සිරියාව තුල එක්සත් ජනපද-රුසියා ගැටුමක තර්ජනය මැද්දේ
නැටෝ යුද ගුවන් යානයක්, බෝල්ටික් මුහුදට ඉහලින් රුසියානු ආරක්ෂක ඇමති ගමන්ගත් ජෙට්යානය වටා කරක් ගසයි

Amid threat of US-Russia clash in Syria
NATO warplane buzzes jet carrying Russian defense minister

බැරී ග්‍රේ විසිනි , 2017 ජූනි 22

ඇමරිකා එක්සත් ජනපදය සිරියාවේ රුසියානු හමුදා සමග ආතතිය සෘජු ඝට්ටනයක් දක්වා උග‍්‍ර කරන අතරම, රුසියාවේ බටහිර දේශ සීමාවේ අවිචාරවත් ආක‍්‍රමනිකත්වය වැඩි කරමින්, යුරෝපය තුල න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මිලිටරි ගැටුමක තර්ජනය මතු කරයි.

බොල්ටික් මුහුදට උඩින් ජගත් ගුවන් අවකාශයේ රුසියානු ආරක්ෂක ඇමති ගමන් කරමින් තිබුනු ජෙට්යානය වටා 21දා නැටෝ යුද ගුවන් යානයක් කරක් ගැසී ය. ඊට තෙදිනකට පෙර එක්සත් ජනපද ගුවන් යානයක්, සිරියන් ආන්ඩුවේ ජෙට් යානයක් බිම හෙලීය. එය එක්සත් ජනපදය 2011දි සිරියාවේ තන්ත‍්‍ර මාරු යුද්ධය ආරම්භ කල පසු සිදු කරන ලද එවන් ප‍්‍රථම ප‍්‍රහාරයයි. සිරියානු ආන්ඩුවට ආධාර පිනිස සිය හමුදා එරට තුල යොදවා ඇති මොස්කව් පාලනය, ඇමරිකාවේ ඉහතකී ක්‍රියාවට ප‍්‍රතිචාර දැක්වූයේ, මින් ඉදිරියට අමරිකානු යානයක් සිරියාවේ බටහිර කොටස හරහා ගමන් කලහොත් එය ඉලක්කයට ගන්නා බව ප‍්‍රකාශ කරමිනි. ඒ සමගම සිරියාවේ ක්‍රියාත්මක එක්සත් ජනපද සහ රුසියානු ගුවන් යානා අතර “ඝට්ටන නිවාරක” [ඩිකොන්ෆ්ලික්ෂන්] කලාපය සඳහා ක්‍රියාත්මක කෙරෙන සෘජු සංනිවේදන ක‍්‍රමය අවසන් කරන බව ද රුසියව කියයි.

21දා සිද්ධිය නම්, ලිතුවේනියාව සහ පෝලන්තය අතර බෝල්ටික් මුහුදු බඩ රුසියාවට අයිති බිම්කඩක් වන කැලිනින්ග‍්‍රාද්හි තම මිලිටරි නිලධාරීන් හමුවීමට යමින් සිටි රුසියානු ආරක්ෂක ඇමති සර්ජි සොයිගොව්ගේ ගුවන් යානයේ ආරක්ෂාවට ගිය එස් යූ -27 එස්කෝට් (Su-27 escort) යානයට එක්සත් ජනපද ආධිපත්‍යය යටතේ පවතින නැටෝ මිලිටරි සන්ධානයේ ගුවන් යානයක් මුනදුන් විට, රුසියානු ගුවන්යානය සිය තටුව පහත්කොට ආයුධ පෙන්වූ කල්හි නැටෝ ගුවන් යානය ඉවත්ව ගියේ ය.

නැටෝවේ මෙම අති ප‍්‍රකෝපකාරී පියවර වනාහි, බෝල්ටික් ප‍්‍රදේශය තුල, විශේෂයෙන්, බටහිරෙන්ම පිහිටි රුසියාවේ මිලිටරි මධ්‍යස්ථානය වන කැලිනින්ග‍්‍රාද් අවට දී නිරතුරුවම එක්සත් ජනපද-රුසියානු ගුවන් යානා අතර සිදුවන මුන-ගැසුම් වලින් අලුත්ම එක ය. 19 දා, ඇමරිකානු BC-135 ඔත්තු යානයක් රුසියන් සීමාවේ බෝල්ටික් නාවික සේනාංක දෙසට පියාසර කිරීම “ප‍්‍රකෝපකාරී සිද්ධියක්” බව පැවසූ මොස්කව් අධිකාරීහු බාධක මෙහෙයුමක් සඳහා එස්යූ- 27 යානයක් හදිසියේ ගුවන්ගත කල බව කියා සිටියහ.

බදාදා ප‍්‍රකාශයක් නිකුත් කල නැටෝ සංවිධානය සොයිගොව්ගේ යානය පිලිබඳ සිද්ධිය නිපක්ෂ ගුවන් අවකාශයකදී සිදුවුයේ ය යන්න පිලිගත්තේ ය. කෙසේ හෝ මෙහිදී බටහිර සන්ධානය සමාව ඉල්ලනවා වෙනුවට කලේ, සිය ක්‍රියාව නිවැරදි බව ප‍්‍රකාශ කිරීමයි: ඉදිරියේ දී ද එවැන්නක් කිරීමට තමන්ට නිදහස තිබෙන බව එමගින් ඔවුන් අඟවා සිටියේ ය.

කැලිනින්ග‍්‍රාද්වලට ගොඩබට අවස්ථාවේ සොයිගොව්: “සමහර රටවල් තම භූ-දේශපාලන ඉලක්ක ජයගැනීම සඳහා මිලිටරි බලය පාවිච්චි කරන බව” පවසමින්, ගෝලීය ආරක්ෂාව අනතුරේ හෙලීම ගැන බටහිරට චෝදනා කලේ ය.

විශේෂයෙන් ම බෝල්ටික් ප‍්‍රදේශය තුලදී, නැටෝවේ සහ රුසියාවේ යුද ගුවන් යානා එකිනෙකට මුනගැසුම් දෛනිකව සිදුවෙයි. රුසියාවේ බටහිර දේශසීමාවේ පිහිටි යුක්‍රේනයේ, චන්දයෙන් තෝරාපත් කරගත් රුසියන් හිතවාදී ආන්ඩුව පෙරලා දමා, කියෙව් නගරයේ ඇමරිකන්-ජර්මන් අනුග‍්‍රහිත රුසියානු-විරෝධී, අන්ත-දක්ෂිනාංශික පාලන තන්ත‍්‍රය පිහිටුවා ලූ 2014 පෙබරවාරි බලකොල්ලයේ ප‍්‍රතිවිපාකයක් ලෙස මුලුමහත් ප‍්‍රදේශයම සන්නද්ධ යුද කඳවුරක් බවට පත් කරනු ලැබ ඇත.

පසුගිය සඳුදා ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කල පරිදි, කලින් සතිය තුල බෝල්ටික් මුහුදට උඩින් ගුවන් අවකාශය කරා ලංවෙමින් සිටි රුසියානු ගුවන්යානා 32ක් නැටෝ සංවිධානය විසින් වලකාලනු ලැබීය. එයට අනුව ජුනි 12 සහ 18 අතර නැටෝව සහ මිත‍්‍ර පාක්ෂික ජෙට් යානා, රුසියානු ප‍්‍රහාරක ජෙට් යානා වලට හරස් කැපීම සඳහා නව වතාවක් හිටිහැටියේ ගුවන්ගත කර තිබේ. මේ වැලකීම් කැලිනින්ග‍්‍රාද් සිට සහ එය කරා ගිය රුසියානු යුද ගුවන් යානා ඉලක්කකරගති.

මේ සිද්ධීන් කොයි එකක් වුව දැනුවත්ව හෝ අහම්බෙන් වෙඩි-හුමාරුවකට හෝ යානා-ගැටුමකට තුඩු දී, එය සමස්ත ග‍්‍රහලෝකය දවාහලු කරන න්‍යෂ්ටික බලවතුන් අතර පූර්න යුද්ධයක් දක්වා ඉක්මනින් ම ඇවිල යාමේ තර්ජනය මතු කරයි.

ඉන්ධන ගහන මෑද පෙරදිග සහ මධ්‍යම ආසියාව මත ද ලෝකාධිපතිත්වය සඳහා තම ප‍්‍රයත්නයේ දී සිය එදිරිවාදියා වන චීනය ඇතුලු සමස්ත යුරේසියානු භූස්කන්ධය මත ද සිය ආධිපත්‍යය පිහිටුවා ගැනීමට ප‍්‍රධාන බාධාව ලෙස තමන් සලකන මොස්කව් පාලනය වනසා දැමීමේ මූලෝපායේ කොටසක් ලෙස වොෂිංටනය, රුසියාව සමග සිය ගැටුම් උත්සන්න කරමින් සිටියි.

නැගෙනහිර යුරෝපය සහ බෝල්ටික් ප‍්‍රදේශවල නැටෝ-රුසියා ගුවන් මුන-ගැටුම් රාශියක්ම සිදුවන්නේ, නැටෝ වේ නැගෙනහිර සීමාවල සහ බෝල්ටික් ප‍්‍රදේශයේ ආක‍්‍රමනික රන කෙලි සහ යුද අභ්‍යාස සිදුවෙමින් පවත්නා තතු තුලය. යුද සන්ධානයේ ඇතුලත සහ පිටත රටවල් ගනනාවක දහස් සංඛ්‍යාත හමුදා භටයින් ද යුද ගුවන් යානා ද යුද ටැංකි ද නැව් ඇතුලු සකල මිලිටරි ආම්පන්න ද මේවාට ඇතුලත්ය.

ජුනි මාසය පුරා එක්සත් ජනපද හමුදාව බෝල්ටික් කලාපයේ සිය සහචරයින් සමග එක්ව වාර්ෂික ගිම්හාන කඩු හරඹය නම් සිය වාර්ෂික යුද අභ්‍යාස රැල්ල පවත්වමින් සිටි.

මේ මස මුලදී නැටෝ සංවිධානය, තමන්ගේ වාර්ෂික යුද අභ්‍යාස [BALTOPS හෙවත් බෝල්ටික් මෙහෙයුම ] පෝලන්තයේ සහ ජර්මනියේ දී පැවැත් විය. බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය නොර්වේ, පෝලන්තය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, ලැට්වියාව, ප‍්‍රන්සය, ජර්මනිය, ෆින්ලන්තය සහ ස්වීඩනය යන රටවල් 14ක සෙබලු 6000ක් ද නැව් සහ සබ්මැරින් 50ක් ද, බී 1 සහ බී 52 බෝම්බ හෙලන යානා ද ඇතුලූ ගුවන් යානා පනහක් ද මීට සම්බන්ධ විය.

රූපට් මර්ඩොක් ගේ සන් ටැබ්ලොඩ් පුවත් පත, බෝල්ටික් මුහුද අද්දර පෝලන්තයේ උස්ට්කා නම් ස්ථානයේ වෙරලට කඩා වැදීමේ අභ්‍යාසයක් පිලිබඳව එසැනකින් ගත් ඡායාරූප වර්තාවක මෙසේ උදම් ඇනීය: “බිය දනවන සේ නාවික බලය විදහා පාමින් හේවායෝ ද වාහන ද ගොඩබිමට කඩාවැදුනේ ගුවන්යානා බලවත් වේගයකින් ගුවන් ගනිද්දීය.” ලිපිය එක්සත් ජනපද නාවුක අද්මිරාල් ක්‍රිස්ටෝපර් ඔබ්රඩිගේ වචන උපුටා දැක්වූයේ මෙසේය: “අපට අවශ්‍ය වන්නේ පුහුනුව තුලදී මුහුදේ දී ද මුහුදේ සිට ද කලහැකි බල පෑම ප‍්‍රදර්ශනය කිරීමය.”

මේ මාසයේ දීම රුමේනියාවේ සිර්කුහි දී “නොබල් 17” යන නම ලත් තවත් රුසියානු විරෝධී අභ්‍යාසයක් පවත්වන ලදී. නැටෝවේ ඉහලම සූදානම නැමති, ඒකාබද්ධ කාර්ය බලකාය උරගා බැලීමට සකස් කැරුනු එයට බ්‍රිතාන්‍ය, ඇමරිකා, රුමේනියානු, නෙදර්ලන්ත, ඇල්බේනියානු, ස්පාඤ්ඤ, පෝලන්ත, නොර්වේ යන රටවල භටයින් සම්බන්ධ විය.

නිමක් නැති රන කෙලි සහ යුද අභ්‍යාස වලට අමතරව, මෙයට අවුරුදු 20කට පෙර අත්සන් කරන ලද නැටෝ-රුසියා ආරම්භක ගිවිසුම උල්ලංඝනය කරමින් සෙබලුන් 6,000 ක් සම්බන්ධ වන සටන් ඒකක බෝල්ටික් රාජ්‍යවල ද පෝලන්තය තුල ද පිහිටුවනු ලැබේ. මීට අමතරව එක්සත් ජනපදය තවත් 10,000 ක සේනාංකයක් රුමේනියාවේ ද සෙබලු 10,000 ක් සමග යුද ටැංකි බලකායක් පෝලන්තයේ ද ස්ථානගත කරනු ඇත.

ව්ලඞ්මීර් පුටින්ගේ පාලනය අත, එක්සත් ජනපදය මෙහෙයවන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප‍්‍රහාරයට ශක්‍ය හෝ ප‍්‍රගතිශීලි පිලිතුරක් ඇත්තේ නැත. පුටින් පාලනය නියෝජනය කරන්නේ, 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග රජයේ දේපල පුද්ගලීකරනය තුලදී කොල්ලකෑම මගින් ධනය කඳු ගසාගත් පරපුටු අතලොස්සකගේ ධනේශ්වර කතිපයාධිකාරයකි. ඔවුන්ගේ වැඩ පිලිවෙල වනාහි, බටහිර ආක‍්‍රමන තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා, වොෂිංටනය සහ යුරෝපිය අධිරාජ්‍යවාදීන් සමග කේවලක් ඉල්ලා කෙරෙන ආයාචනයන් සමග තමන්ගේම මිලිටරි-මදාවිකම් බද්ධකර ගත්තාවු, උග‍්‍ර රුසියානු ජාතිකවාදය සහ යුරෝපයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය එක්සත් කිරීමට සතුරු ප‍්‍රතිගාමී සම්මිශ‍්‍රනයකි.

ගිය ශරත් සමයේ දී එක්සත් ජනපද-නැටෝ ප‍්‍රකෝපනයන්ට එරෙහිව රුසියාව, න්‍යෂ්ටික ශක්තියෙන් යුත් බැලිස්ටික් මිසයිල කැලිනින්ග‍්‍රාද් හි පිහිටුවිය. සිය දේශසීමාව අද්දර නැටෝ බලය උග‍්‍ර කෙරෙන තතු තුල ගිය සතිඅන්තයේදී රුසියාව, චීනය හා එක්ව බෝල්ටික් මුහුදේ නාවුක අභ්‍යාස පැවැත්විය. රුසියවේ මීලඟ බලය ප‍්‍රදර්ශනය ජර්මනියේ හැම්බර්ග් නුවර ජී-20 සමුලුවට පෙරතුව ජුලි මස අග, ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෝලන්තයට පැමිනීමට පසුව කෙරෙනු ඇත.

නැටෝව සොයිගොව් ගේ ගුවන් යානයට තර්ජනය එල්ල කිරීමට දිනකට පෙර 20දා ධවලමන්දිරයේදී, ට‍්‍රම්ප් යුක්‍රේනියානු ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ හමු විය. නායකයන් දෙදෙනා එකට පෙනීසිටීමට පැය කිහිපයකට පෙර එක්සත් ජනපද භාන්ඩාගාරික ලේකම් ස්ටීවන් මන්චින්, රුසියාව යුක්‍රේනය තුල කරන්නේ යයි කියන ආක‍්‍රමනයට එරෙහිව වොෂිංටනය තව තවත් තහංචි පනවන බව නිවේදනය කලේ ය.

එම පියවරට, කලින් තහංචි වලට භාජනය කරන ලද පුද්ගලයන් සහ ආයතන වලට අමතරව, තවත් 38ට එරෙහිව තහංචි පැනවීම ඇතුලත්ය. ඒ අනුව තහංචියට ලක්වන පුද්ගලයින් 160ක් හා සමාගම් 400කි. අලුතින් තහංචිගත සංස්ථාවන්හි ද පුද්ගලයන්ගේ ද වත්කම් තහනම් කෙරෙනු ඇති අතර ඔවුන්ට ඇමරිකානු පුරවැසියන් සහ සමාගම් සමග ගනුදෙනු හා ඇමරිකාව තුල අරමුදල් රැස් කිරීම තහනම් කෙරෙනු ඇත. මෙම ලැයිස්තුවට පහල මට්ටමේ රුසියානු රාජ්‍ය නිලධාරීන් සහ පුටින්ට සමීප පුද්ගලයන් ගනනාවක් ද ඇතුලත් ය.

ට‍්‍රම්ප් පොරොෂෙන්කෝ සමග තමාගේ හමුව යටගසා, යුක්‍රේනය තුල රුසියාවේ භූමිකාව පිලිබඳව මොකුත් කීවේ නැති නමුත් පෙන්ටගනය, යුකේ‍්‍රනයේ ඇමරිකානු රූකඩ පාලනයේ ප‍්‍රධානියා වීරයෙකුසේ පිලිගත්තේය. යුක්‍රේනයේ “ස්වෛරීත්වය”, “”ජාත්‍යන්තර නීතිය” සහ “ජාත්‍යන්තර පර්යාය” ට එල්ලවන තර්ජන හෙලා දුටු ආරක්ෂක ලේකම් හිටපු මැරීන් ජෙනරාල් ජේම්ස් මැටිස්, එරටට ඇමරිකාවේ පූර්න සහාය පල කලේය. යුක්‍රේනය තුල රුසියාවට පක්ෂ බෙදුම්වාදීන් සමග සටන් කිරීම සඳහා කියෙව් නගරයේ පොරොෂෙන්කෝගේ ආන්ඩුවට මාරක අවි සැපයීමේ අදහස එක්සත් ජනපදය අතහැර නැති බව පෙන්ටගනයේ කථිකයෙක් අවධාරනය කලේ ය.

අලුත් තහංචි වලට ප‍්‍රතිචාර වශයෙන් රුසියානු උප විදේශ ඇමැති සර්ජි රබකොව් නිවේදනය කර ඇත්තේ, සිකුරාදා පීටර්ස්බර්ග් නුවරදී එක්සත් ජනපද දේශපාලන කටයුතු පිලිබඳ කනිෂ්ට ලේකම් තෝමස් ශානොන් සමහ පැවැත්වීමට නියමිතව තිබුනු රැස්වීමක් අවලංගු කල බව යි. ක්‍රෙම්ලිනයේ ප‍්‍රවෘත්ති ලේකම් දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ, “කරුනු දෙපැත්තටම බලපාන තත්වයක් ඇති කිරීම” සඳහා මොස්කෝව, එක්සත් ජනපදයට එරෙහිව “දිග තහංචි ලැයිස්තුවක් සුදානම් කරමින් සිටින බවය.”

Share this article: