බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිර කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිර කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2017 මාර්තු 21

මාර්තු 18දා ඉන්දියාවේ උසාවියක් විසින් බොරු චෝදනා මත,මරුති සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකු ජීවිතාන්තය දක්වා ද තවත් දහඅට දෙනෙකුට අවුරුදු තුනේ සිට පහ දක්වා ද සිරදඬුවම් පැමිනවීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකින අතර ලංකාවේ සහ ඉන්දියාවේ ද ලෝකයේ සෙසු රටවල ද කම්කරුවන් මෙම නඩු තීන්දුව පරාජය කිරීමට පෙල ගැසී ගතයුතු යැයි අවධාරනය කරයි. ඔවුන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා හජජාක නිකුත් කර ඇති කැඳවුම මුලුමනින් අනුමත කරන සසප, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර ඇති  ඔන්ලයින් පෙත්සම  අත්සන් කරන ලෙසත් හැකිතාක් කම්කරුවන්, තරුනයින්ගේ සහයෝගය ඊට දිනා ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

එකදු චෝදනාවක් හෝ සනාථ නොකල අසාධාරන නඩු තීන්දුවකින් මෙලෙස ම්ලේච්ඡ දඩුවම් පනවා ඇත්තේ, මීට වසර හතර හමාරකට පෙරාතුව ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පිහිටි ජපන් මරුති සුසුකි මෝටර් රථ කර්මාන්ත ශාලාවේ පාලානාධිකාරිය විසින් සිතාමතා ඇතිකල ප්‍රකෝපකරනයකදී හටගත් ගින්නකින් අවසනාවන්ත ලෙස මරනයට පත් මානව සම්පත් කලමනාකරුවෙකුවූ අවනිශ් කුමාර් දේව්ගේ මරනයට මෙම කම්කරුවන් සාවද්‍ය ලෙස වැරදිකරුවන් කරමිනි. දල වසයෙන් සෑම විනාඩි 44කට වරක්ම මෝටර් රථයක් නිෂ්පාදනය කරන ජපන් මෝටර් රථ සමාගම ක්‍රියාවට දැමූ වහල් ශ්‍රම කොන්දේසිවලට එරෙහිව වික්‍රමාන්විතව සටන් කිරීමේ තිර අදිටන පෙන්වූ බහුතරයක් තරුන කම්කරුවන් අතර ඇවිලෙන සටන්කාමීත්වය සෙසු කම්කරුවන් අතරට යාම වලක්වා වලලා දැමීමට හර්යානා ප්‍රාන්ත ආන්ඩුවත්, පොලිසියත්, කුලී දාමරිකයනුත් සමාගම සමග එකතුව ක්‍රියාවට දැමූ වැඩසටහනක ප්‍රතිපලයක් ලෙස උක්ත ප්‍රකෝපකරනය ඇවිලවුනි.

මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලයෙහි ජාත්‍යන්තර වැදගත්කම වටහාගත් සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2012 ජූලි-අගෝස්තු වකවානුවේදී එම අරගලයට මැදිහත්වෙමින් ලෝක කම්කරු පන්තියට මරුති සුසුකි සමාගමේ ප්‍රකෝපකරනයන් ද විදේශීය ආයෝජන හිඟාකන ඉන්දියානු පාලක පන්තියේ හා එහි පොලිසියේ කම්කරු විරෝධී වැඩපිලිවෙල ද එක දිගට එලිදරව් කිරීම සඳහා ලිපි ගනනාවක් ලෝසවෙඅයේ පලකල අතර එම ඇතම් ලිපි හින්දි භාෂාවට පරිවර්ථනය කොට කම්කරුවන් අතර බෙදා හැරීම ද එවකදීම සිදු කලේ ය. වෘත්තීය සමිති නිලධරයේ ද ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල ද මගහැරීම්වලට එරෙහිව කම්කරු අයිතිවාසිකම් රැකීමේ දේශපාලන ඉදිරිදර්ශනයක් සහිතව සිදුකල මෙම දේශපාලන මැදිහත්වීම් ගුර්ගාඔන් ප්‍රදේශයේද ජාත්‍යන්තර පරිමානව ද කම්කරු මතකයෙන් අතුගා දැමෙනු නැත.

කම්කරුවන්ගේ වෘත්තීය සමිති අයිතිය දිනා ගැනීමට දීර්ඝ කාලීනව ගෙනගිය අරගලයක ප්‍රතිපලයක් ලෙස 2012දී පිහිටුවා ගත් මරුති සුසුකි කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ සමස්ත නායකත්වය (දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත්තේ එම නායකයින්ටය) ඇතුලු සටන්කාමී කම්කරුවන් 148 දෙනෙකු මානව සම්පත් කලමනාකරුගේ මරනයට හා ප්‍රකෝපකරනවලට සැකකරුවන් ලෙස සමාගමේ උසිගැන්වීම මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනි. මරුති සුසුකි කම්කරුවන්ගේ මෙන්ම අවශේෂ කම්කරුවන්ගේ දිරිබල සිඳිනු වස් බන්ධනාගාර ගත කෙරුනු කම්කරුවන් ම්ලේච්ඡ වධ බන්ධනයන්ට ගොදුරු කෙරුනු බව දැන් සනාථ වී ඇත.

මේ කම්කරු දඩයම ගැන ධනපතියන් කොතෙක් උනන්දුවූයේ ද යන්නට උදාහරනයක් වන්නේ, ඉන්දියාවේ යෝධ තොරතුරු තාක්ෂනික සේවා සමායතනයක් වන වයිප්‍රෝ ලිමිටඩ්හි ප්‍රධානී, 2016 ෆෝබ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 16.5ක වත්කමක් සතුව සිටින අසිම් ප්‍රෙම්ජී උපුටා දක්වමින් 2012 ජූලි 24 දි හින්දු පුවත්පත පල කල වාර්තාව යි. කම්කරුවන්ට එරෙහිව “නිර්දය ලෙස ක්‍රියාකරන්නැයි” ආන්ඩුවෙන් ඉල්ලා සිටි ප්‍රෙම්ජි, පරදුවට ලක්ව ඇති සිදුවීම “සංවේදි එකක් බවත් රටතුල හා වෘත්තීය සමිති අතර වැඩෙමින් පවත්නා සමාජ නොසන්සුන්තාව නියෝජනය කරන” බවත් කීවේ ය. එකල පාලන බලය හෙබවූ කොන්ග්‍රස් පක්ෂයත් දැන් බලයේ සිටින අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයත් නියෝජනය කරන්නේ හරියටම මෙම ධනපතියන්ගේ අවශ්‍යතා බව මෙම නඩු තීන්දුව තුලින් මොනවට විශද කරයි.

ඉන්දියානු මෝටර් රථ කම්කරුවන්ට දන්ඩනය පැනවූ සමස්ථ අධිකරන ක්‍රියාවලිම සනාථ කරන්නේ, ධනේශ්වර දේපල ක්‍රමයේ ආරක්ෂකයෙක් වන අධිකරනයේ මර්දනකාරී කාර්යභාරය යි. මාර්තු 10 දා පැවැති නඩු වාරයේදී අත්අඩංගුවට ගත් කම්කරුවන්ගෙන් 117ක් කිසිදු චෝදනාවක් නැතයි නිදහස් කර හැරීමෙන් පැහැදිලි වනුයේ දඬුවම් ලැබූවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද සාක්ෂි කම්හල් පාලානාධිකාරිය හා පොලිසිය විසින් ව්‍යාජව ගෙතූ ඒවා බව ය. නිදහස් කරන ලද්දවුන් අවුරුදු හතර හමාරක කාලයක් තුල ම්ලේච්ඡ වධ බන්ධනයන්ට ගොදුරු කිරීම ගැන මොනම සාංකාවක්වත් අධිකරනය පල කලේ නැත. ඊනියා ලිබරල්වාදී චින්තකයින්, සුලු ධනේශ්වර කන්ඩායම් හා ව්‍යාජ වම්මුන් විසින් වගවර්නනා කරන ඉන්දියාවේ “අධිකරනයේ ස්වාධීනත්වය” එපරිදි ය.

වැරහැලිවූ ව්‍යාජ සාක්ෂි මත පදනම්ව ඉන්දියානු පාලක පන්තිය විසින් කල්යල් බලා කම්කරුවන් වෙත එල්ල කල මෙම මාරක ප්‍රහාරයේ අරමුන වන්නේ, එක් අතකින් සටන්කාමී වෙමින් සිටින මිලියන සංඛ්‍යාත ඉන්දියානු කම්කරුවන් වෙත විෂකුරු අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම යි. අනෙක් අතින්, මෙම යෝධ කම්කරු පන්තිය සූරාකෑම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට අවශ්‍ය නෛතික හා මිලිටරි-පොලිස් විධික්‍රම සපුරාලීම සඳහා තමන් ඉහලින්ම සූදානම් බව ප්‍රදර්ශනය කිරීම යි.

මෙම ප්‍රහාරය පැමිනෙන්නේ, දිග් ගැස්සෙමින් යන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ඇමෙරිකාවේ බලයට පත් ෆැසිස්ට් නැඹුරුවක් සහිත ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාවට දමා ඇති ප්‍රතිගාමී ජාතිකවාදී ආරක්ෂනවාදී පිලිවෙත් ද බ්‍රිතාන්‍ය යුරෝපියානු සංගමයෙන් ඉවත්වීමට තීන්දු කල බ්‍රෙක්සිට් ජනමත විමසුම ජය ගැනීමෙන් ඉක්බිතිව ක්‍රියාවට දැමෙන සුභසාධන හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් කැපීමේ තතු යටතේ ය. දැවැන්ත අර්බුදයකට මුහුනදී සිටින ආසියාවේ අනෙකුත් බංකොලොත් ජාතිකවාදී ධනපති පාලකයන් හැම එකෙකු මෙන්ම ඉන්දියානු පාලක පන්තිය ද විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා මංමුලා සහගත ලෙස කම්කරු විරෝධී ප්‍රහාරයක නිරත වෙමින් සිටින්නේ මෙවැනි පසුබිමක ය.

පරපුටු වෘත්තීය සමිති නිලධරයේ හා ඒවා ගැට ගැසී සිටින ධනපති ගැති ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ දෙක ද ඇතුලු සියලු පක්ෂවල මග ඇවිරීම් හා නොමග යැවීම් තිබියදීම ඉන්දියානු කම්කරුවන්, අර්බුදයේ කිඳෙන මෝදි ආන්ඩුවේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරනවලට එරෙහිව මිලියන සංඛ්‍යාත වසයෙන් වීථි බැසීමට ඇති සූදානම දැනටමත් ඔප්පු කර ඇත. කම්කරුවන් දොට්ට දැමීමට හා කර්මාන්ත ශාලා හිතූ මනාපෙට වැසීමට හැකිවන අයුරින් කම්කරු නීති වෙනස් කිරීමටත්, ගොවියන්ගේ ඉඩම් මහා ව්‍යාපාරිකයන්ට පවරා දීමටත් නීති ගෙන එමින්, පුද්ගලීකරනය වේගවත් කිරීමට හා ලේශ මාත්‍ර වසයෙන් ලබා දෙන සහනාධාර හා සමාජ වියදම් කප්පාදු කිරීමටත් මෝදි ආන්ඩුව හැරී සිටී. මීට එරෙහිව, 2016 සැප්තැම්බර් මස මිලියන දහයක කම්කරුවන් සම්බන්ධවී පැවැත්වූ එක් දින වර්ජනයකින් ද ඉතාම මෑතකදී රාජ්‍ය බැංකු පෞද්ගලීකරනය කිරීමේ සැලසුමට එරෙහිව පෙබරවාරි 28දා මිලියනයක බැංකු සේවකයන් සම්බන්ධවී පැවත්වූ එක් දින වර්ජනයකින් ද නැගී සිටි කම්කරු අරගල හමුවේ මෝදි ආන්ඩුව සලිත වී සිටී.

මරුති සුසුකි කම්කරුවන්ට පැනවූ දඩුවම සම්බන්ධයෙන් උද්දාමවූ එම සමාගමේ උපදේශකයෙකු වන විකාස් පැස්වා ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පතට කීවේ, උසාවිය, “ශ්‍රම කම්කරුවන් හා වෘත්තීය සමිති සාමාජිකයන්ට නීතිය තමන්ගේ අතට ගත නොහැකි බවට බලගතු සංඥාවක් යවා ඇති” බව යි. කම්කරුවන්ගේ ලේ ඉල්ලා සිටිමින් ඔහු තවදුරටත් කීවේ, “මෙම තීන්දුවට එරෙහිව ඉහල උසාවියේ අභියෝග කරන” බවත් නිදහස් කල කම්කරුවන් 117 දෙනාගේ තීන්දුව ද මෙලෙස අභියෝගයට ලක්කිරීමට බලාපොරොත්තු වෙන බවත් ය. දරුනු වැඩ කොන්දේසි දමමින් ජයට කෙරෙන ජපන් මෝටර් රථ සමාගමේ සුපිරි ලාබ ගැරිල්ලට කිසිදු අභියෝගයක් ඉදිරියේදී කම්කරුවන්ගෙන් එල්ල නොවන බවට වගබලා ගැනීම ධනපති පාලකයන්ගේ ද අධිකරනය, පොලිසිය ඇතුලු ධනපති සංස්ථාපිතයේ ද සහය ඇතිව සහතික කරගැනීමේ අභිලාෂය මෙයින් පෙන්නුම් කෙරේ.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රහාරය කිසිසේත්ම සුවිශේෂි ඉන්දියානු ප්‍රපංචයක් නොවන බව කලාපයේ ද ලොව පුරා ද සියලු ධනපති රටවල කම්කරු අරගල අරභයා මහ ධනපතියන් ඔවුන්ගේ හෙංචයියන්ගේ සහය ඇතිව නොනවත්වා එල්ල කෙරෙන ප්‍රහාර මගින් පෙන්නුම් කෙරේ. පසුගිය දෙසැම්බර් මැද සිට ඉහල වැටුප් හා අනෙකුත් දීමනාවල් ඉල්ලා වැඩවර්ජනය කල බංග්ලාදේශයේ ඩැකා කාර්මික ප්‍රදේශයේ කම්කරුවන් දහස් ගනනක් දොට්ට දැමීමටත් තවත් දහස් ගනනකට එරෙහිව නඩු පැවරීමටත් බංග්ලාදේශ ආන්ඩුව හා ඇගලුම් කර්මාන්තයේ හාම්පුතුන් ජනවාරි මාසයේදී ක්‍රියාත්මක විය. බංග්ලාදේශය තරම්ම දරුනු සූරාකෑමක් හා වහල් ශ්‍රම කොන්දේසි පවතින ලංකාවේ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් 2011 මැයි මසදී ආන්ඩුව ගෙනඒමට නියමිතවූ විශ්‍රාම වැටුප් පනතකට එරෙහිව විරෝධය පෑ අවස්ථාවේ පොලිසිය ජීව උන්ඩවලින් වෙඩි තබා එක් කම්කරුවෙක් ඝාතනය කල අතර තවත් 200කට පමන තුවාල සිදු කලේ ය. සියයක් පමන අත්අඩංගුවට ගන්නා ලදි. දුසිම් ගනනින් ඉදිරිපත් කල හැකි එවැනි උදාහරන පෙන්නුම් කරන්නේ, තමන්ගේ ලාභ අවශ්‍යතාවලට අභියෝග එල්ල වන සෑම අවස්ථාවකදීම ධනපතියන් හා ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන ආන්ඩු හා ආයතන ම්ලේච්ඡ අයුරින් ක්‍රියාත්මක වන ආකාර යි.

ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් සම්බන්ධ සිදුවීමේදී හා කම්කරුවන්ට එරෙහි අනෙකුත් සිදුවීම්වලදී ද ඉතාම සිත්කාවදින ආකාරයෙන් පෙනී යන කරුන වන්නේ, මෙම වහල් වැඩ කොන්දේසි හා මර්දනකාරී නීති හරහා කම්කරුවන් තලා දැමීමට ධනපති පන්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වන ද්‍රෝහී වෘත්තීය සමිතිවල හා ධනපති ගැති දේශපාලන පක්ෂවල ක්‍රියා පිලිවෙත යි. මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය පුරාම ඔවුන් අධෛර්ය කිරීමට ඉදිරිපත්වූ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට (මාක්ස්වාදී) හෙවත් සීපීඑම්ට හිතැති ඉන්දීය වෘත්තීය සමිති සඳහා මධ්‍යස්ථානය, දැන් මරුති සුසුකි කම්කරුවන්ට පනවා ඇති දඩුවම සම්බන්ධයෙන් කීමට තිබුනේ තමන් එයින් “ශෝකයට හා සන්තාපයට” පත්ව සිටින බව පමනි. මීට විපරීත ලෙස මෙම අසාධාරන අධිකරන තීන්දුවට එරෙහිව දහස් ගනනක් කම්කරුවන් උද්ඝෝෂන, පිකට් ඇතුලු විවිධ ක්‍රම හරහා තමන්ගේ වෛරය හා කෝපය දැනටමත් ප්‍රකාශ කරමින් සිටී. එහෙත්, ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ වන ඉන්දියානු ධනපති පන්තියේ අන්ඩක්ව සිටින සීපීඑම් හෝ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය යන එකක්වත් මෙම තීන්දුවට විරුද්ධව වචනයක් හෝ කියා නැත.

මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීම හෝ මෝදි ආන්ඩුව ඇතුලු ධනපති පන්තිය දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර හා කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේදී ඉන්දියාවේ කම්කරු පන්තියට, අන් හැමරටකම කම්කරුවන්ට මෙන්ම අවශ්‍යව ඇත්තේ විප්ලවවාදී නායකත්වයක් හා ඉදිරි දර්ශනය යි. ඉන්දියාවේ මරුති සුසුකි හා ගුර්ගාඔන් කම්කරුවන් ඒකාබද්ධ විය යුත්තේ මුලුමහත් ඉන්දියාවේ, සමස්ත දකුනු ආසියාවේ හා ලෝකය පුරා විසිරී සිටින තමන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ය. එම එකමුතුව සාක්ෂාත් කරනු හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් එහි ශාඛාවන් වන සමාජවාදී සමනතා පක්ෂත් ගොඩ නැගීම මගින් පමනි.

මරුති සුසුකි කම්කරු දඩයම පරාජය කිරීමට එක් වනු!

කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නගනු!

Share this article: