ජනාධිපති සිරිසේන මානව හිමිකම් කඩ කිරීම ගැන පරීක්ෂනය හෙලා දැකීම පිටුපසින්

කේ.රත්නායක විසිනි, 2017 මාර්තු 4

ලංකාවේ මානව අයිතීන් උල්ලංඝනය විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිශ්චයකරුවන් සම්බන්ධ කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් (එජාමාහිකො) විසින් මීට සති දෙකකට පෙර ඔහුගේ වාර්තාවේ සඳහන් කර පැය විසිහතරක් යන්නට මත්තෙන් තමන් එය ප‍්‍රතික්ෂේප කලේ යයි ජනාධිපති සිරිසේන බ‍්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක දී බිරුසන් දුන්නේය.

එජාමාහිකො සිය වාර්තාවේ ලංකාව සම්බන්ධයෙන් එම සඳහන් කිරීම කලේ ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මානව අයිතීන් කඩකිරීම යටගැසීම කෙරෙහි පැන නැගී ඇති විරෝධය සමනය කර දැමීම සඳහා ය. සිරිසේනගේ බුරාපැනීමෙන් ප‍්‍රකාශයට පත්වන්නේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව උතුරු-නැගෙනහිර ගෙන ගිය වර්ගවාදී යුද්ධයේදී සිදුකල යුද අපරාධ හා විනාශයන් වහංගු කර දැමීමට ලංකාවේ ධනපති පන්තියට ඇති රුදුරු උවමනාවයි.

අවුරුදු තිහකට ආසන්න යුද්ධයේදී ලක්ෂයකට අධික, සිවිල් වැසියන් ද ඇතුලු ජනයා ඝාතනයට ලක්වූහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව එල්ටීටීඊය පරාජය කරමින් 2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර සති කීපයේ පමනක් දසදහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මරා දැමුනු බවට එජා සංවිධානය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත. යටත් වූවන්ට අත්වූයේ ද එම ඉරනම ම යි. බොහෝ අය වධහිංසා වලට ගොදුරු වූහ. තවත් දහස් ගනනක් අතුරුදහන් කෙරුනි.

යුද්ධය අවසන් කෙරුනු දින කීපයේ මිලිටරි මෙහෙයුම් ගැන, රාජපක්ෂ වෙනුවට වැඩ බැලුවේ තමන් බව සිරිසේන පුනපුනා උජාරුවෙන් සඳහන් කරයි. යුද්ධය පැවැති මුලු කාලය තුලම, සමහර ආන්ඩුවල ඇමතියෙක් ලෙස හා විපක්ෂ මන්ත‍්‍රියෙකු ලෙස සිටි සිරිසේන ද යුද අපරාධවලට දේශපාලන වසයෙන් වගකිව යුත්තෙකි.

ජනාධිපති ඉහත ප‍්‍රකාශය කලේ මානව හිමිකම් කවුන්සිලයේ (මාහික) වාරික රැස්වීම තුලදී යුද අපරාධ යට ගැසීම සඳහා ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී රටවල සහයෝගය තවදුරටත් ලබා ගැනීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ විදේශ ඇමති මංගල සමරවීර කන්නලව්වක යෙදී සිටින තතු යටතේය.

මානව අයිතීන් කඩ කිරීම ඇතුලු ප‍්‍රශ්න විමර්ශනය සඳහා ඊනියා යාන්ත‍්‍රනයක් සකස් කිරීමට තවත් “කල් ලබා ගැනීම” සඳහා ලංකාවෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී තිබෙන යෝජනාවට බ්‍රිතාන්‍ය ආන්ඩුවේ සහාය දැනටමත් ලැබී ඇති අතර ඇමරිකාවේ සහයෝගය දෙන බවක් වාර්තා වේ. විදේශ ඇමති වලිකන්නේ එම යෝජනාව මේ රටවල් දෙකේ ද සහයෝගයෙන් ඉදිරිපත් කර අනුමත කර ගැනීමටයි.

ඇමරිකාවේ අන්ත දක්ෂිනාංශික නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආන්ඩුවේ උප රාජ්‍ය ලේකම් එරින් බර්ලසි බදාදා ජිනීවා හි මාහික රැස්වීමේදී මෙසේ ප‍්‍රකාශ කලාය: “කවුන්සිලය නිසි ලෙස වැඩ කරන විට එහි සාර්ථකත්වයන් මානව හිමිකම් සඳහා ලැබෙන ජයග‍්‍රහනයන්ය. උදාහරනයක් ලෙස, මාහික ක්‍රියාවන්, ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසංස්කරන සඳහා ප‍්‍රගතියට උත්ප්‍රේරකයක් වූවා මෙන්ම අතීත උල්ලංඝනයන් පිලිබඳව වගවීම වැඩිදියුනු කිරීම සඳහා තාක්ෂනික ආධාර ලබා දීමට ද හේතු කාරක විය.”

ට‍්‍රම්ප් ආන්ඩුවට මානව හිමිකම් පිලිබඳව මොනම කැක්කුමක් වත් නැත. යුද අපරාධ පිලිබඳව කුප‍්‍රකට වාර්තාවක් ඇති හා දිගටම එලෙස අපරාධවල යෙදෙන ඊස්රායලය “අසාධාරන ලෙස හා විසම ලෙස” විවේචනය කරන්නේ යයි බර්ලසි මානව හිමිකම් කොමිසමට බැන වැදුනාය. ඉරානය, සිරියාව හා උතුරු කොරියාව සම්බන්ධයෙන් මාහිකො ඇති පදම් මැදිහත්වී නැතැයි ඇය දොස් කීවාය. ඒවා සිය ආක‍්‍රමනකාරී මැදිහත්වීම් වලට ට‍්‍රම්ප් ආන්ඩුව විසින් ඉලක්ක කර ගෙන සිටින රටවල්ය.

ඔබාමා ආන්ඩුව රාජපක්ෂ ඉවත් කර සිරිසේන බලයේ පිහිටුවීමට 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී තිරයෙන් පිටුපස තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් ක්‍රියාත්මක කලේ චීනයට එරෙහි ඇමරිකාවේ යුද කරත්තයට ලංකාව ද ගැට ගැසීමටයි. කොලඹ ආන්ඩුවල යුද්ධයට ඇමරිකාව සහයෝගය දුන් නමුත්, කුහක ලෙස, රාජපක්ෂ පාලන සමයේ යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලීම දක්වා යෝජනාවන් ඉදිරිපත් කරමින් චීනයෙන් දුරස් වන ලෙස බලපෑම කල වොෂින්ටනය අවසානයේ තන්ත‍්‍ර මාරුව සිදු කිරීමට ඉදිරිපත් විය.

සිරිසේන බලයට දමාගෙන ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඇමරිකාවට හා එහි දකුනු ආසියාවේ මූලෝපායික සහකරු වන ඉන්දියාවට පක්ෂව වෙනස් කරන්ට පටන් ගත් පසු ඔබාමා ආන්ඩුව යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනය සඳහා කල යෝජනා කුනු කූඩයට දැමීය.

ඒ වෙනුවට, මානව හිමිකම් කඩකිරීම් පරීක්ෂා කිරීමේ නමින් තමන්ගේම “යාන්ත‍්‍රනයක්” හදාගෙන ක්‍රියා කිරීමට ලංකාවට ඉඩදෙන බවට යෝජනාවක් සිරිසේන ආන්ඩුවට සම්මත කර දීමට ඇමරිකාව මූලිකත්වය ගත්තේය. ජාත්‍යන්තර විනිශ්චයකාරයන් එම යාන්ත‍්‍රනයට සම්බන්ද කිරීමේ වගන්තියක් ද ඊට ඇතුලත් කලේ දෙමල ධනපති පක්ෂ වලට හා ව්‍යාජ වම්මුන්ට ලංකාවේ මානව හිමිකම් කඩවීම පිලිබඳව “අපක්ෂපාතී” ජාත්‍යන්තර පරීක්ෂනයක් සිදුවන බවට පච ප‍්‍රචාර ගෙන යමින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ඇස්වලට වැලි ගැසීමට ඉඩ සලසා දෙමිනි.

රාජපක්ෂ හා ඔහු වටා පෙලගැසෙන සිංහල ස්වෝත්තමවාදීන් හා මිලිටරිය ද මෙම මවා පෑමට පවා විරුද්ධ ය. ආන්ඩුව ජීවන කොන්දේසිවලට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධව මහජනයා අතර ගැඹුරු වන කෝපය ගසාකා යලි බලයට ඒමට කැසකන රාජපක්ෂ වර්ගවාදී ප‍්‍රචාර ඇවිස්සීමට මාහිකයේ මේ යෝජනාව යහමින් යොදා ගෙන ඇත.

මෙම දුමාරය පිටුපසින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇත්තටම සිදුකරමින් සිටින්නේ වොෂින්ටනය ඉන්දියානු සාගරයේ ගෙනයන මිලිටරි වැඩ කටයුතු සමග ලංකාව පෙල ගැස්වීමයි. ඇමරිකාවේ ආසියානු පැසිෆික් මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථානය ලංකාවේ මිලිටරිය ඒ සඳහා පුහුනු කිරීම් වේගවත් කරමින් සිටී. අර්බුද ග‍්‍රස්ත ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලෝකය මත්තේ සිය බලාධිකාරය පිහිටුවා ගැනීමට ගෙන යන වැඩ පිලිවෙලේ කොටසක් ලෙස දකුනු ආසියානු කලාපය තුල මෙලෙස තර කරන්නේ චීනයට එරෙහි යුද සූදානමයි.

චීනය තම ප‍්‍රධාන ඉලක්කයක් ලෙස ප‍්‍රකාශ කර ඇති ට‍්‍රම්ප් යටතේ මෙම වැඩකටයුතු තවත් ගැඹුරු කිරීමට නියමිතය. ට‍්‍රම්ප් ආන්ඩුව මානව අයිතීන් තුට්ටුවකට නොතකන බව ද සිරිසේන ගනන් බලයි. සිරිසේන ඇමරිකාවේ තන්ත‍්‍රමාරුවට සුදුසු අපේක්ෂකයා ලෙස තෝරා ඉදිරිපත් කිරීමට වොෂින්ටනය වෙනුවෙන් ක්‍රියා කල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට හා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති වික‍්‍රමසිංහට යුද අපරාධ ගැන කැක්කුමක් කිසිදා නොතිබුනි. ඔවුන් සියලු දෙනා හා යුද්ධය ඇරඹු හිටපු ජනාධිපති මියගිය ජේ. ආර්. ජයවර්ධන රාජපක්ෂ මෙන්ම අපරාධකරුවන්ගේ විත්ති කූඩුවේ සිටින්නෝය.

තමන් රාජපක්ෂත් පරයා යන, යුද අපරාධ පරීක්ෂන වලට එරෙහිව සිටින්නෙකු බව පෙන්නුම් කරමින් සිරිසේන තැත් කරන්නේ මිලිටරිය, බෞද්ධ භික්ෂූන් ඇතුලු ස්වෝත්තමවාදීන් තමන් පිටුපස පෙල ගස්වා ගැනීමටයි. ඔහුගේ ඉලක්කය කම්කරුවන්ට දුගීන්ට හා තරුනයන්ට එරෙහිව ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීමයි.

එහෙත් ඊට එහා යන ඇඟවුම් සිරිසේනගේ ප‍්‍රකාශ පිටුපස ඇත. රාජපක්ෂ මෙන්ම මේ තරම් මහා යුද අපරාධ වසන් කිරීමට ක්‍රියා කරන ඔහුගේ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමට රුදුරු ලෙස සූදානම් වන අතරම ලෝක යුද තර්ජනයක ගිනිසුලිය තුලට කම්කරුවන් හා දුගීන් ඇද දමමින් සිටියි.

සිරිසේන බලයට ගෙන ඒමේදී දෙමල ජාතික සන්ධානය (දෙජාස) වොෂින්ටනය සමග පෙල ගැසුනේ ආසියාව හා දකුනු ආසියාව තුල එහි යුදවාදී භූ දේශපාලන උත්සුකයන්ට සේවය කරමින් එහි පිහිටෙන් දෙමල ප‍්‍රභූවට වරප‍්‍රසාද ලබා ගැනීමේ කොන්දේසි නිර්මානය කර ගැනීමේ උවමනාවෙනි. දෙජාස ඇමරිකානු ජනාධිපතිවරනයේ දී හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය පැතූ අතර, දැන් ට‍්‍රම්ප් පාලනයට සේවය කිරීමට සූදානම ප‍්‍රකාශ කර ඇත.

දෙජාස යුද අපරාධ යට ගැසීමේ මාහික යෝජනාව සකස් කිරීමට 2015 දී සහය දුන්නේය. දැන් එය, ආන්ඩුව අධිරාජ්‍යවාදීන්ගේ පිහිටෙන් මානව අයිතීන් පරීක්ෂා කිරීමේ යාන්ත‍්‍රනයක් ඇටවීම සඳහා කල් ලබා ගැනීමේ මුවාවෙන් ඉදිරිපත් කරන්නට යන යෝජනාවට ද සහාය දීමට යයි. කම්කරු දුගී ජනතාවගේ මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් සඳහා හෝ සටන් කිරීමට නොහැකි බෙලහීන දෙමල ප‍්‍රභූව මෙම පීඩිත ජනයාට එරෙහිව කොලඹ ආන්ඩුව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග පෙල ගැසී සිටියි.

එල්ටීටීඊයේ හොරනෑවක් ලෙස ක්‍රියාකල දෙජාස හා අනෙකුත් දෙමල ධනපති පක්ෂ උනන්දු වූයේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන නොවේ. සිංහල දෙමල කම්කරුවන් බෙදීමට සිංහල ස්වෝත්තමවාදීන් සමග තරඟයට දෙමල වර්ගවාදය අවුස්සමින්, දෙමල ප‍්‍රභූව සඳහා උතුරු නැගෙනහිර වැයික්කියක් වෙන් කර ගෙන කොලඹ ආන්ඩුව සමග ඒකාබද්ධව සූරාකෑමේ කොන්දේසි තනා ගැනීමටයි. ඒ සඳහා ඔවුහු සෑම විටම අධිරාජ්‍යවාදීන්ගේ සහාය පැතූහ.

නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සෘජුව හෝ වක‍්‍රව සිරිසේන ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වෙමින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට මාරු වූයේය. නසසප හා එහි නායක වික‍්‍රමබාහු කරුනාරත්න ආන්ඩුවෙන් දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැක ගත හැකි යයි දෙසා බාන අතර, එසප හා පෙසප ආන්ඩුවට බලපෑම් ඉහල දැමීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනාගත හැකි බවට මිත්‍යා වපුරති. ඔවුන්ගේ වැඩපිලිිවෙල ඉලක්ක වී ඇත්තේ කම්කරුවන් නොමග යවා ධනපති පන්තියට ගැටගසමින් එහි ප‍්‍රහාර ඉදිරියේ දේශපාලනිකව නිරායුධ කර දැමීමයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනක්ම 2015 ජනාධිපතිවරනය පිටුපසින් සිදුවූ ඇමරිකානු අධිරාජවාදීන්ගේ කුමන්ත‍්‍රනය ගැන අනතුරු අඟවමින්, සිරිසේන හා රාජපක්ෂගේ පාලක කල්ලිවලට එරෙහිව සිංහල දෙමල මුස්ලිම් කම්කරුවන් සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව සංවිධානය කිරීමේ වැඩ පිලිවෙල ඉදිරිපත් කලේය.

2015 ජනවාරි 7දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියට සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ලියූ ඉදිරිදර්ශනයේ ජාතිකවාදයේ හා ධනපති ජාතික රාජ්‍ය මත පාදක වූ වැඩපිලිවල් වල බංකොලොත්කම එලිදරවු කරමින් මෙලස සඳහන් කෙරුනි.

යුද්ධය කරා වන අධිරාජ්‍යවාදයේ තල්ලුව උත්සන්න වන තතු තුල කලාපයේ හා ලෝකය පුරා කම්කරු පන්තියට මුහුනපාන්නට වන තත්වය පිලිබඳ පූර්ව ඇඟවුමක් මෙරට මැතිවරනයට ඇමරිකාවේ මැදිහත්වීම මගින් සලකුනු කරයි. එයට මුහුනදී පරාජය කල හැකි වන්නේ, සමාජ කාලකන්නිකමට හා යුද්ධයට මුල් වන ලාභ පද්ධතිය අහෝසි කිරීම අරමුනු කරගත්, ප‍්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයන්හි මෙන්ම ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක පදනම මත පමනකි. සසප සටන් වදින ඉදිරිදර්ශනය එය යි.

සනාත වී ඇත්තේ මෙම ඉදිරිදර්ශනයයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ හා ධනපති ප‍්‍රභූවේ ප‍්‍රහාරයනට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ජීවන හා සමාජ අයිතීන් දිනා ගත හැක්කේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදයට කරන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් එනම් ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. මෙම අරගලය, අධිරාජ්‍යවාදී යුද තර්ජනයට එරෙහිව ජාත්‍යන්තරව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ සටන සමග බැඳී ඇත. කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි සියල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ මෙම ඉදිරිදර්ශනයට එක්වී සටන් කරන ලෙසයි.

Share this article: