රාහුල් රෝයිගේ ද ෆැක්ටරි: බොරු නඩු අටවා සිරගත කල මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය ඉස්මත්තට ගෙන එන චිත‍්‍රපටියක්

වසන්ත රූපසිංහ විසිනි., 2017 මාර්තු 26

රෝයිගේ චිත‍්‍රපටිය, ඉන්දියාවේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන, ගෝලීයව ඒකාබද්ධ කරගත් මෝටර් රථ කර්මාන්ත ක්ෂේත‍්‍රය තුල කම්කරුවන් මුහුන දෙන ම්ලේච්ඡ කොන්දේසි වෙත ආලෝකයක් විහිදුවයි.

වසර හතරහමාරක් තිස්සේ ඇදී ගිය බොරු නඩු විභාගයකින් අනතුරුව, ඉන්දියානු අධිකරනයක් විසින් මාර්තු 18දා හර්යානා ප‍්‍රාන්තයේ ගුර්ගාඔන්හි, මනෙසාර් මරුති සුසුකි කම්හලේ කම්කරුවන් දහතුන් දෙනෙකුට ජීවිතාන්තය දක්වා ද තවත් කම්කරුවන් දහඅට දෙනෙකුට වසර තුන සිට පහ දක්වා කාලයක් සඳහා ද සිරදඬුවම් නියම කෙරුනි.

කර්මාන්ත ශාලාවේ දරුනු කොන්දේසිවලට එරෙහිව සටන් කිරීමට නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගත් මෙම තරුන කම්කරුවන් කොටුකිරීමට කම්හල් පාලනාධිකාරිය, 2012 වසරේදී ඇවිලවූ ප‍්‍රකෝපකරනයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරින.

ද ෆැක්ටරි

නඩුවිභාගය පැවතී ගෙන යන අතරතුර 2013 දී, ඉන්දියානු සිනමාකරු රාහුල් රෝයි විසින් මෙම සිද්ධිය පාදක කොටගෙන,ද ෆැක්ටරි (The Factory) නම් වාර්තා චිත‍්‍රපටිය නිර්මානය කලේ ය.

රෝයි, දිල්ලිය පදනම් කරගත්, මාධ්‍ය, සංස්කෘතික හා පර්යේෂන අංශ සම්බන්ධ “ආකර්” නම් පදනමේ අධ්‍යක්ෂවරයා ය. චිත‍්‍රපටි නිර්මානය සඳහා පශ්චාත් උපාධියක් 1987දී ලබා ගත් ඔහු, එතැන් සිට ස්වාධීන වාර්තා සිනමාකරුවෙක් වසයෙන් වැඩකරමින් සිටී. ඔහු මේ දක්වා නිර්මානය කර තිබෙන චිත‍්‍රපටි බොහෝමයක් අවිධිමත් හා අසංවිධානාත්මක ශ‍්‍රමය ගැන කල නිර්මාන වන අතර ද ෆැක්ටරි, සංවිධානාත්මක කම්කරු පන්තිය ගැන ඔහු නිර්මානය කල ප‍්‍රථම චිත‍්‍රපටිය යි.

රාහුල් රෝයි

ඉන්දියාවේ මෝටර්රථ කම්කරුවන් මුහුන දෙන, වහල්මය සේවා කොන්දේසි හා ඔවුන්ගේ සමාජ-ආර්ථික පසුබිම මෙන්ම, එම තත්වය පවත්වාගෙන යාම සඳහා ධනපති ගැති වෘත්තීය සමිති නිලධරය ධනේශ්වර සංස්ථාපිතය සමග එක්ව ඉටුකරන, ද්‍රෝහී ක‍්‍රියාකලාපය ද රෝයි චිත‍්‍රපටිය තුලින් විමසුමට ලක් කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මරුති සුසුකි අරගලයට මුල සිටම මැදිහත් වෙමින් එයට අවශ්‍ය මාක්ස්වාදී ඉදිරි දර්ශනය සම්පාදනය කලේ ය.

2015 වසරේ ලංකාවට පැමිනි රෝයි, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් තම චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කල අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී තම නිර්මානය සඳහා ලෝසවෙඅය පලකල ලිපිවලින් ලැබූ ආවේශය ස්තුතිපූර්වකව අගය කලේ ය.

මෙම චිත‍්‍රපටියේ වැදගත්කම අවධාරනය කරමින් “ද ෆැක්ටරි: ඉන්දියානු මොටර් රථ කම්කරුවන්ගේ අරගලය ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකත්වයට ගෙන යන වාර්තා චිත‍්‍රපටියක්” මැයෙන් සම්පත් පෙරේරා විසින් ලියූ විචාරයක් 2015 නොවැම්බර් 25දා ලෝසවෙඅහි පල විය. මීට අමතරව, ලෝසවෙඅ වෙනුවෙන් ලී පර්සන්ස් රෝයි සමග කල සම්මුඛ සාකච්ඡාවක් 2015 දෙසැම්බර් 7දා පල කෙරින.

චිත‍්‍රපටිය පිලිබඳ මෙහි එන කරනු, පෙරේරාගේ විචාරය මත පාදක වේ.

ද ෆැක්ටරි

රෝයිගේ චිත‍්‍රපටියට මූලිකව පදනම් වන්නේ, මනේසාර් මරුති සුසුකි කම්හල් පාලානාධිකාරිය කම්කරුවන් දඩයම් කිරීමේ අරමුනින් ඇවිලවූ ප‍්‍රකෝපකරනයේ පලමු හා දෙවැනි සංවත්සර අතර කාලය යි. ඊට ඉකුත් වසරවල මරුති සුසුකි කම්කරුවන් ගෙන ගිය අරගල මෙන්ම කර්මාන්ත ශාලාවේ ඉතිහාසය ද සම්බන්ධයෙන් දර්ශන රෝයි ඔහුගේ වාර්තා චිත‍්‍රපටියට ඇතුලත් කර ඇත.

2010 වසර තරම් ඈතදී කම්හලේ පාලනාධිකාරිට ගැටගැසුනු හොරිකඩ වෘත්තීය සමිතියට එරෙහිව, බහුතරයක් තරුන කොන්ත‍්‍රාත් කම්කරුවන් විසින් නව වෘත්තීය සමිතියක් තැනීමට දරන උත්සහාය, වෘත්තීය සමිති ලියාපදිංචියට අවසර ලබා දෙන රාජ්‍ය නිලධාරියෙකුගේ ඔත්තු දීමක ප‍්‍රතිපලයක් ලෙස ව්‍යර්ථ කෙරේ. එය සිදුවන්නේ, කම්හල් පාලනාධිකාරිය විසින් නව නායකත්වය මිලට ගැනීමේ ප‍්‍රතිපලයක් ලෙස ය. අවසානයේ, 2012දී නව වෘත්තීය සමිතිය --මරුති සුසුකි කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය (එම්එස්ඩබ්ලිව්යූ)-- පිහිටුවා ගැනීමට ඔවුහු සමත් වෙති.

කම්හල් පාලනාධිකාරිය, 2012 ජූලි 18 ප‍්‍රකෝපකරන අවුලවන්නේ මෙම වෘත්තීය සමිතිය කුඩු පට්ටම් කර දැමීමේ ඒකායන අරමුනු පෙරදැරි කරගෙන ය. කම්හල් පාලනාධිකාරිය, පොලිසිය හා හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව එක්ව කම්හලේ ලාබ ශ‍්‍රම කොන්දේසිවලට එරෙහි කම්කරුවන්ගේ විරෝධය බිඳීමට මෙම ප‍්‍රකෝපකරනය යොදා ගන්නා ආකාරය චිත‍්‍රපටිය පෙන්වා දෙයි.

පාලනාධිකාරියට හිතැති පුවත් නාලිකා, ප‍්‍රකෝපකරනය මධ්‍යයේ කම්හලේ කොටසක ඇවිලූන ගින්න හා එයට සිදුවූ හානිය පිලිබඳ රූපරාමු පසුබිමින් විකාශය කරද්දී, හර්යානාහි කොන්ග‍්‍රස් පක්ෂ ආන්ඩුවේ මන්ත‍්‍රීවරයෙකු කැරල්ලට සම්බන්ධ සියලු දෙනාට “ගිනි තැබීම, පහර දීම හා ඝාතනය කිරීමට වෑයම් කිරීම” මත චෝදනා ගොනු කිරීම පොරොන්දු වෙයි.

අභිනවයෙන් පිහිටවූ වෘත්තීය සමිතියේ සමස්ත නායකත්වය (දැන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා ඇති 13 දෙනාගෙන් 12 දෙනෙකු) ඇතුලු සටන්කාමී කම්කරුවන් 148ක් සිරගත කර තැබූ තත්වයක් තුල, අරගලය ඉදිරියට ගෙන යාමට මනේසාර් කම්කරුවෝ එම්එස්ඩබ්ලිව්යූ ප‍්‍රාදේශීය කමිටුව පිහිටුවා ගනිති. එය විසින් ගෙන ගිය අරගලයේ ප‍්‍රතිපලයක් ලෙස, දොට්ට දැමූ කම්කරුවන් 2500ක් යලි සේවයේ පිහිටුවීම සිදු වේ.

අරගලයේ නිරත කම්කරුවන් මර්දනය කිරීමට “කාර්මික සාමයට ප‍්‍රමුඛත්වය දීමේ” නාමයෙන් පොලිසිය බලමුලු ගන්වන ආකාරය චිත‍්‍රපටිය තුල පැහැදිලිවම ඉදිරිපත් කෙරේ. “පෙලපාලි යාමට ඔබලාට අවසර නැත”යි කියමින් කම්කරුවන් විසුරුවා හැරීමට උත්සහා දරන මහේස්ත‍්‍රාත්වරයෙකුගේ ප‍්‍රකාශයට විරුද්ධ වෙමින්, තමන්ට විරෝධය පෑමට අයිතියක් ඇතයි කියන කම්කරුවන්ට ඔහු පවසනුයේ, “ඔබලාට ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් හිමිවන්නේ, තත්වය ඉඩ දෙන්නේ නම්”ය යනුවෙනි.

රෝයිගේ ද ෆැක්ටරි, සෑම විනාඩි 50කට වරක්ම මෝටර් රථයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ම්ලේච්ඡ ශ‍්‍රම කොන්දේසි ගැන ද කරුනු ඉදිරිපත් කරයි. මුලු දවසෙම කම්කරුවන්ට ලැබෙනුයේ විනාඩි 45ක තරම් කෙටි විවේක කාලයකි: ඒ, උදෑසන විනාඩි හතක විවේකයක් ද, දහවල් ආහාරය සඳහා විනාඩි තිහක් ද සවස තේ වේලාව සඳහා තවත් විනාඩි 7ක් බැගිනි.

මනෙසාර් මරුති සුසුකි කම්කරුවෙකුට මසකට ලැබෙනුයේ රුපියල් 8000ක (ඩොලර්122) ස්ථාවර වැටුපක් හා අමතර දීමනා ලෙස ලැබෙන රුපියල් 8000කි. එක් දිනක් වැඩට නොපැමිනයහොත් සියයට විසිපහක් ද දින දෙකක් නොපැමිනියහොත් සියයට පනහක් ද දින තුනක් නොපැමියහොත් සියයට සියයක් ද ආදි වසයෙන් මෙම අමතර දීමනාව කම්කරුවාට අහිමි කෙරේ. නිෂ්පාදනයේදී කිසියම් අත්වැරැද්දක් සිදුවුවහොත්, අනෙක් කම්කරුවන් අතර සමච්චලයට ලක්වෙන පරිදි ඔවුන් දඬුවම්වලට පාත‍්‍ර කරනු ලබයි.

සිරගත කෙරුනු තරුන කම්කරුවන්ගේ දෙමව්පියන්, බිරින්දෑවරුන්, දරුවන්, නෑ සියන් මුහුන දෙන ඛේදනීය තත්වය පිලිබඳව විමසා බැලීමට රෝයි සැලකිය යුතු කාලයක් මිඩංගු කර තිබේ. දුරකතර ගෙවා පැමිනෙන තරුන බිරින්දෑවරුන් සිරගෙයි යකඩ දැල් හරහා තම සැමියන් සමග කතා කරන වේදනාත්මක දසුන් මගින් ඔවුන් කෙරෙහි සහානුකම්පාවක් ද පාලකයන් කෙරෙහි අප‍්‍රමාන කෝපයක් ද පේ‍්‍රක්ෂකයා තුල දැල්වීමට ද ෆැක්ටරි සමත් වෙයි.

ද ෆැක්ටරි

සිරගත කල සිය සැමියා ගැන කතා කරමින් තුරුනු බිරිඳක් මෙසේ පවසයි: “අපි ඉස්සෙල්ලම මුන ගැහුන දිනයේ එයා කීවා එයාට මොකුත්ම නෑ කියලා. . . එයා පරිපූර්න සැමියෙක්.” සිය නැන්දනියගේ පිලිකා රෝගය සඳහා බෙහෙත් හේත් ගැනීමට උපකාර කිරීමට දැන් ඇයට සිදුවී ඇති අතර, ඒ සඳහා මුදල් සොයා ගැනීමට ඇය රැකියා දෙකක නිරත වෙයි. “මම එයා වෙනුවෙන් දිගටම සටන් කරනවා”, ඇය කීවා ය.

සිය සැමියා, පුතනුවන් හෝ ඥාතියා නිදහස් කර ගැනීමේ අරමුනින්, සිරගත කල කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරති.

“ස්වාධීන අධිකරනය” ගැන මොනම මිත්‍යාවකට ඉඩ නොතබන රෝයි, මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි සංගතය හා ආන්ඩුව එක්ව දියත් කල කුමන්ත‍්‍රනය බලගතු ලෙස හෙලිදරව් කරයි.

වාර්තා චිත‍්‍රපටිය පෙරලා යලියලිත් අවධාරනය කරන තේමාව වන්නේ, කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාව යි. කෙසේවෙතත්, එම කරුන සමග පොරබැදීමේදී චිත‍්‍රපටියේ සීමාසහිතකම ඉස්මතු වේ.

එවන් ඒකාබද්ධ අරගලයක් ගෙන යාමට හරස්ව වෘත්තීය සමිති ම පිහිටා ඇති බව චිත‍්‍රපටිය තුලදී පවා වරෙක ප‍්‍රකාශයට පත් කෙරේ. අත්අඩංගුවේ සිටින කම්කරුවන් නිදහස් කරගැනීමට නව අරගලයක් දියත් කරන්නැයි ඔවුන්ගේ ඥාතීන් ආයාචනා කරද්දී කලමනාකාරිත්වය හා ගැටීමට හැකියාවක් නැතයි කියමින් අභිනවයෙන් පත් කර ගත් එම්එස්ඩබ්ලිව්යූ ප‍්‍රාදේශීය කොමිටිය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි. “කාර්මික සාමය” පවත්වා ගැනීමේ “වැදගත්කම” සම්බන්ධයෙන් ද වෘත්තීය සමිතිය කම්කරුවන්ට දේසනා කරයි.

මනේසාර් මෝටර්රථ කම්කරුවන් ගෙනගිය නව වෘත්තීය සමිතියක් සඳහාවූ අරගලය බෙලහීන කර, ඔවුන් අධෛර්යට පත් කිරීමට මුල සිටම ක‍්‍රියාත්මකවූ, ගුර්ගාඔන්-මනේසාර් කාර්මික තීරුවේ සැලකිය යුතු බලපෑමක් දරා සිටින, ස්ටැලින්වාදී වෘත්තීය සමිති ෆෙඩරේෂන වන සමස්ත ඉන්දියා වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) හා ඉන්දියාවේ වෘත්තීය සමිතිවල සන්ධානය (සීඅයිටීයූ) ගැන හෝ ඒවා සම්බන්ධ පාර්ලිමේන්තු පක්ෂයන් වන ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් ගැන විවේචනයක් චිත‍්‍රපටිය තුල නැති තරම් ය.

කෙසේවෙතත්, මෙම සීමාසහිතභාවය රෝයිගේ පුද්ගලික අසමත්භාවයක් පිලිබඳ කාරනාවක් නොවේ. දශක ගනනාවක් තිස්සේ, බුද්ධිමතුන් හා සංස්කෘතික කව ඇතුලු ඉන්දියාව තුල “වාම” දේශපාලනයේ ආධිපත්‍ය දරා සිටියේ, ධනපති සංස්ථාපිතයේ ඒකාබද්ධ කොටසක් වසයෙන් ක‍්‍රියාත්මක වන අතරේ මාක්ස්වාදය ජාතිකවාදී-ප‍්‍රතිසංස්කරනවාදී දේශපාලනයක් බවට විකෘති කල, තමන් 1917 ඔක්තෝබර් විප්ලවයේ අඛන්ඩතාව නියෝජනය කරන්නේ යැයි ව්‍යාජව කියා ගන්නා ස්ටැලින්වාදීන් විසිනි. කම්කරු පන්තිය, කොන්ග‍්‍රසය හා අනෙකුත් ධනපති පක්ෂවලට දේශපාලනිකව යටත් කරන අතරේ, ඔවුන් වෘත්තීය සමිති අරගලවලට කොටුකර තැබීමට සීපීඅයි හා සීපීඑම් දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරමින් සිටී.

මෙයින් මතු කරන ප‍්‍රධාන කාරනාව වන්නේ, කම්කරු පන්තියේ අරගල හෝ ඔවුන්ගේ දුක්ඛ සන්තාපයන් ගැන නිර්මානකරනයේ යෙදෙන රෝයි ඇතුලු සිනමාකරුවන්ට මෙම ස්ටැලින්වාදයේ උරුමය සෘජුවම අභියෝගයක්ව තිබෙන බව යි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා විසිවැනි ශතවර්ෂයේ සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයට හැරීගැනීමෙන් සහ සියල්ලටම ඉහලින් මාක්ස්වාදය විකෘතිකරනය කල හා රුසියානු විප්ලවය පාවාදුන් ස්ටැලින්වාදීන්ට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි හා හතරවන ජාත්‍යන්තරය ගෙන ගිය අරගලය හැදෑරීමක් කරා යොමුවීම මෙයින් ඉල්ලා සිටී.

මරුති සුසුකි කම්කරුවන්ගේ ධෛර්ය සම්පන්න අරගලය තිරය මතට ගෙන ඒම සම්බන්ධයෙන් රෝයි පැසසුම ලක් විය යුතු ය. ඔහු ඉතා පැහැදිලිවම කම්කරුවන්ගේ නිර්භීතකම, සහෝදරත්වය හා ආත්ම පරිත්‍යාගය යන ගුනාංගයන්ගෙන් පෞද්ගලිකව ප‍්‍රකම්පනයට ද බුද්ධිමය වසයෙන් උත්පේ‍්‍රරනයට ද ලක්ව ඇත.

මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ගෙන යන ජාත්‍යන්තර පරිමාන උද්ඝෝෂනයට, ලෝකයේ විවිධ රටවල කම්කරුවන්, තරුනයින් හා බුද්ධිමතුන් ආවේශ ගැන්වීමෙහිලා බලගතු ලෙස ආධාරවන හෙදිරව්වක්, රෝයිගේ චිත‍්‍රපටිය මගින් සිදු කෙරෙයි. මේ අර්ථයෙන් ද ෆැක්ටරි ඉන්දියාව තුලත් ජාත්‍යන්තරවත් පුලුල් පරිමාන පේ‍්‍රක්ෂකත්වයකට සමීප කල යුතු ය.

Share this article: