මරුති සුසුකි කම්කරුවන්ගේ නඩුව පිලිබඳ මූලික කරුනු

The key facts of the Maruti Suzuki workers’ case

2017 මාර්තු 22

ඉන්දීය මෝටර් කම්කරුවෝ දහතුන් දෙනෙක්, ඉන්දියාවේ අගනුවර දිල්ලිය අසල මරුති සුසුකි කාර් එකලස් කිරීමේ කම්හලක 2012 ජූලි මාසයේ දී හටගත් ගැටුමක් උපයෝගී කර ගනිමින් සාවද්‍ය මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබ සිටිති.

ඉන්දියාවේ කුප‍්‍රකට සිරගෙවල්වල දුක් විඳීමට නියම කෙරී සිටින පිරිස අතරට මරුති සුසුකි කම්කරු සංගමයෙහි (එම්එස්ඩබ්ලිව්යූ) 12 දෙනෙකුගෙන් යුතු සමස්ත විධායකය මන්ඩලය ම අයත් ය. මේ සියලු කම්කරුවෝ ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල - කොංග‍්‍රස් පක්ෂය සහ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) - සම්පූර්න දායකත්වය ඇති ව සමාගම, පොලිසිය හා අධිකරන බලධාරීන් විසින් දියත් කරනු ලැබූ නිර්දය පලිගැනීමේ ව්‍යාපාරයක ගොදුරු වෙති.

මේ කම්කරුවන් මුලුමනින් ම නිර්දෝෂී ය. ඔවුන්ගේ එක ම “අපරාධය” වූයේ ජපානය පාදක කරගත් අන්තර්ජාතික සංගත විසින් සමාගමට හිතැති හොරිකඩ වෘත්තීය සමිතියේ ආධාරය ඇති ව පටවනු ලැබ රුදුරු සේවා කොන්දේසිවලට අභියෝග කිරීම යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය රාම් මේහර්, සන්දීප් ධිලන්, රාම් බිලාස්, සරාබ්ජීත් සිං, පවන් කුමාර්, සොහාන් කුමාර්, අජ්මර් සිං, සුරේෂි කුමාර්, අමර්ජීත්, ධන්රාජ් බම්බි, ප‍්‍රදීප් ගුජ්ජර්, යෝගේෂ් සහ ජයලාල් වහා නිදහස් කරන මෙන් බල කිරීමේ ජාත්‍යන්තර ආරක්ෂන උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

නඩුවේ පසුබිම

සමාගම විසින් පාලනය කෙරෙන වෘත්තීය සංගමයට අවනත නොවී මාස ගනනාවක් පුරා වර්ජන, වාඩි ලා ගැනීම් සහ වෙනත් ක්‍රියාමාර්ග දියත් කිරීමෙන් පසු මනේසාර් මරුති සුසුකි කම්කරුවෝ සිය ඉල්ලීම් දිනාගැනීමේ පලමු පියවරක් ලෙස එම්එස්ඩබ්ලිව්යූව පිලිගන්නා මෙන් 2012 මාර්තු මාසයේ දී, සමාගමට බල කර සිටියහ. මේ ඉල්ලීම් අතර දහස් සංඛ්‍යාත තාවකාලික කම්කරුවන්ට මසකට රුපියල් 14,000ක් (එක්සත් ජනපද ඩොලර් 214ක්*, නැතහොත් ස්ථිර කම්කරුවන්ගේ වැටුපෙන් අඩකටත් වඩා අඩුවෙන් ගෙවන කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමය අහෝසි කිරීම ද විය. මාස හතරකට පසු, 2012 ජූලි 18 වැනි දා කලමනාකාරීත්වය කම්හල් භූමිය තුල කලහයක් අවුලුවා ලී ය. කම්කරුවන්, පුද්ගලික ආරක්ෂක මැර හමුදාවකට එරෙහි ව තමන්ට ආරක්ෂාව සලසාගනිමින් සිටි අතර අබිරහස් ගින්නක් ඇවිලුනි. ගින්න, දුමාරයට ගොදුරු වූ මානව සම්පත් කලමනාකරු අවනිෂ් කුමාර් දේව්ගේ ජීවිතය බිලිගති.

බොරු නඩුවට කොටු කෙරුනු කම්කරුවන්ගෙන් කිසිවෙකුදු ගින්නට හෝ දේව්ගේ මරනයට සම්බන්ධ බවට සාක්ෂි අංශු මාත‍්‍රයකුදු නැත. තව ද, දේව් කම්කරුවන්ට සානුකම්පිත ව සැලකූ කලමනාකරුවන්ගෙන් කෙනෙකු වූ බැවින් ඔහුට හානි පැමිනවීමට කම්කරුවන්ට කිසිදු අවශ්‍යතාවත් තිබිය නොහැකි ය. ඔහු එම්එස්ඩබ්ලිව්යූව හර්යානා කම්කරු දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කිරීමට පවා උදව් කර තිබිනි.

පැමිනිලි පක්ෂයේ මිනීමැරුම් නඩුවේ කේන්ද්‍රීය කරුන වූයේ ගින්න යි. එහෙත් ගින්න කොතැන, කුමන මොහොතේ හෝ කෙසේ ඇරඹුනේ දැයි තහවුරු කරගත හැකි වූයේ නැත. ගින්න පිලිබඳ ආරම්භක පරීක්ෂනවල දී දැකගත නොහැකි වුනු හා පැහැදිලි කල නොහැකි අන්දමින් බේරී තිබුනු ගිනි පෙට්ටියක් ගින්නෙන් විනාශ වූ ස්ථානයේ තිබී සොයාගන්නා ලදැයි බලධාරීහු කියා සිටියහ. මේ ගිනි පෙට්ටිය කම්කරුවන්ට සම්බන්ධ කරන කිසිදු සාධකයක් නැත.

පොලිස් ප‍්‍රහාරය

සමාගම හා ඉන්දීය බලධාරීන් විසින් ජූලි 18 සිදුවීම් කම්කරුවන්ට එරෙහි දැවැන්ත ප‍්‍රහාරයක් සඳහා ව්‍යාජ හේතුවක් ලෙස යොදා ගැනුනි. පසු දින ම කම්කරුවන්ගේ නිවෙස්වලට කඩා පැන්න පොලිසිය, සියගනන් කම්කරුවන්ට පහර දී අත්අඩංගුවට ගත්තේ ය.

අනතුරු ව සුසුකි සමාගම 2,300 ක් කම්කරුවන් සේවයෙන් පහකොට වෙනත් අය බඳවා ගනිමින් මනේසාර් ශ‍්‍රම බලකාය විරේක කර දැමී ය.

වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයෝ, පොලිසිය නිල වසයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කල 150කට ආසන්න කම්කරුවන් පිරිසකට එරෙහි රජයේ බොරු චෝදනා ඉක්මනින් එලිදරවු කිරීමට පටන් ගත්හ. කලමනාකාරීත්වය විසින් සපයනු ලැබූ “සැකකරුවන්” ගේ ලැයිස්තු මත පාදක වෙමින් පොලිසිය ක්‍රියාත්මක ව ඇති බවත්, මරුති සුසුකි කොන්ත‍්‍රාත්කරුවන් හතර දෙනෙකු විසින් අකාරාදී පිලිවෙලට ගොනු කරනු ලැබු නම් අනුව කම්කරුවන් අත්අංගුවට ගැනීම සිදු වී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව, එක “ඇසින් දුටු සාක්ෂිකරුවකු” දැක ඇත්තේ A සිට G දක්වා අකුරුවලින් පටන්ගන්නා නම් සහිත “කැරලි ගසන කම්කරුවන්” පමනකි. තවත් අයෙකු G සිට P දක්වා පරාසය තුල නම් සහිත අය දැක ඇත. නඩු විභාගය තුල දීත්, මොවුන් හා වෙනත් සාක්ෂිකරුවෝ තමන් චෝදනා එල්ල කල කම්කරුවන් නිසියාකාරයෙන් හඳුනාගැනීමට අසමත් වූහ.

මේවා සහ තවත් බොහෝ නොගැලපීම් හා බොරු ගෙතීම් තිබිය දීත්, කම්කරුවන් 148 දෙනෙකු වසර තුනකටත් වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරයෙහි රඳවා තබා ගැනුනු අතර, සිවිල් අයිතිවාසිකම් කන්ඩායම්වලට අනුව, පොලිසිය එහි දී ඔවුන් වධහිංසනයට භාජනය කර ඇත. ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය යලි තහවුරු කිරීම තමන්ට අවශ්‍ය බවත් ආයෝජකයින් ඉන්දියාව තුල “කම්කරු නොසන්සුන්තාවන්ට” මුහුන නොදෙන බව විදහා පෑ යුතු බවත් කම්කරුවන්ට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් බලධාරීහු ප‍්‍රකාශ කලෝ ය.

මිනී මැරීම සම්බන්ධයෙන් කම්කරුවන් 13 දෙනෙකු හා ඊට අඩු චෝදනා යටතේ තවත් කම්කරුවන් 18 දෙනෙකු වරදකරුවන් බවට පත් කිරීමෙහි දී පොලිසිය සහ මරුති සුසුකි කලමනාකාරීත්වය අතර කුමන්ත‍්‍රනකාරී සන්ධානයක් පැවති බවත් සාක්ෂි ගෙතීමක් සිදු ව ඇති බවත් පිලිබඳ තමන්ගේ ම සොයාගැනීම් හිතාමතා ම නොතකා හැරීමට ගුර්ගාඔන් දිස්ත්‍රික් අධිකරනයට, සිදු විය.

පැමිනිලිකාර පාර්ශ්වයේ සාක්ෂි කෙතරම් සිදුරු සහිත හා සැකකටයුතු ද යත් අධිකරනයට කම්කරුවන් 117 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට සිදු විය. එම කම්කරුවන් ද ඉතිරි පිරිස තරමට ම වැරදිකරුවන් බව පැමිනිලි පාර්ශ්වය අවසන් මොහොත දක්වා ම බලගතු ලෙස අවධාරනය කර තිබිනි.

මරුති සුසුකි කම්කරුවන් ඉලක්ක කෙරුනේ ඇයි?

බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමට හා බොරු නඩු ඇටවීමට පෙර ගත වුනු මාස 14 තුල, මනේසාර් මරුති සුසුකි කම්කරුවෝ සමාගම් ප‍්‍රධානීන්ගේත් දේශපාලන සංස්ථාපිතයේත් උදහස අවුලවමින් මනේසාර්-ගුර්ගාඔන් කාර්මික කලාපය සිසාරා පැතිරුනු කම්කරු සටන්වල කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් බවට පත් ව සිටියහ. කොන්ග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුතු හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව, කම්කරු සටන් බිඳීම සඳහා පොලිසිය මහා පරිමානයෙන් යෙදවූ අතර එම්එස්ඩබ්ලිව්යූව ප‍්‍රාන්තයේ ආර්ථිකය “කඩාකප්පල්” කිරීමට අදිටන් කරගෙන සිටින “ත‍්‍රස්තවාදීන්” සහ වෙනත්“පිටස්තරයන්” සමග හවුලේ වැඩ කරතියි ඇඟවුම් කලේ ය.

පැමිනිල්ල සිය සමාප්ති දේශනය තුල මරුති සුසුකි කම්කරුවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ක්‍රියාවන් බීජේපී ජාතික ආන්ඩුවේ “මේඩ් ඉන් ඉන්ඩියා” (“ඉන්දියාවේ නිපැයුමකි”) වැඩපිලිවෙලට තර්ජනයකියි කියමිනි. එනම්, චීනයට වල කපමින් අන්තර්ජාතික සංගත වලට ලාභ සහ යටහත් ශ‍්‍රමය සපයන ලෝකයේ රුදුරු ශ‍්‍රම සූරාකෑමේ මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමේ ධාවනයට එම කම්කරුවන් තර්ජනයක් වන බව යි.

මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ වගකීමක් ද වන්නේ ය. සුසුකි වැනි අන්තර්ජාතික සංගත, ලාභතම ශ‍්‍රම පිරිවැය සොයා ලොව සිසාරා ගමන් කරයි. මේ අතර ආන්ඩු, කම්කරු ප‍්‍රතිරෝධයන් අපරාධ හැටියට හංවඩු ගසමින් සිටී.

අපතේ හැරීමට කාලයක් නැත! මේ විගඩම ආපසු හරවා මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර නොගැනුන හොත්, එය ඉන්දීය පාලක ප‍්‍රභූවට පමනක් නො ව සෑම රටක ම සමාගම් හා මූල්‍ය කතිපයාධිකාරයට දිරි දීමක් වනු ඇත.

ඉන්දියානු බන්ධනාගාර පද්ධතිය යනු මිහිපිට අපායකි. බොරු නඩු ඇටවීමට ගොදුරු වුනු බොහෝ කම්කරුවන්ගේ පවුල්, සිය එක ම ආදායම් උපයන්නා සිරගත කිරීමත් සමග අනාථ බවට මුහුන පා සිටිති. ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහනශීලී වැඩි බවට මරුති සුසුකි පැමිනිලි කර තිබේ. දහතුන් දෙනා සඳහා පැමිනිලි පාර්ශ්වය ඉල්ලා සිටි දඬුවම - එනම් එල්ලා මැරීම - සඳහා බල කරමින් මාර්තු 18 තීන්දුවට එරෙහි ව අභියාචනය කරන බවට සමාගමේ නීතිඥයින් ප‍්‍රතිඥා දී ඇත.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරය කම්කරු පන්තියට එරෙහි ව කෙරෙන ලෝක පරිමාන යුද්ධයේ කොටසකි. මෙම සංස්ථාපිතයට ම ගැටගැසී ඇති හා එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රමානුකූල ව කම්කරුවන් හුදෙකලා කොට දඬුගැසීමෙහි නිරත ව ඇති ධනේශ්වර අධිකරනවලට, ඉන්දීය දේශපාලන සංස්ථාපිතයට හෝ ප‍්‍රධාන වෘත්තීය සමිතිවලට අභියාචනය කිරීම මගින් මේ කම්කරුවන් වෙනුවෙන් යුක්තිය අත් කරගත නොහැකි ය.

ලොව වටා කම්කරුවන් හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන සියලු දෙනා ධෛර්ය සම්පන්න මරුති සුසුකි කම්කරුවන්ගේ ආධාරය සඳහා පෙරට පැමින, වහා ඔවුන් නිදහස් කරන මෙන් බල කල යුතු ය.

Share this article: