තව තවත් කප්පාදු පියවර නිර්දේශ කිරීම සඳහා ජාමූඅ ප‍්‍රධානී ශ්‍රී ලංකාවට පැමිනේ

IMF head to visit Sri Lanka to demand more austerity measures

කේ.රත්නායක විසිනි, 2017 මාර්තු 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩ් ඉරිදා ශ්‍රී ලංකාවට එනු ඇත්තේ, ජාමූඅ ඉතිරි කප්පාදු පියවර ක්‍රියාත්මක කරන ලෙස බල කිරීමට ය. ජාමූඅ ප‍්‍රධානියෙකුගේ මෙම පලමු සංචාරය අතරතුර ලැගාඩ්, කොන්දේසි පැනවීම සඳහා කොලඹ ආන්ඩුව මුහුන දෙන ආර්ථික හා මූල්‍ය ගැටලු යොදා ගන්නවා ඇත.

“ගෙවුම් ශේෂ අර්බුදය මගහැරීම” පිනිස පසු ගිය වසරේදී ජාමූඅ, ආන්ඩුව ජාමූඅ ඉලක්ක සැපිරීමට යටත්ව, ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක නය මුදලක් අනුමත කලේ ය. එය වාරික හයකින් මුදා හැරීමට නියමිතය. ආන්ඩුව 2020 වන විට අයවැය හිඟය දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට පොරොන්දු විය. එය 2015 පැවති හිඟයෙන් අඩක් වන මට්ටමකි. ඉලක්කය සපුරා ගත යුත්තේ, පුද්ගලීකරනය, සහනාධාර කප්පාදුව හා බදු වැඩි කිරීම ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් ප‍්‍රතිව්‍යූහ ගත කිරීම මගිනි.

2016දී, ජාමූඅ ඩොලර් මිලියන 325.2ක් බැගින් වූ වාරික දෙකක් නිදහස් කලේ ය. ආන්ඩුව එකතු කල වටිනාකම (වැට්) මත බදු සියයට 11 සිට සියයට 15 දක්වා ඉහල දැමුවේ, අත්‍යාවශ්‍ය භාන්ඩ මිල අහස උසට නංවමින් හා අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් පිලිවෙලින් සියයට 46 හා 8 බැගින් කප්පාදු කරමිනි.

ලැගාර්ඩ් පැමිනෙන්නේ, දෙසැම්බර් වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ “ප‍්‍රධාන පාද සලකුනු” ආන්ඩුව විසින් “මග හැර” ඇති බවට ජාමූඅ පැවසූ පසුව යයි එකොනොමි නෙක්ස්ට් වාර්තා කලේ ය. මෙකී “පාද සලකුනුවලට” රජයට අයත් විශාල ව්‍යවසායන් ― ලංකා තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මන්ඩලය, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය, ගුවන් තොටුපල හා ගුවන් සේවා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ― ප‍්‍රතිව්‍යූහ ගත කිරීම ද ඇතුලත් ය. වියදම් පියවා ගැනීමේ මට්ටම් වලට වඩා සිල්ලර මිල ගනන් ඉහල නැංවීමට හා ඒවායේ නය පියවීම සඳහා තෙල් සංස්ථාව හා විදුලි බල මන්ඩලයට ස්වයංක්‍රීය තෙල් හා විදුලි මිල ගනන් නියම කිරීමේ යාන්ත‍්‍රනයක් හඳුන්වා දීමට ද මුදල් අමාත්‍යංශයට නියම කෙරුනි.

ලැගාර්ඩ්ගේ මැදිහත්වීම සඳහා සූදානම් වීමක් වසයෙන්, ජ්‍යෙෂ්ට විධායක නිලධාරියෙකු වන ටොඩ් ස්නේයිඩර්ගේ නායකත්වයෙන් යුත් කන්ඩායමක් දැනටමත් නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති. “රජයට අයත් ආයතනවල කාර්යසාධනය වැඩි කරන්නේ කෙසේ දැ යි” යන්න ගැන එකී කන්ඩායම මුදල් අමාත්‍ය රවී කරුනාරත්න හා භාන්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා පැවත් වූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග ඩේලි නිව්ස් පත‍්‍රයට පැවසුවේ ය. “නියමය වන්නේ කාර්ය සාධනයේ සමතුලිතතා ලක්ෂ්‍යය කරා වත් (ලාභ අලාභ සමවීම) අඩු වසයෙන් ඒවා ගෙන ඒම යි” සමරතුංග පැවසී ය.

සාකච්ඡා කල අනෙකුත් කරුනු අතර, කොලඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හ්යාට් හොටේල් හා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වැනි ”මූලෝපායාත්මක නොවන” වත්කම් විකිනීම ද විය. ඒවා විකිනීමෙන් ආන්ඩුවට රුපියල් බිලියන 1.5ක් උපයා ගත හැකි බවට ජාමූඅ ඇස්තමේන්තු කර ඇත.

ස්වයංක්‍රීය මිල නියම කිරීමේ සූත‍්‍ර හා “කාර්යසාධනයේ සමතුලිතා මට්ටම්වල” අර්ථය, විදුලිය, ඉන්ධන හා ජලය සඳහා දැවන්ත මිල වැඩි කිරීම් හා රැකියා කප්පාදුව යි. උදාහරන වසයෙන්, ආන්ඩුව සියයට 300කින් ජල ගාස්තු ඉහල දැමීමට සැලැසුමක් සූදානම් කර ඇත.

එක්සත් ජනපද ගැති කොලඹ ආන්ඩුව මෙම පියවර ක්‍රියාත්මක කිරීමට අකැමැත්තක් නැත. මහජන විරුද්ධත්වය යටපත් කිරීමේ උත්සාහයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මෑත දී ආන්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් සඳහා සම්මන්ත‍්‍රනයක් සංවිධානය කලේ ය. වාර්තා වන පරිදි එහි දී, මහබැංකු නිලධාරීහූ දේශිය හා විදේශ නය සහ ඒකාබද්ධ නය සේවා ගැටලු පිලිබඳ දල සටහනක් (overviews) ඉදිරිපත් කලහ.

ආන්ඩුවේ ප‍්‍රධාන උත්සුකය වන්නේ, ජාමූඅ පියවර වහා ම කම්කරු පීඩිත ජනතාවගේ අරගල ඇවිලවීමේ තත්වයයි. ගිලා බසින ජීවන කොන්දේසි හා අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්, ගොවීන් හා තරුනයන්ගේ විරෝධතාවන්ට ආන්ඩුව මේ වන විටත් මුහුන දෙමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන, විපක්ෂය මහජන කෝපය ගසා කනු ඇතැ යි ද ආන්ඩුව බිය වෙයි. පුද්ගලීකරනයට විරුද්ධවීමේ නාමයෙන් රාජපක්ෂ, ජාතික වත්කම් ආරක්ෂක මධ්‍යස්ථානය නම් ව්‍යාජ නමින් පසු ගිය සතියේ දී සංවිධානයක් පිහිටවී ය.

කෙසේ නමුත්, 2006 සිට 2014 දක්වා බලයේ සිටි රාජපක්ෂ ආන්ඩුව, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධ යුද්ධයේ බර පැටවීම සඳහා වැටුප් කැටිකිරීම්, ජීවන තත්වයන් කප්පාදු කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ඉරා දැමීම නිසා පුලුල් ලෙස අපකීර්තියට පත්විය. එල්ටීටීඊයේ පරාජයෙන් හා 2008-2009 මූල්‍ය බිඳවැටීමෙන් ඇවිල ගිය ජාත්‍යන්තර අර්බුදය හමුවේ රාජපක්ෂට ජාමුඅ නයක් ඉල්ලීමට බල කෙරුනි. එහිදී ද කප්පාදු පියවර අවශ්‍ය කෙරුනි.

කොලඹ දේශපාලන අර්බුදය නොතකා ලැගාර්ඩ් මස් රාත්තල ම ඉල්ලනු ඇත. යුරෝපීය සංගමය හා යුරෝපීය මහබැංකුව සමග එක්ව ජාමුඅ, ග්‍රීසිය තුල මේ ආකාරයේ ම නිර්දේශ පැනවූ අතර ඉන් සමාජ ව්‍යසනයක් නිර්මානය විය. ජාමුඅ ”කුරිරු සත්‍ය පවසන්නේ” යයි කියමින් පසු ගිය මාසයේ දී ලැගාඩ් ග්‍රීසියට ඊටත් වඩා රුදුරු නිර්දේශ නිවේදනය කලාය.

මෙය මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඒකාධිපතිත්වය මිස වෙනත් දෙයක් නොවේ. ”සත්‍යය” නම්, ග්‍රීසියේදී වගේම ජාමුඅ ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, ධනපති ආර්ථික කඩා වැටීමේ හානිය කම්කරු පීඩිත ජනතාවගෙන් අයකරගන්නා ලෙස ය.

ව්‍යාජ වාම කන්ඩායම්වල ආධාර ඇතිව, 2015දී සිරිසා ආන්ඩුව ග්‍රීසිය තුල බලයට පැමිනියේ, ජාමූඅ හා යුසං කප්පාදු පියවරයන්ට විරුද්ධ වන බවට පොරොන්දු දෙමිනි. එතැන් සිට ආන්ඩුව, කම්කරුවන්ගේ විරුද්ධත්වය මර්දනය කරමින් කප්පාදු වැඩසටහන එක දිගට ක්‍රියාවට නැංවීය.

ගෝලීය ධනවාදයේ පසුබෑම ශ්‍රී ලංකාවට නොනැවතී බැට දෙයි. රටේ වෙලඳ හිඟය 2014දී ඩොලර් බිලියන 8.3 ද 2015දී ඩොලර් බිලියන 8.4 ද වූ අතර පසු ගිය වසරේදී එය ඩොලර් බිලියන 9 ද ඉක්මවා වැඩි විය. 2015දී, සෘජු විදේශ ආයෝජනවල එකතුව ඩොලර් මිලියන 600ක් පමනක් වූ අතර 2016දී එය ඩොලර් මිලියන 300 දක්වා තව දුරටත් පිරිහුනි. ජනවාරියේ දී නිල විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 දක්වා වැටුනු බව මෑත වාර්තාවක් හෙලිදරව් කලේ ය, එය පසු ගිය මාස 12 තුල ඩොලර් මිලියන 500ක වැටීමකි.

පොලී අනුපාත වැඩි කරන බවට එක්සත් ජනපද මහබැංකුව විසින් ඉඟි කිරීම හා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වෙලඳ යුද්ධ තර්ජනවලට ප‍්‍රතිචාර වසයෙන් මෑත සතිවල දී ප‍්‍රාග්ධනය ඉවතට ගලා ගොස් ඇත. ලෝකයේ විශාලම ආයෝජන කලමනාකරන සමාගමක් වන, එක්සත් ජනපද ෆ‍්‍රෑන්ක්ලින් ටෙම්පල්ටන්, ශ්‍රී ලංකා ආන්ඩුවේ සුරකුම්පත්වල ආයෝජනය කල අරමුදල් ආපසු ගෙන ඇත. මුදල් ඇමති රවි කරුනානායකට අනුව පසුගිය මාස 14 තුල ඩොලර් බිලියන 1.475ක් ඉවත්කරගෙන ඇත. එක්සත් ජනපදය එවැනි සුරකුම්පත්වල ප‍්‍රධාන ආයෝජන මූලාශ‍්‍රයක් වී ඇත.

ආන්ඩුවේ ගැටලු නය පැහැර හැරීමක් දක්වා තල්ලු වීමට ඉඩ ඇතැ යි ජාමූඅ උත්සුක වෙයි. මෙම වසරේ නය හා පොලී ගෙවීම් සඳහා ආන්ඩුව ඩොලර් බිලියන 3.6ක් එකතු කර ගැනීමට උත්සාහ කරමින් සිටී. එම මුදල ගෙවී ගිය වසරේ අවශ්‍ය වූ ඩොලර් බිලියන 1.82 මෙන් දෙගුනයකි.

ලැගාඩ්ගේ මැදිහත්වීම පිපිරෙන සුලු සමාජ හා පන්ති අරගලයන්ට වේදිකාව සකසනු ඇත. පසු ගිය සතියේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ රැස්වීමක දී පැවසුවේ, ආන්ඩුව “වැඩ වර්ජන හා විරෝධතා හෝ ආර්ථික වර්ධනයට වන මොන ම බාධාවක් වත් ඉවසන්නේ නැති” බව යි.

කතුවරායා පහත සඳහන් ලිපිය ද කියවන මෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව තුල පන්ති අරගල රැල්ලක්: තම අයිතීන් රැක ගැනීමට කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය (2017 පෙබරවාරි 18)

Share this article: