අධ්‍යාපන අයිතිය රැක ගැනීමට සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කරනු!

කේ.රත්නායක විසිනි, 2017 මාර්තු 7

දහස් ගනන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ වෛද්‍යවරු මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) විරෝධය පල කරමින් මාස ගනනක් තිස්සේ ගෙනයන අඛන්ඩ උද්ඝෝෂනයක යෙදෙති. පසුගිය සතියේ අනුරාධපුර, මහනුවර හා කොලඹ දිස්ත්‍රික් බදව වෛද්‍යවරුන් හා ශිෂ්‍යයන් පැවැත්වූ සංකේත වර්ජන හා රැස්වීම්වලට පසුව බදාදා කොලඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂනවලට දහස් ගනන් සිසුන් සම්බන්ද වීමට නියමිතය. මේ අතර, සරසවි ආචාර්යවරුන් වැටුප් වැඩිවීම් හා තවත් ඉල්ලීම් උඩ බදාදා හා බ‍්‍රහස්පතින්දා වර්ජනයක නිරත වන බව නිවේදනය කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) මෙම විරෝධතා සයිටම් වසා දැමීම සඳහා ආන්ඩුවට බල කිරීමේ ව්‍යාපාරයකට සීමා කර ඇත. ඊට ප‍්‍රතිකුලව, ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා වෛද්‍යවරුන් දහස් ගනනින් උද්ඝෝෂනවලට ඇදී එමින් ප‍්‍රකාශයට පත් කරන්නේ අධ්‍යාපනය පුද්ගලීකරනයට සහ අනෙකුත් අයිතීන් තලා දැමීමට එරෙහිව සමාජ පත්ලෙන් ම වැඩී එන විරුද්ධත්වයයි.

පසුගිය දශක ගනනාවේ නොවේ නම්, ගතවූ මාස කීපයේ අරගලයට ඇදී ආ සිසුන්ගේ, වෛද්‍යවරුන්ගේ හා අනෙකුත් කොටස්වල පොදු අත්දැකීම වී ඇත්තේ ආන්ඩුවේ හා ධනපති පන්තියේ පුද්ගලීකරන ප‍්‍රතිපත්තිය පරාජය කිරීමකින් තොරව අධ්‍යාපන අයිතිය රැක ගත නොහැකි බවයි.

“පෞද්ගලික විශ්වවිද්‍යාල නගා සිටුවීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය වන බව” උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේතුවේදී පුනපුනා ප‍්‍රකාශ කරයි. සිසුන් ගෙන යන විරෝධතා හා කම්කරුවන්ගේ අරගල ගැන සඳහන් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී ප‍්‍රකාශ කලේ “සංවර්ධනයට අවහිර කරන වර්ජන හා බාධා කිරීම්” ආන්ඩුව නො ඉවසන බවයි. ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ නියමයන් අනුව ක්‍රියා කරන සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය, මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාර ඉදිරියට ගෙන යමින් සිසු උද්ඝෝෂනයට එරෙහිව රාජ්‍ය මර්දනය උසිගන්වා කඩාපැන ඇත්තේ තමන් කැපවී සිටින්නේ ලංකාවේ හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ලාභ පිපාසිත උවමනාකම් ඉටු කිරීමට බව පෙන්නුම් කරමිනි.

අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම මහා ධනපති රටවල සිට අඩු දියුනු රටවල් දක්වා මුදා හැර ඇති ප‍්‍රහාරයකි. කඩා වැටෙන ලාභ රැක ගැනීම සඳහා ධනපති පාලකයන් දශක තුනකට අධික කාලයක පටන්, අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩ සටහන් සඳහා වියදම් කපා හරිමින් ඒවා ලාභ සුරා ගන්නා කර්මාන්ත බවට පත් කර ගැනීමට ධනපති පන්තිය ක්‍රියා කරයි. 2008 දී ඇමරිකාවේ මහා මුල්‍ය සමාගම්වල කඩා වැටීමෙන් ඇරඹී ලෝකයම අලලා ගෙන ඇති ධනවාදයේ බිඳ වැටීමේ නව කාල පරිච්ඡේදය තුල සෑම රටකම ධනපති ආන්ඩු අර්බුදය පියවා ගනිමින් සිටින්නේ වැඩකරන ජනතාව අරගල තුලින් අතීතයේ දිනාගත් ජීවන හා සමාජ අයිතීන් කොල්ලකෑමෙනි.

ඇමරිකාවේ අති දක්ෂිනාංශික ඩොනල්ඩ් ට‍්‍රම්ප් ආන්ඩුව, ඔබාමා පාලනයේ ප‍්‍රහාර ගුනාත්මකව ඉහල තලයකට ගෙන යමින් ධනපති සමාගම්වල බදු අඩුකරන අතර සමාජ වියදම් තලා දැමීමේ න්‍යාය පත‍්‍රයක් ක්‍රියාවට දමයි. බ්‍රිතාන්‍යයේ පාසල් අධ්‍යාපනය සඳහා වියදම් මූර්ත වශයෙන් සියයට අටකින් කපාහැර තිබෙන අතර පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පලල් කිරීම වේගවත් වී ඇත. අසල්වැසි ඉන්දියාව අධ්‍යාපන වියදම් අන්ත පහල මට්ටමක පවත්වා ගෙන යයි.

ඊයේ ඩේලි මිරර් පුවත්පතේ කතුවැකිය ලංකාවේ ධනපති පන්තියේ අර්බුදය ගැන අඳෝනා කියා තිබුනේ මෙසේය: “2012 වසර දක්වා ලංකාවේ විදේශ නයෙහි සාමාන්‍යය එක්සත් ජනපද ඩොලර් මිලියන 42,142.63 ව තිබී 2016 තුන්වන කාර්තුව වන විට ඩොලර් මිලියන 47,302.10 දක්වා පෙර නොවූ විරු ලෙස ඉහල ගොස් ඇත. නිදහසේ සිට ශ්‍රී ලංකාව එහි නය ගෙවීම කිසිවිටෙක පැහැර හැර නැතත්, දැන් රට මත්තේ ලඹ දෙන්නේ එම තත්වයයි.” ධනපති පන්තියේ මංමුලාව ප‍්‍රකාශ කරමින් කතුවැකිය කියා ඇත්තේ “තාවකාලිකව හෝ මේ තත්වය මග හරවා ගැනීමට ආන්ඩුවට ඇති මූලාශ‍්‍ර විරල” බවය.

මේ අවුරුද්දේ නය ගෙවා ගැනීමට නම් ආන්ඩුව ඩොලර් බිලියන 3.6 සොයා ගත යුතු ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු කොන්දේසි ක්‍රියාවට දමමින් මෙම මුදල් මිරිකා ගැනීමට යන්නේ රාජ්‍ය ආයතන විකුනමින් හා කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සමාජ අයිතීන්ට ද කෙටීමෙනි. පසුගිය අවුරුදු කීපයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ හා සමාන කොන්දේසි ග්‍රීසිය තුල ක්‍රියාවට දමා මහජනයා මත පටවා ඇත්තේ දරුනු ආර්ථික හා සමාජ ව්‍යසනයකි. බොරු පොරොන්දු දී බලයට ආ ව්‍යාජ වාම සිරිසා ආන්ඩුව එම ව්‍යසනය ක්‍රියාවට දමන කන්කානි ලෙස ක්‍රියා කරයි.

රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ එල්ල වූ ප‍්‍රහාරවලට එරෙහි මහජන කෝපය ගසාකා සිරිසේනගේ ආන්ඩුව බලයට ගෙන ඒමට අවස්ථාවාදීන්ගේ උදවු ඇතිව තොරොම්බල් කල නොයෙකුත් පොරොන්දු අතර රාජ්‍ය අධ්‍යාපනය සඳහා වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හය දක්වා ඉහල දැමීමේ ප‍්‍රතිඥාව ද විය. එය හුවා දක්වා සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නායක නිර්මාල් රන්ජිත් දේවසිරි ඊයේ ප‍්‍රකාශ කලේ ආන්ඩුව අධ්‍යාපන වියදම සියයට දශම 6 දක්වා කපා දමා ඇති බවයි.

අවිශිබමය හා රවෛනිස පවත්වන විරෝධතාවලින් මෙම තත්වයට මුහුන දීමට මොනම ඉදිරිදර්ශනයක් වත් නොසැපයෙයි. ඔවුන් ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල නම්, බලපෑම් හා පලල් බලපෑම් දමා සයිටම් වසා දැමීමට ආන්ඩුව නමා ගැනීමේ ව්‍යායාමයයි. මෙය දැනුවත්ව ම, අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි අරගලය යට ගැසීමට ඊනියා සයිටම් විරෝධී ව්‍යාපාරයක් හුවා දැක්වී ප‍්‍රයත්නයකි.

ආන්ඩුවේ ප‍්‍රහාරවල මූලාශ‍්‍රය වන අර්බුදයේ ගිලී ඇති ධනපති ක‍්‍රමය තුල විසඳුම් සෙවීමේ වංක ගිරියක සිසුන් පීලිපන්වා කොටු කිරීමේ මෙම වැඩපිලිවෙලින් වාසිය ගන්නේ ආන්ඩුව හා මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ක්‍රියා කරන දක්ෂිනාංශික පක්ෂ හා කන්ඩායම් ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එය විසින් දේශපාලනිකව හසුරුවන අවිශිබමය, බලපෑම දැමීම පලල් කිරීමේ නමින් ප‍්‍රතිගාමීන් එක්කර ගත් පෙරමුනකට මෙහෙයවා ඇත. රවෛනිසට අමතරව ව්‍යාජ වාම කන්ඩායමක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, ආන්ඩුවේ අන්ඩක් වන ජාතික හෙල උරුමය, ජනතා විමුක්ති පෙරමුන හා රාජපක්ෂගේ “ඒකාබද්ධ විරුද්ධපක්ෂයේ” කොටස් ද මේ පෙරමුනට ඇතුලත්ය. රාජපක්ෂ කල්ලිය හැරුනු කල, අනෙක් සියලු සංවිධාන ඒ හෝ මේ ආකාරයෙන් සිරිසේන ආන්ඩුව බලයට ගෙන ඒමට කැපවූවන් ය. අධ්‍යාපන කප්පාදුව පිමිවලින් ක්‍රියාවට දැමූ රාජපක්ෂ කල්ලිය ව්‍යාජ වම්මුන්ගේ කර උඩ නැගී දැන් අධ්‍යාපනය රකින වීරයන් සේ පෙනී සිටියි. සයිටම් ආරම්භ කලේ රාජපක්ෂ ය.

අවිශිබම හා පෙසප ප‍්‍රතිගාමී බලවේග සමග පවා එක්වීමට සුදානම් නමුත් කම්කරු පන්තිය වෙතට සිසුන් හැරීම කෙරෙහි නම් දක්වන්නේ බරපතල සතුරු කමකි.

අධ්‍යාපනය පුද්ගලීකරනයට පක්ෂ ධනපතියන් අතුලු අන්ත ප‍්‍රතිගාමීන් ද ආන්ඩුවට බලපෑම් දැමීමේ ව්‍යාජ වැඩපිලිවෙලට තොරොම්බල් කරන්නන් ද ඇතුලත් කරගත් මෙම පෙරමුන කම්කරුවන්, සිසුන් හා අධ්‍යාපන අයිතිය රැකගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙරට එන සියලු කොටස් දේශපාලනිකව හිර කරන උගුලකි.

අර්බුදයේ මරලතෝනිය මැද ධනවාදයට වැඩ කරන ජනතාවට අත්කර දිය හැක්කේ සමාජ ව්‍යසනයයි. අධ්‍යාපන අයිතිය සමාජ අයිතියකි. එය ආරක්ෂා කිරීම හා ගුනාත්මක අධ්‍යාපනයක් වර්ධනය කිරීම කල හැක්කේ ඒ සඳහා අවශ්‍ය සම්පත් යෙද වීමෙනි. ලාබය ඉපයීම මත පදනම් වූ ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමය තුල එය කල නොහැකිය. එබඳු සම්පත් වෙන් කල හැක්කේ, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ආර්ථිකය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමක් මගින්ම පමනකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ද, ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාව තුල සමාජවාදී වැඩපිලිිවෙල ක්‍රියාවට දමන -එනම්, විදේශ නය ගෙවීම නිෂ්ප‍්‍රභ කරන්නා වූත්, මහා වතු, සමාගම් හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන්නා වූත්- කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සිසුන් සටන් කලයුතුයයි අවධාරනය කරන්නේ මේ අර්බුදයට ඇති එකම විසඳුම එය වන බැවිනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.

ධනපති ක‍්‍රමය පෙරලා දමා ආර්ථිකය සමාජවාදී ආකාරයට ප‍්‍රතිසංවිධානය කල හැකි විප්ලවවාදී බලවේගය කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් හා තරුනයන් එක්විය යුත්තේ කම්කරු පන්තිය වෙතට හැරී එය මෙම විප්ලවවාදී කර්තව්‍යයට බලමුලු ගැන්වීමේ අරගලයටයි. අධ්‍යාපන අයිතියට කප්පාදුව ධනපති ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන්ට කෙටීමට එල්ල කරන ප‍්‍රහාරයේ කොටසකි. කම්කරු පන්තිය ඊට එරෙහි අරගලයට සිසුන්ට හා අවශේෂ පීඩිතයන්ට කැඳවුම් කරමින් නායකත්වය ගත යුතුය.

එවක එක්සත් ජාතික පක්ෂය (එජාප) රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීම අරඹමින් 1982 දී අධ්‍යාපන ධවල පත‍්‍රය ඉදිරි පත් කල විට සසප පුර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නිකුත් කල ප‍්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

අධ්‍යාපනය මෙන්ම අන් කවර මූලික ප‍්‍රජාතන්ත්‍රීය අයිතියක් වුවද අද ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ ආරක්ෂා කරගත නොහැකිය. එම අයිතීන් සඳහා සටන අද කෙලින්ම බද්ධ වී ඇත්තේ කම්කරු පන්තියේ රාජ්‍ය බලය ස්ථාපිත කිරීමේ ද සමාජවාදී දේපල ක‍්‍රමයක් තහවුරු කිරීමේ ද සටන සමගය. මෙය සමස්ථ ලෝක ධනේශ්වර ක‍්‍රමයේම අන්ත පරිහානියෙන් පැන නැංවෙන මග නොහැරිය හැකි කාර්යභාරයයි.

මෙම අරගලයට එරෙහිවන පක්ෂ හා කන්ඩායම් ධනපති පන්තියේ අත් ශක්තිමත් කරන බව අපි ප‍්‍රකාශ කලෙමු. ඔවුන් සිදුකර ඇත්තේද දැන් සිදු කරමින් සිටින්නේද එයයි.

කම්කරුවන්, සිසුන්, තරුනයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර පසුගිය කාලය පුරා මෙම සමාජවාදී ක්‍රියාමාර්ගය හා පිලිවෙත් සඳහා සසප හා එහි තරුන සංවිධානය සසජාතශි අරගලය කලේය. අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අරගලයට ඇදෙන සියල්ලන්ගෙන් සසප හා එහි තරුන සංවිධානය සසජාතශි ඉල්ලා සිටින්නේ මේ අරගලයට එක් වන ලෙසයි.

Share this article: