ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකු බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරගෙයි දමයි

වසන්ත රූපසිංහ විසිනි, 2017 මාර්තු 20

දිග් ගැස්සුනු හොර නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාර්තු 18දා ඉන්දියාවේ ගුර්ගාඔන්හි උසාවියක් මෝටර් රථ නිෂ්පාදනය කරන ජපන් සමාගමක් වන, මරුටි සුසුකි කම්හලේ කම්කරුවන් දහතුන් දෙනෙකුට ජීවිතාන්තය දක්වා ද තවත් කම්කරුවන් හතර දෙනෙකුට වසර පහ බැගින් ද දාහතර දෙනෙකුට වසර තුන බැගින් ද සිර දඬුවම් නියම කලේ ය.

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියට ආසන්න හරියානා ප්‍රාන්තයේ මනේසාර් මරුටි සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ අංශය තුල 2012 වසරේදී ඇවිලුන කම්කරු අරගලයක් මධ්‍යයේ දී මානව සම්පත් කලමනාකරුවෙකු මියයාම අරභයා, මෝටර් රථ නිෂ්පාදන සමාගම, පොලිසිය හා අධිකරන නිලධාරීන් එක්ව මෙම කම්කරුවන්ට එරෙහිව බොරු නඩුවක් අටවා පවත්වා ගෙන ගියේ ය. එවක පැවැති කොන්ග්‍රස් පක්ෂ ආන්ඩුවත් දැන් බලයේ සිටින හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයත් මෙම ගොරතර ක්‍රියාවට සහයෝගය දුන්නේ ය.

මරුටි සුසුකි කම්කරුවන් මතට කඩා පන්නවා ඇති මෙම රුදුරු ප්‍රහාරයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කර ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක), ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ඔවුන් නිදහස් කරගැනීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කර තිබේ. ඊට පූර්න සහයෝගය පලකරන හජාජාකයේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය එම උද්ඝෝෂනයට එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියමවූ දහතුන් දෙනාගෙන් දොලොස් දෙනෙක් ම, මරුටි සුසුකි කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) සමස්ත නායකත්වය යි. එම්එස්ඩබ්ලිව්යූ කටුක අරගලයක් තුලින් අභිනවයෙන් පිහිටුවා ගනු ලැබුවේ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ම්ලේච්ඡ සූරාකෑම යහමින් ගෙනයාමට උඩගෙඩි දෙමින් එය විසින් පිහිටවූ හොරිකඩ වෘත්තීය සමිතියකට එරෙහිව යි.

කර්මාන්ත ශාලාව තුල පැවැති කලමනාකාරීත්වය හා ගැටගැසුනු සාම්ප්‍රදායික වෘත්තීය සමිතියට එරෙහිව මරුටි සුසුකි කම්හලේ බහුතර තරුන කොන්ත්‍රාත් කම්කරුවන් විසින් වෘත්තීය සමිතියක් තැනීමට පලමුවරට උත්සාහ දැරුවේ 2010 තරම් ඈතදී ය. එහෙත් වෘත්තීය සමිතිවලට අනුමැතිය දෙන රාජ්‍ය නිලධාරියෙක් ඒ පිලිබඳව කර්මාන්ත ශාලාවේ කලමනාකාරීත්වයට ඔත්තු සැපයීමෙන් පසු, සමිතිය තැනීමට උත්සාහ කල නායකයින් මිලට ගෙන එම ප්‍රථම වෑයම කඩාකප්පල් කිරීමට මෝටර් රථ කම්හල් කලමනාකාරීත්වය සමත් විය. අවස්ථා ගනනාවක් වෑයම් කිරීමෙන් පසු 2012 දී එම්එස්ඩබ්ලිව්යූව තැනීමට කම්කරුවෝ සමත් වූහ.

කම්කරුවන්ගේ මෙම සටන්කාමීත්වය කුඩුපට්ටම් කිරීමේ අදිටනින් කම්හල් කලමනාකාරීත්වය කුලියට ගත් මැරයින් ලවා 2012 ජූලි මාසයේදී මනෙසාර් කර්මාන්ත ශාලාව තුල කම්කරුවන් සමග කලහයක් ඇවිලවූයේ ය. එය, අවසන්වූයේ ඒ අතරතුර හටගත් ගින්නකින් මානව සම්පත් කලමනාකරුවෙකු වූ අවනාෂ් කුමාර් දේව් පිලිස්සී මිය යාමෙනි. එම වසරේ ජූලි-අගෝස්තු මාස වන විට ඝාතන, ගිනි තැබීම් හා තවත් බිහිසුනු අපරාධ චෝදනා නගමින් කම්කරුවන් 148ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. පුදුම සහගත කරුනක් වන්නේ, මරනයට පත්වූ කලමනාකරු,‍ කම්කරුවන්ට ඉතාමත් ලැදියාවක් දැක්වූ අයෙක් වන අතර ඔහුගේ අධිකාරීන්ගේ විරුද්ධත්වය නොතකමින් එම්එස්ඩබ්ලිව්යූව ලියාපදිංචි කිරීම සඳහා රාජ්‍ය කම්කරු දෙපාර්තමේන්තුවට ඉල්ලුම් කිරීම සඳහා ඔවුන්ට සහාය දුන් අයෙක් වීම යි. එහෙයින්ම එම කලමනාකරු කම්හල් අධිකාරියේ වෛරයට පාත්‍ර වී සිටින්ට ඇත.

බොරු චෝදනා මත ගෙන ගිය නඩුවේදී මෙම කම්කරුවන්ට එරෙහිව සාක්ෂි දීමට කැඳවා ගෙන තිබූ ඊනියා “ඇසින් දුටු සාක්ෂිකරුවන්” හතර දෙනා එය විස්තර කල ස්වභාවයෙන්මත් නඩුවේ නින්දිත ස්වභාවය මොනවට එලිදරව් වේ. ඔවුන්ට අනුව, උක්ත චෝදනා ලබා සිටි කම්කරුවන්, ඔවුන්ට චෝදනා එල්ලව ඇති අපරාධවලට සම්බන්ධවී ඇත්තේ “අකාරාදි පිලිවෙලට” ය. එනම් එක් සාක්ෂිකරුවෙක් “A” සිට “ G” දක්වා අකාරාදි පිලිවෙලට නම් සඳහන් චූදිතයන් ගිනි තැබූ බව ප්‍රකාශ කල අතර දෙවැනි සාක්ෂිකරුවෙක් “H” සිට “P” දක්වා නම් සඳහන් අය ගිනි තබනු දුටු බවට ප්‍රකාශ කලේ ය.

මෙම නඩුවේ ව්‍යාජ ස්වභාවය පැහැදිලි වන තවත් කරුනක් නම්, උක්ත චෝදනාවලට දඬුවම් නියම කල කම්කරුවන් 31 සමග අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර තිබූ අනෙක් කම්කරුවන් 117 දෙනා, වසර හතර හමාරකට පසුව ඔවුන්ට එරෙහි චෝදනා ගැන කිසිදු සාක්ෂියක් නැත යන පදනම මත මාර්තු 10 දා සියලු චෝදනාවලින් නිදහස් කිරීම යි. එම චූදිතයන් බොහොමයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෙබෙකා ජෝන් සඳහන් කලේ, පොලිසිය හා මරුටි සුසුකි කලමනාකාරීත්වය එක්ව කම්කරුවන්ට එරෙහිව “කුමන්ත්‍රනය කොට” ඇතැයි ද “සාක්ෂි ගොතා ” ඇතයි ද සඳහන් කල විත්තිවාචකයේ තර්කයට උසාවියට එකඟ වීමට සිදුවූ බව යි.

මෙම කම්කරුවන් දැනටමත් බන්ධනාගාර නිලධාරීන්ගේ අනේක වධ බන්ධනවලට ලක් කොට තිබේ. ඔවුන් අත්අඩංගුවට ගත් 2012 වසරේ සැප්තැම්බර් 27දා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා ජනතා සංගමය නම් රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රසිද්ධ කල වාර්තාවක සඳහන් වූයේ, බන්ධනාගාර නිලධාරීන් ඔවුන් නිරුවත් කොට ම්ලේච්ඡ ලෙස පහර දුන් බව යි. “පමන ඉක්මවූ” කාලයක් තිස්සේ ඔවුන්ගේ දෙපා දෙපසට ඇද ගැට ගසා තැබීම නිසා ඉකිලි ප්‍රදේශ තුවාල වී ඇති බවත්, ඇතම් අය දීර්ඝ කාලයක් තිස්සේ කුනු වතුරේ ගිල්ලවා තැබූ බවත්, තවත් අයගේ කලවා උඩින් රෝලවල් ධාවන කල බවත් වෛද්‍ය-නෛතික වාර්තාවන් ඉදිරිපත් කරමින් ඔවුන් සනාථ කොට කියා සිටි බව එම වාර්තාවේ තව දුරටත් සඳහන් වේ. දැන් ජීවිතාන්තය දක්වා සිරගෙයි ලා සිටින කම්කරුවන් දහතුන් දෙනාට මරන දඬුවම් නොපැමිනවීම ගැන කෝපවී සිටින නීතිඥයින් මෙම කරුනු ගැන යහමින් දැනුවත් ය.

නව වෘත්තීය සමිතිය පිහිටුවීමට පෙර වසර පුරා මරුටි සුසුකි කම්කරුවන්, ලාබ ශ්‍රම කොන්දේසිවලට- එනම්, සොච්චම් වැටුප්, කොන්ත්‍රාත් ශ්‍රමය, දැඩි කම්කරු නීති හා සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීම ආදී කොන්දේසිවලට- එරෙහිව මාස හතරක අධිෂ්ඨාන සහගත අරගලයක් ගෙන ගොස් තිබින. එම අරගල වලදී පොලිසියේ හා කම්හල විසින් කුලියට ගත් මැරයින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරවලට ඔවුහු මුහුන දුන්හ.

පසුකලෙකදී මෙම අරගලය සම්බන්ධයෙන් ඉන්දියානු වාර්තා සිනමාකරු රාහුල් රෝයි විසින් ඉතා අගනා වාර්තාමය චිත්‍රපටියක් නිර්මානය කල අතර කම්හල තුල කෙරෙන ම්ලේච්ඡ සූරාකෑම සම්බන්ධයෙන් තත්‍ය තොරතුරු ඔහු එහිදී ඉදිරිපත් කලේ ය. එහි එක් තැනකදී සඳහන් කරන්නේ, මෙහි වැඩකරන කම්කරුවන්ට මුලු වැඩ දිනයෙදී ලැබුනුයේ විනාඩි 45කට අඩු විවේක කාලයක් බව යි. ඒ, උදෑසන ආහාර ගැනීමට මිනිත්තු 7ක් ද දිවා ආහාරය සඳහා විනාඩි 30ක් හා හවස තේ වේලාව විනාඩි 7ක් වසයෙනි. මාසිකව කම්කරුවෙකුට ස්ථාවර වැටුප ඉන්දියානු රුපියල් 8,000ක් (ඩොලර් 122) හා අතිකාල හා අනෙකුත් දීමනා ලෙස රුපියල් 8000ක් ලැබේ. එක් දිනක් වැඩට නොපැමිනියහොත් අතිරේකව ලැබෙන රුපියල් 8000 දීමනාවෙන් සියයට 25ක් කපන ලද අතර දින දෙකක් නොපැමිනීම එයින් හරි අඩක් ද දින තුනක් නොපැමිනීම මුලු දීමනාවම ද අහිමි කිරීමට හේතු විය.

ලෝකයේ ලාභ ශ්‍රම තටාකය වන චීනය විස්ථාපනය කිරීමට ඉන්දියානු ධනපති පන්තිය තුල ඇති සැලසුම් මෙම සංඛ්‍යාවන් මගින් වුවද මොනවට පෙන්නුම් කරයි.

බලයට පැමින තැන් පටන් පෞද්ගලීකරන වැඩ පිලිවෙලවල් වේගවත් කරමින් ද විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමට රටතුල වහල් ශ්‍රම කොන්දේසි නිර්මානය කරමින් ද අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය කම්කරු පන්තියට එරෙහිව දියත් කිරීමට නියමිත බිහිසුනු ප්‍රහාරයක් පිලිබඳව, මරුටි සුසුකි කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ම්ලේච්ඡ අධිකරන ක්‍රියාව මගින් ඇඟවුම් කරයි. කම්කරු පන්තියේ ජීවන කොන්දේසි කාබාසිනියා කිරීමට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් අරගලයට ඒමේ සූදානම පසුගිය කාලයේ පුපුරා ගිය කම්කරු අරගලවලින් ප්‍රකාශයට පත්ව තිබෙන තතු තුල මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කැපී පෙනෙයි.

මෙම ම්ලේච්ඡ දඩයමට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව හා අධිෂ්ඨානය දැනටමත් ඉන්දියාවේ කම්කරු පන්තියේ විවිධ කොටස්වලින් නැගෙන විරෝධතාවන් මගින් පෙන්නුම් කරයි. එහෙත් ඒවා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ නොවන තාක් ධනපති ක්‍රමයේ ප්‍රහාරයන්ට එරෙහිව පියවරක්වත් ඉදිරියට යාමේ හැකියාවක් ඇත්තේ නැත. වසර පහක් තිස්සේ මෙම ම්ලේච්ඡ දඩයම සම්බන්ධයෙන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ නිහඬව අනුමැතිය දී ඇත.

Share this article: