‍්‍රතිචාරය, කෙසේ නමුත් යුසං බලවතුන්ගේ ප‍්‍රතිචාරයට වඩා අතිමූලික වසයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ උත්සුකයන්ට මිත‍්‍රශීලී නැත.

පසු ගිය සතියේ, ටෝකියෝව හා නව දිල්ලිය “ආසියා-අප‍්‍රිකානු වර්ධන කොරිඩෝව” නමින් “අනාගත දර්ශන වාර්තාවක්” නිකුත් කලහ, චීනයේ තීරු හා මාර්ග ව්‍යාපෘතියට විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමට අරමුනු කෙරෙන එය වර්ධනය කරනු ඇත්තේ චීනයට විරුද්ධ නිෂ්පාදන-දාම මධ්‍යස්ථානයක් හා මිලිටරි ප‍්‍රතිතෝලනයක් ලෙස ය. ජපාන අගමැති ෂින්ෂෝ අබේ හා අන්ත-දක්ෂිනාංශික නිපොන් කායිගි සංවිධානයේ ඔහුගේ ආධාරකරුවන්ගේ අරමුනු චීනය අභිබවා යාම පමනක් නො ව, ජපානය යලි සන්නද්ධ කිරීම හා ආසියාවේ ප‍්‍රමුඛ බලවතා ලෙස ඇමරිකාව විස්ථාපනය කිරීමට ය.

දෙවැනි ලෝක යුද්ධය තුල එහි පරාජයෙන් පසු ජපානය මත පැටවුනු ජපානයේ විදේශ යුද්ධ මත තහනම ඉවත් කිරීම සඳහා ඔහුගේ ආන්ඩුව ආක‍්‍රමනකාරී ලෙස බලපෑම් කරමින් සිටින අතර, අබේ යලි යලිත් ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දු-ජපන් මිත‍්‍රත්වයට “ලෝකයේ” ඕනෑ ම එකකට වඩා “බොහෝ බලයක්” ඇති බව යි.

ට‍්‍රම්ප්ගේ යුරෝපා සංචාරය වටා සිදුවීම් පිලිබිඹු කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පමනක් නොව සමස්ත ලෝක ධනේශ්වර පද්ධතියේ ම අර්බුදයකි. වොෂින්ටනයේ තරඟකරුවන් කිසිවෙකුත්, සිය රටවල කප්පාදු ප‍්‍රතිපත්ති නොතකා යුසං, හෝ ආර්ථික වසයෙන් අබලන් ජපානයේ දක්ෂිනාංශික තන්ත‍්‍රය නැතහොත් චීනයේ පශ්චාද් මා ඕවාදී කතිපයාධිකාරය, ප‍්‍රගතිශීලී විකල්පයක් පිරි නො නමයි.

ලෝක ධනවාදය ස්ථාපිත කිරීමට මෙම බලවතුන්ගේ හවුලක් මතු වෙනු ඇත යි ද එමෙන් ම විශාල පරිමානයේ වෙලඳ යුද්ධ හා මිලිටරි ගැටුම් වලක්වනු ඇත යි ද සහතික කරන ඕනෑම අයෙකු කරනු ඇත්තේ ඉතිහාසයට එරෙහිව ලන්සු තැබීමකි. ට‍්‍රම්ප් ජර්මනියට එරෙහිව වෙලඳ යුද්ධය ඉල්ලා සිටීම මෙන් ම බර්ලිනය හා ටෝකියෝව ඔවුන්ගේ විදේශ ප‍්‍රතිපත්ති යලි මිලිටරීකරනය කරන අතර මිලිටරි සේවය අනිවාර්ය කිරීමට සහාය දෙන නව ප‍්‍රන්ස ජනාධිපතිවරෙයක් බලයට පැමිනීම යන මේ සියල්ල අඟවන්නේ පසු ගිය සියවසේ ලෝකයේ පැවති යුද්ධවල පරිමානයේ (හෝ ඊටත් වඩා බරපතල) නව ගෝලීය යුද්ධයක් දෙසට පාලක ප‍්‍රභූව රූටා යමින් සිටින බව යි.

ධනේශ්වර දේශපාලනයේ ඇද වැටීමට විකල්පයක් ලෙස මතු වෙනු ඇති බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. එය ක‍්‍රියාවන්ට තල්ලු කෙරෙමින් සිටින්නේ ජීවිතයේ දැරිය නොහැකි කොන්දේසි, එනම් දැවන්ත විරැකියාව, සහ කප්පාදු හා යුද්ධයන්ගේ දශක ගනනාවකට පසු සමාජ කනස්සල්ල විසිනි. එමෙන් ම රටවල් දුසිම් ගනනාවක් පුරා පැතිරුනු ශ‍්‍රම බලකායක් සහිත ඇමසන් හා ඇපල් වැනි සංගත ගෝලීය ආර්ථිකයේ මුල් තැන ගැනීමත් සමග, ජාත්‍යන්තර පන්තියක් ලෙස තම ස්වභාවය පිලිබඳව කම්කරු පන්තිය වඩ වඩා දැනුවත් වෙමින් සිටී, මූලික වසයෙන් ඔවුන්ගේ උත්සුකයන් සෑම රටක් ම පාලනය කරනු ලබන මූල්‍ය ප‍්‍රභූන්ගේ උත්සුකයන්ට වඩා වෙනස් මෙන් ම පටහැනි ද වේ.

ජාත්‍යන්තර ධනේශ්වර සම්බන්ධකම්වල ඇද වැටීම අත්වැල් බැඳගන්නේ පශ්චාද් දෙවැනි ලෝක යුද්ධ අවධියේ කම්කරු පන්තිය මැඩ පැවත්වීමට මතු වූ නොයෙකුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හෝ ලිබරල් පක්ෂ හා වෘත්තීය සමිති නිලධරය අපකීර්තියට පත්වීමත් සමග ය. බි‍්‍රක්සිට් සඳහා ලැබුනු මවිතකර ඡන්දය, ට‍්‍රම්ප් තෝරා ගැනීම, හා මෑත ජනාධිපතිවරනයේ දී ප‍්‍රන්සයේ ද්විපක්ෂ ක‍්‍රමයේ කැඩීබිඳීයාම සාක්ෂි දරන්නේ පැරනි පාලක සංස්ථාපිතයන්ගේ ඇද වැටීමට යි. පන්ති අරගලයේ ගෝලීය විධාරනය සූදානම් කෙරෙමින් තිබේ.

මතු වී ඇති අර්බුදය සනාත කර ඇත්තේ ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සමාජවාදය සඳහාවන ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ අවාසනය අඟවා නැති බවට හාජාජාක කල අවධාරනය යි. යුද්ධයට සහ සමාජ විප්ලවයට මග පෑදු ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර සහ සමාජමය ආර්ථික නිෂ්පාදනය සහ ලාභයේ පෞද්ගලික හිමිකාරීත්වය යන 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් හඳුනාගෙන තිබූ ධනවාදයේ අති මූලික පරස්පරවිරෝධතා, ධනවාදය විසින් ජය ගෙන නොමැත.

කම්කරු පන්තිය සඳහා වන ඉදිරි මාවත වන්නේ සියවසකට පෙර ඔක්තෝබර් විප්ලවයේ සම්ප‍්‍රදායන් මත පාදක ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සහිත විප්ලවවාදී අරගලයකි. කිසිදු ප‍්‍රතිමල්ලව අධිරාජ්‍යවාදී බලවතකුගේ මිලිටරිවාදී ප‍්‍රතිපත්තිවලට කම්කරුවන්ට සහාය දිය නො හැක. ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදයට අත්‍යාවශ්‍ය ප‍්‍රතිචාරය වන්නේ ලෝක සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය තුල කම්කරු පන්තිය එක්සත් කිරීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: