නිව් යෝර්ක් ටයිම්ස් සිය රුසියානු විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරයි

The New York Times steps up its anti-Russia campaign

2017 ජූනි 20

2016 එක්සත් ජනපද ජනාධිපති මැතිවරනය තුලට අත පෙවීය යන්න සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනාව පරීක්ෂනයට ලක් කිරීම පිලිබඳ සන්ඩේ ටයිම්ස් කතුවැකිය රුසියාව සමග යුද්ධයකට සහයෝගය උසි ගන්වන සාවද්‍ය තොරතුරු පැතිරවීමකි.

එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයේ මූලික අතවැසි උපකරනය වන නිව් යෝර්ක් ටයිම්ස්, 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ දී රුසියාවේ මැදිහත් වීම පිලිබඳව චෝදනාව විමර්ශනය කිරීමක් පිලිබඳ ප‍්‍රධාන කතුවැකියක් පසුගිය ඉරිදා ප‍්‍රකාශයට පත් කිරීම රුසියාව සමග යුද්ධය සඳහා ආධාර කිරීම ඉලක්ක කරගත් නොමග යවන හා ගිනි අවුලන සුලු පච ගෙතීමේ ව්‍යායාමයකි.

රුසියාව සමග එක්සත් ජනපද ගැටුමේ නාටකාකාර උත්සන්න වීමක් ඇති කරමිටයිම්ස් තරයේ ප‍්‍රකාශ කොට සිටියේ: “ප‍්‍රතිවාදී විදේශ බලවතෙක් එක්සත් ජනපදය තුල ආක‍්‍රමනශීලී සයිබර් ප‍්‍රහාරයක් දියත් කරමින් 2016 දී ජනාධිපතිවරනයට මැදිහත් වීම ... රුසියානු ප‍්‍රහාරයේ පෙර නොවූ විරූ ස්වභාවය, මෑත සති කීපයේ ආකූල ව්‍යාකූලතාවලින් හෙම්බත් කර ඇත, නමුත් එය නොවිය යුතුය.”

“රුසියානු ප‍්‍රයත්නයන්ගේ විසකුරු අභිප‍්‍රාය සහ සාහසිකකම” පිලිබඳ වගකට නැති සැඳැහුම්වලට පිටුබලය දීමට ටයිම්ස් ශුන්‍ය සාක්ෂි ඉදිරිපත් කරයි. දෝෂාරෝපන දිගු ලැයිස්තුවකට පසුව කතුවැකිය හුදෙක් ප‍්‍රකාශ කරන්නේ “ඇමරිකානු බුද්ධි අංශ නිගමනය කර තිබේ” යනුවෙනි.

“ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සෘජු අන කිරීම් යටතේ රුසියානු මිලිටරි ඔත්තු සේවාවට සම්බන්ධ පරිගනක අපහරනකයෝ ඩිමොක‍්‍රටික් පක්ෂ ජාතික කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ හිලරි ක්ලින්ටන්ගේ ප‍්‍රචාරක කලමනාකරු ජෝන් පොඩෙස්තාගේ ඊමේල් ගිනුම්වලට ඇතුලු වූහ. ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයට හානි කිරීමට යත්න දරමින් මැතිවරන ව්‍යාපාරයේ අවසන් මාස කීපයේ දී ඔවුන් විකිලීක්ස් වෙබ් අඩවිය වෙත දස දහස් ගනනක් ඊ මේල් යැවී ය.

“මීටත් වඩා සිත කලඹන කාරනාව වන්නේ, පරිගනක අපහරනකයෝ විසින් ජනපද 39 ක් තුල ඡන්දදායක දත්ත ගබඩාවලට පිවිසීමට උත්සාහ කල අතර සමහර අවස්ථාවල චන්දදායක දත්ත වෙනස් කිරීමට හෝ මකා දැමීමට උත්සාහ කලහ. නොවැම්බර් 8 දා ඡන්දයට පෙර දින කීපය තුල ප‍්‍රාදේශීය මැතිවරන නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවකගේ පරිගනක අත්කර ගැනීමේ උත්සාහයක් ඔවුන්ට තිබූ බව ද පෙනී ගොස් තිබේ.”

කතුවැකි පිටු කර්තෘ ජේම්ස් බෙනට්, ටයිම්ස් හි ප‍්‍රකාශයන්ට සහාය දෙන එකම කරුනක් හෝ ඉදිරිපත් කරන්නේ නැත. එහි සඳහන් ව තිබූ පුටින්ගේ “සෘජු අන දීම්”, හෝ රුසියානු බුද්ධි අංශය සමග සබඳතා ඇති පරිගනක අපහරනකයින් ඩිමොක‍්‍රටික් ඊමේල් ගිනුම් වැටලීම සහ විකිලීක්ස් වෙත කරුනු සැපයීම, එසේ ද නැතහොත් (වෙනත්?) පරිගනක අපහරනකයින් ඡන්දදායක දත්ත පදනම් සහ ප‍්‍රාදේශීය මැතිවරන නිලධාරීන්ගේ පරිගනක වෙත පිවිසීමට උත්සාහ කලේ ද? සකල චෝදනා කන්දම අවකාශයේ එල්ලා ඇත.

යමෙක් ඔවුන්ගේ චෝදනාවල මූලාශ‍්‍ර කරා ගමන් කරන්නේ නම්, ඔවුන් සියල්ලන්ම කැරකී වැටෙන්නේ එක්සත් ජනපද ඔත්තුසේවා ආයතන විසින් සපයන ලද සනාථ නොකෙරුනු ප‍්‍රකාශයන් මත වන අතර ඒවා එක්කෝ 2016 ඔක්තෝබර් සහ 2017 ජනවාරියේ දී නිකුත් කරන ලද ප‍්‍රසිද්ධ “සොයාගැනීම්” හෝ ප‍්‍රධාන වශයෙන් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් යන බුද්ධි අංශ උපකරන මගින් පිටකරන ලද ඒවා ය.

ඡන්දදායක දත්ත ගබඩාවලට හා ප‍්‍රාදේශීය මැතිවරන පරිගනක තුලට ඇතුලු වූවේ යැයි කියනු ලබන මෑත ම චෝදනාවන්ට පදනම් වී ඇත්තේ, ඉන්ටර්සෙට් වෙබ් අඩවියේ පල කරන ලද ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) වාර්තාවක් වන අතර එසේ වුව ද එන්එස්ඒ හි ප‍්‍රකාශයන් සනාථ කිරීම සඳහා කිසිදු අව්‍යාජ සාධකයක් නොමැති බව ඉන්ටර්සෙට් පවා පිලිගෙන තිබුනි.

ටයිම්ස් හෝ පෝස්ට් වාර්තාවලින් එකම එකකවත් මාධ්‍යවේදින් විසින් කරන අව්‍යාජ විමර්ශනයක නිෂ්පාදිතයක් ඇත්තේ නැත. ඒ වෙනුවට, “රුසියානු පරිගනක අපහරන” සම්බන්ධය පිලිබඳ ප‍්‍රධාන වාර්තා තුල අන්තර්ගත වන්නේ නාඳුනන බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අසා ලිවීමකි. එක් එක් සිද්ධීන්හි දී මෙම නිලධාරීන් ඔවුන්ගේ චෝදනා සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන්නේ, “අප තක්සේරු කරන්නේ”, “අප විශ්වාස කරන්නේ”, “ඉහලම විශ්වාසයක් සහිතව අප තක්සේරු කරන්නේ,” ආදී දෙපිට කැපෙන ස්වරූපයේ එහෙටත් නැති මෙහෙටත් නැති වාක්‍ය ඛන්ඩ මගිනි. එබඳු චෝදනා, මිලියනයකට වඩා වැඩි පිරිසක් ඝාතනය කල යුද්ධයක් යුක්තිසහගත කිරීමට භාවිතා කල බොරුවක් වු - ඉරාකය සතුව මහා විනාශක ආයුධ තිබු බවට කලින් කල ප‍්‍රකාශයන්ට වඩා එහා යන්නේ නැත.

සාක්ෂිවල මූලික ප‍්‍රමිතීන් විලිලැජ්ජා නැතිව හෑල්ලුවට ලක් කරමින්, ටයිම්ස් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය සහ ඩිමොක‍්‍රටික පක්ෂයේ ම එක් එක් පුද්ගලයන් හෝ පුද්ගලයන් අතර හුවමාරු වු තොරතුරු කාන්දු වීමෙන් හෙලි වු වඩා ව්‍යාජ මූලාශ‍්‍ර නොසලකා හරිනු ලැබ තිබේ. බර්නි සෑන්ඩර්ස්ගෙන් එල්ල වූ ප‍්‍රධාන අභියෝගය කඩාකප්පල් කිරීම සඳහා ක්ලින්ටන් හා ඩිමොක‍්‍රටික් පක්ෂ ජාතික කමිටුවේ ප‍්‍රයත්නයන් සම්බන්ධ ලේඛන සහිත කාන්දු වූ ඊමේල්වල අන්තර්ගතය ගැන පුවත්පත සඳහන් නොකරයි.

සියලු වාගාලාපවලින් ගිනියම් කරමින් “ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඛන්ඩතාව” මත කෙරෙන රුසියානු ප‍්‍රහාරය යි කියනු ලබන්නක් තබන පරිදි ටයිම්ස් හට ලෝකය පුරාම මැතිවරන මෙහෙයවීම සඳහා වොෂින්ටනය විසින් කරනු ලැබූ උපාමාරු දුසිම් ගනන පිලිබඳව එවන් කෝපයක් ඇත්තේ ම නැත.

මෑතකදී කරන ලද එක් අධ්‍යයනයකින් අවස්තා 81 කදී (සීඅයිඒ පිටුබලය ලත් සෘජු මිලිටරි කුමන්ත‍්‍රන කිසිවක් ඊට ගනන් ගෙන නැත) බොරු ප‍්‍රචාරය කිරීමේ උද්ඝෝෂන සංවිධානය කිරීම, ඝාතන, අපේක්ෂකයින්ට තර්ජනය කොට හෝ වෙනත් ආකාරයකින් හොර ඡන්ද මගින් තමන්ගේ අයෙක් බලයට පත්කර ගැනීම ආදිය මගින් සෑම මහාද්වීපයකම එක්සත් ජනපදය මැතිවරන කොල්ලකෑමට ක‍්‍රියාත්මකවී ඇත.

මැතිවරනවලට නිරතුරුව මැදිහත් වීම හැරුනු විට, එක්සත් ජනපද ආන්ඩුව විදේශීය ආන්ඩු වලට එරෙහිව නොකඩවා එබිකම් කිරීමේ කටයුතු වල නියැලී සිටී. මීට වසර කීපයකට පෙර, ඔබාමා පාලනාධිකාරයේ හැක් කිරීමක් හෙලිදරව් විය - ඔව්, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ ජංගම දුරකථනය හැක් කලේය. එවිට එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමා එය පිලිගත්තේ එක්සත් ජනපදයේ සියලු වර්ගවල “වල්පල්” ඇති බව කියමින් බොරු සමා අයැදීමක් පෙන්වමිනි.

ටයිම්ස් පුවත්පත පැත්තෙන් ගත් කල, එක්සත් ජනපද ඔත්තුසේවා ආයතන වල සත්‍යයෙන් තොර ප‍්‍රචාරක නාලයක් ලෙස සේවය කිරීම පිලිබඳව පෙනී සිටීමට ඊට කිසිදු බාධාවක් නැත. මෑත දශක ගනනාව තුල පුවත්පත්වල කුනු වීම මෙය පෙන්නුම් කරයි. සියල්ලට ම ඉහලින් දක්නට ලැබෙන කාරනාව වන්නේ එහි නායක කාර්ය මන්ඩලය, විශේෂයෙන්ම එහි කතුවැකි පිටු හා විදේශ කටයුතු භාර කාර්ය මන්ඩලය සමන්විත වන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හිටපු නිල ප‍්‍රකාශකයන්ගෙන් වන අතර, නිකොලස් ක්‍රිස්ටෝෆ්, රොජර් කොහෙන් සහ තෝමස් ෆ්‍රීඩ්මන් වැනි සීඅයිඒ ප‍්‍රචාරක ඒජන්තයන්ගේ ස්ථරයක් ඊට ඇතුලත් ය.

කතුවැකි පිටු සංස්කාරකයෙකු වන ජේම්ස් බෙනට්, කොලරාඩෝහි දක්ෂිනාංශික ඩිමොක‍්‍රටික් සෙනෙට් සභික මයිකල් බෙනට්ගේ සහෝදරයා වන අතර කාටර් හා ක්ලින්ටන් පරිපාලනයේ ඉහල රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු ව සිටි ඩග්ලස් බෙනට්ගේ පුත‍්‍රයෙකි; සීඅයිඒ ප‍්‍රකෝපකාරිත්වයන් සඳහා නිතරම උපයෝගී කර ගන්නා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනයේ (ඒඅයිඩී) ගඳ ගසන අධිපති තනතුරද ඔහුගේ වෘත්තීය චර්යාවට අයත් වේ. රහස් ඔත්තු සංවිධාන මෙහෙයවන ටයිම්ස් හට නිශ්චිත න්‍යාය පත‍්‍රයක් වී ඇත.

පාලක පන්තියේ බලගතු කන්ඩායම්වලට, ඔබාමා පාලනාධිකාරය විසින් අනුගමනය කරන ලද රුසියානු විරෝධී විදේශ පිලිවෙත; විශේෂයෙන්ම, 2014 උද්ඝෝෂන රැල්ල තුල දී යුක්‍රේනයේ මැතිවරනයෙන් තෝරා පත් කරගත් රුසියානු හිතවාදී-ආන්ඩුව පෙරලා දමා අන්ත දක්ෂිනාංශික, එක්සත් ජනපද හිතවාදී අතවැසි තන්ත‍්‍රයක් පිහිටුවීම වැන්නක්; දිගටම පවත්වාගෙන යාම හා උග‍්‍ර කිරීම අවශ්‍ය වනු ඇත.

මෑත දී පල වූ ටයිම්ස් ලිපියකින්, රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීම සෙනෙට් සභාවේ මාර්ගයෙන් ඉටු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, එය කරුනු සාපේක්ෂ වශයෙන් පැහැදිලිව දක්වයි. “ට‍්‍රම්ප්ට මිත‍්‍ර පාර්ශ්වයක් ඇතැයි නායකයන් සැක පහල කරයි: කොන්ග‍්‍රසය, යනුවෙන් සඳහන් කරන ටයිම්ස්, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂද්වයේ ම කොන්ග‍්‍රස් නායකයින් “රුසියාව වැනි සාම්ප‍්‍රදායික ප‍්‍රතිවාදීන්ට එරෙහිව ඇමරිකානු අන්තර් අත්ලාන්තික සන්ධානයක විදේශ ප‍්‍රතිපත්තිය මුල්බැස තිබීම සහතික කරනු වස් වැඩ කිරීම” අවධාරනය කරයි. සිරියානු ආන්ඩුවට පිටුබලය දීමේ එහි ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම සඳහා “ට‍්‍රම්ප් විරෝධී විදේශ ප‍්‍රතිපත්තියක්” දියත් කිරීමේ රිපබ්ලිකානු උත්සාහයන් එය ප‍්‍රශංසාවට ලක් කරයි.

ටයිම්ස් පුවත්පත නියෝජනය කරන පාලක පන්තියේ කන්ඩායම්වල මතයට අනුව, ගැටලුව වන්නේ “ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සමග රුසියාවේ මැදිහත් වීම නොව, සිරියාව සහ පුලුල් වශයෙන් මැද පෙරදිග තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තීරනාත්මක භූ - මූලෝපායික අවශ්‍යතාවලට එහි මැදිහත් වීම ය. ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලවේගය සමග උත්සන්න කෙරෙන මිලිටරි ගැටුමකට එරෙහිව නැගෙන මහජන විරුද්ධත්වය මැඩලීමට සහ ඇමරිකානු මහජන මතයට වැට බැඳීමට පුවත්පත උත්සාහ දරයි.

කම්කරු පන්තියට, ට‍්‍රම්ප් පාලනයට එරෙහි අරගලය හා දේශපාලන සංස්ථාපිතය තුල එහි විරුද්ධවාදීන්ට එරෙහිව සටන් කිරීම එකම අරගලයකි. එය සමස්ත ලෝකයේ ම මහජනතාව මත නව හා ව්‍යසනකාරී ලෝක යුද්ධයක් පතිත කිරීමට සූදානම් වන ධනේශ්වර පාලක පන්තියට එරෙහි සටනකි.

පැට්‍රික් මාටින්

Share this article: