වෝල් වීදිය සහ මාධ්‍ය ට‍්‍රම්ප්ගේ කොංග‍්‍රස් දේශනයට ප‍්‍රසංශා කරති

Wall Street, media celebrate Trump’s address to Congress

2017 මාර්තු 2

අඟහරුවාදා කොංග‍්‍රසයේ මන්ඩල දෙකෙහිම ඒකාබද්ධ රැස්වීමක් අමතා ව්‍යාපාර බදු මහා පරිමානයෙන් කපා දැමීමට ද සියලු රාජ්‍ය නියාමන සැබැවින්ම හමාර කර දමන්නට ද පොරොන්දු වෙමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් කල දේශනය, වෝල් වීදිය විසින් ඉමහත් උද්දාමයකින් පිලිගන්නා ලද්දේ, කොටස් වටිනාකම් සියලු වාර්තා බිඳ ඉහල යවමිනි. ඒ අතර මාධ්‍ය තමන්ගේ පැත්තෙන් කලේ, “ඩොනල්ඩ්ට ආදරය කිරීමට පුහුනු වීම” යයි නම් කල හැකි අවධියකට අවතීර්න වීම යි.

පසුගිය සතිය තරම් ලඟදී ට‍්‍රම්ප් විසින් “ජනතාවගේ සතුරන් ය” යි හෙලාදකින ලද බොහොමයක් ද අතුලු සියලුම ප‍්‍රමුඛ මාධ්‍ය, ට‍්‍රම්ප්ගේ දේශනය ඉදිරිපත් කලේ, මාහැඟි කථාවක්, ඔහුගේ පාලනාධිකරයේ සැබෑ “පරිවර්තනයක්”, සලකුනු කල නියම “ජනපති” දේශනයක් ලෙසය. ට‍්‍රම්ප් සිය දක්ෂිනාංශික, ව්‍යාපාර ගැති වැඩ පිලිිවෙලට කොංග‍්‍රස් මන්ඩලයේ සහයෝගය දිනාගැනීමට සැබවින්ම උනන්දු බව ද වෝල් වීදියට වාසි සලසනු පිනිස ඔහු දරන උත්සාහයට ඇතුලත පිල් ගැටුම් වලින් බාධාවක් වීමට ඉඩ නොතබන බව සිය දේශනය තුල ට‍්‍රම්ප් භාවිතා කල භාෂාව සහ තානය විසින් පෙන්නුම් කරන ලදැයි මාධ්‍ය අර්ථ දැක්විය.

බදාදා වනවිට ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය පෙර නුවූ විරූ 21,000 දක්වා, ඒකක 300කින් ඉහල ගියේ කොටස් වෙලඳ පොල ද මාධ්‍ය ගත් මගම ගත් බව පැහැදිලි කරමිනි. මූල්‍ය කොටස්, මිල නැංවීමේ රැලියේ මුල් තැන ගත්තේ ය. ජේ.පී. මෝර්ගන් චේස්, බෑන්ක් ඔෆ් ඇමරිකා සහ සිටි ගෲප් කොටස්, එක් දිනක් තුල සියයට 3කින් ඉහල නැගුනි. එක්සන් මොබිල් හා බෝයිං සමගම්වල ද ඇමරිකන් එක්ස්ප‍්‍රස් සහ ට‍්‍රවලර්ස්හි ද කොටස් අගය සියයට 2 කට වැඩියෙන් ඉහල නැගුනි. වඩා පුලුල් එස්ඇඩ්පී 500 සහ ප‍්‍රධානවශයෙන් ම තාක්ෂනික අංශ වලින් සමන්විත නස්ඩාක් කොම්පොසයිට්, රසල් 2000 යන දර්ශක වාර්තාගත මට්ටම් වලට නැගුනි.

සිය කතාවේදී ට‍්‍රම්ප් ඔජවැඩු පරිදිම, නොවැම්බර් 8 ඔහුගේ ජයග‍්‍රහනයෙන් පසුව ඩව් ජෝන්ස් දර්ශකය අංශක 3000 කින්ඉහල ගියේ ය. එය වනාහි ඇමරිකානු බැංකු සහ මහ සංගත වටිනාකම ඩොලර් ට්‍රිලියන 3කින් ඉහල දැමූ කොටස් වෙලඳ පොල පිම්බීමකි.

ට‍්‍රම්ප් සිය දේශනයේ දී මහ සංගත ගැති වැඩ පිලිවෙල ඉදිරිපත් කරන්නටත් පෙරම, උත්සව පවත්වන්නට හේතු වෝල් වීදියට ඇති තරම් තිබුනි. ට‍්‍රම්ප් පාලනයේ ගතව ඇති මුල් සති හය, විශේෂයෙන්ම කාබනික ඉන්ධන කාර්මාන්තයට අයත් පරිසර දූෂක මහ සංගත ද බැංකු ද ආයෝජන රක්ෂන ජාවාරම් ද ඇතුලූ, 2008 මූල්‍ය බිඳවැටීමට මග පෑදු නානාවිධ තක්කඩියන් පිලිබඳ නියාමනය ලිහිල් කරන විධායක නියෝග ට‍්‍රම්ප් විසින් පනවා තිබුනි.

එක්සත් ජනපදයේ මහා සංගත වලට සහ පුද්ගලික ධනපතියන්ට විශාල බදු සහන ප‍්‍රදානය කරන බව ට‍්‍රම්ප් යලිත් වරක් තහවුරු කර ඇත. මහා ආයුධ ජාවාරම් කාරයන්ට වාසි ලැබෙන පරිදි යුද වියදම් අතිමහත් ලෙස ඉහල දැමීමට ද පුද්ගලික ඉදිකිරීම් අංශයට සහ කැටපිලර් වැනි බර වාහන නිශ්පාදකයන් ට වාසිවන පරිදි ඩොලර් බිලියන ගනන් යට කොට පොදු කාර්ය පිරිවැය ගොඩනැගීමට ද ඔහු පොරොන්දු විය,

රිපබ්ලිකානුවන්ගේ පොදු උත්කර්ෂය ද මුලූමනින්ම පාහේ මාධ්‍ය වලින් පලවූ සහයෝගය ද ඩිමොක‍්‍රටිකයන් ගේ සැලකිය යුතු සහාය ද ඇතුව, කොංග‍්‍රස් මන්ඩල දෙකේ ඒකාබද්ධ සැසිය තුල ට‍්‍රම්ප් අඟහරුවාදා රාත්‍රීයේ මෙම තේමා ඉදිරිපත් කරන ලදී. ඒ සමගම ට‍්‍රම්ප් දුන් පොරොන්දුවක් නම්, පොදු අධ්‍යාපනය ට එරෙහි ව යුද්ධ ප‍්‍රකාශ කිරීම, ආගාමික කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාර උග‍්‍ර කිරීම සහ සමාජ සුභ සාධන කප්පාදුව ද ඇතුලු නොයෙකුත් ආකාරවලින් මුල්‍ය වංශාධිපතියන් ට තව තවත් වාසිවන පරිදි ධනය යලි බෙදාහැරීම වේ.

මාධ්‍යය සම්බන්ධයෙන් ගතහොත්, දේශනය නිමවී තත්පර කිහිපයක් ඇතුලත ඒ පිලිබඳ පොදු එකඟත්වය හොඳටම හදා ගෙන තිබෙන බව පැහැදිලි විය.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රවෘත්ති ලේකම් සීන් ස්පයිසර් විසින් ගිය සතියේ දී පැවැත්වුනු ධවල මන්දිරයේ ප‍්‍රවෘත්ති සමුලුවට ඇතුලුවීමෙන්, සිතාමතාම වලකනු ලැබූ මාධ්‍ය වලින් එකක් වන සීඑන්එන් හි සෑම මාන්ඩලිකයෙක් ම නිවේදනය කලේ, කථාව අඩු වශයෙන් සාපේක්ෂක ව සාර්ථක වී තිබෙන බවයි. ඔබාමාගේ ධවල මන්දිරයේ සහකරුවකුව සිටි හා බර්නි සෑන්ඩර්ස්ගේ ආධාරකරුවෙකු ද වන වෑන් ජෝන්ස්, ට‍්‍රම්ප්ගේ දේශනය අග දී නාවුක හමුදාවේ සීල් (ගොඩබිම, මුහුදේ සහ අහසේ සටන් පුහුනු) භටයෙකු වූ විලියම් ඔවන්ස් ගේ මරනය තම වාසියට යොදා ගත් ආකාරය, “ඇමරිකානු දේශපාලනය තුල කවර කලෙකවත් දක්නට නොලැබුනු අත්‍යසාමාන්‍ය මුහුර්තයකැ”යි ද ට‍්‍රම්ප් ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වූ මොහොත එය යයි ද කියා සිටියේ ය.

ශාලාව තුලදී ද දේශනයෙන් ඉක්බිතිව ද ට‍්‍රම්ප් කෙරේ ඩිමොක‍්‍රටික් පක්ෂය දැක්වූ ප‍්‍රතිචාරය, එම ඊනියා විරුද්ධ පක්ෂයේ ප‍්‍රතිගාමී සහ බංකොලොත් දේශපාලන ස්වභාවය පිලිබඳ ග‍්‍රන්ථාවලියක් බඳු එලිදරව්වකි. සෙනෙට් මන්ත්‍රීවරු එකාපිට එකා කතාවට ඔල්වරසන් දුන්හ. බර්නිසෑන්ඩර්ස් ට‍්‍රම්ප් ආර්ථික ජාතිකවාදය ගැන දෙසන විට අත්පොලසන් දුන්නේ ය. තමාගේ ප‍්‍රාන්තයේ නිෂ්පාදනය කෙරෙන හාර්ලි-මෝටර් සයිකල් ගැන ට‍්‍රම්ප් කරපු සඳහනට ටැමි බෝල්වින් හුරේ දැම්මා ය. ඩෙබි ස්ටබෙනොව් ට‍්‍රම්ප් ඔටෝ කර්මාන්තයට අත දෙන බව සඳහන් කරන විට අත්පුඩි ගැසුවාය. බෙහෙත් වල මිල නියම කිරීමේ ක‍්‍රමය ලිහිල් කිරීමට ට‍්‍රම්ප් දුන් පොරොන්දුව ඇමි ක්ලොබූෂර් ගේ පාරට්ටුවට භාජන විය.

වෝල්වීදිය මේ සියල්ල බලා සිටිමින් බොහෝ සතුටු විය. සෙනෙට් ඩිමොක‍්‍රටික් නායක චාල්ස් ස්කුමර් -තනි පුද්ගලයෙකු හැටියට වෝල් වීදියෙන් වැඩියෙන්ම මැතිවරන අරමුදල් ලැබූ සෙනෙට් මන්ත්‍රීවරයා මොහුය- ගැන විශ්වාසය තැබිය හැකි බව කොටස් වෙලඳපොල හොදින්ම දැන සිටි. ට‍්‍රම්ප් අලුතින් පෙන්නූ සහයෝගී “තානය” ට ඩිමොක‍්‍රටිකයන් ද ඒ ජාතියෙන්ම ප‍්‍රතිචාර දැක්වීම, මූල්‍ය ප‍්‍රාග්ධනයට සාතිශය වැදගත් අර්ථ භාරයක් දරා සිටි. මන්දයත්, ට‍්‍රම්ප් විසින් යෝජිත, ව්‍යාපාර වලට හා ධනපතියන්ට වැදගත්වන බදු කැපිලි ක්‍රියාත්මක කිරීමට සැලකියයුතු ඩිමොක‍්‍රටික් සහයෝගයක් උවමනා කරන හෙයිනි.

පාලක පන්තිය තුල තිබේන භේද සංකේන්ද්‍රනය වී ඇත්තේ විදේශ ප‍්‍රතිපත්තිය මතය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ හොරනෑව වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත දේශනය පිලිබඳව ලියන කතුවැකියෙන් සිය විවේචනය යොමු කලේ, “පෙන්ටගනය විසින් නොම්මර 1 සතුරා ලෙස සලකනු ලබන රුසියාව හෝ දකුනු චීන මුහුද තුල වඩ වඩාත් සිය බලය පාන්නට පටන්ගෙන සිටින චීනය” පිලිබඳව පියවර ගැනීමට අසමත්වීම ගැන පමනි.

ට‍්‍රම්ප් පුටින් කෙරේ දක්වන උවමනාවට වඩා සහනශීලි ආකල්පය ගැන මිලිටරි බුද්ධි තන්ත‍්‍රයේ ප‍්‍රමුඛ කොටස් දරන ආස්ථානය පැහැදිලි කිරීම සඳහා මෙම පුවත් පත, ට‍්‍රම්ප්ට රුසියාව සමග පවත්නේයැයි කියනු ලබන “අඳුරු බැඳීම්” වලට යලිත් අවධානය යොමුකලේය. එහෙත් නිව්යෝක් ටයිම්ස් පුවත් පත ද ඇතුලු මොවුන් සියලු දෙනාගේ ප‍්‍රමුඛ තානය වූයේ, පාලක පන්තිය එක්සත් කර තබන දෙය අහිවාදනය කිරීමය. මූල්‍ය වංශාධිපතියන්ගේ ඉදිරිදර්ශනය වන්නේ, විසිවන සියවසම තනිකර මහා වැරැද්දක් වූ බව ය. ප‍්‍රථමයෙන්, 1917 රුසියානු විප්ලවය කෙරේ ඇතිවූ භීතිය නිසා ද පසුව 1930ස් ගනන් වල කම්කරු ව්‍යාපාරයේ නැගීම නිසා ද 1960 ගනන්වල දිග්ගැසුනු සිවිල් අයිතිවාසිකම් සහ සමාජ ජයග‍්‍රහන සඳහා කරන ලද අරගල නිසා ද මහා සංගත ඇමරිකාවට සිදු වූයේ වැඩකරන ජනතාවට සහන ප‍්‍රදානය කිරීමට ය. ඇමරිකානු මහා සංගත සුදානම් වන්නේ දැන් ඉතින් තමන්ට ඕනා දෙයක් කරගත හැකිය යන සටන් පාඨය යටතේ මේ සියල්ල ආපසු උදුරා ගැනීමට ය.

යමෙක් වැනසීමට දෙවියන්ට උවමනා නම්, මුලින් ම කරන්නේ ඔවුන් උමතුවට පත් කිරීමයි. ඇමරිකාවේ මූල්‍ය වංශාධිපතියන් එක්තරා මිත්‍යාවක් තුල ගිලී සිටි. එය නම්, කම්කරු පන්තිය අසංවිධිත කිරීමේ ද අවමංගත කිරීමේ ද උපකරන වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා වෘත්තීය සමිති වල භූමිකාවේ ආධාරයෙන්, කිසිදු මිලක් නොගෙවාම ඉතිහාසය ආපසු හකුලා දැමිය හැකිය යන්නයි.

ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය මුහුනදී සිටින්නේ, සිය සකල සමාජ ජයග‍්‍රහනයන් ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ද මරනීය තර්ජනයකට ලක්ව ඇති තත්වයකට ය. ට‍්‍රම්ප් ගේ පාලනයට එරෙහිව සැබෑ හා ස්ථිරසාර විරෝධය පැන නැංවෙනු ඇත්තේ කම්කරු පන්තිය තුලිනි.

ස්වාධීන සමාජවාදී සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත පදනම්ව ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ස්වාධීන ව සහ ඊට ප‍්‍රතිවිරුද්ධව, වැඩකරන ජනතාවගේ ස්වාධීන මහා ව්‍යාපාරයක් ගොඩ නැගීමට සෑම ප‍්‍රයත්නයක්ම දැරිය යුතුව ඇත.

පැට්‍රික් මාටින්

Share this article: